ටිරන් කුමාර බංගගමආරච්චි


සොක්‍රටීස්ගෙන් ශිෂ්‍යයෙක් අසනුයේ ගුරුතුමනි යුද්ධය යනු කුමක්ද? සොක්‍රටීස් කියනුයේ යුද්ධය ගැන නම් මම දන්නේ නැහැ. හැබැයි යුද්ධයෙන් පස්සේ ඉතිරිවන්නේ වහල් මනසක් ඇති ජඩ පිරිසක් කියාය.


අප අමතක නොකළ යුත්තේ අපිද යුද්ධයකින් පසු දිවි ගෙවන පිරිසක් බවය.


මේ ආණ්ඩුව ක්‍රියා කරනුයේ අමුතුම ආරකටය. මහින්ද රාජපක්ෂ පාලනයට වඩා වෙනස්වය. මහින්ද පාලන කාලයේ සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද ජනපති, ආරක්ෂක ඇමති වුවද ඔහුගේ වැඩ එදා සිටි ලේකම් ස්වරූපයම විනා වැඩි වෙනසක් පෙනෙන්නට නැති වුවද පෙනී සිටීමේ හැඩය වෙනස් වී ඇත. එනම් එදා තමාගේ නමටම ලියා ගත් බොහෝ දේ මෙවර වෙන අය පිට පටවන්නට ඔහු සමත් වී ඇත. කොටින්ම ඔහුගේ දෑත් ඉතා පිරිසිදුව තබා ගන්නට ඔහු වෙහෙසෙනු පෙනේ. එදා සහ අද වෙනස එයය. එදා මහින්ද ආණ්ඩුවේ නරකයා වූයේ ගෝඨාය. එදා ආණ්ඩුවේ නරක ක්‍රියා ගණනාවක කොටස්කරුවා වූයේ ගෝඨාය. ගෝඨා කරන කිසිවක් ඉහළින් එන නියෝග කියා පිළිගන්නට කිසිවෙක් උත්සාහ නොකළේය. අයියා මල්ලිට රිසි සේ ක්‍රියා කරන්නට ඉඩ හැර ඇතැයි සැවොම සිතූහ. ගෝඨාද එසේ සිතාම කටයුතු කළේය.


එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. එදා මහින්ද අයියා ජනපති ලෙස තමාට දුන් නිදහස අද ඔහු ලබා දෙන්නේ ඔහුගේ මල්ලී වන බැසිල්ටය. ගමන් කරන රටාව එක වගේ යැයි පෙනුණද හැඩය වෙනස්ය. දහනවයට බැණ බැණ ගෝඨා ජනපති කරද්දී රාජපක්ෂවාදීහු අගමැතිකම ඉල්ලුවේ මහින්දටය. ඒ 19 යටතේ වඩා ප්‍රබල අගමැති නිසාය. මහින්දවාදීහු සිතුවේ ගෝඨා ජනපති කොට මහින්ද පාලනයක් ගෙන යන්නටය. අදටත් ආණ්ඩුවට එල්ල වන ආණ්ඩුවේම පාර්ශ්වවල විරෝධතාහී සැබෑ අරුත එයය. මහින්දගෙන් ගොඩ යෑමට බලා සිටි අයට මහින්ද අහිමිවීමය.

එදා ආරක්ෂක ලේකම් ලෙස ගෝඨා කුමක් කළද නිහඬව සිටි මහින්ද අද ජනපති ලෙස ගෝඨා කුමක් කළද කරබාගෙන සිටිනුයේ කළ හැකි දෙයක් නැති නිසා මිස හැකි නිසා නොවේ. මහින්දගේ වැඩ කිරීමේ ක්‍රමවේදය දස වසරක්ම මේ දේශපාලනය තුළ ඔහු සතු උපරිම බලය ඇතිව ඔප්පු කළේය. එය නැවත ඒ විදිහට කරන්නට ගෝඨා මෝඩ නැත. ඔහු ඒ වෙනුවට ඉදිරියට ගන්නට වෙර දරනුයේ ඔහුගේ මල්ලීවය. අයියලාට මල්ලිලා සමග වැඩ පහසු බව ඔහුට කියා දුන්නේ මහින්ද අයියාය. දැන් ගෝඨා කරනුයේ එය බැසිල් ලවා අත්හදා බලන්නටය. අද ගෝඨා ආණ්ඩුවේ ප්‍රබලයා බැසිල්ය. විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ගෝඨාගේ බලය කොතරම් ප්‍රබලවීද යත් ඒ හරහා සමස්ත කැබිනට් එකම හකුළුවා ඉන් පිට පුද්ගලයකුට භාරදීමට ඔහුට හැකිය. බැසිල් අමාත්‍යවරයකු නොවේ. ඔහු පාර්ලිමේන්තු එන්න ඉක්මන්ද නොවේ. එහෙත් බිම් මට්ටමේ සිට රටේ සියලු බලය සියතට ගෙන ඇත්තේ ඔහුය.

ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ අධීක්ෂණය කරන්නේ ඔහුය. එදා බැසිල්ට බැණ වැදුණු විමල් වීරවංශලාට මේ අරුත නොපෙනේද? අද ගෝඨා ආණ්ඩුවේ මහ මොළකරුවා බැසිල්ය. අයවැය හැදුවේ බැසිල්ය. හෙට රට සංවර්ධනය කරන සියලු ව්‍යාපාරවල ඉන්නේ බැසිල්ය. කොටින්ම ගෝඨා ආණ්ඩුවේ වෙනස පාර්ලිමේන්තුවක් නැතිව රට කිරීමය. මෙය නවතම අත්හදා බැලීමය. බැසිල් පාර්ලිමේන්තු යනු ඇත. එහෙත් ඊට පෙර නොයා හැකි සෑම සෙල්ලමක්ම පෙන්වනු ඇත. ගෝඨා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සතු බලය කැටි කොට අඹා ඇති බලිය බැසිල්ය. 2021 සිට මේ රට බැසිල්කරණය වන හැටි බලා සිටිය හැකිය. ආර්ථික න්‍යායවරු කුමක් කීවද? ගෝඨා-බැසිල් අමුතුම ආරකට වෙනස්ම ගේමක් ප්ලේ කරනු ඇත. එදා මහින්ද යුගයේදී අප බලා සිටියේ ගෝඨා දෙසය. මන්ද සියලු අවධානය දිනා ගත්තේ ඔහු බැවිනි. වත්මනහි එතැන ගන්නේ බැසිල්ය. බලා සිටිය යුත්තේ කතා කළ යුත්තේද ඉදිරියේදී ඔහු ගැනය. එය රාජපක්ෂලාගේ ඊළඟ ජනපති අපේක්ෂකයා ගොඩනැගීමේ ව්‍යාපෘතිය විය හැකිය. ගෝඨා අහම්බයක් වුවද බැසිල් ගොඩ නැගීමක් විය හැකිය.


මහර සහ වැලිකඩ

ගෝඨා ආරක්ෂක ලේකම්ව සිටියදී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවන කැරැල්ලක් මැඬපවත්වනුයේ රැඳවියන් 27 දෙනෙක් ඝාතනය කිරීමෙනි. මෙය ලොව කළඹන සිද්ධියක් වූ අතර එය රාජපක්ෂ පාලනය තුළ සිදුවූ ම්ලේච්ඡතම ක්‍රියාවක් බව සමාජ ගතවිය. ඒ ආකාරයම නොවුණද මතකය අවුස්සන සිද්ධියක් මේ වසරේදී මහර බන්ධනාගාරයේදී සිදුවිය. ඉන් රැඳවියන් එකොළොස් දෙනෙක් මිය ගියේය. වැලිකඩදී තෝරා ගෙන වෙඩි තබා තිබුණි. මහරදී තේරීමකින් තොරව වෙඩි තබා තිබුණි. වැලිකඩ සිද්ධියේදී මහින්ද රාජපක්ෂට කිසිවකු ඇඟිල්ල දිගු නොකළ අතර සැම චෝදනා කළේ ගෝඨාටය. එහෙත් අද මහර සිද්ධියේදී කිසිවකු ගෝඨාට ඇඟිල්ල දිගු කරන්නේ නැත. එසේ කියා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට චෝදනා කරන්නේද නැත. කවුරු හෝ වැලිකඩ සහ මහර සසඳන්න උත්සාහ කළේ නම් එයද හරි ගියේ නැත. එයට හේතුව ඊට පෙර ජනපති ගෝඨාගේ ප්‍රධානත්වයෙන්ම කමිටුවක් පත් කොට මහර සිද්ධිය ගැන විමර්ශනයක් කිරීමය. විමර්ශන ප්‍රතිඵලද උණ්ඩයක වේගයෙන් එළියට ආහ. එදා අධික මුදල් කන්දරාවක් වියදම් කරමින් යහපාලන ආණ්ඩුව වැලිකඩ සිද්ධියට රිපෝට් හැදූමුත් අදටත් එයින් සිදුවූ සෙතක් නැත. එහෙත් මහර සිද්ධියේ චෝදනාව එල්ල වනුයේ නිලධාරීන්ටය. අවසානයේ වරද පොදුවේ එනුයේ ආණ්ඩුවටය.

සිරකරුවන් වතුර ඉල්ලා සිටියදී වෙඩි තැබූ බව කියන තරමට කමිටු වාර්තාව ප්‍රබල විය. මහර සිද්ධිය වූ සැණින් ආණ්ඩුවේ අය කීවේ විවිධ කතාය. විමල් වීරවංශ රිවස් පෙත්තක් ගෙනවිත් මේ කතාව සම්පූර්ණයෙන්ම රිවස් කරන්නට උත්සාහ කළේය. ඉන්පසු ආ ප්‍රබලම කතාව රැඳවියන් රැඳවියන් කපා කොටා ගෙන මියගිය බවය. ඒ මොහොතේ බන්ධනාගාරය අයත්ව තිබුණේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේටය. ඇයගෙන් එම ධුරය ඉවත් කොට එය භාර දෙන්නේ ලොහාන් රත්වත්තේටය. ඔහු පත්වීම ගෙන රටට කියනුයේ කිසිදු රැඳවියෙන් වෙඩි වැදී මියගොස් නැති බවය. මේ සියල්ල අස්සේ පිටපත වෙනස්ම වන්නේ කමිටු වාර්තාවෙනි. එයින් සිරකරුවන්ගේ ඉල්ලීම් සාධාරණය කරන අතර එයට බලධාරීන් දැක්වූ ප්‍රතිචාර වැරදි බව හෙළි කරන අතර රැඳවියන් මියගියේ වෙඩි වැදීමෙන් බවද පැහැදිලි කෙරේ. එසේ නම් දැන් කාටවත් මහර සිද්ධිය කර තබා ගත හැකිද? කාට හෝ ඍජුවම ඇඟිල්ල දිගු කළ හැකිද? ගෝඨාට දොස් පැවරිය හැකිද? ගෝඨාගේ ආණ්ඩුවට දොස් පැවරිය හැකිද? ඉදිරියේදී ඒමට නියමිත මානව හිමිකම් සංවාදයේදී මහර සිද්ධිය ගත හැක. එහෙත් එයට ආණ්ඩුවක් ලෙස දී ඇති උත්තරය සුළු පටුද? මේ ආණ්ඩුව ඊට වරද පිළිගෙන නැද්ද? නිලධාරීන් වුව නොසැලකිල්ලට කළ දේට සාධාරණ පරීක්ෂණයක් ගෝඨා කර නැත්ද? ලියවිල්ල මුලින්ම කීවේ ඒකය. එනම් දැන් ගෝඨා පෙනී සිටින විදිහ වෙනස් කියාය. ක්‍රියා කරන විදිහ පරණ පුරුදු ලෙසම විය හැකිය. එහෙත් පෙනී සිටින හැඩය වෙනස්ය. සිහි තබා ගතයුත්තේ එයය.


පී.බී. දැක්කීම

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කළ බවත්, එහි සාමාජිකයන්ට ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දුන් බවත් දැන් සැම දන්නා කරුණය. එය තනිකරම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ වැඩක් බව සමාජ ගත කළේය. මේ වෙනුවෙන් දේශපාලනිකව විශාල කතිකාවක් ඇතිවිය. පී.බී.ව කට්ටිය පතුරු ගැසූහ. එය පීබීට හිතු මනාපෙට කළ නොහැකි බවත්, එය අගමැති සතුව ඇති බවත් එය කරන්නේම නම් පාර්ලිමේන්තුවේදී කළ යුතු බවත් ආණ්ඩුවේම ඇමතිවරු නැගූ හඬය. එහෙත් ඒ සැම පරදා පී.බී. දින්නේය. ඉදිරියේදී පී.බී. පරදා ජනපති මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයන් පත් කර නැවත ක්‍රියාකාරී කරනු නියතය. ප්‍රශ්නය එය නොවේ. ජනාධිපති ලේකම් ජනාධිපතිට වඩා ලොකුද? ජනාධිපති ලේකම් ලියුම් ලියනුයේ ජනපති නොදැනුවත්වද? ඔහුගේ අණ පරිදි නොවේද? එහෙත් කිසිවෙක් මෙම සිද්ධියේදී ගෝඨාට ඇඟිල්ල දිගු නොකරන්නේ ඇයි? බන්දුල පී.බී.ගේ නම නොකියා නිලධාරීන් කෙරුමෝ වී ඒ අය පුලන්නෝ කර ඇතැයි කෙඳිරි ගාන්නේ ඇයි? සියල්ල දන්නා බන්දුල පී.බී. හසුරවන්නේ කවුද කියා නොදනීද? මහින්ද ඒ බව නොදනීද? එහෙත් පීබී පව්කාරයා කොට ගල් ගසා සතුටුවන්නේ ඇයි? වයින් පරණ වුණාට බෝතල් අලුත්ය. ගෝඨාගේ මෙවර ක්‍රමවේද පරණ ක්‍රමවේදයම විය හැක. එහෙත් පෙනී සිටින විදිහ පෙන්වන විදිහ වෙනස්ය. මහින්ද ළඟ තිබූ ඇන්ටික් බඩු ගෝඨා ගත්තේ සාලයේ නිකං තියන්නට නොව, ප්‍රදර්ශනාගාරවල තබන්නට බව සිහි තබා ගත යුතුය.


අද ලංකාවේ දේශපාලනයක් නැත. ඇත්තේ ගේම් එකකි. රාජපක්ෂවරු සියල්ලෝම එම ගේම් එකේදි එක පැත්තේය. එහෙත් ඒ එකිනෙකා පැත්තේ අන් අය බෙදී ඇත. ඇත්තටම පාර්ලිමේන්තුවක් කුමකටද? මේ පවුල සිටියාම හොඳටම ඇතිය. විපක්ෂය දුවන්නේත් මේ පවුලේ එකිනෙකා පස්සේය. සජිත් මහින්ද පසුපස යනවිට චම්පික ගෝඨාට අඳින්නට වෙර දරයි. ඒ අස්සේ රාජපක්ෂලා බැසිල් යෝධයකු කරමින් සිටී. විපක්ෂයට මහින්ද මෙන්ම ගෝඨා ඇතත්, බැසිල් කෙනෙක් නැත. බරපතළම ප්‍රශ්නය ඇත්තේ එතැනය. කොපි කළ හැක. සමකළ නොහැකි බව රාජපක්ෂලා කියා දුන්නේ 2019 කෙළවරදීය. ඒ ගෝඨා ජනපති කිරීමෙනි.


යුද්ධය ගැන කියන්නට සොක්‍රටීස්ටත් නොවැටහුණාද? අපේ අය ඇති පදම් විග්‍රහ සැපයීය. එහෙත් රාජපක්ෂලා සොක්‍රටීස්ගේ අරුත මනාව වටහා ගත්හ. එනම් යුද්ධයෙන් පසු ඉතිරි වන වහල් මනස් සහ ජඩ පිරිස් හරියටම කේට කළේය. ගිනිපෙනෙල්ලෙන් බැට කෑ එකා කලාමැදිරි එළියටත් බය යැයි කතාවට කියති. ඒ නිසා හැමවිටම මූණිස්සම් ගැනම සිතිය යුතු නැත. රතිඤ්ඤා කරලත් දේශපාලන චිත්‍රය වෙනස් කරන බව කිව යුතුය. මහින්දට යුද්ධය දිනාද ලබාගත නොහැකි වූ බලය ගෝඨා ගත්තේ පාස්කු ප්‍රහාරයෙනි. එකම සිද්ධි විය හැකිය. එහෙත් අරුත් වෙනස්ය. ගෝඨා ආරක්ෂක ලේකම්ව සිටියදී වීදි පුරා ගල් අල්ලා නගර අලංකාර කළේය. බන්ධනාගාරවල රැඳවියන් ඝාතනයද වූයේය. තව තව බොහෝ දේ විය. ගෝඨා ජනපති වූ පසුත් වීදි පුරා ගල් අල්ලා නගර අලංකාර කරන්නේය.

බන්ධනාගාරවල රැඳවියන් වෙඩි වැදී මිය යන්නේය. තව බොහෝ දේ වීමට ඉඩ ඇත. එහෙත් මේ ඒ ගෝඨාමද? ඊට ඔව්! කියන්නටත් නැහැ! කියන්නටත් පුළුවන. මේ දෙකම එකවර කිව නොහැකිය. එකවරකට කිව හැක්කේ එකකි. ඒ අනුව මේ ඒ ගෝඨාමද කියා ඇසුවහොත් අප කියනුයේ ‘නැහැ’ යන්නය. ක්‍රියාව එක වුවත් හැඩය වෙනස් නම් නෑ මේ ඒකමයි කියා තර්ක නොකර වෙනස හොයන්නට වෙහෙසෙමු. අමතක නොකළ යුත්තේ “අපේ රටේ මිනිස්සු හරි වෙනස්.” ■