දිනී ජයසේකර

ටිකෙන් ටික ඉර මුදුන් වන මොහොතක අප රත්මලාන දුම්රිය ස්ථානයෙන් බැස්සෙමු. දුම්රිය ස්ථානයෙන් එළියට පැමිණි අප එක යායට තිබෙන ලෑලි නිවාස වෙත ඇවිද ගියෙමු. අතරමගදී ග්‍රාම්‍ය වචන හුවමාරුවක් ඇසුණි. පරිසරය ඝෝෂාකාරීය. ඔවුන්ගේ වචන හුවමාරුවේ බීජය මුදල් ප්‍රශ්නයකි. ඔවුන්ගේ සංවාදය අතරතුරේදී අවට රැස්වූ අවුරුදු හතේ අටේ පුංචි කොලු ගැටවු හූවක්ද තිබ්බෝය. ඔවුන් හූ තියන්නේ කාටද යන්න නිශ්චිතවම කිව නොහැක. මන්ද එක් පිරිමියෙකුගේ හඬ බාල වනවාත් සමග විරුද්ධවාදියාගේ හඬ ඉස්මතු විය. රණ්ඩුවේ හේතුවද ජීවත්වීමේ ප්‍රශ්නයම මිස අනෙකක් නොවේ.


වෙරළබඩ දරුවන්ගේ අධ්‍යාපනය


උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණිය සඳහා පාසල් අරම්භ කළද පුංචි කොලු ගැටයන් තවම නිදැල්ලේය. නමුත් වෙරළබඩ ජීවත් වන පිරිසගේ දරුවෝ පාසල් ආරම්භ කළද පාසලට වඩා වැඩි කාලයක් නිවෙස් තුළ ගත කරති. ඔවුහු වෙරළේ දුවති. රේල් පීලි මත දුවති. බයිසිකල් පදිති. වැඩිහිටියන්ගේ කතාවලට ඇහුම්කන් දෙති. ගැටුම් බලාගෙන සිටිති. මේ ඔවුන්ගේ දෛනික ජීවිතයයි. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව බොහෝ ගැටලු වෙරළබඩ ජනතාවට ඇති බව පැහැදිලිය.


“මට අවුරුදු විසි දෙකයි. දරුවො තුන්දෙනෙක් ඉන්නවා. එක දරුවෙක් හතර වසරෙ. අනික් කෙනා පෙරපාසල්. තුන්වෙනියට මාසයයි. ලොකු ළමය මේ ටිකේම ගෙදර.” අත දරුවෙක් තම ළයට තුරුලු කරගෙන සිටි කාන්තාවක් පැවසුවාය.


ඇය අඩු වයසින් මවු පදවිය ලබා තිබුණාය. වෙරළබඩ සිටින බහුතර ගැහැනු දරුවන් අඩු වයසින් මවු පදවිය ලබන බවත්, තවත් සමහරු අඩු වයසින් විවාහ වන බවත් ඇය අප සමග පැවසුවාය. එය සමාජ ගැටලුවකි. අධ්‍යාපනය ලැබිය යුතු කාලසීමාවක මවු පදවිය දැරීමට සිදුවීම කනගාටුදායකය. ඇය පැවසූ පරිදි ඇගේ දෙමාපියන්ට තමාව පෝෂණය කිරීමට වත්කමක් නොතිබූ නිසා තමන් එසේ විවාහයක් කරගත් බව ඇය අප සමග කීවාය.


ගැහැනු දරුවන් එසේ අකාලයේ විවාහයට පත්වීමත්, පිරිමි දරුවන් අකාලයේ පවුල් බර කරට ගැනීමත්, එසේත් නොමැතිනම් මත්ද්‍රව්‍යවලට හුරු වී විනාශවීමත් වෙරළබඩ සංස්කෘතිය බව පෙනෙයි. ඉන් සිදුවන්නේ රට තව තවත් ආපස්සට යනවා මිසක ඉදිරියට යෑමක් නොවේ.


ආණ්ඩු දෙකක් කළා


කොට්ටම්බ ගහ යට ගමන් මහන්සි නිවමින් සිටි අප දැක සුසන්ත අප අසලට පැමිණ ඔහුගේ හඬ අවධි කළේය.
“මට දැන් අවුරුදු හැටක් විතර වෙනවා. අපේ ගෙදර පුතාල දෙන්නයි, ලේලිල දෙන්නයි, මමයි, බිරිඳයි තමා ජීවත් වෙන්නේ. මීට කලින් ජීවත් වුණේ ධීවර රස්සාව කරලා. හැබැයි දැන් මම කරන්නෙ කුලී වැඩ. මේ ටිකේ නම් කුලී වැඩත් නැහැ. ඒ නිසා බිරිද තමයි ගෙදර වියදම හොයන්නේ. ”


සුසන්තගේ නිවස පළල අඩි පහයි දිග අඩි නවයක් පමණ වෙයි. ඔහු ඇතුළු අනෙක් සියල්ලන් කන්නේත් නිදන්නේත් මේ නිවස ඇතුළතය. සුසන්තගේ පමණක් නොව ඒ අවට තිබෙන අනෙක් නිවාසවල තත්ත්වයද එසේමය. ඒවා හරියට කුකුළු කූඩු මෙනි. එතුළ සිටින ඔවුන් ගෙවන්නේ ඉතා දුක්ඛිත දිවියකි. කිසිදු ආණ්ඩුවක් ඔවුන් දෙස බලා නැත. නමුත් ඔවුන්ගේ ඡන්දය දේශපාලනඥයෝ පාවිච්චි කරති. සුසන්තගේ හඬ බාල වනවාත් සමග කාන්තිගේ හඬ ඉස්මතු විය.


“ඡන්දෙ කිට්ටු වුණාම අපිට දෙන්නකො. දීල බලන්කො වෙනසක් කරනවාමයි කියලා යනවා. ආයෙ එන්නේ ඊළඟ ඡන්දෙට. එතකන් හොයා ගන්නවත් නැහැ. ආණ්ඩු කීයක් නම් රට කළාද? ඒත් ඔය කිසිම ආණ්ඩුවකින් අපිට කියලා දෙයක් ලැබිලා නැහැ. අපිට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදලා දෙනව නම් ඒ ඇති.”


අප කොට්ටම්බ ගහ අසලින් නැගිට ලෑලි නිවාස මැදින් ඔවුන් හදාගෙන ඇති අඩිපාර දිගේ වෙරළට ඇවිද ගියෙමු. ඒ යන අතරතුර අවට සංචාරයේදී අපට වැටහී ගිය කරුණ වන්නේ ඔවුනට වැසිකිළි පහසුකම් නැති බවය. පිරිසිදු ජල පහසුකම්ද නැතිය. නෑමට ඇඟ සේදීමටද ජල පහසුකම් නැතිය. කෝකටත් තෛලය ලෙස ඔවුන් පාවිච්චි කරන්නේ මහ මුහුදය. වසර ගණනාවක් තිස්සේ ඔවුන් වෙරළාසන්නව ජීවත් වන බව නොරහසකි. 2004 සුනාමි ව්‍යසනය ඇති වන විටද ඔවුන් මෙතනය. සුනාමියෙන් පසුවත් ඔවුනට නිවාස ලැබී නොමැත. රාජපක්ෂ ආණ්ඩුව සහ යහපාලන ආණ්ඩුව කාල දෙකක් තරණය කර ඇත. නමුත් ඔවුනට සිදුවූ යහපතක් නැතිය.


ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය


ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂකව කටයුතු කළ කාලසීමාවේදී ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙසේ සඳහන්ව ඇත.
“අද වන විට සියලු රජයන්ගේ ප්‍රධාන වගකීම වී ඇත්තේ දුප්පත්කම හා ඇති නැති පරතරය නැති කිරීම, වස විස නැති ගොවිතැන සුලභ කර නිරෝගී ජනතාවක් බිහි කිරීම, සැමට හොඳ අධ්‍යාපනයක් ලබාදීම, පිරිසිදු වතුර හා පිරිසිදු බලශක්තිය සෑම දෙනාටම ලබාදීම, තාරුණ්‍යයට හරිත කර්මාන්ත හරහා රැකියා ලබාදීම, මිනිස් වාසයට සුදුසු හරිත නගර ඉදි කිරීම, සකසුරුවම්කමට හුරු ජනතාවක් බිහි කිරීම, කාන්තාවන්ට සාධාරණ ඉඩක් ලබාදීම, දේශගුණික විපර්යාස හා සාගර දූෂණ වැළැක්වීම, ජෛව විවිධත්වය රැක ගැනීම හා සාමය රජයන සමාජයක් බිහි කිරීම ආදී එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධනය ඉලක්ක 17ක් සපුරා ගැනීමය” යන්නය.


ඉහත කාරණා ප්‍රායෝගිකව සිදුවනවාද යන්න ගැටලුවකි. ලෝක බැංකුව (world bank) 1980න් පසු පැවති ලංකාව හැඳින්වූවේ සංවර්ධනයවෙමින් පවතින රටක් ලෙසය. නමුත් 2020 වන විට එය හඳුන්වනු ලබන්නේ පහළ මධ්‍ය ආදායම් ලබන රටක් ලෙසය. පවතින වටපිටාව ක්‍රම ක්‍රමයෙන් වෙනස්වෙමින් පවතී. මීට වැරදිකරුවන් වන්නේ කවුද? මහජනතාවද? නැතිනම් මෙතෙක් පත් වූ පාලකයන්ද?


රටක් දියුණු වනවා කියන තැනම තිබෙන්නේ රටක් වශයෙන් එහි සිටින ජනතාවගේ සමාජ තත්ත්වය දියුණුවීමය. නමුත් සිදුව තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ජීවිත දිනෙන් දින පරිහානියට පත්වීමකි. වෙරළබඩ අඩු ආදායම්ලාභීන්ගේ ප්‍රශ්නය හැමදාම එකතැන පල්වෙන්නට හැර තිබෙන්නකි. එය සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන ඊට විසඳුම් දෙන තත්ත්වයක් උදාකරන්නේ කෙසේද? එය රට හමුවේ ඇති ප්‍රශ්නයකි.

මේ සියල්ලන්ටම නිවාස ලබා දිය හැකියි
පරිසරවේදී අජන්තා පෙරේරා


ඇත්ත වශයෙන්ම මේ මිනිස්සු කරපු වරදක් නැහැ. ඔවුන් තමන්ගේ ඡන්දය පාවිච්චි කරනවා නම් ඒ වෙනුවෙන් ඔවුන්ට සාධාරණයක් අවශ්‍ය වෙනවා. රත්මලානෙ දුම්රිය මාර්ගය අසල ඇති වෙරළබඩ තීරුවෙ පමණක් පවුල් පනහකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මේ හැම ගෙයක්ම ලෑලිවලින් හදපුවා. මොවුන්ට නිවාස ලබා දෙන්න හැකි වටපිටාවක් රජයට තියෙනවා. නමුත් ඔවුන් ඒවා කරන්නෙ නැහැ. නිදසුනක් ලෙස මීතොටමුල්ල කුණු වලින් පිරෙව්වා. බ්ලූමැන්ඩෙල්, කරදියාන මේ හැම තැනක්ම කුණුවලින් පුරවලා තියෙන්නේ. ඉතින් ඒ බිම් ප්‍රතිසංස්කරණය කරල නිවාස සංකීර්ණ ගහල මේ මිනිස්සුන්ට නිවාස ලබාදෙන්න හැකියාවක් තියෙනවා. උවමනාව විතරයි අවශ්‍යය වෙන්නේ.


ඇත්තටම මේ වටපිටාව ගත්තාම ඉගෙන ගන්න වයසෙ ඉන්න දරුවො පවා රස්සා කරනවා. එහෙමත් නැතිනම් විවාහ වෙලා ළමයි හදාගෙන දුක් විඳිනවා. සමාජයේ එක කොටසක් හොඳට ඉගෙන ගන්නකොට තව කොටසකට ඒක අහිමි වුණාම ඔවුන්ගේ මනස වෛරීසහගත වෙනවා. ඊටපස්සෙ ඔවුන් පුරුදු වෙනවා සමාජෙන් වෙන්වෙලා ජීවත් වෙන්න. එහෙම වෙලා බැහැ. රටක් වුණාම අපි හැමෝම එක වගේ ඉන්න ඕන. එහෙම නැතිව ටීම් ටීම් බෙදිල ඉඳලා බැහැ. මොකද මේක සෙල්ලමක් නෙවේ. ■