සුනන්ද දේශප්‍රිය


පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ රඟපෑමේ චරිතය දේශපාලන චරිතය ඉක්මවා යන බව දැන් ප්‍රදර්ශනය වන ‘රංජන් පටි’ නාටකයෙන් පෙනේ. ප්‍රභාකරන් කී පරිදි දෙතුන් සතියකින් මේ පටි නාටකය අවසන් වී යන්නට බොහෝ ඉඩ තිබේ. කෙසේ වෙතත් ‘රංජන් පටි’ නාටකය ඉදිරිපත් කිරීම ගැන අප ඔහුට ස්තුතිවන්ත විය යුතු ය. ඒ මන්දයත් අප හැම දැන සිටි දෙයක් ඔහු විසින් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන නිසා ය. එනම් මෙරට දේශපාලන පන්තිය සතු අසීමිත බලය යි.


පාලක දේශපාලනඥයින් තමන්ට අවනත, දූෂිත සහ ජාවාරම්කාර පොලිස් නිලධාරීන් සිය දේශපාලන බල ප්‍රදේශයන්ට ලබා ගැනීම 2015 වනතුරුම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණි. එය යම් තරමකට හෝ නතර වූයේ 19 වන සංශෝධනය මගින් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා නිසා ය. දැන් ‘රංජන් පටි’ නාටකය කරේ තියාගෙන දුවන රාජපක්ෂවරුන් තමන් 19 වන සංශෝධනය අහෝසි කරන බව කියන්නේ පොලිස් සේවය ස්වාධීන කිරීමට ද?
19 වන සංශෝධනය තිබියදීත් නීතිය නැමීමට තමන් දන්නා බව කීවේ හිටපු පොලිස්පති ය. කෝටි ගණනින් වංචා කළ බවට චෝදනා ලත් ඇවන්ගාඞ් වෙනුවෙන් පෙනී සිටියේ එජාප නීති උපදේශකයකු සහ ඇමතිවරයකු වූ තිලක් මාරපන ය. එහි හිමිකරුවන් රැකගැනීමට දරදිය ඇද්දේ ප්‍රබල රනිල්වාදියකු වන වජිර අබේවර්ධන ය. බැඳුම්කර දූෂිතයින්ගෙන් සුඛෝපභෝගී නිවාස ලබා ගත්තේ එජාප උප සභාපතිවරයකු වූ රවි කරුණානායක ය. ඩීල් දේශපාලනය පිණිස රාජපක්ෂවරුන්ට එරෙහි වංචා දූෂණ නඩු පමා කළේ එජාප නායක රනිල් වික්‍රමසිංහ ය. රාජපක්ෂවරුන් රැකගැනීම පිණිස පොලීසියට දුරකථන ඇමැතුම් දී අතට ම හසුවූයේ පොලීසිය බාරව සිටි සාගල රත්නායක ය.


ඉදින් ‘රංජන් පටි’ අරුමයක් ද?


හිටපු අගවිනිසුරන් දෙදෙනෙකු වන සරත් සිල්වා සහ මොහාන් පීරිස් අධිකරණයට රාජපක්ෂවාදී දේශපාලනය ගෙන ආ බව නොදන්නේ කව්ද? අනීතිකව ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇමෙරිකානු අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ තවත් හිටපු අගවිනිසුරුවරයෙක් වූ අසෝක ද සිල්වා ය. තමා වැඩ අවසන්ව ගෙදර යමින් සිටියදී එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ තමාට එන්නැයි කියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියක් දුන් බව කීවේත් රාජපක්ෂගේ හිතවතියකු වූ ඊවා වනසුන්දර ය. තමා දිගටම අගවිනිසුරු පදවියේ තබා ගත්නේ නම් අවශ්‍ය පරිදි නඩු තීන්දු දෙන්නම් යැයි පසුගිය ආණ්ඩුවට කීවේත් අගවිනිසුරුවරයෙකි. ගෝඨාභයගේ නඩු ඇසීමට බැහැයි කියා විනිසුරන් කී දෙනෙක් නඩු මඟ හැරියේ ද? විමල් වීරවංශගේ දුරකථනය හරහා උසස් පොලිස් නිලධාරියකුට සිය රාජකාරිය හැර දමා පැත්තකට වන්නැයි කීවේ ගෝඨාභය රාජපක්ෂ ය. හිටපු පොලිස්පතිවරු කී දෙනෙක් රාජපක්ෂවරුන්ගේ සාටකයට ගැටගැසී සිටින්නේ ද?
එනයින් ‘රංජන් පටි’ නාටකය වනාහී අහවල් අලුත් එකක් නොව අලුතෙන් ඩබ් කරන ලද පරණ නාටකයකි.
ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය පරිදි විනිසුරන් පත්කිරීමට ඉඩ ලබා ගැනීම පිණිස ව්‍යවස්ථා සංශෝධනයක් දැනටම ඉදිරිපත්ව ඇති බව ‘රංජන් පටි’ නාටකය නිසා උමතුවී උඩ පනින රාජපක්ෂවාදීන්ට මේ ටිකට අමතක වී තිබේ. රාජපක්ෂවරුන්ගේ සැලැස්ම තමන්ට අවශ්‍ය පරිදි අධිකරණයක්, පොලීසියත් පත්කර ගැනීම බව එම සංශෝධනය කියවා බලන ඕනෑම දේශපාලන ළදරුවකුට පවා තේරුම් යයි.


වැළිකඩ සමූහ ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වන හිටපු බන්ධනාගාර නිලධාරී එමිල් රංජන් ළමාහේවාගේ සහෝදරයකු වන සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා එම නඩුව බාරව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පෙරේදා පත් කරන ලද්දේ රාජපක්ෂ ආණ්ඩුව යි. එමිල් රංජන්ට විරුද්ධ සියලු පරිවේශනීය සාක්ෂි තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ය. දැන් ඔහුගේ සහෝදරයා එහි ප්‍රධානියෙකි! එහි දෙවන සැකකරු වන පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටවූයේ ද මේ ආණ්ඩුව ය. ‘රංජන් පටි’ බලමින් ගහන විසිල් පහරවල් මෙවැනි අනිසි පත්කිරීම්වලට වදින්නේ නැත්ද?


සිරිසේන සිය කැමැත්ත පරිදි අධිකරණ තීරණ කුණු කූඩයට දමා සල්ලිකාර මිනීමරුවකු නිදහස් කළේ ය. අනතුරුව ඔහුට රටින් පලා යාමට ඉඩ සලසා දුන්නේ ය. දැන් ලැහැස්තිය තවත් ධන කුවේරයකු වන දුමින්ද සිල්වාට ජනාධිපති නිදහස ලබා ගැනීමට ය. ‘රංජන් පටි’ කිසිවකින් දුමින්ද සිල්වා නඩුවට කරන ලද බලපෑමක් තවම හෙළි වී නැති නමුත් දුමින්ද වීරයකු කිරීමේ සමූහ ගායනා දැන් ඇරඹී තිබේ. ගෝඨාභය දුමින්දගේ දුක සැප සොයා බැලූ සමීපවන්තයෙකි. දැන් සැප ළඟ ළඟ ය.


දුමින්ද සිල්වා සම්බන්ධ ‘රංජන් පටි’ ජනමාධ්‍ය වෙත ලබාදෙන බලධාරීන් එම පට අතර තිබිය හැකි වසීම් තාජුඩීන් විභාගය ගැන කියැවෙන හඬ පටි හෙළිදරව් නොකිරීමෙන්ම පෙනී යන්නේ නාටකය සංස්කරණය කරන ලද එකක් බවයි. අරලියගහ මන්දිරයේ සිට නාරාහේන්පිට පොලීසියට දුරකථන ඇමතුම් දුන් බව කියැවෙන හඬ පටි ඒ අතර වේද? අන්තිමේදී ‘රංජන් පටි’ පාරා වළල්ලක්වීමටත් ඉඩ තිබේ.


ජූඞ් ශ්‍රමන්ත සිය පෙම්වතියගේ හිස, ඇය මියයන තුරුම තරප්පු පෙළක ඇන්නේ ය. නමුත් සිරිසේනගේ වචනයෙන් ම කියන්නේ නම් වරදක් කළද අනාගතයක් හිමි තරුණයකු ලෙස ඔහුට සමාව දිය යුතු විය. එසේ නමුත් තමාවත් නොදන්නා වරදකට සිරගත කරන ලදුව විසිහය වසරක් සිරගෙදර ම ගත කළ සෙල්ලපිල්ලෙයි මනෝහරන් පසුගියදා සිරගෙදර තුළම මිය ගියේ ය. වසර 14හි දී කළැයි කී වරදකට 17 වන වියෙහි දී අත් අඩංගුවට පත් ඔහු මියගියේ 49වන වියෙහි දී ය. සංවේදී යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බැවින් නීතිය බූරුවෙකි යැයි කියනු ලැබේ. නීතිය විටෙක බූරුවෙකුටත් අන්ත ය. ‘රංජන් පටි’ පෙන්වන එක් ඇත්තක් නම් එය යි.


රටක නීතියේ පාලනය පවත්වා ගත හැක්කේ තනි මිනිසකු වෙත බලය පැවරීමෙන් නොව ශක්තිමත් තුලන සංවරණ පිහිටුවීමෙනි. රාජපක්ෂවරුන්ට වහකදුරු වී ඇති 19 වන සංශෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා මගින් යම් දුරකට හෝ ඇති කරන ලද්දේ එවැනි පද්ධතියකි. විධායක ජනාධිපතිවරයකුට/ගෝඨාභය රාජපක්ෂට අගවිනිසුරු ඇතුළු විනිසුරන්, නීතිපති, විගණාකාධිපති, පොලිස්පති, මැතිවරණ කොමසාරිස් යනාදීන් පත් කිරීමට බලය දුන් විට ‘රංජන් පටි’ නාටකය බලු නොවටිනා තැනට පත්වනවා ඇත. රටේම පටි ගැලවෙනවා ඇත්තේ එවිට ය.


රාජපක්ෂවරුන් විසින් පෙන්වමින් සිටින ‘රංජන් පටි’ නාටකය, නාග ලෝකයෙන් කැලණි ගඟ හරහා ධාතු පහළවීම හා සමාන මාධ්‍ය සංදර්ශනයකි. මේ සංදර්ශනය අවසානයේ ඇසෙනු ඇත්තේ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර ගෝඨාභය රාජපක්ෂට සියලු බලය පැවරිය යුතු ය යන කුණාටුවෙහි ගොර බිරම් හඬ ය.
අවසාන වශයෙන් මේ ටිකත් කිව යුතු ය.


රංජන් කුමන හේතුවක් නිසා හෝ තමාගේ සියලු දුරකථන සංවාද පටිගත කරගත්තේ දැයි අපි නොදනිමු. කොතෙක්දයත් සුදු ළමයි ද කළු ළමයි ද අසන කතා පවා පටිගත කරගෙන තිබේ. නමුත් එකක් පැහැදිලි ය. ඔහුට මෙම හඬ පට රහසේ සඟවා තබා ගැනීමට අවශ්‍යතාවක් තිබී නැත. නැත්නම් ඒ ගැන කිසිම අවබෝධයක් තිබී නැත. ඔහු මේ සියල්ල සලකා ඇත්තේ සෙල්ලමක් ලෙස ය. දුරකතන සංවාද අනෙක් පාර්ශ්වයට නොදන්වා පටිගත කිරීමත් ඒවා නම් කර සීඩී තැටිවල ගබඩා කිරීමත් එකම අවිචාරවත් කාසියක දෙපැත්තකි.


නූතන ලෝකයෙහි මෙවැනි ඩිජීටල් හඬ පට කිසිවකුට සොයාගත නොහැකි වන සේ සඟවා අන්තර් ජාලයෙහි තැන්පත් කිරීම සඳහා කෙනෙකු රොකට් විද්‍යාවෙහි ප්‍රවීණයකු විය යුතු නැත. රාමනායක මෙන් හඬ පට සීඩී තැටිවල ගබඩා කර තබාගත් යුගය දැන් ඇත්තේ දශක ගණනාවකට පසුපසිනි. අද බොහෝ ලැප්ටොප් පරිගණකයන්හි සීඩී තැටි කියවනයන් පවා නැත. රාමනායක සිය හඬ පටි තැන්පත් කර තිබූ සීඩී තැටියක සාමාන්‍යයෙන් තැන්පත් කළහැක්කේ මෙගා බයිට් 700ක් පමණය. එසේ නමුත් අද වෙළෙඳපොළෙහි පවත්නා මාපට ඇඟිල්ලටත් වඩා කුඩා ටෙරා බයිට් දෙකක යුඑස්බී/ෆ්ලෑශ් ඩ්‍රයිව් එකක මෙගා බයිට් තිස් ලක්ෂයක් ගබඩා කළ හැකි ය. එසේත් නැත්නම් ටෙරා බයිට් දෙකක අන්තර් ජාල ඩ්‍රොප් බොක්ස් අවකාශයක් ලෙහෙසියෙන්ම මිලට ගත හැකි ය.


රංජන් රාමනායකට අප ස්තුතිවන්ත විය යුත්තේ තමන්ද හෙළිදරව් වෙමින් පොලීසිය සහ අධිකරණය වැනි රාජ්‍ය ආයතනයන්හි සැබෑ තතු පෙන්වා දීම නිසා පමණක් ම නොවේ. මර්දනය ප්‍රධාන ආණ්ඩුක්‍රම යාන්ත්‍රණය බවට පත් කර ගැනීම අරමුණ කරගත් රාජපක්ෂ පාලනය හමුවෙහි ගත යුතු ඩිජිටල් ආරක්ෂණ පියවර සම්බන්ධයෙන් සාකච්ජාවකට ද එමගින් ඉඩ සලසන නිසා ය.


‘රංජන් පටි’ සිදුවීම අපට තවත් පණිවිඩයක් ගෙන එයි. එනම් අප සතු ඕනෑම පරිගණකයක්, ජංගම දුරකථනයක්, දත්ත ගබඩා කරන උපාංගයක් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමටත්, ඒවා ජඩ මාධ්‍ය වෙත මුදා හැරීමටත් පොලීසියට බලය දී ඇති බවයි. මේ වනාහී පුද්ගලික නිදහසට එල්ල විය හැකි මරු පහරකි.


අප එළඹෙමින් සිටින්නේ අකුරු පමණක් නොව අකුරු අතර ලියැවී ඇති අදෘශ්‍යමාන පණිවිඩ ද කියැවීම අවශ්‍ය කරන අවධියකට ය. පුද්ගලික නිදහසට විරුද්ධව ජාතික ආරක්ෂාව යන තර්කයේ දිසානතිය ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය දෙසට නොවේ. ආඥාදායකත්වය කරා ය.


සහෝදර සහෝදරයිනි, ප්‍රවේසමෙන්!