2021 නොවැ. 04 වැනිදාට රාවයේ ජනමාධ්‍ය ක්‍රියාවලියට වසර තිස්පහක් සම්පූර්ණ  විය. මේ, ඒ පිළිබඳ රාවය සහෘදයින්ගේ හෘදයාංගම කටහඬය.

රාවය මහජන කතිකාවක් ඇති කළා

ජාවෙඩ් යුසුෆ්

රාවය පුවත්පත මේ රටට විකල්ප ජනමාධ්‍ය කලාවක් හඳුන්වා දුන්නා. එය අපේ රටට ඉතා වැදගත් වනවා පසුගිය කාලය තුළ අපේ රට අරාජික, මගපෙන්වීමක් නැති රටක් බවට පත්වුණා. ඒ නිසා මේ රටේ ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වනවා. මාධ්‍යයට තිබෙන වගකීම ප්‍රවෘත්ති දැනුම්දීම, නව තොරතුරු දැනුම් දීම ආදිය කියා ජනතාව සිතා සිටිනවා. රාවය එතැනින් ඔබ්බට ගොස් ජනතාවගේ ගැටලුවලට විග්‍රහයන් ලබාදී, ඒ මාර්ගයෙන් ජනතා කතිකාවතක් ඇති කළා.එය මේ රටට අත්‍යවශ්‍ය දෙයක්. ඒ හරහා පුද්ගලයින් සම්බන්ධයෙන් විශ්වාසයක් නොතබා ප්‍රතිපත්ති, ක්‍රමවේද තුළ තීරණ ගැනීමට ජනතාව පෙළඹ වූවා. රාවය එවැනි සේවයක් සිදුකළ පුවත්පතක්. එය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවට මා විශ්වාස කරනවා. 

ප්‍රගතිශීලීන් එක් කළ පුවත්පතක්

ලූෂන් බුලත්සිංහල

රාවය පුවත්පත මේ රටේ ප්‍රගතිශීලී අදහස් දරන මිනිසුන් එක් කරන්න විශාල කාර්යභාරයක් සිදු කළා. එම කටයුත්තේ අවසානයක් දකින්නට නොලැබීම ගැන අප කණගාටුවට පත්වෙනවා. රාවය සමාජයට බොහෝ දේවල් එළිදක්වා, වැරදි පෙන්වා දී, විචාරය, විවේචනය කරමින් ආ පුවත්පතක්. කලක් මා පවා විවේචනයට ලක් කළා. මා රූපවාහිනියේ දී කළ දේ සම්බන්ධව මගෙන් විමසීමකින් තොරව පුවත්පතේ පළ කර තිබුණා. මා ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ. ඒ දේවල් පෞද්ගලික දේ වුණත් පොදුවේ මා දකින්නේ ඒ කාලයේ හැටියට රාවය පුවත්පත විශාල සමාජ සේවාවක් කළ පුවත්පතක් ලෙසයි. එවැනි සමාජ සේවාවක් කරන විට එයත් සමග රැඳී සිටින මිනිසුන් එක් කරන බලවේග ගොඩ නැගීමට මේ සමාජය පොහොසත් වූයේ නැහැ. බොහෝ වෙලාවට යම් යම් දේශපාලන ප්‍රවාහයන්ට නතුවීම සමහර පුවත්පත්වල පසුබෑමට හේතු වුණා. රාවයත් යම් යම් කාලවල යම් යම් දේශපාලන ප්‍රවාහයන්ට නතු වුණා.

මා සිතන්නේ එය අප රටේ නොවිය යුතු දෙයක් ලෙසයි . අප රටේ තිබුණු සියලුම වාමාංශික දේශපාලන මාධ්‍යයන්ට සිදුවූයේ එයයි. ලංකාවේ ජනමාධ්‍ය කුමන ආකාරයෙන්වත් ස්වාධීන යැයි කිව නොහැක්කේ මේ නිසයි.

රාවය දිගු කාලයක් තිබිය යුතුයි

ලැසිල් ද සිල්වා

පුවත්පතක් ලෙස රාවය ඉටු කළ කාර්යභාරය අති විශිෂ්ටයි. නිරන්තරයෙන්ම රාවය විප්ලවීය මගක් ගනු ලැබුවා. ඔවුන්ට නිතරම අවශ්‍යව තිබුණේ ජනතාවට හරි මග පෙන්වීමටයි.මමත් විටින් විට රාවයේ විවිධාකාර ලිපි පළ කර තිබෙනවා. අදටත් රාවය විකල්ප පුවත්පත් අතර ඉහළම මට්ටමක තිබෙනවා. රාවයේ සිටි බොහෝ ලේඛකයින් මා හඳුනනවා. එතුමන්ලා කළ කාර්යභාරය අදටත් අපට අමතක කළ නොහැකි. විශේෂයෙන්ම වික්ටර් අයිවන් මහතාගේ සිට වීරරත්න මහතා ඇතුළු සියලුම ලේඛකයින් මෙන්ම අනෙකුත් සේවකයින්ට පවා මම ස්තූතිවන්ත වෙනවා. අප දූෂණ වංචා පිළිබඳ සොයන විට රාවය පුවත්පත අපට දුන් සහයෝගය මිල කළ නොහැකි. අපේ රටේ තිබෙන විශාලතම අර්බුදය වන්නේ ජනතාව මේ රට වෙනස් කළ නොහැකි යැයි සිතීමයි. එහෙත් රාවය එම කාර්යභාරය සිදුකළා. නමුත් දේශපාලනය ඒ සඳහා ඉඩ ලබා දුන්නේ නැහැ. කෙසේවෙතත් රටක් හැටියට අප රාවය තවදුරටත් ආරක්ෂා කරගත යුතුයි. එහි කාර්යභාරය ඉටුකිරීමට අප ශක්තිය දිය යුතුයි. අපෙන් විය යුතු දෙයක් තිබෙනවා නම් අපේ යුතුකමක් ලෙස

අප එය සිදු කරන්න සූදානම්. මන්ද රාවය තව කාලාන්තරයක් මේ රටේ පැවතිය යුතු පුවත්පතක්. රාවයට මේ පවතින තත්වය තුළ වුවත් විශාල කාර්යභාරයක් ඉටුකිරීමට තිබෙනවා. ඒනිසා අවුරුදු 35ක් නොව 70ක් දක්වා දිගු ගමනකට අප රාවයට සුබ පතනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here