විජයානන්ද ජයවීර

ජනප්‍රිය ඉතිහාසඥයන් දෙදෙනකු වන රුට්ගර් බ්‍රෙග්මන් සහ යුවාල් නොආ හරාරි අතර ඇතිවන කතාබහක් පිළිබඳ යූටියුබ් පටයක් මගේ අවධානයට යොමු කළේ හරාරි ලියූ සේපියන්ස් (Sapiens) නමැති ජනප්‍රිය පොත විශිෂ්ට ලෙස සිංහලට පරිවර්තනය කළ තරුණ වෛද්‍යවරෙයකු වන මංජුල කල්දේරායි. සේපියන්ස් පොත මෙන්ම අවධානයට ලක්වූ පොතක් ඉන් පසුව හියුමන් කයින්ඩ් (Humankind) නමින් රැට්ගර් බ්‍රෙග්මන් 2020 පළ කළ අතර මංජුල අතින් එයද සිංහලට පරිවර්තනය වෙනු ඇතැයි මගේ පැතුමයි.

පශ්චාත් කොවිඩ් ගෝලීය සමාජයට මුහුණදීමට සිදුවන අභියෝග සහ විසඳුම් ගැන මේ ඉතිහාසඥයන් දෙදෙනාගේ අදහස් වලින් අවසන් වන සාකච්ඡාව ඇර‍‍ඹෙන්නේ මිනිස් ප්‍රගතිය පිළිබඳ එකිනෙකට වෙනස් එහෙත්  අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිපෝෂණය වෙතැයි සිතෙන අදහස් දෙකකිනි.

හරාරිට අනුව මිනිස් ප්‍රගතිය රඳා පවතින්නේ මිනිසුන් විසින් සාමූහිකව විශ්වාස කරන කතන්දර පදනම් කරගෙනය. අනෙක් සතුන්ට වෙනස්ව මිනිසුන් මෙසේ දියුණු වූයේ විශ්වාස කිරීම පිණිස කතන්දර ගොතන එකම සත්ව විශේෂය මිනිසුන් වන බැවිනි. ඒවායින් බොහෝ කතන්දර වල්පල්ය. එහෙත් එකම කතාවක් විශ්වාස කිරීමට කණ්ඩායමක් වශයෙන් අප‍ පොළඹවා ගත හැකි සේපියන්ස් පොතේ වැඩිදුරටත් විස්තර වන පරිදි අප අදහන ආගම් දර්ශනවාද පමණක් නොව විද්‍යාව වැනි විෂයන්ද එවැනි කතන්දර වලට හොඳ උදාහරණයෝ වෙති.

එහෙත් බ්‍රෙග්මන්ට අනුව මානව සමාජ මේ අන්දමේ ප්‍රගතියක් ලබා ගෙන ඇත්තේ සත්ව විශේෂයක් වශයෙන් මිනිසුන්ට අනෙක් සතුන්ට වෙනස්ව ඇති සුවිශේෂ ඥානික හැකියාවක් නිසා නොවේ. ඇත්ත වශයෙන්ම මිනිස් පෝතකයන්ට වඩා ඥානික හැකියාව අතින් විශිෂ්ට සත්ව පෝතකයන් ගණනාවක්ම සත්ව රාජධානියෙන් සොයා ගත හැකිය. ඒ නිසා මිනිස් ප්‍රගතිය යනු මූලික වශයෙන්ම සතුන්ට වඩා කණ්ඩායම් වශයෙන් මිත්‍රශීලීව එකට වැඩ කිරීමට මිනිසුන්ට ඇති හැකියාව නිසා ඇති වූවකි. ප්‍රගතියට අදාළ වන සියලු අදහස් සහ නවෝත්පාදන ඒ සාමූහික මිත්‍රශීලීභාවය නිසා උද්ගත වූ ඒවාය.

කොවිඩ්-19 ඇතුළු ගෝලීය මට්ටමේ වසංගත යනු ශිෂ්ටාචාරය නිසා ඇති වූවකි. කෘෂිකර්මය හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස ශිෂ්ටාචාර බිහිවීමට පෙර අප අතර වසංගත නොතිබුණි. කෘෂිකර්මයට පෙර පැවැති දඩයම් යුගයේ මිනිසුන් සංවිධානය වී තිබුණේ සංඛ්‍යාවෙන් කුඩා වූ කණ්ඩායම් වලට බැවින් වසංගත පැතිරයාමේ හැකියාවක් නොතිබුණි.

කොවිඩ් වසංගතයට මුහුණදීමේ අභියෝගය කෙටි කලකින් සාර්ථක එන්නතක් සොයා ගැනීමට හැකිවීම නිසා විද්‍යාත්මක අතින් විපුල ප්‍රගමනයක් අත්පත් කර දුන් නමුත් දේශපාලනික වශයෙන් බෙහෙවින් අසමත් වූවක් විය. ගෝලීය වශයෙන් සාමූහිකව වැඩ කරනවා වෙනුවට සිය රටවල දේශපාලන ආධිපත්‍ය ගිලිහී යාම වළක්වා ගැනීමේ අරමුණින් පටු තරගකාරී ආකල්ප වලින් කටයුතු කිරීමට ඇතැම් නායකයෝ පෙළඹුණි. මානව වර්ගයා වශයෙන් එක්ව කටයුතු කිරීමට ලෝක නායකයෝ අසමත් වූ හ. විද්‍යාඥයන් විසින් ඉතා කෙටි කලක් තුළ එන්නතක් සොයා ගැනීමට සමත්වීම නොවන්නට දේශපාලනඥයෝ මෙය මුළුමනින්ම අල කරන්නට ඉඩ තිබුණේය. හරාරි පවසන අන්දමට කෝවිඩ් වසංගතය මිථ්‍යාව අභිබවා විද්‍යාව ජයගත් තවත් ඓතිහාසික අවස්ථාවකි. ඒ හැර ලොක්ඩවුන් කොට වැඩි ආරවුලකින් තොරව ජන සමාජ පවත්වා ගත හැකි බවත්, ගමනාගමනය අවම කිරීම තුළින් දේශගුණ විපර්යාසයට තුඩු දෙන කාබන් විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කරගත හැකි බවත් කොවිඩ් වසංගතය අපට පෙන්වා දුන්නේය.

කොවිඩ් සමය තුළ දුස් තොරතුරු ප්‍රචාරය වීමද සැලකිය යුතු පමණින් සිදුවිය. මිනිසුන් මෝඩ දේවල් සහ ඥානවන්ත දේවල් යන දෙකම එකට කිරීමට සමත් සත්ව විශේෂයකි. හිට්ලර්ගේ මුල් පෙළේ සහචරයෙකු වන ඇඩොල්ප් අයික්මාන් යුදෙව්වන් සමූල ඝාතනයට යොදාගත් සංවිධානාත්මක හා තාක්ෂණික විධික්‍රම ඔහුගේ ඥානාන්විත හැකියාව පිළිබිඹු කරන අතර යුදෙව්වන් සමූල ඝාතනය කිරීම සාධාරණීය කිරීම සම්බන්ධව ඔහු තුළ පැවැති මතවාදී දෘෂ්ටිය එනම් යුදෙව්වන් වනාහී සමස්ත ලෝකයේ බලය අත්පත්කර ගැනීමට කුමන්ත්‍රණය කරන කණ්ඩායමකි යන විශ්වාසය ඔහුගේ මුග්ධභාවය පිළිබිඹු කරයි.

නව ලිබරල්වාදයේ අසමත් බව, සාර්ව මූලික ආදායම (Universal basic Income) සහතික කිරීම සහ වැඩ කරන සතිය අඩුකර ගැනීම වැනි කරුණු කොවිඩ් අභියෝගය තුළ ඉදිරියට පැමිණීම ඉතා වැදගත්ය. මූලික ආදායම සහතික කිරීම, සෞඛ්‍ය, පොදු පහසුකම් වැනි දේවල් සම්බන්ධව රාජ්‍යයේ මැදිහත්වීමේ ඇති වැදගත්කම කොවිඩ් වසංගතය විසින් අවධාරණය කරනු ලැබීය. (මේ කරුණු ගැන වඩා විස්තීර්ණ පැහැදිලි කිරීම් අඩංගු පෝස්ටු කිහිපයක් ඉදිරියෙදී පළ කිරීමට මම අදහස් කරමි.) ඒ අනුව 2008 ආර්ථික අර්බුදයට වඩා මෙම වසංගතය නිසා ඇතිවන ආර්ථික අර්බුදයට වඩා ප්‍රයෝජනවත් තීරණාත්මක විසඳුම් කරා අප යොමු කරවීමේ විභවයක් තිබේ.

අධ්‍යාපනය සඳහා නව තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව යථාර්ථයෙන්ම අත්හදා බැලීමේ අවස්ථාවක් කොවිඩ් වසංගතය විසින් හඳුන්වාදීම වැදගත් වන නමුදු තාක්ෂණය උපයෝගී කරගෙන මිනිසුන්ගේ හැසිරීම් සංනිරීක්ෂණය කිරීමට හැකිවීමෙන් අපේ පුද්ගලික නිදහසට ඇතිවිය හැකි සීමා ගැන අප විමසිලිමත් විය යුතුය.

බ්‍රෙග්මන් සහ හරාරි දෙපොළම දැඩිව අවධාරණය කළ කරුණක් වන්නේ කොවිඩ් වසංගතයට වඩා මානව වර්ගයාට බලපෑමක් ඇතිකළ හැකි තීරණාත්මක අභියෝගය වන්නේ දේශගුණ විපර්යාසය නිසා ඇතිවිය හැකි ව්‍යසනය යන්නයි.

මොන අඩුපාඩුකම් තිබුණත් පවතින ජාත්‍යන්තර සංවිධාන ව්‍යුහය මගින් ජාතික රාජ්‍යයන් අතර විනාශකාරී යුද්ධ ඇතිවීම නතර කර ගැනීමට අප සමත්වී තිබේ. ඒ නිසා ජාත්‍යන්තර වගවිමේ ක්‍රමය සහ ජාතයන්තර සංවිධාන ශක්තිමත් කරගැනීමට අප දේශපාලඥයන්ට බල කළ යුතුය. න්‍යෂ්ටික යුද්ධ ඇතිවීම වළක්වා ගැනීමට ජාත්‍යන්තර සංවිධාන ක්‍රමයට තවමත් හැකිව තිබෙන නමුත් සයිබර් අවකාශය පදනම් කරගත් යුද්ධයක් ඇති වුවහොත් සිදුවිය හැකි ව්‍යසනය සිතා ගත නොහැකි තරම්ය.