වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේශ්

සාකච්ඡාව – ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

දැනට කොවිඞ්-19 හඳුනා ගැනීමට පීසීආර් පරීක්ෂණ කළ හැකි රජයේ රසායනාගාර කොපමණ තිබේ ද?

දැනට පීසීආර් පරීක්ෂණ කරන්න පුළුවන් රජයේ රසායනාගාර 16ක් තිබෙනවා. මූලික වශයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය, අනුරාධපුර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල යන ස්ථානවල වෛරසවේදය ස්ථාපිත කළ රසායනාගාර තිබෙනවා. ඊළඟට විශාල වියදමක් කර සුවිශේෂී විධියට මුල්ලේරියාවේ රසායනාගාරයක් හැදුවා. බණ්ඩාරනායක ගුවන්තොටුපොළ තුළත් මේ වෙනුවෙන්ම රසායනාගාරයක් හැදුවා. යාපනය, මඩකළපුව, රත්නපුරය ආදී ලෙස තවත් රසායනාගාර දහයක් පමණ මේ වෙනුවෙන්ම හැදුවා. ඊට අමතරව ක්ෂය රෝග මර්දන හා ළය රෝග මර්දන ව්‍යාපාරය ඇතුළේ පීසීආර් යන්ත‍්‍ර 36ක් තියනවා. දැනට ඒ සමහර ඒවායේ වැඩ කරන්න පටන් අරගෙන තියනවා.


එම රසායනාගාරවල කොපමණ ධාරිතාවක් තිබේද?

දැනට මේ රසායනාගාර 16 හි දිනකට 6000ක පමණ ධාරිතාවකට යෑමේ හැකියාව තියෙනවා. ඒ හොඳ සැපයුම් ජාලයක් තුළ නොවෙයි. නමුත් අපිට හොඳ සැපයුම් ජාලයක් තිබෙනවා නම් සහ පැය විසිහතරේම ඒ කටයුතු කිරීමේ පහසුකම් ලබා දෙනවා නම් ඊටත් වැඩි ධාරිතාවකට යා හැකියි. දැනටත් ඇතැම් අයට අතිකාල නොගෙවීම් ආදී ගැටලූ නිසා මේ එක් රසායනාගාරයක්වත් පැය විසිහතර වැඩ කරන්නේ නැහැ. ඒ වගේම උපකරණත් යල්පැන ගිය ඒවායි. ඒ තත්ත්වයන් යටතේ වුවත් දැනටත් 6000ක වැනි උපරිම ධාරිතාවක් තිබෙනවා. ඊට අමතරව ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය තුළ තිබෙන යන්ත‍්‍ර 36ට අවශ්‍ය ප‍්‍රමාණයේ ප‍්‍රතික‍්‍රියක ලැබෙනවා නම් එතැන 4500ක් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව 10000කට වැඩි ධාරිතාවක් සපයා ගැනීමේ හැකියාව දැනටමත් තිබෙනවා.


මෙරට තුළ කොවිඞ් දෙවැනි රැල්ල ඇතිවීම සමග පීසීආර් පරීක්ෂණ කිරීම පෞද්ගලික අංශයේ රසායනාගාර වලටත් ලබාදීම ජාවාරමක් බවට මත පළවුණා. එහි පදනම මොකක් ද?

පැහැදිලිවම පෞද්ගලික අංශයේත් පීසීආර් පරීක්ෂණ කරන්න පුළුවන් රසායනාගාර 4ක් පමණ තිබෙනවා. ඔවුන්ගේ රසායනාගාර පද්ධතිය පිළිබඳ අපිට අර්බුදයක් නැහැ. නමුත් අපට මූලික ප‍්‍රශ්නයක් වුණේ කොවිඞ් වසංගතයේ පළමු රැුල්ල අවසන්වී රජයේ රසායනාගාරවල ධාරිතාවයෙන් කාලකටවත් අවශ්‍ය නිදර්ශක ධාරිතාවක් නැතිව තිබෙන අවස්ථාවක ඇඟලූම් කර්මාන්තශාලා වැනි මහා පරිමාණ ස්ක‍්‍රීනින් ප්‍රෝග‍්‍රෑම් පෞද්ගලික රසායනාගාරවලට යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහගතව සහ රහසිගතව තීරණයක් ගෙන තිබීමයි. ඒක පැහැදිලිවම ජාවාරමක්. ඇඟලූම් කර්මාන්තශාලා ආශ‍්‍රිතව මහා පරිමාණ ස්ක‍්‍රීනින් ප්‍රෝග‍්‍රෑම් එකක් අවශ්‍ය බව රජය කියද්දී ඒ කර්මාන්තශාලාවල පීසීආර් පරීක්ෂණම කළ යුතුයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා නම් ඒකේ ගැටලූ ගොඩක් තියනවා. එකක් පීසීආර් පරීක්ෂණම කළ යුතුයි කියන එක ම ගැටලූවක්. අනෙක් කරුණ ස්ක‍්‍රීනින් හෝ අහඹු පරීක්ෂාවන් කාගේ විශේෂඥ දැනුමෙන් කරනවාද කියන දේ අපි දන්නේ නැහැ. දෙවැන්න ඒකට විශාල වියදමක් යනවා. ඒ වියදම අනවශ්‍ය විධියට මේ කර්මාන්තය පවත්වාගෙන යන ව්‍යාපාරිකයාට හෝ ඒකට අදාළ පුද්ගලයාට පවරාදීම අතිශය වැරදියි. ඒ විධියට කාගේ හෝ මුදල් හම්බ කිරීමේ වුවමනාවකට මේ රට වෙනුවෙන් හම්බ කරන ආයතන බංකොළොත් කරන්න හොඳ නැහැ. අනෙක් දේ අපිට ධාරිතාව තිබෙන නිසා යම් සහන මිලකට අවශ්‍ය නම් රජයේ ආයතනවලින් එම පීසීආර් පරීක්ෂණ සිදුකර දෙන්න තිබුණා. මේ කිසිවක් නොකර කර්මාන්තශාලා විවෘත කරනවා නම් පීසීආර් ම කළ යුතුයි කියලා එක පැත්තකින් කර්මාන්ත හිමියාව බලපෑමකට ලක් කරනවා. අනෙක් පැත්තෙන් ඒ සඳහා පහසුකම් තිබෙන රජයේ රසායනාගාර ටික අවශ්‍ය ධාරිතාවවත් ලැබෙන්නේ නැතිව තිබෙනවා. ඒ වගේම ස්ක‍්‍රීනින් පෝග‍්‍රෑම් කරන්න ලාබදායී හොඳ විකල්ප තිබියදී ඒවාට යොමු කරන්නේ නැතිව තහංචි දාලා තියනවා. අදටත් පෞද්ගලික ස්ථානවල පොසිටිව් වාර්තා ආ අවස්ථාවල ඒවා නිසි පරිදි දැනුම් දෙන්නේ නැහැ. ඒවාට නිසි යාන්ත‍්‍රණයක් නෑ. ඒවා නිසි ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක‍්‍රමවේදය තුළට එන්නේ නැහැ. ඒ නිසා ඇඟලූම් කර්මාන්තශාලා ආශ‍්‍රිතව පීසීආර් කිරීමේදී මේ රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට දුන් දායකත්ව අතිශය අඩුයි, එහෙම නැත්නම් වැරදියි. හැබැයි ඇඟලූම් කර්මාන්තශාලාවල අයගේ මුදල් වියදම් කිරීමට සහ පෞද්ගලික අංශයට සාම්පල ලබා දීමට විශාල වශයෙන් පෙළඹුණා. මේක මූලික වැරැද්දක්.


පීසීආර් පරීක්ෂණවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් සැකසහිත අවස්ථා ගණනාවක් තිබුණා. වරක් පොසිටිව් බවට වාර්තා වූ පසු නැවත පරීක්ෂා කළ පසු නෙගටිව් බවට වාර්තා වුණා. පීසීආර් පරීක්ෂණවල ප‍්‍රතිඵල එලෙස වෙනස් විය හැකි ද?


ඒකට කාරණා ගණනාවක් බලපානවා. විද්‍යාත්මකව රටේ මිනිස්සු රවට්ටන තත්ත්වයකට සමහර නිලධාරීන් පත් වී තිබෙනවා. ඒ අය විද්‍යාව කැලේ යවන්න උත්සාහ කරනවා. රෝගියෙකුට ආසාදනය වී තිබියදීත් පීසීආර් පරීක්ෂණ වාර්තාවක් නෙගටිව් විය හැකියි. මොකද පරීක්ෂණය සඳහා අපි ලබා ගන්නා නිදර්ශකය සෙම පටලයක්. ඒ සෙම පටලයට වෛරසය ඇතුළු වී නැත්නම් ඒක නෙගටිව් වාර්තාවක් දෙනවා. ඒ නිසා ආසාදිතයෙකු සම්බන්ධයෙන් 70%ක් පොසිටිව් වාර්තාවක් ලැබීමටත් 30%ක් නෙගටිව් වාර්තාවක් ලැබීමටත් සම්භාවිතාවක් තිබෙනවා. ඒක ලෝක සම්මතයක්. හැබැයි පීසීආර් වාර්තාවක් පොසිටිව් වුණාට පස්සේ හිටි හැටියේ නෙගටිව් වෙන්න පුළුවන් කියලා නියෝජ්‍ය අධ්‍යක්ෂ (ජෙනරාල් රසායනාගාර සේවා) කියනවා අපි දැක්කා. පරීක්ෂණ වාර්තාවක් වරදින්න පුළුවන්, ඒක සාමාන්‍ය දෙයක් කියලා කිව්වා. නමුත් රසායනාගාර සේවාවේ සම්මතය අනුව එහෙම වරදින්න බැහැ. සෙම පටලයේ වෛරසය නැතිවීම පරීක්ෂණයේ වරදක් නෙමෙයි. හැබැයි ආසාදිත නොවන කෙනෙක්ට පොසිටිව් වාර්තාවක් ලෙස වැරදියට ලැබෙනවා නම් ඒක පරීක්ෂණාගාරයේ වැරැද්දක්. එවැනි වැරදි වෙන්න විධි කීපයක් තියනවා. එකක් සමහර රසායනාගාරවල ලියාපදිංචි වෘත්තිකයෝ නැහැ. සමහර වෛරසවේදියෝ ඒවා අධීක්ෂණයට එන්නේ නැහැ. සමහර තැන්වල තියනවා අධ්‍යයන අවශ්‍යතා වෙනුවෙන් පමණක් වෙන් කළ ප‍්‍රතික‍්‍රියක භාවිත කරනවා. සමහර ස්ථානවල සායනික පරීක්ෂණ සඳහා වලංගු නොවන උපකරණ භාවිත වෙනවා. ඒ වගේම හැම වාර්තාවක් පිළිබඳවම විශ්ලේෂණයක් කළ හැකි දැනුම සහ අත්දැකීම් ඇති විශේෂඥයෝ නැතිවෙන්න පුළුවන්. ඒ දේවල් නැති වුණාම වැරදි වාර්තාවක් රසායනාගාරයකින් ලැබීමේ සම්භාවිතාවක් තියනවා. ඒ සමගම කෙනෙක්ට රෝගය වැළඳී සුවපත් වූ පසු යම්කිසි කාලපරිච්ෙඡ්දයකට පසු පීසීආර් වාර්තාව නෙගටිව් වෙන්න පුළුවන්. නමුත් දැන් තියෙන්නේ වැරදි තීරණ වහන්න විද්‍යාව බොරු කරලා පෙන්වන තත්ත්වයක්. නිවැරදි යාන්ත‍්‍රණයක් තිබේ නම් මේ පරීක්ෂණ වරදින්න බැහැ. අපේ ගණනය කිරීම්වලට අනුව විශ්වවිද්‍යාල මට්ටමින් එවැනි වැරදි වාර්තා 14ක් සහ පෞද්ගලික අංශයේ 20කට වැඩි වැරදි වාර්තා ලැබී ඇති බව පෙනෙනවා. රජයේ රසායනාගාරවල තවම එවැනි දේ සිදුවී නැහැ.


මේ වන විට පීසීආර් පරීක්ෂණ ධාරිතාව ඉක්මවන බැවින් ඒ සඳහා රැුපීඞ් පරීක්ෂණ ලංකාව තුළ ඉක්මනින් ආරම්භ කිරීමේ කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා (රසායනාගාර සේවා) පවසා තිබුණා නේද?


ධාරිතාව අවසන් නිසා රැුපිඞ් පරීක්ෂණ ගෙනාවා කියලා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා නම් ඒකට සම්පූර්ණයෙන් ඔහු වගකිව යුතුයි. මොකද ඒ ධාරිතාව වැඩි කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේ නැහැ. ලෝක බැංකුව බිලියන 180ක මූලික ආධාරයක් අපේ‍්‍රල් මාසයේ දුන් නමුත් කොවිඞ් අවසන් බව කියලා ඒක හරවා යැවුවා. එහෙම කටයුතු කර ධාරිතාව අවසන් කියලා දැන් කොහේ හරි සමාගමකින් රැුපිඞ් පරීක්ෂණ ගෙන ඒම විකල්පය නෙමෙයි. රැුපිඞ් ටෙස්ට් කළ යුතු අයට රැුපිඞ් ටෙස්ට් කළ යුතුයි. හැබැයි මේක ජාවාරමක්. ධාරිතාව පෙන්වලා තවත් මාෆියාවක් පටන්ගෙන තියෙනවා. ධාරිතාව වැඩි කරන්න ඕනෑ. සාමාන්‍ය දේවල් පවා කර නැහැ. උදාහරණයක් විධියට පැය දහයක් වැඩ කරන රසායනාගාරය පැය 24ක් වැඩ කරන්න ලොකු දෙයක් කරන්න ඕනෑ නෑ. රසායනාගාර විද්‍යාඥයෝ ලබාදෙනවා නම්, උපකරණ පද්ධතියත් තිබෙනවා නම් කළයුතු වෙන්නේ අතිකාල දීමනාවක් ලබා දී ඒ අයට පහසුකම් ටිකක් දෙන්න විතරයි. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයෝ 105ක් මාසයක් තිස්සේ ස්ථානවලට පත් කරන්න බැරිවෙලා තියනවා. ඒ ගැන උනන්දුවක් නෑ. වැඩ කරන්න පුළුවන් මැෂින් 36කට ප‍්‍රතික‍්‍රියක නැහැ. ඒවගේම ජාත්‍යන්තර වශයෙන් ඉතා හොඳ තත්ත්වයේ බව පිළිගත් ප‍්‍රතික‍්‍රියකත් මේ අය තත්ත්වය හොඳ නැහැ කියලා ප‍්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව ඒවායෙන් වැඩ කරද්දී දැනට වැඩ කරන ඒවායේ තත්ත්වය අහුවෙන නිසයි. පසුගිය කාලයේ ප‍්‍රතික‍්‍රියක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ් හිරවෙලා තිබුණා. ඒවාට අපි බලපෑම් කරද්දී ඒක ගෙනාවත් ඒකේ ප‍්‍රශ්නයක් තියනවා කියලා භාවිත කරන්න දුන්නේ නැහැ. මේවා හරහා මේ අය ඒ අයට ඕනෑ එවාට අවස්ථාව දෙන්නත් අනෙක් ඒවා නතර කරන්නත් උත්සාහ කරනවා. සමහර වෙලාවට ඒ අය තත්ත්වයෙන් හොඳයි කියන්නේ අධ්‍යයන පර්යේෂණ සඳහා පමණක් වලංගු ඒවායි. තත්ත්වය හොඳ නෑ කියන එක ජාත්‍යන්තර වශයෙන් අනුමත කළ එකයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් විශේෂඥයන් සහ නිලධාරීන් තත්ත්වය කියන එක භාවිත කරන්නේ ජනතාවට යහපත් දෙයක් දෙන්න නෙමෙයි, තමන්ගේ ජාවාරම් ඉදිරියට කරගෙන යෑමටයි. එවැනි තත්ත්වයක් තුළ ධාරිතාව අවසන් කීම වගකීම නෙමෙයි. ඒ වගේම දැනට ධාරිතාව අවසන් වෙලාත් නැහැ, පාවිච්චි නොකළ යන්ත‍්‍රත් තිබෙනවා. ඒ නිසා මේක සම්පූර්ණ මාෆියාවක්.

ප‍්‍රතිදේහ සහ ප‍්‍රතිදේහ ජනක පරීක්ෂණ කියන්නේ මොකක්ද?


පීසීආර් පරීක්ෂණය කරන්නේ වෛරසයටයි. ප‍්‍රතිදේහ ජනකය කියන්නේ වෛරසය හෝ එහි සුවිශේෂී ප්‍රෝටීනයකටයි. ප‍්‍රතිදේහයක් නිර්මාණය කරන්න හේතුවෙන්නේ එයයි. පීසීආර් පරීක්ෂණයේ දී අපි කරන්නේ මේ වෛරසය සෙවීමයි. වෛරස ඇඟට ඇතුළු වූ වහාම එය සෙම පටලයට ප‍්‍රමාණවත් පරිදි එන්නේ නැහැ. සිරුර තුළ එය ගුණනය වී රෝග ලක්ෂණ මතුකර හෝ නොකර සාම්පලයකට ප‍්‍රමාණවත් පරිදි වෛරස ප‍්‍රමාණයක් ලැබීමට අඩුම වශයෙන් දින 4ක් හෝ ඇතැම් අයගේ දින 10ක් පමණ ගතවෙනවා. ප‍්‍රායෝගිකව අපි පීසීආර් කරන්නේත් දවස් දහයකට පමණ පසුවයි. මේ වෛරසය පෙනහැල්ල ආශ‍්‍රිතව සිටීමට වැඩි කැමැත්තක් දැක්වීම නිසා රුධිරයේ තියෙන ප‍්‍රමාණය ඉතා අඩුයි. ඒ නිසා රුධිර පරීක්ෂණවලින් මේ වෛරසය සෙවීම එතරම් සුදුසු වෙන්නේ නැහැ. සෙම පටලයක් භාවිත කරන්නේ ඒ නිසායි. වෛරසය සිරුරට ඇතුළු වී දින 4කින් පමණ ප‍්‍රමාණවත් ලෙස වර්ධනය වී දින 7ක් පමණ වන විට උපරිම තලයට එන විට ප‍්‍රතිශක්තීකරණය මගින් වෛරසයට විරුද්ධව ප‍්‍රතිදේහ හදනවා. ඒ නිසා ඒ ප‍්‍රතිදේහත් මේ වෛරසය හඳුනා ගැනීමට ඉතාම සුවිශේෂීයි. ඒක හැදෙන්නේ ප‍්‍රවාහනය වෙන්නේ රුධිරයේයි. දින 7න් පසු රෝගියෙකුගේ මේ ප‍්‍රතිදේහ හඳුනා ගන්න පුළුවන්. මේ වෛරසය රෝග ලක්ෂණ නොපෙන්වා සුව වන අවස්ථා තිබෙනවා. හැබැයි සුව වෙන්නේ මේ ප‍්‍රතිදේහ හදලායි. වෛරසය අසාදනය වුණු අයකුගේ දවස් 7කට හෝ 10කට පසු මේ ප‍්‍රතිදේහ හොයාගන්න පුළුවන්. වඩා වැදගත් දේ පීසීආර් පරීක්ෂණයකදී දින 14කට පසු නෙගටිව් වුණත් ප‍්‍රතිදේහ පරීක්ෂණයකින් මාස තුනකට පෙර රෝගය වැළඳුණු කෙනෙක් වුණත් සොයා ගන්න පුළුවන්. ඒ නිසා සමාජයේ අහඹු පරීක්ෂණ සහ විශාල ප‍්‍රමාණයක් කරනවා නම් වඩා වැදගත් ක‍්‍රමවේදය ප‍්‍රතිදේහ හෝ ප‍්‍රතිදේහ ජනක පරීක්ෂණයි.


ඒ සඳහා අවශ්‍ය පහසුකම් සහ උපකරණ මෙරට තුළ තිබේද?


ඒ පරීක්ෂණ කරන ක‍්‍රම කීපයක් තියනවා. එකක් ජීව වෛද්‍ය රසායනාගාරකමයි. ඒවා අපේ මූලික රෝහල් දක්වාම තියනවා. ඒවයේ හොඳ උපකරණ පද්ධතියක් තියනවා. මේවායේ සාමාන්‍ය පරිදි ප‍්‍රතිදේහ හෝ ප‍්‍රතිදේහ ජනක සොයන්න පුළුවන්. ඒක සාමාන්‍ය පරීක්ෂණයක්, හැබැයි ඒකට ප‍්‍රතික‍්‍රියක කට්ටලයක් ඕනෑ. ජාතික ඖෂධ තත්ත්ව පාලන අධිකාරිය මේ ප‍්‍රතික‍්‍රියක ගේන්න දුන්නේ නැහැ. සමාගම් ගණනාවක උපකරණ තිබුණත් සමාගම් ගණනාවක් මේ ප‍්‍රතික‍්‍රියක ගේන්න අහලා තිබුණත් ඒ සඳහා අවසරය දුන්නේ නැහැ. ඒ නිසා ඒවා සූදානම් කර තබන්න ක‍්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා සිදුවුණේ රසායනාගාර සේවාවෙන් ලබාදෙන උපදෙස් මත පීසීආර්ම කිරීම පමණයි. දින 10කට පසුත් පරීක්ෂණවල නිරවද්‍යතාව 99.99%ක් වන උපකරණ තිබෙනවා.


මෙරට තුළ රැපිඞ් පරීක්ෂණ ආරම්භ කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබුණා. එය ප‍්‍රතිදේහ හා ප‍්‍රතිදේහ ජනක පරීක්ෂණ ක‍්‍රමයක් ද?


ක්ෂණික පරීක්ෂණ කියලා තවත් ප‍්‍රතිදේහ හා ප‍්‍රතිදේහ ජනක පරීක්ෂණයක් තියනවා. හැබැයි ඒකේ තිබෙන ප‍්‍රශ්නය ලෝකයේ එම පරීක්ෂණ ඇටවුම් වලින් 80%ක් අසමත්. ඒ කියන්නේ ඒවා නිවැරදි නැහැ. ඒවා තියෙන්නේ මගතොට දී හෝ රසායනාගාරයක් නොමැති වෙනත් විකල්පයක් නැති අවස්ථාවල පරීක්ෂා කිරීමටයි. ප‍්‍රතිදේහ හා ප‍්‍රතිදේහ ජනක පරීක්ෂණ කිරීමට අපි බරපතළ අරගලයක් කරද්දී හිටි හැටියේම සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රතිදේහ පරීක්ෂණ කිරීමට ලෝකයේ තිබෙන නරකම ක‍්‍රමවේදය වන රැුපිඞ් පරීක්ෂණ ක‍්‍රමය කිරීමේ සූදානමක් තිබෙනවා. අපි රැුපිඞ් පරීක්ෂණ වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. අපි පෙනී සිටින්නේ හරි ක‍්‍රමවේදයට රසායනාගාරවල ප‍්‍රතිදේහ ප‍්‍රතිදේහ ජනක පරීක්ෂාව කිරීම වෙනුවෙනුයි. සාම්පලයක් සඳහාවත් ප‍්‍රතිදේහ හෝ ප‍්‍රතිදේහ ජනක පරීක්ෂණ කරන්න ප‍්‍රතික‍්‍රියක ගෙන්වීම තහනම් කර තිබිය දී එක් සමාගමක් පමණක් සාම්පල වැලිඬේශන් එකක් කර තිබෙන්නේ කොහොමද කියලත් අපි මේ අයගෙන් අහනවා. මේවා මහා පරිමාණ ජාවාරම් මිස මේවා මේ රටේ මිනිස්සුන්ගේ කොවිඞ් වැළැක්වීමේ අරමුණින් කරන ඒවා නොවෙයි. පීසීආර් මාෆියාවෙන් බේරීමට අපි උත්සාහ කරද්දී ක්ෂණික පරීක්ෂණ මාෆියාවක් ගෙනත් දාලා වෙනත් වැඩක් යනවා.


මෙරට තුළ මතු වූ කොවිඞ් දෙවන රැල්ල සමග වෛරසයේ ප‍්‍රභේදය සම්බන්ධයෙනුත් මත පළවුණා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වෛරසයේ ප‍්‍රභේදය වෙනස් සහ සාන්ද්‍රණය වැඩි බවයි. ඒ හඳුනා ගැනීම් වන්නේත් පීසීආර් පරීක්ෂණ හරහා ද? නැතිනම් ඒවා සම්බන්ධ වෙනත් පර්යේෂණ සිදුව තිබේද?

ඒවා හඳුනා ගන්නේ පීසීආර් පරීක්ෂණයේ දිගුවක් විධියටයි. වෛද්‍ය පර්යේෂණ ආයතනය විධියට මිනිස්සුන්ගේ පීසීආර් කරන එක නෙමෙයි පර්යේෂණ කිරීමේ විශාල අවශ්‍යතාවක් තියෙනවා. නමුත් අද වන විටත් ජාතික වශයෙන් අපි මේ වෛරසය සම්බන්ධයෙන් කිසිදු පර්යේෂණයක් කර නැහැ. සිදුවන්නේ විවිධ අය කියන විවිධ කටකතා අසමින් ඉන්න එක විතරයි. අඩුම වශයෙන් ප‍්‍රතිදේහ ප‍්‍රතිදේහජනක ක‍්‍රමවේදයවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයට භාවිත කරන්න බැරිවෙලා තියනවා. ජාතික රෝහල වැනි ස්ථානවල අය නිහඬව සිටියදී සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒවා සම්බන්ධව කිසිවක් නොකර සිටියදී රෝහල්වල වගකීම වෛද්‍ය පර්යේෂණ ආයතනය කිරීම සම්බන්ධව වෛද්‍ය පර්යේෂණ ආයාතනයට වරදක් කියන්න බැහැ. දැනට ලංකාවේ ජාතික වශයෙන් මේ වෛරසය සම්බන්ධව කිසිදු පරීක්ෂණයක් කර නැහැ. නමුත් අපි කළ යුතු පර්යේෂණ ගණනාවක් තිබෙනවා. මොන ප‍්‍රභේද ද, වඩා අසාධ්‍ය වන්නේ මොන ප‍්‍රභේදවලින් ද, අසාධ්‍ය වෙන්නේ මොන තත්ත්වයන් යටතේ ද වැනි පර්යේෂණ ගණනාවක් කළ යුතුව තිබුණත් ජාතික වශයෙන් අපිට එවැනි හැකියාවක් තිබී හෝ එවැනි භාවිතාවක් කර හෝ නැහැ. නමුත් අවස්ථාව දෙනවා නම් කිරීමේ හැකියාව තිබෙනවා.


සමාජයෙන් රෝගීන් වාර්තාවීම සිදුවුණත් තවමත් රෝගය සමාජ ව්‍යාප්ති මට්ටමට ළඟාවී නැති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. මේ තත්ත්ව විග‍්‍රහ කරන්නේ කොහොමද?


සමාජ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප‍්‍රජා වෛද්‍ය විද්‍යාවට අදාළව නිර්ණායක කීපයක් තියනවා. මේ නිර්ණායක ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඞ් සඳහා සුවිශේෂ විධියටත් හදලා තියනවා. කොහොම වුණත් මේකේ මූලික තේමාව වන්නේ රෝගියෙක් හමුවුණාම ඒ රෝගියාට අදාළ ගමන් මාර්ගය සොයා ගැනීම අනුව මේ සමාජ සම්පේ‍්‍රෂණය පිළිබඳ අර්ථකථනයක් ලබාදීමයි. මේ හැම රෝගියෙක්ම එන්නේ තව රෝගියෙක්ගෙන් මිස සතෙක්ගෙන් එනවා කියලා අපි තවම හොයාගෙන නැහැ. සමාජයට කොයිවෙලාවකවත් අහසින් කඩාපාත් වෙන්නේත් නැහැ. ඒ නිසා කවුරුහරි මේක යම්කිසි පොකුරකට සම්බන්ධයි කියලා කියනවා නම් හැම එකක්ම වූහාන් පොකුරටත් සම්බන්ධයි කියලා කියන්න පුළුවන්. එතකොට මේක සමාජ ව්‍යාප්තියක් නෑ කියලා කියන්න පුළුවන්. ඒකට ප‍්‍රතිවිරුද්ධව තිබෙන තර්කය වෙන්නේ මේක වූහාන් පොකුරට සම්බන්ධ බව හොයා ගන්න පුළුවන් නම් ප‍්‍රජා වෛද්‍ය විද්‍යාව අනුව ඒක ඇත්ත. හැබැයි මේක හොයන්න තිබෙන තාක්ෂණයත් රටවල්වලින් රටවල්වලට වෙනස්. අපේ ප‍්‍රජා වෛද්‍ය විද්‍යා අංශය මේකට උපරිම උත්සාහයක් ගන්නා බවත් අපිට පෙනෙනවා. යුද හමුදාවත් උපරිම උත්සාහයක් ගන්නවා. සෞඛ්‍ය සේවාවේ යාන්ත‍්‍රණය පමණක් භාවිත කළා නම් මීට පෙර සමාජ ව්‍යාප්තිය වෙනවා. මේකට බුද්ධි අංශ උපක‍්‍රම භාවිත කළ නිසා මාර්ගය සොයා ගැනීමේ හැකියාව පිළිබඳ තවමත් අපිට පොඩි විශ්වාසය තියෙනවා. හැබැයි ඒ මත පදනම්ව සමාජ ව්‍යාප්තියක් නැහැ කියලා ප‍්‍රජා වෛද්‍ය අංශය කියනවා නම් ඒක ඒ අයගේ වගකීමක්. නමුත් මේක සිදුකරන ක‍්‍රමය පිළිබඳ අපිට දර්ශනයක් තිබෙනවා. ඒ අපි මේ දත්ත සොයන්න නිවැරදි ක‍්‍රමය භාවිත කරනවාද කියන එකයි. පීසීආර් පරීක්ෂණය විතරක් කිරීම ඇතුළේ අපිට සමාජයේ සුවපත් වූ රෝගීන් හඳුනා ගැනෙන්නේ නැහැ. අහඹු පරීක්ෂණ සිදුනොකරන ක‍්‍රියාවලියක් ඇතුළේ සමාජය තුළ සැඟවී තිබෙන රෝගීන් හමුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ දත්ත නැහැ. එතකොට ඒ දත්ත නැතිව මේ මාර්ගය හදන්න බැහැ කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒ නිසා මේක සමාජ ව්‍යාප්තියක් කියලා අපි කියන්න ඉස්සර වෙන්නේ නැති වුණත් සමාජ ව්‍යාප්තියක් නෙවෙයි කියන්න අවශ්‍ය දත්ත නැහැ. සමාජය තුළ අහඹු ලෙස මාර්ගයක් නැතිව රෝගීන් සිටිය හැකියි, එසේ සිටින බව අපට පෙනෙනවා සහ ඒ අය ගැන සොයනවා නමුත් හමුවෙන්නේ නැති ඒවා තියනවා. සමාජ ව්‍යාප්තියක් කියන්න දත්ත වැඩි නිසා සහ නෙවෙයි කියන්න දත්ත නැති නිසා අපිට මේක සමාජ ව්‍යාප්තියක් කියා සැලකීම සුබදායකයි. මොකද යම් තීරණ දෙකක් සම්බන්ධයෙන් සැකයක් තිබෙනවා නම් අනුගමනය කළයුතු වන්නේ වඩා භයානක එක සම්බන්ධයෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here