මැර ප්‍රහාරයට ලක්වූ තුසිත සහ අනූෂා

රසික ගුණවර්ධන


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර ප‍්‍රතිවාදී කණ්ඩායම ඔහුට එරෙහිව එල්ල කළ බරපතළ චෝදනා අතර මාධ්‍යවේදීන්ට පහරදීම, ඝාතනය කිරීම සහ පැහැරගෙන යාම සුවිශේෂී විය. සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ වත්මන් ජනාධිපතිවරයා එවකට ආරක්ෂක ලේකම්ව සිටියදී සිදු කළ බවට එල්ල කළ එම චෝදනා කෙතරම් බරපතළ ලෙස ශ‍්‍රී ලාංකීය සමාජය භාරගත්තේද යත්, 2015 දී එම පිල එකී චෝදනා මත පරාජයට පත්විය. එහෙත් යහපාලන රජයේ ඞීල් දේශපාලනය එකී ක‍්‍රියාවන් පිළිබඳව නීතිය ක‍්‍රියාත්මක නොකළ පසුබිම තුළ නැවත වතාවක් රාජපක්ෂ පිල බලයට පත්විය. එහෙත් මෙවරද ප‍්‍රතිවාදී පිල බරපතළ ලෙස පැවසුවේ ඔවුන්ගේ භීෂණ ක‍්‍රියාවලිය අත් නොහැරෙනු ඇති බවයි.


ඒ කරුණු සත්‍ය බවට තහවුරු කිරීමට ජනපතිගේ හිතවාදීහු කටයුතු කරමින් සිටිතැයි යන සංශය මතු කැරෙන සිදුවීම් කිහිපයක් ආසන්න දින කිහිපය තුළ සිදුවිය.


ජනාධිපති මැතිවරණයේදී ආධාර කළ පිරිසක් විසින් සිදු කළ පළමු මැර ප‍්‍රහාරය එල්ල වූයේ මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වාටය. එම පිරිස තුසිතට පහර දෙන්නේ දැන් තියෙන්නේ අපේ ආණ්ඩුව යැයි පාරම්බාමිනි. ඔහු හිරු සහ ලංකාදීප මාධ්‍ය ආයතනවල ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරයි. හිරු මාධ්‍ය ආයතනය ගෝඨාභය ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට පෙරමං තැනූ මාධ්‍ය ආයතන කිහිපය අතුරින් එකකි. එසේ හෙයින්ම ඔහුගේ ගෝලබාලයන් විසින් හිරු මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියෙකුට පහරදීම දෛවයේ සරදමකි. පසුගිය බ‍්‍රහස්පතින්දා ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන අධ්‍යක්ෂවරුන් හමුවේදී හිරු ආයතනයේ අධ්‍යක්ෂ ලෙස එයට සහභාගි වූ රෙනෝ සිල්වා එහිදී සිය මාධ්‍යවේදියාට එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයාගෙන් නොවිමසීමම හිරු ආයතනයේ මාධ්‍ය දේශපාලනය ඉස්මතුකර පෙන්වන්නකි.


මාධ්‍යවේදීන් සේවය කරන්නේ ආයතනයකටය. ඔවුන් කරන්නේ වෘත්තියකි. මේ ධනවාදී අර්ථික ක‍්‍රමය තුළ හිමිකරුවන්ගේ දේශපාලනය කුමක් වුවද සේවකයන් ඊට අනුගත විය යුතුය. මාධ්‍යවේදීන්ටද එය පොදු සත්‍යයකි.
අප අලූත්ගමට ගියේ මේ භීෂණයේ පළමු ගොදුර වූ තුසිත කුමාර සොයා ගෙනය.


තුසිතගේ නිවස පිහිටා ඇත්තේ අලූත්ගම කන්දේ විහාරය ආසන්නයේය. අප එහි යන විට සිදුවීම සිදුවී සති දෙකක් පමණ ගතවී තිබුණද තුසිත, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා සිටියේ සිද්ධිය හේතුවෙන් ඇතිවූ කම්පනයෙනි. තවමත් ඔවුන් තමන්ගේ දෛනික කටයුතු සුපුරුදු ලෙස ආරම්භ කර තිබුණේ නැත. පවුලේ කිසිවකු තවමත් අසල වෙළෙඳ සැලකට හෝ තනිව යන්නේ නැත. ඒ තවමත් ඔවුන්ට තමන්ගේ ආරක්ෂාව පිළිබඳව බියක් ඇති බැවිනි.
තුසිත මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ මීට වසර විස්සකට පමණ පෙර හිරු මාධ්‍ය ආයතනයෙහිය. එතැන් පටන් මේ දක්වා ඔහු විවිධ වාර්තාකරණයන්හි නිරත වූවද මෙවැනි නින්දිත ප‍්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය බව ඔහු අප සමග පැවසීය.


”මේ වගේ දෙයක් වෙච්ච පළවෙනි පාර. එක වතාවක් මම පළාත්පාලන නියෝජිතවරියක් බූරු තිප්පොළක් පවත්වාගෙන ගිය සිද්ධියක් ගැන ලිව්වා. එතනදි දෝෂාරෝපණ ආවත් ඊට වඩා වැඩි දෙයක් වුණේ නෑ.”


නිදහසේ තමන්ගේ වෘත්තිය සිදුකරගෙන සිටි තුසිතට තමන්ට එල්ල වූ ප‍්‍රහාරය විශාල කම්පනයක් හා තැතිගැන්මක් ඇති කිරීමට හේතුවී ඇත. තුසිතගේ වචන අතර තවමත් ඒ තැතිගැන්ම තිබේ. තුසිත පවසන පරිදි ඔහුට දැනුදු කිසියම් නිදිමත ස්වභාවයක් නිතර දැනේ. එක් කනක ඇසීම අඩුවී ඇත. ඔහුගේ හිසද විටින් විට ඇදුම් දෙන බව පවසයි. ඒ හිසට එක දිගටම වැදුණු පහරවල් හේතුවෙනි.


තුසිත පහරකෑමට ලක්වන්නේ ප‍්‍රදේශයේ නීති විරෝධී කෘති‍්‍රම රා නිපදවන ස්ථාන කිහිපයක් පොලිසිය විසින් වැටලීම පිළිබඳව සිදුකළ මාධ්‍ය වාර්තාකරණයන් හේතුවෙනි. මේ කෘති‍්‍රම රා නිපදවීම පිටුපස සිට ඇත්තේ පුද්ගලයන් පස්දෙනෙකි. පහරදීමට ඔවුන් ඝෘජුවම සම්බන්ධ වී ඇත. පොලිසිය විසින් සිදුකරන මේ වැටලීම් පිළිබඳව පසුගිය වසර පහක පමණ කාලයක සිට දිගින් දිගටම තුසිත විසින් වාර්තා කර ඇත.


තමාට පහර කෑමට හේතුවූ ආසන්නතම සිදුවීම පිළිබඳව තුසිත අප සමග පැවසූවේ මෙසේය. ”හිටපු ජනාධිපතිතුමාගේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ වැඩපිළිවෙල යටතේ, පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ සුරාබදු දෙපාර්තුමේන්තුව එක්ව අලූත්ගම ප‍්‍රදේශයේ නීති විරෝධී කෘති‍්‍රම රා නිපදවන ස්ථාන විටින් විට වටලන්න පටන් ගත්තා. ලෝක ළමා දිනය දවසෙ විශාල ස්කාගාරයක් වැටලූවා. ඒ ස්කාගාරය පත්වාගෙන ගිය පුද්ගලයාට ළමා නිවාසයකුත් තියනවා. ඒ පුවතට දාල තිබුණ හෙඩිම ළමා නිවාස හිමිකරුවෙක් කෘති‍්‍රම රා නිපදවයි වගේ එකක්. මම ඒ සිදුවීම් වාර්තා කිරීම සහ ඊට සම්බන්ධ අනෙකුත් වාර්තා කිරීම් තමයි මේ පහරදීමට හේතුව වුණේ.”


මෙම පහරදීමට ප‍්‍රථම පහර දුන් පුද්ගලයන්ගෙන් කෙනකු නිවස ඉදිරිපිටට පැමිණ තුසිතට තර්ජනය කර ඇත. ”ජනාධිපතිවරණයට කලින් දවසක, කෙනෙක් ඇවිල්ල හෝන් ගහනව ඇහුණා. මම කවුද කියල අඳුනගත්ත නිසා ටැබ් එකත් අරගෙන ඉස්සරහට ගියා. මම ඒ පුද්ගලයගෙ ෆොටෝ එකක් ගත්තා. ඒ ආපු කෙනා මාත් එක්ක බහින් බස්වීමක් වෙලා මට අපහාස කරලා, තර්ජනය කරලා ගියා. ඔහුට තිබ්බ ප‍්‍රශ්නය තමයි මම පුවත වාර්තා කරපු එක සහ ඒ පුවතට දාල තිබ්බ හෙඩිම. මම ඒ සිද්ධිය ගැන අලූත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දීමක් කළා.” එහිදී ස්ථානාධිපතිවරයා තුසිතට පවසා ඇත්තේ එම පිරිස් තමන්ටද තර්ජනය කළ බවත් ඔවුන්ට කිසිවක් කළ නොහැකි නිසා බිය නොවී සිටින ලෙසත්ය. එහෙත් ජනාධිපතිවරණය නිමවීමත් සමග එකී පිරිස තුසිතට පහර දී ඉන් නොනැවතී පොලිස් අත්අඩංගුවේ තිබුණු ඔවුන් කෘති‍්‍රම රා නිෂ්පාදනයට යොදා ගත් ටැංකි ද නිදහස් කරගෙන ඇත.


තුසිත සහ ඔහුගේ බිරිඳට කෘති‍්‍රම රා නිෂ්පාදකයන් පිරිස පහර දෙන්නේ ඉකුත් හයවන සිකුරාදා දින සන්ධ්‍යාවේදීය. තුසිතගේ බිරිඳ අනූෂා කුමාරි මේ පහරදීමට ගොදුරු වන්නේ සිය රැුකියාව නිම වී නිවසට පැමිණෙමින් සිටින අතරතුරය. ඇය සේවය කරන්නේ කළුතර ප‍්‍රාදේශීය සභාවේ කළමනාකරණ සහකාරවරියක ලෙසය. ඇය පැවසූ පරිදි සිදුවීම මෙසේය.


”මම වැඩට ගියාට පස්සෙ මෙයා (තුසිත) සම්බන්ධීකරණ රැුස්වීමට ගිහිල්ල, යාලූවෙකුත් හම්බවෙලා බේරුවලට ඇවිල්ල තියනවා. මම හැමදාම හවසට වැඩ ඉවරවෙලා පයාගල හරියට ඇවිල්ල මෙයාට කතා කරනවා. ඊට පස්සෙ අපි දෙන්න බයිසිකලේ ආවා. එතකොට ඈතින් පේනව හත් අටදෙනෙක් පාරෙ ඉන්නවා. අපි ගේට්ටුව ළඟට ආවහම තව කට්ටිය වත්ත ඇතුළෙ ඉන්නව දැක්කා. ඒත් එක්කම ඩෝං ගාල සද්දයක් ඇහුණා. ඒ දමිත් කියන කෙනා පොල්ලකින් ඉස්සරහ තියල තිබ්බ මාලූ ටැංකියට ගහන සද්දෙ. ඒත් එක්කම එයා මල් පෝච්චිවලටයි අරවටයි මේවටයි ගහගෙන ගියා. අපි ආපු ගමන් කට්ටිය අපිව වට කරගත්තා. මෙයා (තුසිත) බයිසිකලේ ස්ටාට් කරගෙන යන්න හදනකොටම එක්කෙනෙක් බයික් එක ඉස්සරහට අත්දෙක දාල අල්ල ගත්තා. තව කවුරුහරි කෑගැහුව යතුර ගනින් යතුර ගනින් කියල, එතකොටම තව කෙනෙක් යතුර ගත්තා. එතකොට දමිත් කියන කෙනා අපි ළඟට ආවා. එතකොට තමයි දැක්කෙ එයා අතේ තියෙන්නෙ කිතුල් පොල්ලක් කියලා.


අපිට බයිසිකලෙන් බහින්නවත් දුන්නෙ නෑ. අපි දෙන්නම බයිසිකලේ උඩ ඉඳගෙන. සුදේශ් කියන කෙනයි රොෂාන් වැලිවිට කියන කෙනයි තමයි අපට මුලින්ම ගහන්න ගත්තෙ. දෙන්නගෙ අතේ තිබ්බ හෙල්මට්වලින්ම තමයි ගැහුවෙ. ෆ‍්‍රෑන්ක් කියන කෙනා බයික් එකට යන්න නොදී අල්ලගෙන ඉන්නව. එතකොට දමිත් ඇවිල්ල කීවා, ”උඹ පහුගිය කාලෙ අපි ගැන ලීවනෙ” කියල එකපාරටම මෙයාගෙ මූණට අතින් ගැහුවා. එතකොට මට පිටිපස්සෙන් රොෂාන් ගහනවා. මේ ගහන ඒව මටත් වදිනවා. එතකොට එකපාරටම දමිත් කියන කෙනා දෑත බදල කිතුල් පොල්ල ඉස්සුවා, ඒක අඩි දෙක හමාරක් තුනක් දිග අඟල් දෙකක් තුනක් විතර ඝනකම පොල්ලක්. දමිත් හැදුවෙ ඒ පොල්ලෙන් තුසිතගෙ ඔළුවට ගහන්න. මුලින් ගහනකොට මෙයාගෙයි, මගෙයි හෙල්මට් ගැලවිල වැටුණා. රොෂාන් ඒවත් අරගෙන ගැහුවා. දමිත් පොල්ලෙන් ගහන්න හදනකොටම මම අත්දෙක දික් කරල මහත්තයගෙ ඔළුවට උඩින් ඇල්ලූවා. ඒ වැදිච්ච පාරවල් තමයි මේ තියෙන්නෙ” අනූෂා අපට ඇයගේ දෑත දිගුකර පෙන්වයි. ඇයගේ දෑතම තැලී ඉදිමී ඇත. පහර දී සති දෙකක් ගත වුවද ඇගේ නිල් පැහැ තැලූම් තවම සුවවී නැත.


”මෙයාට (තුසිතට) කරන්ඩ දෙයක් නෑ. මෙයා කකුල් දෙක දෙපැත්තට දාගෙන ඔළුව නමාගෙන හිටියා. පොලූ පාර ගැහුවත් එක්කම මම බයිසිකලෙන් මෙහා පැත්තට පැන්නා. පැනල ”මොකද උඹල මගෙ මහත්තයට කරන්නෙ” කියල ඇහුවා. ඊට පස්සෙ මගෙ කොණ්ඩෙන් ඇදල අරගෙන මාව පැත්තකට තල්ලූ කරල මට කුණු හරුපෙන් බැන්නා. දැන් තියෙන්නෙ අපේ ආණ්ඩුව කීවා. ආයෙ මම නැගිටලා ගියා. මගෙ සිහිය තියෙන්නෙ මෙයාගෙ ඔළුව බේරගන්න, මම මෙයාගෙ ඔළුවට අත්දෙක තියාගෙන හිටියා.” ඒ හේතුවෙන් අනූෂාට සිදුවන්නේ පිරිසේ ප‍්‍රහාරයට තවදුරටත් ගොදුරුවීමටය.


”මෙයා (අනූෂා) අත තියන් හිටියට හෙල්මට් වලින් ගහපුව මගෙ ඔළුවට වැදුණා. ඊට පස්සෙ මෙයාල මගෙ උරහිස් දෙකටයි අත්දෙකටයි ගහන්ඩ ගත්තා. පිටිපස්සෙ ඉඳල තව කෙනෙක් හෙල්මට් එකකින් මගෙ පිටට ගැහුවා.” තුසිත අප සමග විස්තර කරයි.


”එතකොට පොඩි පුතා එතනට ඇවිල්ල ”ගහන්න එපා ගහන්න එපා” කීවා. එතකොට දමිත් කියන කෙනා ඇහුව තෝ කවුද කියලා. පුතා මුකුත් කීවෙ නෑ. එයා අනේ මාමෙ ගහන්න එපා, අප්පච්චිට ගහන්න එපා කියලා කෑගැහැව්වා. එතකොටම කොහොම හරි බයික් එක ඉස්සරහට ඇදිල ගිහිල්ල කාණුව අයිනෙ වැටුණා. ඒ වෙලාවෙ පුතාට හෙල්මට් එකක් උස්සල රොෂාන් ගහන්ඩ හදලා. දමිත් පුතාට කියල තියනව ”තෝනෙ තාත්තට ඇප තිබ්බෙ, ඊළඟ දවසෙ තෝව තමයි අල්ල ගන්නෙ, තෝව මරණව” කියලා.” තුසිතගේද අනූෂාගේද දෑස්වල කඳුළු පිරී ඇත. දෙමාපියන් වැර වෑයම් කරන්නේ දිය හැකි හොඳම ජීවිතය තමන්ගේ දරුවන්ට තිළිණ කිරීමටය. එවිට තමන් ඉදිරිපිට තමන්ගේ දරුවන්ගේ ජීවිතය උදුරා ගන්නා බවට අයකු තර්ජනය කරන විට සංවේදී නොවන දෙමාපියෝ සිටිත්ද?


”මට හුස්ම ගන්න බෑ. ඒ වෙලාවෙ වෙච්ච දේවල් මම කොහොමද කළේ කියල මට හිතා ගන්න බෑ. මම අයින දිගේ මෙයාව (තුසිත* එක්කගෙන ඇවිල්ල මෙයාව කාමරේට දැම්ම. මම මෙයාට කාමරේ ඉන්න කියල මේ පැත්තට ඇවිත් බැලූවා. එතකොට සද්දෙ අඩුයි. එතකොට මගේ චූටි පුතා ආවා. මං ඇහුව පුතේ කට්ටිය ගියාද කියලා. ඔව් අම්මෙ ගියා කියල, අම්මගෙ ෆෝන් එක පාරෙ තිබ්බෙ කියල මට දුන්නා. අල්ල ගත්ත ගමන් උන් තුසිතගෙ සාක්කු ඇද්දා. එතකොට උන්ගෙ එකෙක් කීවා ෆෝන් එක ගනින් ෆෝන් එක ගනින් කියලා. මෙයාගෙ උඩ සාක්කුවෙ රුපියල් පන්දාහක් මාරු කරල දෙසීයක තෙල් ගහල ඉතුරු සල්ලි ටික තිබ්බලූ. මෙයාගෙ මීඩියා අයිඩන්ටි ටික එක පටියකට දාලා එකට තියෙන්නෙ. ඒකත් ඇදිල ආවා. ඒක මම දැක්ක ගමන් මම ඒක ඇදල ගත්තා. සල්ලියි, ෆෝන් එකයි, බයික් එකේ යතුරයි උන් අරන් ගිහිල්ලා.”


තුසිත සහ ඔහුගේ බිරිඳ නිවසට පැමිණීමට ප‍්‍රථම මැර කණ්ඩායම නිවසට පැමිණ ඇති අතර එහිදී නිවසේ සිට ඇත්තේ තුසිතගේ පොඩි පුතා පමණි. ඔහුට වයස අවුරුදු පහළොවකි. නිවසට පැමිණි පිරිස නිවසේ ඉදිරිපස දොරට පහර දී එය කඩා දමා ඇත. දැන් එම දොර සෙලෝ ටේප් කිහිපයකින් ආවරණය කර තිබේ. කෙසේ හෝ මැර පිරිස නිවසට පැමිණ කලබගෑනිය සිදු කරන අතරතුර දරුවා අසල නිවසකට ගොස් ඇති අතර, එහිදී සිය මවට දුරකථනයෙන් මේ බව දැනුම්දීමට උත්සාහ ගෙන ඇත. ඒ මොහොතේම ඔහුගේ මවත් පියාත් නිවසට පැමිණ ඇති අතර, මැර පිරිස ඔවුන් වට කරගෙන පහර දීම ආරම්භ කර ඇත.


ආරක්ෂාව


මේ සිදුවීම මාධ්‍යවේදියකු ලෙස තුසිත සහ ඔහුගේ පවුලට පමණක් නොව පුරවැසියන් ලෙස අප සියලූම දෙනාට තමන්ගේ ආරක්ෂාව පිළිබඳව ඇති කරන්නේ භීතියකි. රටක පුරවැසියකුට ජීවත්වීමේදී අනාරක්ෂිත බවක් දැනෙනවා නම් එරටේ නීතිය හා සාමය ස්ථාපිත වී ඇතැයි සැලකිය නොහැකිය. ජනාධිපතිවරයා බලයට පත්වූයේ රටේ නීතිය හා සාමය ස්ථාපිත වී නොමැති බවද, තමා නීතිය හා සාමය නැවත ස්ථාපිත කරන බවටද වන පොරොන්දුවක් සමඟිනි. එහෙත් එසේ කී ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් ඔහුගේ නාමයෙන් මෙසේ නීතිය හා සාමය කඩ කරමින් තමන්ගේ මැර ක‍්‍රියාවන් පතුරවමින් හැසිරීම ජුගුප්සාජනකය.


මෙය ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට සිදු කළ නින්දිත ප‍්‍රහාරයකි. එහෙත්, ජනතාවට එහි බරපතළ බවක් තේරී ඇති බවක් අපට පෙනෙන්නට නැත.


”මේ සිද්ධියට පස්සෙ පොලිසියෙ දෙන්නෙක් අපේ ගෙදරට දාල හිටිය, ඒත් පහුවෙන්ඩ පහු වෙන්ඩ ඒ අය එද්දි ? එකොළහ විතර වුණා, අපි උදේට ඇහැරිල බලනකොට ඒ අය ආපහු ගිහිල්ලා. ඊට පස්සෙ ටික දවසකින් පොලීසියෙ අය එන්නෙ නැතුව ගියා. අපි ඒ ගැන අහපුවහම පොලීසියෙන් කීව මොබයිල් එක එවන්නම් කියල. නමුත් මේ වෙනකම් ඒක ආවෙ නෑ.” මෙම ප‍්‍රහාරය එල්ල කළ පිරිස අලූත්ගම ප‍්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති. එපමණක් නොව ඔවුන් අවස්ථා ගණනාවකදී පොලිස් වැටලීම් වලට හසුව ඇති පිරිසකි. එහෙත් අලූත්ගම පොලිසියට දැන් ඔවුන්ව සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැතිවීම අරුමයකි. කෙසේ හෝ මේ පිරිසෙන් පහරදීමට සම්බන්ධ තුසිත සහ ඔහුගේ බිරිඳ හඳුනාගත් කෘති‍්‍රම රා නිෂ්පාදකයන් පස්දෙනා කළුතර විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලබයි. ඔවුන් ඊට පසුදින උසාවියට ඉදිරිපත් කර මේ මස විසි වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයන් පස්දෙනෙකි එහෙත් පහරදීමට පුද්ගලයන් පහළොවක් විස්සක් පමණ පැමිණ ඇත. ඒ නිසා තවමත් මොවුන්ගේ ජීවිත ඇත්තේ අනාරක්ෂිතවය.


”අපිට සාධාරණයක් ඉෂ්ට වෙනකම් ආරක්ෂාවක් ලබා දෙන්න. අපි කවුරුවත් දැන් තනියම ගෙදරින් එළියට යන්නෙ නෑ. කාට හරි කඬේකට යන්ඩ වුණත් තනියම යවන්නෙ නෑ. අපිට ආරක්ෂාවක් ලබා දෙන්ඩ” විශ්වවිද්‍යාල සිසුවියක වන තුසිතගේ වැඩිමහල් දියණිය පවසයි.


කවිඳු සංදීප සිංහල යොවුන් පෙරමුණ නම් සංවිධානයක සභාපතිවරයාය. එසේම ඔහු වත්මන් ජනාධිපතිවරයාට පසුගිය ජනාධිපතිවරණයේදී සහය දුන්නේය. මෙම පහරදීමත් සමග ඔහු අදාළ යොවුන් පෙරමුණේ තනතුරෙන් සහ දේශපාලන තනතුරු වලින් තාවකාලිකව ඉල්ලා අස්වී ඇත. ”මාධ්‍යවේදීන්ට එරෙහි පහරදීම් විශාල ප‍්‍රමාණයක් මේ වෙද්දි වාර්තා වෙලා තියනවා. ඒ අතරින් සිදුවීම් දෙකක් මම හොඳටම දන්නව සත්‍ය සිදුවීම් කියල. අපි මේ ජනාධිපතිවරයව පත්කරේ මේ වගේ සිදුවීම් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මේ සිදුවීම් වලට අනිවාර්යෙන්ම නීතියෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි.” සංදීප පැවසීය. කඳවුර තුළින්ම විරෝධය පළවීම ප‍්‍රගතිශීලීය.


”අපිට ඕනෙ මේකට නීතියෙන් සාධාරණයක් ඉටුවෙන්න. එහෙම වුණොත් තමයි මට නැවත බයක් නැතුව මාධ්‍ය කටයුතුවල නිරත වෙන්න පුළුවන් වෙන්නෙ. අපිට කොහොමහරි ජනාධිපතිතුමාව හම්බවෙන්න අවස්ථාවක් දෙන්න කියලත් පත්තරේට ලියන්න.” තුසිත අවසානයේ කීවේය.


තුසිත සහ ඔහුගේ පවුලේ පිරිස සේම අපද බලා සිටින්නේ මේ පහරදීමට එරෙහිව සාධාරණ පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට නීතිය ක‍්‍රියාත්මක වන තෙක්ය. එසේ සිදුවුවහොත්, මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට එය කොළ එළියක් වනු ඇත.