නුවන් උදය වික‍්‍රමසිංහ

අසූව දශකයෙහි අග භාගයේ දිනෙක ගල්වල පාරේ එවක රාවය සඟරාවේ කාර්යාලය පැවති ස්ථානයට ගිය ගමන අදටත් සිතෙහි නොමැකී ඇති සටහනකි. ඒ කොයි මොහොතේ හමුදාව හෝ නාඳුනන තුවක්කුකරුවන්ගේ කල්ලියකින් පැහැරගෙන යනු ලැබේදෝ යන සැකය තදින් පැවති සමයයි. එකල අපේ කියවීම් පවස නිවූ සඟරා තුනක් තිබිණි. එකක් විනිවිද සඟරාවය. අනෙක් දෙක වූවේ රාවය සහ විවරණ සඟරාවන්ය. මේ සඟරා අතරින් එවක මගේ මතවාදය හා වඩාත්ම ලංව පැවතියේ විනිවිද සඟරාවය. එහෙත් දැරූ දේශපාලන මත සමග කෙතරම් ගැටුනද රාවය සහ විවරණ නොගෙන සිටින්නට මට සිත් දුන්නේම නැත. එහෙයින් මේ කියනා දින මා රාවය කාර්යාලයට ගියේ මට මිලට ගැනීමට නොහැකි පසුගිය කලාප කිහිපයක් මිලට ගැනීමේ අරමුණෙනි. අසූව දශකයේ අග භාගයෙහි මේ සඟරාවන් ත‍්‍රිත්වය සහ තවත් පොත් ගොන්නක් මගේ පියා සමග එක්ව නිවසෙහි අත්තිවාරම බිඳ සාදාගත් රහස් කුටියක වැලලූ සැටි මට තවම මතකය. එහෙත් මගේ දුෂ්කර සමය නිම කර යළි අනූ තුනෙහි නිදහස්ව නිවසට එනවිට ඒ සඟරා සහ පොත් ගොන්න තෙත් කා දිරා ගොසිනි. සඟරා කොතෙක් දිරා විනාශව ගියද රාවයට පැවති ඇල්ම මිය ගියේ නැති. අදටත් මා රාවය පාඨකයකු වන්නේත් ඊට නොකඩවා ලියන්නේත් ඒ ඇල්ම හේතුවෙනි. එය හුදෙක් පෞද්ගලික ඇල්මකට වඩා සමාජ බලවේගයක් ලෙස එය විසින් කරන ලද කාර්යභාරය විශිෂ්ඨ හෙයිනි. එහිලා එහි නිර්මාතෘ වික්ටර් අයිවන්ගේ දායකත්වය සුවිශේෂී බව ඔහුගේ විරුද්ධවාදියකුට පවා පිලිකෙව් කළ නොහැකි බව සත්‍යයකි.

අනූව ආරම්භයේ සිට දිගු කලක් සිරගතව සිටියදී අප අතට පත්වූවේ රාවය පුවත් පතයි. ඒ වනවිට අපේ අනිවාර්යය කියවීම් බවට පත්ව තිබුණේ ලක්දිව- පසුව හිරු- යුක්තිය සහ රාවයයි. මුර පල්ලන් කොතෙක් සීමා පැනවුවද ඇතැම් විට ඔවුන්ගේ සහයෙන් සහ නැතිනම් විසිට් දවසට ළබැඳියන් හරහා අපි මේ පුවත්පත් සිර කුටියට ගෙන්වා ගතිමු. එසේම රහසින් ඊට ලිවීමු. ජාතික පුවත්පතක් ලෙස අපට සමීපව තිබුණේ දිවයින ඉරිදා සංග‍්‍රය පමණි. ඒ උදක්ම දයාසේන ගුණසිංහ නම් යුග පුරුෂයා නිසාවෙනි. මෙසේ එකල අපේ ජීවිතවලට බලපෑම් කළ පුවත්පත් අතරින් අද වන විට යුක්තිය සහ ලක්දිව අහෝසිව ගොසිනි. දිවයින කියා පුවත්පතක් ඇතද දයාසේන ගුණසිංහගේ දිවයින ද අද අභාවයට ගොසිනි. ඉතිරිව ඇත්තේ රාවය පමණි. එසේම මේ වන විට විකල්ප පුවත්පත් ලෙස පිටවනුයේද රාවයේ බෙදීම හරහා උපන් අනිද්දා සහ ලංකා පුවත්පත් පමණි. කෙතරම් අඩුපාඩු මැද වුව මේ පුවත්පත් තුන විසින් කරනු ලබනා මැදිහත්වීම අපට අවතක්සේරු කළ නොහැකිය. රාවය තුළ අර්බුදයක් මතුව ජනරංජන ඇතුළු පිරිසක් ඉවත්ව යද්දී එය අනිද්දා බිහිවීම හරහා නිශේධාත්මක බලපෑමක් නොවී සාධනීය බලපෑමක් බවට පත්වූවේ යයි මම කල්පනා කරමි.

පසුගිය කාලය පුරා විවිධ අර්බුද වලට මුහුණ දුන් රාවය වෙනුවෙන් විවිධ පාර්ශ්ව මැදිහත්වූවේ රාවය යනු සමාජයෙහි අනිවාර්යයෙන්ම තිබිය යුතු පුවත්පතක් ලෙස තිබූ පිළිගැනීම හේතුවෙනි. පසුගිය ආර්ථික අර්බුද සමයෙහි එය නගා සිටුවීම පිණිස විවිධාකාරයේ මැදිහත්වීම් කළ පිරිස් සැම පොදුවේ දැරූ අදහස වූවේ කෙසේ හෝ රාවය පවත්වාගත යුතුය යන්නයි. ඒ එම අවස්ථාව වන විට රාවය යනු පොදු සමාජ මැදිහත්කරුවකුය යන ප‍්‍රබල විශ්වාසයයි. දැන් යළිත් වික්ටර් අයිවන් සහ රාවයේ කාර්ය මණ්ඩලය අතරවන ලිපි හුවමාරු සහ අදහස් හුවමාරු හරහා අනතුරට ලක්වෙමින් පවතිනුයේද සමාජ බලවේගයක් ලෙස රාවය සතු භූමිකාවමය.

රාවය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් ලෙස හුවමාරුවන අදහස්හී පොදු සාධකයක් තිබේ. ඒ රාවය කාලීන තත්ත්වයන්ට අභියෝගාත්මකව මුහුණ දිය යුතු පුවත්පතක් ලෙස නවීකරණය විය යුතුය යන අදහසයි. මේ අදහස වික්ටර් අයිවන් විසින් විස්තරාත්මකව විග‍්‍රහ කර තිබෙනු මම දුටිමි. ඒ සම්බන්ධයෙන් කිසිදු ආරෝවක් තිබිය නොහැකිය. එය මේ මොහොතේ රාවයට පවණක් නොව ලොව පුරා සෑම පුවත්පතකටම පාහේ පොදු තත්ත්වයකි. විශේෂයෙන්ම පුවත් යන්න පුවත්පත් වලට වඩා සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වකවානුවක පුවත්පතක් යනු තවදුරටත් ප‍්‍රවෘත්ති පළකිරීමේ මෙවලමක් ලෙස සිතීම අතාර්කිකය. සැබැවින්ම මේ වන විට පුවත්පතක කාර්යභාරය විය යුත්තේ ප‍්‍රවෘත්ති ඉක්මවා යන විග‍්‍රහ, විෂ්ලේෂණ සහ පර්යේෂණ ආදී වශයෙන් සමාජය වෙත වන ප‍්‍රබල මැදිහත්වීමකි. කෑගල්ලේ් පැණිය ක්ෂණිකව ව්‍යාප්ත වන පුවතක් වන විට පුවත්පතක කාර්යභාරය විය යුත්තේ පැණි හැලියට වැටෙන සමාජයක ඛේදය නැතිනම් එවන් සමාජයක ස්ථාපිතව ඇති අයුර විග‍්‍රහ කිරීමයි. එසේම සියලූ හරයන් ඛාදනය වන වර්තමානයක වෘත්තීය ගරුත්වය සහිත පුවත්පත් කලාවේදීන් බිහිකිරීමේ අභියෝගයද තීරණාත්මකය. සියළු මානව හරයන් විනාශවන සමාජ දේශපාලන සුනාමියකට ලොවම මුහුණ දී සිටින අවධියක රාවය වැනි පුවත්පතක සැබෑ අභියෝගය වනුයේද ඒ තත්ත්වයනට මුහුණ දෙමින් ඉදිරිය බැලීමයි.

රාවයේ අර්බුද සමයෙහි ඊට උපකාර කිරීමට ඉදිරිපත්වූ අය අතරින් අති බහුතරය සිය මූල්‍ය පරිත්‍යාගයන් කළේ ආපසු ඒවා ලබාගැනීමේ අදහසින් නොවේ. එහෙත් රාවයෙහි දීර්ඝකාලීනව සේවය කරන්නවුන් හට ලැබිය යුතු ප‍්‍රතිලාභ අහිමි කළ යුතුය යන්න ඉන් අදහස් නොවේ. නමුදු රාවයට උපකාර කළ අයගේ අදහස වූ රාවය පවත්වාගෙන යාමේ අභියෝගයට මුහුණ දීම වෙනුවට රාවයෙහි අවසානය සනිටුහන් කිරීම යනු කිසිවකුට හෝ කෙසේ වත් අනුමත කළ හැක්කක් නොවේ. රාවයෙහි පැවැත්ම වෙනුවෙන් පෙනී සිටිනා සැමගේ අදහස වනුයේ වඩා නවීකරණය වූ සහ කාලීන අභියෝගයන්ට නිර්මාණශීලීව මුහුණ දිය යුතු පුවත්පතක් ලෙස රාවය ඉදිරි පියවරක් තැබීම පමණි. එහෙයින් රාවය පුවත්පත තවදුරටත් පැවතිය යුතුද යන අදහස යනු මුළුමනින්ම බැහැරලිය යුතු අදහසක් බව මගේ විශ්වාසයයි. සමස්ත ලංකාවම දරුණු ආර්ථික අගාධයක සිරව පවුල්වාදයෙහි අත්අඩංගුවට සහ ලෝක බල අරගලයේ කුරිරුතම ගොදුර බවට පත්ව ඇති මොහොතක රාවය වැනි පුවත්පතක් සිය අරගලය අත්හරින්නේ නම් එය වක‍්‍රාකාරයෙන් සේවය කරනු ඇත්තේ ද රටෙහි විනාශකාරී බලවේගයන්ටම පමණි. අප තේරුම් ගත යුත්තේ එයයි.

එහෙයින් තවදුරටත් තම තර්කයන්හිම රැුඳී නොසිට සියල්ලෝම මැද තැනක සිට සාධනීය විසඳුමක් සඳහා ක‍්‍රියාත්මක විය යුතුය යන්න රාවයට ආදරය කරන සැමගේ අභිලාෂය බව වටහා ගත යුතුය. එහිදී අපේ මූලික අවධානය යොමුවිය යුත්තේ පුවත්පත වඩා දියුණු තලයක් කරා ගෙන යාම මිස එය නවත්වාලීම හෝ සඟරාවක් කරා ආපසු හැරවීම නොවේ. රාවයට ස්වකීය වගකීමට මුහුණ දිය හැකිවනු ඇත්තේ වර්තමාන තත්ත්වයනට අභියෝගාත්මකව මුහුණ දීමෙන් පමණි. එසේ නොමැතිව රාවය සිය ගමන නිම කරන්නේ නම් හෝ ආපසු මුල් අවස්ථාවට පසුබසින්නේ නම් එය ඉතිහාසයෙහි සටහන් වනු ඇත්තේ වගකීම් පැහැර හැරීමක් ලෙස පමණි.