දිනී ජයසේකර


මහජනතාවට “දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක” බලාපොරොත්තු දුන් රාජපක්ෂ ආණ්ඩුවේ සෞභාග්‍යමත් දැක්ම ගමන් කරමින් සිටින්නේ කොයිබටද යන්න කාටත් ඇති ප්‍රධාන ගැටලුවකි. මහජනතාව මුලා කරමින් තම දේශපාලන අධිකාරීවාදය පතුරවීමට ඔවුහු නොයෙක් උපාය මාර්ග යොදති. මෑත කාලයේ ඊට හොඳම නිදසුන වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සමාජිකයින් පත් කිරීමයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් විය යුතුය. නමුත් දැන් ඊට ව්‍යාපාරික හිතවතුන් පත්කර ඒකාධිකාරීමය තත්ත්වයක් ඇති කර තිබේ. රාජපක්ෂවරුන් තමන්ට අවශ්‍ය පරිදි නීතිය නවන්නා සේ රාජ්‍ය සේවයද නවා ගැනීමට දරන උත්සාහය කොමිෂන් සභා පත් කිරීමේදීද විද්‍යමාන විය.


ස්වාධීන කොමිසමක් දක්වා වූ ඉතිහාසය


ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති සමයේ, 1946 මැයි මස 15 වනදා ලංකා (ආණ්ඩුක්‍රම) රාජඥාව මගින් ප්‍රථම රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත. එමගින් රාජ්‍ය නිලධාරීන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම පිළිබඳ විධායක බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා දෙන ලදි. පසුව 1972 වර්ෂයේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමත් සමග එතෙක් වසර විසි එකක් පුරා ස්වාධීනව ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අහෝසි කර ඇති අතර රාජ්‍ය සේවය පිළිබඳ අධිකාරී බලය අමාත්‍ය මණ්ඩලය වෙත පවරා දෙනු ලැබිණි. 1978 වර්ෂයේදී දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව යළි ප්‍රතිෂ්ඨාපනය කළ අතර එම කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කිරීම උක්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 56(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් සිදු කැරිණි. අමාත්‍ය මණ්ඩලයේ අභිනියෝජිත බලය ප්‍රකාරව එම රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක විය. එහිදී අමාත්‍ය මණ්ඩල නියෝග ප්‍රකාරව රජයේ නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථානමාරු, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම පිළිබඳව බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත පවරා දෙනු ලැබිණි. එමගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අභියාචනා බලධරයා වශයෙන් ක්‍රියාත්මක විය.


වර්ෂ 1992 වන තෙක් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පවරා තිබූ මාණ්ඩලික ශ්‍රේණිවල රජයේ නිලධාරීන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, ස්ථානමාරු, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම පිළිබඳ බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අමාත්‍ය මණ්ඩලය විසින් පවරා දෙනු ලැබිණ. කොමිෂන් සභාව හෝ එමගින් බලය අභිනියෝජිත කමිටුවක් විසින් ගනු ලබන තීරණ වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට බලතල අමාත්‍ය මණ්ඩලය වෙත රඳවා ගනු ලැබිණ. 2001 වර්ෂයේ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය සේවය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එතෙක් පැවති IX වන පරිච්ඡේදය ඉවත් කොට නව පරිච්ඡේදයක් ඇතුළත් කරන ලදි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ සාමාජිකයන් නව දෙනෙකුගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමන්විත වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කළ උක්ත සමාජිකයන් අතුරෙන් එක් අයෙක් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කරන ලදි. මෙම සංශෝධනය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තත්ත්වය ප්‍රබල වෙනසකට ලක් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව රාජ්‍ය සේවයේ පත් කිරීම්, උසස් කිරීම්, ස්ථානමාරු කිරීම් හා විනය පාලනය කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී තිබුණු බලතල සියල්ල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරිණ. තවද රාජ්‍ය සේවා කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවට වගකීමට හා පිළිතුරු දීමට බැඳී සිටින ආයතනයක් බවටද පත් විය. 2010 වර්ෂයේදී 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්ථාපනය සහ කර්තව්‍යයන්ට අදාළ කරුණු සංශෝධනය කෙරිණි. පසුව 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 2015 වර්ෂයේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ස්ථාපනය කැරිණි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නව ස්වාධීන පොලිස් කොමිෂන් සභාවක් සහ විගණන කොමිෂන් සභාවක්ද ස්ථාපනය කළ නිසා එහි පාලනය පමණක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විෂය පථයෙන් ඉවත් විය. වර්තමානයේදී අනෙකුත් සියලු රාජ්‍ය නිලධාරීන්, පළාත් සභාවන්හි අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් ඇතුළුව සමස්ත රාජ්‍ය සේවා පද්ධතියම පාලනය වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විෂය පථය ඇතුළතය.


එසේ පැවත ආ ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව අද නතර වීමට සූදානම්ව ඇත්තේ කොතනද?


නව පත්කිරීම්


2020 නොවැම්බර් මස ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස ජගත් බාලපටබැඳි (සභාපති), ඉන්ද්‍රානි සුගතදාස, ලීලසේන ලියනගම, ටී.ආර්.සී. රුබේරු, දිලිත් ජයවීර, ඩයන් ගෝමස්, ඩබ්.එච්. පියදාස, හේමා ධර්මවර්ධන, නිමල් කරුණාසිරි” යන අය පත් කර ඇත.


රාජ්‍ය සේවයේ හා අධිකරණ ක්ෂේත්‍රයේ පළපුරුදු හා රාජකාරී අත්දැකීම් සහිත නිලධාරීන් පත් කිරීම මෙතෙක් පැවති ක්‍රමවේදය වූ අතර උක්ත පත්කිරීමේදී පුද්ගලයන් කිහිප දෙනෙකු එම විෂයයට අයත් නොවන අය වෙයි. මන්ද ඉන් දෙදෙනෙක් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ය. තවද රජයට සම්බන්ධ මාධ්‍ය ජාලා හිමිකරුවකු සහ රජයේ ලියාපදිංචි මහා පරිමාණ සැපයුම්කරුවෙකු හා වත්මන් රජයේ දේශපාලන සමීපතමයෙකු ඊට අයත්ය. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු අමාත්‍යාංශය සඳහා ගොඩනැගිලි කුලී පදනමින් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී රජයේ තක්සේරු වටිනාකම අධික ලෙස ඉක්මවමින් මිලදී ගැනීමක් සිදු කිරීමට යාමේදී එය වැළැක්වීමට ක්‍රියා කළ මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙකුට දඬුවම් ලබාදීම වැනි චෝදනා ලත් පුද්ගලයෙකුද සභිකයකු ලෙස පත් කර ඇත. ඊට අමතරව රාජපක්ෂ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂයක මධ්‍යම කාරක සභිකයකු සහ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති නායකයකුද සාමාජිකයන් අතර සිටින බැවින්, මෙවැනි වටාපිටාවක තවදුරටත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ස්වාධීනත්වයක් බලාපොරොත්තු විය හැකිද යන්න ගැටලුවකි. ■

රාජ්‍ය සේවයේ
සංවරණය හා තුළනය බිඳෙනවා
සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම්
චන්දන සූරිය ආරච්චි


ශ්‍රී ලංකා පරිපාලන සේවය, වෛද්‍ය සේවය , අතුරු වෛද්‍ය සේවය, හෙද සේවය, ගුරු සේවය, සංවර්ධන නිලධාරී සේවය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේම සියලු කාර්ය මණ්ඩලවල පත් කිරීම්, උසස් කිරීම් සහ විනය කටයුතු සියල්ලටම අදාළ මූලික හා ප්‍රධාන ආයතනයේ සියලු සාමාජිකයින් ඒ සදහා සුදුස්සන් විය යුතු වූවත් පත් කර ඇති සාමාජිකයන් අතරින් කිහිප දෙනෙකු ළැදියාවන් සම්බන්ධ ගැටලු සහිත පුද්ගලයින්වීම සමස්ත රාජ්‍ය සේවයම හා රාජ්‍ය සේවකයින්ව බරපතළ හෑල්ලු කිරීමක් විදියටයි අපි දකින්නේ.
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අමාත්‍යාංශ ලේකම්වරු මගින් සිදුවන කටයුත්තක් වන අතර අමාත්‍යාංශ ලේකම්වරුන්ට සෘජුව බලපෑම් කළ හැකි ආයතනය වන රාජ්‍ය සේවා කොමිසමට රජයේ සැපයුම්කරුවන් පත් කිරීම තුළින් රාජ්‍ය පාලනයේදී පවත්වාගත යුතු සංවරණ හා තුළනය බිඳ වැටීමේ අවධානමක් ඇති විය හැකි බව අපි කියනවා. ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යභාරය නිසි පරිදි ඉටු කළ හැකි රාජ්‍ය සේවය පිළිබඳ අත්දැකීම් සහිත ඒ සඳහා වඩාත් සුදුසු පුද්ගලයින් පත් නොකිරීම මගින් එවැනි පුද්ගලයින් සහිත ආයතනය මගින් රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ගනු ලබන තීරණයන් ඉදිරියේදී ප්‍රශ්නකාරී විය හැකි බැවින් ඒ පිළිබඳව ආණ්ඩුව වගකීමෙන් ක්‍රියා කළ යුතුයි කියලා අපි කියනවා. මොකද සාමාන්‍යයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු ක්‍රියා පටිපාටිය වන්නේ කාර්ය පටිපාටික රීති සම්පාදනය, රාජ්‍ය සේවයට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීම, බඳවා ගැනීමේ පටිපාටිය සකස් කිරීම සහ ප්‍රතිශෝධන කාර්යයන්. ඒ වගේම අභිනියෝජිත බලධාරීන් විසින් රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථානමාරු, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම පිළිබදව ගනු ලබන තීරණවලින් අගතියට පත් රාජ්‍ය සේවකයින්ගේ අභියාචනා සලකා බලා සාධාරණය ඉටු කිරීමද සිදු කරනවා. තවද වෘත්තීය ආචාරධර්ම පිළිපදින, විෂමාචාර ක්‍රියාවලින් තොර විනයගරුක රාජ්‍ය සේවකයෙකු බිහි කිරීම වැනි සුවිශේෂී කාර්ය භාරයන් රැසක් ඉතිහාසයේ සිට මේ දක්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදු කළා. එවැනි ස්වාධීන වටපිටාවක මෙවැනි පත් කිරීම් සිදු කිරීම ගැටලුසහත තත්ත්වයක් කීවොත් නිවැරදියි. ■

සාමාජිකයන් ස්වාධීන නැහැ
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්
වෛද්‍ය ජයන්ත බණ්ඩාර


රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කළ යුත්තේ කවුද කියලා ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබෙනවා. රාජ්‍ය සේවයේ විශ්‍රාමික පරිපාලන සේවයේ හෝ විධායක ශ්‍රේණියේ විනයක් සහ පිළිගැනීමක් ඇති අය තමයි පත් කළ යුත්තේ. මොකද රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහායි. එතකොට රාජ්‍ය සේවකයන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, විනය සහ ස්ථානමාරු සියල්ලම සිදුවන්නේ කොමිෂන් සභාව යටතේයි. එහිදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ස්වාධීන සාධාරණ රාජ්‍ය සේවය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබිය යුතු පුද්ගලයන්ව තමයි සාමාජික මඬුල්ලට යොමු කළ යුත්තේ. නමුත් වර්තමානයේ යොදවා ඇති සාමාජික මඬුල්ලේ පත්කිරීම්වලදී රාජ්‍ය සේවය පිළිබඳ පුළුල් දැක්මක් තිබෙන අය සහ ස්වාධීනත්වයක් ඇති අය අපි දකින්නේ නැහැ. මේක තනිකරම ආණ්ඩුවේ දේශපාලනය තුළ සිටින අයයි. සහ ඔවුන්ට රාජ්‍ය සේවය පිළිබඳ කිසිදු අත්දැකීමකුත් නැහැ සහ ඔවුන් ව්‍යාපාරිකයෝ.


දිලිත් ජයවීර කියන්නේම රජය සමග ටෙන්ඩර් ගනුදෙනු කරන පුද්ගලයෙක්. ඔහු සතුව ඇති ඖෂධ සමාගමෙන් තමයි ඖෂධ සැපයුම් කරන්නේ. දැනට සෞඛ්‍ය සේවයට විශාල සැපයුම් ප්‍රමාණයක් කරන්නේ ඔහුයි. සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍ය ලේකම් හැර අනෙක් සියලු සේවකයන්ගේ විනය බලධරයා, පත්කිරීම් බලධරයා සහ ස්ථානමාරු කියන සියලු බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතුවයි තිබෙන්නේ. එවැනි වටපිටාවක විශේෂයෙන්ම දිලිත් ජයවීරව සමාජිකයෙක් ලෙස පත් කිරීම විශාල ප්‍රශ්නයක්. ඔහු පමණක් නෙවේ ආණ්ඩුව සමග ඉතා සමීප පුද්ගලයො කිහිපදෙනෙක් තව ඉන්නවා. එහිදී රාජ්‍ය සේවයේ පිරිහීමට මෙයා තදින් බලපාවි යන්න අපි හිතනවා. ■

දේශපාලනීකරණය කරලා
රාජ්‍ය සේවා කළමනාකරණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති
පී. පලිහවඩන


මේ ක්‍රියා පිළිවෙත රාජ්‍ය සේවය දූෂිත කිරීමට කළ වැඩපිළිවෙළක් විදියටයි අපි දකින්නේ. ඊට හේතුව ව්‍යාපාරිකයො යෙදවීමෙන් ඔවුන්ට රාජ්‍ය සේවය පිළිබඳ කිසිදු දැනුමක් නැහැ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සහ උසස්වීම් යන තීන්දු තීරණ ගන්න තැනක්. එවැනි තැනකට රජය සමග ගනුදෙනු කරන පුද්ගලයෙක් සාමාජික මණ්ඩලයට යෙදවීම රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන්ට කරන ලොකු බලපෑමක් සහ අයථා වැඩ සිදුවීමේ ඉඩකඩ වැඩියි. එනිසා මෙය සම්පූර්ණ දූෂිත ක්‍රියාවලියක්. මින් රාජ්‍ය සේවය ස්වාධීනකරණය නෙවෙයි දේශපාලනීයකරණයයි කරල තියෙන්නේ. මෙය වහාම වෙනස් විය යුතුයි. මේක අපි දකින්නේ ඒකාධිපති ගමනක පෙරනිමිති. ■

1 COMMENT

  1. හිතවත්ර රාවය, රාජ්‍ය සේවා කොමිසමේ කෙරුවාව ගැන මම නීතිපතිට යැව් අභියාචනයක පිටපතක් ඔබට එවන්නම්. එය එතකොට තේරුම් ගන්න පුලුවන් ඒ ඒකාධිපතිය ගැන. ඒ එක්කම එවන්නම් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවට යැවි මගේ යෝජනාත් රාජ්‍ය සේවා කොමිසම ගැන. එතන පත්කල පුද්ගල ප්‍ර‍ශ්නයට වැඩිදෙයක් තියෙනව. යටත් විජිත පාලකයින්ගේ කොමිසම එම බලතල සමගම ජනරජයේ කොමිසම කලාට බල්ලගේ වැඩේ බලලාගෙන් ගන්න බැරිබව 1978 සිටම ඔප්පු උනා. කාව පත්කලත් ඒ් කොමිසමින් රටට වැඩක් උනෙත් නැහැ .වෙන්නෙත් නැහැ.යහපත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ ඉදලම ඉදලම වෙනසක් රටට අවශ්‍යයි.
    රාවය පාඨකයෙක්

Comments are closed.