Home පුවත් දේශපාලන යකාට ගිය විකිරණ නියාමනයක්

යකාට ගිය විකිරණ නියාමනයක්

0
1415

නිමල් අබේසිංහ

කොළඹ වරායේ ස්ථාපිත කර ඇති ස්කෑනින් යන්ත්‍රය සම්බන්ධයෙන් මේ වන විට අර්බුදයක් ආරම්භ වී තිබේ. මෙකී ස්කෑනින් යන්ත්‍රය ස්ථාපිත කර ඇත්තේ ආනයන සහ අපනයන බහාලුම් පරීක්ෂා කිරීම වෙනුවෙනි. සැබෑවටම මෙවැනි යන්ත්‍ර නූතන අවශ්‍යතාවක් වුවත් පැතිකඩ කීපයකින් බලන කල මෙකී යන්ත්‍රය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු විවාදාත්මකය.


සිංගප්පූරුවේ ලියාපදිංචි ඇමරිකානු සමාගමක් වන ( Asia Pacific Rapsicon Pte Ltd ) සීමාසහිත ඒෂියා පැසිපික් රැප්සිකොන් පුද්ගලික සමාගම විසින් මෙම යන්ත්‍රය කොළඹ වරායේ ස්ථාපිත කරනුයේ 2016 ඔක්තෝබර් 28 දින උක්ත සමාගම, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගුව විසින් අත්සන් කරනු ලබන ගිවිසුමකට අනුවය. සමාගම වෙනුවෙන් එහි වොරන් පිලිප් ( Warren Phillip Streter ) ද මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් එවකට එහි සිටි ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංගද ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් එවකට සිටි රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරාද මෙකී ගිවිසුමට අත්සන් කර තිබේ.


ගිවිසුමේ සඳහන් ආකාරයට මෙම ස්කෑන් පද්ධතිය සැපයීම, සවි කිරීම සහ ක්‍රියාත්මක කිරීම පවත්වාගෙන යෑම උක්ත සමාගමට පැවරේ. මේ වනවිට 2019 නොවැම්බර් 12 දින මෙම යන්ත්‍රය සවිකර පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක කර වේ.


ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම ආරම්භයත් සමගම ශ්‍රී ලංකා රේගුව විසින් ගිවිසුම් ප්‍රකාරව උක්ත සමාගමට කළ යුතු ගෙවීම් සම්බන්ධව ගිවිසුමෙහි සඳහන් වන්නේ මෙලෙසය. එක් දිනකදී බහාලුම් 1100ක් ස්කෑන් කළ යුතු වන අතර ඒ අපනයන බහාලුම් 350ක් හා ආනයනික බහාලුම් 750ක් වශයෙනි. මේ වෙනුවෙන් එක් බහාලුමකට ඩොලර් 10ක් ගෙවිය යුතු වේ. ඒ අනුව දිනකට ගෙවිය යුතු මුදල ඩොලර් 11,000කි. මෙය සෑම මසකම අවසානයේ ගෙවිය යුතු වේ. බහාලුම් 1100ට අමතරව තවත් බහාලුම් ස්කෑන් කරන්නේ නම් ඒ අමතර බහාලුමකට සාමාන්‍යයෙන් අය කරනු ලබන ඩොලර් 10ට අමතරව තවත් ඩොලර් පහක් ගෙවිය යුතුය. එලෙසම දවසට නියමිත බහාලුම් ප්‍රමාණය ස්කෑන් කළ ද නොකළද මසකට ගිවිස ගත් මුදල එනම් ඩොලර් 1100ක් ගෙවීමද අනිවාර්යයෙන්ම කළ යුතු වේ. කිසියම් අවස්ථාවක දිනකදී ආනයනික බහාලුම් 800ක් පරීක්ෂා කර අපනයනික බහාලුම් 300ක් පරීක්ෂා කළහොත් ගිවිසුම් ප්‍රකාරව අපනයනික බහාලුම් 350කටත් ආනයනික බහාලුම් 750ට අමතරව තවත් 50ක් පරීක්ෂා කර ඇති බැවින් එම 50 සඳහා අතිරේක ඩොලර් පහ සමග ඩොලර් පහළොව බැගින් ගෙවීමටද රේගුවට සිදුවේ. බැලූ බැල්මටම මින් ශ්‍රී ලංකා රේගුවට අවාසියක් සිදුවන බව පෙනේ.


මෙයට අමතරව ජලය, විදුලිය, දුරකතන පිරිසිදු කිරීම් වැනි කාර්යයන්ද රේගුව විසින් සිදු කළ යුතුය. ව්‍යාපෘතියේ යන්ත්‍ර සූත්‍ර හා පරිපාලන ගොඩනැගිලිවලටද සමගින් මසකට වැයවන විදුලි ඒකක ප්‍රමාණය 532,000 Kwh යැයි දළ වශයෙන් ගණන් බලා ඇති අතර එවිට එයටම රුපියල් කෝටියක පමණ මුදලක් වැය වේ. මේ හා බලන කල රේගුවට මාසිකව තවත් විශාල මුදලක් වැය කිරීමට සිදුවීම වැළැක්විය නොහැකිය. එමෙන්ම මෙම ගිවිසුම වසර 8ක් පැවැත්වෙන අතර ගිවිසුම් කාලයට පෙර ව්‍යාපෘතිය නවත්වන්නේ නම් වසර 8 සඳහාම වන්දි ද ගෙවිය යුතුය. මූල්‍ය තත්ත්වය එසේ වන විට මෙහි සැලකිය යුතු තවත් ප්‍රබල ප්‍රශ්න කීපයක් වේ. ඒ මෙවැනි කිරණ යන්ත්‍ර සවිකිරීම ඒ පිළිබඳ ප්‍රමිතිය ඒවාට අදාළ ගොඩනැගිලිවල ප්‍රමිතිය පරිසර හා පුද්ගල ආරක්ෂාව ඒ ප්‍රශ්නයන්ය. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආයතනය වන්නේ ශ්‍රී ලංකා පරමාණු ශක්තික නියාමන සභාවය. එම ආයතනය ස්කෑනින් යන්ත්‍ර සවිකිරීම පවත්වාගෙන යාම හා ඊට අදාළ ගොඩනැගිලිවල ප්‍රමාණවත් ආරක්ෂාව, මතුවිය හැකි පාරිසරික ගැටලු මෙන්ම සුවිශේෂයෙන් ස්කෑනින් යන්ත්‍රය ක්‍රියාත්මක කරන පරිසරයේ සේවය කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධ නියාමනයන් පැනවිය යුතුය.


එකී නියාමනයන් නිසි ලෙස ක්‍රියාත්මක වේදැයි යන්න පරීක්ෂා කර බැලිය යුතුය. පනවන ලද නියාමනයන් එයාකාරයෙන්ම සිදුවේද යන්න පරීක්ෂා කිරීම නියාමන සභාව විසින් සිදුකර ඇත්නම් එය ලැදියාවන් පිළිබඳ ගැටුම් ඇතිකර වන්නකි. ඉන් අදහස් කරනුයේ එකී පරීක්ෂාව නියාමන සභාවෙන් බැහැරව වෙනත් ස්වාධීන ආයතනයකින් සිදුකළ යුතුය යන්නය. එවැන්නක් සිදුවීද යන්න ඒ ආශ්‍රිතව සේවය කරන රේගු නිලධාරීන් පවා නොදනී. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ මේ ඇසුරේ සේවය කරන රේගු නිලධාරීන්ට, අදාළ පුද්ගලික ආයතනයේ නිලධාරීන්ට මෙන්ම වරාය අධිකාරියේ නිලධාරීන්ට අත්‍යවශ්‍යම වූ උපකරණයක් ලබාදී නැති බව අනාවරණය වීමය. තර්මෝ ලුමිනිෂන් ඩෙසිමීටර් (T.L.D) තාප සංදිප්තතා විකිරණමිතික මාපකය නමැති මේ කුඩා උපකරණය එහි සේවය කරන්නන් පැළඳගෙන සිටිය යුතු අතර මාසයකට වතාවක් මෙකී උපකරණය පරීක්ෂා කරනු ලැබේ. එහිදී විකිරණ බාහිරට නිරාවරණය වී ඇතිද යන්න සොයාගත හැකිය.


ස්කෑනින් යන්ත්‍රය ක්‍රියාත්මක කළද තවමත් එය පවතින්නේ පරීක්ෂණ මට්ටමේ බව සඳහන්ය. එවැනි පසුබිමක නියාමන සභාව විසින් එහි විධිමත් ස්ථානීය පරීක්ෂාවක් සිදුකිරීම මෙන්ම ඒ වෙනුවෙන් තාක්ෂණික පහසුකම් සහිත තක්සේරු වාර්තාවක් ලබාදීමද සිදුකළ යුත්තකි. සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කළ යුතුය. මෙහි තාක්ෂණික පිරිවිතරයන් සුදුසුකම් ලත් ආයතනයක් වෙතින් සැලසුම් කර එම පිරිවිතර නියාමන සභාවේ අනුමැතිය ලබාදීමද සිදුකළ යුතුය. නියත වශයෙන්ම මෙකී කරුණු කාරණා ඉෂ්ට කර ඇතිද යන පැනය මෙහිදී පැන නගී. එයට හේතුව වන්නේ සමස්ත ලංකා රේගු නිලධාරීන්ගේ සංගමය විසින් තොරතුරු පනත යටතේ කරන ලද ඉල්ලීම් සහ ඊට ලැබී ඇති පිළිතුරු හා ඔවුන් නැවත යොමුකර ඇති ප්‍රශ්න සලකා බලන විටදීය.


එම ලිපියේ සඳහන් තොරතුරු අනුව රේගු නිලධාරි සංගමය, පරමාණු බලශක්ති නියාමන සභාව මේ වෙනුවෙන් ලබාදී ඇති නිර්දේශ මොනවාද යන්න අසා ඇතත්, එකී නිර්දේශයන් කිසිවක් ඔවුන්ට ලබාදී නැත. එසේම විකිරණවලට අනාවරණයවීමෙන් ඇතිවිය හැකි හානිය ප්‍රතිපූර්ණය කිරීමේ වැඩපිළිවෙළක් තිබේද යන ප්‍රශ්නයටද පිළිතුරක් ලැබී නැත.
2019 ඔක්තෝබර් 03 දාතමින් යුතුව තොරතුරු නිලධාරි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී.ඩබ්ලිව්.ඒ.ජේ. පියසුමන විසින් සමස්ත ලංකා රේගු නිලධාරි සංගමයේ ලේකම් ජේ.ඒ. ගුණතිලක වෙත එවා ඇති ලිපියේ සඳහන් වන්නේ මෙලෙසය. 2018.02.01 දිනැතිව මෙම ව්‍යාපෘතියට අදාළ ක්ෂේත්‍ර සැලසුම ( site plan ) පරමාණු බලශක්ති නියාමන සභාව විසින් නිර්දේශ කර ඇත. යන්ත්‍ර සවිකර මෙහෙයුම් හා අත්හදා බැලීම්වලට පෙර අදාළ නිර්දේශ අනුව යන්ත්‍ර සවිකර ඇද්ද යන්න පරීක්ෂණ වාර්තාවක් එම සභාව විසින් ලබාදීමට නියමිතයි.”


“ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාව විසින් නියම කර ඇති විකිරණ සීමාවන් තුළ කටයුතු කරනු ලැබේ. විකිරණ සීමාවන් නිශ්චය කිරීමට අදාළ Dosi Meter නිලධාරීන් වෙත ලබාදීමට නියමිතය.


විකිරණ සම්බන්ධයෙන් වගකිවයුතු ප්‍රධාන ආයතනය වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ කෙරුවාවන්වල තරම රාවය පුවත්පත දිගින් දිගටම හෙළිදරව් කර ඇත. දැඩි ආරක්ෂාව සහිතව ගබඩා කළ යුතු විකිරණ ප්‍රභවයන් පුද්ගලික කන්ටේනර් අංගණවල රඳවා තැබීමට තරම් ඉහ වහා ගිය ඥානවන්ත නිලධාරීන් සිටින එහි වගකීම තවමත් නිසි ලෙස ඉටුවේද යන්න සැකසහිතය. ඇමරිකානු ආධාරයෙන් මෙරට විකිරණ ප්‍රභවයන් ආරක්ෂා කිරීම සඳහා වූ ආධාර වැඩසටහන ඔවුන් ක්‍රියාත්මක කළ අයුරුද අපි කලින් ලියා ඇත්තෙමු. අදටත් එකී ක්‍රියාදමය නිසි අයුරින් සිදු නොවේ. එබැවින් මෙරට විකිරණ ආරක්ෂාව තවමත් පවතින්නේ අයාලේ යන තත්ත්වයකය. නියාමන සභාවට ඒ ගැන වගේ වගක් නැත. මෙම වරාය ව්‍යාපෘතියේදීද නියාමන සභාව කටයුතු කර ඇත්තේ එලෙසමය යන්නට හොඳම උදාහරණයක් තිබේ. ඒ නියාමන සභාව විසින් ඩොසි මීටර් ලබාදීම නිර්දේශ කර ඇතත්, ව්‍යාපෘතිය ආරම්භ කර මාස දෙකකට ආසන්න වෙද්දීත් එහි සේවය කරන නිලධාරීන්ට ඒවා ලබාදී ඇතිද යන්න සොයා නොබැලීමය. එසේ ලබා දුන් ඩොසි මීටර් පරීක්ෂා කරන නිලධාරීන් විකිරණයන්ට නිරාවරණය වී ඇත්දැයි පරීක්ෂා කිරීමේ කාලයද දැන් ආසන්නවෙමින් තිබෙන බැවිනි. මේ ගැන ඔවුන්ගේ වගකීම පැහැර හැර ඇති බව නොවේද? ඉදින් අවසන කිව හැක්කේ දැන් රට තුළ පවතින්නේ යකාට ගිය විකිරණ නියාමනයක් බවය. මෙම ව්‍යාපෘතියෙන්ම ඊට උදාහරණ සැපයිය හැකිය. මෙම ව්‍යාපෘතිය සඳහා පරමාණු බලශක්ති නියාමන සභාවෙන් බලපත්‍රය නිකුත් කළේ මින් සති තුනකට පෙරදී එනම් දෙසැම්බර් මස මුලදී බව නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් පවසයි. එහෙත් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ සාමාන්‍යාධිකාරී කපිල ඔබේසේකර පවසන්නේ පරීක්ෂණ මට්ටමේ ක්‍රියාකාරකම් ආරම්භ කළේ නොවැම්බර් පළමුවැනිදා සිට බවය. එහිම පරස්පරතාවක් පැවතීම සැකයට බඳුන් නොවේද?

බලපත්‍ර ලබා දුන්නේ සති තුනකට කලින්
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිහාල් රංජිත්

මෙම ස්කෑනර් යන්ත්‍රය ස්ථාපිත කිරීමට අවශ්‍ය උපදෙස් හා නිර්දේශ අපි ලබා දුන්නා. ඒ ලබා දුන් උපදෙස් අනුව එම ආයතනය කටයුතු කර තිබෙන නිසා අවශ්‍ය බලපත්‍රය අප ලබාදී තිබෙනවා. ඊට අමතරව අප වරින් වර මෙම ස්ථානය නිරීක්ෂණයේ යෙදෙනවා. ඩොසි මීටර් ලබාදීමේදී ආයතනයේ අයට ලබාදිය යුත්තේ ආයතනයමයි. ඒවායේ දෛනික වාර්තා සටහන් තබා ගැනීමත් ආයතනයට පැවරෙන්නක්. අපේ නිරීක්ෂණවලදී ඒවාත් බලපානවා. එහෙත් ඒ සම්බන්ධ වාර්තා අපට එවා නෑ. එසේ එවීමේ අවශ්‍යතාවකුත් නැහැ. රේගුවේ නිලධාරීන් සඳහා ඩොසි මීටර් ලබාදීම රේගුව විසින් කළ යුතුයි. ඒවා ලබාගත යුත්තේ පරමාණු බලශක්ති අධිකාරිය විසින්. අප ඒ ගැන නිර්දේශ යවා තිබෙනවා. මාසයක් පමණ ගතවීත් ඒවා තවම ලබාදී නැති බවයි අපට දැනගන්නට තිබෙන්නේ. මෙම ස්කෑනින් යන්ත්‍රය සඳහා බලපත්‍රය ලබා දුන්නේ මීට සති තුනකට පමණ පෙරදීයි. එනම් දෙසැම්බර් මාසය මුලදියි.

වැඩ ආරම්භ කළේ නොවැ: පළවැනිදා
රුපිස්කැන් සිස්ටම් ප්‍රයිවට් ලිමිටඞ්හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන කළමනාකාර කපිල ඔබේසේකර
අප මෙහි පරීක්ෂණ මට්ටමේ ක්‍රියාකාරකම් ආරම්භ කළේ නොවැම්බර් පළවැනිදා. අපේ අය නමදෙනෙක් වැඩ කරනවා. ඒ අයට ඩොසි මීටර් ලබාදී තිබෙනවා. ඊට අමතරව කස්ටම් එකේ අයටත් ඩොසි මීටර් ලබාදී තිබෙනවා. ආයතනයෙන් ඩොසි මීටර් ලබා දුන් ප්‍රමාණය ඔක්කොම විසිහතරයි. එහෙත් කස්ටම් එකේ වැඩ කිරීමට එන සියලුදෙනාටම ඒ අය ඩොසි මීටර් ඉල්ලනවා.


පරීක්ෂණ මට්ටමේ ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පෙර කස්ටම් එකේ අයට අප පුහුණුවක් ලබා දුන්නා. එය කළේ අපේ ආයතනයේ විශේෂඥවරියක්. අපේ අය පාවිච්චි කරන ඩොසි මීටර් දිනපතා කියවා වාර්තා තබා ගන්නවා. එසේ තබාගත් වාර්තා පරමාණු බලශක්ති නියාමන සභාවට යවා තිබෙනවා. ඒ ගැන තවම කිසිවක් දන්වා එවා නැහැ.