විශේෂ ලියුම්කරුවෙකු විසිනි

2015 වසරේදී නීති විරෝධී වකුගඩු ජාවාරම් පිළිබඳව ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධ බව ඉන්දියානු පොලීසිය විසින් හෙළි කරනු ලැබීය. ඉන් පසුව රහස් පොලිසිය විසින් කළ පරීක්ෂණ අනුව ලංකාවේ වකුගඩු ජාවාරමට සම්බන්ධ රෝහල් හතරක සහ වෛද්‍යවරුන් හයදෙනෙකුගේ නම් හෙළි කර ගන්නා ලදී.


මෙම නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳව 2016 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඒ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් සේවා අධ්‍යක්ෂ කාන්ති ආරියරත්න, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීප්ති පෙරේරා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කොට තිබුණි. කෙසේ නමුත් නමුදු අදිසි හස්තයක් මගින් එම පරීක්ෂණය අතරමගදී නවතා දමනු ලැබීය.


2016 වසරේ වකුගඩු ජාවාරම පිළිබඳව කමිටුවක් පත්කළ වකවානුවේදී වකුගඩු ජාවාරම මඳක් අඩුවී ගියද යළිත් වෙනස් මුහුණුවරකින් වකුගඩු ජාවාරම උතුරුකරයෙන් මතු විය. යාපනය රෝහලේ වකුගඩු පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයකු විසින් උතුරේ දුප්පත් ද්‍රවිඩ තරුණයන් වකුගඩු විකිණීමට පොළඹවා ජාවාරම්කරුවන් මගින් ඔවුන්ව කොළඹ පුද්ගලික රෝහල් වලට මෙන්ම ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව වැනි රටවල පුද්ගලික රෝහල් වලට ද යවා තිබුණු බව හෙළි විය.


වාර්තා වන පරිදි තැරැව්කරුවෝ උතුරේ රැකියා විරහිත දුගී තරුණයන්ට රුපියල් ලක්ෂ 5 ක පමණ මුදලක් දෙන බවට පොරොන්දු වී ඔවුන්ව වකුගඩු දායකයන් කර ගනිති. ඉන්පසු ඔවුන්ව යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කෙරේ. එම වෛද්‍යවරයා ඔවුන්ව පරීක්ෂා කොට සුදුසු දායකයන් රහස් අංකයක් මගින් කොළඹ සිටින තැරැව්කරුවෙකුට යොමු කරයි. එම තැරැව්කරුවා විසින් ලංකාවේදී හෝ විදේශයකදී ධනවත් පුද්ගලයෙකුට එම වකුගඩුව විකිණීම සිදු කරයි. මෙම ක්‍රියාවලියේදී දායකයාට රුපියල් ලක්ෂ 5 පමණ ලැබෙන අතර යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාට එක රෝගියෙකුගෙන් රුපියල් ලක්ෂ 10 – 12 අතර මුදලක් ලැබේ. දේශීය හෝ විදේශීය වකුගඩු රෝගයෙන් පෙළෙන ධනවතුන් වකුගඩුව සඳහා ඩොලර් 122, 000 පමණ වියදම් කරති. වකුගඩුව බද්ධ කරන වෛද්‍යවරයාටද විශාල මුදලක් ලැබෙයි.


මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන සැමුවෙල් චන්ද්‍රහසන් පවසන පරිදි මේ වන විට ද්‍රවිඩ තරුණයන් 500 ආසන්න පිරිසක් ඕස්ටේ්‍රලියාවට පැමිණ තම වකුගඩු රහසේ ධනවත් දායකයන්ට මුදලට විකුණා තිබේ. මෙම තරුණයන් බහුතරය පරික්ෂා කොට නිරෝගී වකුගඩු දායකයන් බවට සහතික කොට තිබෙන්නේ යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාය.


වකුගඩු ජාවාරම පිළිබඳව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සත්‍යමූර්ති මහතා මෙසේ කියයි.
“මෙම වකුගඩු ජාවාරම පිළිබඳ චෝදනාව යාපනය ශික්ෂණ රෝහලට අපකීර්තියක්. ඒ නිසා කෙරෙන ඕනෑම පරීක්ෂණයකට අපගේ සහයෝගය තියනවා. වකුගඩු ජාවාරම පිළිබඳ චෝදනාව ලද වෛද්‍යවරයා පොලොන්නරුව රෝහලට මාරුවී ගියා. ඒත් එම වාට්ටුවේ ලේඛන අපි ළඟ තියනවා. ඒ නිසා ඕනෑම අවස්ථාවක ඒ ලේඛන ඉදිරිපත් කරන්න පුලුවන් ”


යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සත්‍යමූර්ති මහතා එලෙස කීවද නම හෙළි කිරීමට අකමැති යාපනය රෝහලේ වකුගඩු පිළිබඳරෝග සායනයේද සේවය කොට තිබූ හෙදියක් මෙලෙස අදහස් දැක්වූවාය.
“ඔය චෝදනා වලට සම්බන්ධ වෛද්‍යවරයා යාපනය රෝහලේ සේවය කළා. ඔහුට පරික්ෂා කිරීම සඳහා නිරන්තරයෙන්ම තැරැව්කරුවන් කිහිප දෙනෙකු විසින් තරුණයන් ගෙන ආවා, මේ තරුණයන් කිසිවකු රෝහලේ ලේඛනගත වුනේ නැහැ. ඒ නිසා සායනයේ ලේඛන පරීක්ෂා කරලා වකුගඩු ජාවාරමට ගෙන ගිය තරුණයෝ හොයන්න බැහැ. ඒ ආපු තරුණයන් ඔක්කොම වගේ දුප්පත් පවුල් වල අය. සමහරු යුද්ධයෙන් අනාථ වූ මිනිස්සු. පොඩි ගේ කෑල්ලක් අටව ගන්න, ත්‍රීවීල් එකක් ගන්න මේ තරුණයෝ තමන් ගේ වකුගඩුව වික්කා”


රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා 2015 වසරේ සිට වකුගඩු මාෆියාවට එරෙහිව අසාර්ථක සටනක නියැලුනු අයෙකි. යාපනය රෝහලේ වකුගඩු ජාවාරම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ කීවේය.

“වකුගඩු ජාවාරම නීති විරෝධී , ඒ වගේම සදාචාර විරෝධී , වෛද්‍ය නීති සම්මතයන් මෙන්ම වෛද්‍ය අචාර ධර්ම වලට පටහැනි ක්‍රියාවක්. ඒත් මේ ජාවාරම සිදුවෙනවා. මේක ලොකු මාෆියාවක්. මේකට වෛද්‍යවරු ගණනාවක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔවුන් සියළු දෙනාටම මේ ජාවාරම හරහා මුදල් ලැබෙනවා. ඔවුන් බලවත්, ඒ වාගේම විත්තිකරුවන් නීතියට හසු වීමට ඉඩ නොදී ඔවුන්ට නිරුපද්‍රිතව ජාවාරම කරගෙන යාමට ඉඩ සලසා තියනවා. ඒ නිසා යාපනය රෝහලේ වකුගඩු ජාවාරමත් යට යයි ”


නීති විරෝධී වකුගඩු ජාවාරමේ නියැලෙන වෛද්‍යවරුන් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කුමන ආකාරයේ පියවරක් ගන්නේද කියා අප ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන් ද්‍ර ද සිල්වා මහතාගෙන් ඇසුවෙමු. එතුමා පවසන පරිදි නීති විරෝධී මිනිස් අවයව ජාවාරමේ යෙදෙන වෛද්‍යවරුන්ට දඞුවම් කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බලතල නොමැත. යම් පුරවැසියෙකු විසින් දිවුරුම් පෙත්සමක් මගින් එකී ජාවාරමේ නියැලෙන වෛද්‍යවරයෙකුට චෝදනා ගොනු කළහොත් ඒ පිළිබඳව විභාග කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හැකිය. වරදකරු වුවහොත් දිය හැකි උපරිම දඬුවම වන්නේ විත්තිකරු ගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අත් හිටුවීමය.


නීති විරෝධී වකුගඩු ජාවාරමේ නියැලෙන වෛද්‍යවරුන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නේ කුමන පියවරක්ද? අප මේ ප්‍රශ්නය සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන මහතාගෙන් ඇසුවෙමු. වෛද්‍ය ඒ.ටී. සුදර්ශන මහතා පවසන අන්දමට එවැනි නීති විරෝධී ක්‍රියාවන්හි නියැලෙන වෛද්‍යවරුන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රමාණවත් බලතල නොමැත.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, ළමා රෝග විශේෂඥ වෛද්‍ය, ආසිරි අබේගුණවර්ධන මහතා නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳ මෙසේ පවසයි.


“මේක ඉතාම අවමන් සහගත තත්වයක්. අන්තර්ජාතික වෛද්‍ය සම්මන්ත්‍රණ වලදී නීති විරෝධී මිනිස් අවයව ජාවාරම , විශේෂයෙන් වකුගඩු ජාවාරම ගැන කතා කරන විට විදෙස් ප්‍රජාව කෙලින්ම ලංකාව ගැන කතා කරනවා. ඒ වෛද්‍ය සම්මන්ත්‍රණ වලදී මම ශ්‍රී ලාංකිකයෙකු ලෙස ලැජ්ජාවට පත් වුනා. මේ නීති විරෝධී, සදාචාර විරෝධී ජාවාරම මැඬ පැවැත්විය යුතුයි.


කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඞ් සහබ්දීන් සාෆි වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම්වලට ලක්කළ සිංහල මවුවරුන් 4000 ක ගේ පැලෝපීය නාල වලට හානි කොට ඔවුන් වඳ භාවයට පත් කළ බව මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේය. උතුරේ දුප්පත් ද්‍රවිඩ තරුණයන් සිය ගණනකගේ වකුගඩු පැහැර ගත් වෛද්‍යවරයා සිංහල වෛද්‍යවරයෙකි. මේ නිසා අප කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිංහල කාන්තාවන් වඳ භාවයට පත් කළ බවට චෝදනා ලද මුස්ලිම් වෛද්‍යවරයා පිළිබඳව පරීක්ෂණ කළ ආකාරයට යාපනය රෝහලේ ද්‍රවිඩ තරුණයන් සිය ගණනකගේ වකුගඩු පැහැර ගත් සිංහල වෛද්‍යවරයා පිළිබඳවත් පරීක්ෂණ කළ යුතුද කියා මහාචාර්ය චන්න ජයසුමන ගෙන් ඇසුවෙමු. එහෙත් මහාචාර්ය චන්න ජයසුමන එම ප්‍රශ්නයට පිළිතුරක් දුන්නේ නැත. ඔහු නිරුත්තර විය.