ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් සිහිගන්වමින් සිදුවන දැවැන්ත වැලි කැණීමක් පිළිබඳ කන්තලේ තුන්මෝදර ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව පසුගිය කාලයේ සිට දිගින් දිගටම වාර්තා වූයේ ය. දැවැන්ත ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් මේ වන විට සිදුවන බව පැහැදිලිව පෙනෙන මේ වැලි කැණීම දැඩි පරිසර හානියක් වන අයුරින් සිදුවෙමින් තිබෙන්නේ රාජ්‍ය අනුග්‍රහය ද සහිතව ය. මේ, මහවැලි ගඟේ එක් පසෙක ඇති වැලි නිධියක් කැණ එයින් ලැබෙන ආදායමෙන් ගඟේ අනෙක් පස ගංවතුර ආරක්ෂණ බැම්ම කළුගල් අතුරා ශක්තිමත්ව ඉදිකිරීමට යැයි පවසමින් ආරම්භ වූ වැඩ පිළිවෙල කි. එහෙත් බැම්ම සෑදීම වෙනුවට මේ වන විට සිදුවෙමින් තිබෙන්නේ ඊට මුවා වී දැවැන්ත වැලි ව්‍යාපාරයක් ක්‍රියාත්මක වීම ය.


බැම්ම පෙන්වා වැලි කැණීම


“අවුරුද්දකට විතර කලියෙන් ඉඳලා මේ අය ගල් බැම්මක් දානවා කියන මුවාවෙන් ගඟට බැකෝ දාලා වැලි ගන්නවා. ගල් බැම්ම දානවා කියලා කරන්නේ වංචාවක්. පහුගිය ආණ්ඩුවට ගල් බැම්ම දාන්න සල්ලි නෑ කියලා වැලි කට්ටය අරගෙන ඒ සල්ලි වලින් ගල් බැම්ම දානවා කියලා තමයි පටන් ගත්තේ. දැන් ගල් බැම්ම හැදෙන්නේ නෑ, ඒ අයගේ වැලි ව්‍යාපාරය කරගෙන යනවා.” ඒ ගම්වාසියෙක් අප සමග පැවසූව කි.


කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සූරියපුර ග්‍රාමනිලධාරී වසමේ ගංවතුර ආරක්ෂණ වේල්ල ඛාදනයට ලක්වීම යම් අවදානමක් ඇති කරමින් තිබුණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදිකර තිබෙන සූරියපුර ගංවතුර ආරක්ෂණ වේල්ල මහවැලි ඩී කලාපයට අයත් ය. සූරියපුර, සමගිපුර, සමනල පාලම විල්ලුව යනාදී ආසන්නතම ගම්මානවල පවුල් 300ක් පමණ මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ආරක්ෂා වන්නේ එම වේල්ලෙ නි. කින්නියා දක්වා වන පහත් බිම් වලට ද ඉන් ආරක්ෂාව සැපයෙන්නේ ය. සූරියපුර ගංවතුර ආරක්ෂණ වේල්ල රැක ගැනීම හා එම ස්ථානයේ ගඟේ වම් ඉවුරේ පැවති ඛාදන තත්ත්වය වැළැක්වීම සඳහා මහවැලි ගඟේ ඒ ආශ්‍රිතව තැන්පත්ව තිබූ වැලි නිධියෙන් වැලි කියුබ් 30000ක් ඉවත් කළ යුතු යැයි 2016 දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිර්දේශ ලබා දී තිබුණි. මහවැලි ගඟේ තුම්මෝදර නම් ස්ථානයේ වැලි නිධිය සෝමාවතී ජාතික වනෝද්‍යානයට අයත් වනජීවී කලාපයට අයත් බැවින් ඊට වනජීවී සංරක්ෂණ දේපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබුණේ නැත.


පසුව ජීඑස්එම්බී ටෙක්නිකල් සර්විස් පුද්ගලික සමාගම (GSMB Technical Services(Pvt)Ltd) විසින් 2018 සැප්තැම්බර් මස නිකුත් කර තිබූ තාක්ෂණික වාර්තාවකින් තහවුරු වන්නේ වරින් වර එම වැලිපරය සේදී ගොස් ඒ වන විට ඉන් ඉතිරිව තිබෙන්නේ සුළු ප්‍රමාණයක් බව ය. එම වාර්තාවට අනුව එහි ස්ථාන හතරක තැන්පත්ව ඇති වැලි ප්‍රමාණය කියුබ් 18,186 කි. ඉන් ආපදා තත්ත්වයක් ඇති විය හැකි යැයි නිරීක්ෂණය කර තිබූ සූරියපුර ගංවතුර ආරක්ෂණ වේල්ල අසල වූ තුම්මෝදර වැලි නිධියේ ප්‍රමාණය කියුබ් 8484ක් බව එම සමීක්ෂණයෙන් සඳහන් කරයි. එහෙත් 2018.11.25 දින මහවැලි අධිකාරියෙන් නිර්දේශ කරන ලද ලිපියක් මගින් ඇස්තමේන්තු කරන්නේ එහි ඇති වැලි කියුබ් ගණන 131,028 ක් ලෙස ය. මේවා සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයේ ඇති තාක්ෂණික උපකරණ හෝ තාක්ෂණික සම්පත් ද නොමැති ආයතනයක් එවැනි තක්සේරුවක් කරන්නේ කෙසේද යන්න ද ගැටලුවකි.


කෙසේ වෙතත් ඒ වන විට ගංවතුර ආරක්ෂණ බැම්මේ ගල් ඇතිරීම සඳහා ප්‍රතිපාදන සෙවීමට වැලි නිධිය කැණීමෙන් ලබා ගැනීමට තීරණය වී තිබුණේ ගල් බැම්ම වෙනුවෙන් පසුගිය ආණ්ඩුවට ප්‍රතිපාදන යෙදීමට නොහැකි තත්ත්වයක් මත ය. ඉන් පසු ජනාධිපති ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ සිරිසර පිවිසුමේ ව්‍යාපෘතිය සඳහා මෙම වැලි නිධිය කැණීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත ශිල්පීය කැණීම් බලපත්‍රයක් ලබා දී ඇතත් පසුව මහවැලි අධිකාරිය හා ජී.එස්.එම්.බී. ටෙක්නිකල් ස්ර්විසස් ආයතනය වැලි නිධිය ඉවත් කිරීමට ඉදිරිපත්ව ඇති අතර ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිර්දේශ ලබා දී ඇත. රාජ්‍ය ආයතනයක් විසින් මෙම ඉවත් කිරීම කළ යුතු වුවත් අවසානයේ සිදුව ඇත්තේ වැලි ඉවත් කිරීමට සමගාමීව ගල් බැම්ම යෙදීමේ පදනම මත මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන් එය ජී.එස්.එම්.බී ටෙක්නිකල් සර්විසස් ආයතනයට ලබා දීම ය. වැලි නිධියෙන් වැලි කියුබ් 131,028ක් ඉවත් කිරීමේ තාක්ෂණික ගණනය කිරීම කුමක් දැයි පැහැදිලි වන්නේ ද නැත. කෙසේ වෙතත් අවසානයේ සිදුවන්නේ ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විසස් පුද්ගලික සමාගම මෙම ව්‍යාපෘතියෙහි කොන්ත්‍රාත්කරුවන් බවට පත්වීම ය.

රාජ්‍ය අනුග්‍රහයෙන් පරිසර විනාශය


“සෝමාවතිය රක්ෂිතය ඇතුළට හරක් බලන කෙනෙක්ටවත් යන්න දෙන්නේ නැහැ. නමුත් දැන් මේ සමාගමේ ට්‍රැක්ටර්, ටිපර් තුන්සීයක් විතර යනවා. ගඟට බැකෝ දාලා වැලි ගොඩනදානවා. ඒ පැත්තට වෙන කාටවත් යන්නවත් දෙන්නේ නැහැ. භූ විද්‍යා එකෙන් මහැවැලි ගඟට යන්ත්‍ර දාන්න දෙන්නේ නැහැ. බෝට්ටු වලින් ගිහින් මිනිස් ශ්‍රමයෙන් තමයි වැලි ගන්න කියලා තියෙන්නේ. අපි වැලි ගන්නේ එහෙමයි. අපි මේ ගමේ මිනිස්සු නිසා අපිට ගඟට හානියක් කරන්න ඕනෑ නැහැ. ඒත් මේ අය රාජ්‍ය අනුග්‍රහයෙන්ම දැන් මේ පරිසරය විනාස කරනවා.” අපට ඒසේ පැවසුවේ කන්තලේ ප්‍රදේශයේ වැලි කර්මාන්තයේ නියුතු ගම්වැසියෙකි.


සේරුවිල-කන්තලේ මාර්ගයේ මහවැලි ගඟ හරහා වන සිත්තාරු පාලමේ සිට සෝමාවතී රක්ෂිතය තුළට කිලෝමීටරයකටත් අඩු දුරකින් පිහිටි තුම්මෝදර වැලි නිධියෙන් වැලි කැණීම සිදුවන්නේ මහවැලි ගඟ තුළට බැකෝ යෙදීමෙන් බව අපේ නිරීක්ෂණය ද වූයේ ය. එමෙන් ම කෙටි කාලයක් තුළ ටිපර් රථ, ට්‍රක් රථ, ට්‍රැක්ටර් රථ විශාල ප්‍රමාණයක් සෝමාවතී රක්ෂිතය හරහා වැලි කණින ස්ථානය වෙත යමින් එමින් වැලි ප්‍රවාහනය කරන ආකාරය නිරීක්ෂණය වූයේ ය. එම වැලි සේරුවිල කන්තලේ ප්‍රධාන මාර්ගයේ පිහිටි විශාල ඉඩමක ගබඩා වන අතර එම ස්ථානයේ ද ටිපර් රථ, ට්‍රැක්ටර්, ට්‍රක් රථ අති විශාල ප්‍රමාණයක් තිබෙන්නේ වැලි ප්‍රවාහනය සඳහා ය. මෙම ස්ථානයට ආරක්ෂක අංශවල රැකවරණය ද ලැබෙන්නේ ය.


ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විස් පුද්ගලික සමාගම යනු පෞද්ගලික ආයතනයක් වුව ද එම ආයතනයේ සංයුතියේ වැඩි ප්‍රතිශතය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය යි. එහි සභාපතිවරයා වන්නේ ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාම ය. ප්‍රධාන විධායක නිලධාරියා ද දේශපාලන පත්වීම කි. ආයතනය පාලනය වන්නේ ද සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයකි නි. මෙම පෞද්ගලික ආයතනයෙහි කාර්යභාරය ලෙස සඳහන් වන්නේ ඛනිජ තාක්ෂණයේ ඉහළ කාර්ය සාධනයක් සහ පාරිසරික කළමනාකරණය සඳහා විශිෂ්ඨ වාණිජමය උපස්ථරණයක් සැපයීම යි. එහෙත් මේ වන විට මේ පුද්ගලික ආයතනය එය පිහිටුවීමේ අරමුණු වලට එහා ගොස් වැලි කැණීමේ ව්‍යාපාරයන් ඉහළින්ම සිදුකරමින් සිටින බව පැහැදිලි ය. එම කැණීම් වලට සාමාන්‍ය වැලි බලපත්‍ර වලට ලබා දෙන කොන්දේසි ද අදාල නොවන බව තහවුරු වන්නේ ය.


“අපි මේකට විරුද්ධව උද්ඝෝෂණ කළා. ඒත් ආරක්ෂක අංශයෙනුත් ඇවිත් උදවු කළේ ඒ අයට යි. අපි මේකට අදාළ හැම රජයේ ආයතනයකටමත් කිවුවා. ඒත් වැඩක් වුණේ නෑ. ලංකාවේ ලොකුම වැලි ජාවාරම වෙන්නේ මෙතනයි. මෙහේ මිනිස්සු ජීවත් වෙන්නේ වැලි කර්මාන්තය නිසා යි. මේක නැති වුණොත් ජීවත් වෙන්න විධියක් නෑ. අපි ගඟේ වැලි ගන්නේ අතින්. ඒකේ සීමාවක් තියනවා. ඒ අයට සීමාවක් නෑ. අපි එක ටිපර් එකක් දාද්දී ඒ අය දහයක් විතර දානවා. ඒ අය මුලදී අපිත් එක්ක එකතුවෙලා ඕක කරන්න ලෑස්ති වුණත් අපි ඒකට විරුද්ධ වුණා. වැලි සංගම්වල අයට සල්ලි දෙන්න ආවාට ඒ අය ගත්තේ නෑ. පස්සේ ගොවි සංවිධානවල අයව සල්ලි වලින් අල්ලා ගත්තා. දැන් ගොවි සංවිධානයත් පැත්තකට විසි කරලා දාලා.” සිත්තාරු පාලමෙන් අනෙක් පස මහවැලි ගඟේ පහළ කොටසේ වැලි කැණීම් සිදුකරන්නේ ගම්වාසී බලපත්‍රලාභීන් ය. ඔවුන් බෝට්ටු මගින් ගඟට ගොස් මිනිස් ශ්‍රමයෙන් වැලි කැණීම සිදුකරනු ලබ යි. එය ඉතා වෙහෙසකර කාර්යයක් වන නමුත් එයින් යම් මට්ටමකට පරිසර හානිය අවම වන්නේ ය. වැලි බලපත්‍ර ලබා දීමේ දී එවැනි නිර්දේශ ලබා දී තිබෙන්නේ එබැවිනි. එහෙත් මෙහි හාස්‍ය ජනක කරුණ වන්නේ එකම ගඟෙහි පාලමෙන් එක් පසෙක සාමාන්‍ය වැසියන්ට හෝ බලපත්‍රලාභීන්ට ක්‍රියාත්මක වන නීතිය පාලමෙන් අනෙක් පස සෝමාවතිය රක්ෂිතයට ද අයත් කොටසේ තුට්ටුවකටවත් මායිම් නොකිරීම ය. ඒවා ආරක්ෂා කිරීමට ම තිබෙන ආයතනද ඒවා සම්බන්ධයෙන් අරුම පුදුම ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටීමට ය.


අගමැතිතුමාත් දන්නවා


කන්තලේ වැලි ගොඩ දමන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති වසන්ත කුමාර මෙම විනාශය සම්බන්ධයෙන් අප සමග පැවසුවේ මෙවැන්නකි. “ඒ අය ගංවතුර ආරක්ෂණ බැම්ම කැඩෙනවා කියලා ගොවි සංවිධානත් එකතු කරගෙන ඒක මාස හයකින් හදන්න කියලා තමයි ආවේ. පටන් ගත්තේ පහුගිය ආණ්ඩු කාලයේ යි. ඒත් දැන් දිගටම කරගෙන යනවා. අපේ සංගමයෙන් මේකට විරුද්ධව නඩුවකුත් දැම්මත් දිගින් දිගටම ඒ වෙනුවෙන් මුදල් වැය කරන්න අමාරු නිසා ඒක මග දී නතර වුණා. එකම ගඟේ එකම කැණීම් බලපත්‍රයට නීති දෙකක්. මේක සෝමාවතී කැලේ අධි රක්ෂිත කලාපයක්. දැන් මේක වැලි ව්‍යාපාරයක් විධියට දිගටම යනවා. ඒ කාලයේ විපක්ෂ නායකවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහත්මයාව හමුවෙලා අපි මේ ගැටලුව ගැන කිවුවා. අපි වැලි විකුණලා බැමි හදන්නේ නෑ, අපි ආවාට පස්සේ මේක නතර කරලා දෙනවා කියලා ඔහු අපිට පොරොන්දු වුණා. ඒ නිසා වර්තමාන අගමැතිතුමා මේ ප්‍රශ්නය ගැන දන්නවා. ඒත් මේක තවමත් නතර කරන විදියක් නැහැ.”


ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 73000කට පමණ නල ජලය සපයන ජල පොම්පාගරය පිහිටා ඇත්තේ ද මෙම කැණීම සිදුවන ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරකිනි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිර්දේශව වී තිබුණේ ද වැලි ඉවත් කරන ස්ථානය හා ජල පොම්පාගාරය ආසන්නයේ පවතින බැවින් වැලි කැණීමට යන්ත්‍ර සූත්‍ර ගඟට නොදැමිය යුතු බව ය. කැණීම සිදුවන්නේ ද සෝමාවතී රක්ෂිතයට අයත් ඉවුරේ ය, වනජීවී කලාප වලට අයත් ප්‍රදේශවල වැලි කැණීමට ද අවසර හිමි නොවන අතර එසේ අවසර හිමි වූයේ ශේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව මනම්පිටිය ප්‍රදේශයේ ස්ථානයකට පමණි. කෙසේ වෙතත් මාස හයක් තුළ මෙම කටයුතු අවසන් කිරීමට නිර්දේශ වී තිබුණ ද එය එම කාලයට සීමා වී ද නැත. අදාල කොන්දේසි වලට යටත්ව ද නැත. වැලි කැණීමෙන් ලැබෙන මුදලින් මහවැලි ගඟ සහ සූරියපුර ගම්මානය අතර ඇති ආරක්ෂක වේල්ල ඉදිකරන බව පවසමින් ආරම්භ කළත් මේ වන විට එහි දක්නට ලැබෙන්නේ අති දැවැන්ත වැලි කර්මාන්තය කි. මුල් කාලයේ ස්ථාන දෙකක පමණ අවිධිමත් ලෙස අනෙක් බැම්මේ ගල්වැටි කීපයක් ද අතුරා ඇතත් එය එසේ තිබිය දී එහි සිදුවෙමින් පවතින්නේ වැලි ව්‍යාපාරය බව පැහැදිලි ය.


කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන වයි. එම්. චමින්ද බණ්ඩාර ප්‍රකාශ කළේ, මේ වන විට වැලි කර්මාන්තයෙන් ජීවත් වූ ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයකට ද මෙම සමාගම විසින් සිදුකරන ව්‍යාපාරය හේතුවෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුව ඇති බව ය. “දිස්ත්‍රික්කයේ වැලි නිසා සංසරණය වුණු සියලු මුදල් මේ සමාගම අතට යෑමෙන් දිස්ත්‍රික්කයේ වැලි කර්මාන්ත වගේම අනෙකුත් කර්මාන්තත් අඩපණ වෙලා තියනවා. මේ වැලි කර්මාන්තයේ යෙදුණු ගොඩක් මිනිස්සු ක්ෂුද්‍ර මූල්‍ය ණය අරගෙන තියනවා. වැලි කර්මාන්තය අහිමි වෙද්දී ඒ අයට ණය ගෙවන්න විධියක් නැති නිසා සමාජ ප්‍රශ්නත් රාශියක් ඇති වෙලා තියනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරී ත්‍රස්ථවාදයක් මේ ප්‍රදේශයේ තියනවා. නිලධාරීන්ට නීති අදාල නෑ, ඒ අය හිතු මනාපයට වැඩ කරවනවා. මහවැලි ගඟ වනජීවී එකට අයිතියි කියලා කියුබ් 100ක් ගොඩදාන බලපත්‍රලාභියාගෙන් රු.54000ක් දිසා වන නිලධාරී ලබා ගන්නවා. ඊට අමතරව භූවිද්‍යා එකට රාජ්‍යභාගය ගන්නවා. හැබැයි පාලමෙන් එහා පැත්තේ ගොඩදාන සමාගමට ඒවා අදාල නැහැ.

අපේ මිනිස්සු යුද්ධයෙන් දුක් වින්දා. දැන් ඒ අය රාජ්‍ය නිලධාරී ත්‍රස්ථවාදයෙන් දුක්විඳලා හෙම්බත් වෙලා. කිසිම තැනකින් සහනයක් නෑ. මේකට විරුද්ධව මිනිස්සු උද්ගෝෂණ කළා, විරුද්ධ වුණා. ඒත් දේශපාලන බලය එක්ක ඒවා අභිබවා මේ සමාගම පත්වාගෙන යන්න ඒ අය සමත් වුණා. මේ ආණ්ඩුව පත්වෙන්න පෙර මහින්ද රාජපක්ෂ මහත්මයා එක්ක අපි විපක්ෂ නායක කාර්යාලයේ දී මේ ප්‍රශ්නය සාකච්ඡා කළා. මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ මේ සමාගම වහනවා කියලා එතැන දී අපි සියලුදෙනා ඉදිරියේ ඔහු පොරොන්දු වුණා. ඒත් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ඒ සමාගමේ තිබෙන දේශපාලන පත්වීමට අගමැතිවරයාගේ ලේකම්වරයෙක් පත් වුණා. දැන් එයා ඒක කරගෙන යනවා. මේ අය ආවාම මේක ගොඩගන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවා. ඒත් ඒක වුණේ නැහැ.”

සමාගම කරන්නේ රජයේ කටයුතු
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා


ජී.එස්.එම්.බී. ටෙක්නිකල් ස්ර්විස් පුද්ගලික සමාගම සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අතර තිබෙන සම්බන්ධය මොකක් ද?


ඒක රාජ්‍ය ආයතනයක් නෙමෙයි. පුද්ගලික ආයතනයක් විධියට ලියාපදිංචි කරලා තියනවා. නමුත් රජයේ ආයතනයක් විධියට ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒකේ ප්‍රධාන වශයෙන් 60%කට වැඩි කොටස් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයටත්, 20%ක කොටස් මැණික් හා ස්වර්ණාභරණ ආයතනයටත්, 20%කට ආසන්න කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොස්ෆෙට් ආයතනයටත් තිබෙනවා. ඒ සමාගම අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ සමාගමේත් සභාපතිවරයාත් මම යි. ප්‍රධාන විධායක නිලධාරියා ආණ්ඩුවෙන් පත් කර එවනවා. දෙසීයක විතර සේවක පිරිසක් සේවය කරනවා. පෞද්ගලික ආයතනයක් වුණත් රජයට සම්බන්ධ කටයුතු මේ ආයතනය හරහා කරනවා.


සමාගමේ මූලික පරමාර්ථය මොකක් ද?


භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අදාල කටයුතු වලට අවශ්‍ය වන සමීක්ෂණ කොටස සිදුකර වාර්තා සකස් කිරීමට සහාය ලබා දෙනවා. පුද්ගලික ආයතනයකට නොදී රජයේ වගකීමක් සහිත ආයතනයකට ඒ අනුව මේ කටයුතු පවරා තිබෙනවා.


ගල් බැම්මක් දාන මුවාවෙන් දැන් කන්තලේ තුන්මෝදර ප්‍රදේශයේ මහවැලි ගඟේ මහා පරිමාණ වැලි ව්‍යාපාරයක් මේ ආයතනය විසින් කරගෙන යනවා නේද?


හැබැයි දැන් බැම්මේ කටයුතුත් කරනවා, වැලි ගොඩ දාන එකත් කරනවා. හැබැයි මම මේ යන වේගය අනුමත කරන්නේ නැහැ,වේගය මදි. ඉක්මනින් කැණීම නොකළොත් මේක තවත් ඛාදනය වෙන්න පුළුවන්.