ටිරන් කුමාර බංගගමආරච්චි

දේශපාලකයෝ මෙන් ම මහජනතාව ද ඇට්ටරයෝය. රාජපක්ෂලා 2015දී එපා කී ගොඩට ඇදුණේ ඊට පෙර රාජපක්ෂලා අගනේය, වටිනේය කී මිනිසුන්මය. ඒ නිසා ඔවුහු යහපාලනය පෙරළා දමන්නටත් කඟවේනන් සේ ක්‍රියා කළෝය. යහපාලනය නිර්මාණය කළේ ගෙනාවේ අපිවෙම් කියා ස්වයං වින්දනයන් ලැබුවෝ නිකම්ම නිකම් හාල් කෑලි වූයේ මේ යථාර්ථය වටහා නොගත් නිසාය.


1994දී එජාපය පරදා චන්ද්‍රිකා ගෙන එන තැන සිට රැල්ල ගලනුයේ නිල් පාටටය. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටාය. මේ තත්ත්වය ඔහේ යන්න දෙනවා විනා එජාපයට නැවත පණ ගසා නැගිටින්නට ශක්තියත් පණක් නොවීය. ඔවුන් තරගයෙන් ඉබේටම කර ඇරියේය.


ජනතාවගෙන් දිනාගත නොහැකි තැන පාර්ලිමේන්තු බලය ඇල්ලීමට රනිල්ට හැකි වුවත් එය යාදුන්නේම නැත. රනිල් එජාපය කෑ කාබාසිනියාම විය. එහෙත් සියල්ල නැතිවත් ඔහු අද සිටී.


නිල් රැල්ල


චන්ද්‍රිකාගෙන් පණ ගහන ශ්‍රී ලංකා ගමන මහින්දගෙන් ඉහළටම එනුයේ ඔහු යුද්ධය අහවර කළ නායකයා වීම නිසාය. මේ සමගම විද්‍යුත් මාධ්‍ය මෙන් ම සියලු මාධ්‍ය යුද්ධය ඉහළම ප්‍රචාරණ මාධ්‍ය බවට පත් කර තිබුණි. ඒ අනුව යුද්ධය අහවර කළ නායකයා මහින්ද වන විට එහි වටිනාකම ඔහුගේ මහා පෞරුෂ්‍යය ගොඩනගන්නට හේතුවිය. එතෙක් මහින්දව දේශපාලන යෝධයකු මෙන් දැක්කේ නැත. එහෙත් යුද්ධයෙන් පසු ප්‍රභාකරන්ගේ උඩු රැවුල පරදා මහින්දගේ උඩු රැවුල ජනප්‍රිය විය. මහින්දගේ දේහධාරි සිරුර මහා පුරුෂයෙකු නිර්මාණය කළේය. කොටින්ම “මහ රජාණෙනි” ගානටම ඔහු වැටුණි. එසේ නම් නිල් රැල්ල තුළ කොළපාටට, එජාපයට තැනක් නොවීය.

පක්ෂ පාට මැකීම


මෙරට දේශපාලනයේ ශක්තිමත්ම පක්ෂ දෙක මහින්දගේ නැග්මත් සමග දෙදුරුම් කෑවේය. මහින්ද පරාජය කිරීමට එජාපය තුළ ආයුධ නැති තැන පිටින් ගෙනෙන තැනට ඔවුහු තල්ලු වූහ. පොදු අපේක්ෂක චරිතය ගොඩ නැගෙන්නේ ඒ අනුවය. යුද්ධය ඉවර කළේ ෆොන්සේකා මිස මහින්ද නොවන බවට මතයක් වගා කළේය. එහෙත් කවුරු කොහොම කීවත් යුද්ධය අහවර කිරීමේ බලධාරියා මහින්ද විය. ෆොන්සේකා පරාජය විය. ඉන්පසු මහින්ද පරද්දන්නට ගෙනාවේ සිරිසේනවය. එක වල්ලේ පොල්ය. සිරිසේන ඉදිරියේ මහින්ද පරාජය විය. එසේ නම් යුද විරුවා සිරිසේනට පරාජය වූයේ කෙසේද? අමතක නොකළ යුත්තේ නිල් රැල්ල සිරිසේන තමාගේ එකක් ලෙස සැලකීමය. මෙහිදී එජාපය දුන් සහයෝගය, ඡන්ද සිරිසේනට හයියක් වුවද මහින්ද එපා කියා ප්‍රතික්ෂේප කළ පිරිස එනුයේ නිල් රැල්ලෙනි.


2020දී නැවත අහිමි වන්නේ ඒ පිරිසය. සජිත් අන්ත පරාජයකට යනුයේ නැවත රාජපක්ෂලාගේ කෙනෙක් බලයට එන්නේ ඉහත කී නිල් රැල්ල නිසාය. සිරිසේනත් රාජපක්ෂලාගේ නිල් රැල්ලේ කෙනෙකි.


ඒ නිසා කවුරු බලයට එන්න දැඟලුවද වටහා ගතයුත්තේ නිල් රැල්ල තවමත් බලපෑම් සහගත බවය. සිරිසේන, විමල්, ගම්මන්පිලලා හෙට දවසේ රාජපක්ෂලාගෙන් ගැලවී ගියහොත් නිල් රැල්ලේ පිරිසක් එයට ගාල්වනු ඇත. රනිල්ගෙන් ඡන්දදායකයන් ගලවා ගත්තද සජිත්ට කොළ රැල්ලක් හැදිය නොහැකි විය. කොළ පාටට ඡන්දය දුන් එජාපය විනාශ වූයේ එජාපයේ ශක්තිමත්ම පිරිස මහින්දට එකතු වී ඔහුගේ දෑත් ශක්තිමත් කරන්නට වලි කෑ නිසාය. අද දේශපාලන උපාසකයකු වී ඇති කරු ජයසූරිය එම එජාප විනාශයේ ප්‍රධානියාය. ඔහු මහින්දගෙන් කොන්වී හිස් අතින් එජාපයට ආවද අදත් රාජපක්ෂලා ළඟ විරුකම් පානුයේ කරු රැගෙන ගිය උන්ය. කොළපාට සමාජයෙන් පදාසයක් ඒ අනුව නිල් රැල්ලට එකතු විය.

රැලි සුළි


දැන් මේ පිරිස් මුලින් කී පරිදි ඇට්ටරයෝ වී ඇත. මේ අය ලවා 2024දී රාජපක්ෂලා පරාජය කළ හැකිය. එහෙත් හිතන තරම් ලේසි නැත. එනම් ඒ වෙනුවට ගෙනෙන කෙනා කවුද? යන්න බරපතළ ප්‍රශ්නයකි.


මහින්දගෙන් පසු ජනතාව අතර සිටින නායකයා යන පාඨය පුස්සක්ය. දැන් කිසිදු දේශපාලකයකු ජනතාව සමග නැත. ජනතාවටත් දේශපාලකයන් තමන් සමග සිටිය යුතුමය කියා දෙයක් නැත. වුවමනා තමන් සමග බව මවාපෑමය. ඒ සඳහා මාධ්‍ය ඇත. සමාජ මාධ්‍ය ඇත. පාස් ද ෆේල් ද යන්න තීරණය වන්නේ ඒ ඒ දේශපාලන චරිත කරන වැඩ අනුව නොව ඒ අය කරන වැඩ සමාජගත කරන විදිහ අනුවය. හොඳ හෝ නරක ඒ දේ සමාජ ගතවිය යුතුය. චම්පිකගේ 43 සේනාංකය ගෝඨාට එරෙහිව කෙරෙන එවැනි මෙහෙයුමකි. දිලිත්, හිරු රාජපක්ෂලාව මතු කරන අයය. සිරස සජිත්වය. ලංකාදීප රනිල්වය. සෙසු මාධ්‍ය තම සිතැඟි පරිදිය.


මේ පිරිස් හොඳ නරක දෙකම හරහා තම දේශපාලන ව්‍යාපෘතිය ශක්තිමත් කරති. සමාජයට, ජනයාට වඩා සමීප දේශපාලකයා හමුවනුයේ මේ මාධ්‍ය සාර්ථකත්වය මතය. සර් ෆේල් කියන එක තරමටම “අපි තමයි හොඳටම කළේ” යන්නත් මිනිසුන් අතර ජනප්‍රිය විය. එසේ නම් තවමත් වඩා ජනප්‍රිය ගෝඨා නොවේද? ජනතාව තුළ ජප වන මන්තරය ගෝඨා නොවේද? ඉක්මන් සහනය ගෙන කල්පනා කළ යුතු ප්‍රශ්න එමට ඇත. ■