සංවාදය
කත්‍යානා අමරසිංහ


නව ප්‍රංශ දාර්ශනිකයකු වන කොන්ටෙන් මෙයසුගේ කුළුදුල් කෘතිය “පරිමිතත්වයෙන් පසු – අහඹු බවේ අනිවාර්යතාව පිළිබඳ රචනයක්” නමින් සිංහලයට පරිවර්තනය වී තිබේ. මේ, පශ්චාත් නූතනවාදී දර්ශනවාදයන්ගෙන් පසු සමකාලීන දර්ශනයේ මීළඟ හැරවුම් ලක්ෂය සලකුණු කෙරෙන බව පිළිගැනෙන එම කෘතිය පිළිබඳව එහි පරිවර්තකයා වන වංගීස සුමනසේකර සමග කරන ලද සංවාදයකි. ඇලේන් බදියු ගේ “සාකෝසි යනු කුමක්ද?” (පරිවර්තන), “ආත්මීයත්වය සහ භෞතික ලෝකය”, “ඉබ්බාගේ ලෝකය” (විමුක්ති ජයසුන්දර සමග) ඔහු විසින් රචනා කරන ලද අනෙකුත් කෘතීන් අතර වෙයි.

නූතන දර්ශනය පිළිබඳ කතිකාව ඇතුළෙ කොන්ටෙන් මෙයසූ ව ඔබ ස්ථානගත කරන්නේ කොතැනද?


මේකට එක උත්තරයක් තමයි තවම දන්නේ නෑ කියන එක. දර්ශනය පිළිබඳ විෂයයේ එක ප්‍රශ්නයක් තමයි, ඒක ඉතාම හෙමින් පරිණාමය වීම. 90 දශකයේ ලංකාවේ ජනප්‍රිය වෙච්ච ඩෙරීඩා වගේ දාර්ශනිකයෙක් ගත්තොත් ඩෙරීඩා දර්ශන ඉතිහාසයේ ස්ථානගත කිරීම ගැන තවම නිශ්චිත එකඟතාවක් නෑ. දර්ශන ඉතිහාසයේ අවසානයට නම ඉතුරු වෙලා තියෙනව කියල කියන්න පුළුවන් දාර්ශනිකයා තමයි හෛඩගර්. ඒ කියන්නේ, උදාහරණයක් විදියට, තව අවුරුදු දෙසීයකින් – ඒ වෙනකොට දර්ශනය ඉගෙන ගන්න අය ඉතිරි වෙලා හිටියොත් – මට සහතික කරල කියන්න පුළුවන් එයාල හෛඩගර්ව කියවයි. කාන්ට්ව කියවයි. හේගල් ව කියවයි. හැබැයි තව අවුරුදු දෙසීයකින් ඩෙරීඩා කියවයිද කියල ඇහුවොත් ඒකට උත්තරේ තවමත් අපි දන්නේ නෑ කියන එක. තව අවුරුදු දෙසීයකින් මෙයසූ ගේ වැදගත්කම ඉතුරු වෙයිද කියල ඇහුවොත් මගේ උත්තරේ, ඔව්, ඒක එහෙම වෙන්න ඕන. හැබැයි ඒක සහතික කරල කියන්න බෑ. සහතික කරන්න පුළුවන් කාන්ට් වගේ අයව කියවනව කියන එක විතරයි. මෙයසූ කියවීම මගේ ඔට්ටු ඇල්ලීමක් විතරයි. හැබැයි මේ පැහැදිලි කිරීම කරලා මම මෙහෙම කියන්නම් – මගේ ඔට්ටු ඇල්ලීම තමයි ඉදිරි සියවස තුළ ලෝකයේ ප්‍රධානම නව දාර්ශනික කේන්ද්‍රය බවට මෙයසූ ගේ අදහස් පත්වෙනවා කියන එක.


දර්ශනය එදිනෙදා අපි ගතකරන ජීවිතයෙන් වියුක්ත දෙයක්, අදාළ නැති දෙයක්, ඇකඩමික් දෙයක් වගේ මතයක් බොහෝ දෙනකු අතර තියෙනව. දර්ශනය සහ අපේ එදිනෙදා ජීවිතය අතර සම්බන්ධය පැහැදිලි කරන්නේ කොහොමද?


මේ ලෝකයේ කිසිම කෙනෙකුට ජීවත් වෙන්න බෑ ජීවිතය පිළිබඳ දාර්ශනික ස්ථාවරයක් නැතිව. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක සිද්ධ වෙනවා. මිනිසාගේ පැවැත්මේ ලක්ෂණයක් තමයි අපි කොහොමද ඉන්න ඕන කියන එක ගැන අදහසක් තිබිය යුතු වීම. ඒත් අපි ඉන්න ඕන මෙන්න මේ විදිහට කියල පරම වූ අර්ථයකින් පැහැදිලි කරන්න බෑ. අප ජීවත්වන සමාජය මගින් අප ජීවත් වෙන්න ඕන මෙන්න මේ විදිහට කියල අදහසක් දෙනව. දකුණෙ මධ්‍යම පාන්තික සිංහල පවුලක කෙනෙක් ගත්තොත් බොහෝ වෙලාවට ඉගෙනගෙන, උපාධියක් අරගෙන, රස්සාවක් කරල, විවාහ වෙලා, ළමයි හදල, ළමයි හොඳ ඉස්කෝලවලට දාල, ගෙවල් දෙරවල් හදල යාන වාහන අරගන්නව. ඊළඟට අවුරුදු හැට හැත්තෑ වෙද්දී බණ භාවනා කරන්න යනවා. නමුත් ඉතින් අපි කල්පනා කළොත් ඇයි එහෙම කරන්නේ? පිරිමින්ටත් වඩා මධ්‍යම පාන්තික කාන්තාව මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. අවුරුදු විසි ගණන්වලදි බලාපොරොත්තු තියාගෙන ජීවිතය පටන් ගත්ත ඔවුන් අවුරුදු පනහෙදි විතර මේ ජීවිතය මොකක්ද වගේ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනව. මේ තත්ත්වය හොඳින් නිරාවරණය වෙන තැන් තමයි පවුලේ කෙනෙකු හෝ ළඟම හිතවතෙකුගේ මරණය වගේ වෙලාවක ජීවිතය පිළිබඳ අපි දරාගෙන හිටපු අර සමස්ත අර්ථය බිඳ වැටෙන එක. එතකොට, ඒ හිස් තැන පුරවගන්න තමයි බොහෝ දෙනා ආගමට විශාල නැඹුරුවක් දක්වන්න පටන් ගන්නේ. අර විදිහේ ජීවිත ගමනක් යන්නේ ඇයි කියල ඇහුවොත් ඒ කාටවත් නිශ්චිත අර්ථයක් නෑ. හැමෝම කරන නිසයි කරන්නේ. දර්ශනය කියන්නේ මෙන්න මේ නිශ්චිත ප්‍රශ්නයට – අපි කොහොමද ජීවත් වෙන්න ඕන කියන එක ඉතාම ගැඹුරු ආකාරයෙන් විමසා බැලීමට. කවුරු හරි කියනවා නම් මැරුණට පස්සේ ලබන ආත්මයක් ලබනවා, නිවන් දකිනවා කියල එක්තරා විදිහකට ඒකත් ලෝකය ගැන දාර්ශනික ස්ථාවරයක් විදිහට ගන්න පුළුවන්. එකම ප්‍රශ්නේ ඒක දාර්ශනික ස්ථාවරයක් විදිහට දුර්වල වීම.


මෙයසූ ගේ දාර්ශනික අදහස ‘අහඹුබවේ අනිවාර්යතාවය’ නමිනුයි ඔබ අතින් පරිවර්තනය වෙන්නේ. අහඹුබව සහ අනිවාර්යතාව යන්නෙහි නිශ්චිත අර්ථය පැහැදිලි කිරීම මේ කෘතිය කියවන්නෙකුට අතිශයින් වැදගත්.


මෙතනදි අහඹුබව කියල මම පරිවර්තනය කරන්නේිජදබඑසබටැබජහ’ කියන ඉංග්‍රීසි වචනය. මේ වචනයට පාරිභාෂික ශබ්ද මාලාවල තියෙන්නේ ‘ආපතිකතාවය’ සහ ‘අනිශ්චය’ කියන වචන දෙක. අනිශ්චය කියන වචනය ඇතුළෙ තියෙන්නේ යම් නිශේධනාත්මක අර්ථයක්. නමුත් මෙයසූ ගේ දර්ශනය ඇතුළේ මේ වචනය යෙදෙන්නේ ඉතාම සාධනීය අර්ථයකින්. ආපතිකතාවය මම පාවිච්චි නොකළේ එය අමාරු වචනයක් නිසා. පුළුවන් තරම් කියවීම පහසු කිරීම පරිවර්තකයගේ වගකීමක් නිසා. අහඹුබව කියන එකට කෙටි පැහැදිලි කිරීමක් කළොත් ඒකෙ ප්‍රතිවිරුද්ධ මතය තමයි අනිවාර්යතාවය. ඒ කියන්නේ, අපට පුළුවන් ලෝකය සහ ජීවිතය ආකාර දෙකකට තේරුම් ගන්න. පළමුවැන්න තමයි මේ ලෝකයෙ සියල්ල සිදු වන්නේ කිසියම් අනිවාර්තාවකින් කියන එක. හැම දෙයම සිදුවන්නේ කුමක් හෝ හේතුවකට, දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව, එහෙම නැත්නම් ලබා උපන් විදිහට වගේ අදහස් මේ අනිවාර්යතාවට අයිතියි. මේ විදිහට ගියාම කිසියම් අහඹු භූගෝලීය සිදුවීමක් වුණත්, කර්මය නිසා සිදුවෙනව, පින් පව් නිසා සිදුවෙනව කියල කිසියම් අනිවාර්යතාවකට යටත් කරන්න කාට හරි පුළුවන්.


ලෝකය තේරුම් ගන්න පුළුවන් දෙවැනි විදිහ තමයි මේ කිසිම දේකට හේතුවක් නෑ කියන අදහස. සියලු සිදුවීම් කිසියම් ‘කනා ෂොට් එකක්’ කියල හිතන එක. සම්පූර්ණ අහම්බයකින් මහා පිපිරුම සිදුවුණා, ඉබේම විශ්වය ප්‍රසාරණය වුණා, මන්දාකිනි ඇතිවුණා, ජීවය බිහිවුණා ආදී වශයෙන්.


මෙයසුගේ ව්‍යාපෘතියේ තිබෙන නවීනත්වය තමයි සාම්ප්‍රදායිකව ලෝකය අර්ථකථනය කරන මේ ප්‍රතිවිරුද්ධ මාදිලීන් දෙක අතර සම්බන්ධයක් ගොඩ නගන එක. වෙනත් විදියකට කියනව නම් මේ ප්‍රතිවිරුද්ධතාවන් දෙක එකට එකතු කරන එක. ඒ තමයි අහම්බය හෝ අහඹුබව ම අනිවාර්යතාවක් යනුවෙන් හැඳින්වීම. අහඹුබවේ අනිවාර්යතාව කියන්නේ ඒකට. වඩා පැහැදලි කළොත් අහම්බයක් (අහඹු සිදුවීමක්) ඇතිවන්නේ ඇයි කියල ඇහුවොත් කියන්න තියෙන දේ තමයි ඒ අහම්බය පාලනය කරන්න ඊට වඩා උත්තරීතර නීතියක් නෑ කියන එක. එහෙම ගත්තම අහම්බය යනු ම උත්තරීතර නීතියක් නෙමෙයිද, සියල්ලට ඉහළින් තියෙන අනිවාර්යතාවයක් නෙමෙයිද? ඒක තමයි මෙයසූ කියන්නේ.


දේශීයව සහ ගෝලීයව ආගමික අන්තවාදය, ජාතිකවාදය ඉස්මතු වන සන්දර්භයක, මේ දේශපාලන මොහොතට මෙයසූ ගේ මේ දාර්ශනික අදහස අදාළ වෙන්නේ කොහොමද?


ඒක නිශ්චිත ප්‍රශ්නයක්. මම මේ පොත පරිවර්තනය කරන්න ගත්ත හේතුවත් ඕකමයි.
සිංහල ජාතිකවාදය ගත්තතොත් ඒක වර්ධනය වීම පිටුපස දාර්ශනික භූමිකාවක් තියනව කියන එක කාලයක් තිස්සේ මම පෙනී ඉන්න ස්ථාවරයක්. මෙයසූ ගේ මේ කෘතිය සම්බන්ධයෙන් මගේ තියෙන බැඳීම ආරම්භ වන ලක්ෂ්‍යය ඒක. මේ සිංහල ජාතිකවාදය පදනම් වෙන දාර්ශනික සාධකය ඓතිහාසිකව සංකේතවත් කරන සංවාදය තමයි නලින්ද සිල්වාගේ “මගේ ලෝකය” කෘතිය. ඔහු අසූව දශකයේ මැද ඒ කෘතිය පළ කරනවා. මේ කෘතියේදී ඔහු දැනුම ලබා ගැනීම සහ යථාර්ථය සම්බන්ධයෙන් නිශ්චිත ස්ථාවරයක් ඉදිරිපත් කරනවා.


මේ ලෝකය පිළිබඳ අපට තියෙන දැනුම සාපේක්ෂයි. අපට යථාර්ථය පිළිබඳ නිශ්චිත, පරම වූ, වාස්තවිකව නිවැරදි වූ දැනුමක් වෙත යන්න බෑ. අපට ලෝකයේ පරම වූ ස්වභාවය තේරුම් ගන්න බැරි නම් අපට ලෝකය තේරුම් ගන්න පුළුවන් කොන්දේසි මොනවද කියන එක තමයි අපිට බලන්න වෙන්නේ. අපි අනිවාර්යයෙන්ම ලෝකය තේරුම් ගැනීමේදි, ඓතිහාසිකව අපට උරුම වෙන සංස්කෘතිය සහ සම්ප්‍රදාය අප ලෝකය තේරුම් ගන්න ආකාරය රාමුගත කරනව කියන කාරණාව, එතනදි යෝජනා වෙනවා. ඊට අනුව අපි කන බොන විදිහේ, අඳින පළඳින, හිතන පතන විදිහේ ඉඳලා ආකල්ප සකස් වෙන්නේ සම්ප්‍රදායෙන් උරුම වෙච්ච සිතීමේ ක්‍රමයක් හරහා බව කියැවෙනව. එතකොට අපිට මේ ජීවිතය මෙයට වඩා යහපත් කර ගන්න, මෙයට වඩා යහපත් අනාගතයක් බිහි කරන්න, ජීවිතයේ වේදනාවන් නැති කරන්න, නිදහස නැත්නම් විමුක්තිය සොයා ගන්න තියෙන්නේ මේ සිතීමේ රාමුව තුළින් විතරයි. එතකොට අපිට අවසානයේ දී ඉදිරිපත් වෙන්නේ මේ සම්ප්‍රදාය විසින් ලබා දීලා තියෙන මිනිස් පැවැත්මේ අවසානය – සසරේ අවසානය. වෙනත් විදියකට කියනවනම් මේක අවසන් වන්නේ අපේ සාම්ප්‍රදායික ආගමික විශ්වාසයන් අපේ සිතීමේ පසුකර යා නොහැකි සිතිජය ලෙස හඳුනා ගනිමින්. එතකොට ඒ ගැලවීමට පදනම් වෙන සංස්කෘතික සම්ප්‍රදාය ආරක්ෂා කරන එක ඉතා බරපතළ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒක තමයි නලින් ද සිල්වා ඇතුළු ජාතිකවාදීන් කියන්නේ මේක සිංහල බෞද්ධයන්ගෙ රට කියල. මොකද ඔවුන්ට අනුව සිංහල බෞද්ධයන්ගේ රට තිබුණොත් තමයි සම්ප්‍රදාය ආරක්ෂා වෙන්නේ. ඒක ආරක්ෂා වුණොත් තමයි ගැලවීම සම්බන්ධ බලාපොරොත්තුව වූ නිවන පිළිබඳ විශ්වාසය තියෙන්නේ. එතකොට නිවන් දැකීම සඳහා ඉඩකඩ අපට දෙන සමාජ සංස්කෘතික අවකාශයක් ගොඩ නගන්න ඕන. ඒක තමයි සිංහල බෞද්ධ රාජ්‍යය. ඒක ගොඩ නැගීම පිටුපස පැහැදිලි දාර්ශනික ස්ථාවරයක් තියෙනව කිව්වේ ඒකයි. නමුත් මේ කාරණයත් කියන්න ඕන. මම කිසිසේත් කියන්නේ නෑ සිංහල බෞද්ධ ජාතිකවාදය දර්ශනයේ ප්‍රතිඵලයක් කියලා. ලංකාවේ සිංහල බෞද්ධ ජාතිකවාදයේ කියන්නේ අතිශයින් සංකීර්ණ දේශපාලනික ප්‍රපංචයන්. ඒක ආර්ථික සාධක, ඓතිහාසිකව විසඳගන්න බැරි වෙච්ච වාර්ගික අර්බුදය, ලංකාවේ රාජ්‍ය පාලකයන් සිය බල ව්‍යාපෘති මෙහෙයවපු ආකාරය, ජාත්‍යන්තර දේශපාලනය වගේ සංකීර්ණ සාධක ගණනාවක් මත ඇති වූ දෙයක්.


මම කියන එකම දේ තමයි මේක පිටි පස්සේ දාර්ශනික සාධකයකුත් තියනවා කියන එක. මම හිතනවා මේ මතවාදී ප්‍රශ්නය සමග පොර බැදීම මේ කාලේ ඉතා වැදගත් දෙයක් කියලා. උදාහරණයක් විදියට ලංකාවේ දෙමළ ප්‍රශ්නය වෙනුවෙන් සමාජය සහ රාජ්‍ය ව්‍යුහය වෙනස් කර ගන්න එකඟතාවක් හෝ විසඳුමකට යන්න බැරි වෙන එක දෙයක් තමයි ඒ විසඳුම සඳහා සිංහල මිනිසුන්ගේ අකමැත්තට අමතරව ඒ අකමැත්ත සාධාරණීකරණය කරන අර වගේ බුද්ධිමය මතවාදී අර්ථයක් බිහි වෙලා තිබීම. අන්න ඒක පිටිපස්සේ තමයි දර්ශනය විසින් ලංකාවේ ඇති කරපු භූමිකාව තියෙන්නේ මම කලින් සඳහන් කරපු. මං විශ්වාස කරන විදිහට මෙන්න මේ ප්‍රශ්නයට අපි විකල්පයක් නිර්මාණය කරන්න ඕන. විශේෂයෙන් මේ ප්‍රශ්නය තීව්‍ර වෙන්නේ ලංකාවේ – සහ ලෝකයේ – සම්භාව්‍ය මාක්ස්වාදය සඳහා තිබුණු බුද්ධිමය ආධිපත්‍ය දුර්වල වීමත් එක්ක. මේත් සමගම විකල්ප ලෝක දැක්මක් පිළිබඳව තිබුණු බැරෑරුම් දාර්ශනික ස්ථාවර අභියෝගයට ලක් වුණා. මේ අභියෝගයට ප්‍රතිචාරයක් ලෙස විකල්ප ලෝක දැක්මක්, ලෞකිකවාදී, නූතනවාදී, භෞතිකවාදී ලෝක දැක්මක් නිර්මාණය කරන එක අත්‍යවශ්‍ය දෙයක් කියල මං හිතනව. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ශක්තිමත්ම දාර්ශනික විකල්පය තියෙන්නේ මෙයසූ විසින් අපට විවෘත කරල දීල තියෙන මේ අලුත් පාරේ.


මෙයසූ ගේ දර්ශනය එක පැත්තකින් සමකාලීන ආගමිකත්වයේ නැගීමට අභියෝගයක් එල්ල කරන අතර, විය හැකි බවේ පරමත්වය යන අදහස හරහා නිවන හෝ ස්වර්ගය වැනි අදහස් වුවත් ප්‍රතික්ෂේප කරන්න බෑ කියල කාට හරි ඕන නම් තර්කයක් ගේන්න පුළුවන් නේද? එවැනි ආගමික අදහස් විය නොහැකියාවක් ලෙස තර්ක කරන්නේ කොහොමද?
මේ ලෝකේ ඕනම කෙනෙකුට ඕනම දෙයක් විශ්වාස කිරීමේ අයිතිය තියෙනවා. නමුත් ප්‍රශ්නේ මේකයි. ඒක මමත් හුදු විශ්වාසයකින් එහා පැත්තේ දෙයක් ලෙස බාර ගන්න නම් මට අමතර කරුණු ටිකක් පැහැදිලි කරන්න ඕනේ. එහෙම නැති තාක් ඒවා විශ්වාසයක් ලෙස බාර ගැනීම හැර වෙන සාධාරණ හේතුවක් නෑ. ඒ වගේ ඇදහිය නොහැකි විශ්වාසයන් වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්ටම තමයි ඒවා සාධනය කිරීමේ, පැහැදිලි කිරීමේ වගකීම තියෙන්නේ. අපට නොවේ. අපට ඕන නෑ ඒක හරිද වැරදිද කියන්න. මෙයසූ විතරක් නෙමෙයි කාන්ට්ගෙන් පස්සෙ ඕනම දාර්ශනිකයෙක් කියයි ඒව ප්‍රතික්ෂේප කරන්න බෑ කියල. එකම දේ අපට යමක් ප්‍රතික්ෂේප කළ නොහැකි වූ පමණින් එය නිවැරදි වෙන්නේ නෑ. ඒ පළවෙනි කාරණේ.


දෙවනි එක මෙයසූ ගේ ‘වියහැකි බවේ පරමත්වය’ පිළිබඳ අදහස මගින් අදහස් වෙන මූලික දේ තමයි විය හැකි බවේ පරමත්වයට වඩා උත්තරීතර කිසිවක් නෑ කියන එක. එතකොට ගම්‍ය වෙන අදහස තමයි දෙවියන් වහන්සේ ඉන්නව කියල කිව්වොත්, සහතික වශයෙන්ම ඔහු සර්වබලධාරී නෑ කියන එක. ඇයි ඒ? දෙවියන් පවා අහඹුබවේ අනිවාර්යතාවට යටත්! මෙයසූ ගේ තර්කය බැරෑරුම් ව ගත්තොත් නිවන් දකින්න හෝ ලබන ආත්මයක් වගේ එකක් පිළිගැනීම නෙමෙයි තියන ප්‍රශ්නය – ඒක ඒ විශ්වාසයන් වෙනුවෙන් පෙනී ඉන්න අයම ඔප්පු කළා කියමු – ඒත් අහඹු බවේ අනිවාර්යතාවට අනුව ඒ තත්ත්වයන් යටතේදී ඕන නම් නිවන් දැකපු කෙනෙක් නැවත ඉපදෙන්නත් පුළුවන්. වියහැකිභාවය පරමයි කියල මෙයසූ ඉදිරිපත් කරන අදහස නිසා ඕනෑම ආගමික අවසානයක් කිසිදා නියත අනිවාර්යතාවයක් වෙන්නේ නැති වෙනවා.


අනික තමයි මේ කෘතියේ සඳහන් සොබාදහම් නීතිවල අහඹු බව පිළිබද අදහස. සොබාදහමේ සියල්ල සිදුවන්නේ අහඹුවට නම්, ජීවිතයේ සියල්ල සිදුවීම් අහඹු නම්, අපට ඊළඟ මොහොතේ කුමකින් කුමක් වේදැයි අවිනිශ්චිතතාවයකින්, භීතියකින් සිටින්න වෙනවා. ආගමික කතිකා මගින් උත්තර සපයන්නේ මේ කියන අවිනිශ්චතතාවට සහ භීතියට. පින්, පව්, යහපත අයහපත වැනි සංකලප හරහා. ප්‍රායෝගිකව මේ සන්දර්භය ඇතුළේ දර්ශනය හරහා ආගමික කතිකාවට අභියෝග කරන එක පහසු කාරණයක්ද?


ඕකට ඉතාම හොඳ උත්තරයක් තියෙනවා. ඔව්. ඒක විශාල අභියෝගයක් තමයි. ඔය ප්‍රශ්නයට දෙන උත්තරයට තමයි දර්ශනය කියල කියන්නේ. දර්ශනයේ සමාරම්භක කතාව තුළ ඔය කියන ප්‍රශ්නය මතු කරපු කෙනා තමයි සොක්‍රටීස්. ඊට කලින් ස්වභාවික විද්‍යාඥයන් කියන අය දෙවිවරුන් විසින් පාලනය කරන ලෝකය කියන අදහස බැහැර කරමින් ලෝකය සබුද්ධික ආකාරයට, ආගමික නොවන ආකාරයට, යථාර්ථය පිළිබඳව අදහස් ඉදිරිපත් කළා. මේ පූර්ව සොක්‍රටීසියානු චින්තකයන්ගේ මැදිහත්වීම් එක්ක ලෝකය ගැන ඔය ප්‍රශ්න ටික ආවා. එසේ නම් අපේ වටිනාකම්වලට මොකද වෙන්නේ, අපේ හරි වැරුද්ද, යහපත අයහපත, හරහා ලෝකය තේරුම් ගන්නේ කොහොමද වගේ කාරණා. ඒ තේරුම් ගැනීම කලින් අදාළ වුණේ දෙවිවරුන් ගැන කතන්දර ටිකක් උඩයි. ඒ කතන්දර ටික චිත්‍රයෙන් අයින් කළාට පස්සේ යහපත, අයහපත, හොඳ නරක, වටිනාකම් කියල අපි ලෝකය හඳුනා ගන්න ඒවාට පදනමක් දෙන්නේ කොහොමද? ඒක තමයි සොක්‍රටීස් එෛතිහාසිකව අහපු ප්‍රශ්නය. ඔහු ඇහුවා සත්ගුණයන් ( virtue) කියන්නේ මොකද්ද කියන කේන්ද්‍රීය ප්‍රශ්නය. උදාහරණයක් ලෙස මේ සියල්ල අහඹු ලෙස පාලනය වෙනවා නම් වෙන මනුස්සයෙක්ට ගිහින් පිහියකින් ඇන්නත්, ඒ මනුස්සයා බදාගෙන කෑම වේලක් දුන්නත් ඒ දෙකේ හොඳ නරක කියල බෙදන්න පදනමක් නෑනෙ. අපිත් ටික කාලෙකින් මැරිලා යනවා. අවුරුදු දෙසීයකින් මේ කිසිවක් කිසිවකට අදාළ වෙන්නේ නැහැ.

එහෙම නම් අපට සිද්ධ වෙනවා යහපත කියන එකට විකල්ප දාර්ශනික අර්ථයක් දෙන්න. ඒක තමයි දර්ශනයෙන් කරන්නේ. ඔයා අහපු ප්‍රශ්නයට ආවොත් මේක අභියෝගයක් කියන එක අපි දන්නවා. කොයි තරම් අභියෝගයක්ද කියනව නම් සොක්‍රටීස්ට විශාල විරෝධයක් සමාජයෙන් එල්ල වුණා. ඔහුට එල්ල වෙච්ච චෝදනාව තමයි තරුණයන්ගේ ඔළු නරක් කිරීම සහ දෙවියන් විශ්වාස නොකිරීම. අවසානයේදී සොක්‍රටීස්ව මරා දමනවා, මේ ප්‍රශ්න කිරීම නිසා. ඉතින් දර්ශනය කියන්නෙම මේ අභියෝගය තුළින් උපන් දෙයක්. මේ අතිවිශාල ගැටලුවට මුහුණ දීම තමයි දර්ශනයේ ඉතිහාසය කියන්නේ. මේ ප්‍රශ්න සඳහා විකල්ප තාර්කික පිළිතුරක් නිර්මාණය කරන්න ගත්ත උත්සාහය තමයි දර්ශනය කියන්නේ. මෙයසූ ගේ උත්සාහය තමයි ඔය ප්‍රශ්නය සම්බන්ධව සමකාලීන, ඒ කියන්නේ පශ්චාත්-කාන්ටියානු දර්ශනයේ කොන්දේසිවලට යටත්ව මේ සම්භාව්‍ය ඓතිහාසික ප්‍රශ්නයට උත්තරයක් සෙවීම.