රසික ගුණවර්ධන/ ටිරන් කුමාර බංගගමආරච්චි
ඡායා – රසික ගුණවර්ධන


රාත්‍රී දහයට කොළඹින් පිටත් වූ පානම බසය පොතුවිල් නගරයට ළඟාවන විට පසුදා උදෑසන හයට කිට්ටුය. කොළඹ සිට පැමිණෙන බස් තුළින් පොතුවිල්හි ඉද්ද ගහන ශරීර ඩැහැ ගන්නට මාන බලන ත්‍රීවීලර් රථ රියදුරන් කිහිපදෙනාගේ කලබලය හැරෙන්නට නගරයේ වෙනත් කලබලයක් නැති තරම්ය. දිගු රැවුල් වවා හිසේ තොප්පි පැලඳි මේ ත්‍රීවීල් රියදුරෝ මුසල්මානුවෝය.


අපගේ ගමන් සගයාද මුසල්මානුවකු වීම නිසා මොවුන් සමග පයුරු පාසානම ඉක්මන් විය. මූලික ගමනාන්තය පොතුවිල් නගරයේ සිට කිලෝමීටර කිහිපයක දුර මුහුදු මහා විහාරයට විය. මුහුදු මහා විහාරය කීවද එය පිහිටා ඇත්තේ ගොඩබිමෙහිය.
මහාවංශයේ 34 වන පරිච්ඡේදයට අනුව මහාදාඨිය මහා නාග රජතුමා විසින් මෙම විහාරය කරවූ බව කියැවේ. එසේම ඉතිහාස කතාවලට අනුව කාවන්තිස්ස රජුගේ සමයේ වූ මුහුදු ගොඩ ගැලීමේ සිදුවීමේදී මුහුදට බිළි දුන්නා යැයි කියන විහාරමහාදේවිය නැවත ගොඩ බැස ඇත්තේ මෙම ස්ථානයටය. ඒ අනුව ඇය පැමිණි රන් ඔරුව නිදන් කර සෑයක් කරවූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. මේ ජනප්‍රවාදයන්ට අනුව මේ ප්‍රදේශය ආශ්‍රිත ගම්මාන නාමකරණයේද අපූරු කතා ගෙතී ඇත. රජුගේ දියණිය කොයිබට පාවී එන්නේ දැයි විපරම් කිරීමට ධීවරයෝ අට්ටාල ගසාගෙන බලා සිටි ස්ථානය “අට්ටාලෙච්චන” වී පසුව “අඞ්ඩාලෙච්චන” වූ බව කියැවේ. එසේම රජු ‘කෝ කුමරිය’ යැයි පවසමින් කුමරිය සොයමින් ආ ස්ථානය “කෝමාරිය” වූ බවට රජුට පිළිතුරු වශයෙන් ‘අර ගම’ යැයි කියූ තැන “ආරුගම්බේ” වූ බවද කියැවේ. එසේම රජුට උපකාර කළ අයට රජු නින්ද ගම් දුන් බවද, එම ඉඩම් අක්කර දහය බැගින් වූ නිසා එම ප්‍රදේශය “අක්කරේපත්තුව” ලෙස හැඳින්වූ බවද කියැවේ.
කෙසේ වෙතත් වර්තමානයේ මුහුදු මහා විහාරයේ ඓතිහාසික වටිනාකමක් සහිත යැයි එහි යන්නන්ට දැකිය හැක්කේ බුදුන්ගේ හිටි පිළිමයක් සහ බෝධිසත්වවරුන් හෝ අතීත පාලකයන්ගේ යැයි සැලකෙන පිළිම දෙකක් සහිත ශෛලමය පිළිම ගෙයක් හා ගල්කණුය. ඊට අමතරව මෑතකාලීනව ඉදි කළ පන්සල, ආවාස ගෙය සහ චෛත්‍යයක් ඇත. ප්‍රදේශවාසීන් පවසන පරිදි මෙම නව ඉදිකිරීම් සිදුකර ඇත්තේ දෙදහස් පහ වසරට පසුවය.


මුහුදු මහා විහාරයේ වර්තමාන ගැටලුව ඇරඹෙන්නේ එම විහාරයේ වත්මන් හිමි දැනට මුස්ලිම් ජනයා පදිංචි ප්‍රදේශ පවා පුරාවිද්‍යා වටිනාකම් සහිත ප්‍රදේශ ලෙස පන්සලට ගන්නට ගන්නා උත්සාහය සමගය. එය දැනට ඒ අවට පදිංචි මිනිසුන්ගේ සිහිවිකල් කරන පුවතක් බවට පත්වී ඇත.
අප මුලින්ම මේ පිළිබඳව ප්‍රවේශයක් ගත්තේ නීතීඥ අහමඞ් මුනසුදීන් මුණ ගැසීමෙනි. ඔහු පොතුවිල් හි පදිංචිකරුවෙකි. යටගියාව දන්නෙකි.


“මුලින්ම මුහුදු මහා විහාරයට පුරාවිද්‍යා භූමිය විදිහට අක්කර හැත්තෑ දෙකක් එක්දාස් නවසිය පනස් එකේදි ගැසට් කරනවා. ඊට පස්සෙ කරපු පරීක්ෂණවලින් පස්සෙ තවත් ගැසට් එකක් එනව ඒ එක්දහස් නවසිය හැට පහේදි. ඒකෙදි අක්කර තිහයි, රූට් තුනයි, පර්චස් දෙකක් ගැසට් කරනවා. එක ඉඩමකට ගැසට් පත්‍ර දෙකක් නිකුත් වෙනව නම් ඒකෙදි අලුතින්ම නිකුත් වෙන ගැසට් එක තමයි වලංගු වෙන්නෙ. එකපාරක් නඩුවක් ගියා මනින්න ඕනෙ හැත්තෑ දෙක ද නැත්නම් තිහද කියලා. එතකොට නීතිපති කියනවා, දෙවැනි ගැසට් එක අනුව තමයි මනින්න ඕනෙ කියලා.


1965දී අක්කර තිහේ භූමිය මැනල ගැසට් කරනකොට ඒක ඇතුළෙ මිනිස්සු ඉඳල තියනවා. හැබැයි ඒ වෙලාවෙවත් එතනින් මිනිස්සු ඉවත් කරල නෑ. මේ මිනිස්සුන්ට ඉඩම්වලට ජය භූමි ඔප්පු තියනවා. ජයභූමි ඔප්පු නිකම්ම දෙන්නෙ නෑ. බලපත්‍රය අවුරුදු විස්සක් විසි පහක් තිබ්බ අයට තමයි මේ ජය භූමි ඔප්පු දුන්නෙ. ඒ නිසා අපට පැහැදිලිවම කියන්න පුළුවන් අවුරුදු හැත්තෑ පහකටත් වැඩිය මේ මිනිස්සු මෙතන ජීවත් වෙනවා.


මෙතනට කියන්නෙ පන්සලේ ඉඩම කියලා. ඒක නිසා තමයි සිංහල මිනිස්සුන්ට තරහ ගිහිල්ල තියෙන්නෙ. එතන තියෙන්නෙ පුරා විද්‍යා භූමියක්, ඓතිහාසික වටිනාකමක් තියන ස්ථානයක්. එතන පන්සලක් හදල තියන එක නීති විරෝධියි. පන්සල හදල තියෙන්නෙත් පුරා විද්‍යා භූමිය අල්ලලා.


යූටියුබ් එකේ දාල තියනව බදියුදීන්, හිස්බුල්ල ඇවිල්ල ඉඩම් ඇල්ලුව කියලා. මොන බොරුද. මේ මිනිස්සු මේ තැන්වල ඉන්නෙ ඒ අය ඉපදෙන්නත් කලින් ඉඳලා. තව කියනව මුස්ලිම් මිනිස්සු පුරා විද්‍යා ස්මාරක කැඩුව කියලා. මොන බොරුද? එහෙම කැඩුව නම් පැමිණිලි තියෙන්න එපෑනෙ. එහෙම එක පැමිණිල්ලක්වත්වත් මේ වෙනකම් නෑ.


නැගෙනහිර පුරාවස්තු තියන තැන්වලින් ඉතුරු වෙලා තියන එකම තැන මෙතන විතරයි. හේතුව මුස්ලිම් මිනිස්සු මෙහෙ හිටපු නිසා එල්ටීටීඊ එකට මේක ඇතුළට එන්න බැරි වුණා. මේව විනාශ කරන්න බැරි වණා. මේව ආරක්ෂා කරේ මුස්ලිම් මිනිස්සු.
මෙහෙ සිංහල මිනිස්සුයි, මුස්ලිම් මිනිස්සුයි කිසිම ප්‍රශ්නයක් නැතුව හිටියා. දැන් ටික කාලෙක ඉඳල තමයි මේ ගැටලු මතුවෙලා තියෙන්නෙ. මෙහෙ මුස්ලිම් මිනිස්සුන්ට අද දෙරණ සහ හිරු නාලිකා ගහන්නෙ ගෝල් කීපර් නැතුව ගෝල් ගහනව වගේ.
මේ ප්‍රශ්නෙ මෙච්චර ලොකු කරේ සරත් වීරසේකර. එයා තමා ඔක්කොම කරේ. අලුත් දේශපාලනයට ජාතිවාදය නැතුව බෑ. මේ කරන්නෙ ඒ ගින්න අවුලන එක.”


අප ඔහුගෙන් සමුගෙන මුහුදු මහා විහාරය දෙසට පිටත් වුණෙමු. ඔබ මොබ යන එළුවන් ද කන්පට ගසමින් කුසීතව නිදා සිටින ගවයන්ද පසුකරමින් අපේ ත්‍රීරෝද රථය ඇදී යයි. මඟ දෙපස ස්ථිරවම ඉදිකළ නිවාස මෙහි ජීවත්වන මිනිසුන්ගේ අතීතය පවසයි. ගඩොලින් බැඳි තාප්ප, ගල් ඇල්ලූ මාර්ග අතරින් අතෝරක් නැතුව ගමන් කර අප මුලින්ම සේන්දු වූයේ එක්දාස් නවසිය පනස් එකේ ගැසට් කරන ලද අක්කර හැත්තෑවට අයත් වූ භූමියටය. මේ වන විට එහි පවුල් තුන්සීයක් පමණ ජීවත් වේ. බැලූ බැල්මටම ඒම ප්‍රදේශය පුරා විද්‍යා භූමියක් නොවන බව වැටහේ. එය ගම්මානයකි. වසර ගණනාවක අතීතයක් ඇති ගම්මානයකි. පුරා විද්‍යා භූමියක් නම් එහි ස්ථිර ඉදි කිරීම් සිදු කළ නොහැකිය. අප සමග ගමන් කරන මඟපෙන්වන්නන්ගේ අදහස වන්නේ මෙම භූමිය පනස් එකේදී ගැසට් කළද මෙහි සිදු කළ පරීක්ෂණවලින් පසු මේ ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්මාරක හමු නොවූ නිසා එම ගැසට් පත්‍රය අවලංගු කර නව ගැසට් පත්‍රයක් නිකුත් කළ බවය.


මෙතැනින් එහාට ඇත්තේ එක්දහස් නවසිය හැට පහේදී ගැසට් කරන ලද අක්කර තිහයි රූට් තුනයි පර්චස් දෙකේ කොටසයි. එයින් අක්කර හය හමාරක් තුළ මේ වන විට පවුල් හතළිස් නවයක් පමණ ජීවත් වෙයි.


අප මුලින්ම මුහුදු මහා විහාරයට පිවිසුණේ විහාරයේ ඉදිකර ඇති නව චෛත්‍ය දෙසින් ඇති වැලි පරය තරණය කරය. අප පන්සල් භූමියට පිවිසුණද එහි විහාරාධිපති හිමියන් නොසිටි බැවින් අනෙකුත් හිමිවරුන්ට මාධ්‍ය සමග කතා කිරීමට නොහැකි බව පැවසූහ. එහි ඓතිහාසික පුරා විද්‍යා නටඹුන් සහිත කොටස ආසන්නයේ සිට නව චෛත්‍ය දෙසට වන්නට පිළිම පේළියක් නිර්මාණය කර ඇත. එම පිළිම සේම තවත් නූතන නිර්මාණ බොහෝ ප්‍රමාණයක් මේ පුරා විද්‍යා භූමිය පුරා දක්නට ඇත. මෙහි නව චෛත්‍ය ඉදිකර ඇති භූමිය සැලකුවහොත් එයට පෞද්ගලික ඉඩමක් සහ පුරාවිද්‍යා ඉඩමක්ද අයත් වේ. අනෙක් අතට මේ විකාර ඉදිකිරීමෙහි ඇති පුරා විද්‍යාත්මක වටිනාකමට විනාශ කර ඇත. මුලින් කඩා ඉවත් කළයුත්තේ ඒවාය.


අප විහාර භූමියේ සිට නැවත ගම්මානය දෙසට පැමිණියෙමු. එසේ පැමිණියේද පෙර අප ගමන් කළ මාර්ගයේමය. එනම් වැලි පරය මතිනි. අපි එහි පැමිණියාට අනතුරුව අපට පිරිසක් පැවසූවේ ඔවුන් මඩකළපුවේ සිට මෙහි පැමිණි බවත්, තමන් අප නැඟි වැලි පරයටම නැගීමට උත්සාහ කළද එහි යොදවා සිටි නාවුක හමුදා සෙබළුන් එයට ඔවුන්ට අවස්ථාව නොදුන් බවයි. අප සමග සිටි මඟපෙන්වන්නා අපට පැවසුවේ මෙම වැලි පරයට බොහෝ කාලයක සිට විශාල සංචාරක ආකර්ෂණයක් පවතින බවත්, අතීතයේ දේශීය සංචාරකයන් පමණක් නොව විදේශීය සංචාරකයන්ද එහි පැමිණි බවයි.


ජේ.ඒ. අසීස් ජීවත් වන්නේ මේ ගම්මානයේය. මුහුදු මහා විහාරයේ පුරා විද්‍යා ඉඩම් ආරක්ෂා කරන්නේද මුස්ලිම් ජනතාව බව ඔහු අප සමඟ පැවසීය.


“නවසිය පනස් ගණන්වලට කලින් මුස්ලිම් කෙනෙක් තමන්ගෙ වත්ත හාරනකොට ඒ ඉඩමෙ පුරාවිද්‍යා ස්මාරකයක් හම්බෙල තියනවා. එයා ඒක පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට දැනුම් දීලා. ඊට පස්සෙ තමයි මුහුදු මහා විහාරය පුරා විද්‍යා භූමියක් විදිහට හඳුන ගන්නෙ. ඊට පස්සෙ ඒ ස්මාරකය සොයා ගත්ත පුද්ගලයම පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් මේ ස්ථානයේ මුරකරු විදිහට පත් කරනවා. දැනට වුණත් මේ ස්ථානයේ මුරකරු විදිහට ඉන්නෙ එයාගෙ පුතා.”


ඔහුට අනුව මෙම ගැටලුව ආරම්භ වන මුල් අවස්ථාවේදීම මේ සම්බන්ධයෙන් මැනුම් කටයුතු සිදුකර සිතියමක් සකසා ඇත. එහෙත් එය ගැසට් කර නැත.


“දැනට මිනිස්සු පදිංචිවෙලා ඉන්න ඉඩම් ටික අයින් කරල ඒ වෙනුවට නිකන් තියන ඉඩම් ටික ගන්න පුළුවන් විදිහට මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් 2006 දි සැලැස්මක් හැදුවා. මේක ගැසට් කරා නම් ප්‍රශ්නය ඉවරයි.”
අපි ඔහු සමග ගම්මානයේ නිවසකට ගොඩ වැදුණෙමු. අපි එහි යනවිටත් බොහෝ පිරිසක් එහි එක් රැස් වී සිටියෝය. ඔවුන් අත තමන්ට හිමිවූ ජය භූමි ඔප්පුය. ඉඩමේ හිමිකම අතේ දරාගෙන සිටින ඔවුන්ගේ මුහුණු කියන්නේ අහිමිවීමේ බිය සහ වේදනාවයි.


එම්ඒ.එල්. අලිමුදි, ඔහු අප එහි පැමිණි මොහොතේ පටන් මේ සිදුවීම් විස්තර කරන්නට විය. ඔහු සතුව මේ භූමිය පිළිබඳව පැහැදිලි කරන්නට බොහෝ ලිපිගොනු ප්‍රමාණයක් ද සිතියම් කිහිපයක් ද තිබුණි. ඔහු එකින් එක පැහැදිලි කරයි. අවසානයේ ඔහුගේ සිතියම් දිග හරින්නට කනප්පුවේ ඉඩ මදි වූ පසු ඒවා බිම තබාගෙන අපට විස්තර කරන්නට විය. ඔහු පවසන්නේ මේ ඉඩම් ජනතාවට අයත් ඉඩම් බවත් ඔවුන් පුරා විද්‍යා භූමියේ ජීවත් නොවන බවත්ය.


“මුලින්ම පන්සලක් හදන්න හදද්දි පුරා විද්‍යා භූමියේ ඉඩ නොදුන්න නිසා මුස්ලිම් මිනිස්සු තමයි හාමුදුරුවන්ට ඒකට උදව් කළේ. එතකොට අපි කට්ටිය හොඳ යාළුවො වගේ හිටියා. යුද්ධ කාලෙදිත් අපි තමයි මේ හාමුදුරුවන්ව බලා ගත්තෙ. යුද්ධ කාලෙන් පස්සෙ ආපු අය තමයි මේ ගැටුම පටන් ගත්තෙ. ඉස්සර විදේශිකයන් එහෙම මෙහෙ බලන්න එද්දි මේක අපේ ගමට ආඩම්බරයක්. ඒ නිසා අපිත් එයාලව එක්කන් ඇවිල්ල පෙන්නුවා. දැන් අපට ඒ පැත්තටවත් යන්න දෙන්නෙ නෑ.”


පුරා විද්‍යා රක්ෂිතයන් පැවතිය යුතුය, ඒවා ආරක්ෂා කළ යුතුය. එහෙත් පුරාවිද්‍යා රක්ෂිත යැයි පවසා මිනිසුන්ගේ ඉඩම් පන්සල විසින් පැහැර ගැනීම අනුමත කළ නොහැකිය. පුරා විද්‍යා භූමියට ආසන්නයේ දැනට ඉදිකර ඇති නවීනතම ඉදිකිරීම වන්නේ වත්මන් පන්සලයි. ආවාස ගෙයේ සිට පැරණි නටඹුන් වූ විහාරගෙයට ඇත්තේ මීටර් හතර පහකි. එසේම තවම ඉදිකෙරෙමින් පවතින පිළිම සමූහයේද ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ ඒ ඉපැරණි නටඹුන් හි සිට මීටර දෙක තුනක දුරකිනි.
එහෙත් භූමිය බලෙන් අත්පත් කරගෙන ඇතැයි චෝදනා එල්ල වන මුස්ලිම් ජනතාවගේ නිවාස ඇත්තේ පන්සලටත් මීටර දෙතුන් සියයක දුරිනි. එසේම එම ප්‍රදේශවල පුරා විද්‍යා ස්මාරක ඇති බවට සලකුණක් හෝ නැත.


මිනිසුන්ගේ ජනාවාස ආරක්ෂා කර පුරා විද්‍යා රක්ෂිතයක් පවත්වා ගැනීමේ අවස්ථාව පැහැදිලිවම ඇත. 2006 දී සකස් කරන ලද සිතියමට අනුව එය තහවුරු වේ. එහෙත් මේ ජනාවාස අහිමි කිරීමේ කිසිවෙකුගේ වුවමනාව එය ලත් තැන ලොප් වී ඇත.
අලිමුදි අපට සිදුවීම් පැහැදිලි කරන අතරතුර තවත් පිරිසක් ඔවුන්ගේ වාරය පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් පසුවෙති. හාජා හුසේන් තමන්ගේ අතේ ලිපිගොනුවක්ද තබාගෙන මෙතරම් වෙලා අසල කණුවකට බරදී සිටියේය.


“ජේ.ආර් ජයවර්ධනගෙ කාලෙ ඉඳල මගෙ නෝනගෙ අම්ම තාත්ත මෙහෙ ජීවත් වෙලා තියනවා. ඒ කාලෙ අපට මෙහෙන් යන්න කීව නම් අපි කොහෙන් හරි ඉඩමක් අරගෙන යනවා. ඒ කාලෙ ඕනෙ තරම් ඉඩම් තිබ්බා. අපි පොල්ගස් හිටවල අමාරුවෙන් වතුර හොයාගෙන වතුර දාල, ගෙවල් හදල තියෙන්නෙ. අපි ඒ කාලෙ හදපු පොල් ගස් දැන් ලොකුවෙලා. ඒවගෙන් තමයි අපි ජීවත් වෙන්නෙ. දැන් වයසත් ගිහිල්ල. අපේ කාලයත් ඉවරයි. අපට යන්න කීවට කොහෙද යන්නෙ, මැරුවත් අපි යන්නෙ නෑ.” හාජා හුසේන් පවසයි.


“මේ ඉඩම් ගැසට් කරල ඔයාලට යන්න කීවොත් යන්න වෙනවනෙ” අපෙන් ඔහුට ප්‍රශ්නයක්. “අපේ පවුලෙ ළමයි උස්සගෙන කොහෙද යන්න කියන්නෙ. ඊට වැඩිය හොඳයි අපිව මරල දාන එක. අපට යන්න තැනක් නෑ.”
“අපේ ගමේ සාමාන්‍යයෙන් කසාද බඳිනව නම්, දුවගෙ අම්ම තාත්ත ඉඩමක් දෙන්න ඕනෙ ගෙයක් හදා ගන්න. මමත් මගෙ දුවට ගෙයක් හදල දීල කසාද බන්ඳල දුන්නා. දැන් මගෙ බෑනා මට කියනව, ඉඩමට කචල් තියනව. මට මේ ඉඩම හරියන්නෙ නැහැ. මට වෙන ගෙයක් හදල දෙන්න, නැත්නම් මම ඔයාගෙ දුව අත ඇරල වෙන කසාදයක් බඳිනව කියලා” හුසේන් සංවේදී වේ.


“මේ ප්‍රශ්න කොහොම ආවද දන්නෙ නෑ. අල්ලා දෙවියන් තමයි දන්නෙ මේ කොහොම ආවද කියලා” හුසේන් අවසානයේ එසේ පැවසීය.


ආතන් ලෙබ්බේ ලතීෆ් ෆවුදාන්ට සිය විවාහය අනුව සිය මවගෙන් ඇය දැනට ජීවත් වන ඉඩම හිමිවී ඇත. “මගේ පරම්පරා හයක්ම ජීවත් වෙලා තියෙන්නෙ මම දැන් ජීවත්වෙන තැන. අපේ අම්ම තමයි මට මේ ඉඩම දීල මාව ජීවත් කෙරෙව්වෙ. යුද්ධය නිසා අනාථ වෙච්ච 150 මෙහෙ ජීවත් වෙනවා. විහාරමහාදේවිය මේ සිද්ධිය දන්නව නම් එයා කියාවි මේ මිනිස්සුන්ට මෙහෙ ජීවත් වෙන්න කියලා” ඇය කඳුළු සලමින් පවසයි.


“මගෙ පළවෙනි කසාදෙ මහත්තයා නැති වුණා, දැන් තව කෙනෙක්ව කසාද බැඳල ඉන්නෙ, ඒකෙන් මට පොඩි ගෑනු දරුවෙක් ඉන්නව.” ඇය නැවතත් හඬයි.


“මම මැහුම් වැඩ කරල ජීවත් වෙන්නෙ. අපේ ගමට කියන්නෙ ජී6 කියල. ඒ පැත්තෙ වතුර නෑ. අපි ගස් කොළන් හදා ගන්න වතුර ටිකක් ගේන්න හැමදාම අල්ලපු ගම්වලට යනවා. අපි එච්චර දුක් විඳලයි මේ දේවල් හදා ගත්තෙ.” ඒ අතරතුර ඇය අපට ඇයගේ ඉඩමට හිමි ජය භූමි ඔප්පුව පෙන්වයි.


මේ මිනිසුන්ට විදුලි පහසුකම් ලබා දී ඇත. එසේම වසර ගණනාවක සිට ඡන්ද බලය හිමිය. ඔවුන් අනවසර පදිංචි කරුවන් නම්, ඔවුන් බලහත්කාරයෙන් ඉඩම් අලාගෙන සිටින්නන් නම් ඔවුන්ට මේ පහසුකම් ලබා ගත හැකිද? ඒ නිසා මොවුන් බලෙන් ඉඩම් අල්ලා ගත් පිරිස් යැයි චෝදනා කිරීම යුක්තිසහගත දැයි ඔබම සිතා බලන්න.


“අපි විරුද්ධ නෑ ගැසට් කරපු ඉඩම් මනිනවට. හැබැයි අවලංගු කරපු ගැසට් එකේ ඉඩම් මනිනවට අපි විරුද්ධයි. පහුගිය දවසක මේ ඉඩම් මනින්න ආවහම මාව ඇතුළට දාල ගේට්ටුව එළියෙන් ලොක් කරා. මම ඇහුව මට පාරට යන්න අයිතියක් නැද්ද කියලා. එතකොට කීවා, එළියට එන්න එපා. කාටවත් යන්න එන්න දෙන්න නෑ. මැනල ඉවර උනහම එළියට එන්න කියලා. එදා ඉඳල අපි බයයි, මේ ටිකත් එයාල අරගෙන අපි එළවන්නද හදන්නෙ කියලා.” අසීස් පැවසීය.


ගැසට් කළ ඉඩම් මැනීම පිළිබඳව ඔවුන්ට ගැටලුවක් නොවූවද ගැසට්ටුවට අයත් නොවන තමන් ජීවත් වන ඉඩම් කිසියම් හෝ උපක්‍රමයකින් විහාරයට ලබා ගනී වි යැයි මොවුන්ගේ සිත් තුළ නියත බියක් පවතී.


ආණ්ඩුවේ මුහුදු මහා විහාර නාට්‍ය දකින විට එසේ බියක් ඇති නොවුණහොත් පුදුමසහගතය. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මුහුදු මහා විහාරයට ගොස් එහි භික්ෂූන් වහන්සේ හමු වී විහාරයේ වැලි කැටයකටවත් හානියක් කිරීමට නොදෙන බව දිවුරුවේය. එය පිළිබඳව අපට ගැටලුවක් නැත. එහෙත් විහාරයේ වැලි කැට ආරක්ෂා කරන මුවාවෙන් මිනිසුන්ගේ ඉඩම් විහාරයට නතුකර දීම ආරක්ෂක ලේකම්වරයෙකුට යුතු නැත. ගැසට් කළ භූමිය තුළ ඇත්නම් නිවාස ඉවත් කර ඔවුන්ට වන්දි සහ ඉඩම් ලබාදීමේ ගැටලුවක් නැත. එහෙත් ඒ මුවාවෙන් ගැසට් කරන භූමිය වැඩිකර පුරා විද්‍යා භූමිය නොවන නේවාසික භූමිය ආක්‍රමණය කිරීම මේ ගම්වැසියන්ගේ කනස්සල්ලට හේතු වී ඇත. මුස්ලිම් ජනයාද ගැසට් කළ අක්කර තිහ තුළ ඇති නිවාස ඉවත් කිරීම පිළිබඳව එතරම් විරෝධතාවක් නොදක්වයි. එහෙත් ඔවුන් එම නිවාස හසු නොවන මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සැකසූ සිතියම ගැසට් කරන ලෙස ඉල්ලයි. එය සියල්ලන්ගේම සිත් සතුටු විය හැකි පිළිතුරක් කර ගැනීම රජයේ කාර්යයකි. එවිට උපන් ගමේම සතුටින් ඇස් පියා ගන්නට මේ මිනිසුන්ටද හැකිවනු ඇත.


අපි ගම්වැසියන්ගෙන් සමුගන්නා විට බිං කරුවල වැටී තිබුණි. අපට මීටර තුන් හාර සීයකට එපිටින් ඇති ශ්වේත වර්ණ චෛත්‍යය නානාප්‍රකාර විදුලි බුබුලුවලින් වර්ණ ගැන්වී ඇත. එහෙත් ගම සිපගන්නේ ගස් අතරින් එබෙනා සෞම්‍ය සඳ එළිය පමණි.

අගමැතිගේ ප්‍රකාශය වැරදියි
පොතුවිල් මුහුදු මහා විහාරවාසී, උඩලමන්තේ රතනප්‍රිය හිමි


මේ වෙනකොට මේ සම්බන්ධව නඩු කටයුත්තක් ගරු අධිකරණයේ විභාගයට ලක්වෙමින් පවතිනවා. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරල තියෙන්නෙ එක්දහස් නවසිය හැට පහේ ඉදිරිපත් කරපු ගැසට් පත්‍රය. ඒ වගේම ගරු අධිකරණයේදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරල තිබෙනවා එම භූමියේ මැනුම් කටයුතු තවම අවසන් කර නොමැති බව. ඒ අනුව මැනීම් කටයුතු අවසන් වන තෙක් සියලු ඉදිකිරීම් කටයුතු නවත්වන ලෙස නියෝග කොට තිබෙනවා.
පසුගිය අඟහරුවාදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දෙරණ ටීවී එකට කියල තිබ්බ කොහෙවත් නැති අක්කර හැත්තෑවක් ඉල්ලනව කියලා. මේක කොහේවත් නැති හැත්තෑවක් නෙවේ. මේක එක්දාස් නවසිය පනස් එකේ එවකට පුරාවිද්‍යා කොමසාරිස් වෙලා හිටපු සෙනරත් පරණවිතාන මහත්තය නිකුත් කරපු ගැසට් එකේ තියන අක්කර හැත්තෑ දෙක. මෙතන මිනිස්සු පදිංචි කරල තියෙන්නෙ 1964 වගේ. එතකොට පැහැදිලිවම මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වරදින් සිදුවූ දෙයක්. අපි ඉල්ලන්නෙ අපේ උරුමය අපට දෙන්න.

අපි ඔය ටික අයින් කරනවා
පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක


අපි මුහුදු මහා විහාරයට කණ්ඩායමක් යැව්ව පුරාවිද්‍යා භූමියේ කණු හිටවන්න. නමුත් එතනදි හාමුදුරුවො මැදිහත් වෙලා ඒක නැවැත්තුවා. ඒ නිසා එක ක්‍රියාවලිය නවත්වන්න සිදු වුණා.


අපි දැක්කා පුරාවිද්‍යා ස්මාරක අසල පන්සලේ නව ඉදිකිරීම් සිදු කරල තියන ආකාරය. මෙය නීත්‍යානුකූලද?


නෑ. කිසිසේත්ම නෑ. අපි ඔය ටික අයින් කරල හාමුදුරුවන්ගෙ දේවල් හදාගන්න වෙන තැනක් දෙනවා. ඒ වගේම පුරාවිද්‍යා සාධක තියන සෑම ඉඩමක්ම අපි ගැසට් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here