මහින්ද හත්තක

එල්ටීටීඊ බෙදුම්වාදී යුද්ධයෙන් පසු ලංකා ඉතිහාසයේ සිදු වූ මහත්ම ඛේදවාචකය වූ පාස්කු ඉරිදා ප්‍රහාරය තවමත් දෝංකාරය නංවන සිද්ධියකි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් ද විමර්ශනය කළ මෙම සිද්ධිය නව රජය යටතේ ජනාධිපති කොමිසමකින්ද කරුණු සොයා බලයි. ජනාධිපති කොමිසමෙන් කෙරෙන සාක්ෂි විභාගය තවම නිම වී නැති නිසා එහි සොයා ගැනීම් ගැන අනුමානය කිරීමට කාලයක් නැත. එහෙත් මෙම සිද්ධිය ගැන පසුගිය අප්‍රේල් මස අත්අඩංගුවට ගෙන චෝදනා කිරීමට තරම් සාක්ෂි නොමැති නිසා නිදහස් කළ හිටපු අමාත්‍ය රිෂාඞ් බද්යුදීන් මහතාගේ සොහොයුරු රියාද් දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් වී ඇත.


රිෂාඞ් බද්යුදීන් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් කළ බවට සැක කෙරෙන ජාතික තවුහිද් ජමාද් සංවිධානයට අනුග්‍රහය දැක්වූ මුස්ලිම් ව්‍යාපාරිකයා සමග සමීප සම්බන්ධතා පැවැත් වූ බවටත් එම නිසාම ඔහු මෙම ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයෙකු බවත් දැනට ආණ්ඩු බලය හිමි ඒ දිනවල විපක්ෂයේ සිටි පොහොට්ටු දේශපාලන කණ්ඩායමේ ප්‍රධාන තර්කයක් විය. රිෂාඞ් බද්යුදීන් මහතා යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ නිසා ආණ්ඩුව ද ඊට වගකිව යුතු බව අනියමින් අදහස් විය. එම නිසා රියාද් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගැනීම නව ප්‍රබල සාක්ෂියක් සොයා ගැනීමකි. ඔහු අත්අඩංගුවට ගත් වහාම පොලිස් වාර්තා උපුටා දැක් වූ රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍ය ඒ ගැන සිත් ලොමු දැහැ ගැන්වෙන තොරතුරු පළ කළේය. වඩාත් වැදගත් වූයේ මෙම සිද්ධියෙන් මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් දේශපාලකයන් අතර කිසියම් සම්බන්ධතාවක් පවතින්නේ ද යන සැකය නැවත ඉස්මතු වීම ය.

එහෙත් පසුගිය දා රිෂාද් බද්යුදීන් මහතාට චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් හේතු නැතැයි මුදා හැරීමත් ඉන් පසුව රිෂාඞ් මහතාට චමල් රාජපක්ෂ මහතාගෙන් සහතිකයක් ලැබීමත් නැවතත් ආන්දෝලනයට ලක් වූ කරුණක් විය. රහස් පොලීසියෙන් කරන ලද මෙම නිදහස් කිරීම අගරදගුරු මැල්කම් රංජිත් පියතුමාගේත් ආණ්ඩුවේ ප්‍රබලයන් කීප දෙනෙකුගේත් විවේචනයට සහ දෝෂදර්ශනයට ලක් විය. පාස්කු ප්‍රහාරය පිළිබඳව පැවැත්වෙන මෙම පරීක්ෂණවලින් සාධාරණයක් ඉටුවේද යන්න අගරදගුරුතුමා ප්‍රශ්න කෙළේය. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු පුදුම සහගත ආකාරයට එඩිතර බවක් දක්වමින් නිදහස් කළ පුද්ගලයා නැවත අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරන්නැයි ලිපියක් ජනාධිපති වෙත ඉදිරිපත් කළහ. පුදුම සහගත එඩිතර බවක්යැයි සඳහන් කෙළේ සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාගේ සෘජු අවධානයට ලක් වෙන කටයුත්තක් සම්බන්ධයෙන් විරෝධයක් දැක්වීම තරමක අපහසු අවදානම් කාර්යක් වන නිසාය.


ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් සියයකට අධික පිරිසක් අත්සන් කර ලද මෙම ඉල්ලීම බරපතළ වන්නේ නිතිපතිවරයා ද මේ සම්බන්ධයෙන් රහස් පොලීසියේ අදාළ නිලධාරීන් කැඳවා ප්‍රශ්න කිරීමට තීරණය කර ඇති බවට වාර්තාවීමය. නීතිපතිවරයාගේ කැඳවීමෙන් ගම්‍යවන්නේ මෙම සිද්ධිය ගැන, විශේෂයෙන්ම බද්යුදීන් සහෝදරයින් නිදහස් කිරීම ගැටලු සහගත බවට සාක්ෂි පැවතීම ය.


අවාසනාවන්ත ඛේදවාචකයක් වූ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මුලින්ම සඳහන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ වසර එක හමාරක පමණ කාලයක් ගත වුවද එම ප්‍රහාරය සැලසුම් කළ ආකාරය හෙළි කිරීමටත් ඊට වගකිව යුතු පුද්ගලයන් අධිකරණය හමුවට පත් කිරීමටත් අපගේ විමර්ශන අංශ සහ නීති අංශ අපොහොසත්වීමය. මේ පිළිබඳව නීතිපතිවරයාට ඉදිරිපත් කරන ලද ලිපිගොනු රැසක් අසම්පූර්ණ නිසා ආපසු යවන ලද බව ද පසුගිය දා පුවත්පත්වල පළවිය.

ඇත්තෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරකට පමණ පෙර මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරීම පිළිබඳව අත්අඩංගුවට ගෙන සිටින පිරිස් අධිකරණයට තවමත් ඉදිපත් කරන්නේ රඳවා ගැනීම දිර්ඝ කිරීම සඳහාය.


මෙම අවාසනාවන්ත සිද්ධිය පොහොට්ටු දේශපාලකයන් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මැරීමට යොදා ගැනීමට උත්සාහ කරන බව පැහැදිලිවම දක්නට ලැබුණු කාරණයකි. පළමු වැදගත්ම කාරණය වූයේ පසුගිය යහපාලන ආණ්ඩුව, පුද්ගලයන් ඝාතනය ඇතුළු විවිධ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල ඉහළම තැන්වල සිටි පුද්ගලයන් කීප දෙනකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කිරීමත් ඉන් සමහර අයට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමත් පොහොහොට්ටු දේශපාලකයන් හැඳින්වූයේ ආරක්ෂක අංශ දුර්වල කොට බිඳ දැමීමේ උත්සාහයක් සේය. දැන් එම විමර්ශන කළ නිලධාරීන්ට එරෙහිව විමර්ශන සිදුවේ.


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආසන්න දිනයක රොයිටර් පුවත් සේවය සමග පැවැත් වූ සාකච්ඡාවක දී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාවට වැදගත් තැනක් නොදුන් බවත් සියලුම වැඩ අවුල් කළ බවටත් චෝදනා කෙළේය. ‘ඔවුන් වාර්ගික සංහිඳියාව ගැන කතා කළා. මානව අයිතිවාසිකම් ගැන කතා කළා. පුද්ගල නිදහස ගැන කතා කළා.’ ඇත්තෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සහ පුද්ගල ඝාතන ඇතුළු චෝදනා යටතේ ආරක්ෂක අංශවල නිලධාරීන් අත්අඩංගුවට ගැනීමත් අතර සෘජු සම්බන්ධතාවක් පවතින බව තහවුරු කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කරුණු ඉදිරිපත් කිරීමේ මූලික අදහසකි. ඉන් පසුව 2019 මැයි මස මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහාය ලත් විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් පිරිසක් චෝදනා එල්ල වී ඇති සියලුම නිලධාරීන්ට මුක්තිය ලබාදීමේ ව්‍යාපාරයක් දියත් කළහ. ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා “ඒ ගොල්ලන්ට කරන්න බැරිනම් ඊළඟ ආණ්ඩුව ආවම මම කරන්නම්’ යනුවෙන් තර්ජනාත්මක ප්‍රකාශයක් ද කෙළේය.


පාස්කු ඉරිදා සිද්ධිය ගැන ජනාධිපති කොමිසමක් පත් කිරීමත් රිෂාඞ් බද්යුදීන් මහතාගේ සොහොයුරු අත් අඩංගුවට ගැනීමත් එම ක්‍රියාදාමයේ කොටස් ලෙස සැලකිය හැකිය. ඇත්තෙන්ම මුලින්ම චෝදනාව එල්ල වූයේ රිෂාඞ් බද්යුදීන් මහතාටය. ප්‍රහාරයේ මහ මොළකාරයා වශයෙන් හඳුනා ගෙන සිටින සහ්රාන්ට මූල්‍යමය ආධාර ලබා දුන් ව්‍යාපාරිකයාට රජයේ ආයතනවලින් ඉවත ලන ලද තඹ අලෙවි කිරීම පිළිබඳව ද ඔහුට චෝදනා එල්ල වී තිබිණ.

කෙසේ වුවත් රියාද් අත්අඩංගුවට ගැනීමත් සමග යට ගසා තිබුණු බොහෝ දේ හෙළි කර ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි මහත් බලාපොරොත්තුවක් ඇති විය. මෙම නිදහස් කිරීමෙන් ඒ බලාපොරොත්තු සියල්ල බිඳ වැටිණ.


මෙම නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියයට අධික සංඛ්‍යාවක් විරුද්ධවීමත් ඊට ලැබී ඇති ප්‍රසිද්ධියත් පිටුපස නොකියෙවෙන කතාවක් ඇතැයි අනුමානය කළ හැකිය. ඇත්තෙන්ම එය පළමුවෙන්ම මතු කෙළේ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරු (යාපනය) සංවිධානයේ කේන්ද්‍රීය ක්‍රියාකාරිකයෙකු වූ ආචාර්ය රාජන් හූල් ය. (ඔහු මැතිවරණ කොමසාරිස්වරයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා නොවේ.) ඔහු එය හැඳින්වූයේ රහස් හස්තයක් ලෙසිනි. ඔහු යොදා ගත් ඉංග්‍රිසි වචනය ෘැැච ීඒඑැ ය. වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවා සමහරවිට යොදා ගන්නා මෙම යෙදුමට ඉංග්‍රීසි භාෂාවෙන් පුළුල් අර්ථකථනයක් ඇත. මා රහස් හස්තය යන යෙදුම තෝරා ගත්තේ ඊට සමාන අර්ථයක් ඇති වෙනත් සිංහල වචනයක් නොදත් බැවිනි.


කෙසේ වුවත් ආචාර්ය රාජන් හූල් මහතාගේ ප්‍රධාන තර්කය වූයේ පාස්කු ප්‍රහාරය ආරක්ෂක අංශ නොදැනුවත්ව සිදු වූ දෙයක් යැයි පැවසීම කිසිසේත් පිළිගත නොහැකි බවත් සහ්රාන් වැනි පුද්ගලයෙකුට එවැනි ප්‍රහාරයක් සංවිධානය කොට ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ ආරක්ෂක අංශ හිතාමතාම ඒ ගැන නොසලකා සිටීම නිසා බවත් ය. සහ්රාන් සහ දැනට අත්අඩංගුවේ පසුවන ආමි මොහිදීන් ආරක්ෂක අංශ කලක සිටම දැන සිටි, එල්ටීටීඊ යුද්ධය පැවති කාලයේ සහාය ලබා ගත් පුද්ගලයන් බව ද ඔහු සාක්ෂි සහිතව පෙන්වා දෙයි. ආචාර්ය හූල් පෙන්වා දෙන ආකාරයට 2017 මාර්තු මස නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි හි ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් පොලීසිය තමන්ට පැවරී ඇති රාජකාරිය නිසි ආකාරයෙන් ඉටු කෙළේ නම් සහ්රාන් සහ ඔහුගේ සහචරයින් රිමාන්ඞ් භාරයට පත්වීමට ඉඩ තිබුණ නිසා පාස්කු ප්‍රහාරයක් සිදු නොවීමට ඉඩ තිබිණ. මඩකළපුව මහෙස්ත්‍රාත්වරයාත්, කලක් ගතවී එවකට කාත්තන්කුඩි පොලීසියේ ස්ථානාධිපතිත්, සහ්රාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට සූදානම් වුවද කිසියම් රහස් හස්තයකින් එය වැළැක්විණ. කාත්තන්කුඩි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි සහ්රාන්ගේ සහචරයින්ට ඇප ලබාදීමට මඩකළපුව මහාධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඉදිරිපත් වූයේය.
මේ කරුණු නැවත සිහිපත් කරගැනීම වැදගත් වන්නේ පාස්කු ඉරිදා ඛේදවාචකය ගැන සැබැවින්ම කරුණු පහදා ගැනීමට අවශ්‍යතාවක් තිබේ නම් යායුතු මග ගැන ඉඟියක් ලබා ගැනීම සඳහාය. එදා විපක්ෂයේ සිටියදී ආණ්ඩුවට චෝදනා කළ පොහොට්ටු දේශපාලකයන් දැන් බලයට පත්ව සිටින නිසා පරීක්ෂණ කටයුතු නිසියාකාරව මෙහෙයවීමට හැකියාවක් පවතී. සිද්ධිය ගැන කෙරෙන පුළුල් පරීක්ෂණයකදී ඒ හා සම්බන්ධතා පැවැත් වූ ආධාර උපකාර සැපයු කවර තරාතිරමේ අයෙකු හෝ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමත්, ප්‍රමාණවත් කරුණු නැතිනම් නිදහස් කිරීමත් ගැටලුවක් නොවේ. ගැටලුව වන්නේ එක්තරා පුද්ගලයෙකු පමණක් එල්ල කර ගෙන පරීක්ෂණ කටයුතු කළ යුතුයැයි බලකිරීම ය.

මෙම සිද්ධියේ දී දැනට අත්අඩංගුවේ සිටින ආමි මොහිදීන් නමැති පුද්ගලයාගෙන් වැදගත් තොරතුරු ලබා ගත හැකියැයි අනුමාන කළ හැකිය. සමහරවිට රහස් පොලිසිය එම තොරතුරු දැනටමත් ලබාගෙන ඇත. අපට ප්‍රශ්නයක් වන්නේ රියාද් බද්යුදීන් සහ නීතිඥ හිස්බුල්ලා වැනි අයගෙන් ලබා ගත්තේයැයි කියන තොරතුරු ජනමාධ්‍යයට ලැබුණු ආකාරයට ආමි මොහිදීන්ගෙන් ලබා ගත් තොරතුරු මාධ්‍යයට නොලැබීමයි.


එමෙන්ම හමුදාව පාස්කු ප්‍රහාරය ගැන හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ ලබා දුන් සාක්ෂි ගැන සඳහන් කරමින් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ ප්‍රශ්න කෙළේය. “බුද්ධි ඒකකවල හමුදාපතිට වාර්තා කරන නිලධාරීන් සහ සාමාන්‍ය භටයන් 3500කට වැඩි සංඛ්‍යාවක් සිටිනවා…. අප වසර තිහක යුද්ධයක් කෙළේ පොලිස් නිලධාරියෙකුගෙන් ලැබෙන තොරතුරු බලාපොරොත්තුවෙන් ද?”

මෙවැනි පසුබිමක් තුළ රියාද් බද්යුදීන් මහතා නිදහස් කිරීම ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කැළඹීමට පත්ව ඇත්තේ සැබැවින්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු හෙළිකර ගැනීමට සහ යුක්තිය ඉටු කිරීමට ද යන සාධාරණ සැකයක් මතු කළ හැකිය. පාස්කු ප්‍රහාරය ගැන කරුණු විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ දෙන ලද සාක්ෂිවලින් සහ වෙනත් පරිවේෂණීය සාක්ෂි අනුව සිද්ධිය ගැන බොහෝ කරුණු හෙළිවී ඇති අතර ඒවා පදනම් කර ගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කළ හැකිව තිබිණ. එහෙත් නීතිපතිට ඉදිරිපත් කර ඇති ලිපිගොනු ද අසම්පූර්ණ බැවින් ආපසු යවා ඇත.


මේ පිළිබඳව උපදෙස් දීමට හෝ මගපෙන්වීම් කිරීමට සාමාන්‍ය පුරවැසියන් වශයෙන් අපට දැනුමක් හෝ හැකියාවක් නැත. අපට පැහැදිලිව පෙනෙන කාරණය වන්නේ මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමේ සිට පාස්කු ප්‍රහාරය දක්වා සිද්ධි ගැන කෙරෙන පරීක්ෂණ සහ විමර්ශන වැරදිකරුවන්ට දඬුවම් දීම දක්වා වූ ක්‍රියාවලියකට මෙතෙක් යොමුව නැති බව පමණි. රාජ්‍ය යාන්ත්‍රණයේ පොදුවේ පවතින අකාර්යක්ෂමතාව, අතපසු කිරීම් වැනි හේතූන් ඊට බලපාන්නට ඇත. එහෙත් මෙම සිද්ධීන්වලට අමතර සාධක ද ක්‍රියාත්මක වන බවද පැහැදිලිය. රියාද් බද්යුදීන් නිදහස් කිරීම ගැන මහත් උනන්දුවක් ඇතිවීමත් පොදුවේ පාස්කු ප්‍රහාරය ගැන චෝදනා ලැබ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නීති ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාදවීමත් අතර ක්‍රියාත්මක වන රහස් හස්තයක් තිබේද යන්න ගැන සාධාරණ සැකයක් පවතී.

රාජන් හූල් පාස්කු ඛේදවාචකය පිළිබඳ සිය කෘතියේ මෙසේ සඳහන් කරයි: “නීතිය නොසලකා පක්ෂග්‍රාහී අරුමුණු ඉටුකර ගැනීමට සහ තමන් කැමති දේශපාලන ආයතන, ආරක්ෂණ යාන්ත්‍රණයේ මූලික කොටස්වලින් සමන්විත සංවිධිත ආයතනයක් ලෙස රහස් හස්තය කෙරේ අවධානය යොමු කළ යුතුය. එහි ශක්තිය රඳා පවතින්නේ අතීතයේ සිදුවූ වාර්ගික ප්‍රචණ්ඩත්වය, වඩාත් මෑතක මුස්ලිම් ජනයා වධ හිංසාවන්ට ලක් කිරීම සහ පොල්පොට්ගේ කාම්බෝජය සිහි කරන 1987- 1990 ජේවීපී දෙවන කැරැල්ලලේ සමූහ මිනී වළවල් වැනි අපකීර්තිමත් සිද්ධීන් හමුවේ ඒවා පරීක්ෂා කිරීමට සහ විමසා බැලීමට මහජනතාව තුළ අධිෂ්ඨානයක් නොමැතිවීම, දේශපාලන පන්තියේ නියාලු බව සහ අධිකරණයේ බෙලහීනත්වය තුළය. නීතිය ක්‍රියාත්මක කරවීම දේශපාලන කූඨෝපායක් බවට පත් නොවූයේ නම් පාස්කු ප්‍රහාරයේ ‘මහ මොළකාරයා’ සේ සැලකෙන සහ්රාන් ප්‍රාදේශීය සුෆි භක්තිකයන්ට පහර දෙන ගණන්කාරයෙකුට වඩා වැඩි කෙනෙක් නොවනු ඇත.’


රියාද් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට කෙරෙන බලපෑම් සහ පාස්කු ප්‍රහාරය පිටුපස සිටියේ කවුරුන්ද යන්න සොයා ගැනීමට වුවමනාවක් නැතිවීම රහස් හස්තය නැවත හිස එසවීමක්දැයි සැක සිතේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here