ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ


සත්‍ය සොයා යාමේ අරගලය, ශ්‍රී ලාංකේය ජනතාව සිර වී සිටින ප්‍රධාන අර්බුදයක් ලෙස සැලකිය හැකිය. වැදගත් යැයි සිතිය හැකි සියලු ම ආයතනයන් නියෝජනය කරන්නන් බොහෝ දෙනා, සිතාමතා ම සත්‍ය විකෘති කරමින් සිටින්නේය යන්න මගේ විශ්වාසයයි. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පමණක් නොව ඒවායේ බලතල සෘජුව ම භාවිත නොකරන්නන් පවා හිතාමතා සත්‍ය වසන් කිරීමට පෙළඹී සිටීම පුදුම සහගතය. ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය භාවිත කරමින් තොරතුරු සපයන්නන්, රාජ්‍ය නොවන සිවිල් සංවිධාන, ආණ්ඩු පක්ෂයේ/විපක්ෂයේ දේශපාලකයන්, විචාරකයන් බොහෝ පිරිසක්ද ඒ අතර සිටිති. ඇතැමුන් සම්පූර්ණයෙන් බොරු කියන්නේ නැත. අර්ධ සත්‍ය ප්‍රකාශ කරමින් සිටිති. එය බොරුවේ තරමට ම, විශාල විනාශයන් අත්කර දිය හැක.


ජනතාව ගතයුතු මග සොයාගත නොහැකිව අතරමංවීම මෙන්ම, නොගත යුතු මග ගැනීමට පෙළඹීම මෙහිදී සමාජයක් ලෙස මුහුණදෙන බරපතළ ඛේදවාචකයක් ලෙස සැලකිය හැකිය. සත්‍ය තිබියදී මෙසේ බොරුව සමාජ ගතවීම, ක්ෂණිකව මතුවූවක් ලෙස සිතිය නොහැක. එය කාලාන්තරයක් තිස්සේ ගලා ආ සදාචාරාත්මක ඛේදවාචකයකි. සත්‍ය එකවර සොයාගත නොහැකිවීම විය හැක්කක් වුවත්, සත්‍ය විවර වන තුරු නොසිට බොරුව, සත්‍ය සේ සමාජයට ඉදිරිපත් කිරීම මෙන්ම සත්‍ය සෙවීමේ දුෂ්කර මාවත, පහසුව හෝ වාසිය තකා අතහැර දැමීම ලොකු වරදකි.


සදාචාරය හා නීතිය


අනෙක් පැත්තෙන් නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ සමාජ විශ්වාසය ගිලිහී ගියහොත්, එය මෙම සමාජ ඛේදවාචකය තවත් දරුණු තත්ත්වයක් දක්වා ඇද දැමීමට හේතුවිය හැකිය. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය එකිනෙකට ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතන විය යුතුවාක් මෙන්ම ඒවා සාධාරණ ජීවිතයක් උදෙසා උදව් වේය යන විශ්වාසය පොදුවේ ජනතාව තුළ තිබේ. මෙයින් විධායකය සහ ව්‍යවස්ථාදායකය, දේශපාලකයන්ගෙන් සමන්විත නිසා ඒවා කෙරෙහි පවතින විශ්වාසය පළුදු වී තිබීම අමුතු දෙයක් ලෙස සැලකිය නොහැක. එහෙත් අධිකරණය කෙරෙහි එවැනි ම තත්ත්වයක් තිබුණේ නැත. එහෙත් දැන් සිදුව ඇත්තේ අධිකරණ විනිසුරුවරුන් කෙරෙහි පැවති විශ්වාසය පොදුවේ පළුදුවෙමින් තිබීමය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හෙළිදරව් වූ හඬ පට හා වීඩියෝ පටවලට අමතරව තවමත් හෙළිදරව් නොවූ ඒවා තිබෙන බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉහළ අධිකරණ නිලධාරීන්ද ඒ අතර සිටින බවද ඔහු කියා සිටියේය. එය සත්‍ය හෝ අසත්‍ය විය හැකි වුවත් දැනට අනාවරණ වී ඇති හඬ පටවල විනිසුරුවරුන් තුන් දෙනෙකුගේ සංවාද තිබේ. ඔවුන්ගෙන් දැනට සේවයේ නියුතු දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කළේය. ඔවුන් දෙදෙනා මෙන්ම විශ්‍රාම ගොස් සිටින විනිසුරුවරියගේ ක්‍රියාකලාපය පිළිබඳවද පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය ඔවුන්ගෙන් කටඋත්තර පවා ගත්තේය.


මේ නිසා මෙය සැලකිය හැක්කේ සදාචාරය පිළිබඳ අර්බුදයක් ලෙස පමණක් නොව, සදාචාරය මෙන්ම නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ අර්බුදයක් ලෙසය. මක්නිසාද අධිකරණ නිලධාරීන්ගේ සදාචාරය බිඳවැටෙන්නේ නම් එය නීතියේ පාලනය, නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක් වන්නේය. නීතියේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් වන්නේය. එවැන්නක් රටක පැවැත්මට සෘජුව ම බලපෑම් කිරීමක් ලෙසද හඳුන්වාදිය හැකිය.


රන්ජන් මතුවීම


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීමෙන් පසුව, ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ සිද්ධිය, නිශාන්ත සිල්වා- ශානි අබේසේකර සිදුවීම්, චම්පික රණවකගේ රියදුරු මාරු කිරීමේ සිද්ධිය, රාජිත සේනාරත්නගේ සුදු වෑන් සිද්ධිය, රන්ජන් රාමනායකගේ හඬ පට සිද්ධිය; සමාජ සාකච්ඡා මැවූ ඒවා ලෙස සැලකිය හැකිය. ඒවා තවමත් අවසන් වී නැතිවා වුවද රාමනායක මහාතාගේ හඬ පට සිදුවීම් මාලාව අනෙක් සියල්ල යම් පමණකට යටපත් කරමින් ආන්දෝලනාත්මක ලෙස කරළියට පැමිණ තිබේ.


රන්ජන් දූෂණයට, සොරකමට එරෙහිව යම් හඬක් නැගූ මන්ත්‍රීවරයෙකු ලෙස පිළිගත හැකිය. එහෙත් ඔහු, දුරකතනයෙන් කතා කරන සියල්ලන්ගේ සංවාද පටිගත කිරීමෙන් නොනැවතී ඒවා තැටිගත කර ආරක්ෂිතව තබාගත්තේ දූෂණයට එරෙහිව ක්‍රියාකිරීමේ පරම අරමුණෙන් බව පිළිගත හැකිද? මිතුරු මිතුරියන් සමග කරන අතිශය පෞද්ගලික සාකච්ඡා පටිගත කිරීමෙන් නොනැවතී, තැටිගත කර තබාගන්නේ කුමකටද? හොරුන්ට සදාචාරයක් නොමැති නම් හොරු අල්ලන අයට සදාචාරයක් කුමකටද යන්න ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. එය පිළිගත හැකිද? එය පිළිගන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, එෆ්. සී. අයි. ඩී නිලධාරීන්, අධිකරණ විනිසුරුවරුන්, අල්ලස් කොමිසමේ නිලධාරීන් වැන්නන්, නඩු පිළිබඳ, විමර්ශන පිළිබඳ, නඩු තීන්දු පිළිබඳ රාමනායක මහතා හෝ වෙනත් දේශපාලකයන් සමග කතා කිරීම පවා සදාචාරාත්මක බව පිළිගැනීමට සිදුවන්නේය. අපක්ෂපාත ජනමාධ්‍යවේදීන් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටින්නන්, දේශපාලන පක්ෂයක ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීමද පිළිගැනීමට සිදුවේ.
ජනමාධ්‍යවේදියෙකුට හෝ පොලිස් නිලධාරියෙකුට හෝ විනිසුරුවරයෙකුට හෝ වෙනත් රාජ්‍ය නිලධාරියෙකුට හෝ ස්වාධීන යැයි කියන කොමිසමක නිලධාරියෙකුට හෝ දේශපාලන අදහසක් පැවතීම පිළිබඳ විවාදයක් ඇත්තේ නැත. ඒ ගැන ප්‍රසිද්ධියේ කියා ඒ දේශපාලන මතය වෙනුවෙන් පෙනී සිටීමේ වරදක් ඇත්තේද නැත. එය රාජ්‍ය නොවන සිවිල් සංවිධාන ප්‍රධානීන්ට හා ඒවායේ සුළු සේවකයන්ටද පොදුය. එහෙත් තමන් කිරීමට බැඳී සිටින රාජකාරියේදී එවැන්නක් උදෙසා ඉඩ තිබේද? අනෙක් පැත්තෙන් තම වෘත්තියේදී අපක්ෂපාත වන්නේ යැයි පෙන්වමින් පක්ෂග්‍රාහීව ක්‍රියාකිරීම අශෝභන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.


වාසි, අවාසි මත සත්‍


රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයා, 2015 දක්වා රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුව සිටියදී අධිකරණයට බලපෑම් කළේ නම්, ඔහු ඊළඟට ආ එජාප ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වූ පසු එම බලපෑම අහෝසි වන්නේද? ඔහු එවැනි බලපෑමක් කළේ නම් එවැනි අයෙකු අමාත්‍ය තනතුරක් පවා ලබා දී යහපාලන ආණ්ඩුවට සම්බන්ධව කර ගැනීම පවා නිවැරදි යැයි කිව නොහැක. සිදුවිය යුතුව තිබුණේ ඔහු කළ බව කියන බලපෑම පිළිබඳ පරීක්ෂණයක් කර නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනවය ජනතාවට පෙනෙන්නට සැලැස්වීමය. නිශාන්ත සිල්වා සහ ශානි අබේසේකර යන රහස් පොලිස් නිලධාරීන් හොඳ විමර්ශන නිලධාරීන් විය හැකිය. එහෙත් එක්තරා දේශපාලන අරමුණක් නැතහොත් එම දේශපාලනයද අයත් එක්තරා කඳවුරක් වෙනුවෙන් කටයුතු කරන බව පෙනෙන්නේ නම් එය සාධාරණ විය නොහැක. එවිට නීතිය පිළිබඳ ජනතාවගේ අවිශ්වාසය ගොඩනැගෙනවා පමණක් නොව සත්‍ය කුමක්ද යන්න තෝරා බේරා ගැනීමට පවා නොහැකි වන්නේය. එවිට, එම නිලධාරීන් කියන දේ පරම සත්‍ය බව අදහමින් කටයුතු කරන දේශපාලකයන් මෙන්ම මාධ්‍යවේදීන්ද ඉටු කරන්නේ ජනතාවගෙන් සත්‍ය ඈත්කිරීමේ ව්‍යායාමයට දැනුවත්ව හෝ නොදැනුවත්ව හවුල්වීමය. ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ සිද්ධියේදී ස්විස් තානාපති කාර්යාලයේ බලවත් ඉල්ලීම මත ඇයට, ස්විස්ටර්ලන්තය බලා යාමට යම් හෙයකින් අවස්ථාව ලැබුණේ නම් බොහෝ තොරතුරු අනාවරණය නොවී ඇය මුලින් ම කී කාරණා සත්‍ය බව, හැදෑරීම් නොකර, ඉවසා නොසිට ඇතැම් මාධ්‍යවේදීන්, රාජ්‍ය නොවන සිවිල් සංවිධාන, ඔවුන්ගේ ගෙවීම් මත ක්‍රියා කරන්නන්, ඇතැම් දේශපාලකයන් ප්‍රකාශ කරනු ඇත. එහෙත් අවශ්‍ය වන්නේ සත්‍ය වශයෙන් ම සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීමය. නීති විරෝධී ලෙස කිසිදු පුරවැසියෙකු පැහැරගෙන ගොස් අඩත්තේට්ටම් කිරීමට ඉඩ නොතැබිය යුතුවාක් මෙන්ම සිදු නොවූ දෙයක් සිදු වූවා යැයි සාමාජ ගත කිරීමටද ඉඩ තැබිය යුතු නැත. සී අයි ඩි යේ නිශාන්ත සිල්වා පමණක් නොව මාධ්‍යයට සම්බන්ධ වී සිටි තවත් තුන්දෙනෙකු රටින් පිටව ගොස් ඇති බව ආරක්ෂක අංශ සොයාගෙන තිබේ. ඉන් දෙදෙනෙකුගේ නම් අනාවරණ වී ඇත්තේ ගානියර්ගේ සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණවලදීය. මට දැනගැනීමට තිබෙන පරිදි රටින් ගිය අනෙක් පුද්ගලයා පිළිබඳවද, නීතිපති දෙපාර්තමේන්තුවේ දැනුවත්භාවය මත සී අයි ඩී පරීක්ෂණයක් ආරම්භ වී තිබේ. මෙම අතුරු සිද්ධීන් හා ප්‍රධාන සිදුවීම් අතර සම්බන්ධයක් ඇද්ද එසේ නම් ඒ කුමනාකාරයෙන්ද යන්න නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තිබෙනවාක් මෙන්ම ඒවා අනාවරණ වන ආකාරයට කටයුතු කිරීමට ආණ්ඩුවට වගකීමක් ඇත්තේය. ඔවුන්ට රටින් පිටවීමට තරම් සාධාරණ හේතු තිබුණේද, එසේ නොමැති නම් අසාධාරණ ලෙස ක්‍රියා කිරීම නිසා නීතියෙන් බේරීම සඳහා රටින් පිටවූයේද, මේවායේ සත්‍ය ජනතාව දැනගත යුතුය


එහෙත් බොහෝවිට සිදුවන්නේ එහි අනෙක් පැත්තය. පවතින ආණ්ඩුව තමන්ට අවාසි පරීක්ෂණ අඩපණ කර දේශපාලන හා පෞද්ගලිකව වශයෙන් වාසි පරීක්ෂණවලට ධෛර්යය දෙන්නේය. පවතින විපක්ෂය කටයුතු කරන්නේද එසේය. ඒ, ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයේ වර්තමාන ස්වභාවයයි. එහෙත් ජනතාවට වගකිව යුතු ජනාධිපතිවරයා, මන්ත්‍රීවරුන්; එසේ කිරීම සදාචාරාත්මක සහ නීතිමය ලෙස බරපතළ වරදක් වන්නා සේම ඒවා විමර්ශනය කිරීමට මෙන්ම විභාග කිරීමට සිටින පොලිසිය හා අධිකරණය ඒ තත්ත්වයට ම ඇද වැටීම මහා ඛේදවාචකයකි. පොලිසිය කෙරෙහි නොමැති බරපතළ විශ්වාසයක් යම් පමණකින් හෝ ඉතිරි කර ගැනීමට ශ්‍රී ලංකාවේ අධිකරණය සමත් වී සිටින්නේය. එහෙත් රන්ජන්ගේ හඬපට, වීඩියෝ හරහා පෙනෙන්නේ ඊට පටහැනි දර්ශනයකි. මේවා දැනගත්තේද අනාවරණ වූ නිසාය. එසේ නොවූ ඒවා කොතරම් ඇද්ද? විදේශ මුදල් ආධාර මත යැපෙන එන්. ජී. ඕ.වලින් ඇතැම් ඒවා රටේ පාලනයට මෙන්ම පක්ෂ දේශපාලනයටද සම්බන්ධ වී ආධාර දෙන්නන්ට ඕනෑ ආකාරයට ඒවා වෙනස් කිරීමට උත්සාහ ගන්නා ආකාරයද කාලයක සිට දැකිය හැක්කකි. ජනතාවට වග නොකියන මෙම සීමිත පිරිස සත්‍ය තොරතුරු පිළිබඳ කරන බලපෑමද නොසලකා හැරිය නොහැක. හතරවන ආණ්ඩුව ලෙස සැලකෙන ජනමාධ්‍ය මෙන්ම, සමාජ මාධ්‍යද සත්‍ය, අසත්‍ය සේ ද අසත්‍ය සත්‍ය සේ ද, අර්ධ සත්‍යද සමාජය පුරා වපුරන්නන්ගේ ගොඬේ සිටිති.

රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පටවලින් සිදුවූයේද ජනතාව නොදන්නා ඇතැම් වැදගත් කාරණා ජනතාවට දැනගැනීමට අවස්ථාව සැලසීමය. එය ජනතාවගේ අරගලයකින් ලැබුණු ප්‍රතිඵලයක් නොව, එක්කෝ කාගේ හෝ සැලැස්මක් මත ලැබුණ ප්‍රතිඵලයක් විය හැකිය, නැතහොත් අහම්බයෙන් ලැබුණ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. අවශ්‍ය වන්නේ එවැනි අහඹු ප්‍රතිඵල නොව, විනිවිදභාවයෙන් යුතුව නිතරම සත්‍ය දැනගැනීමේ පොදු තත්ත්වයක් ගොඩනැගීමය. දේශපාලනයේ පමණක් නොව, පොලිසියේ, අධිකරණයේ ආදි රජයේ සියලු ක්ෂේත්‍රයන්හි අභ්‍යන්තරයේ සතුටු විය හැකි පරිසරයක් නොමැත්තේ නම් ඒවායින් ඉටු කෙරෙන කාර්යන්ද ලස්සන විය නොහැක. මේ නිසා ඉදිරියටද සත්‍ය දැනගැනීම උදෙසා අරගල කිරීමට සිදුවීම වැළැක්විය නොහැක.