විමලනාත් වීරරත්න
ඡායා – රසික ගුණවර්ධන

හේමන්ත ප්‍රසාද් නාට්‍ය සිනමාව හා ටෙලිනාට්‍ය යන තෙවැදෑරුම් මාධ්‍යයන්හි වසර 35කට ආසන්න කාලයක් රංග අභ්‍යාසයක නියැළෙන කලාකරුවෙකි. ඔහු නාට්‍ය රචකයෙකු හා තිර පිටපත් රචකයෙකු ලෙසද සම්මානයට පාත්‍ර වූයේය. මේ දක්වා චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කර ඇති හේමන්ත රෂෝමොන් නාට්‍යය 2000 වසරේදී නිෂ්පාදනය කරමින් එහිදී පරිසමාප්ත නිෂ්පාදන මැදිහත්වීමක් ප්‍රකට කළේය. ප්‍රකට ප්‍රහසනයක් වන ලෝරන්ස්ගේ මනමාලි ඔහුගේ නාට්‍ය රචනයකි. මේ දීර්ඝ කාලය තුළ හෙතෙම කෙටි නාට්‍ය විෂය පිළිබඳ පර්යේෂකයකු ලෙස වෙසෙස් ප්‍රායෝගික මැදිහත්වීමක් කළේය.

මිනිහෙක් අභ්‍යන්තරයෙන් පරිණත වෙනකොට බාහිරින් ඒක පේනවා. බාහිරින් බලන කොට හේමන්ත 90 දශකයේ සිටි තරුණයා තවදුරටත් නියෝජනය කරන බවකුයි පෙනෙන්නේ. මිනිසකුගේ අභ්‍යන්තර සහ බාහිර වෙනස්වීම ඔබට අදාළ වෙන්නෙ කොහොමද?


මට පැවැත්ම පිළිබඳ ප්‍රශ්න අඩුයි. පමණට වඩා පීඩාකාරී ප්‍රශ්නවලට මම ඇතුළුවෙලා නැහැ. ජීවිතය කියන්නෙ විඳින්න ඕනෙ එකක්. මගේ ආශාවන් හරි සරලයි. හැබැයි ඒවා ටිකක් හුරතල් දේවල් කියලයි මට හිතෙන්නෙ. ලොකු ගෙයක් හදා නොගන්නෙ ඇයි, වාහනයක් නොගන්නෙ ඇයි කියලා සමහරු ප්‍රශ්නයක් අහනවනෙ. මගේ මිතුරන් ඒ සේරම තිබිලත් කටුක ජීවිතයක් ගත කරනවා. ඒ සමහරු මට වඩා ලොකු ආදායමක් ලබනවා. ඒවා එසැණින් යන්නෙ බැංකුවලටයි, ලීසිං කම්පැණිවලටයි. මේ පීඩාව නිසා ලයිෆ් එක විඳින්න තියන අවස්ථාව නැති කර ගන්න මම සතුටු වුණේ නැහැ. ඒ නිසා අභ්‍යන්තරයෙනුත් මම දේශපාලනය ගැන මනුෂ්‍යත්වය ගැන දීර්ඝ කාලයක් දරපු මත වෙනස් කරගන්න මට අවශ්‍ය වුණේ නැහැ. මිනිහෙකුට ප්‍රශ්න වැඩිවෙන කොට සමහර ප්‍රතිපත්ති දියවෙන එක මට සිද්ධ වුණේ නැහැ. ඒත් එක්කම කලාව ඇතුළෙ බොරුව සමාජගත කරන වැඬේට මම සම්බන්ධ නැහැ. මට හැකි දේ මම අවංකව කරනවා. කල්ලිවලට නොයා. මේ නිදහස් පැවැත්ම තුළ මට අභ්‍යන්තරවත් බාහිරවත් ලොකු වෙනසක් කරගන්න ඕනෙ කමක් වුණේ නැහැ. ආවේණිකව සිදුවන දේවල් ටික වෙලා තියෙනවා.


ඔබ ගැන මට තිබෙන මුල්ම මතකය තමයි 90 දශකයේ මුල ‘ඒඞ්ස්’ ආසාදිත තරුණයකු සම්බන්ධ චරිත නිරූපණයක්. නාට්‍ය ප්‍රවිෂ්ටය ඇරඹෙන්නේ ඒ හරියෙන්ද?


නැහැ. 85දි විතර මම හිටියෙ මහබාගෙ ඒ දවස්වල දෙමළ මුස්ලිම් මිතුරන් ඇසුරේ කාලය ගෙවුණා. නාට්‍යවලට මට පොඩි ආසාවක් තිබුණු නිසා නත්තලට මේ මිතුරන් සමග කෙටි නාට්‍යයක් හැදුවා. ‘හංස විල කැළඹී’ කියලා. ඒක පෙන්නපු දවසෙ ඉඳලා අපි ගමේ සුපර්ස්ටාස්ලා වුණා. ඉන්පස්සෙ ඒක තරුණ සේවා සභාවෙන් බස්නාහිර පළාතේ කරපු කෙටි නාට්‍ය තරගෙකට දැම්මා. මේකෙ ප්‍රධාන චරිතය කළේ බර්නාඞ් කියලා මගේ ද්‍රවිඩ මිතුරෙක්. ගමේදි වගේ නෙමෙයි මේ නාට්‍ය තරගෙ නරඹන්න ඇවිත් හිටපු සෙනඟ දැකපු ගමන් බර්නාඞ් මටත් නොකියා යන්න ගියා. නාට්‍යයේ රචක සහ අධ්‍යක්ෂ මම නිසා එදා මම ඒ චරිතය රඟපෑවා. හොඳම නාට්‍ය. හොඳම රචනය සහ හොඳම නළුවා කියන සම්මාන තුනම ඒ නාට්‍යයට ලැබුණා. ඒක තමයි ආරම්භය.


රංගනය කියන්නෙ මනෝ කායික ප්‍රවේශයක්. මේ ගැන ඔබේ අභ්‍යාසය කෙබඳු එකක්ද?


සමාරෝපයට අවශ්‍ය නිරීක්ෂණ අතිවිශාලයි. මම නිරීක්ෂකයෙක්. පළමුව චරිතයකට මතුපිටින් පිවිසෙන්නේ කොහොමද කියන එක සොයා බලන්න වෙනවා. එම චරිතයේ අභ්‍යන්තර නිරූපණයට අදාළ ඉංගිතයන් තිබෙන්නෙ මතුපිට. ශිල්පීය නිපුණතාව මේ මතුපිට ක්‍රියාවටත් අත්‍යවශ්‍යයි. ශාරුක් ඛාන් නිදසුනකට ගතහොත් ඔහු චරිත අභ්‍යන්තරයට පිවිසීමට මෙන්ම ප්‍රේක්ෂකයා ඒ කරා ගෙනයෑමට පළමුව භාවිත කරන්නෙ මතුපිටවාදී ඉංගිතයන්. චරිත අභ්‍යන්තරයට යන ක්‍රියාවලියට සත්තාභ්‍යාසය වැදගත් වෙනවා.


කෙටි නාට්‍ය කලාව ඔබත් මැදිහත් වූ ජනප්‍රිය කලා අංගයක්. 90 දශකයේ කෙටි නාට්‍ය විශේෂඥයො අතර ඔබත් හිටියා. මේ පිබිදීමට හේතුව මොකක්ද?


අද කෙටි නාට්‍ය කරන තරුණ ශිල්පීන්ට රාජ්‍ය හා යොවුන් කෙටි නාට්‍ය උළෙල යන දෙක විතරයි නිර්මාණ ඉදිරිපත් කරන්න තියෙන්නෙ. 90 දශකයේ අපි කෙටි නාට්‍ය කරන කාලෙ ඒ දෙකට අතිරේකව, හොරණ රංගන, ජල සම්පාදන සේසත්, අපි මිතුරෝ, සරසවි නිර්මාණ, සුබෝධි නාට්‍ය උළෙල වැනි අවස්ථා රැසක් තිබුණා. ඉතින් කෙටි නාට්‍යකරුවන්ට නිර්ලෝභීව වැඩ කරන්න අවස්ථාව ලැබුණා. 1991දී සේසත් කෙටි නාට්‍ය උළෙලේ අවසාන වටයේ නාට්‍ය අටෙන් හයකම ප්‍රධාන චරිත කළේ මම. එකක් ඉවර වෙනවත් එක්කම සෙට් එක පිටුපසට ගිහින් කොස්ටියුම් මාරු කරනවා. හුඟක් අමාරු වැඩක්. ඔය දවස්වල කෙටි නාට්‍ය අපේ ජීවිතේම වුණා. ඒක සැණකෙළියක් වගේ. අද තරුණ ශිල්පීන්ට එහෙම අත්දැකීම් ලැබෙන්නේ නැහැ.
පසුකලෙක, 1998 විතර වෙනකොට ධනංජය කරුණාරත්න මේ සියලු කෙටි නාට්‍යකරුවන් අබිබවා යන කෙටි නාට්‍ය කලාවකට පිවිසෙනවා.


අපි නාට්‍ය කරන කොට අපිට කොහෙන්වත් ආදර්ශයක් ලැබුණේ නැහැ. ඇත්තටම ඒ ගැන අපිට නිශ්චිත අදහසක් තිබුණේ නැහැ. හැබැයි නැණ පමණින් කළත් අදටත් ඉහළම තත්ත්වයේ සැලකිය හැකි නිර්මාණ කෙරුණා. ඇන්ටනි ජයලත්, ජනක් ද සිල්වා, ආරියවංශ ධම්මගේ වැනි අය අතින්. මේ කාලය තුළ තමයි ධනංජය එන්නෙ. එයා කෙටි නාට්‍ය එතෙක් ගිය ගමන වෙනස් මාවතකට හැරෙව්වා. සංවිධිත මනා කෙටි නාට්‍යයක් කෙසේ විය යුතුද යන්නට ඔහු පිළිතුරක් සෙව්වා. ඔබ සාපේක්ෂකයි, චන්ද්‍රාවතී සමග රාත්‍රියක් වැනි කෙටි නාට්‍ය ඊට නිදසුන්. මේ නාට්‍ය ආසන්න වකවානුවේ තවත් අය අනුකරණය කරන්න පටන් ගත්තා. පසුව වැඩ කළ අය එම ආකෘතිය පමණක් ගැනීම නිසා ආපහු කෙටි නාට්‍ය ඉදිරියට නොගිය තත්ත්වයකුත් තිබෙනවා.


ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය, සමකාමීත්වය වැනි තේමා සහිත නිර්මාණවලට ඔබ වැඩිපුර දායක වුණා. එම විෂය පථයන් තරමක් හෝ විවෘතව අද වනවිට කතා කරන්න ඔබ ඇතුළු කිහිප දෙනකුගේ දායකත්වය වැදගත් වුණා. එම අතීතය සහ අද ගැන මොකද හිතෙන්නෙ?


අදටත් මම ඒ සාකච්ඡාවේ සිටිනවා. මම කළ ‘එල්සි’ කියන කෙටි චිත්‍රපටයේ තේමාවත් ඒකයි. 1990දී සමකාමීත්වය තේමා කරගෙන ‘අම්මා අහිමි කියන’ නාට්‍ය කළා. අත්අඩංගුවට ගන්නා තරුණයකු හා තරුණ හමුදා නිලධාරියකු අතර මානුෂික බැඳීමක් එමගින් නිරූපිතයි. නීතිය හා මානුෂික බැඳීම කියන කාරණා දෙක වැඩ කරන්නෙ කොහොමද? අපිට ඕනෙ දේ මිනිස්සු කළ යුතුද? බලහත්කාරයෙන් තොර දිවියක් මිනිසාට අත්විය යුතුයි යන අදහස තමයි එම නිර්මාණවලින් මතුවුණේ. එහෙත් තවමත් අපේ සමාජය මේ ගැන විවෘතව සිතන්න තරම් දියුණු නැති බවක් පේනවා. විසාකේස චන්ද්‍රසේකරම්ගෙ ‘සයපෙති කුසුම’ චිත්‍රටය ප්‍රදර්ශනය වන දවස්වල එක් සිනමාහල් හිමිකරුවෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළා මගේ හෝල් එකේ නම් ඒ ජාතියෙ චිත්‍රපට පෙන්වන්නෙ නැහැ කියලා. සිනමා කර්මාන්තයේ ඉන්න කෙනෙකුට චිත්‍රපටියක් ගැන එසේ කිව හැකිද? ඔස්කාර් සම්මාන දිනපු ‘මූන් ලයිට්’ වැනි චිත්‍රපටයක් ඔහුගේ සිනමාහලේ පෙන්වන්නේ නැද්ද? සමකාමිත්වය ගැන සිංහලෙන් කරන චිත්‍රපටයක් විතරද නොපෙන්වන්නෙ. ඉංග්‍රීසි එකක් ප්‍රශ්නයක් නැද්ද? මේ ප්‍රශ්න අපට මතුවෙනවනෙ.


මේක මෙරට සංස්කෘතික නොදියුණුවේම ප්‍රකාශනයක් ලෙස අපට තේරුම් ගන්න වෙනවා නේද?


ඔව්. දූපතක් වීමේ ගැටලුව බරපතළයි. නාට්‍ය කලාවට අදාළව ගත්තත් එහෙමයි. අපේ හැම ප්‍රශ්නයකටම මේ දූපතට අස්සට වෙලා ඉන්න එක ගෑවෙනවා. විදේශීය නාට්‍ය ගැන අපි අදහසක් ගන්නෙ පරිවර්තනයක් නරඹලා. ඒත් ඒ හැම පරිවර්තනයක්ම වගේ පරණ වෙලා අපි ළඟට එන්නෙ. 1990 ලෝකයේ රචනා වූ, නිෂ්පාදනය වූ නාට්‍ය තමයි ඉන්පසු වසර තිහ තුළම අපි බලලා රසවිඳලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හැමවිටම පසුපසින් ඉන්නේ. එතකොට නාට්‍ය සම්බන්ධ අපේ ප්‍රමිතීන් පරණ වෙනවා. ඒක විනිශ්චයන්ටත් බලපානවා. අපේ ප්‍රවීණ නාට්‍යකරුවො පවා දන්නෙ භාරත රංග මහෝත්සවය ගැන විතරයි. නැත්නම් දිල්ලි ෆෙස්ටිවල් එක ගැන කියයි. මොකද ඒ ගොල්ලො නියෝජනය කරලා තියෙන්නේ ඒ දෙක විතරයි. මම 2005/2006 වර්ෂවල එඩිම්බරේ තියටර් ෆෙස්ටිවල් එක නියෝජනය කරනවා. කවුරුවත් මේ ගැන කතා කරන්නෙ නැහැ.

ඒවා වහලා තියෙන්නෙ. බි්‍රතාන්‍ය නිෂ්පාදකවරයෙක් කරපු Children of the sea නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ එම නිෂ්පාදක ලංකාවට ඇවිත් කරපු ඔඩිෂන් එකකින්. ඒ වසරෙම මාව Mid Summer night dreams නාට්‍යයටත් තේරෙනවා. ඒත් පළමු එක නිසා ඒකට මම යන්නෙ නැහැ. ඉන්දියාවෙ තිබුණු වර්ක් ෂොප් එකට විතරක් සහභාගි වුණා. Children of the sea කියන්නෙ ෂේක්ස්පියර්ගෙ පෙරික්ලීස් කුමාරයා කියන නාට්‍ය ඇසුරින් කළ එකක්. පෙරික්ලීස් කුමාරයගෙ චරිතය කළේ මම. එඩිම්බරේ උළෙලට රටවල් 60කින් නාට්‍ය 600ක් එනවා. ඒකෙ ප්‍රධාන සම්මාන දෙකම අපි දිනනවා. නාට්‍ය කලාව ලෝක මට්ටමින් හඳුනා ගැනීමට මට මේ වගේ අත්දැකීම් ඉවහල් වෙලා තියනවා. එහෙත් ගල් ගුහාවල ඉඳන් නාට්‍ය කරන අය මේවා බොරු කියලා කියනවා. බොරු නම් ඇයි පරීක්ෂා කරලා නොබලන්නේ කියලා මං ඔවුන්ගෙන් අහනවා. අඩුම තරමින් රටවල් 60කින් ආපු නාට්‍ය 600ක් මාසයක් ඇතුළත පෙන්වන්නෙ කොහොමද කියලා සොයලා බලලා ඒකෙන් නාට්‍ය උත්සව පිළිබඳ අත්දැකීමක් හරි අපේ අය ගන්න ඕනෙ. එහෙත් කාටවත් ඒ ගැන වගේ වගක් නැහැ.


ආගම, ලිංගිකත්වය, ජාතිය, සංස්කෘතිය වැනි දේවල් පිළිබඳ ලංකාව ආචීර්ණ කල්පිකයි. ඒක වෙනස් කරන ව්‍යායාමයක කලාකරුවා ඉන්නවද?


කලාකරුවාම ස්වයං වාරණයක් දාගත්ත රටක්නෙ මේක. එතකොට කොහොමද පෙරටුගාමී වෙන්නෙ. දැන් විසාකේස නිර්භීතව ‘සයපෙති කුසුම’ හදලා සම්මානත් දිනනවා. ඒත් සමාජය තුළ තිබෙන ආදි කල්පිත මත ඒ ප්‍රස්තුතය පිළිගන්නෙ නැති වෙනවා. ගණිකා වෘත්තිය නීතිගත කරමු කිව්වොත්, ගංජා නීතිගත කරමු කිව්වොත් විශ්ලේෂණාත්මකව ඒ කාරණය දෙස මේ සමාජය බලන්නේ නැහැ. ආපෝ කියලා තීරණය දෙනවා. ඒක විශ්ලේෂණයෙන් උපන් තීරණයක් නෙමෙයි. මේ රටේ මිනිස්සු වෙස් මූණක් දාගෙන ඉන්නෙ. ඇතුළෙ ඉන්න පුද්ගලයා වෙනස්. මේක අසංස්කෘතියේ ප්‍රශ්නයක්. දැන් බලන්න සමහර කලාකාරයො විචාරකයෝ ඇතැම් කසිකබල් සිංහල චිත්‍රපට බලල එළියට එන ගමන් අතිවිශිෂ්ටයි කියලා බොරු කියනවා. එහෙම කියලා බොන්න සෙට් වෙච්ච තැන ඒක පතුරු අරිනවා. ඇයි අපිට අවංකව ප්‍රශ්නය කතා කරන්න බැරි? එහෙම කළා නම් නේද කලාව දියුණු වෙන්නෙ. මම දැන් චිත්‍රපට තිර රචනයත් කරනවා. අපි මෙතෙක් එළියෙ ඉන්න අයගෙ අඩුපාඩුනෙ කතා කළේ. අපේ පැත්තටම මේ ලයිට් එක ගැහුවොත් මොකද වෙන්නෙ? අපිට අපිව දකින්න පුළුවන් වෙනවා. ඒක මගේ අලුත්ම චිත්‍රපටියෙන් මම කරනවා.


නාට්‍ය මෙන්ම සිනමාව ලංකාව තුළ කර්මාන්තයක් ලෙස ගොඩ නැගීම 90 දශකයේ සිට සාකච්ඡා වන්නක්. තවදුරටත් විවේචනයෙහිම සිටීමද කරන්න වෙලා තියෙන්නෙ?


මේක විශාල සංවාදයකට යායුතු ප්‍රශ්නයක්. අපේ අය වැඩ කරන්නෙ අන්තවල. එක්කෝ ප්‍රේක්ෂකයන් සිතන විදිය මොකක්ද කියලා බලලා ඒකට ගැළපෙන්න නිර්මාණ කරනවා. නැත්නම් ප්‍රේක්ෂකයො උසස් තැනකට ගන්න ඕනෙ කියලා අදහස් කරලා මංගල දර්ශනෙන් එහාට යන්න බැරි කාටවත් නොතේරෙන නිර්මාණ කරනවා. ඒකෙ අදහස යන්න ඕනෙ අය ළඟට යන්නෙ නැහැ. නිර්මාණකරුවාව අනුමත කරන මිතුරන්ම ඒක බලලා සුබ පතලා යනවා. මේ ක්‍රමයට කිසිම කලාවක් අරබයා කර්මාන්තයක් ගොඩනැගෙන්නේ නැහැ. මම කියන්නෙ වෙන අත්හදා බැලීම් ඕනෙ. නිර්මාණ විවිධත්වය අත්හදා බලන එක මම මෙහිදී කරන එක් කර්තව්‍යයක්. 2000දී රෂෝමොන් කළා. සාර්ථක වුණා. හැබැයි ඒ මාර්ගයේම ගියේ නැහැ. 2004දී මල්සර බිසව් කියන ප්‍රහසනය කළා. ඒක රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන අටකට නිර්දේශ වුණා. ඊටත් පසුව ලෝරන්ස්ගෙ මනමාලි නාට්‍යය රචනා කළා. ඒක ලෝකයේ රටවල් ගණනාවත් පෙන්නුවා. තවදුරටත් දුවනවා. අපි නිර්මාණ අන්තවාදය වෙනුවට කර්මාන්තයක් ගොඩනැගීම ගැනයි සිතන්න වෙන්නෙ. දැන් බලන්න චිත්‍රපට සංස්ථාවෙ චිත්‍රපට නිෂ්පාදන ණය ව්‍යාපෘතියට මොකද වුණේ? කර්මාන්තයක් ගොඩනැගිය හැකි, එනම් මුදල් හම්බ කළ හැකි චිත්‍රපටවලින් හම්බ කරපු සල්ලි චිත්‍රපට හදන්න ණයට දුන්නා. ඒවයෙන් දුවන්න බැරි චිත්‍රපට කළා. ණය අයකර ගන්න බැහැ. ණය ව්‍යාපෘතිය ඉවරයි. කර්මාන්තයක් ගොඩ නැගීම ගැන හිතනවා නම් මේ විදියට වැඩ කරලා බැහැ. මම එල්සි කියන චිත්‍රපටය කළා. ඊළඟට හොරර් චිත්‍රපටයක් කළා. ඊට පස්සෙ තවත් අලුත් වැඩකට අත ගහන්නෙ. සමහරු චිත්‍රපට කරන්නෙ ලංකාවෙ පෙන්වන්න නෙවෙයි. එළියෙ මාර්කට් එකකට. ඒවා සමග කර්මාන්තය සඳහා සිනමාවකුත් අපිට අවශ්‍යයි. කර්මාන්තය උදෙසා නාට්‍ය කලාවකුත් අපිට අවශ්‍යයි. නිර්මාණකරුවන් මේ සත්‍ය වටහා ගන්නකන් ප්‍රශ්නයෙන් ගොඩ යාමක් නැහැ. ■