ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය

සාකච්ඡාව- ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

බෝවන රෝග පාලනය සම්න්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෘජුව කටයුතු කරනවා. කොවිඞ් 19 පාලනය සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වගකීම මොකක්ද?


ලංකාව තුළ හෝ ලංකාවේ පිටතට පැතිරෙන්න පුළුවන් බෝවන රෝග පාලනය කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මූලික රාජකාරි ලැයිස්තුවේ තිබෙන ප්‍රධානම රාජකාරියක්. ඒ කියන්නේ රෝගයක් නිවාරණය, රෝගය හැදීමට පෙර පාලනය කිරීම සම්බන්ධව ක්ෂේත්‍ර මට්ටමෙන් සිටින සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයායි. ඒ යටතේ ව්‍යවස්ථාපිත නීති, අවශ්‍ය උපදේශන මාලා දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබෙනවා. චක්‍රලේඛ නිකුත් කර තිබෙනවා. ඒ යටතේ බෝවන රෝග ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම් දී ඇති රෝග තුනක්, ඊට අමතරව තවත් රෝග 23ක් සහ 2020 මාර්තු මාසයේ ගැසට් මගින් අලුතෙන් ඇතුළත් කළ කොවිඞ් 19 පාලනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සෘජුව පැවරී තිබෙනවා.


කොවිඞ් පාලනය සම්බන්ධ උපදේශන මාලා ක්‍රියාත්මක නොකිරීම් සම්බන්ධයෙන් හා නිරෝධායනය සම්බන්ධයෙන් වන ක්‍රියාවලියේ දී මහජන පරීක්ෂකවරුන් අභියෝගයට ලක්විය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබුණා. ඔක්තෝබර් 16 සෞඛ්‍ය අමාත්‍යවරිය අත්සන් කළ ගැසට් පත්‍රයෙන් එම ගැටලුවලට විසඳුම් ලැබී තිබේ ද?


මේ වෛරසය මුඛය, නාසය හා ඇස් මගින් පැතිරෙන්න පුළුවන් එකක්. මුව වැසුම් භාවිතය මෙය වැළැක්වීමේ ප්‍රධාන මාර්ගයක්. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුමත කළා. බොහෝ රටවල එය අනිවාර්ය කළා. ලංකාවේ පසුගිය සතියේ ගැසට් පත්‍රය නිකුත් වන තුරුම මුව වැසුමක් අනිවාර්ය කර තිබුණේ නැහැ. ඇතැම් අවස්ථාවල එය නීතිගත නොවීම බාධාවක් බවට පත් වී තිබුණා. ඒ වගේම මෙම රෝගයට යම් අයෙක් සෘජුව ලක් වුවහොත් හෝ ආශ්‍රිතයෙක් වුවහොත් රෝග ලක්ෂණ මතුවන තුරු හෝ ප්‍රතිකාර ලබාගන්නා තුරු නිවස තුළ හෝ කිසියම් ස්ථානයක අදාළ කොට්ඨාසයේ බලයලත් නිලධාරියා විසින් නම් කරන ලද ස්ථානයක නිරෝධායනය කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන තිබුණේ නැහැ. ඒ නිසා නිවෙස් තුළ නිරෝධායනය කරන්නේ කුමන බලය මත ද ආදී වශයෙන් නිරෝධායන ක්‍රියාවලියේ දී බාධා තිබුණා. කිසියම් ආයතනයක් හෝ පුද්ගලයන් පිරිසක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝග කඩකිරීම සම්බන්ධව ක්‍රියාමාර්ග ගත නොහැකි තත්ත්වයක් තිබුණා. මෙම ගැසට් පත්‍රය නිසා එය නිවැරදි වීමක් සිදුවුණා.


එම නෛතික ප්‍රතිපාදන එම ක්‍රියාවලීන් ක්‍රමවත් කිරීමට පමණක් නොව ජනතාව මත අනිසි බලපෑමක්ද ඇති කළ හැකි යැයි පවසමින් පසුගිය කාලයේ ඇතැම් පාර්ශ්වයන් එවැන්නකට විරෝධය දැක්වූ අවස්ථා තිබුණා. මේ හරහා එවැන්නකට ඉඩ සැලසිය හැකි ද?


මේ නීති රීති ආවා කියලා කඩුවක් ලැබුණා වගේ එයින් ජනතාව හිරිහැරයට පත් කරන්න අදහසක් නැහැ. දැන් සමහර අය මාස්ක් එක නැති නිසා නඩු දාවි කියලා හිතන්න පුළුවන්. ඇත්තටම මේවාට නීතියක් තියෙන්න ඕනෑ. කිසියම් ආකාරයට මේ නිරෝධායන නියෝග සහ සෞඛ්‍ය උපදේශන පිළිපැදීමට ජනතාව පෙළඹවීම තමයි අවශ්‍ය වෙන්නේ. සමහර අය නිරෝධායන කාල සීමාවේ නිවෙස්වල රැඳී නොසිට වෙනත් ස්ථාන වලට වගේම වෙනත් ප්‍රදේශ වලට යන අවස්ථා තියනවා. ඒ වගේම ඒකාරාශීවීම් සිදුකරනවා. මේක එවැනි දේට සුදුසු කාලයක් නෙමෙයි. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ ලබා දෙන නියෝග හා උපදෙස් අනුව වැඩ කරන්න කියන එකයි. එහෙම වුණොත් අපිට මේක පාලනය කරගන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් අපිත් රෝගීන් බවට පත් වී ජනතාව වෙනුවෙන් මේ කටයුතු කිරීමට අපහසු තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. මේවා නීතිගත කිරීම හරහා බලාපොරොත්තුවෙන්නේ එසේ නොවී මෙය පාලනය කර ගැනීමට අවශ්‍ය පරිසරය සකසා ගැනීමයි.


නිරෝධායන ක්‍රියාවලියට ආරක්ෂක අංශ මැදිහත්වීමත් සෞඛ්‍ය අංශ සමග නිසි සම්බන්ධීකරණයක් නොපැවතීමත් නිසා පසුගිය දිනවල ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුව තිබුණ බව ඔබ සංගමය ප්‍රකාශ කළා. මේ වන විට එම තත්ත්වයන් නිරාකරණය වී තිබේද?


මේක තනි කාර්යයක් විධියට කරන්න අමාරුයි. ආරක්ෂක අංශවලත් සහාය එතැනදී අවශ්‍යයි. හැබැයි කළමනාකරණයේ යම් යම් ප්‍රශ්න ටිකක් ඇතිවුණා. ආයතන, දෙපාර්තමේන්තු, අංශ කීපයක් නිසා එවැනි ගැටලු මතුවුණා. මේ රෝගය ඉතා ඉක්මනින් පැතිරී යන නිසා ඉක්මනින් ක්‍රියාත්මකවීමත් අවශ්‍යයි. මේ වන විට කළමනාකරණ ගැටලු සියල්ල වගේ විසඳිලා තියනවා. මුල් කාලයේ අපේ නිලධාරීන් ආශ්‍රිතයන් නිරෝධායනය කළාට පසුව එම නිලධාරීන්ටත් නොදන්වා යම් යම් නියෝග මගින් හා විධාන මගින් නැවත ඒ නිරෝධායනයේ සිටි පිරිස් වෙනත් ස්ථානවල නිරෝධායනයට රැගෙන ගිය අවස්ථා තිබුණා. පසුව ඒ ඇතැම් අයට වෛරස ආසාධිත බවට පරීක්ෂණ වාර්තා ලැබුණු අවස්ථාවල ඒ රෝගීන් සොයා ගැනීමට අපේ නිලධාරීන්ට නොහැකි වුණා. පසුව අදාළ ආරක්ෂක අංශ ප්‍රධානීන් සම්බන්ධ කරගෙන ජනාධිපතිවරයා මේ ගැටලුවට මැදිහත්වෙලා විසඳා තිබෙනවා. මේ වන විට එවැනි රෝගීන් හෝ රෝගී ආශ්‍රිතයන් රැගෙන යෑම සිදුවිය යුතු වෙන්නේ අදාළ කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දන්වලායි. ඒ නිසා එවැනි කාරණා ඉදිරියේ දී සිද්ධ නොවෙයි කියලා හිතනවා.


මේ වෙද්දී රට තුළ දිස්ත්‍රික්ක කීපයක හැර අනෙක් සියලු දිස්ත්‍රික්කවලින් කොවිඞ් ආසාදිත අය හඳුනාගෙන තිබෙනවා. මේ තත්ත්වය එක්ක රෝගය දැන් පාලනයෙන් ගිලිහිලා ද කියන සැකය සමාජය තුළ තිබෙනවා. මේ පිළිබඳ තිබෙන අදහස මොකක්ද?


මේ රෝගය අපේ පාලනයෙන් ගිලිහිලා කියන්න තවම සාධක නැහැ. නමුත් විශේෂයෙන් පසුගිය කාලයේ සෞඛ්‍ය අංශවලින් කීවේ ඉදිරි සති දෙක ඉතාම තීරණාත්මක බවයි. මොකද පසුගිය සිද්ධි කීපයක්ම විශ්ලේෂණය කර බැලුවොත් විවිධ ප්‍රදේශවලින් කුඩා රෝගී පොකුරු වශයෙන් වාර්තා වූ රෝගීන් පිළිබඳ සලකා බැලීමේ දී ඔවුන් විවිධ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කර තිබුණා. බස් රථ, දුම්රිය, වායුසමනය කරන ලද අධිවේගී බස් රථ ආදිය දෛනිකව භාවිත කර තිබුණා. බොහෝ දෙනා ජන ඒකරාශීවීම් වලටත් සම්බන්ධ වී තිබුණා. එවැනි තත්ත්වයක් තුළ ඇත්තටම මොන මොන ප්‍රදේශවලින් රෝගීන් මතුවේද කියන දේ හරියාකාරව හඳුනා ගන්න අමාරුයි. නිරන්තරයෙන් ජනතාවට ඒ අවදානම පිළිබඳව අපි මතක් කරන්නේ ඒ නිසයි. එවැනි තත්ත්වයක් තුළ මෙහි විශාලම වගකීම තිබෙන්නේ ජනතාවගේ අතේයි. හැකි තරම් සංචරණයන් සීමා කරමින් නිවෙස්වලට වී කටයුතු කර මේකට සහාය දෙන්න කියන්නේ ඒ නිසයි. ජනතාව ලෙස ඒ සහයෝගය ලබා දුන්නේ නැතිනම් සහ අදාළ තොරතුරු ලබා දෙන්නේ නැති නම් මේක පාලනයෙන් ගිලිහෙන්න පුළුවන්. ආසන්නම රට වන ඉන්දියාවේ තිබෙන තත්ත්වයට අපි ගිහින් නැහැ, එහෙම තත්ත්වයකට යන්න දෙන්නේත් නැහැ. ඒ තත්ත්වයට ලක් නොවී ඉන්න නම් ජනතාවට ලොකු වගකීමක් තියනවා. මම හිතන්නේ අපිට තවමත් පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් තියනවා.


කෙසේ වෙතත් ඇඟලුම් කම්හල් ආශ්‍රිතව ඇති වූ බව පැවසෙන රෝගී පොකුරට අමතරව ඊට සම්බන්ධයක් නොමැති රෝගීන් වාර්තා වූ අවස්ථා තිබුණ බවට සෞඛ්‍ය අංශයේ ඇතැම් නිලධාරීන් ප්‍රකාශ කළා. මේ තත්ත්වය අවදානම් සහිතයි නේද?


සමහර ස්ථානවලින් වාර්තා වුණු රෝගීන්ට මිනුවන්ගොඩ පොකුරේ යම් සම්බන්ධයක් තිබේද කියන දේ හරියටම හඳුනාගන්න අමාරුයි. මොකද පැයෙන් පැය දිනෙන් දින විවිධ සිද්ධි වාර්තා වෙනවා. ඒ නිසා මේකේ යම් සම්බන්ධතා තිබෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී සැකසහිත හුදෙකලා සිද්ධි තිබෙනවා. නමුත් ඒවායේ අභ්‍යන්තරයේ කොහේ හෝ සම්බන්ධතා තිබෙන්න පුළුවන්. හැබැයි දිස්ත්‍රික්ක විසිපහේම පොකුරු ලෙස වර්ධනය වන හඳුනාගත නොහැකි ආකාරයේ සිද්ධි තවම වාර්තා වෙන්නේ නැහැ. කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානම එයින් නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ මේක මර්දනයට අවශ්‍ය සහයෝගය ඉතා ම අවශ්‍යයි.


උසස්පෙළ විභාග කටයුතු පැවැත්වීමේදී මෙම වෛරස තත්ත්වයට සරිලන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක නොවූ බවට චෝදනා තිබුණා. මේවා සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේත් නිසි මැදිහත්වීමක් ඇතැම් ස්ථානවල නොතිබුණු බවට චෝදනා තිබුණා. මේ තත්ත්වයට හේතු මොනවාද?


පසුගිය කාලයේ මැතිවරණයට පෙර පූර්ව මැතිවරණයට අදාළ කටයුතු සූදානම් කර ආදර්ශ මැතිවරණ පවත්වා සැලසුම් සහගත බව තිබුණා. නමුත් එවැනි දෙයක් විභාග පැවැත්වීම සම්බන්ධයෙන් හරියාකාරව ක්‍රියාත්මක වුණේ නැහැ. සමහරවිට විභාගය තියනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තිබූ අවිනිශ්චිත තත්ත්වයත් එයට බලපාන්න ඇති. මෙය තවත් කල් නොයවා පවත්වන ලෙස විශේෂයෙන් දෙමාපියන් හා ගුරුවරුන්ගෙන් දැඩි ඉල්ලීමක් තිබුණා. එවැනි තත්ත්වයක් තුළ සමහර ස්ථානවල බොහෝ අඩුපාඩු දකින්න ලැබුණා. ගුරු සංගම් පවා ඒවා පෙන්වා දුන්නා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් වුවත් ඒවා සම්බන්ධයෙන් කළමනාකරණය කිරීමට යෑමේ දී අපහසුතා තිබුණා.

උදාහරණයක් විදියට ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති වූ තත්ත්වයත් සමග විභාග මධ්‍යස්ථානවල නිලධාරියෙක් රඳවා තැබීමට බැරි තත්ත්වයක් තිබුණා. එම ස්ථානය පරීක්ෂා කර උපදෙස් දීම පමණයි සිදුකළ හැකිවුණේ. එවැනි තත්ත්වයක් තුළ එම ස්ථානවල විෂබීජහරණ කටයුතු වැනි දේ සියයට සියයක් වුණා කියලා තක්සේරු කරන්න අමාරුයි. හැබැයි බොහොමයක් ප්‍රාදේශීය සභාවන්, ස්වේච්ඡා සංවිධාන ආදී බොහෝ අය සෞඛ්‍ය අංශවල මගපෙන්වීම යටතේ සහාය ලබා දුන්නා. එහෙම නොවුණා නම් ඊට වැඩි තත්ත්වයක් ඇති වෙනවා. කෙසේ වෙතත් ආශ්‍රිතයන්ට, සැකසහිත ආදී සියලුදෙනාට විභාගය ලියන්න ඉඩ ලබා දුන්නා. ඒ අතර ජනප්‍රිය පාසල් කීපයකින් රෝගී දරුවන් වාර්තා වෙද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස අපි මැදිහත් වුණා. ඒ මධ්‍යස්ථානවලට ආරක්ෂිත ලෙස කටයුතු කිරීමටත් අනෙක් ළමුන් ආශ්‍රිතයන් නොවන ලෙසත් කටයුතු කළා. එය සියයට අනූපහකට වැඩි සාර්ථකත්වයකින් සිදුවුණා. ■