Sri Lanka's Prime Minister Ranil Wickremesinghe attends a joint press conference with Norway's Prime Minister Erna Solberg after their meeting in Oslo, Norway, Friday, Oct. 5. 2018. (erje Pederesen/NTB scanpix via AP)


වික්ටර් අයිවන්

මට පෙනෙන ආකාරයට පරණ දේශපාලන නායකයන්ට හා එම පක්ෂවලට තිබෙන පිළිගැනීම අහිමි කිරීමේ ක්‍රියාදාමයද ලංකාවේ පරණ යුගය අවසන් කිරීම සඳහා ඉතිහාසය විසින් ක්‍රියාවට නගා තිබෙන ඓතිහාසික ක්‍රියාදාමයට ඇතුළත් දෙයක් ලෙස සැලකිය හැකිය. එජාප නායක රනිල් වික්‍රමසිංහට හා එම පක්ෂයට තිබූ පිළිගැනීම බිඳ වැටීමද එම ක්‍රියාදාමයේම ඵලයක් ලෙස සැලකිය හැකිය.


එජාපයට හා එහි නායක රනිල් වික්‍රමසිංහට එම තත්ත්වය උදා කිරීමට දායක වූ සමගි ජන බලවේගය යම් තරමක පාර්ලිමේන්තු නියෝජනයක් හිමිකර ගැනීමට සමත්ව ඇතත්, බලවත් විකල්ප බලවේගයක් ලෙස ස්ථාපිතවීමට සමත් වී නැත. ඒ අර්ථයෙන් සිදුවූ බව පෙනෙන්නේ සංකේතාත්මක අර්ථයෙන් එජා පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය අවසන් වූ බවය.


පවුල් බලය


එජාප පරණකමින් දෙවැනි වනුයේ ලංකා සමසමාජ පක්ෂයට පමණය. නිදහසින් පසු ගෙවී ගොස් තිබෙන කාලයෙන් නැතහොත් යුගයෙන් අඩකට ආසන්න කාලයක් එම පක්ෂය රට විටින් විට පාලනය කර තිබෙන අතර මේ රට හිමිකරගෙන තිබෙන පරාජයන් හා ජයග්‍රහණයන් කෙරෙන් එම පක්ෂයද ශ්‍රීලනිප සමග හරි හරියට වගකිව යුතුය. එජාප ලංකාවේ සියලු පක්ෂ අතර තිබුණු විශාලතම පක්ෂය ලෙසද සැලකිය හැකිය.

දේශපාලනයේ පවුල් බලය ගැන කතා කරන විට දැන් වැඩි වශයෙන් කතා කෙරෙන්නේ රාජපක්ෂ පවුල ගැනය. එහෙත් එජාපයද ඥාතිකමෙන් එකට බැඳුණු ඉතා බලවත් පවුල් කාටලයක් මත ගොඩ නගා පවත්වාගෙන ගිය පක්ෂයක් ලෙස සැලකිය හැකිය. එම පවුල් කාටලයේ ප්‍රබලයන් බි්‍රතාන්‍ය පාලන කාලයේදී අරක්කු වෙළෙඳාමද ඇතුළු විවිධ වාණිජ ව්‍යාපාර මගින් ධනවත් බවට පත්වූ හා ඒ මගින් ප්‍රභූ තත්ත්වයක් හිමි කරගත් පවුල් කණ්ඩායමක් ලෙස සැලකිය හැකිය. එජාප ආණ්ඩු කෙරුණු කාලයේදී පවා එය සැලකුණේ ‘මාමලාගේ බෑනලාගේ’ පක්ෂය වශයෙනි.


බණ්ඩාරනායක එම පක්ෂය අතහැර ගියේ තමාට කොතරම් සුදුසුකම් තිබුණත් එම පක්ෂයේ නායකයාවීමට ඉඩක් නැතැයි කියන විශ්වාසය නිසාය. බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව බණ්ඩාරනායකගේ වැන්දඹු බිරිඳ ශ්‍රීලනිපය ගොඩ නගන ලද්දේ එම පවුලට හිමි බූදලයක් ලෙස සලකාය. 1977 මැතිවරණයේදී එජාප අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ පවුල හඳුන්වන ලද්දේ පවුල් ගසක් ලෙසය. ඒ සඳහා කාටූන් පොතක්ද පළකර තිබුණි.
රාජපක්ෂවරුන් දේශපාලනයේදී පවුල් බලයට ලැබෙන වැදගත්කම ඉගෙන ගන්නට ඇත්තේ සේනානායකවරුන්ගෙන්, ජයවර්ධනවරුන්ගෙන් හා සිරිමා බණ්ඩාරනායකගෙනි. අවසානයේ එම විෂයෙහි කෙළ පැමිණි අය බවට පත්වූයේද රාජපක්ෂවරුන්ය.


ජේ.ආර්. ජයවර්ධන


තමන්ට රකින්නට කුමාර කුමාරිකාවන් නැති බව 1977 මැතිවරණ කාලයේදී ජේ.ආර්. ජයවර්ධන කීවද ඔහුද පවුලේ බලය ගැන ලොකු සංවේදීතාවක් පෙන්නුම් කළ නායකයෙකි. 1977දී අනාගත නායකයන් සඳහා පෝලිම සකස් කිරීමේදී ඒ වන විට ඉතාමත් තරුණ වියේ පසුවූ තම පවුලේ වැදගත් පුරුකක් වූ රනිල් වික්‍රමසිංහ පෝලිමේ වැදගත් තැනක තබන්නට ඔහු අමතක නොකළේය.


ජනාධිපති ජයවර්ධන රනිල්ට විදේශ නියෝජ්‍ය ඇමතිකම දී, ඉන්පසු පළමු කැබිනට් මණ්ඩල සංශෝධනයේදීම කැබිනට් ඇමති ධුරයකට පත් කරන ලදි. පවුලේ උරුමය අනුව තමන්ගෙන් පසුව පක්ෂ නායකත්වය රනිල්ට ලැබිය යුතු යැයි ජනාධිපති ජයවර්ධනගේ අපේක්ෂාව වූවා විය හැකිය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක ඝාතනයට ලක්වීමෙන් පසුව බලවත් අභියෝගයකින් තොරව පක්ෂ නායකත්වය හිමිකර ගැනීමට රනිල් සමත් විය. ජයවර්ධන හා ප්‍රේමදාස යන නායකයන් දෙදෙනාම පක්ෂය පාලනය කළේ ගණන්කාර නායකයන් සිය කණ්ඩායම පාලනය කරන ආකාරයටය. ඒ මගින් පක්ෂ නායකයා කෙරෙහි වන උපරිම බය පක්ෂපාතීත්වයක් පක්ෂය තුළ පවත්වාගෙන යාමට එම නායකයෝ දෙපළ සමත් වූහ.

රනිල්ගේ සීමිතකම්


එහෙත් පූර්වගාමී නායකයන් දෙදෙනාට තිබූ ගණන්කාර උරුමය රනිල්ට තිබුණේ නැත. රනිල් වැනි නායකයකු එම තත්ත්වය ලබාගත යුතුව තිබුණේ පක්ෂයේ වැඩවසම් ස්වරූපය වෙනස් කොට ප්‍රජාතන්ත්‍රවාදී කිරීමෙනි. ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ඕනෑවටත් වඩා රනිල්ට තිබුණද, පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කොට ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස ස්ථාපිත වීමට රනිල් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ වෙනුවට පක්ෂය ව්‍යවස්ථාවේ ඒකාධිපති ස්වරූපය වර්ධනය කරගනිමින් පක්ෂයට ඒකාධිපති නායකයකු වෙමින් රටට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වීමට උත්සාහ කෙළේය.
ජනාධිපති ජයවර්ධන අතින් එජාප ශක්තිමත් කිරීමක් සිදුවූවා සේ ම පක්ෂය උපරිම මට්ටමකට දූෂිත කිරීමක්ද සිදුවිය. පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් සඳහා රටේ තිබුණු නීති අහෝසි කිරීම නිසා එජාපයද කළු සල්ලිවලින් යැපෙන පක්ෂයක් බවට පත්ව තිබුණි. මන්ත්‍රීවරුන් සඳහා පැවති රටේ නීතියටත්, ලෝකයේ පැවති පිළිගත් සදාචාරයටත් පටහැනි ලෙස මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමග ව්‍යාපාර කරන්නට ඉඩදීම නිසා පක්ෂය පමණක් නොව, පාර්ලිමේන්තුව හා මුළු දේශපාලන ක්‍රමයම දූෂණයෙන් කුණුවූ තත්ත්වයකට පත්ව තිබුණි.

ජනාධිපති ජයවර්ධන විසින් වස්තු කොල්ලය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත් කොට තිබුණි. දූෂණය ලංකාව විනාශය කරා යන ගමන කෙරෙහි බලපෑ ප්‍රධාන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. රනිල්ට ලංකාව මුදා ගැනීමට අවංක වුවමනාවක් වී නම් දූෂණයෙන් රට මුදා ගන්නට පෙර දූෂණයෙන් පක්ෂය මුදාගත යුතුව තිබුණි. මොන හේතුවක් නිසා හෝ ඒ සඳහා වන අභිලාෂයක් රනිල්ට නොතිබුණි. ඒ මගින් රනිල් අවශ්‍ය තරම් දැනුම තිබියදී ශ්‍රී ලංකාව සඳහා වන අව්‍යාජ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් වෙනුවෙන් පෙනී සිටීමට තිබෙන හැකියාව අහිමි කර ගත්තේය. ඔහු 2001 පාර්ලිමේන්තු බලය ලබාගන්නා විට අධිකරණය දූෂණයෙන් වෙලාගෙන තිබුණු බව හොඳටම දැන සිටියේය. එහෙත් ඒ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය තරම් බලය තිබුණත්, ඒ තත්ත්වය ගල් ගැසෙන්නට ඉඩ හැර බලා සිටියා මිස ඵලදායී කිසිවක් නොකළේය.


උගුලට අසුවීම


නූතන අර්ථයෙන් ලංකාව පරිණත දේශපාලන නායකයන් බිහිකළ රටක් ලෙස සැලකිය නොහැකිය. එසේ වුවත් රනිල් සමකාලීන දේශපාලකයන් අතර සිටි වැඩිම දැනුමක් හා පළපුරුද්දක් තිබූ නායකයා ලෙස සැලකිය හැකිය.
රනිල් සැලකෙන්නේ දේශපාලනයේදී හොඳ උගුල් අටවන්නෙකු ලෙසය. අවසානයේදී ඔහු දේශපාලන වශයෙන් නැතිභංග වූයේද ඔහුට එරෙහිව අටවන ලද උගුලකට හසුවීමෙනි. මම යහපාලන වැඩසටහන එහි ආරම්භයේ සිටම දැක්කේ මහින්ද රාජපක්ෂ පමණක් නොව රනිල් වික්‍රමසිංහද පරාජය කොට තුන්වැනි පිරිසක් තමන් වෙත අනියම් ලෙස බලය ලබා ගැනීමේ අරමුණින් සෝභිත හිමියන්ගේ නාමයද යොදාගෙන ක්‍රියාවට නගමින් තිබුණු සටකපට වැඩසටහනක් ලෙසය. මා ඒ ගැන ඒ කාලයේ ප්‍රසිද්ධියේ කතා කර තිබෙනවා සේ ම ලියාද ඇත්තෙමි.


පොදු අපේක්ෂකයකු අවශ්‍ය යැයි කියන තර්කය යොදාගෙන තිබුණේ මහින්ද රාජපක්ෂ වැනි බලවත් නායකයකු, පරාජය කිරීමේ ශක්තිය රනිල්ට නැතැයි කියන තර්කය සනාථ කිරීම සඳහාය. එහෙත් 2005දී මහින්ද සමග තරග කොට රනිල් පරාජය වූයේ ප්‍රභාකරන්ගේ මැතිවරණ වර්ජනය නිසාය. එජාපයට සිටින සුදුසුම අපේක්ෂකයා රනිල් නොවේ නම් සුදුසු අපේක්ෂකයකු සොයා ගත යුතුව තිබුණේ එම පක්ෂයෙන් මිස පිටස්තරින් නොවේ. එම පක්ෂයේ ජන බලයෙන් පිටස්තරයකු බලයට ගෙනාවිට බරපතළ අවුල් ඇතිවීම නොවැළැක්විය හැකිය. අනෙක් අතට එය එම පක්ෂයට කරන ලොකු අසාධාරණයක්ද වන්නේය. අනෙක් අතට පිටස්තරින් බලයට ගේන පුද්ගලයා තමන්ට ලැබෙන අතිවිශාල බලය වැරදි ලෙස යොදා ගතහොත් එය පාලනය කිරීමට ක්‍රමයක් තිබිය යුතු වුවත් එවැන්නක් එම වැඩසටහනට ඇතුළත්ව තිබුණේ නැත. එම සූත්‍රය සමග ඉදිරිපත් කර තිබූ ප්‍රතිසංස්කරණ වැඩසටහනද රටට අවශ්‍ය වී තිබූ සැබෑ ප්‍රතිසංස්කරණ අවශ්‍යතා නොසලකා සකස් කරන ලද බොරු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ලෙසද සැලකිය හැකිය.

මා මෙම වැඩසටහනේ භයානකත්වය ගැන මා දරන අදහස් රනිල් සමග කතා කළෙමි. ඒ වනවිට පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන තෝරාගෙන නොතිබුණි. එජාප ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ හැකිනම් එවිට පොදු අපේක්ෂකයා පිළිබඳ සිහිනය බිඳ වැටි එජාපයට තරග කිරීමේ අවස්ථාව ලැබෙනු ඇති බවත් මුලදී සුළු සුළු ප්‍රශ්න ඇතිවිය හැකි වුවත් පසුව සියලුම මහින්ද විරෝධීන් එජාප අපේක්ෂකයාට සහාය දෙනු ඇති බවත් මම කීවෙමි. රනිල් මගේ අදහස්වලට සවන් දුන්නා පමණක් නොව ඒවා පිළිගන්නා බවද කීවේය.


ඉන්පසු මම කරු ජයසූරිය මහතාද හමුවී පොදු අපේක්ෂකයකු පිළිබඳ වැඩසටහනේ පංගුකාරයෙකු වීම ගැන ඔහුට දොස් කියමින්ම එය ඇති කළ හැකි බිහිසුණු ප්‍රතිඵල ගැන කරුණු පැහැදිලි කිරීමක්ද කළේය. ඉන්පසු මා සෝභිත හිමියන්ද හමුවී ඒ ගැන කතා කළෙමි. උන්වහන්සේ හමුවන්ට ගිය ගමනට මනෝ තිත්තවැල්ල හා සුමතිපාල කාරියවසම්ද සහභාගි වූහ. මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට අවශ්‍ය නම් එය විධිමත් ක්‍රමයකට මිස, අවිධිමත් ක්‍රමයකට කරන්නට යාමෙන් විනාශකාරී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි බව මම කීවෙමි.


රනිල් අවසානයේ මෛත්‍රීපාල සිරිසේනට කැමති වූයේ ඔහු වෙනුවෙන් චන්ද්‍රිකා දෙන ලද සහතිකය නිසාය. චන්ද්‍රිකාගේ අනුග්‍රහය නිසා යහපාලන වැඩසටහන පිටුපස සිටින රනිල් විරෝධීන්ට මෛත්‍රීපාල සමග ලොකු ගනුදෙනුවකට යන්නට ඉඩ නොලැබෙනු ඇතැයි රනිල් විශ්වාස කළේය. අවසානයේ රනිල් යහපාලන උගුලේ ගැලවිය නොහැකි හිරකාරයකු බවට පත්විය.


2015 ජනාධිපතිවරණයට රනිල් තරග කළේ නම් ළඟ ළඟ තරගයකින් රනිල් ජයගන්නට ඉඩ තිබුණි. ඒ නිසා රටට ලොකු විමුක්තියක් උදාවනු ඇතැයි මා විශ්වාස කරන්නේ නැතත්, එසේ වී නම් රට විනාශය කරා යන ගමන මේ තරම් වේගවත් නොවන්නට ඉඩ තිබුණි.


වැරදුණේ කොතැනද


එසේම දැන් ඇතිවී තිබෙන මහා විනාශයට වර්තමාන පාලකයින් පමණක් නොව පෙර පාලකයින් ද හරිහරියට වගකිව යුතුය. යහපාලනයට සම්බන්ධ සියලු නායකයෝ දැන හෝ නොදැන ලංකාවේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවන්ට වංචා කළෝය. එම ප්‍රතිසංස්කරණ අවශ්‍යතා සකස් වී තිබුණේ මෝඩ ලෙස වුවත් අවශ්‍ය වෙනස්කම් දිනාගැනීමට දරන උත්සහයන් නිසා ජීවිත පූජා කළ දස දහස් ගණනකගේ ලේවලින් සහ ඒ වෙනුවෙන් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ දාඩිය සහ කඳුළුවලිනි.


බොහොමයක් ප්‍රතිසංස්කරණ ආපසු හරවා තිබෙනුයේ පුංචි සවලකින් ගලවා වීසි කෙරෙන ආකාරයටය. ඒවා ශක්තිමත් අතිවාරමක් නැතිව දඩි බිඩියේ වැල්ලේ තනන ලද ප්‍රතිසංස්කරණ බව පැහැදිලිව පෙනේ. අධිකරණය තිබුණේ හොඳටම ජරාජීර්ණ වූ තත්ත්වයකය. එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා වන කිසිම නිවැරදි දැක්මක් එම ආණ්ඩුවට නොතිබුණු අතර ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය විසින් අධිකරණය පිරිසිදු කරදෙනු ඇතැයි මෝඩ ලෙස විශ්වාස කළේය. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පහකිරීම වළකන අධිකරණ තීන්දුව සලකන ලද්දේ අධිකරණය හිමිකරගෙන තිබුණ ප්‍රගතිය අති විශාල ප්‍රගතිය පෙන්නුම් කරන වැදගත් මාපකයක් වශයෙනි. එවැනි තීන්දුවක් ලැබුණේ පොදුවේ අධිකරණය දියුණු තත්ත්වයක තිබුණ නිසා නොව විශ්‍රාම යාමට සිටි අගවිනිසුරුවරයාට ඊට පෙර එම විෂයෙහි යුක්තිය ඉටුකිරීමේ බලවත් අධ්‍යාශයක් තුබුණ නිසාය. ඉන් පසුත් අධිකරණය තුළ සිදු නොවිය යුතු බොහෝ දේවල් සිදුවිය. ඒවා ගැන කිසිදු සොයා බැලීමක් සිදු නොවීය. දැන් ලංකාව එම විෂයේදී සිටින්නේ අගාධයේ පතුළටම ගිය තත්ත්වයකය. ■