ටිරන් කුමාර බංගගමආරච්චි

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කළ පුද්ගල චරිත ගැන ලොකු හා හූවක් සමාජයේ පවතී. එහි දිලිත් ජයවීර චරිතයක් වීම එක කතාවකි. ඩයන් ගෝමස් වැනි අයෙක් සිටීම තවත් කතාවකි. ඒ ජනප්‍රිය කතාය. අපි කියන්න යන්නේ ජනප්‍රිය නැති කතාවක්ය.


2009.02.20 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන අංක 1589/30 මගින් ප්‍රකාශිත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටි සංග්‍රහය රාජ්‍ය සේවයේ පැවැත්ම පිළිබඳ විධිවිධාන ඇතුළත් වැදගත්ම නිර්ණායකවලින් සමන්විත ලේඛනයයි. වත්මන අන් කවරදාටත් වඩා රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිළිබඳ සාකච්ඡාවක් සමාජය තුළ දිග හැරී ඇති මොහොතක කාර්ය පටිපාටි සංග්‍රහයේ විධිවිධාන සහ යථාර්ථය පිළිබඳව වටහා ගැනීමටත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉදිරියේදී, කවර ආකාරයක ඉරණමක් රාජ්‍ය සේවයට අත්කර දෙනු ඇත්ද යන්න වටහා ගැනීමත් වැදගත්ය. එයට ආරම්භය ගතයුත්තේ කාර්ය පටිපාටි සංග්‍රහයෙන්මය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මෑතදී ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබූ පුද්ගලයන් කවර පන්නයේ පුද්ගලයන්ද යන්න විමසා බැලීම වටී. එයින්ම එහි ඉදිරි වැඩ ගැන අවබෝධයක් ලැබිය හැකිය.


කාර්ය පටිපාටි සංග්‍රහයේ 196 වැනි වගන්තිය යටතේ සඳහන් වනුයේ රාජ්‍ය සේවයේ ස්ථාන මාරු පිළිබඳවය. ඒ යටතේ ස්ථාන මාරු සිදු කළ හැකි ආකාරයන් හතරක් දක්වා ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ප්‍රකාශිත පටිපාටියට පරිබාහිර ස්ථාන මාරු කළ නොහැකිය. එහෙත් සිදුවන්නේම එම පටිපාටියෙන් බැහැව ස්ථාන මාරු සිදුවීමය. එය 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ‘ස්වාධීන’ ලේබලය අලවන්නට පෙරත්, පසුත් රිසි සේ සිදුවීමය. 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු එය අන් කවරදාටත් වඩා නරුම ස්වභාවයක් ගනු ඇතැයි සිතිය හැක්කේ එම කොමිෂන් සභාවට පත් කළ සාමාජිකයන්ගේ අතීත ක්‍රියාකලාපය නිරීක්ෂණය කිරීමෙනි.


කාර්ය පටිපාටි සංග්‍රහයේ කුමක් සඳහන් වුවද රාජ්‍ය සේවයේ ස්ථාන මාරු වර්ග හතරට අමතරව නව ස්ථාන මාරු ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුවේ 2016 වසරේදීය. ඒ යහපාලන කාලයේ පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ පී. සිවඥානසෝති මහතා සහ එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා විසිනි. ඒවා මෙහේ බැ පන්නයේ පොත් ලිව්වද දඩල්ලගේ වැනි අය ක්‍රියාවේදී පෙන්නුම් කර ඇත්තේ ඒවා මෙහේ බැරි පන්නයේම වැඩය. මේ දෙපළ හඳුන්වා දුන් නව ස්ථාන මාරු වර්ගය ‘අමාත්‍යාංශය සුමටව පවත්වාගෙන යෑමට බලපෑමට ලක් කරන නිලධාරීන්ට ස්ථාන මාරු කිරීමය. කාර්ය පටිපාටි සංග්‍රහයට ඇතුළත් නැති මෙම ස්ථාන මාරු වර්ගය පිළිබඳ සඳහන් කිරීම සිදුව ඇත්තේ එහි නිර්මාතෘ පී. සිවඥානසෝති මහතාද ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු වන බැවිනි. රාජ්‍ය සේවකයන්ගේ ඉරණම ඉදිරි කාලය තුළ ලියැවෙනු ඇත්තේ එවැනි සාමාජිකයන්ගේ තීරණ අනුව බව කල්තියාම වටහා ගැනීම රාජ්‍ය සේවකයෝ කාටත් ගුණදායකය.


සිවඥානසෝතිගේ නව සොයා ගැනීමේ අතීත කතාවත් මතක් කර දීම වටී. ඩී.එම්. ස්වාමිනාදන් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් කුලියට ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ වන අතර එම ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා පී. සිවඥානසෝතිය. සාමාජිකයන් ලෙස ප්‍රධාන ගණකාධිකාරී ආර්. ඩබ්ලිව්.කේ. පෙරේරා මහතාද, ඩබ්ලිව්.ටී.එන්.ආර්. විතාන මහතාද කටයුතු කළහ. තාක්ෂණික ඇගැයීම් කමිටුවේ සභාපති ලෙස අතිරේක ලේකම් වී. ප්‍රේමචන්තිරන් කටයුතු කළ අතර ඔහුගේ සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කේ.එච්.ජේ. ලංකාදරී සේනාරත්න මහත්මියද ගණකාධිකාරී එම්.එම්.එම්. මාතිර් මහතාද කටයුතු කළහ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ලැබූ ලංසු ඇගැයීම සිදු කළ තාක්ෂණික ඇගැයීම් කමිටුව ඊට අදාළ නිර්දේශ තුනක් ඉදිරිපත් කර තිබූ අතර අවම ලංසුව වූ මාසිකව රුපියල් මිලියන 3.3කට ගොඩනැගිල්ලක් කුලියට ගැනීමටත් එය කළ නොහැකි නම් කුලියට ගැනීම සඳහා වෙනත් ගොඩනැගිල්ලක් සඳහා ලැබී තිබූ ලංසුවක් නිර්දේශ කර තිබුණි. ඉන්පසු ප්‍රසම්පාදන කමිටුව තීරණයක් ගත යුතු වුවත් එය සිදු නොකළ සිවඥානසෝති තාක්ෂණික ඇගැයීම් කමිටුවේ සභාපතිවරයා වූ වී. ප්‍රේමචන්තිරන් මගින් තාක්ෂණික ඇගැයීම් කමිටුව නිර්දේශ නොකළ LEEDONS BUILDERS (PVT) LIMITED ආයතනයේ ගොඩනැගිල්ලක් කුලියට ගැනීම සඳහා වෙනත් තාක්ෂණික ඇගැයීම් වාර්තාවක් පිළියෙළ කර අනිකුත් සාමාජිකයන් වන ලංකාදරී සහ මාතීර් වෙත යොමු කර ඇත. මෙම අවිධිමත් වංචනික තාක්ෂණ ඇගැයීම් වාර්තාව එම නිලධාරීන් දෙපළ විසින් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම නිලධාරීන්ව ස්ථාන මාරු යැවීම සඳහා සිවඥානසෝති විසින් අලුත්ම පන්නයේ කාර්ය පටිපාටියක් නිර්මාණය කරන ලදි. ඒ එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ වෙත අංක 5/1/023 දරන 2016-02-11 දිනැති ලිපිය යොමු කරමිනි.

එම ලිපියට අනුව ඉහත නිලධාරීන් දෙපළ ‘අමාත්‍යාංශය සුමටම පවත්වාගෙන යෑමට බාධාවක්’ බැවින් ස්ථාන මාරු කරන ලෙස ඉල්ලීමය. ඒවා මෙහේ බෑ මචං නොකියා දඩල්ලගේද එකෙන්ම ඊට අනුමැතිය දී තිබුණි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව නමැති රාජ්‍ය සේවයේ බලවත්ම ආයතනයේ කාර්ය පටිපාටි සංග්‍රහය එලෙස වෙනස් කළ නිලධාරීන් සිටිය යුත්තේ කොතැනද යන්න මනාව වටහා ගත් ජනපති ගෝඨාභය ජී. සිවඥානසෝතිට නිසි තැන දී ඇත්තේ ඔහු පත් කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වයක් දීමෙනි. යහපාලනයේ නාමයෙන් නීති කැඩූ අය ජනපති ගෝඨාභයට වටිනා බව පෙනේ.


එදා නිලධාරීන්ට ස්ථාන මාරු දෙමින් සිවඥානසෝති එතැනින් නැවතුණේ නැත. ඔහු විසින් තෝරා ගනු ලැබූ ගොඩනැගිල්ලේ තක්සේරු වටිනාකම මාසිකව රු. ලක්ෂ 30ක් බව තක්සේරු දෙපාර්තමේන්තුව ලවා තක්සේරු කර එම තක්සේරුව වසර දෙකකට වලංගු කරගෙන තිබුණි. සිවඥානසෝතිගේ ඉල්ලීම මත වසර දෙකකට වලංගු වූ මාසිකව රු. ලක්ෂ 30 කුලී වටිනාකම ලක්ෂ 42 දක්වා වැඩිකර දීමට තරම් තක්සේරු දෙපාර්තමේන්තුවද සුමට වී තිබීම පුදුමයකි. එය එතැනින් ඉවර වන්නේද නැත. ගොඩනැගිල්ලට මාස හයක අත්තිකාරම් මුදලක් ගෙවීම සඳහා ප්‍රධාන ගණකාධිකාරී ආර්.ඩබ්ලිව්.කේ. පෙරේරා සහ එම්.එම්. මාතිර් මහතාට යොමු කළ පසු එම ගනුදෙනුව දූෂිත ගනුදෙනුවක් බව එම නිලධාරීන් දැනුම් දීමත් සමග එයින් උරණ වන සිවඥානසෝති ප්‍රධාන ගණකාධිකාරීවරයාටද සුමටව රාජකාරි කිරීමට බාධා කළ හේතුව මත ස්ථාන මාරු ලබා දේ. ඊට එරෙහිව ඒ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් නියෝගයක් ලබා ගැනීමට සමත්වීම නිසා සිවඥානසෝති කිසියම් පරාජයක් ලැබුවද ඉහත ගනුදෙනුව නම් ඔහුට අවැසි සුමට පුද්ගලයින් ලවා කරගෙන තිබුණි. එවැනි පුද්ගලයන් වත්මන් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයන් වීම ගැන කවර කතාද? බොහෝ අය දිලිත්, ඩයන් ගැන කතා කරනමුත් සිවඥානසෝති වැනි අතීත ගේම්කාරයකු අමතක කර ඇත්තේ නොදන්නාකමට විය යුතුය.


කාර්ය පටිපාටි සංග්‍රහයේ මුල් පිටුවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අණ පරිදි එහි එවකට ලේකම් ලෙස කටයුතු කළ එච්.ඩී.එල්. ගුණවර්ධන සඳහන් කර ඇති වදන වැදගත්ය. “අර්ථ නිරූපිත හා කාර්ය පටිපාටිත රීති මගින් ආවරණය නොවන කුමන කරුණක් හෝ පිළිබඳ තීරණ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගනු ලබනු ඇත.”


එසේ නම් එදා අමාත්‍යාංශ සුමටව පවත්වාගෙන යෑමට කියමින් නිලධාරීන් මාරු කළ සිවඥානසෝතිට දැන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස සුමට ක්‍රියාව ඉතා සුමටම ක්‍රියාවට නැගිය හැක.


මෙවැනි පුද්ගලයකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කළ පසු අඩුම තරමේ එදා ඔහු නිසා අගතියට පත් පාර්ශ්වවල වෘත්තීය සමිති පුංචි හෝ විරෝධයක් මතු කරනු ඇතැයි සිතුණද තවමත් එවැනි කෙඳිරියක්වත් නැත. අතේ ඇඟිලි ගාණටත් අඩු සුළු පිරිසක් ඇරුණු කොට ‘සර්’ ගේ මේ පත්වීම්වලට එරෙහිව වචනයක්වත් කතා නොකරති.

සිවඥානසෝති මෙන්ම දිලිත්, ඩයන්, ඇතුළු පිරිස පත අට එකට සිඳ රාජ්‍ය සේවකයන්ට පොවන කසාය ගොළුවන් සේ පානය කරනවා හැර ඉඟියක් හෝ සැපයීමට ඉදිරියේදී රාජ්‍ය සේවකයන්ට කශේරුකාවක් ඉතිරි වේද යන්න සැකය. ■