දිනී ජයසේකර


කොළඹ උණුසුම් කාලගුණයක වෙලෙද්දී ලග්ගල ඉතා සීතල කාලගුණයක් වෙලා ගනිමින් තිබූ හෝරාවකි. නගර සීමාවල් වෙන් වෙන්ව හඳුනා ගැනීමට නාම පුවරු අවශ්‍ය වන්නේම නැත. මන්ද පාරිසරික වෙනස්වීම් සමග අප සිටින්නේ කොතනදැයි හඳුනා ගැනීම ඉතා පහසුය. නිසැකයෙන්ම ලග්ගල කියන්නේම සංචාරක ඇස් එල්ල විය යුතුම නගරයකි. මන්ද ඒ අවට වූ ස්වාභාවිකත්වය වෙන ප්‍රදේශයකට සම කළ නොහැකි නිසාය. එහෙත් අප ලග්ගලට පැමිණෙන්නේ එහි වූ සෞන්දර්යය විඳින්නට නොව සීතල අතර හුදකලා වූ ලග්ගල මිනිසුන් හමු වීමටය. මන්ද ඔවුන් සිටින්නේ, අප කවුරුත් දන්නා හරිත නගරයේ ක්‍රියාත්මක වන මොරගහකන්ද – කළු ගග ව්‍යාපෘතිය නිසා පීඩා විඳිමින්ය. කෙතරම් සාර්ථක ව්‍යාපෘතියක් වුවද ලංකාව තුළ එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී චෝදනා ලබන රජයක් සහ පීඩා විඳින මිනිසුන් කොටසක් ඒවා පසු පස සිටිනවාමය. මේ ඔවුන්ගේ කතාවයි.


එහෙන් මෙහාට


“අපිව දාන්න ගියෙ මැදිරිගිරියට. නමුත් අපේ කෙනෙක්ගෙ උත්සාහය මත ලග්ගල සුදුසුයි කීව නිසා තමයි අපිව මෙතනට ගෙනත් දැම්මේ. මේක අතීතෙ ඉඳන් අලි ජීවත් වුණු මහ කැළෑවක්. යටිතල පහසුකම් තියෙනවා කියලා පෙන්නල මෙහෙට ගෙනත් දැම්මා. ඇත්තටම අපි දැන් හුදකලා වෙලා ඉන්නේ.” නිමල්ගේ හුදෙකලාවෙන්ම අපි කතාවට මුල පිරුවා.


තමන්ගේ පරම්පරා ඉඩම්, භූක්ති විඳිනු වස් ඔවුන් ඒවා රජයට පූජා කර පල්ලේගම සිට ලග්ගලට පැමිණ අවසන්ය. ඒවා සිය කැමැත්තෙන් රජයට ලබා දුන්නා යැයි කිසිවෙක් පවසන්නේද නැත. මන්ද ඔවුන් ලග්ගල පදිංචි වූවද අපේ ඉඩම් අපට බලෙන් දීලා එන්න වූවා වැනි අදහසක ඔවුහු පසුවෙති.


“අපේ උප්පැන්න වලට පදිංචිය දාල තියෙන්නෙ පර්චස් ගාණට නෙවෙයි. ගලෙන් ගලට. එහෙම පාරම්පරිකව ලැබිච්ච ඉඩම් තමයි අපි රජයට පූජා කරල මේ ඇවිත් ඉන්නේ.” එසේ පැවසුවේ අමිලය.


තමන්ගේ ජීවිත භුක්තීන් පසෙකලා මේ සියල්ලෝම ලග්ගලට පැමිණ ඇත්තේ මොරගහකන්දත් කළු ගඟත් එකට එකතු වී නිදැල්ලේ ගලා යනු දැකීමට ඇති ප්‍රියතාව නිසාම විය නොහැකිය. මහවැලිය විසින් අත්පත් කර ගත් ඉඩම් නිසා තමන්ගේ අයිතීන් උල්ලංඝනය වීම සම්බන්ධව ඔවුන්ට දැනුමක් තිබුණද ඒ හා සටන් වැදීමට ඔවුන්ට ශක්තියක් නොමැතිය. මන්ද ඔවුන් සටන් කළ යුත්තේ රජය සමග වන නිසා එය තේරුමක් නොමැති කාර්යයක් යන්න ඔවුන්ගේ තර්කයකි.


“අපිට නඩු කියන්න, සමාලෝචනය කරන්න පහසුකමක් නැහැ. තිබ්බ දේවල් නැති වුණා. දැන් ඉතින් දෙන දෙයක් අරන් නිකන් ඉන්නවා ” යන්නෙන් ඉතා මහලු වයසේ සිටින මිත්තණියක පැවසුවාය.


නිසැකයෙන්ම රජයෙන් ඔවුන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙක් නැති තරම්ය. එදා වේල හම්බ කර ගැනීමට නොහැකි අවස්ථාවක අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීමටත් ඒ වෙනුවෙන් ඔවුන්ට වියදම් දැරීමටත් අපහසු බව අපට හැඟී ගියේ එම වියපත් අම්මාගේ කඳුළු දුන් පණිවුඩයෙනි.


සංඛ්‍යා ලේඛනයට අනුව බිම් ගණනය


ව්‍යාපෘති ක්‍රියාකාරකම් සදහා බලපෑමට යටත්වන භූමි ප්‍රමාණය සහ භූමි පරිභෝජනය වන පරිදි කළු ගඟ ජලාශය ඉදි කිරීම හේතුවෙන් බලපෑමට යටත්වන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1380ක් පමණ වේ. මින් හෙක්ටයාර් 763ක් (56%) නේවාසික වතු ඉඩම්, අතිරේක බෝග වගා කරන ඉඩම් සහ කුඹුරු ඉඩම් වලින් සමන්විත විය. ඉතිරි හෙක්ටයාර් 617 (44%) ලඳු කැළෑ, ගංගා, ඇළ දොළ සහ තණ බිම් වැනි ප්‍රදේශයන්ගෙන් යුක්ත වූ අතර සංඛ්‍යා ලේඛනයට අයත් වන පවුල් ප්‍රමාණය අනුව ජලාශයට සහ දැඩි රක්ෂිතය අයත් වන ප්‍රදේශයේ පදිංචි පවුල් සංඛ්‍යාව වන්නේ 549 කි. දකුණු ඉවුර ප්‍රධාන ඇළෙහි පළමු දිය පැන්නුම (ජලාශය) ප්‍රදේශයේ පදිංචි පවුල් සංඛ්‍යාව 56 කි. අර්ධ වශයෙන් බලපෑමට යටත් වන පවුල් සංඛ්‍යාව 37 කි. ජලාශය ඉදි කිරීම හේතුවෙන් හුදකලා වන පවුල් සංඛ්‍යාව 155කි. ව්‍යාපෘති බලපෑමට හසුවන මුළු පවුල් සංඛ්‍යා 797 ක්ද වේ. ඒ අනුව අහිමි වන ගොඩනැගිලි ගත් කල නේවාසික ගොඩනැගිලි 715 ක්ද, නේවාසික සහ වාණිජ ගොඩනැගිලි 11 ක්ද, වාණිජ සහ කර්මාන්ත ගොඩනැගිලි 80 ක්ද, රජයේ සහ පොදු පහසුකම් සපයන ආයතන ගොඩනැගිලි 60 ක්ද, ආගමික ස්ථාන සඳහා වෙන් වූ ගොඩනැගිලි 14 ක්ද, රජයේ නිළ නිවාස 33 ක්ද ඒ අතර විය.


සංඛ්‍යා ලේඛන අනුව බලපෑමට යටත් ජනගහනය


කළු ගඟ ජලාශ ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් බලපෑමට යටත් වන ජනගහනය කොටස් වශයෙන් සංඛ්‍යා දත්ත අනුව ඉදිරිපත් කර ඇත. ඒවා නම්, මුළු පවුල් සංඛ්‍යාව 797 ක් වන අතර මුළු ජනගහනය පුද්ගලයින් 2595කි. ළමා ජනගහනය (අවුරුදු 18ට අඩු) 29% ක ප්‍රතිශතයක්ද වියපත් වූ පිරිස (අවුරුදු 60ට වැඩි) 9% ක්ද ආර්ථීක කටයුතු සඳහා සක්‍රිය ජනගහනය 65%ක්ද වේ. මේ අතුරින් ගෘහ මූලිකයාගේ රැකියාව හා සේවා වියුක්ත ජන සංඛ්‍යාව අනුව රජයේ හා පෞද්ගලික අංශයේ සේවා නියුක්ත සංඛ්‍යාව 174ක් වේ. ව්‍යාපාරික හා ස්වයං සේවා වල නිරත සංඛ්‍යාව 58 කි. කම්කරුවන් සහ විදේශ රැකියා වල නියුතු සංඛ්‍යාව 38කි. කෘෂිකර්මාන්ත අංශයේ සේවා නියුක්ත සංඛ්‍යාව 422කි. සේවා වියුක්ත සංඛ්‍යාව 105කි. තවද විශේෂ සහන ලැබිය යුතු පවුල් ලෙස කාණ්ඩ හතරකට බෙදා වෙන් කර දක්වා ඇත. ඒවා වයෝවෘද්ධ ගෘහ මූලික පවුල් සංඛ්‍යාව 16ක් ලෙසත් කාන්තා ගෘහමූලික පවුල් සංඛ්‍යාව 12ක් ලෙසත් හුදකලා ගෘහමූලික පවුල් සංඛ්‍යාව 9ක් ලෙසත් දරිද්‍රතා මට්ටමෙන් පහළ ගෘහ මූලික පවුල් සංඛ්‍යාව 119ක් ලෙසත්ය.
“මේ වාර්තාවෙ විදියට ගත්තොත් අපේ කට්ටිය මීට වඩා ඉන්නවා. අනික වසම් නවයක් (පල්ලේගම, ගෝනවල, මිණිරන්කැටිය, දුංවත්ත, කරදබුල්ල, හංවැල්ල, රාවණාගම, ගඟහේන්වල, රඹුක්ඔළුව) විතර යට වුණා. ඔය වසම් නවයෙම මේ තරම් සුළු පිරිසක්ද ජීවත් වුණේ කියල සාමාන්‍යය කෙනෙක්ට හිතන්න පුළුවන් වෙන්න ඕනි. අපේ වසමෙම විතරක් වයෝවෘද්ධ අය හිටියා විස්සකට (20) වැඩිය. ඉතින් එහෙම බලද්දි මේ සංඛ්‍යා ලේඛන හරියි කියල හිතන්න බැහැ.” යන්නෙන් පැවසුවේ කේ.ජී. සංජීවය.


ඉඩම් වන්දි


“මට මඩින් අක්කර තුනක් තිබුණා. නමුත් මම තවම දෙනවයි කීව කුඹුරු ඉඩම් ඇහැටවත් දැකල නැහැ. අපි පාරම්පරික ගොවියෝ. නමුත් දැන් කුලී වැඩ කරල ජීවත් වෙන්නේ. කුලී වැඩත් මේ සතියෙන් නවතිනවා. ඊට පස්සෙ කරන්න දෙයක් හිතලා නැහැ. අඩු ගාණෙ ලැබෙන්න තියෙන වන්දියවත් හම්බුණා නම් මොකක් හරි දෙයක් කරන්න තිබුණා. ඒකෙනුත් හම්බුණේ 50%යි. ඉතිරි 50% තවම හම්බුණේ නැහැ. ගේත් බාගෙට හදාගත්තේ. දැන් මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිවයි අපි ඉන්නේ.” සීලවතී ඉතා දුක්මුසුව පැවසුවාය.


මිනිසුන් සිටින්නේ තමන් ඊළඟට කුමක් කළ යුතුද යන ප්‍රශ්නය අභිමුඛවය. නිසැකවම ඔවුන්ගේ පාරම්පරික දේපළ වෙනුවට රජයෙන් ඒ හා වටිනා වන්දියක් හෝ ඉඩමක් හෝ ලබාදීම කළ යුතුව ඇත. නමුත් සිදුව ඇත්තේ දෙන්නම් යැයි පොරොන්දු වූ කිසිවක් මේ වන තෙක් සම්පූර්ණයෙන් ලබා නොදීමයි. වර්ෂ 2007 මොරගහකන්ද – කළුගග ව්‍යාපෘතියේ වැඩ කටයුතු සූදානම් කිරීමට සැලසුම් කර ඇති බවට ජනතාව දැනුවත් කරමින් 2008 මාර්තු මස ස්වාභාවික සම්පත් කළමනාකරණ පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් කළු ගඟ ජලාශය හා කෘෂිකර්ම ව්‍යාප්ත ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් වාර්තාවක් නිකුත් කරමින් එහි පළමු වෙළුමේ ජනතාවගේ දේපළ සඳහා වූ තක්සේරු ක්‍රමය පිළිබඳව පැහැදිලි සඳහනක් උපග්‍රන්ථ පිටු තුනේ සඳහන් කර ඇත. එහෙත් ලග්ගල ජනතාව පවසන පරිදි තක්සේරුව නිවැරදිව සිදුවී නොමැති බව පැහැදිලිය. තවද ඔවුන් පවසන ආකාරයට එම තක්සේරුව නිසා මිනිසුන් භේද කරමින් එකාට එකෙක් නැතිවන අයුරින් රජය ක්‍රියා කළ බවක් අපට පසක් විය. එය ඉතා හොඳින් පැහැදිලි කරගත හැක්කේ කපිලරත්නගේ අදහසිනි.


“ඉඩම් තක්සේරු කරන්න කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වෙලා හිටිය මහවැලි අධිකාරියෙන්. නමුත් එයින් එක කණ්ඩායමක් ඕනවට එපාවට තක්සේරු කරලා. මොකද අපේ ඉඩම්වලට හම්බවෙච්ච තක්සේරුව අනුමත කරන්න බෑ. එහෙත් පොල්අතු ගෙවල් වලට අපිට වඩා හොඳ තක්සේරුවක් ලැබිල තියෙනවා. ඒ නිසා අපි සමාලෝචන මණ්ඩලේට පැමිණිල්ලක් කළා වන්දි මදි කියලා. මොකද මම පල්ලේගම ඉද්දි මට අක්කර 32ක් තිබුණා. නමුත් අදටත් මට කිසිම වන්දියක් නැහැ. ළඟ තිබුණ සල්ලි වලින් ඉන්න තැනක් හදාගත්තා එච්චරයි. මම එහෙන් ආවෙ 2018 වගේ. ඇත්තටම මම කැමැත්තෙන් ආපු ගමනකුත් නෙවේ මේ. ලයිට් කපල වාහන තියෙද්දි බලෙන් යට කළාට පස්සෙයි අතට අහුවුණු ටිකක් අරගෙන එළියට ආවේ. ඇත්තටම අපි නැති වුණා කීවොත් හරි. මොකද එහෙ ඉද්දි තිබුණ සාමයත් දැන් මේ වෙනකොට අපට නැතිවෙලා.”


ලංකා මහවැලි අධිකාරිය විසින් කළු ගඟ ජලාශය හා කෘෂිකර්ම ව්‍යාපෘති වාර්තාවේ සඳහන අනුව කළු ගඟ බහු කාර්ය ජල ව්‍යාපෘතිය මිනිසාට කොතරම් සමීප වනවාද යන්න සාධාරණීයකරණය කිරීමට රජය විසින් බොහෝ උත්සාහයන් දරා ඇති බව වාර්තාව අධ්‍යයනය කළ කෙනෙකුට වැටහේ. තවද ව්‍යාපෘතිය හේතුවෙන් ජනතාවට ලැබෙන ප්‍රයෝජන සම්බන්ධවත් ලැබෙන වන්දි සම්බන්ධවත් පැහැදිලිව එහි සඳහනක් කර ඇතත් නිසි ලෙස ඒවා සිදු නොවූ බව උක්ත කරුණු ඔස්සේ පැහැදිලි වෙයි.


“මගේ වයස 83ක් විතර වෙනවා. පුතාල දුවල ඉන්නවා. අණු පවුල් ප්‍රධාන පවුල් කියලා වෙන් කළාම මම අයිති වෙන්නෙ ප්‍රධාන පවුලකට. නමුත් මට මේ වෙනකන් ඉඩමක් පෙන්නලත් නැහැ. වන්දි ලැබිලත් නැහැ.” ඩී.ජී. කළු ආච්චි පැවසුවාය.


සලාක මල්ල


රජයෙන් නිතරම සිදු කළේ ජනතාව මුලාවට පත් කිරීමය. මන්දයත් එය පැහැදිලි වන්නේ ලග්ගල මිනිසුන්ගේ හුදකලා වීම තුළ රජය විසින් ඔවුන්ට පවසා ඇති මුසාවන් එකින් එක ගෙන ගැළපූ විටය. අක්කර තුනේ ඉඩම් සඳහා අක්කර බාගයකි. කුඹුරු ඉඩම් තවමත් ඔවුන්ට ලබාදීමට තියා පෙන්වාවත් නැත. සලාක මල්ලද එවැනිය. කෙනෙක්ට සලාක මල්ල නිරන්තරයෙන් ලැබෙද්දී තවකෙක්ට සලාක මල්ල ලැබෙන්නේ නැත. ඒ සම්බන්ධව කේ. උක්කු අම්මා මෙසේ කීවාය.


“මාර්තු මාසෙ වගේ වෙද්දි සලාක මල්ල නවත්තනව කියලා කතාවක් තියෙනවා. අපි දන්නෙ නැහැ හරියටම. ඒත් එහෙම සලාක මල්ල නැවැත්තුවොත් අපිට කන්න බොන්න විදියක් නැතුව යනවා. මොකද අපිට කුඹුරු ඉඩම් දීලා නෑ. ඒ නිසා වගා කරගෙන කන්න විදියකුත් නැහැ. අපි පාරම්පරිකව ගොවිතැන කළේ. නමුත් දැන් අවුරුදු පහකින් විතර වී ඇටයක් තම්බගෙන කන්න වුණේ නැහැ.”


ඔවුන් තමන් සමගම සටන් කරන්නේ එදා වේල පිරිමසා ගැනීමටය. රජයෙන් ලබාදෙන පරිප්පු, හාල්මැස්සන් ඔවුන්ට හැමදාම ආහාරයට ගෙන බලා සිටිය හැකිද?


“සාමාන්‍ය එක පුද්ගලයෙකුට හාල් කිලෝ 15කි. සීනි කිලෝ 1කි. පරිප්පු කිලෝ 1කි. හාල්මැස්සන් ග්‍රෑම් 500කි. සැමන් ටින් එකකි. ඒ මදිවට ඒක ගන්න කොට්ඨාස ඒකක කාර්යාලය ළඟ පෝලිමේ ඉන්න ඕනේ. දැනටමත් මාස දෙකක විතර ඇරියස් එකක් තියෙනවා.” ගුණපාල පැවසුවේය.


අනු පවුල්


ප්‍රධාන පවුල් සහ අනු පවුල් ලෙස බෙදා වෙන් කිරීම මගින් රජයත්, මහවැලි අධිකාරියත් ඉතාමත් වාසිදායක තත්ත්වයක් අත්දකින බව කිව යුතුය. මන්ද ව්‍යාපෘතිය 2007 යෝජනා වීමත් සමග බොහෝ පිරිසකට 2012 වර්ෂයේ එම ගම් බිම් අතහැර අලුත් භූමියට පිවිසෙන්නට විය. එහිදී එකල ඔවුන් සතුව තිබූ අයිතියෙන් භාගයක්වත් නොලබපු අවස්ථාවක 2015/12/31 වන විට විවාහ වූ අයට පමණක් වන්දි ලබාදෙන බව එකල පැවති රජය ඔවුන්ට පවසා ඇත. එහිදී දෙමාපියන් විසින් තම දරුවන්ට ඉතුරු කළ සියල්ල අධිකාරිය විසින් ව්‍යාපෘතිය සඳහා යොදවා ඇත. නමුත් ඒවා ලබාදීමට කටයුතු කර නැත. මන්ද 2015/12/31 ට ප්‍රථම විවාහ වූවන් සිටියද එම දෙමාපියන්ට දරුවන් ලැබී ඇත්තේ ඊට කාලයකට ඉහතදීය යන්න මතක් කරන්නට කැමතිය. එසේනම් මහවැලියටත්, රජයටත් අණු පවුල් සහ ප්‍රධාන පවුල් කියා භේද බින්න කළ නොහැක. මන්ද දෙමාපියන්ගේ භුක්තිය තුළ දරුවන්ගේද භුක්තිය තිබෙන නිසාය. එසේ නම් ඒ වන විට ඉපදී සිටි සියල්ලන්ටම වන්දි ලබා දිය යුතු නැතිද? මොකද ඔවුන් මේ වනතෙක් රජයෙන් හිඟමන් යදිමින් ජීවත් වූ පිරිසක් නොවේ. ගොවිතැන් කරමින් එදා වේල සකසා ගත් ව්‍යාපාර නඩත්තු කරමින් සිටි පුද්ගලයන්ය. එසේනම් ඔවුන්ගේ වගකීම රජයත් මහවැලියත් දැරිය යුතුමය.


“අපි හැමදාම සලාක මළු ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ අපිට ගොවිතැන් කරගන්න ඉඩම් දීලා වතුර දෙන්න කියලා විතරයි. මොකද කළු ගඟ ව්‍යාපෘතියෙ ප්‍රධාන තේමාව කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ ලා කැප වන බවයි. එහෙනම් ඒක ක්‍රියාවෙනුත් වෙන්න ඕනේ නේද?” ගාමිණී හේරත් පැවසුවේය.


සිරිසේනගේ විවෘතය


“එදා 2019 නොවැම්බර් හත් වෙනිදා මොරගහකන්ද – කළු ගඟ බහුකාර්ය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට මහ විශාල උත්සවයක් පවත්වල මල් ඉහලා දොරටු විවෘත කළා ගොවි බිම් වලට වතුර හැරෙව්ව කියලා. ඒත් එදා එක ජල බින්දුවක් හේන් වලටවත් කුඹුරු වලටවත් ආවෙ නැහැ. එහෙම ආවනම් අපි මෙහෙම කතා කරන්නෙත් නැහැ. ඒවා සේරම කළු ගඟට හරවලා තිබ්බේ. නමුත් කීවෙ ගොවි බිම්වලට හැරෙව්වා කියලා.” කේ.ජී.රංජිත් පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන එදින පැමිණීමෙන් පසු ලග්ගල මිනිසුන් “ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නාක් වැනි” සිද්ධියකට මුහුණ දුන් බව කිව යුතුය. ඒ මිනිසුන්ව පාවිච්චි කරමින් ඔවුන්ගේ භුක්තීන් හූරා කමින් තම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ගත් එම උත්සහය නිසාය.


තර්ජන


“අපි තුන් හතර දෙනෙකු මේ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙ වෙනුවෙන් පෙනී ඉන්න නිසා මහවැලි අධිකාරිය අපිට පන්සලේ හාමුදුරුවො අතේ එහෙම තර්ජන එවනවා. මේ තුන් හතර දෙනාට සතපහක දෙයක් මහවැලියෙන්වත් රජයෙන්වත් ලැබිල නැහැ. මොකද මේ ඇතුළෙ ඔවුන් පෞද්ගලික තරහවල් පිරිමහනවා. හදිසියෙවත් ඉඩමක් නිරාකරණය කරගන්න ගියාම පොඩි පොඩි දේවල් නිසා ෆයිල් හංගල නැති වුණා කියල කියනවා. එයාල කියන්නෙ කටවහගෙන හිටියොත් ඔයාලගෙ වැඬේ අනිවාර්යෙන් කරල දෙනවයි කියලයි. ඒත් අපි පෙනී ඉන්නෙ අනෙකුත් මිනිස්සු වෙනුවෙන්. සමහරු එදා වේල හම්බකර ගන්න වැට මාර ලී කපනවා. තවත් අය කුලී රස්සා කරනවා. ඔවුන් අතීතයෙ මෙහෙම ජීවිත ගත කළ අය නෙවේ. ඉතා ගෞරවනීය විදියට ගොවිතැන් කරන් හිටපු මිනිස්සු. නමුත් අන්තිමට අපි වැටිච්ච තැනක්.”
එනිසා ඔවුන්ට කුසගින්නේ මියැදෙන්නට බැරිය. ඉතිරි වන්දි මුදල් සියල්ල ලබා දීමද රජය සතු කාර්යයකි. මන්ද ව්‍යාපෘතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ පල්ලේගම වැනි වසම් තුළ ජීවත් වූ මිනිසුන් පූජා කළ ඉඩකඩම් වන බැවිනි. එසේනම් එම ගෞරවය තැබීම වගකිවයුත්තන් සතු කාර්යක් බව මතක් කළ යුතුය.