මහින්ද හත්තක


නව වසරේ උදාවත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඇමතිවරුන්ගෙන් හා රාජ්‍ය සේවකයන්ගෙන් 2019 ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන් ඇප කැපවී අධිෂ්ඨානශීලීව වැඩ කරන බවට ප්‍රතිඥාවක් ලබා ගත්තේය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඔහුගේ කැමැත්ත අනුව ධුරය දරන අගමැති මෙම ප්‍රතිඥාව දීමට ඉදිරිපත් නොවුවද පවුලේ අයගේ සහාය ගැන ජනාධිපතිට සැකයක් තිබිය නොහැකිය. කෙසේ වුවත් බලයේ සිටින පක්ෂයට ඇප කැපවීමෙන් වැඩ කරන රාජ්‍ය සේවකයන් තම උපරිම දායකත්වය ආණ්ඩුවේ වැඩපිළිවෙළට ලබා දෙනු ඇත.


එහෙත් ගැටලුව වන්නේ ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සෞභාග්‍යයේ දැක්ම කලින් කලට වෙනස් වන නිසා නව වසරේ සෞභාග්‍ය සඳහා කළ යුත්තේ කුමක්ද යන්න පැහැදිලි කර ගැනීම ය. නිදසුනක් වශයෙන් සෞභාග්‍ය උදෙසා රටේ සම්පත් විදේශිකයන්ට නොවිකුණන බව ප්‍රකාශනයේ සඳහන් වුවද කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පැවරීමේ සූදානමක් ගැන එහි සේවකයෝ උදඝෝෂණය කරති. එම නිසා සෞභාග්‍යයේ දැක්ම නිතර නිතර වෙනස්වීම්වලට භාජනය විය හැකි බවද අවබෝධ කර ගත යුතුය.


දෙවැනිව සෞභාග්‍ය කරා යන ගමනේ දී රජයේ සේවකයන්ට සාමාන්‍යයෙන් උපදෙස් සහ මගපෙන්වීම් ලබා දෙන ක්‍රියා පටිපාටිය ද වෙනස් විය හැකිය. පසුගිය දිනක ගම්බද ප්‍රදේශයක දී එහි වැසියන්ගේ දුක්ගැනවිලිවලට සවන් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චක්‍රලේඛ උපදෙස් ලැබෙන තෙක් රැඳී නොසිට තමා කියන දේ චක්‍රලේඛ උපදෙස් සේ සලකා ක්‍රියා කරන මෙන් ආණ්ඩුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වෙනත් දේශපාලකයන් මෙන්ම ඔහු ද කියන දේ වරින් වර අවස්ථානුකූලව වෙනස් වන නිසා ඇප කැපවීමෙන් කළ යුත්තේ කුමන කාර්ය ද යන්න ගැන රජයේ සේවකයන් විමසිලිමත් විය යුතුය.


ගමත් සමග පිළිසඳරක් වැඩසටහන යටතේ ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත ගමකට ගොස් එහිදි ඉදිරිපත් වූ ගැටලු විසඳූ ආකාරය මීට නිදසුනකි. තමන් වගා කරන ඉඩම් ද ඇතුළත් වන සේ වන රක්ෂිත ප්‍රදේශයක මායිම් ලකුණු කිරීමක් ගැන ගැමියන්ගෙන් චෝදනා ඉදිරිපත් වූ විට ජනාධිපතිවරයාගේ නියෝගය වූයේ එම ඉඩම් අත්හැර මායිම් ලකුණු කිරීම ය. මෙම නියෝගය වාචිකව ලබා දුන්නත් සාමාන්‍ය පරිපාලන චක්‍රලේඛ උපදේශයක් සේ රජයේ නිලධාරීන් පිළිපැදිය යුතුය. නැතිනම් ඔවුන් සෞභාග්‍යයේ දැක්මට විරුද්ධව කටයුතු කරන්නන්යැයි හංවඩු ගැසෙනු ඇත. මෙම භාවිතය රටේ සෙසු ප්‍රදේශවලටද යොදා ගත යුතු නිසා රක්ෂිත ඉඩම් පිළිබඳව ක්‍රියා කිරීමේ දී නිලධාරීන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.


ගමේ ජනගහණය වැඩිවත්ම ගම අවට ඇති රක්ෂිත ඉඩම් වගා කටයුතු සඳහා මෙන්ම පදිංචිය සඳහා අනවසරයෙන් යොදා ගැනීම දිවයිනේ සෑම ප්‍රදේශයකම සිදුවන්නකි. සමහරවිට මහා පරිමාණයේ ව්‍යාපාරික කටයුතු සඳහා රක්ෂිත ඉඩම් අත්පත් කර ගෙන ඇති අවස්ථා ද වාර්තා වේ. සාමාන්‍යයෙන් රක්ෂිතයක් වෙන් කරන්නේ ජල පෝෂිත ප්‍රදේශයක් වැනි පරිසර අවශ්‍යතා හෝ වෙනත් පොදු භාවිතයක් සඳහා ය. සමහර ඉඩම් අනාගතයේ ගම් පුළුල් කිරීමේ කටයුතු සඳහා ද වෙන් කර ඇත. නමුත් අනවසරයෙන් එම ඉඩම් අත්පත් කර ගන්නා අය එවැනි අවශ්‍යතා ගැන සැලකිලිමත් වන්නේ නැත. ඔවුන්ගේ අවශ්‍යතාව වගාවක් සඳහා හෝ වෙනත් අවශ්‍යතාවක් සඳහා ඉඩම අත්පත් කර ගැනීම පමණි. දශක ගණනාවක ‘සංවර්ධනයෙන්’ පසුව තවමත් කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වී ඇති රටක ඉඩම් සඳහා ඇති ඉල්ලීම ජන සංඛ්‍යාවේ වර්ධනයත් සමග වැඩි වන බව පැහැදිලිය. වෙනත් ජීවනෝපායක් නැති විට අඩුම ගණනේ ගොවිතැනක් කිරීම සඳහා ඉඩමක් ලබා දීම ද රජයේ යුතුකමකි. එසේ අත්පත් කර ගත් ඉඩම් සඳහා බලපත්‍ර ලබාදීම ද යහපාලන ආණ්ඩු සමයේ විපක්ෂයේ සිටි පොහොට්ටු කණ්ඩායම දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කර ගත් අයුරු අපට සිහිපත් කළ හැකිය. කුමන තත්ත්වයක් යටතේ හෝ ගොවිතැනින් යැපෙන ජනතාවට ඉඩම් ලබා දීම ගැටලුවක් විය නොහැකිය.


එහෙත් පිළිසඳරක යෙදෙන අතරතුර අනවසරයෙන් වගා කරන ඉඩම් අත්හැර රක්ෂිත ඉඩම් මායිම් කර ගැනීමට වාචික චක්‍රලේඛ නිකුත් කිරීම තවත් ගැටලු ගණනාවකට හේතුවනු ඇත. ජනාධිපතිවරයාට පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයා රක්ෂිතයක් වශයෙන් පැවති ඉඩමක් කුමන ආකාරයෙන් හෝ ලබා ගැනීමට සුදුසු ද යන්න මෙහිදි සලකා බැලෙන්නේ නැත. සරල වශයෙන් අත්පත් කර ගෙන ඇතිනම් එය ඔහුට හෝ ඇයට ලබා දිය යුතුය. සුදුසුකම වන්නේ අත්පත් කර ගැනීම ය. මෙය නිර්ණායකයක් වශයෙන් යොදා ගන්නේ නම් පරිසර රක්ෂණය සම්බන්ධයෙන් ඇති බොහෝ නීතිරීති අදාළවන්නේ නැත. ඒවායේ වැදගත්කමක් ද නැත. එම නීතිරීති ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය සේවකයන් පත් කිරීමේ අවශ්‍යතාවක් ද නැත. කළයුත්තේ ඉල්ලීම සහ සමහරවිට ජනාධිපතිගේ නියෝගය අනුව බලපත්‍ර ලබාදීම පමණි.


මෙවැනි ප්‍රතිපත්තියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන සෞභාග්‍යය සඳහා උචිත ක්‍රියා මාර්ගයක් වුවද සමස්තයක් වශයෙන් රටේ සෞභාග්‍ය සඳහා නොවන්නකි. මෙය පරිසරය සම්බන්ධයෙන් මෙන්ම වෙනත් කාරණා සම්බන්ධයෙන්ද වැදගත් ය. පසුගිය දා ගාල්ල දිස්ත්‍රික්කයේ ඈත කඳුකර ගමක් වූ ලංකාගමට පාරක් කැපීමේ දී තීරණාත්මක සාධකය වූයේ පාරක අවශ්‍යතාව පමණි. ලන්දේසි කාලයේ ජනාවාසයක් වූයේයැයි පුරාවෘත්තයක් ඇති මෙම ගමට පාරක අවශ්‍යතාවක් පැවති බව ද සත්‍යයකි. එහෙත් සිංහරාජ වනාන්තරයේ දකුණු පළාතට මායිම් වූ ප්‍රදේශයේ පිහිටි මෙම ගම සංවේදී පරිසර පද්ධතියක් තුළ පවතින බවද අමතක නොකළ යුතු කාරණයකි. ගමේ ජීවත්වන මිනිසුන්ට යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට නම් තවත් කැලෑ එළි පෙහෙළි කොට වගා කටයුතුවලට ඉඩ පහසුකම් ලබා දිය යුතුය. ඉන් සිදුවන්නේ වන ප්‍රදේශය තව තවත් කුඩා වීමකි. ගමනාගමන පහසුකම් නිසා සිංහරාජයේ දැව සංහාරයටද එය රැකුළකි.


සැබැවින්ම සෞභාග්‍ය පතන්නේ නම් සිංහරාජ වනාන්තරය තුළ පිහිටි ගමේ පහසුකම් මෙන්ම අනුරාධපුරයේ ඈත ගම්මානයක අනවසර ඉඩම් සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ නිලධාරීන්ට හිටිවනම නියෝග නිකුත් කිරීමෙන් නොව සමස්ත වැඩපිළිවෙළක් තුළය. වගා කටයුතු සඳහා සැලැස්මකින් තොරව ඉඩම් එළිපෙහෙළි කිරීමත් ජල සංරක්ෂණය සඳහා මහා ඇලවේලි ඉදි කිරීමත් පරිසර හානියට තුඩු දෙන බවට වාර්තා අපේ රටෙන් පමණක් නොව ලොව බොහෝ ප්‍රදේශවලින් ද අසන්නට ලැබෙන දෙයකි. පරිසරය ගැන නිසි අවධානයකින් තොරව ආර්ථිකය ගැන පමණක් මුල් තැනට ගෙන සැලසුම් කිරීම දේශගුණික වෙනස්වීම්වලට හේතු වන බවට ද පිළිගැනීමක් ඇත. වරින් වර පැමිණෙන ඉඩෝරයෙන් සහ ගංවතුරෙන් සිදුවන හානි ලංකාවේ ද අප ද අත්දැක ඇත්තෙමු. සීමාවකින් තොරව ගංගාවලින් වැලි ඉවත් කිරීමට අවසර දීමෙන් සිදුව ඇති පරිසර හානිය ද අපි අත්දැක ඇත්තෙමු.


සිංහරාජයේ ලංකාගමට පාරක් කැපීමේදීත් අනුරාධපුරයේ ඈත ගමක අත්පත් කරගත් රක්ෂිත ඉඩම් පැවරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේදීත් අනුගමනය කර ඇත්තේ එකම ප්‍රතිපත්තියකි. පවතින නීති රීති නොසලකා තම දේශපාලන සෞභාග්‍යයට ඉවහල් වන ආකාරයේ තීරණ ගැනීමය. ඇත්තෙන්ම රටම වසා ගෙන ඇති කොවිඞ් 19 වසංගත රෝගය සම්බන්ධයෙන් ද තීරණ ගන්නේ ඒ ආකාරයට ය.


මෙම වසංගතය මර්දනය කිරීම සඳහා පත් කළ කොමිටි සහ මණ්ඩල අමතක කර ජනතාවට බලපාන එක කරුණක් ගැන අවධානය යොමු කිරීම පොහොට්ටු ආණ්ඩුවේ තීරණ ගන්නා ආකාරය තේරුම් ගැනීමට ඉවහල් වේ. මෙම වසංගත රෝගය නිසා පළමුවෙන්ම මරණයක් වාර්තාවන විටම ඒවා මිහිදන් නොකර ආදාහනය කළ යුතුයැයි තීරණයක් ගෙන තිබිණ. මෙම තීරණය ගැනීමේ දී මළ සිරුරු ආදාහනය නොකොට මිහිදන් කිරීමේ ආගමික සම්ප්‍රදායක් තිබෙන බව සැලකිල්ලට ගෙන නැත. නැතිනම් එය නොසලකා තමන්ට ගැළපෙන තීරණයක් ගෙන ඇත. මෙය මළ සිරුරු ආදාහනය නොකරන ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමිකයන්ට බලපාන ආකාරය ඉඩම් නිදහස් කිරීමේ දී ඒ සම්බන්ධයෙන් ඇති නිති රීති නොසැලකූ ආකාරයටම අමතක කර දැමිණ. නැතිනම් එම ආගමික කොටස්වලට රිද්දවීමේ වුවමනාවෙන්ම මෙවැනි තීරණ ගෙන ඇතැයි සිතිය හැකිය.


වෛරසය පැතිර යෑම පිළිබඳව පවතින විද්‍යාත්මක තොරතුරු අනුව මළ සිරු ආදාහනය කිරීම අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නැත. එහෙත් කලින් ගත් තීරණය වෙනස් කිරීමේ වුවමනාවක් හෝ කැමැත්තක් නැති බවද දැකිය හැකිය. එය පැහැදිලි වන්නේ අදාහනය කිරීම අනිවාර්ය කිරීමේ තීරණය වෙනස් කිරීමට සූදානමක් පවතින බව ආරංචිවීමත් සමග බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයෙනි. උද්ඝෝෂකයන්ගේ තර්කය වූයේ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත් කිරීමට අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් වැඩ කළ නිසා ඔහු තම මතයට සවන් දිය යුතුය යන්නයි.


ඔවුන් තම ඉල්ලීම සාධාරණය කිරීමට උත්සාහ කෙළේ රටම වසංගත රෝග තත්ත්වයකට පත්වීම වැළැක්වීම සඳහා ආගමික මතිමතාන්තර නොසලකා මළ සිරුරු ආදාහනය කළ යුතුය යන්නයි. ජලයෙන් මෙම රෝගය පැතිරයෑමේ අවදානමක් නැති බවට ඇති විද්‍යාත්මක සාක්ෂි ඔවුන්ට වැදගත් නැත. ඇත්තෙන්ම වචනවලින් ප්‍රකාශ නොකළ නමුත් ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත තුළ පවතින්නේ මුස්ලිම් විරෝධයකි. ඉස්ලාමීය ආගමේ ඇති ඉගැන්වීම් අනුව ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු නියමිත කාල සීමාවක් ඇතුළත මුස්ලිම් පල්ලියක ඇති සුසාන භූමියක මිහිදන් කළ යුතුය. මෙම වතාවත් කැඩීමෙන් වෙනත් ආගමිකයෙකුට ඇති සැනසීමක් නොමැති වුවද ඉස්ලාම් භක්තිකයන් තුළ ඇති කරන වේදනාවෙන් සතුටක් ලැබීමට අදහස් කරනු විය හැකිය. ඒ හැර කොවිඞ් 19 වසංගතය පැතිර යෑම ගැන ඔවුන් උනන්දුවක් දක්වන්නේ නැත.


ඒ බව හොඳින් තහවුරු වන්නේ තවමත් අධිකරණයෙන් නිදොස් කොට නිදහස් නොකළ පුද්ගලයෙකු අරලියගහ මන්දිරය තම ලිපිනය ලෙස යොදා ගනිමින් යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතියට මෙම භික්ෂූන් වහන්සේලා විරෝධය නොදැක්වීමය. මළ සිරුරු ඉවත් කිරීම පිළිබඳව දක්වන උනන්දුව රෝගය බෝවීමේ අවස්ථා වැළැක්වීමට දක්වන්නේ නැත. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ රජයෙන් පත් කළ කොමිටියක සොයා ගැනීම අනුව කොවිඞ් වසංගතයේ දෙවන රැල්ල ආරම්භවීමට හේතු වූයේ ද නිරෝධායන නීතිරීති නොසලකා යුක්රේන් ජාතිකයෙකු වේයන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවට පැමිණිමය. වේයන්ගොඩ පොකුරටත් පෑලියගොඩ පොකුරටත් මුල් වූයේ එම ආසාධනයයි.


යුරෝපිය රටවල් අතුරින් පාලනයක් නැතිව කොවිඞ් 19 වසංගතය පැතිර යන රටක් වශයෙන් හැඳින්වෙන යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම දැඩි සෞඛ්‍ය උවදුරක් වුවද මෙම සංචාරකයන් ගෙන්වා ගැනීමට මුල් වූ පුද්ගලයාගේ ලිපිනය වන අරලියගහ මන්දිරය ඉදිරියේ උද්ඝෝෂණ නොපැවැත්වීමෙන් පැහැදිලි වන්නේ වසංගතය මුවාවෙන් වෙනත් දේශපාලන අරමුණු සපුරා ගැනීමේ උවමනාවයි. පැහැදිලිවම ඉස්ලාම් ආගමිකයන් පිළිබඳව ඇති විරෝධයයි. වසංගත රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ගවල දුර්වලතාවත් ඉන් මහජන සෞඛ්‍යයට වන හානියත් ගැන උනන්දු වන්නේ නම් වසංගත රෝගය පැතිරවීමේ අවදානමක් ඇති සියලු ක්‍රියාමාර්ගවලට විරුද්ධ විය යුතුය. විරෝධය ඇත්තේ මළ සිරුරු ඉවත් කිරීමේ ක්‍රමය ගැන පමණි.


ආණ්ඩුවේ ක්‍රියා මාර්ගය ද එවැනිම එකකි. මළ සිරුරු ආදාහනය කිරීම පිළිබඳව ගෙන ඇති තීරණය විද්‍යාත්මක සාධකවලට පටහැනි නිසා එය වෙනස් කොට ආදාහනයට හෝ මිහිදන් කිරීමට ඉඩ දිය යුතුයැයි මුස්ලිම් ප්‍රජාවගෙන් කෙරෙන ඉල්ලීමට රට තුළින් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංගමයේ විවිධ ආයතනවලින් ද සහාය පළවීම නිසා රජයට කිසියම් තිරණයක් ගැනීමට සිදුවිය. එම තීරණය අකමැත්තෙන් ගැනීමට සිදුවන නිසා අපහරණයෙන් මිදීමට කොමිටියක් පත් කෙරිණ. කොමිටියක් පත් කිරීමේ දී පවා ස්ථිර අදහසක් නොවූ නිසා කොමිටි දෙකක්ම පත් කිරීමට සිදුවිය. එකක් වසංගත රෝග ගැන සහ ඊට අදාළ වෙනත් ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ කොමිටියකි. දෙවැන්න වෝහාරික වෛද්‍ය විද්‍යාව සහ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගෙන් යුත් තාක්ෂණ කමිටුවකි.


එකම කරුණක් ගැන එකවරම කොමිටි දෙකක් පත් කිරීමෙන් රජය අදහස් කරන්නට ඇත්තේ එකිනෙකට පටහැනි වාර්තා දෙකක් ලැබුණහොත් ඒ වාර්තා දෙකම ඉවතට දමා කලින් ගත් තීරණය නොවෙනස්ව පවත්වා ගැනීම විය යුතුය. එහෙත් එම කමිටු දෙකින්ම කොවිඞ් 19 වසංගත රෝගයෙන් මිය යන අයගේ මළ සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීම සෞඛ්‍ය ගැටලුවක් ලෙස දැක්වූයේ නැත. මෙම රෝගය ජලය මගින් පැතිර යෑමේ අවදානවමක්ද ඔවුන් දක්වා නැත. ජලය මගින් පැතිර යන වසංගතයක් නම් මුකවාඩම් බැඳ ගැනීමේ අවශ්‍යතාව කුමක්දැයි විද්‍යාත්මක දැනුමක් නැති කෙනෙකුට පවා ඇසිය හැකි ප්‍රශ්නයකි.


මෙවැනි කරුණුවලින් පැහැදිලි වන්නේ සෞභාග්‍යයේ දැක්ම අවස්ථානුකූලව වෙනස්වන, දේශපාලන පැවැත්ම සහතික කිරීමට යොදා ගෙන ඇති ක්‍රියා මාර්ගයක් විනා ප්‍රතිපත්තියක් නොවන්නේය යන්නයි. එවැනි ක්‍රියා මාර්ගයකින් රටට හෝ ජාතියට සෞභාග්‍ය උදා නොවන බව බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබා දශක හතක කාලයක් තුළ ජනතාව ලබා ඇති අත්දැකීමයි. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here