ලංකාව ප්‍රතිනිර්මාණය කළ යුතුය. එසේ කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඇතිවීම වැදගත්ය. බරපතළම ප්‍රශ්නය වනුයේ රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරන්නේ කවුද යන්නය. එය ජනපති ගෝඨාභය රාජපක්ෂට කළ හැකිද? සජිත් ප්‍රේමදාසට හෝ රනිල් වික්‍රමසිංහට හැකිද? නැතහොත් ජවිපෙට හැකිද? ඒ සියල්ලන්ගෙන් පරිබාහිර අලුත් සමාජ ව්‍යාපාරයක් ඒ සඳහා අවශ්‍යද යන්න මෙවැනි කාලයක සාකච්ඡා කළ හැකිද? තත් සමය වනාහී සෑම අංශයකින්ම ලංකාව අගාධය කරා යමින් තිබෙන වකවානුවකි. දියේ ගසාගෙන යනවිට පිදුරු ගසේ හෝ එල්ලෙනවා විනා ඉවසීමෙන් ප්‍රශ්නය දෙස බැලීමක් සිදු නොකෙරෙයි. ගඟේ ගසාගෙන යන ප්‍රශ්නයට මැදිව සිටින්නේ සාමාන්‍ය ජනයාය. දේශපාලන නායකයන්ට එම ප්‍රශ්නය ඒ සා අදාළ නැත. මන්ද ඔවුන් සිටින්නේ ඉවුරුබඩය. ඉවුරුබඩ ඉඳගෙන ඔවුන් කරන්නේ තමන්ගේ ප්‍රශ්නයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය. ලොකුම අර්බුදය වන්නේ රටේ ප්‍රශ්නයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණවලට ඒ කිසිවෙක් අත නොගැසීමය.


මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් කී පරිදිම ලංකාවේ නායකයන්ට බලය ඇතිවිට මොළේ නැත. මොළේ තරමක් හෝ වැඩ කරන්නට පටන් ගන්නා කාලයට බලය නැත. නිදසුනක් ලෙස අද වන විට පරාජය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ඉල්ලන එජාප නායක රනිල් වික්‍රමසිංහ බලය ඇතිවිට ජීවත් වන්නේ ඔහුගේම වූ සිහින ලෝකයකය. ඉන් මිදෙන්නේ බලය අහිමි වූ විටය. බලය අහිමි කරගන්නා ඕනෑම නායකයෙකුට ඉක්මනින් බලයට පත්වීමද අපහසු නැත. එය ඉක්මන් වී තිබෙන්නේ බලය ලද නායකයා බලය ඇති කාලයේ මොළේ පාවිච්චි නොකරන නිසාය. වත්මන් ජනපති දක්වා සෑම නායකයෙක්ම මේ ප්‍රශ්නයට මුහුණ පෑහ. බලයට පත්වන සීරු මාරු අවදියේ ඔවුන් තුළ දක්නට ලැබුණු ප්‍රබුද්ධත්වය බලය ලැබී ඉතා ඉක්මනින් දියවී යයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැනත්, වගවීම ගැනත් දෙසූ නායකයෝ හදිසියේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරති. නීතිය කෙළෙසති. උපදේශකයන් මග හරිති. සියල්ල දත් බව සිතති. නායකයන් මොළේ පාවිච්චි නොකිරීමෙන් පරිහානියට පත්වන්නේ ඔවුහු නොවෙති. රටෙහි ජනයාය.


රනිල් වික්‍රමසිංහ මහතා බලය නැති අවදියේ විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය පාලනයක් සඳහා ඕනෑම සංකීර්ණ යෝජනාවලියක් හිස් මුදුනින් භාර ගන්නවාට සැක නැත. දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් සඳහා කැපවන බව දිවුරා කිව හැකිය. එහෙත් ඔහුට බලය තිබුණු අවදියේ රටේ මහා මංකොල්ලයකට මග පෑදුවේය. එහි ප්‍රමුඛයන් ඔහු බලය යොදා නිදොස් කිරීමට වෙර දැරුවේය. වත්මන් ජනපති සහ අගමැති ඔවුනොවුන්ට අවශ්‍ය අය නිදොස් කරගන්නා ආකාරයට එය සිදුකර ගත නොහැකි වූයේ වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදයට ඇහුම්කන් දෙන නිසාද, අදක්ෂ නිසාද යන්න වෙනම සලකා බැලිය හැකිය. විශිෂ්ට කළමනාකරුවකු ලෙස ප්‍රසිද්ධ ඔහු අගමැති වූ සැණින් කළමනාකරණයේ අදක්ෂයකු වූයේය. ඒ මහතාට බලය තිබුණු අවදියේ ඔහු තනතුරු දුන්නේ දක්ෂයින්ට නොව හිතවතුන්ටය. විෂය ප්‍රාමාණිකයෝ පැත්තක සිටියහ. යහපාලනය තුළ නින්දාසහගත ගැටුම් ඇති කර ගත්තේය. සිරිසේන මහතා වැනි දුබල නායකයකු උගත් වික්‍රමසිංහ විසින් යහපාලන මගට හරවා ගත යුතුව තිබුණි. රටේ ජාවාරම්කාර ආර්ථිකය නවත්වා නිෂ්පාදන ආර්ථිකයක් සක්‍රිය කරවීමට නායකයෝ දෙපළටම වුවමනාවක් නොවූහ. වළකාගත හැකිව තිබුණු පාස්කු ප්‍රහාරය ඔවුහු වළකා නොගත්තෝය. යළි දේශපාලන ක්‍රමය ප්‍රතිසංවිධානය කරන්නැයි මෙවැනි නායකයන්ගෙන් අප ඉල්ලා සිටිනවාද? ශානි අබේසේකරටත් අද වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ මෙම නායකයන්ගේ රස්තියාදුකාර වැඩසටහන් නමැති මර උගුල්වල සිරවීම නිසාය. අබේසේකර මහතා දක්ෂ පරීක්ෂකයකු වුවත් නොබැඳි ප්‍රතිපත්තියකින් පරීක්ෂණ කිරීමට යහපාලකයන් ඔහුට ඉඩදී නැති බවක් පෙනෙයි. හඬ පට සත්‍යම නොවන්නේ යැයි තර්ක කළ හැකි වුවත් ඒවා අසත්‍යම යැයි ඔප්පු කිරීමද කළ නොහැකිය.


ජවිපෙද යහපාලන සමය තුළදී ගුහාගත බවෙන් එළියට ආ බවක් නොපෙනුණි. මහජන නියෝජිතයන් ආණ්ඩුව සමග ව්‍යාපාර කිරීම දූෂණයට මගහෙළි කරන්නක් බවත් එවැනි ක්‍රියා නතර කිරීමට ඇති නීති සක්‍රිය කිරීම උදෙසා වැඩ කළ යුතු බවත් යෝජනා කරන විට ජවිපෙ කීවේ තම පක්ෂයේ අය පාර්ලිමේන්තුවට යැව්වහොත් ඔවුන් ආණ්ඩුව සමග ව්‍යාපාර නොකරන බවය. මජර ගලන පසුබිම තුළින් ක්ෂුද්‍ර වාසියක් සොයා යෑම නොකළ යුත්තකි. පසුගිය දිනක ඇමති සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රචණ්ඩ එල්ටීටීඊය නිශේධනය කරමින් ප්‍රචණ්ඩ ජවිපෙ සාධනීය කළේය. ජවිපෙ එහිදීත් වීරසේකරගේ කබරගොයා තලගොයා බවට පත්කිරීමේ දුර්වර්ණ සහතිකය වචනයකින්වත් ප්‍රතික්ෂේප නොකළේය. ජවිපෙට කට්ටිවාදී පටු ආකල්පයෙන් මිදීම දිගටම අපහසු විය. ජවිපෙ නායකයා පාර්ලිමේන්තුව තුළ ප්‍රබල ප්‍රහාරකයෙකි. එහෙත් රටේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම අරභයා සංයුක්ත අදහසක් ඔහුට ඇති බවක් නොදිසේ. රනිල් වික්‍රමසිංහ තමන්ට වැරදුණු තැන සොයමින් සිටින්නේ යළි බලයට ඒම පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙන නිසාය. ජවිපෙට එවැන්නක් නොමැති නිසා වැරදුණේ කොතැනද නොසොයා පැරණි ප්‍රහාරක දිවියම ගෙවනු පෙනේ.


ජනපතිට හෝ අගමැතිට ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කරගැනීමට වුවමනා නැත. මන්දයත් තමන් මෙහෙයවන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී යැයි ඔවුහු සිතති. ක්‍රමය ප්‍රජාතන්ත්‍රීය කිරීම, මූල්‍ය විනය ඇති කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය, ජාතීන් අතර සහජීවනය මෙන්ම පරමාධිපත්‍යය බලය තහවුරු කැරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම රනිල් වික්‍රමසිංහගේ හෝ ජවිපෙ වැඩක් නොව ජනපතිගේ, අගමැතිගේ, ටීඑන්ඒ සංවිධානයේ මුස්ලිම් පක්ෂ ආදී සියල්ලන්ගේම මැදිහත්වීමෙන් සිදුවිය යුත්තකි. ප්‍රබල ආමන්ත්‍රණයක් අවශ්‍ය ඒ සඳහාය. ■

1 COMMENT

  1. බොහෝවිට දේශපාලකයා කරන්නේ තමන්ගේ බලය සදහා මාවතක් තනාගැනීම. නමුත් JVP අවකාශය තුල කරන්නේ ප්‍රශනයක් හොයාගෙන එක මුව හැමට තලනවා වගේ ප්‍රශ්න කිරීම. 2015 තිබුන දේසපාලන සැලැස්ම අද කිසිම කන්දමයකට නෑ. ජනාධිපති වටේ ඉදන් තම බලය පවත්වා ගැනීමයි හැමෝගෙම උත්සාහය.

Comments are closed.