සමිත විජේවර්ධන

1977 දෙමළ – සිංහල කෝලහලයේ සුලමුල හා එය පළමුව යාපනේ දෙමළ වැසියන්ට බලපෑ ආකාරය ගැන ගිය සතියේ ලිවෙමි. එකී කෝලාහලය යාපන සරසවියේ සිංහල සිසුන් කෙරෙහි කෙසේ බලපෑවේ ද යන්න කියා විස්තර කිරීමට පෙර මගේ මතකයෙන් මතු වු තවත් අත්දැකීම් කීපයකට ඔබේ අවධානය යොමු කරවමි.


සිංහල අධ්‍යයනාංශයේ පළමු මහාචාර්යවරයා වූ සුචරිත ගම්ලත් හා අනිත් ආචාර්යවරු දෙදෙනා වූ ධර්මසේන පතිරාජ, සුනිල් ආරියරත්න යන තිදෙනාම සෞන්දර්යයට ලැදි රසකාමීයෝ ය. ඒ අතරින් ගම්ලත්හු සෞන්දර්යවේද පිළිබඳ විශේෂඥයෙක් වූහ. එපමණක් නොව එතුමා දේශපාලනිකව ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස බොහෝ ඉදිරියෙන් සිටියෙකි. ධර්මසේන පතිරාජයන් “පොන්මනි” චිත්‍රපටය කළේ ද සුනිල් ආරියරත්නයන්ගේ පළමු ගී එකතුව වූ “අරුන්දතී” පිටවුණේ ද යාපනේ සිටියදී ය. මා අරුන්දතී මිල දී ගත්තේ යාපනේ පූබලසිංහම් පොත් සාප්පුවෙනි.


දෙමළ අංශයේ මහාචාර්ය ඒ. ෂන්මුගදාස් ඉංග්‍රිසි අංශයේ කථිකාචාරිනී ශාන්ති සන්තානම් හා සුනිල් ආරියරත්න යන තිදෙනා එකතුව “යාපා පටුනේ කවි” නමින් ්4 ප්‍රමාණයේ පිටු අටක කවි එකතුවක් පළ කිරීම සුවිශේෂ සිද්ධියක් විය. ඒ කවීන් අතර මමද එක් කවියෙක් වීමි.


සිංහල අංශයේ ඉහත කී ආචාර්යවරුන් තිදෙනා ම නවාතැන් ගෙන සිටියේ නීතිඥ බාලසිංහම්ගේ නිවසක වේ. තිදෙනාගේම වාහනය වූයේ පා පැදියකි. පතිරාජයෝ සයිකලය පදිති. ගම්ලත්හු ඉදිරිපස බාරෙකේය. ආරියරත්නයෝ ලගේජ් එකේය. අමතක නොවන මනරම් දසුනකි.


බාහිර සමාජයේ බොහෝ අත්දැකීම් ලබා ගත හැකි වූයේ මා උපැවිදි වීමෙන් පසුය. ලැබූ නිදහසින් උපරිම ප්‍රයෝජන ගනිමින් අනිකුත් මිතුරන් (විශේෂයෙන් ඩබ්. ඒ. කුමාරදාස සමඟ බොහෝ තැන්වල ඇවිද්දෙමි. දිනක් කුමාරත් මමත් එක හැන්දෑවක තල් රා තිබුණු නිවසකට ගියෙමු. අප යන විට තරමක් වයසක දෙදෙනෙක් සුරුට්ටු උරමින් තල් රා රස විඳිමින් සිටියහ. තල් රා බොන්නේ පුලාවේ (තල් ගොටුවේ) ය. තල් ගොටු තිබුණේ දෙකකි. ඒවා හිස් වනතුරු අපි එහි තිබුණු ලෑලි බංකුවක වාඩි වීී සිටියෙමු. එහි සිටි එක් පුද්ගලයෙක් ගම්පොළ ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටියෙකි. ඔහු අප හා කැඩුණු සිංහලයෙන් කතාවට වැටුණේ ය. විනාඩි 20 කට පමණ පසු අප දෙදෙනාට තල් ගොටු දෙක ලැබුණි. ඒවා සෝදා දෙන ලෙස රා කරුට කියන ලෙස අපි කීවෙමු. එවිට අපේ මිතුරා “චී චී ඒම ඔද නෙ. මේමම බීවා ම තමා ටේස්ට් එක තියෙනවා” යි අපිට රා බීමේ නිසි ක්‍රමවේදය කියා දුන්නේය. අපිදු එසේ තල් රා රස බැලුවෙමු. තල් රා රස මිස සුරුට්ටු හෝ වෙනත් රසක් අපට දැනුණේ නම් නැත. පමණට ගත හොත් මත්පැන් වුව මිනිසුන් අතර සුහදතාව වඩවන දිව ඔසුවකි.


මා නාග විහාරයේ නැවති සිටි කාලයේ විවිධ පුද්ගලයන් ඇසුරු කිරීමේ අවස්ථාව ලැබුණි. විශේෂයෙන් පොලිසියේ හා හමුදාවල සාමාජිකයන් සමඟ කතා බහ කිරීමෙන් යාපනේ වර්ධනය වෙමින් පැවැති තරුණ සටන්කාමීත්වයේ ඇතැම් තොරතුරු දැන ගත හැකි විය. එක් පොලිස් භටයකු මා සමඟ පැවසු ආකාරයට රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටි එක් තරුණයෙකු තමන්ගේ ඊළඟ පරම්පරාව හෝ නිදහස් සටනට පණ පොවනු ඇතැයි” අධිෂ්ඨානශීලීව කියා ඇත. එබඳු සටන්කාමීත්වයකට පෙළඹුණේ දකුණේ ඇතැමුන් නන් දොඩවන පරිදි දෙමළුන් තුළ පැවැති හුදු ඊළාම් රාජ්‍යයක් පිළිබඳ මනස්ගාතයක් නිසා නොව දකුණේ දේශපාලකයන්ගේ ද ඔවුන්ට අනුබල දුන් භික්ෂූන් ප්‍රමුඛ සිංහල ජාතිවාදීන්ගේ දුර්දාන්ත ප්‍රතිපත්ති නිසාය. එසේ නැතිව දෙමළ යනු උපදින කොටම මනසේ ඊළාම් රාජ්‍ය්‍යක් අධිෂ්ඨානය ඇතිව ගෙලෙහි සයිනයිඞ් කරල් පැළඳ ගෙන දෑතේ අවි දරාගෙන උපන් සිංහලයන්ගේ වයිරක්කාර ජාතියක් නොවෙති. ඒ බව ඔවුන් හැමදාම තහවුරු කර ඇත. පසු ගිය මහමැතිවරණයේ දී ද යාපනේ දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කර ඇති ආකාරය දෙස බලන විට එය පැහැදිලි වෙයි. වැඩි මනාප ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා මිස දෙමළ දේශපාලන පක්ෂ අපේක්ෂකයෝ නොවෙති. 1982 ජනාධිපතිවරණයේ දී ද යාපන දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබුණේ කුමාර පොන්නම්බලම් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක කොබ්බෑකඩුව ය.


දෙමළ ජනතාව තම ගැටලු විසඳ ගැනීමෙහි ලා සිංහල දේශපාලන නායකත්වය කෙරෙහි තැබූ විශ්වාසයට උචිත සාධනීය ප්‍රතිචාරය දැක්වීමට දකුණේ ආණ්ඩු ඥානවන්ත වුණේ නැත.


දැන් මම නැවතත් 1977 අගෝස්තු මස 16 වන දින යාපනය විශ්ව විද්‍යාලය තුළ හා ඉන් පිටත සිදු වූ සිදුවීම් කෙරෙහි ඔබේ අවධානය යොමු කරවමි.


යාපනය නගරය තුළ පොලිසිය මහජනයාට පහරදීම් සිදු කළත් දෙමළ ජනතාව සාමාන්‍ය සිංහල ජනතාවට හෝ විශ්වවිiාල සිංහල සිසුන්ට පහරදීමක් කළේ නැත. 16 වනදා උදෑසන වන විට තත්ත්වය තවත් බැරෑරුම් විය. පොලිසිය සිවිල් වැසියන්ට පහර දීම ගැන විශ්ව විiාලය තුළ දෙමළ සිසුන්ගේ විරෝධය මතුවෙමින් පැවතුණි. ඔවුහු පොලීසියට විරෝධය ප්‍රකාශය කරනු පිණිස තින්නවේලියේ සිට නගරය දක්වා පා ගමනක් සූදානම් කළහ. ඊට සහභාගි වන ලෙස සිංහල සිසුන්ගෙන් ද ඉල්ලීමක් කෙරුණත් අප ඊට සම්බන්ධ වුණේ නැත. ඒ වන විටත් අප එය දැක්කේ දෙමළුන්ගේ ප්‍රශ්නයක් ලෙසය. වීරසූරිය ඝාතනයට එරෙහි යාපනය විශ්වවිiාල විරෝධතාවේදී දෙමළ ශිෂ්‍ය ශෙල්වේන්ද්‍රන් කළ ප්‍රකාශය මෙහිදී සිහියට ගන්න (මේ ලිපි මාලාවේ දෙවැන්න 2020.08.30 රාවය) දෙමළ ශිෂ්‍යයෝ විරෝධතා පා ගමනේ ගියහ. එදින කිසිදු දේශනයක් පැවැත්වුණේ නැත. අපි තැන් තැන්වලට වී බිය සැක සහිතව කතා කරමින් සිටියෙමු. මධ්‍යාහ්න 12 පමණ වන විට පා ගමනෙහි යෙදුණු දෙමළ ශිෂ්‍යයෝ වේදනාවනේ හා කෝපයෙන් කැකෑරෙමින් ආපසු පැමිණියහ. ඔවුන්ට අප සමඟ ආරෝවක් තිබුණේ නැත.


ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදිරි පිට අංගනයේ ගසක් යට සිමෙන්ති බංකුවක් මත අපි කිහිප දෙනෙක් කතා කරමින් සිටියෙමු. තවත් සුළු මොහොතකින් බාහිර පුද්ගලයන් තුන් හතර දෙනෙකු ප්‍රකෝපකාරි ලෙස කෑ කෝ ගසමින් බලහත්කාරයෙන් ප්‍රධාන ගේට්ටුව ඇරගෙන විශ්වවිiාල භූමියට ඇතුළු වෙනු දුටු අපි ප්‍රධාන ශාලාවේ උඩු මහලට දිව ගොස් පහළ සිදු වන දේ ජනෙල් වලින් බලා සිටියෙමු. ප්‍රහාරකයෝ ආරක්ෂක නිලධාරීන්ගේ කාර්යාලයට කඩා වැදී එහි තිබුණු තුවක්කුව පැහැර ගෙන අප සිටි ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුම දෙසට එන්ට පටන් ගත්හ. වහා ඔවුන් ඉදිරියට ගිය සහකාර ලේඛකාධිකාරි ශිවපාදම් මහතා ඔවුන්ට වැඳ නමස්කාර කර සිංහල සිසුන්ට කරදරයක් නොකරන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රහාරකයෝ ආපසු ගියහ. එදින දිවා ආහාරය “අන්නා” අපට ගෙනවිත් දුන්නේය. බොහෝ දෙමළ ශිෂ්‍යයෝ සවස් වනතුරුම අපේ ආරක්ෂාවට රැඳි සිටියහ. සවස 5 ට පමණ නාවික හමුදා ට්‍රක් රථයක් පැමිණ ප්‍රධාන ගේට්ටුව ළඟ නතර කළේය. සිංහල ශිෂ්‍යයෝ වහා එහි ගොස් ආරක්ෂාව ඉල්ලා සිටියහ. පොලිසිය හා හමුදාව කෙරෙහි දෙමළ ජනතාව තුළ තිබුණේ අමනාපයකි. අවිශ්වාසයකි. එනිසා සිංහල සිසුන් නාවික හමුදාවෙන් ආරක්ෂාව ඉල්ලීම දෙමළ සිසුන්ගේ අප්‍රසාදයට හේතුවිය. දෙමළ සිසුහු එකිනෙකා විශ්වවිiාලයෙන් පිටව ගියහ. තවත් ටික වේලාවකින් නාවික හමුදා රථයද යන්ට ගියේය. දැන් අපේ ආරක්ෂාවට ඉතිරි වුණේ එකල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ජෙයපාලන් හා තවත් කිහිප දෙනෙක් පමණයි. සවස 7 ට පමණ යුධ හමුදා ආරක්ෂාව ලැබුණි. රාත්‍රී ආහාරයද විශ්වවිiාලයෙන්ම ලැබුණි. රාත්‍රී කෑමෙන් පසු විශේෂ රැස්වීමක් කැඳවු කේ. ඉන්ද්‍රපාලන් සුචරිත ගම්ලත් යන ආචාර්යවරු ආරක්ෂාව හා ඉදිරි වැඩ පිළිවෙල ගැන අප දැනුවත් කළහ. එදින රාත්‍රිය විශ්වවිiාලයේම ගත කළෙමු. ජෙයපාලන් ඇතුළු කිහිප දෙනා අපේ ආරක්ෂාව සඳහා කළ හැකි සෑම දෙයක්ම කළහ. අප එසේ ආරක්ෂිතව සිටිද්දි අනුරාධපුර දෙමළ ජනතාව මුහුණ දෙමින් සිටියේ බිහිසුණු සිදුවීම් මාලාවකටය.


ජිනදාස දනන්සූරිය මහාචාර්යතුමන් එකල යාපන සරසවියේ සිංහල අංශයේ ආචාර්යවරයෙක් විය. එතුමා 1977 අගෝස්තු 16 වනදා රාත්‍රියේ අනුරාධපුර දුම්රිය ස්ථානයේදී අත්දුටු දේ විස්තර කළේ මෙසේය.


“මං ගමේ ඉඳලා නයිට් මේල් එකේ යාපනේ යන්ට ගියේ, ටේ්‍රන් එක අනුරාධපුර ස්ටේෂන් එකේ නතර කරන විට යාපනේ ඉඳලා එන නයිට් මේල් එකත් ඇවිල්ලා තිබුණේ, මං ආපු ටේ්‍රන් එක නතර කරනවාත් සමඟම පිට හිටපු සිංහල මිනිස්සු අපේ ටේ්‍රන් එකේ හිටපු දෙමළ මිනිස්සුන්ට ගල්වලින් පහර දෙන්ට පටන් ගත්තා. මං බොහොම අමාරුවෙන් කෝච්චියෙන් බැහැගත්තා. එතකොට සිංහල මිනිහෙක් ඇවිත් කියනවා “ මහත්තයා යාපනේ යන්ට එපා. විශ්වවිiාලයේ සිංහල ළමයි මරලා. ඒ මළ මිනී මේ කෝච්චියේ එවලා තියෙනවා” ඊට පස්සේ මං ආපහු එන්ට කොළඹ කෝච්චියට නැංගා. ඒකේ හිටපු දෙමළ මිනිහෙකුට නිරුවත් කරලා – යට ඇඳුම විතරයි තිබුණේ – ගහනවා. ඒ මනුස්සයා එහෙ මෙහ දුවලා බැරිම තැන දුවන කෝච්චියෙන් පැන්නා”


මහාචාර්ය දනන්සූරියට අර තිරිසනා (සමහර සිංහලයන්ට නොහොත් සිංහල මිලේච්ඡයන්ට නම් ඔහු දේශප්‍රේමියෙකි) කියා තිබුණේ අහස පොළොව නූසුලන මහ බොරුවකි. 16 දා රාත්‍රීය වන විට කිසිම සිංහලයකුට දහවල් වූ තර්ජනය හැර වචන මාත්‍රයකින්වත් ගැහැටක් වී තිබුණේ නැත. 17 වන දා උදෑසන අපි අවදී වී විශ්වවිiාල අංගනයට ගියෙමු. අංගනය කෙළවර පාරට යාබද ව තිබූ තාප්පයට ඉහළින් සුපුරුදු මුහුණක් එබිකම් කරනු දුටුවෙමි. ඒ අපේ “අන්නා” ය. මම ඔහු ළඟට ගොස් පිටත තොරතුරු විමසුවෙමි. “අන්නා” පැමිණ සිටියේ අප නිවසට කැඳවා ගෙන යෑමට ය. අපි ඔහු සමඟම බෝඩිමට ගොස් මුහුණ කට සෝදාගෙන ඉක්මණින් ආපසු ආවෙමු. අන්නා උදෑසන ආහාරය අපට ගෙනවිත් දුන්නේය.


වෙනදා පාන්දර 5.30 පමණ වන විට යාපනය දුම්රිය ස්ථානයට පැමිණෙන තැපැල් දුම්රිය එදින පෙ.ව. 9 වන විටක් පැමිණ තිබුණේ නැත. තවත් සුළු මොහොතකින් ඈතින් දුම්රියක හූ හඬ ඇසෙන්නට පටන් ගත්තේය. ඒත් ඒ වෙනදා ඇසුණු සුපුරුදු නලා හඬ නොවේ ! පෙර දින රාත්‍රියේ අනුරාධපුර ශුද්ධ නගරයේ දී මාරාන්තික ප්‍රහාරයකට ලක් වූ දුම්රිය මාරාවේශයෙන් මෙන් හූ හඬ තියාගෙන විශ්වවිiාලයට තරමක් නුදුරින් වූ කොකුවිල්දුම්රිය පොලේ නතරවුණේ ය. දෙමළ සිසුන් පිරිසක් ඒ වන විටක් එහි ගොස් සිටියේ යාපනෙන් පිට තොරතුරු දැන ගැනීමේ අරමුණෙන්ය. දුම්රියේ සිටි මගීන් කිහිප දෙනාගෙන් පෙර දින තම වර්ගයාට සිදු වූ ප්‍රහාරය ගැන දැන ගත් දෙමළ ශිෂ්‍යයෝ අතිශය කම්පනයට පත්වූහ. එක් ශිෂ්‍යයෙක් වියරුවෙන් මෙන් දිව විත් පුටුවක් ඔසවා බිත්තියට සවි කර තිබූ සිංහල දැන්වීම් පුවරුවකට උපරිම වෙර යොදා පහර දුන්නේය. වීදුරුව සුන් බුන් වී සී සී කඩ විසිර ගියේය. පහර දුන් සිසුවාගේ දෑසින් ගින්දර පමණක් නොව කඳුළු ද පනිනවා මම දුටුවෙමි. ඔහු පහර දිය යුතුව තිබුණේ අපටය. එහෙත් ඔහුගේ ජාතිවාදය මනුෂ්‍ය ඝාතනයක් නොකර සදාචාර කෝපයෙන් පලිගත්තේ අචේතනික දැන්වීම් පුවරුවෙන්ය.


විශ්වවිiාලයේ තැනක ස්ථානගත වී සිටි හමුදා සෙබළු වහා අවි අමෝරා ගෙන විශ්ව විiාලයේ ප්‍රධාන දොරටුව වෙත ආවේ අවශ්‍ය වුවහොත් ප්‍රහාරයකට සුදානම්වය. එහෙත් විශ්වවිiාල ආරක්ෂක ප්‍රධානි පුත්‍රසිගාමිණි මහතා වහා හමුදා කණ්ඩායම ඉදිරියට ගොස් කලබල නොවන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. හමුදා සෙබළු ආපසු හැරී ගියහ. එසේ නොවුණා නම් එදින එහි මහා ඛේදජනක සිදුවීමක් විය හැකිව තිබුණි.


මේ අතර 17 වන දා උදේ විශ්වවිiාලයට පැමිණි දෙමල සිසුන් අතර සිටි අන්තවාදීන් කිහිප දෙනකු ජෙයපාලන්ට තර්ජනය කර තිබුණේ සිංහල සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි නිසාය.


උදේ නවාතැන් පොළවල්වලට ගිය ඇතැම් සිසුන්ට ආපසු පැමිණිමට නො හැකි විය. ඔවුන් කිහිප දෙනකු ප්‍රචණ්ඩකාරීන්ගේ සුළු පහරදීම් වලටද ගොදුරු වී ඇත. දෙමළ නිවාස හිමියෝ ඔවුන් සඟවා තබා ගත්හ. දහවල් හමුදාව පැමිණ තන්හි තන්හි කොටු වී සිටි ඒ සියලු දෙනාම විශ්වවිiාලයට කැඳවා ගෙන ආහ.
මධ්‍යහ්නය වන විට අන්නා නැවතත් පැමිණ අප දිවා ආහාර සඳහා නිවසට කැඳවාගෙන ගියේය. දිවා ආහාර සඳහා ප්‍රමාද නොවුණු අපි ගෙනා යා හැකි තරමට ගමන් මලු සූදානම් කර ගත්තෙමු. අන්නා සහ ඔහුගේ මස්සිනා පාපැදි දෙකකින් අප විශ්වවිiාලයට ගෙන විත් ඇරලූහ. පසුව දිවා ආහාරය ගෙනවිත් දුන්හ.


(මතු සම්බන්ධයි)