විමලනාත් වීරරත්න

ලංකාවේ පාලක පන්තිය සහ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම යන දෙකම එක සමානය. ක්‍රිකට් කණ්ඩායමේ තිදෙනෙක් එක දිගට තරග පරාජයට පත්වූ පසුවත්, ඔවුන් සිටි ජෛව බුබුලෙන් පිට පැන රාත්‍රියේ එංගලන්තයේ වීදියක සංචාරයක නියැලුණහ. කොල්ලන් පොඩි වින්දනයක් ලැබීමට ගිය ගමනක් ලෙස එය නොසැලකිය හැක්කේ වසංගතයක් පැතිර ගිය රටක සිට තවත් රටකට ගොස් මුහුණු ආවරණ ද නොමැතිව මුළුමනින්ම වගකීම් විරහිතව හැසිරුණු නිසාය. රටක් නියෝජනය නොකළත් සාමාන්‍ය වැසියකු වුව තමන් ලොකු මානසික පීඩනයක සිටියදී එය අමතක කර ලෙහෙසියෙන් විනෝදකාමී හැසිරීමක් ප්‍රදර්ශනය කරන්නේ නැත. ක්‍රිකට් ක්‍රීඩකයන් එක දිගටම පරාජයවෙමින් එම තත්ත්වය වෙනස් කර ගැනීමට සාධනීය උත්සාහයක් නොදරා හුදු වින්දනය පිණිස ක්‍රිඩාව හා රට පාවා දී තිබීම හෙළා දැකිය යුතු ජුගුප්සාජනක තත්ත්වයකි. ඔවුන් රටේ දේශපාලකයන් හා සම වන බව කීමට සිදුවන්නේ දේශපාලකයන්ද මේ කැත ආදර්ශය රටට දී තිබෙන නිසාය. රටේ ජනයා බඩගින්නේ සිටියත්, පොහොර නොමැතිව කුඹුරු වල් වැදුණත්, කොවිඩ් නිසා මළත්, අධ්‍යාපනය නන්නත්තාර වුවත් දේශපාලකයන්ට ප්‍රශ්නයක් නැත. ඔවුහු සිය විනෝදජනක ජීවිත ගෙවති. වසංගතයෙන් මහජනයා මියයද්දී කෝටි ගණන් වාහන ගෙන්වීමට වැය කරති. මහජන බදු මුදලින් උපරිම සැප විඳිති. ක්‍රිකට් ක්‍රීඩකයන් හිතන විදියත් මේ වනවිට දේශපාලකයන් හිතන විදියම බවට පත්ව තිබේ. මේ හැසිරීමට නැව ගිලුණත් බෑන් චූන් වැනි උපහැරණ නොගැළපේ. ගිලෙන නැව තුළ බෑන්ඩ් චූන් වැයුවේ මරණයේ ආතතිය යම් පමණකට හෝ දුරු කරනු පිණිසය. ඇතැම්හු ඒ නිසා ආතතියෙන් තොරව මරණයට මුහුණ දුන්හ. ලංකාවේ ඇත්තේ මැරෙන එකාගේත් අන්තිම හුස්ම පොද ස්වාභාවිකව යාමට ඉඩ නොදී පැහැර ගන්නා බෑන්ඩ් චූන් ගැහිල්ලකි.


ජනපතිගේ ජාතිය ඇමතීම


ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමට හතර අතින් විවේචන එල්ල වෙයි. ඇතැම්හු එම වැඩසටහනේ තාක්ෂණික දෝෂ ඇති බව කියති. ජනාධිපති ඔළුවෙන් හිටගෙන ජාතිය ඇමතුවත් අපට කම් නැත. වැදගත් වන්නේ ඔහු කියන දේ හෙවත් ඇමතුමේ අන්තර්ගතයයි. ජනාධිපති කළේ යන්නේ කොහෙද මල්ලේ පොල් යන කතාවටත් වඩා භයානක කතාවකි. යන්නේ කොහෙද ඇසූ විට මල්ලෙ පොල් කියා උත්තර දුන් මිනිසා ලූස්කාරයකු කියා බැහැර කළ හැකිය. ජනාධිපතිවරයෙක් ඒ වැඩේ කරන විට බැහැර කළ නොහැකිය. ඔහු රටේ නායකයාය. අමතන්නේ රටවැසියාය. දැන් ලංකාවේ ඉන්නේ කා බී නටා ගයා රමණය කර ජොලියේ සිටින ජනතාවක් නොවේ. කන්න නැති බොන්න කොහොමත් අමාරු ආදායම් මාර්ග ඇහිරුණු ජනතාවකි. වගා කිරීමට පොහොර නැති ගොවි ජනතාවකි. පාරිභෝගික ද්‍රව්‍ය ගිනි ගණන් නිසා තුන් වේල ලෙව කන ජනතාවකි. රටට අයත් මුහුදු කලාපයේ නැව් ගිනි ගනී. ඒ නිසා මුහුදු පරිසරය විනාශ වී ධීවර කර්මාන්තය ඇණහිට තිබේ. මුහුදු ජීවීන් එක දිගට මිය යයි. නැව් ගිනි ගැනීමෙන් වන්දි ලැබේද නැද්ද යන්න පැහැදිලි නැත. වන්දිය ඔළුවේ තබාගෙන ඛේදවාචක සාදරයෙන් භාර ගන්නවාදැයි සැක කළ හැකි තත්ත්වයක්ද උද්ගතව ඇත. රටේ තැනින් තැන කැලෑ විනාශය සිදුවෙයි. මිනීමරුවන් නිසි කරුණු විමසීමකින් තොරව නිදහස් කෙරෙති. රටෙහි නීති දෙකක් ක්‍රියාත්මක වන බවක් දක්නට ලැබෙයි. විරෝධය දක්වන්නන් රහසිගතව අත්අඩංගුවට පත්වෙයි. වෙන කවරදාටත් වඩා හා වෙනත් කිසිදු ආණ්ඩුවකටත් වඩා වත්මන් රජයට ජනතාව සාප කරනු දක්නට ලැබේ. එම විරෝධය සජබයේ හා ජාජබයේ වැඩ බවට ආණ්ඩුවේ සමහරු කෙඳිරි ගාති. සජබයට හා ජාජබයට එපමණ සවියක් නැති බවද දන්නෝ දනිති. කොවිඩ් මර්දනයට නිසි වෙලාවේ පිළියම් නොයෙදීම නිසා ජනතාව මාරාන්තික අනතුරකට මුහුණ පා සිටිති. ඉන්ධන මිල දරාගත නොහැකි අන්දමින් ඉහළ දැමීම නිසා ඉඳිකටුවේ සිට මිල ඉහළයමින් තිබේ. ජනතාවට පාන් කියා ගැනීමටවත් අමාරු වෙලාවක ජනාධිපතිවරයා හැසිරෙන්නේ කුසල් මෙන්ඩිස් පරිද්දෙනි. කුසල් තමන්ගේ නම ඉදිරියෙන් බිංදු වැක්කෙරෙද්දීත් වගේ වගක් නැතුව තමන්ගේම ලෝකයක සැරිසරන ක්‍රිකටර් කෙනෙකි. ඔහු ඒ විදියට ජීවත් වුවත්, ඉහත මහජන ප්‍රශ්න මගහැර එන්නත් ලක්ෂ 30කට ලබාදීම, ඇළ මාර්ග හෑරීම. හයිවේ ඉදිකිරීම, එළඹෙන මාස් කන්නයේ කාබනික පොහොරින් කෘෂිකර්මය කර රට ස්වයංපෝෂිත කිරීම, දරුවන් ඔන්ලයින් අධ්‍යාපනයෙන් පරිපූර්ණ කිරීම වැනි කරුණුවලින් සමන්විත ව්‍යාජ ජාතිය ඇමතීමක් සිදුකර ජනපති වගකීම් විරහිත වීම පිළිගත නොහැකිය. ඒ අනුව ජනාධිපතිවරයා විනාඩි 69ක් ජාතිය අමතා කරගෙන ඇත්තේ අකුසලයකි.


එම කතාව වෙනත් අන්තේවාසික උගතකු ලියා දුන්නත් පොළොවේ පය ගසාගෙන ජීවත් වන වයස අවුරුදු 73ක පරිණත වෘත්තික මිනිසකු වන ජනාධිපතිවරයාට මේ යකා (උගතා) තමන්ට ජාතිය ඇමතීමට මොනවා ලියා දී ඇත්දැයි යන්න ඉවසීමෙන් විමසා බැලීමට තිබුණි. මන්ද ලියනප්පුලා මොනවා ලිව්වත්, එහි වගකීම යන්නේ ජනපති වන තමාට බව ඔහු කල්පනා කළ යුතුව තිබුණි. ලියන අය ලියන්නේ වැටුපටය. ගෝඨාභය මහතා ජනාධිපති ධුරයට පත්වූයේ වරප්‍රසාදවලට යැයි අපි නොකියමු. එහෙත් ඔහු කුසල් මෙන් ජීවත් වන්නට ගියහොත් ඒ ටික ද අකමැත්තෙන් වුව කීමට සිදුවෙයි. ජනපතිවරයා අවුල දැක දැක එය නොදැක්කා සේ යාම ඔහුත් නින්දාවට පත්ව රටත් ජනතාවත් අමාරුවේ වැටෙන වැඩකි. එනිසා ඔහුට පවතින ආරාවුල අවංකව පැහැදිලි කිරීමට තිබුණි. ඉන් අවාසියක් නොවේ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, එන්නත් මිලට ගැනීම ආණ්ඩුවට මුදල් හිඟ පාඩු ඇති බවත් ජනතාව පරිස්සම් නොවුණහොත් ලොකු විනාශයක් සිදුවිය හැකි බවත් කීවේය. ඇත්ත කීම ගැන ඉන් ඇයට පැසසුම් ලැබිණි. ගම්මන්පිල කීවේ තොග මිලදී ගැනීමට තබා දෛනිකව තෙල් ටික මිලට ගන්නේත් අසීරුවෙන් බවය. එය කලබලකාරී අවස්ථාවක ඔහුට සිදුවූ කට වැරදීමක් බවද දක්නට ලැබුණි. කෙසේ වෙතත් ඇත්ත කිවහොත් ඕනෑම අවස්ථාවක යම් සමාවක් ලද හැකිය. නැතහොත් ආපසු හැරී ගමන නිවැරදි කර ගැනීමට හෝ පුළුවන. ජනාධිපතිවරයා රට ගැන, ජනතාව ගැන වගේ වගක් නැති හාදයින් ලියන ලියුම් බලාගෙන කතාවක් පැවැත්වීමට ගොස් වැටුණු සදා අමාරුවෙන් එම ලියුම්කරුවන්ට ගොඩ ගත නොහැකිය. තනියම පරිප්පුව කෑමට සිදුවන්නේ ජනාධිපතිවරයාටය. මින් පසුවටවත් මේ ගැන සිතා තමන්ගේ නිරීක්ෂණයෙන් යමක් කීමට බුදු දහම අනුව හෝ ජනාධිපතිවරයා පෙළඹිය යුතුය. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ තමන් ප්‍රත්‍යක්ෂ කරගෙන අන්‍යයන්ට කියන්න යනුවෙනි.


ක්‍රමය පිළිබඳ අවිශ්වාසය


ජනතාව වෙතින් ආණ්ඩුව ප්‍රතික්ෂේප වන ප්‍රමාණයට සාපේක්ෂව දේශපාලන ක්‍රමය ද ප්‍රතික්ෂේප වෙමින් ඇතැයි සිතිය හැකිය. ක්‍රමය ප්‍රතික්ෂේප නොවනවා නම් ආණ්ඩුව එපා වන විට කවර හෝ විපක්ෂයක් ජනතාවට වුවමනා විය යුතුය. යහපාලනය වැනි ශ්‍රේෂ්ඨ අදහසක් මරා දමා එජාප ප්‍රමුඛ රජය ක්‍රියා කළ දුර්වල හා නාස්තිකාරී ස්වභාවය පිළිබඳව වසර පහක් තුළ ජනයා සැලකිය යුතු අවබෝධයක් ලබා ගත්තේය. වත්මන් රජය බිහිවූයේ ජාතික ආරක්ෂාව හා ආගම පෙරට දමාගෙන වුවත් එමගින් ගොස් තමන්ට උසස් ජීවන තත්ත්වයක් නිර්මාණය කරනු ඇතැයි 69 ලක්ෂයක් සිතූහ. හැට නව ලක්ෂය යනු බයියන් නොවේ. ඔවුන් ඉහළම ජීවන අපේක්ෂාවන් ඇති පිරිසකි. එම ජීවන අපේක්ෂාව රටේම ජීවන අපේක්ෂාව බව නොකිවමනාය. එහෙත් පාලක පන්තිය සිය පුද්ගලික ජීවන අපේක්ෂා ගැන පමණක් සිතන තත්ත්වය තුළ ආසන්න සමීප ආණ්ඩු දෙක වෙතින්ම ජනතාවගේ ජීවන අපේක්ෂා බිංදුවට වැටුණි. මෙම තත්ත්වය තුළ රට යම් විකල්පයකට යා යුතු බව පැහැදිලිය. ඒ කුමක් ද? විකල්පය හදන්නේ සජිත් ප්‍රේමදාසද? අනුර දිසානායකද? නැතහොත් දත කට මදිමින් සිටින බැසිල්ද? මේ සියල්ලන් බරපතළ අවුලක සිටින බව කිව හැකිය. කෙළියටවත් මහජන දේපළ සොරකම් කර ඇති බවට චෝදනාවක් නැති අනුර දිසානායකට තනි බලයක් දීමට ජනතාව තවම සූදානම් නැති බවක් ද පෙනේ. ඒ සඳහා ඔවුන් පරිණත නැතැයි ඇතැම්හු කියති. එහෙත් පරිණත වී රට කොල්ලකන පාලකයන්ට වසර 73ක් තිස්සේ ජනතාව මාරුවෙන් මාරුවට බලය දුන්නේය. මේ රටේ පාලකයන් තරමටම ජනතාවත් අතාර්කිකය. මොට්ටය. මුග්ධය. නන්නත්තාරය.


කළයුත්තේ කුමක්ද?


තවදුරටත් ක්‍රීඩාව කිරීමට සිදුවන්නේ ඉහත කී ජනතාව සමගය. ඒ අනුව දේශපාලකයන් අතහැරියත් ජනතාව අත්හැරිය නොහැකිය. ඒ ප්‍රධාන වශයෙන් ඔවුන් මේ නින්දාසහගත අභ්‍යාසයෙන් පීඩාවට පත්ව සිටින කොට්ඨාසය වන නිසාය. පීඩකයන්ට එරෙහිවීම පීඩිතයන් කළයුත්තක් වන නිසාය. මගේ විශ්වාසයේ හැටියට මෙතැනින් එහාට මහා උගතකු නොවෙතත් හෘදය සාක්ෂ්‍යයක් ඇති විශ්වාසවන්ත මිනිසකු රටේ නායකයා ලෙස තෝරා පත් කරගත යුතුය. කොටින්ම රුවන්ඩාව මෙන් පෝල් කාගමේ කෙනෙක් සොයා ගත යුතුය. ඇන්.ඇම්. කෙනෙකු වත්මන් දේශපාලන ගොහොරුවෙන් බිහිවන්නේ නැත. ඇතුළත්මුදලි කෙනෙකු ද සොයා ගත නොහේ. ලක්ෂ්මන් කදිරගාමාර් කෙනෙකු සොයා ගැනීම කෙසේවත් කළ නොහැක්කක් බව පෙනේ. ඔවුන් අප නොසලකා හළ දේශපාලකයන්ය. ඔවුන් රටේ නායකයන් බවට පත්වූයේ නම් රට කවර තැනක තිබෙනු ඇත්දැයි යනුවෙන් සාකච්ඡාවක්වත් අප අතර නැත. අප ඒ සා අනවධානයෙන් යුතු තත්ත්වයකට ඇද වැටී ඇත. ගෝඨාභය, බැසිල්, සජිත්, රනිල් වෙනුවට සාමාන්‍ය ජනයා අතරින් රට හා ජනතාව පිළිබඳව දයාර්ද්‍රව හිතන විශ්වසනීයව වැඩ කළ හැකි මිනිසකු රටේ නායකයා බවට පත් කර ගත නොහැකිද? මීට පෙර ලියූ ලිපියකදී මම රටේ උගතුන් කිහිපදෙනෙක් ඒ සඳහා නම් කළෙමි. ඒ අයගෙන් පරිබාහිරවත් අපට මේ ගැන සිතිය හැකිය. රටේ පිළිගැනීමට ලක්වූ රාජ්‍ය නිලධාරියකු (විශ්‍රාමික) එම වගකීම දැරීමට එක් කරගත නොහැකිද? හිටපු විගණකාධිපති එස්.සී. මායාදුන්න යනු අවංක රාජ්‍ය නිලධාරියකු ලෙස රට පිළිගත් පුද්ගලයෙකි. උගතෙකි. ලැසිල් ද සිල්වා යනු එවැනි චරිතයකි. ඔහු සිය තනතුරු දැරූ වකවානුවේ අවංකව ක්‍රියා කළේය. ඒ නිසාම රාජ්‍ය නායකයාගේ උදහසට ලක්වුණේය. හිටපු නියෝජ්‍ය විගණකාධිපති ලලිත් අඹන්වල මහතා රට පිළිගත් විශිෂ්ට රාජ්‍ය නිලධාරියෙකි. අවංකව රාජකාරිය ඉටු කිරීමට ගොස් ජීවිතය බේරා ගත්තේ අනූනමයෙනි. මීට මාස දෙකකට පමණ පෙර ඔහු මිය ගියේය. එවැනි නිලධාරීහු තවත් රටේ සිටිති. ජනතාව අතර උත්කර්ෂයට නැංවිය යුත්තේ එවැනි මහත්වරුන්ගේ අවංකකමය. මැරකම සහ හොරකම උත්කර්ෂයට නංවා බලයට පත් කරන අය සහ මේ මහත්වරුන් අතර වෙනස ජනතාවට තේරුම් කරන ව්‍යාපාරයක් බිහිවිය යුතුය. එය රටේ උගත් හා අවංක ප්‍රජාවක වගකීමකි. විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලවල සිටින තරුණ බුද්ධිමතුන් මෙවැනි වැඩසටහනකට එකතු කරගත හැකිය. එහි අනාගත දේශපාලන වැඩසටහනක යටිපෙළ යාන්ත්‍රණය සකස් කිරීම අනුර දිසානායක, කුමාර් ගුණරත්නම්, ලාල් කාන්ත, හඳුන්නෙත්ති, පුබුදු ජයගොඩ, ඉමිතියාස් බාකිර් මාකර්, ශානක්‍ය රාසමානික්කම්, සුමන්දිරන් වැනි දේශපාලනයේ ප්‍රායෝගික දැනුමැති පිරිසකට කළ හැකිය.


සෙනගල් ආදර්ශය


ප්‍රංශයෙහි යටත් විජිතයක්ව පැවති සෙනගල් රාජ්‍යය ඉන් නිදහස ලැබුවේ 1960දීය. එහි ප්‍රථම ජනාධිපතිවරයා වූයේ කවියකු හා දාර්ශනිකයකු වූ ලියෝපෝල්ඩ් සෙන්ගෝර්ය. ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඔහු පැරිස් විශ්වවිද්‍යාලයේ ප්‍රංශ භාෂා මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. සමාජවාදී අදහස් දරන්නකු ලෙස ඔහු ධුර කාල පහකට ආසන්න ප්‍රමාණයක් තනතුරෙහි ගත කළමුත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රට පාලනය කළේය. ජනයාගේ ආදරයට ලක් වූයේය. සෙනගාලය දියුණු රටක් බවට පරිවර්තනය කිරීමේ අඩිතාලම දැමුවේය. 80 දශකයේදී සිය පස්වැනි ධුර කාලය අවසන්වීමට පෙර අගමැතිව සිටි අබ්ඩෝ ඩියොෆ්ට බලය පවරා දේශපාලනයෙන් විශ්‍රාම ගියේය. ඩියොෆ් ද සෝර්බෝන් විශ්වවිද්‍යාලයේ නීති උපාධිධරයෙකි. 2000 වසරේදී සෙනගාලයේ ජනාධිපතිවරයා වූයේ අබ්දුල්ලේ වේඩ්ය. ඔහු ජනාධිපතිවරණයට තරග කරන විට සෙනගල් විශ්වවිද්‍යාලයක ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළේය. ඔහු නීතිය පිළිබඳ උපාධිධරයෙකු ද විය. 2012දී සෙනගල් ජනාධිපති වූයේ භූ විද්‍යාඥයකු වූ මැකී සෑල්ය. 2019දී මැකී යළි මැතිවරණයකින් ජය ගත්තේය.
ලංකාවට මහින්දලා, ගෝඨාභයලා, බැසිල්ලා, සජිත්ලා වෙනුවට මෙවැනි උගත් නායකයන් සොයා ගත නොහැකිද? මෙරට විශ්වවිද්‍යාලවලද එවැනි උගත්තු සිටිති. එවැනි විෂය ප්‍රවීණයෝ තමන් නොදන්නා විෂයයන් පිළිබඳව උපදෙස් ගැනීමට මැලි නොවෙති. එකක් ගැනවත් හරිහැටි නොදන්නා නූගත්තු කිසිවක් ගැන උපදෙස් නොගනිති. ගොං පොල්ලන් දෙන උපදෙස් අවිචාරයෙන් ක්‍රියාත්මක කරති. ලියා දෙන දෙයක් ගිරව් සේ කියවති.


වැදගත් විවාදය නොවේ


ලංකාවේ උගතුන් අතර ඔවුනොවුන් උනන්දු දේශපාලනය සම්බන්ධයෙන් මහත් වාද විවාද තිබේ. එහෙත් සාමාන්‍ය දැනුමැති පුරවැසියන්ට මෙන් නො ව, ඔවුන්ට රටේ ප්‍රශ්නයක් විසඳීම වෙනුවෙන් ඇතැම් න්‍යායික විවාද පසෙකින් තැබිය හැකිවිය යුතුය. එකඟ විය හැකි මූලික දේවල් රැසක් ඒ කාටත් තිබේ. නිදසුනක් ලෙස මහජන දේපළ සුරැකීමට හෙවත් කොල්ලනොකෑමට සියල්ලන්ම එකඟය. මහජන නියෝජිතයන් මහජන බදු මුදලින් අධික සුඛ විහරණයක් බුක්ති නොවිඳිය යුතුය යන්නට ඔවුහු එකඟ වෙති. ඒ කරුණු දෙකෙන්ම පමණක් රටක් සුරක්ෂිත වෙයි. දුප්පතුන්ට සේවය කිරීමට සෑහෙන මුදලක් ද ඉතිරි වෙයි. ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ පාලනය තහවුරු කිරීම යන කරුණු දෙකටම ඔවුන් අතර කොන්දේසි තිබිය නොහැකිය. ආර්ථිකයේ විනිවිදභාවය හා සංවර්ධන උපාය මාර්ගවලදීත් ඔවුන්ට වඩා පහසුවෙන් විෂයගත විය හැකිය. යථාර්ථවාදී විය හැකිය. ගුණදාස අමරසේකරට හා නලින්ද සිල්වාටවත් මේවා ප්‍රතික්ෂේප කළ නොහැකිය. ජාතික අර්බුදය විසඳීම, රටට උචිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය වැනි කරුණු වලදීද උගතුන්ට වැදගත් භූමිකාවක් නියෝජනය කළ හැකිය. එවිට පාවිච්චි කරන්නේ කොම්පෝස්ට් ද රසායනික පොහොර ද වැනි දේවල් රටේ මහා ප්‍රශ්න නොව අදාළ අංශවල පර්යේෂණ හා දත්ත මත ගත යුතු තීරණ පමණි. යට තට්ටුවේ දේශපාලන යාන්ත්‍රණය ද සොරුන්ගෙන් සමන්විත නොවන නිසා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ අර්බුදයක් පැන නැගිය නොහැකිය. අනුර දිසානායකගේ සිට සමස්ත විද්‍යාරත්න, පුබුදු ජයගොඩ දක්වා නියම ජනහිතකාමීන්ට මෙම ක්‍රියාවලියෙහි ප්‍රායෝගික පාර්ශ්වය භාර දිය හැකිය. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, බහුවිධ උගතුන් හා අවංකව වැඩ කළ හා කරන රාජ්‍ය නිලධාරීන් අතර මේ කාරණය තවදුරටත් සාකච්ඡාවට ලක්විය යුතු යැයි සිතමි. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here