ටිරන් කුමාර බංගගමආරච්චි


මේ ගෙවෙනුයේ කොරෝනා සමයකි. නිවෙස්වලම කාලය ගතකරන අතර සියල්ල නිට්ටාවටම විසඳෙතැයි මානසිකත්වයෙන් ජනතාව පෙළෙති. ඒ අතර ඇඳිරි නීතිය කඩ කරන අය එක පේළියට අත්අඩංගුවට ගන්නා පුවත් ද මැවේ. ආණ්ඩුව මෙම උවදුර මැඬලීමට ක්‍රියා කරද්දී ජනතාව පිස්සු කෙළීම අනුමත කළ නොහැකිය.


අගමැති මහින්ද රාජපක්ෂ ජනතාව ඇමතුවේය. අමතා කීවේ අය – වැය අතුරු සම්මත ගිණුම අනුමත කරන්නට විපක්ෂය සහයෝගය නොදුන් දුක්බර පුවතය. එහෙව් පසුබිමක අතේ පිච්චියක් නැති මොහොතක කොරෝනා ආවද රාජපක්ෂ පවුල සිය ගිණුම්වලින් මුදල් ගෙන රටේ ප්‍රශ්න විසඳුවා වැනි කතාවක් නොකියා කීවේය. එහෙව් පවුලකට රටේ දේශපාලනය භාරදීම ගැන හැටතුන් ලක්ෂයකට කිට්ටු ජනතාවට අප පින් දිය යුතුය. ඉදිරි මහ මැතිවරණයේදී හෝ පෙර කළ පව් මැකෙන්නටත් එක්ක මේ අගමැති උඩින්ම දිනවිය යුතු නොවේදැයි පන්නයේ කතාවක් ඒ ජාතිය ඇමතීම තුළ සිහිවිය.


ජනපති ගෝඨාභය මීට පෙර ජාතිය අමතා සැමන්, පරිප්පු, බිත්තර අඩු කළේය. එම අඩු කළ සැමන්, බිත්තර, පරිප්පු, ගෝඨා සැමන්, ගෝඨා පරිප්පු, ගෝඨා බිත්තර ලෙස පට බැඳුණුමුත් ඒවා හොයා ගන්නට නොහැකි විය. අඩු ස්ථාන කිහිපයක හෝ ඒවා තිබූ බැවින් අගමැතිගේ කතාවට වඩා ජනපතිගේ කතාවේ ගන්න දෙයක් විය. එනම් සැමන්, පරිප්පු, බිත්තරය. එහෙත් අගමැතිගේ කතාවේ ඇත්තේ පෙර පුරුදු පම්පෝරියමය. ඡන්ද ගහ සෙලවීමය. මේ හදිසි පෙළඹීම එයය. අප සැම එයට මෝහනය වූ ගාණය.


කොරෝනා මැඬලීම ජනපති ගෝඨා හමුදාවට භාර කරද්දී එය කළ හැක්කේ අපට කියා වෛi සංගමය සිය බලය බලෙන්ම ඉල්ලූහ. මෙහිදී එහි පෙරමුණ ගැනීමට අගමැති සහ බැසිල් රාජපක්ෂ සමත් විය. පසුගිය කාලයේ වැඩි එළි නොබැස්ස බැසිල් මේ කොරෝනාවේ පිහිටෙන් ඉහළටම ආවේය. ගෝඨාගේ නොව මහින්දගේ පැතුම ඉටුවිය. මහින්ද රට වටා ගොස් ගෝඨා ජනපති කළේ තමන්ට නැවත පෙර පුරුදු සෙල්ලමම කරන්නටය. එය තනිව කළ නොහැක. අගසව් දෙනම වුවමනාය. ඒ පී.බී. සහ බැසිල්ය. පී.බී. ජයසුන්දර මුලින්ම නිශ්චිත ඉලක්කයටම දැමූ මුත් බැසිල් ස්ථාන ගත කළ නොහැකි විය. කොරෝනා උවදුර නිසා එයත් පහසු විය. දැන් මහින්දගේ ගමන පැහැදිලිය. ගෝඨාට ජවය, බලය දුන් වියත් මග දැන් විපත් මග බවට පත්වී ඇත. පසුගිය කාලයේ රටේ සියල්ල සිදුවිය යුත්තේ ඔවුන්ගේ කීමට විය. ගෝඨාගේ ආණ්ඩුවක් වුවමනැයි කියා වියත් මගම පාර්ලිමේන්තුවට රිංගන්නට බලා උන්හ. එහෙත් මහින්ද කළේ කල් යල් බලා බැසිල් ලවා කට්ටියටම බැස්ටිය දීමය. වියත්හු පඳුරු ගාණේ විසි විය. කිහිපදෙනකුට ජාතික ලැයිස්තු සිහිනය පටවා නිදි කරවා ගත්හ. ඒ අය ඇහැරෙන විට පොරොත්තු ලේඛනයේ සිටිය හැකිය. විටක නොහැකිය. මේ කොරෝනා උවදුර සමග නැවත මහින්ද රාජපක්ෂ කල්ලිය ප්‍රබල විය. තුනෙන් දෙකක් ඉල්ලා සිටි ගෝඨාභයට ඉදිරියේදී සිරිසේනට අන්ත ජනපති කෙනකු ලෙස ඉන්නට සිදුවනු ඇත. මේ කොරෝනා වැඩිපුරම අසරණ කළේ ජනපති ගෝඨාවය. ඔහුගේ නැග්ම එහෙම පිටින්ම පල්ලම් බැස්සේය. දැන් ගෝඨා ගමන ඉවරය. ඉදිරියේදී එළැඹෙනුයේ නැවත මහින්ද – බැසිල් නාමල් යුගයය.


මේ කොරෝනා සමයේදී අතයට බොහෝ දේ සිදුවෙමින් ඇත. අලුත්ම එක උදයංගට ඇප ලැබීමය. කතාව ඇප ලැබීම අරුමයක් වීම නොව මේ උදයංගත් ඉදිරියේදී මහින්දගේ ගමනට වුවමනා වීමය. යහපාලන කාලයේ සිව් වසරක්ම අල්ලාගත නොහැකි වූ උදයංග නොබෝදා පාඩුවේ පැමිණ භාර විය. ලොකු මෙහෙයුම් කතා ඒ අතර වෙනත් ඒවා එතරම් වැදගත් නොවේ. යහපාලන අයත් උදයංගව සෙව්වේ බොරුවටය. පසුගිය කාලයේද රාජපක්ෂලාගේ විදෙස් ගමන්වලදී උදයංග නිත්‍ය පෙනී සිටින්නෙක් විය. යහපාලනය කළ බොරුවලට ඒ අයද එකෙන්ම යන්නට විය. රාජපක්ෂලා බොරු කරන්නේ ඇත්ත ලෙසටය. ඒ නිසා ඒ බොරුද යන්න හෝ සිතාගත නොහැකිය. හෙට සිට උදයංග ගැන කාට මතකද? රාජපක්ෂලා ඔහුව වැඩට ගත්තේ උසාවියට භාර කර උසාවිය ඇප දුන් පසුවය. ඉතිරි සියල්ලත් සුපිරි විදිහටම වනු ඇත.


මෙහිදී අප නිකමට මෙන් සිහි කැඳවා ගත යුත්තේ උදයංග කතා වස්තුව මෙතරම් ජනප්‍රිය වූයේ ඇයිද යන්නය. ඒ ගැන පසුගිය කාලයේ ඇති පදම් කතා කළමුත් ඒ සියල්ල දැන් අමතකය. එහෙත් මතක් කළයුත්තේ එදා වැරදි ඔහු අද නිවැරදිදැයි සොයා බැලීමටය. කාලයත් සමග බොහෝ ප්‍රශ්න නිරාකරණය වේ.
මහින්ද රාජපක්ෂ සමයේ රුසියාවේ සිටි ශ්‍රී ලංකාවේ තානාපති උදයංග වීරතුංග චෝදනා ලබනුයේ ආයුධ ජාවාරමකටය. මහින්ද රාජපක්ෂගේ ඥාති සහෝදරයකු වන උදයංගට මෙලෙස චෝදනා එල්ල වනුයේ යුක්රේනයේ රුසියානු හිතවාදී සන්නද්ධ කණ්ඩායමකට අවි සැපයූ බවටය. ඒ බව මුලින් වාර්තා වූයේ විදේශ කටයුතු අමාත්‍යාංශයටය.
මේ ගැන මූලික විමර්ශන ආරම්භ කළේ යුක්රේන රජයය. ලංකාවේ යුක්රේන තානාපති කාර්යාලයක් නැති නිසා මෙම කාර්යයද එකල භාරව තිබුණේ නවදිල්ලියේ සිටින යුක්රේනයේ ඉන්දීය තානාපතිවරයාටය. ඒ අනුව ලංකාවේ රාජ්‍යතාන්ත්‍රිකයන් පිළිතුරු බැන්දේ නවදිල්ලි තානාපති කාර්යාලයටය. එවකට ආරංචි පැතිරුණේ උදයංගට එරෙහි චෝදනා දරුණු බවය. 2012 මතුවූ මිග් යානා ගනුදෙනුව පිළිබඳවද උදයංග නම කියැවිණි.


මේ ප්‍රශ්න මතුවන විට රුසියානු තානාපති උදයංගගෙන් කරුණු විමසන්නට ඔහු රුසියාවේ නැත. රුසියානු තානාපති වැඩ ලංකාවේය. ඒ මහින්දගේ දෙවන වීර ජනපති සටන දිනවීමටය. එසේ නම් එහෙව් වීරතුංග පසුගිය වසර කිහිපයම කට්ටි පනිමින් සිට නැවත ලංකාවට ආවේ ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද දිනවන්නට වැඩ කිරීමට බව රහසක්ද?


එකල එවැනි චෝදනා පිට පවා උදයංග මෙරට තුළ රාජපක්ෂලා රඳවාගෙන සිටියේ නුවරඑළියේ පිහිටි ‘රැජිනගේ නිවහනයේ. මෙම නිවහන බි්‍රතාන්‍ය යටත්විජිත පාලන සමයේ ආණ්ඩුකාර නිවාසයක් විය. ලංකාවට ඩොමීනියන් නිදහස ලැබීමෙන් පසු අගමැතිවරයාගේ නුවරඑළියේ නිවාඩු නිකේතනය වූ අතර පසුව එය විධායක ජනපතිගේ නුවරඑළි නිවාසය බවට පත්විය. එහෙව් නිවහනක තබාගෙන උදයංග රැක ගත්තේ ඥාතිකම මෙන්ම ඔහුගෙන් ලද උපකාර මෙහෙකාර වැඩ අනන්ත නිසාය.
රුසියානු තානාපති වන්නට පෙර මේ උදයංග ජීවත් වූයේ යුක්රේනයේ අගනුවර වන කීව් නගරයේය. ඔහු එම නගරයේ භෝජනශාලා හිමිකරුවකු විය. මුදල් හඹා යන්නෙකු විය. 2005 ජනාධිපති වූ මහින්ද 2006 නොවැම්බර්වලදී උදයංගට රාජ්‍යතාන්ත්‍රික තනතුර පිරිනැමීය. අප අමතක නොකළයුත්තේ උදයංගට චෝදනා එල්ලවන්නේ මහින්ද ජනපති වූ පසුව බවය. 2006දීම ඔහුගේ නම මිග් යානා ගනුදෙනුව සමග පැටලෙන්නේ ඔහු යුක්රේනයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු ලෙස මෙයට මැදිහත් වූ බවටය. යුක්රේනයේ භෝජනාගාරයක් කරමින් දිවි ගෙවූ උදයංග අවි ජාවාරම්වල පැටලුණේ ඇයිද යන්න අමුතුවෙන් හෙළිදරව් කළ යුතු නැත. එසේ නම් උදයංගට එල්ල වන චෝදනා එහෙම පිටින්ම රාජපක්ෂලාට අදාළය. යහපාලන කාලයෙත් අහු නොවූ උදයංග මෙරටට ගෙනවිත් හිරේ යවනු ඇතැයි සිතීම හිතළුවකි. එවැනි ළාමක විශ්වාස මෙරට ජනයා තුළ නැති බව සහතිකය.


උදයංගගේ නඩුව ඉදිරියේදී විසිවනු ඇත. ඒවා රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුය. මිග් යානා ගනුදෙනුවලට හිරේ යතැයි බොහෝ අය කට අයාගෙන බලා සිටි අය අද ජනපතිය. එහි පුංචි පුරුකක් වූ උදයංග කුමක් කරම්ද? උදයංගගේ ක්‍රියාව අද යුක්රේනයටද අමතකය. එසේ නම් පරණ කුණු මෙරට ඇවිස්සීමෙන් ගඳ ගසනුයේ මෙරටමය.


ඉදිරි මහ මැතිවරණයේදී උදයංග නැවත පෙර පරිදි සක්‍රීයව මහින්ද අගමැති කරවීමේ සටනට උරදෙනු ඇත. එමෙන්ම ඉදිරියේදී ඔහු නැවත රුසියානු තානාපති වුවත් අප පුදුම විය යුතු නැත. රාජපක්ෂලා නැවත අත උඩින්ම දිනා රටම පුදුම කළ බැවිනි. 2015දී මෙරට රාජපක්ෂලා තරම් හොරු සිටියේද? අද සිදුව ඇත්තේ කුමක්ද? චෝදනා කිරීම සහ ඔප්පු කිරීම යන්න දෙකකි. සැවොම රාජපක්ෂලාට චෝදනා කළමුත් කිසිවෙක් ඔප්පු නොකළේය. ඒ නිසා රාජපක්ෂලා වැරදිකරුවන් යැයි සිතීම වරදකි. රාජපක්ෂලාත් නිවැරදිකරුවන් වන විට උදයංගලා මොන වැරදිද? මේ බොරු චෝදනාය. අප වටහාගත යුත්තේ මේ සියල්ල එජාපයේ මෙන්ම එන්ජීඕ නඩවල බොරු චෝදනා බවය. උදයංගට ඇප දීම කොතරම් හොඳද? කොරෝනා වසංගතයක් පැතිර යන මොහොතක සුළු වරදකට උදයංගව බන්ධනාගාර ගත කිරීම යුක්තිද?


සිංහල බෞද්ධයා වෙනුවෙන් දෙමළ අය කිහිපදෙනෙක් මැරූ රණවිරුවෙකුව මරණීය දණ්ඩනයෙන් මුදවා ගැනීම පවක්ද? දෙමළ පොඩි දරුවන් ඒ අතර සිටියා යැයි කිඹුල් කඳුළු හෙළන අය පොඩි වුන් වුණොත් ඒ දෙමළ අය බව නොදන්නේද? සිරිසේන කුට්ටියකට නිදහස් කළා යැයි රට්ටු කියන මිනීමැරුම් වගේද ගෝඨාභය නිදහස් කළ රණවිරුවා. මේ තරම් දෙයක් වටහා ගත නොහැකි අධමයෝ මේ රටේ තවමත් වෙසෙති. කොරෝනා උවදුරින් රට බේරා ගන්නට අතින් වියදම් කරන රාජපක්ෂලා ගැන පව් කතා කියන නරුමයෝ තවම වෙති. ඒ හැමට එකෙන්ම කිව හැක්කේ එකකි.
යකෝ! මේ රාජපක්ෂලාගේ ආණ්ඩුව.

1 COMMENT

Comments are closed.