ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

කොවිඞ් වසංගතයේ පැතිර යෑම සමග අර්බුදයට ලක්වූවන් අතර විගමණික ශ්‍රමිකයන් ප්‍රධානය. මැදපෙරදිග රටවල සේවයේ නියුතුව සිටි බොහෝ පිරිස් කොවිඞ් වසංගතය හමුවේ පීඩාවන්ට පත්ව සිටින අයුරු අප දිගින් දිගටම වාර්තා කළෙමු. කෙසේ වෙතත් මේ වන විට විගමණික ශ්‍රමිකයන් 12000ක් පමණ නැවත මෙරටට ගෙන්වාගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. එහෙත් නීත්‍යානුකූල ලියකියවිලි රහිත හා සහිත තවත් බොහෝ විගමණික ශ්‍රමිකයන් පිරිසක් මෙරටට නැවත ඒමේ බලාපොරොත්තුවෙන් මැදපෙරදිග රටවල සිටිති. ඒ අතර කොවිඞ් ආසාදිත වීම නිසා සහ වෙනත් හේතු මත එම රටවල දී ම ඇතැම් අය මිය ගොස්ය. එහෙත් ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම හෝ සුබසාධනය වෙනුවෙන් විධිමත් ක්‍රියාවලියක් තවමත් නැති බව නම් පැහැදිලිය. විදෙස් විනිමය මෙරටට ගලා එද්දී විගමණික ශ්‍රමිකයන් රට විරුවන් යැයි කියමින් මුරුංගා අත්තේ තැබූ පාලකයන් අද විගමනික ශ්‍රමිකයන් අසරණ තත්ත්වයකට ඇද වැටෙද්දී ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අය රැක ගැනීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් දියත් කර නැත. තිබෙන වැඩපිළිවෙලවල් ද නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් කටයුතු නොකරන අතර විගමනික ශ්‍රමික ගැටලු සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන්නේ නිද්‍රා සහගත පිළිවෙතක් බවත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේය.


මැදපෙරදිග දී මිය යෑම්


මැදපෙරදිග රටවල දී කොවිඞ්-19 ආසාදානය වීම නිසා 2020 වසර ආරම්භයේ සිට නොවැම්බර් දක්වා ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් 70ක් මිය ගොස් ඇති බවත් ඉන් 56ක් පුරුෂයින් ද 14ක් කාන්තාවන් ද බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රාවයට සඳහන් කළේය. එම කාල පරාසය තුළ දීම ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් 116ක් කොවිඞ් නොවන වෙනත් හේතූන් නිසා මියගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඉන් 74ක් පුරුෂයින් වන අතර 42ක් කාන්තාවන්ය. කොවිඞ් ආසාදිතව මිය ගිය පිරිසට වඩා වැඩි විගමනික ශ්‍රමිකයන් පිරිසක් මෙම කාල පරාසය තුල දී ම වෙනත් හේතු මත මත මැද පෙරදිග රටවල දී මිය ගොස් තිබේ. (1.1 සහ 1.2 ප්‍රස්ථාර)

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ සිය දිවි හානි කරගැනීම්, විවිධ අනතුරු හා විවිධ ස්වභාවික හේතු මත එම මිය යෑම් සිදුව ඇති බවය. එම සියලුදෙනා අතරින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගත වූ අය මෙන්ම එසේ නොමැතිව විදේශගත වූ අය ද සිටින බව පැවසුනත් ඒවා සම්බන්ධයෙන් නිශ්චිත දත්ත වාර ගණනාවක් අප එම කාර්යාංශයෙන් ඉල්ලා සිටිය ද ඔවුහු එම දත්ත ලබා දීම දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටිති. කාර්යාංශයේ ලියාපදිංචි අය සඳහා හිමිවිය යුතු දීමනා අයිතිවාසිකම් තිබුණත් ඒවා ද නිසි ලෙස සිදුනොවන අතර ඒ සම්බන්ධයෙන් විගමනික ශ්‍රමිකයන්ගේ පවුල්වල අය නිසි දැනුවත්භාවයක් නොමැති වීම හා ඉදිරිපත් නොවීම යන කාරණා මත ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීම් සම්බන්ධයෙන් බලධාරීහු ද ඉතා නිද්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමන් සිටිති.


වන්දි ප්‍රමාදය


කොවිඞ් අසාදිතව මැද පෙරදිග රටවල දී මිය ගිය විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් වන්දි ලබා දීම් සිදුවන බවට පසුගිය කාලයේ මෙරට රජය විසින් දිගින් දිගටම ප්‍රචාරය කරනු දක්නට ලැබුණේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති විගමනික ශ්‍රමිකයන්යන් අතරින් මිය ගිය පිරිස් වෙනුවෙන් රක්ෂණ වන්දිය ලෙස ලක්ෂ පහක මුදලක් හිමි විය යුතුය. එහෙත් කනගාටුවට කරුණ නම් මේ වන විට 2020 වසර අවසාන වීමට ද ලංව ඇතත් එම රක්ෂණ වන්දි මුදල තවමත් කොවිඞ් ආසාදිතව මියගිය විගමනික ශ්‍රමිකයන් කිසිවකු වෙනුවෙන් නොලැබී තිබීමය. කොවිඞ් ආසාදිතව මිය ගිය විගමනික ශ්‍රමිකයන්ගේ පවුල්වලට අයත් පිරිස් ද අපට පැවසුවේ තමන්ට එවැනි කිසිදු වන්දියක් මෙතෙක් ලැබී නැති බවය.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අප විමසුවෙමු. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පැවසුවේ මැදිපෙරදිග රටවල දී මිය ගිය විගමනික ශ්‍රමිකයන් අතරින් ලියාපදිංචිය ඇති අයගේ මිය යෑම් වලදී ලක්ෂ 5 බැගින් රක්ෂණයෙන් වන්දි ගෙවීම සිදුවන බව හා ලියාපදිංචිය නැති යම් අයෙක් සිටී නම් ඒ අයට සුබසාධනය සම්බන්ධයෙන් ඇති ප්‍රතිපාදනය හරහා කිසියම් වන්දි මුදල් ගෙවීමක් සිදුකරන බවකි. එමෙන්ම මේ වන විට ඒවාට අදාළ කටයුතු සිදුවෙමින් ඇති බවකි. කෙසේ වෙතත් රක්ෂණ වන්දි වෙනුවෙන් රක්ෂණ සමාගම වෙත යැවීමට මිය ගිය විගමනික ශ්‍රමිකයන් 16 දෙනෙකුගේ පමණක් වාර්තා සම්පූර්ණ කර ඇති බවත් තවම කිසිවකුට ගෙවීම් සිදුව නැති බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා තහවුරු කළේය. ඊට අමතරව කොවිඞ් අසාදිත නොවන වෙනත් හේතු මත මියගිය විගමනික ශ්‍රමිකයන් ද විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුන්ගෙන් ද කාර්යාංශයේ ලියාපදිංචි අයට මෙම වන්දි මුදල හිමිය. ඔවුන්ට එම වන්දි මුදල් ලැබීම් හා නොලැබීම් සම්බන්ධයෙන් අප විමසා සිටිය ද ඊට පිළිතුරු සැපයීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිගින් දිගට ම ප්‍රමාද කළේය. මෙම ලිපිය පළ වන අවස්ථාව වන විටත් ඊට අදාළ දත්ත ඔවුන් ලබා දුන්නේ නැත.


කෙසේ වෙතත් අපට දැනගැනීමට ලැබුණු ආකාරයට රක්ෂණ වන්දි ලබා ගැනීම් සම්බන්ධයෙන් මිය ගිය ශ්‍රමිකයන්ගේ භාරකරුවන් ද එතරම් දැනුවත් නැත. ඔවුන් දැනුවත් කර ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද උනන්දුවක් දක්වන්නේ නැත. මෙම වසර ආරම්භයේ සිට මේ වන තෙක් මිය ගිය කිසිවකුට රක්ෂණ වන්දි නොලැබෙන්නේ සහ ඔවුන්ගේ ලිපි ලේඛන සම්පූර්ණ නොවන්නේ මේ සියලු හේතු මතය. එමෙන්ම කොවිඞ් හේතුවෙන් විගමනික ශ්‍රමිකයෙකුගේ මිය යෑමක් සිදුවූ විට මූලික කටයුතු හා ආගමික කටයුතු ආදිය වෙනුවෙන් රු. 40000ක වන්දි මුදලක් ගෙවන බවට ද රජය පසුගිය කාලයේ නිවේදන නිකුත් කර තිබුණි. නමුත් ඒවා ද නිසි ලෙස සිදුව නොමැති බව රාවයට දැනගන්නට ලැබුණේය. ඒවා සම්බන්ධයෙන් ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිසි පිළිතුරු සැපයූයේ නැත.


හේතු මොනවා ද?


විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්නගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු පැවසුවේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි අය අතරින් මිය ගිය අයට රක්ෂණ වන්දි මුදල ලැබිය යුතු නමුත් මෙතෙක් එම මුදල් කිසිවකුට ගෙවා නැහැ. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බවත් එම වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිය හැකි බවය.


සංක්‍රමණික සේවකයින් සදහා වන ක්‍රියාකාරී ජාලයේ විධායක සම්බන්ධීකාරිනී වයලා පෙරේරාගෙන් රාවය කළ විමසීමේ දී ඇය පැවසුවේ ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තියක් ද ගෙනවිත් තිබුණත් තවමත් විගමනික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එතරම් යහපත් වැඩපිළිවෙලක් සකස් වී නැති බවය. “විගමනික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපේ රජයට හැකි විය යුතුයි.

තාවකාලික ගිවිසුම් මගින් විදේශ ගතවන විගමනික ශ්‍රමිකයන් තවමත් ඉන්නවා. ඒවා රටවල් දෙකක් අතර නීත්‍යානුකූල ගිවිසුම් නෙමෙයි. එවැනි ද්වීපාර්ශවික ගිවිසුමක් නම් සේවය ලබා ගන්නා රට සහ සේවය සපයන රටේ රජයන් ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී ඉන්නවා. ආරක්ෂාව පිළිබඳ වගකියනවා. නමුත් ලංකාවේ බොහෝ සේවා ගිවිසුම් එහෙම ඒවා නෙමෙයි. ඒවා ජාත්‍යන්තර නීති අනුව වෙන්නේ නැහැ. පිලිපීන, නේපාලය වැනි රටවල් ඒවා සම්බන්ධයෙන් ඉතාම ලොකු අවධානයක් යොමු කර තිබෙනවා. එම රටවලින් ශ්‍රමිකයන් සේවා සඳහා යවන්නේ එවැනි ගිවිසුම් මත පමණයි. ඒ නිසා ඒ රටවල රජය සහ සිවිල් සමාජය බලවත්. ඒ වගේම අපේ රටේ වරින් වර ආණ්ඩු මාරු වුණත් මේ සම්බන්ධනේ නිසි හා ස්ථායී විධිමත් වැඩපිළිවෙලක් ගොඩනැගී නැහැ. ඒ නිසා විගමනික ශ්‍රමිකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක තවමත් නැහැ.”


1977 වසරේ පැවති රජය හඳුන්වාදුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට පුරවැසියන්ට විදෙස් රැකියා වෙළඳපොළ දොරටු විවර වූයේ ය. ඒ සමග විශේෂයෙන් මැදපෙරදිග රටවලින් ලැබුණු ඉල්ලුමත් එම රටවල රැකියා සදහා යෑමට එතරම් අපහසුවක් නොවීමත් ආදී හේතු මත ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යා වර්ධනය වූයේ ය. ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් සේවා සපයන්නේ මැදපෙරදිග රටවලට ය. එමෙන් ම 2018 වර්ෂයේ දී මෙරටින් ගෘහ සේවය සඳහා පමණක් පිටත්ව ගොස් තිබෙන ශ්‍රමිකයන් සංඛ්‍යාව 64,938 කි. ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගෙන් මෙරටට වාර්ෂිකව ලැබෙන විදෙස් විනිමය වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 7කට වැඩි ය. ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ මැදපෙරදිග සේවා නියුක්තිකයන්ගෙනි. එම වාර්තා වලට අනුව විගමණික ශ්‍රමිකයන්ගෙන් මෙරට උපයන මුළු ආදායමෙන් 50%කට වැඩි කොටසක් මෙරටට ගලා එන්නේ මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන්ගෙනි. එසේ වුව ද මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන්ගේ නිසි මැදිහත්වීමක් සිදුවන්නේ නැත. වරින්වර විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් විවිධ ප්‍රතිපත්ති යෝජනා ගෙනාවද තවමත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙරට රජය කෙතරම් දුරට මැදිහත් වෙනවාද යන ගැටලුව තිබෙන්නේ ය.

1 COMMENT

  1. ඔවුන් වෙනුවෙන් කිසිවෙකුත් නැති අතර කිසිවෙකුට ඔවුන්ගෙන් කිසිවක් ලැබී නැත.
    සමාජීය ප්‍රශ්නයක් – තිරසාර විසදුමක් නිලධාරීවාදය ඉක්මවා ලබාදිය යුතුයි.
    ලියාපදිංචි නොවූ ඇය ඉන්නවනම් එහම විදේශ ගත වෙන්න තියෙන අවස්ථා මොනවැඩ? ඒ පිළිබද තියෙන වැඩපිළිවෙලවල් මොනවද? හැමදේම කතා කරන්න ඕන.
    අනිත් එක තම බොහොමයක් පවුල්වල වන්දි දෙනවද නැද්ද කියල තේරුම් ගැනිමේ සාක්ෂරතාවය තියන මිනිස්සු ඉන්නවද කියන එක?

Comments are closed.