පාස්කු ඉරුදින ප‍්‍රහාරය සිදුවී මාස දෙකකට වැඩි කලක් ගතවී ඇත. ආරක්ෂක අංශ විසින් සිදු කරන අත්අඩංගුවට ගැනීමේ වේගය අඩුවී ඇති අතර සිංහල බෞද්ධ සමාජය විසින් මුස්ලිම් සමාජය වෙත නියම කර ඇති දඬුවම් ගල් උහා තියන මට්ටම දක්වාම තීව‍්‍ර වී ඇත. සැබැවින්ම විසඳුම එයද? මේ විසඳුම මුස්ලිම් සමාජයට, විශේෂයෙන්, මුස්ලිම් සමාජයේ තරුණ පෙළට දැනෙන්නේ කෙසේද? මෙම කරුණ පිළිබඳව ආලෝකය දැල්විය හැකි ලිපියක් පසුගිය දිනක ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ වෙබ් අඩවියක් වන www.thecricketmonthly.com

පළවී තිබිණි. සිද්ධාර්ත් මොන්ගා විසින් ලියන ලද එම ලිපියෙන් අවධානය යොමුකර තිබුණේ වර්ණභේදවාදය අත්විඳි කළු ජාතික තරුණයෙකු දකුණු අප‍්‍රිකානු ජාතික ක‍්‍රිකට් කණ්ඩායම දක්වා පැමිණි ගමනයි. කළු ජාතිකයන් දකුණු අප‍්‍රිකාවේ මහ ජාතිය වුවත් වර්ණභේදවාදය නිසා සුළු ජාතික සැලකුම් ලද ජාතියකි. ”මහ ජාතික” සුද්දන්ගේ වර්ණභේදවාදී පීඩනය කළු ජාතික තරුණ මනසට දැනුණු අයුරු හා ක‍්‍රීඩාව තුළින් තරුණ මනසක ඇතිවූ පෙරළිය දැක්වෙන එම ලිපිය ඇසුරෙන් අප ඇතිකරගත යුතු ආකල්පමය වෙනස පිළිබඳව සාකච්ඡුා කිරීම වැදගත් යයි සිතමි.
ලිපියේ මාතෘකාව සිංහලට පෙරළුෑ විට මෙසේය.


”පන්දුව අතට ලැබුණහම මට ඕන උනේ කාවහරි මරන්න.”


මෙසේ කියන්නේ 2000-2001 වසරවල දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් කණ්ඩායමට වේග පන්දු යවන්නෙකු ලෙස ක‍්‍රීඩා කළ ෆුනෙකො එන්ගම්ය.


මේ ආවේගය ඔහුට ලැබුණේ කොහොමද? අපි ඔහුට සවන් දෙමු.


”කළු ජාතිකයෙක්, කළු තරුණයෙක් උනහම හරිම අමාරුයි. නිකං පාරෙ ඇවිදගෙන යන එකත් ලේසි නෑ. පාස් එකක් අරන් යන්න ඕනෑ. ඒ දවස් මට තාම මතකයි. පාරෙ ඇවිදගෙන ගියත් පොලිස්කාරයො පස්සෙන් එනවා, කිසිම හේතුවක් නැතිව අත්අඩංගුවට ගන්නවා.”


මෙලෙස එල්ලවන පීඩනයට දැක්වෙන ප‍්‍රතික‍්‍රියාව කෙසේ වී දැයි බලන්න.
”ළමයින් විනෝදයක් ලැබුවේ, කළු මිනිසුන් පොළොවේ අඩි හප්පමින්, සටන්පාඨ කියමින් පොලීසියට තර්ජනාත්මකව කරන විරෝධාකල්ප ගීත හා නැටුම් සම්ප‍්‍රදායක් වූ ”ටොයි-ටොයි” වලට සහභාගි වෙමිනි. ඔවුන්ට මිනිසුන් ලෙස නොසැලකූ යුගයක ටික වෙලාවකට හෝ යම් මානුෂික නිදහසක් දිනාගැනීම සඳහා එක්ව සිටීම අවශ්‍ය විය.”


”ළමයි හැටියට අපට ඒක විනෝදයට කාරණයක් විතරයි. වාහන හරවල යවන එක වගේ වැඩ බලා ඉඳීමෙන් සතුටක් ලැබුවා, උද්‍යෝගයක් ලැබුවා. මිනිස්සු ”ටොයි-ටොයි” කරද්දී අපිත් ගිහින් එකතු වුණා.”


ඉතාමත් අමානුෂික වූ වර්ණභේදවාදයට එරෙහි අරගලයට ක‍්‍රියාකාරීව සහභාගිවීම බලාපොරොත්තු වියයුතු දෙයක් නමුදු මෙහිදී වැදගත් වන්නේ ගැටවර වියට එළඹෙන අය ඊට එකතුවීමට පෙළඹුන කරුණයි. එනම් ඒ මොහොතේ ඇතිවන ත‍්‍රාසය තුළින් මතුවන විනෝදයට දක්වන ලැදියාවයි. ක්ෂණිකව ලැබෙන තෘප්තිය වෙනුවෙන් අනවබෝධයෙන් කරන අනුකරණයයි. අන්තවාදී ව්‍යාපාරයකට හෝ සමාජ විරෝධී ව්‍යාපාරයකට හෝ වුවද මෙම කරුණ පොදු වේ. දකුණු අප‍්‍රිකාවේ කළු ජනතාව පෙළුෑ දරිද්‍රතාව දෙස බැලීමේදී කළු ජාතික තරුණයන් එවැනි ඉරණමකට ගොදුරුවීමට තිබූ ඉඩකඩ බොහෝය. එහෙත් එන්ගම් නම් ක‍්‍රීඩකයාගේ ඉරණම ඊට වඩා වෙනස් මගකට යොමුවිය. එසේ වූයේ කෙසේද? අපි නැවතත් ඔහුගේ කතාවට සවන් දෙමු.


”මම හැදුණෙ තාත්තා අම්මට නොනිසි විදියට සලකපු පවුලක. සමහරවිට, මම උදේම නැගිටලා දුවන්න ගියේ, ජොගිං කරන්න ගියේ ඒ නිසා වෙන්න ඇති. ගෙදර තිබුණ පීඩනයෙන් මිදිල හිත හදාගන්න. මම වැඩුණේ තරහත් එක්කමයි. ඒත් අනිත් මිනිස්සුන්ට ඒක තේරුණේ නෑ. මට හිතෙන්නෙ මට පුළුවන් වුණා මගේ කෝපය ධනාත්මක දෙයකට යොමු කරන්න: වේගයෙන් පන්දු යැවීමට. පන්දුව මගෙ අතේ තිබුණු හැම වෙලාවෙම මට ඕන වුණේ කාවහරි මරන්න. මට ඕන වුණා හැකිතාක් වේගයෙන් පන්දු යවන්න. මම කෝපය පිටකරගත්තෙ එහෙමයි. මට දැනුණා තරහ නැතිවෙලා යනවා.”


”එන්ගම්ට පන්දු යැවීම පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ලැබීමත් සමග එය පිතිකරුවන්ට පන්දුව ප‍්‍රහාරාත්මකව එල්ල කිරීම දක්වා වෙනස් විය. එහෙත්, ඒ පිතිකරුවන්ට අනතුරක් කිරීමට නොව එමගින් ඔවුන්ගේ පාද චලනය වළක්වා ඉන්පසු දවා ගැනීමටය.”


ක‍්‍රිකට් පන්දුවෙන් මිනීමරන්නට සිතූ තරුණයෙක් උපායශීලී පන්දු යවන්නෙකු දක්වා වන ගමනක් පැමිණියේ එසේය. ක්‍රෝධයත් වෛරයත් සමග වැඩිහිටියකු බවට වැඩෙමින් සිටි යෞවනයකුට එම ආවේග මුදා හැරීමට සාධනීය අවකාශයක් ලැබීමෙන් වැඩදායක වූ තරුණයෙකු සමාජයට එක්විය. ක‍්‍රීඩාව යනු සාමූහික ක‍්‍රියාකාරකමකි. ජය පරාජය විඳීමට පමණක් නොව අනෙකාගේ මතයට ගරු කිරීමට මෙන්ම එක්ව ගන්නා තීරණ එකට ක‍්‍රියාත්මක කිරීමට ද එහිදී අවස්ථාව උදාවේ. මේ සියල්ල එන්ගම්ට හිමිවූයේ සුද්දන් රජ කරගෙන සිටි ක‍්‍රිකට් ක‍්‍රීඩාව නම් සමාජයේ ඉඩක් ඔහු වෙනුවෙන් වෙන්කෙරුණු නිසයි. එම ඉඩ නොලැබුණි නම් එන්ගම්ට හිමිවීමට තිබූ අනෙක් මාවත කුමක්ද? අපි ඔහුගේම වචනවලට සවන් දෙමු.


”මගේ දෙමව්පියන් සතුටු වුණා මම පුහුණුවීම් වලට යනව දැකල. මොකද, මම අපරාධවලට සම්බන්ධවෙලා ඒගොල්ලන්ට කරදරයක් වුණේ නැති හින්දා. ඉස්කෝලෙ ඉඳල ආපු ගමන් ගියේ පුහුණුවීම්වලට. මම ඉන්නෙ කොහෙද කියල ඒගොල්ල දැනගෙන හිටියා. කොහෙ හිටියත් මට ආරක්ෂාව තියනව කියලත් දැනගෙන හිටියා.”


දෙමව්පියන්ට තම දරුවන් ගැන වදවීමට සිදුවූ හේතුව පැහැදිලිය. සුදු පාලනයෙන් මර්දනයටත්, දරිද්‍රතාවටත් පත්වන කළු තරුණයෝ බොහෝවිට අපරාධවලට නැතිනම් අපරාධ කල්ලිවලට සම්බන්ධ වූහ. කොන්කිරීමටත්, පීඩනයටත් ලක්වන ජන කොටස් නතර වන තැන පැහැදිලි කරගැනීමට මෙම උදාහරණය පමණක් වුව ප‍්‍රමාණවත්ය. ඔවුන්ගේ ක්ෂේමභූමිය වන්නේ අන්තවාදී කණ්ඩායමක් හෝ අපරාධ කල්ලියකි.


අද අන්තවාදය යන වචනය ඇසෙනවිට අපගේ සිතට නැගෙන්නේ මුස්ලිම් ප‍්‍රජාව හා ඉස්ලාම් දහමයි. එහෙත් අප සමාජයේ සෑම ස්ථරයකම අන්තවාදයේ මූලයන් රැුඳී ඇති බව හඳුනාගෙන ඇත්තේ කීදෙනාද? විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව ප‍්‍රමුඛ උසස් අධ්‍යාපනයේ නියුතු තරුණ පෙළෙහි සිට මුහුණු පොතෙහි සංවිධානාත්මකව ”සිංහල බෞද්ධ” රට ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් සිටින පරපුර දක්වාම බොහෝදෙනා තම අරමුණු ඉටුකර ගැනීමෙහිලා අනුගමනය කරමින් සිටින්නේ අන්තවාදී උපක‍්‍රම බව ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වේ. දකුණු අප‍්‍රිකාව ද මෙවැනි මූලයන්ට සරු තෝතැන්නක්ව පැවතිණි. එහෙත් ෆුනෙකෝ එන්ගම්ට මෙවන් අන්තවාද වලින් මිදී සිටීමට ක‍්‍රීඩා පිටිය මග පෑදුවේ කෙසේද?


ක‍්‍රීඩා පිටිය එන්ගම්ට ලබාදුන්නේ අපරාධවලින් බේරීම හා ආරක්ෂාව පමණක් නොවේ. ඔහුට ඇතුළුවීමට ඉඩ විවර කරදුන් සමාජය තවත් බොහෝ දේ ඔහුට හිමිකර දුන්නේය.


”මම ගැලවුණේ ක‍්‍රිකට් නිසා. පුහුණු වෙන්න අවස්ථාවයි ආරක්ෂාවයි විතරක් නෙමෙයි ක‍්‍රීඩාංගණයේදී ලැබුණේ. මට හුඟක් පාඩම් ඉගෙන ගන්න ලැබුණා. විනය ගැන, හරි දේ, වැරදි දේ ගැන. ක‍්‍රීඩා සමාජයෙදි මාත් එක්ක ක‍්‍රීඩා කරපු වයසින් වැඩි අය පුහුණුවෙන් පස්සෙ ළඟට ඇවිල්ලා හරි මොකද්ද, වැරදි මොකද්ද, ඒ අය අද ඉන්න තැනට ආවෙ කොහොමද, මට කොහොමද එතැනට යන්න පුළුවන් කියල කතා කළා. මා වටා සිටියේ බුද්ධිමත් මිනිසුන්. මට ලැබුණු හොඳම දේ ඒකයි.”


ඔහුගේ මෙම වදන් අපට කියන්නේ කුමක්ද? ආදරය, කරුණාව, දයාව සමග පෙන්වන මගෙහි යාමට බොහෝ දෙනෙකු කැමති වන බවයි. එහෙත් අප වෙන් වෙන්ව අතුරු මාවත්වල සැරිසරමින් සිටිමු. එසේ සිටිමින් ක්‍රෝධයෙන්, වෛරයෙන් අපගේ සතුරන් යයි අප සිතා සිටින අයට පමණක් නොව අප හා එකඟ නොවන අයට ද දමා ගසමු. ශරියා නීතියට විරුද්ධ අය තම අදහස් වලට ප‍්‍රතිවිරුද්ධ අදහස් දරන අයට එරෙහිව ශරියා නීතියම භාවිත කරන්නට පසුබට නොවෙන බව පෙනීයන්නේ හදිසි නීතියට විරුද්ධව උසාවි ගිය ප‍්‍රකට ලේඛකයෙකු ද වන සමාජ ක‍්‍රියාකාරිකයෙකුට දුටුතැන ගල්ගසන්නට ආරාධනා කරන ලියවිල්ලක් මුහුණුපොතෙහි හුවමාරු වනු දක්නට ලැබෙන විටය.


එන්ගම්ගේ ගමන අවසන් වුණේ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට එක්වීමෙනි. ඔහුගේ ආගමනය රටට දැනුණු අයුරු විශ්මයජනකය. ප‍්‍රථම තරගයේදී ජනපති නෙල්සන් මැන්ඩෙලාගෙන් සුබපැතුම් ලැබිණි. ”කළු අකුණු පහර” ( Black Thunder) නැතිනම් ”චුයින්ගම්” ( ChewNgam ) ලෙස අන්වර්ථ නම් වලින් හඳුන්වන්නට තරම් ඔහුට රටේ ආදරය ලැබිණි. එහෙත් ඔහුගේ ක‍්‍රීඩා දිවිය බෙහෙවින් කෙටි විය. දිග කතාවක් කෙටිකළ විට කියන්නට සිදුවන්නේ පුහුණුව හා ක‍්‍රීඩාවේදී සිදුවන ආබාධ කළමනාකරණය කරගන්නට උපදෙස් දීමට තරම් සුදුස්සෙකු ඔහු සමීපයේ නොසිටි නිසාම ඇතිවූ ශාරීරික ආබාධ නිසා ඔහුගේ ක‍්‍රීඩාවට නැවතුම් තිත තබන්නට සිදුවූ බවය. එහෙත් ඔහුගේ පෞරුෂය හැඩ ගස්වන්නට උදව් කළවුන්ගෙන් ලැබුණු ශක්තිය නිසාම ඔහුගේ ක‍්‍රීඩා දිවිය නවතන්නට තරම් එය ශක්තිමත් නොවීය. මෙතැනින් ඔබ්බට ඔහුගේ ක‍්‍රීඩා ජීවිතය ගමන් කළේ කුමන මාවතකද?


”ඉක්මනින්ම එන්ගම් බලාපොරොත්තු කඩවීමට මුහුණ දෙන්නට හුරුවිය. උපරිම වේගයෙන් පන්දු යැවීමට නොහැකි වන්නේ නම් ඔහුට පුළුවන් ඔහු යොවුන් වියේදී විසඳාගැනීමට නොදැන සිටි ගැටලූවලට මුහුණදීමට අනෙක් කළු දරුවන්ට උදව් කරන්නට,”


”ඔහු දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනය, බෝඩර් ක‍්‍රිකට් හා ෆෝට් හාරෙ විශ්වවිද්‍යාලය යන ආයතන සමග එක්ව ෆෝට් හාරෙ ඇකඩමිය පවත්වාගෙන ගියේය. වැදගත්ම දෙය වන්නේ, ක‍්‍රිකට් තුළින් ඉදිරියට යාමට නොහැකි දරුවන්ට ද ජීවිතය ගොඩනගා ගත හැකි ආකාරයේ පුහුණුවක් මෙයින් ලබාදීමයි.” ”එක ළමයෙකුට පමණක් නෙමෙයි, හැකිතාක් ළමයි ප‍්‍රමාණයකට. මට පුළුවන් තරම් ජීවිත ප‍්‍රමාණයක් බේරා ගැනීමට. ඒකයි මම කරන දෙයට මම මේ තරම් ආදරය කරන්නෙ.” එන්ගම් කියයි. ”ඔහු සිතන්නේ ක‍්‍රීඩා කරනවාට වඩා වැඩි දෙයක් ඉටුකිරීමට ඔහුගේ දෛවය ඔහුට ඉඩදී ඇති බවයි.”


වර්ණභේදවාදය පැවති දකුණු අප‍්‍රිකාවේ පවා දක්ෂතා දක්වන කළු ක‍්‍රීඩකයෙකු හඳුනාගත් විට ඔහුට සුදු ජාතිකයන් සඳහා වෙන්වූ ”මොඞ්ල් ක්‍” පාසලක ඉඩක් ලබාදෙන්නට පියවර ගැනිණි. ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ අනිවාර්යයෙන්ම කළු ක‍්‍රීඩකයන් දෙදෙනෙකු සිටිය යුතුය. ශතවර්ෂ ගණනාවක් පුරා එකිනෙකාට වෛර කරමින් රුධිරය හැලූ ජාතීන් දෙකක් එක් කරන්නේ එසේය.


මෙහිදී සමාජ විද්‍යාඥයන් විසින් පුද්ගලයින් අන්තවාදය කරා තල්ලූ කිරීමට හේතුවෙතැ’යි දක්වා ඇති අදහස් කිහිපයක් වෙත අවධානය යොමු කිරීමෙන් එන්ගම්ගේ ගමන්මග මෙන්ම අප ගතයුතු මග ද තේරුම් ගැනීම අපහසු නොවේ.


x සමාජයේ අතරමං වූ නැතිනම් මුල් ඇද නොගත් හැඟීම
x චර්යාමය ගැටලූ
x පවුල් සංස්ථාවෙහි ඇතිවන ගැටලූ
x ආත්ම අභිමානය අහිමිවීම
x අපරාධවලට ඇති සබඳතා සහ කල්ලි හෝ කණ්ඩායම් වලට සම්බන්ධ වීම


එවන් කරුණු අතර ප‍්‍රධාන වේ. මෙම කරුණුවලින් එකකට හෝ කිහිපයකට මුහුණ දී ඇති පුද්ගලයෙකුට ඇතිවන අසාධාරණය පිළිබඳ හැඟීමට ආමන්ත‍්‍රණය කෙරෙන අන්තවාදී දෘෂ්ටියක් සම්මුඛ වූ විට ඔහු එම මතවාදයට ආශක්ත වීම අන්තවාදී මතවලට සමාජයෙහි ඉඩක් හිමිවීමට බලපාන ප‍්‍රධාන කරුණක් ලෙස ඔවුහු පෙන්වා දෙති. මෙම කරුණුම ”සිංහල බෞද්ධ” සමාජයෙහි තරුණ මනසට අදාළව සාකච්ඡුා කළහැකි නම් එය අපගේ දෑස් විවර කරන ව්‍යායාමයක් වන්නට පුළුවන. එහෙත් එය වෙනම ලිපියකින් කළයුත්තකි.


ෆුනෙකො එන්ගම්ගේ ජීවිතය දෙස හැරී බැලීමේදී ඉහත දැක්වූ කරුණුවලින් අවම වශයෙන් කරුණු දෙකකටවත් ඔහු මුහුණ දී ඇති බව පැහැදිලි විය යුතුය. එහෙත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඔහුට සමාජය තුළ සාධනීය ලෙස මුල් ඇදගැනීමට ඉඩ සලසා දුන්නේය. එම මුල් කෙතරම් ගැඹුරට විහිද ගියේද යන්න අනපේක්ෂිත ලෙස සිය ක‍්‍රීඩා දිවිය බිඳී ගිය පසු තමාට මෙන්ම මගපෙන්වීමක් අවශ්‍ය වූ කළු දරුවන්ට උදව් කිරීමට යොමුවීමෙන් පෙනේ. පවුල් සංස්ථාවේ ඝට්ටන වලින් සහ කළු, සුදු භේදයෙන් පීඩිත වූ මනසට ක‍්‍රීඩාවෙන් ලබාදුන් අර්ථවත් බව ඔහුගේ ජීවිතයට දයාන්විත හැඟීම් දායාද කළ බව පෙනේ. අප රටට ද අනාගතයක් හිමිවන්නේ එකිනෙකාට ගරු කරමින්, ඉඩදෙමින්, අවිශ්වාසය දුරු කරමින් යන ගමනකින් මිස එකිනෙකාගෙන් ඈත්ව යන ගමනකින් නොවේ. අප රටේ ද ෆුනෙකෝ එන්ගම්ලා බිහිකරගත හැක්කේ එසේය.


සිද්ධාර්ත් මොන්ගා විසින් ” When I had the ball in my hand, I wanted to kill someone” මාතෘකාව යටතේ ලියන ලද සම්පූර්ණ ලිපිය www.thecricketmonthly.com වෙබ් අඩවියට පිවිසීමෙන් කියවිය හැකිය.