ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


පසුගිය කාලයේ මුළු දිවයිනටම බලපැවැත්වුණු ඇඳිරි නීතිය ඉවත් කිරීමත්, කොවිඞ් අවදානමෙන් මිදුණු බවට රටේ ප්‍රධාන පුරවැසියන්ගේ සිටම පෙන්නුම් කළ වැරදි පූර්වාදර්ශත්, අවදානම නොසලකා හැරි මැතිවරණ ප්‍රචාරණ කටයුතුත්, බොහෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් අවදානම නොමැති බවට ලබා දුන් පණිවුඩත් ආදී බොහෝ හේතු කාරණා මත රටේ මහජනයාට කොවිඞ් අවදානම අමතක කර දමන්නට හේතු ඕනෑ තරම් සපයා තිබුණි. එහෙත් අවදානම අවසන් නැති බවත් නව සාමාන්‍ය තත්ත්වයට මිස සාමාන්‍ය තත්ත්වයට තවත් බොහෝ කලකට පත්විය නොහැකි බැවින් ඊට රට සූදානම් විය යුතු ආකාරයත් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ ඇතැම් පාර්ශ්වයන් මහජනයාට පණිවිඩ ලබාදීමේ අසීරු උත්සායක ද යෙදුණි. ඕනෑම අවස්ථාවක සමාජය තුළින් කොවිඞ් ආසාදිතයන් පොකුරු වශයෙන් වාර්තා විය හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. එහෙත් නව සාමාන්‍ය තත්ත්වය වෙනුවට පෙර තිබූ සාමාන්‍ය තත්ත්වයේ ලෙසම හැසිරීමක් පසුගිය කාලය පුරාවට බොහෝ දෙනා තුළ ද බොහෝ ආයතන තුළ ද දක්නට ලැබුණේය. වරින් වර සැකසහිත සිදුවීම් වාර්තා වූ අවස්ථා තිබුණත් එය ප්‍රත්‍යක්ෂයක් බවට පත්වන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවෙන් හඳුනාගත් රෝගී පොකුර හේතුවෙනි.

අවදානම ඉහළයි


එම රෝගී පොකුරෙන් දින තුනක් තුළ පමණක් දහසකට වැඩි රෝගීන් සංඛ්‍යාවක් හඳුනා ගැනුණි. රෝගී පොකුරේ ආශ්‍රිතයන් 8000කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමුකර තිබෙන බව යුද හමුදාව සඳහන් කරයි. මීට අමතරව වැලිසර පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ එක් අයෙකුට ද ආශ්‍රිතයෙකු බවට පැවසෙන කටුනායක ගුවන්තොටුපොළේ පවිත්‍රතා අංශයේ සේවකයෙකුට ද කොවිඞ් ආසාදිත බව තහවුරු වී තිබුණි. මේ අය අතර රෝග ලක්ෂණ තිබෙන අය මෙන්ම බහුතර පිරිස රෝග ලක්ෂණ නොමැති අය බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේය. එමෙන්ම රෝගීන්ගේ ශරීරය තුළ වෛරස සාන්ද්‍රණය මීට පෙර වාර්තා වූ රෝගීන්ට සාපේක්ෂව ඉතා වැඩි බව නිරීක්ෂණය වන බවත් ඒ හේතුවෙන් රෝගය තවත් අයට බෝවීමේ අවදානම ද වැඩි බව ඔහු සඳහන් කරන්නේය.


කෙසේ වෙතත් මෙතරම් විශාල ආසාදිත පිරිසක් සිටියදී මේ සම්බන්ධයෙන් මීට පෙර අනාවරණය නොවූයේ ද යන ගැටලුව ද මේ වනවිට මතුවී තිබෙන්නේය. නව සාමාන්‍ය තත්ත්වය යටතේ කර්මාන්තශාලා ආයතනවල මෙන්ම සියලු ස්ථානවල දී පිළිපැදිය යුතු යැයි නිර්දේශිත උපදේශන මාලා පිළිපැදීම සම්බන්ධයෙන් මෙන්ම ඒවා සම්බන්ධව පසුවිපරම් කිරීම සම්බන්ධයෙන් ද තිබෙන තත්ත්වය ධනාත්මක නැත. ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට නැත. එමෙන්ම නොකඩවා අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ වැඩි ගණනක් කළ යුතු බවට පසුගිය කාලයේ සිටම අවධාරණය කැරිණි. ඒවායේ ධාරිතාව වැඩිවූ බව ද සඳහන් වූයේය. කොවිඞ් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් පිහිටුවා ඇති ‘ඉටුකම’ අරමුදලෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒවාට අවශ්‍ය මුදල් ද ලබා දුන් බවට පසුගිය කාලයේ වාර්තා වූයේය. එහෙත් දිනකට සිදුකළ හැකි අහඹු පීසීආර් පරීක්ෂණ ද සැලකිය යුතු මට්ටමකට සිදුව නැති බව අනාවරණය වන්නේය. “දිනකට පීසීආර් පරීක්ෂණ ධාරිතාව තුන්දාහක් හාරදාහක් තිබෙනවා කිව්වාට පසුගිය දිනවල පීසීආර් පරීක්ෂණ සිදුකළ ප්‍රමාණය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. මේකට එක පාර්ශ්වයකට ඇඟිල්ල දික් කරන්න බැහැ. වගකිවයුතු සියලුදෙනා මේකේ වගකීම අරගෙන මෙසේ නොවන ලෙස කටයුතු කරන්න ඕනෑ කොහොමද කියලා හොයන්න ඕනෑ. ජාතියක් විධියට තීරණගත යුතු මොහොතකට අපි ඇවිත් තියනවා. හඹා ගොස් පරීක්ෂණ කිරීම, ආක්‍රමණශීලී ලෙස පරීක්ෂණ කිරීම සිදුවිය යුතුයි. අපි මේවා කියද්දී සමහර අය පහුගිය කාලයේ අපිට හිනාවුණා. රෝගීන් වාර්තා නොවුණාට වෛරසය සමාජය තුළ තිබෙන බව අපි කිව්වා, ඒක අද තහවුරු වෙලා තියනවා.” ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේය.


කොවිඞ් අමතක කිරීම


එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ එක්දහස් හත්සියයක් පමණ සේවක පිරිසක් සේවය කළ මෙම කර්මාන්තශාලාව තුළ සෞඛ්‍ය ක්‍රමවේද නිසි ලෙස ක්‍රියාත්මක වුණාද කියන ප්‍රශ්නය තිබෙන බවය. සෞඛ්‍ය අංශ පෙන්වා දුන් උපදේශන බොහෝ අවස්ථාවල ක්‍රියාත්මක නොවූ බවට නම් උදාහරණ ඕනෑතරම් තිබේ. එය මෙම කර්මාන්තශාලාවේ මෙන්ම බොහෝ ස්ථානවල ද නිසි ලෙස ක්‍රියාත්මක වනු දක්නට නොලැබුණේය. මහජනයා තුළ ද ඒවා සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනැගෙන අන්දමේ චිත්‍රයක් රටේ ප්‍රධානීන්ගෙන් ද පසුගිය කාලය පුරාවටම තිබුණේ නැත. සාමාන්‍ය ජනයා සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරීමට උත්සාහ කළ ද එසේ හැසිරීමට අවශ්‍ය නොවන බවට පූර්වාදර්ශ ඕනෑතරම් ප්‍රධාන පුරවැසියෝ සැපයූහ. එබැවින් ප්‍රාථමිකම ආරක්ෂක විධිය වන මුඛ ආවරණ පැළඳීමේ සිටම විහිළුවක් බවට පත්වීම අරුමයක් නොවන්නේය. “මේක කන්දකාඩුවට වඩා ඉතාම භයානකයි. එතැන පළමු රෝගියා හමුවෙද්දී ඒ තට්ටුවේ පමණක් හයසීයකට වැඩි සේවක පිරිසක් වැඩ කර තිබුණා. කලබල වීමටවත් බයවීමටවත් නෙමෙයි මෙහි අවදානම නිසි ලෙස අවබෝධ කරගෙන වගකීමකින් කටයුතු කළ යුතුව තිබෙනවා. අනෙක් අවදානම තමයි මේ පිරිස ලංකාව පුරා ව්‍යාප්තවෙලා ඉන්නවා. මේ ඇඟලුම් කම්හලේ වැඩ කර තිබෙන්නේ මිනුවන්ගොඩ එක්දහස් හත්සියයක් නෙමෙයි. ඒ නිසා මේ මොහොතේ කළ යුතු ප්‍රධානම දේ අවදානම තක්සේරු කිරීමයි. ප්‍රධානම දේ ස්පර්ශකයන් හැකි ඉක්මනින් හඳුනාගත යුතුයි. නොඑසේ නම් ඒ අය හරහාත් තවත් දෙවන පෙළක් තුන්වන පෙළක් ලෙස තවත් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් ඇතිවිය හැකියි.” වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.


ලක්ෂණ නොතකා හැරීම


කොවිඞ් ආසාදිත පොකුරක් හඳුනා ගැනීමට පෙර සැප්තැම්බර් 20 පමණ කාලසීමාවේ සිට මෙම කර්මාන්තශාලාව තුළ උණ, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ තිබූ සේවක පිරිස් සිටි බවට මේ වන විට අනාවරණය වෙමින් තිබේ. එසේ තිබියදී ඔවුන්ට නිවාඩු ලබා නොදෙමින් සේවයේ යෙදවූ බවට ද චෝදනා ඇත. වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ඩාබිදු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධිකාරිකා චමිලා තුෂාරි රාවයට පැවසුවේ රෝගී සේවකයන්ට නිවාඩු ලබා නොදීමත්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිසි ලෙස ක්‍රියාවට නංවා නොතිබීමත්, නිසි අවස්ථාවේ පරීක්ෂා නොකිරීමත් ආදී හේතු මත මේ තත්ත්වය ඇති වී තිබෙන බවය. “පසුගිය දින කීපය තුළ කොවිඞ් 19 හිස එසවීමත් සමග කටුනායක වෙළෙඳ කලාපය හා ඒ අවට බරපතළ අවදානම් තත්ත්වයක් ඇතිවෙලා තියනවා. ප්‍රධාන වශයෙන්ම කොවිඞ් ආසාදිතයින් වාර්තා වුණු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අනුබද්ධව තවත් ආයතන හතරක් කටුනායක අවට තිබෙනවා. ඒ, කටුනායක, සීදුව, ඒකල, වැලිසර. මෙතැන තිබෙන බරපතළම තත්ත්වය තමයි සේවකයින් කියන විධියට පසුගිය සතියක විතර කාලයක් තුළ ඇතැම් සේවකයන්ට උණ තත්ත්වයන් තිබී තියනවා. නමුත් නිවාඩු ඉල්ලා සිටි අවස්ථාවල නිවාඩු ලබාදීමට කටයුතු කර නැහැ. පසුගිය බ්‍රහස්පතින්දා පෝය නිවාඩු දිනයත් එක්ක නිවාඩු ලබා දී තිබුණා. නිවාඩු ලබාගත් අයගෙන් සමහර අයට ගම්වලට ගියාට පස්සේ කොවිඞ් ආසාදිත බවට තහවුරුවෙලා තියනවා. ආයතනයේ මානව සම්පත් අංශයේ බොහෝ දෙනෙකුටත් කොවිඞ් ආසාදිත බවට තහවුරුවෙලා තියනවා. පහුගිය සඳුදා කටුනායක බ්‍රැන්ඩික්ස් එකේ සේවය කරන අය මිනුවන්ගොඩ පොළකට ගියාද කියලා විමසලා ඒ පොළට ගිය අයට ගෙවල්වලට යන්න කියලා තිබුණා. කිසිදු පරීක්ෂණයක් නොකර ඒ අයට ගෙවල්වලට යෑමට කීම අවදානමක්. කටුනායක හැර මේ වන විට අවට ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. කටුනායකටත් අවදානම තිබුණත් කටුනායකට ඇඳිරි නීතිය නොදාන්නේ උපාය මාර්ගයක් ලෙස කියලා හිතෙනවා. මොකද නිදහස් වෙළඳ කලාපය වහන්න සිදුවන නිසායි.”


මෑන්පවර් අතරමං


මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කළ කාර්ය මණ්ඩල සේවකයන් මෙන්ම කම්කරුවන් විශාල ප්‍රමාණයකට කොවිඞ් 19 ආසාදිත බවට තහවුරු වීමත් සමග එම සමාගමටම අයත් වෙනත් කර්මාන්තශාලාවල සේවය කරන සේවක සේවිකාවෝ ද ගැටලුකාරී තත්ත්වයකට පත්ව සිටිති. ඊට තවත් එක් ප්‍රධාන හේතුවක් වූයේ ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන ස්ථිර සේවකයන්ට අමතරව මෑන්පවර් සේවකයන් ලෙස තවත් විශාල සේවක පිරිසක් සේවය කරන බැවිනි. එමෙන්ම ඒ ඇතැම් අය බ්‍රැන්ඩික්ස් ආයතනය යටතේ ම පවතින එකම කර්මාන්තශාලාවේ පමණක් නොව කීපයකම සේවය කරන බැවිනි. කොවිඞ් ආසාදිත පිරිස හඳුනා ගැනීමේ කටයුතු සිදුවන විට මූලිකත්වය ලැබී තිබුණේ ස්ථිර සේවකයන්ට බැවින් මෑන්පවර් සේවකයන් අසීරුතාවට පත්ව සිටින බව දැනගන්නට ලැබුණි. මෑන්පවර් පදනමින් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා කීපයකම සේවය කර තිබූ සේවකයකු පැවසුවේ මෙවැන්නකි. “මම අවුරුද්දකට වැඩි කාලයක ඉඳලා මෑන්පවර් සේවකයෙක් විධියට බ්‍රැන්ඩික්ස් එකට වැඩ කරනවා. පහුගිය කාලේ තිබුණු ලොක්ඩවුන් එකෙන් පස්සේ ජුනි මාසයේ ආපහු අපිට වැඩ පටන් ගත්තා. මුලින්ම මම මීරිගම බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කළා. ඊට පස්සේ කටුනායක බ්‍රැන්ඩික්ස් එකේ දවස් හයක් විතර වැඩ කළා. ඊළඟට වැලිසර බ්‍රැන්ඩික්ස් එකේ මාස මාස දෙකක් විතර වැඩ කළා. ඉන් පස්සේ සීදුව බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කළා. අපි ලොකු කණ්ඩායමක් දවසකට රු. 1100ක වැටුපකට මේ ආයතනවලට වැඩ කළා. මේ සිද්ධිය එක්ක දැන් අපිට ලොකු බයක් තියනවා. මොකද බ්‍රැන්ඩික්ස් එකේ වැඩට දාලා හිටිය සේවකයන්ගේ නාමලේඛනයත් අරගෙන අපේ මෑන්පවර් ඒජන්සි එක අයිති කෙනාට සීදුව බ්‍රැන්ඩික්ස් එකට අඟහරුවාදා එන්න කියලා තිබුණා. ඊට පස්සේ ඒ නාමලේඛනයේ නම් පරීක්ෂා කරලා ෆැක්ටි්‍ර එකෙන් කියලා තිබුණා ෆැක්ටි්‍ර එකේ සිස්ටම් ඒකේ ඒ නම් නැහැ කියලා. මේවා එක්ක අපිට දැන් ලොකු බයක් තියනවා. අපිට මොන පැත්තකින්වත් පිළිසරණක් නැතිවෙයි කියන බය අපිට තියනවා.”


වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරනStand Up Movement Lanka කැඳවුම්කාරිය වන අශිලා දංදෙණිය අප සමග පැවසුවේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ඉලක්ක කර යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවද කර්මාන්තශාලාවේ වැඩ කළ මෑන්පවර් සේවකයන් සම්බන්ධයෙන් කිසිවෙකුගේ අවධානයක් එතරම් යොමුව නැති බවය. කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතවත් නේවාසිකව සිටින බොහෝ සේවක පිරිසක් ද වෙනත් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවලට මෙන්ම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ ද සේවයට රැගෙන ගොස් ඇති නමුත් ඔවුන් මගහැර කටයුතු කිරීමේ න්‍යායක් අනුගමනය කරන බව දැනගන්නට ලැබුණු බව ඇය ද සඳහන් කරන්නීය. “මේ නිසා කටුනායකටත් ලොකු අවදානමක් තියනවා. මේක දැනුවත්වම කරන්න උත්සාහ කරන බවක් අපට පේන්න තියනවා. සමහර මෑන්පවර් ඒජන්සි හරහා බ්‍රැන්ඩික්ස් ආයතනයේ පසුගිය දින කීපය වන තුරුම වැඩ කළ අය ඉන්නවා. එක් මෑන්පවර් ආයතනයකින් මේ කර්මාන්තශාලාවට තමන් යැවූ සේවකයන්ගේ ලැයිස්තුවක් සම්බන්ධයෙන් විමසූ විට කර්මාන්තශාලාවෙන් කියා තිබුණේ ඒ නම් සිස්ටම් එකේ නැහැ, බයවෙන්න ඕනෑ නැහැ කියලයි. කර්මාන්තශාලාව උත්සාහ කරනවා මෑන්පවර් සේවකයන් ඒ අය ළඟ වැඩ කළේ නැහැ කියන්න, ඒකට මෑන්පවර් ආයතනත් අනුබල දෙනවා. ඒ යටතේ වැඩ කළ සේවකයන්ට එතකොට වෙන්නේ මොකක්ද. ඒ වගේම ඇතැම් සේවකයෝත් මේ වෙලාවේ බයට ඉදිරිපත්වෙන්නේ නැහැ. සමහර සේවකයන් පසුගිය දවස්වල මිනුවන්ගොඩ, කටුනායක, මීරිගම, සීදුව, වැලිසර ආදී ලෙස බ්‍රැන්ඩික්ස් ආයතන ගණනාවකම වැඩ කරලා තියනවා.” අශිලා දංදෙණිය පවසන්නීය.


සියල්ල අවදානමක

මේ වන විට උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් කටුනායක කර්මාන්තශාලාවේ සේවකයන් ද සේවයට වාර්තා කිරීමේ බියක් දක්වන බවත් නිවාඩු ලබාදීමට ද කර්මාන්තශාලාව එකඟ වන්නේ නැති බවත් ඔවුහු පවසති. නිවාඩු නොදෙන්නේ නම් පීසීආර් පරීක්ෂණ හෝ සිදුකරන ලෙස කටුනායක පිහිටි කර්මාන්තශාලාවේ සේවකයන් ඉල්ලා සිටියද තවම ඒ සඳහා ද එකඟත්වයක් නොලැබුණු බව එම කර්මාන්තශාලාවේ සේවකයකු පැවසුවේය. කටුනායක බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවක පිරිස තුන්දහසක් පමණ වන බවත් අවට ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීම සමග මේ වන විට දහසකට අඩු සේවක පිරිසක් සේවයේ යොදවා ඇති බවත් එම සේවකයා අප සමග පැවසුවේය. ආයතනය වැසෙන තත්ත්වයට වැඩ නොකරන ලෙස පාලකයන් විසින් සේවකයන්ට පවසන බවත්, සේවයට වාර්තා නොකළොත් වැටුප් ලබා නොදෙන බව පවසමින් මේ වන විට සේවය ලබා ගන්නා බැවින් එම සේවකයන් බියෙන් සේවය කරන බවත් සේවක කණ්ඩායමක් පැවසීය. මෙම සේවක පිරිස් ගම්වලට නොයවා සිටින ප්‍රදේශ තුළම රඳවා ආරක්ෂිත සෞඛ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසත්, ඔවුන්ට අවශ්‍ය ආහාරපාන සපයන ලෙසත්, වැටුප් කප්පාදු නොකරන ලෙස හා සේවයෙන් ඉවත් නොකරන ලෙස වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ගණනාවක් එක්ව රජයට, ආයෝජන මණ්ඩලයට, කම්කරු දෙපාර්තමේන්තුව වෙත 2020 ඔක්තෝබර් 07 වන දින ලිපියක් ද යොමු කර තිබුණි.


වරද කොතැන ද?


වඩා භයානක තත්ත්වය වන්නේ මෙම රෝගී පොකුර ඇතිවීමේ මූලාශ්‍ර සොයා ගෙන නොමැති බව සඳහන් වීමය. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ද මෙම රෝගී සංඛ්‍යාව ඉතා විශාල බැවින් එහි රෝග මූලාශ්‍රය සොයා ගැනීම අපහසු ව ඇති බවය. ඉන්දියාවේ සිට මෙම කර්මාන්තශාලාවට කණ්ඩායමක් පැමිණීම සම්බන්ධයෙන් වාර්තාවීම පිළිබඳව සොයා බැලූ විට එහි සත්‍යතාවක් නොමැති බව තහවුරු වන බව යුද හමුදාපතිවරයා පැවසුවේය. කෙසේ වෙතත් රට තුළ දක්නට තිබූ අනාරක්ෂිත සෞඛ්‍ය වටපිටාව මධ්‍යයේ මෙම වෛරසය සමාජය තුළ පැතිර යෑම සම්බන්ධයෙන් එතරම් පුදුමවීමට ද හේතු නැත. විදේශීය ගුවන්යානා සේවකයන්ගේ විවේකය සඳහා මෙරට වෙන් කරන ලද හෝටල් තිබියදී හබරණ හෝටලයකට පිවිසීමට විදේශිකයන් පිරිසකට මෙරට අමාත්‍ය මණ්ඩලයේම අයෙකුගේ ලේකම්වරයකු සහාය දී තිබූ අවස්ථාවක් පසුගිය කාලයේ වාර්තා වූයේය. අදාළ හෝටලය අවට වාසීන් ඒ සම්බන්ධව සෞඛ්‍ය නිලධාරීන්ට පැමිණිලි කළ පසු එම පිරිස පිටත් කර යවා හෝටල් සේවක පිරිස නිරෝධායනයට ලක් කර තිබුණි. එතෙක් එම හෝටලය වෙත විදේශිකයන් පිරිසක් එලෙස පැමිණ ඇති බවත් ඒ කිසිවකු නිරෝධායනයට ලක් නොවූ අය බවත් සෞඛ්‍ය අංශවල නිලධාරීන් දැන නොසිටියහ. එවැනිම තවත් සිදුවීමක් පසුගිය දිනවල මාතර පොල්හේන හෝටලයක් සම්බන්ධයෙන් වාර්තා වූයේය. එම විදේශික කණ්ඩායම ද නිරෝධායන සම්බන්ධයෙන් වෙන් කළ ස්ථානයක් ද නොවූ එම හෝටලයට පැමිණ තිබුණත් ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීහුද ඒ සම්බන්ධයෙන් නොදැන සිටියහ. කණ්ඩායමේ එක් විදේශිකයෙකු නැවත පිටත්ව යෑමට පෙර පෞද්ගලික රෝහලකින් සිදුකළ පීසීආර් පරීක්ෂණයක කොවිඞ් ආසාදිතයෙකු බවට වාර්තා ලැබී තිබුණි. එම පිරිස එම හෝටලයේ නැවතී සිටි බව හා තවත් විවිධ ස්ථානවලට ගොස් ඇති බව අනාවරණය වූයේ එම සිදුවීම සමගය. විදෙස් ගුවන් සේවක පිරිස්වලට විවේක ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂිත වැඩපිළිවෙළක් තිබියදී රට තුළට එලෙස ඔවුන් පැමිණියේ කෙසේ දැයි විමසන විට රජයේ ප්‍රකාශකයකු අපට පැවසුවේ එම විදේශිකයාගේ ඊළඟ පීසීආර් පරීක්ෂණය නෙගටිව් විය හැකි බැවින් බිය පැතිරවීමෙන් වැළකී සිටින ලෙසය. එහෙත් අපට තිබූ ගැටලුව වූයේ පරීක්ෂණය නෙගටිව් වීම හෝ පොසිටිව් වීම නොව කොවිඞ් සම්බන්ධයෙන් තිබේ යැයි පැවසුණු ආරක්ෂිත වැඩපිළිවෙලට පටහැනි ලෙස මෙලෙස විදේශිකයන් රට තුළට ඇතුළු වූයේ කෙසේ ද යන්නය. කෙසේ වෙතත් එම විදේශිකයා පසුව රජයේ රෝහලකට ඇතුළත් කර තිබූ අතර ඉන්පසු ලබා ගත් පීසීආර් වාර්තාව නෙගටිව් වූ බවට වාර්තා වූයේය.


මේ වන විට ඇඟලුම් කර්මාන්තශාලා දෙසට පමණක් නොව එහි ශ්‍රමය දිය කළ සේවක සේවිකාවන් දෙසට බොහෝ පිරිස් ඇඟිල්ල දිගු කරමින් සිටිති. එහෙත් ගෝලීය වසංගතයක් හමුවේ අපට හුදෙකලා සටනක් කළ නොහැකි බවත්, මෙය භෞතික යුද්ධයකට එහා ගිය වෛරසයක් සම්බන්ධ වූ සෞඛ්‍යමය ගැටලුවක් බවත් සියලුදෙනා වටහා ගත යුතුව තිබෙන්නේය. එය සම්පූර්ණයෙන් පරාජය කළ හැකි ආකාරය තවමත් කිසිදු රටක් සොයාගෙන නැති පසුබිමක් තුළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම සහිත අංශ දිගින් දිගටම පවසන අවදානම සම්බන්ධව නිසි අවධානය යොමු කර ඒ අනුව නිසි සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව ප්‍රමාද වී හෝ සියලු පාර්ශ්වයන් තේරුම්ගත යුතුව තිබේ. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here