ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


සිංහරාජ ලෝක උරුමයට හානිවන ලෙසින් මාර්ගයක් ලංකාගම සිට ඉදිකිරීම ගැන ඇතිව තිබෙන්නේ ආන්දෝලනයකි. ලංකාගමට පිවිසීමේ මාර්ගය සංවර්ධනය කිරීමට පරිසරවේදීන් විරුද්ධ යැයි මතයක් හා පරිසරවේදීන් සමග සංවර්ධන කටයුතු කළ නොහැකි බවටත් මතයක් ද සමාජය තුළ රෝපණය කිරීමක් වන්නේ මේ කටයුතු බාධාවකින් තොරව සිදුකර ගෙන යෑමට බව පැහැදිලිය. එහෙත් අවධානය යොමු කළ යුතු මූලිකම කරුණු වන්නේ මේ සැබවින්ම හදන්නේ ලංකාගමට අවශ්‍ය තිබෙන මාර්ග පහසුකම පමණක් ද යන්නත් එම කටයුතු සිදුවන්නේ කෙළෙසද යන්නත් පිළිබඳවය, ලෝක උරුමයක් වන සිංහරාජය හරහා වන සංවර්ධන කටයුත්තක් සිදුකරන්නේ ඒ සම්බන්ධයෙන් වන නීතිරීති හා නිසි ක්‍රියාවලියට යටත්ව ද යන්නය. එහෙත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ මේ සංවර්ධන කටයුත්ත සිදුවන්නේ එලෙස නිසි ක්‍රියාවලියට යටත්ව නොවන බව හා එය ලංකාගම ගම්වාසීන්ගේ අවශ්‍යතාව ඉටු කිරීම පදනම් කරගෙනම නොවන බවය.


පාර කපන්නේ ලංකාගමට ද?


ලංකාගම වාසීන්ගේ අවශ්‍යතාවන්ට පහසුකම් සැලසීමට ලංකාගම සිට නෙළුව දක්වා විහිදෙන මාර්ගය සංවර්ධනය කළ ද ලංකාගම සිට දෙනියාය දක්වා වන මාර්ගයක් ද සිංහරාජයට ද හානි ඇති කරමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව කුමක් ද යන්න මෙහිදී පැහැදිලි නැත. එහෙත් ඒ හරහා පැහැදිලි වන කාරණා නම් 2013 වසරේ නවතා දමන ලද සංචාරක හෝටල් ව්‍යාපෘතියක් මෙන්ම අනෙක හම්බන්තොට චීන වරායට ජලය දීමට සකස් කරන ගිං නිල්වලා ව්‍යාපෘතිය ඉදිකිරීමට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා මාර්ගයක් ලෙස මෙම මාර්ගය සකසා භාවිත කිරීමට පහසුකම් සපයා ගැනීම මෙහි අරමුණු බව පෙනී යයි. ලංකාගමට සෙත සලසන මුවාවෙන් මේ ව්‍යාපෘතීන් සඳහා පහසුකම් සපයා ගැනීම ආණ්ඩුවේ ප්‍රධාන උපාය මාර්ගය බව පෙනේ. ජනාධිපතිවරයා මේ ස්ථානයටම යන්නේ ද විධායක බලය යොදා මාර්ගය සෑදීමට උපදෙස් දෙන්නේ ද ලංකාගමේ මිනිසුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් නොව සැබවින්ම වෙනත් අරමුණු ද සහිතවය. ගිං නිල්වලා ව්‍යාපෘතිය සඳහා මේ වන විට මූලික මිනුම් යම් තරමක අවසන් කරමින් තිබෙන අතර ඒ සඳහා වන ගිවිසුම ද චීනයේ CAMC ඉන්ජිනේරු සමාගම හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අත්සන් කර තිබෙන්නේය. මෙම ව්‍යාපෘතිය ඉදිවීමට නියමිත කලාපවලට දෙනියාය, දියදාව, කොටපොළ, කටුවන, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයක් ද අයත්ය. 2014 වසරේ දී ද මෙම ජල ව්‍යාපෘතිය දියත් කිරීමට උත්සාහ ගෙන තිබුණි. එම ව්‍යාපෘතියට අදාළව රුපියල් මිලියන 3.012 හිටපු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉවන්ද සිල්වා විසින් නිසි ක්‍රමවේදයකින් තොරව ගිං නිල්වලා ව්‍යාපෘතිය දියත් කරන චීනයේ CAMC ඉංජිනේරු සමාගමට ගෙවා ඇති අතර එම ගෙවා ඇති මුදල මුළු ව්‍යාපෘති වටිනාකමින් 5% ක් බවද වාර්තා විය. මේ වන විට නැවතත් කටයුතු සූදානම් වෙමින් පවතින්නේ මේ ව්‍යාපෘතීන් නැවත දියත් කිරීමේ පහසුකම් සපයා ගැනීමය. තම ගමට පහසුකම් සපයනවා යැයි සිතන ලංකාගමේ සැබෑ ගම්වාසීන්ට ද එහි ආදීනව විඳීමට සිදුවන කාලය වන විට එය නැවත හැරවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙනවාට ද සැක නැත.


නීති විරෝධීයි


වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2010 දත්තවලට අනුව මෙරට පහතරට වැසි වනාන්තරවලින් ඉතිරිව පවතින්නේ මුළු භූමි ප්‍රමාණයෙන් 1.9% ක් පමණ. ඒ හෙක්ටයාර 123302ක භූමි ප්‍රමාණයකි. ඉතිරිව ඇති ඉහළ කඳුකර වැසි වනාන්තර හා උප කඳුකර වැසි වනාන්තර ප්‍රතිශතය මෙරට භූමි ප්‍රමාණයෙන් 1.1%කි. ඒ හෙක්ටයාර 73271කි. ඒ අනුව මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3%ක් වැනි ඉතාමත් සුළු කොටසක් පමණක් වැසි වනාන්තර වලින් වැසී පවතින්නේය. මේ අතුරින් ද රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන්නේ 65%ක් වැනි ප්‍රමාණයක් පමණක් වන අතර ඉතිරි කොටස් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන්නේය.


ලංකාගම දක්වා සිංහරාජ ජාතික වනය තුළින් මාර්ගය ඉදිවීමේ දී නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාදුගැටේ, වාරුකන්දෙණිය සහ ලංකාගම ග්‍රාමනිලධාරී වසම් තුන හරහා කිලෝමීටර 18ක් පමණ දීර්ඝ මෙන්ම අඩි 15ක් පමණ පළල මාර්ගයක් ලෙස මෙම මාර්ගය සංවර්ධනය වීමට නියමිතය. එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩම්, සිංහරාජ ජාතික උරුමයට අයත් වනාන්තර ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, පෞද්ගලික ඉඩම් හරහා විහිදේ. සිංහරාජ ජාතික උරුම වන භූමියේ ස්ථාන තුනක් හරහා මීටර 1320ක් ඔස්සේ මෙම මාර්ගය සංවර්ධනය වන අතර ගිං ගඟේ අතු ගංගා හරහා ද මාර්ග සංවර්ධනය කෙරේ.


1988 අංක 03 දරන ජාතික උරුම වන භූමි පනතේ දෙවන වගන්තියට අනුව සිංහරාජය ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන්නේය. එලෙස ප්‍රකාශයට පත් කර ඇති භූමි පෙදෙසකට ඇතුළුවීමට නම් එම පනතේම 3වන වගන්තියට අනුව වන සංරක්ෂණ ජනරාල්වරයාගේ අනුමැතිය ලබාගත යුතු බැවින් එසේ නොමැතිව ඇතුළුවීම නීති විරෝධී වන්නේය. ජාතික උරුම වන භූමියක ශාක කැපීම, අලුතෙන් වනාන්තර එළි කිරීම, මාර්ග ඉදිකිරීම ආදී දේ එම පනතේම 4වන වගන්තියට අනුව තහනම් වන්නේය. එවැනි වරදකට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන අයෙකුට එම පනතේ 12 වන වගන්තියට අනුව රුපියල් දසදහසත් ලක්ෂයත් අතර දඩයකට හෝ වසර එකත් වසර දෙකත් අතර සිරදඬුවමකට හෝ එම දඬුවම් දෙකට ම හෝ ලක් කළ හැකිය.


එමෙන්ම සිංහරාජ ජාතික උරුම වන භූමිය සහ ඒ වටා ඇති සියලු වනාන්තර ප්‍රදේශ අයත් කලාපය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 03 වන වගන්තියට අනුව 2008 මැයි 22 දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මගින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන්නේය. ඒ එම කලාපය කඳුවැටි සහිත නායයෑමේ අවදානමක් ඇති කලාපයක් වීමය. එවැනි කලාපයක සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේ දී ජාතික පාරිසරික පනතට අනුව අනුමැතිය ලබාගත යුතු අතර එමගින් බලාපොරොත්තු වන්නේ සංවර්ධන ව්‍යාපෘතියේ තිරසර පැවැත්ම තහවුරු කිරීමය.


සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23n වගන්තියට අනුව 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප්‍රදේශයක් හෙළිකර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබාගත යුතුය. එබැවින් ලංකාගම සිට ඉදිවන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී විශාල වන තීරයක් ඉවත් කිරීමට සිදුවන නිසා ඊට ප්‍රථම පාරිසරික බලපෑම් ඇගැයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ගතයුතුව තිබෙන්නේය. ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශිත ප්‍රදේශයක් තුළ හෝ එහි මායිමේ සිට මීටර 100ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ද පරිසර බලපෑම් ඇගැයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු බව එම ගැසට් නිවේදනයේම දැක්වෙන්නේය. දැන් මේ මාර්ගය ඉදිවන්නේ මේවා උල්ලංඝනය කරමින් වුවත් ඒවා සම්බන්ධයෙන් බලධාරීන් කිසිවෙකු සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැත. රටේ ජනාධිපතිවරයාම ඒවාට සෘජුව මැදිහත්වී නීත්‍යනුකූල නොවන ලෙස එම කාර්යයන් කිරීමට උපදෙස් දෙද්දී ඊට විරෝධය දැක්වීමට ද කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැත. සිදුවන්නේ විරෝධය දක්වන පරිසරයට ළැදි පිරිස ද ත්‍රස්තවාදී කණ්ඩායමක් මට්ටමට ඇද දැමීම ය.


ගත් තීරණත් ක්‍රියාත්මක වී නෑ


සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රක්ෂිත නොවන වනාන්තර එළි කර තේ වගාවට යොදා ගැනීම ආදී හේතු ගැටලු නැවැත්වීමේ අරමුණින් 2004 අගෝස්තු 04 දින කැබිනට් මණ්ඩලය විසින් නිර්දේශ කර තිබුණේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට මායිම්ව හෝ මායිමේ සිට මීටර 500ක් ඇතුළත පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම් සියල්ල පසුව වන්දි ගෙවීමේ පදනම මත සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට පැවරිය යුතු බවය. එලෙස පැවරීමට ඇස්තමේන්තු කර ඇති වනාන්තර භුමි ප්‍රමාණය හෙක්ටයාර 2490කි. ඒවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් වතු සමාගම්වලට ලබා දුන් ඉඩම්වල පිහිටා තිබෙන අතර පවරා ගැනීමට නිර්දේශ වී වසර 16ක් ගත වුවත් ඒවා අවසන් කිරීම තවමත් සිදුවී නැත.


පසුගිය යහපාලන සමයේ පරිසර අමාත්‍යවරයාව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ද සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය අවට ඇති යෝජිත රක්ෂිත වනාන්තර 13ක් සිංහරාජයට සම්බන්ධ කර හෙක්ටයාර් 30000 දක්වා එම රක්ෂිත භූමි ප්‍රමාණය වැඩි කිරීමට ගැසට් නිවේදනයකට අත්සන් එවා තිබුණි. ඊට අනුව දෙල්ලව, තවලම, මොරපිටිය රූනකන්ද, වරතැල්ගොඩ මූකලාන, නෙළුකැටිය මූකලාන, දෙල්මැල්ල-යටගම්පිටිය, අයගම, කරවිට, කුඩුමිරිය, මස්ඉඹුල, මගුරුගඟ යන යෝජිත රක්ෂිත ද සිංහරාජ ජාතික උරුම වන භූමියට පැවරීමට කටයුතු කර තිබෙන නමුත් එම ගැසට් නිවේදනයට හිටපු ජනාධිපතිවරයා විසින් අත්සන් තබා වසරක් ගත වුවත් තවමත් එය ප්‍රකාශයට පත්වූයේ නැත.


ඒවා වෙනුවට එම වනාන්තර තුළින් ගම්මානවලට පිවිසීමට ඇති මාර්ග තවත් පුළුල් කරමින් එමගින් එම වනාන්තර ඉඩම් විවිධ මහා පරිමාණ හෝටල් වැනි වාණිජ ව්‍යාපෘති හා තේ වගා බිම් ඇති කිරීම සඳහා මෙම ප්‍රදේශයේ දේශපාලකයන් හා ඔවුන්ගේ හිතවත් ව්‍යාපාරිකයන් විසින් සැලසුම් සකස් කරමින් සිටින බවය. ලංකාගම ගම්වාසීන්ට මාර්ග පහසුකම් ලබාදීමේ මුවාවෙන් එම ප්‍රදේශවාසීන් පමණක් නොව මුළු රටේම ජනතාව මුලා කරමින් මේ අරඅඳිමින් සිටින්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පවතින වනාන්තර ඉඩම් ඩැහැ ගැනීමට බව පැහැදිලිය. මේ අතර 05/2001 වන සංරක්ෂණ චක්‍රලේඛය ද අහෝසි කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ඇති අවශේෂ වනාන්තර හෙක්ටයාර් ලක්ෂ 5ක් වාණිජ වගාවන්ට හා අනෙකුත් සංවර්ධන කටයුතුවලට ලබාදීම සඳහා 2020 සැප්තැම්බර් 09 වන දින කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ද යොමු කර තිබෙන්නේය.

පාරවල් හැදුවත්
සිංහරාජය හදන්න බෑ
සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්


ප්‍රශ්නය තියෙන්නේ ලංකාගම ඉඳලා දෙනියායට ඉදිකරන පාර සම්බන්ධවයි. ඒ පාර ඉදිකරන්න අවශ්‍යතා දෙකක් තියනවා කියලා බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. මොකද 2011 අවුරුද්දේ ඒක ඉදිකරන්න හදද්දී ඒකට විරෝධය දක්වලා අපි ඒක නතර කර ගත්තා. නෙළුව ඉඳලා ලංකාගමට මාර්ගය ඉදිකරනවාට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. හැබැයි ඒ තියන පාරම තාර දාලා හෝ කාපට් කර යම් ප්‍රමිතියකට හැදීම ගැන අපේ ගැටලුවක් නෑ. නමුත් ඒක විශාල කරද්දී සහ ලංකාගම සිට දෙනියායට පාර හදද්දී තමයි ගැටලුව මතුවෙන්නේ. මොකද එකක් තමයි මේ කියන ප්‍රදේශය ගිං ගඟේ ජල පෝෂිත ප්‍රදේශය නැතිනම් ඉවුරු කලාපයයි. ඒ නිසා මේ කපන පාරේ පස් ඔක්කෝම වැටෙන්නේ ගිං ගඟට. ඊළඟට ලංකාගම ඉඳලා දෙනියායට මාර්ගය හැදෙද්දී සිංහරාජය තුන් ස්ථානයකින් කිලෝමීටර 1.3ක් කැපෙන්න නියමිතයි. ඒකට අපි අපේ විරෝධය දක්වනවා. එකක්, මේ පාර යන්නේ සිංහරාජ ලෝක උරුමය මැද්දෙන්. අනෙක් එක, 2004 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවරගන්න කියලා අමාත්‍ය මණ්ඩල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයිති ඉඩම්වලින් සහ සිංහරාජයේ ප්‍රේරණ කලාපයෙන්. ඒ කියන තුනෙන් තමයි මේ පාර යන්නේ. එවැනි අධි සංවේදී කලාපයක් තුළ ආණ්ඩුවක් මාර්ගයක් හෝ එවැනි සංවර්ධන කටයුත්තක් කරද්දී මීට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනෑ. ඒකට හේතුව තමයි අපිට පාරවල් හදන්න පුළුවන් වුණත් සිංහරාජය වගේ වනාන්තරයක් ආපහු හදන්න බැහැ.

ගම්වාසීන්ට ලංකාගම නැතිවේවි
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ


ඇත්තටම මෙතන ගමේ සත්‍ය මිනිස්සු සහ පරිසරවේදීන්ට දොස් පවරමින් ගමේ මිනිස්සු විධියට පෙනී සිටි මිනිස්සුයි කියන්නේ දෙකොටසක් කියලා මම හිතනවා. දෙනියායෙන් නෙළුවෙන් ගිහින් එහේ තේ වගා කරගෙන ඉන්න අය, සංචාරක මගපෙන්වන්නන් වැනි අයත් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ ගමේදී පරිසරවේදීන්ට පහරදීම් තර්ජනය කිරීම් කළ අය ඒ ගමේ අය නොවිය යුතුයි. එදා ජනාධිපතිවරයා එතැනට ගිය වෙලාවේ තිබුණේ දේශපාලනිකව උද්දාමයට පත්වුණු මිනිස්සු ටිකකගේ රඟපෑමක්. මිනිස්සුන්ට තමන් ඉන්න තැන තීරණය කිරීමේ අයිතිය තමන්ට තියෙන්න ඕනෑ. හැබැයි එතැන ජීවත් වුණා කියලා ස්වභාවධර්මයේ තිබෙන ජලය, වනාන්තර, වාතය වැනි පොදු දේපොළට හානි කරන්න බැහැ. තමන් කරන ක්‍රියාව හරහා පොදුවේ තිබෙන පරිසරයට හානි වෙනවා නම් එතැන වැරැද්දක් තියෙනවා. ඒ නිසා ගමේ මිනිස්සු වනාන්තරයට හානි කරනවා නම් එතැන වැරැද්දක් තියනවා. ඒ ගමේ මිනිස්සුන්ට එතැන ඉන්න අයිතියක් තියනවා. නෙළුවෙන් දෙනියායෙන් වගේ පිටින් ගිහිල්ලා එතැන ලොකුවට ඉඩම් අල්ලාගෙන ඉන්න මිනිස්සු ටික නම් එතැන ඉන්න ඕනෑ නෑ කියලා මම හිතනවා.


අනෙක් දේ නිල්වලා-ගිං යෝජනා ක්‍රමය හරියට පරිසර වාර්තාවක් සිදු නොකරයි සිදු කරන්නේ. ඒක ලංකාගම කිට්ටුවෙන් උමඟක් පටන් ගෙන දෙල්ලව වනාන්තරයෙන් කොටසක් යටවන ජලාශයක් හදලා ආපහු උමඟක් හරහා දකුණේ හම්බන්තොට දෙසට සමහර ස්ථානවලින් උමඟෙන් සමහර තැන්වල බටවලින් කාණුවලින් ලෙස හම්බන්තොටට වතුර ගෙන යෑමට වන ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියේ මිලියන හාරසියයක් පමණ 2012 දී පමණ හිටපු ඇමතිවරයා ඇතුළු පිරිසක් ඡන්ද කටයුතුවලට යොදාගත් බව වාර්තා වුණා. ඒකට අදාළ ලේකම්වරයෙක් විදෙස්ගත වුණා. ඒ සම්බන්ධව කිසිවක් සිදුවුණේ නැහැ. ඒ නිසා චීන සමාගම්වලට මේක දීලා තිබුණත් ඒක දිගටම ක්‍රියාත්මක වුණේ නෑ. පසුගිය ආණ්ඩු කාලයේ මේ ගැන විගණන පරීක්ෂණයක් තියනවා. 2017 විගණකාධිපති වාර්තාවකින් මේකේ තිබුණු අඩුපාඩුකම් රාශියක් අනාවරණය වුණා. එහෙම ව්‍යාපෘතියක් නැවත පණගැසීමට මේ වන විට කටයුතුවෙමින් පවතිනවා. ඒ ව්‍යාපෘතියේ අවශ්‍යතාවක් තමයි නෙළුව, ලංකාගම, දෙණියාය පාර හදවා ගන්න එක. ඒවාට අවශ්‍ය පහසුකම් සපයා ගන්න තමයි ගමේ මිනිස්සු බිල්ලට දීලා මේ පාර හදාගන්න යන්නේ. ඒ නිසා මේවා රජයේ යම් යම් අවශ්‍යතා ලංකාගම මිනිස්සුන්ගේ කියලා කොන්ත්‍රාත් අරගෙන කෑගහන අය හම්බකර ගනිද්දී ලංකාගම සැබෑ ගම්වාසීන්ට ලංකාගම නැති වේවි.

පාරිසරික ඇගැයීම අත්‍යවශ්‍යයි
පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර


මේ පාර කැපෙද්දී හෙක්ටයාර් එකකට වැඩි විශාල වනාන්තර ප්‍රමාණයක් හෙළිපෙහෙළි වෙනවා. මොකද අඩි 15ක් දක්වා මේ මාර්ගය පුළුල් වන අතර එය කි.මී.18ක් දක්වා දිවෙන්නක්. ඒ අනුව විශාල වනාන්තර තීරයක් හෙළිපෙහෙළි වෙනවා. ඒ නිසා එයට අනිවාර්යෙන්ම පරිසර බලපෑම් ඇගැයීම් යාන්ත්‍රණයට අනුව අනුමැතිය ලබා ගන්න ඕනෑ.


1951 අංක 25 දරන පස සංරක්ෂණ පනත නම් පනතක් තිබෙනවා. ඒ පනත යටතේ මේ කලාපයම පස සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. පස සංරක්ෂණය කිරීමේ පනත යටතේ යම්කිසි ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කර තිබේ නම් ඒ ප්‍රදේශය තුළ යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදුවේ නම් ඒ සංවර්ධන ක්‍රියාවලියට ප්‍රථමයෙන් පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගන්න ඕනෑ කියලා පෙර කියන ලද ගැසට් නිවේදනය යටතේම සඳහන් වෙනවා.


මේ කාරණා සහ පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව නිවැරදි ලෙස අනුමැතිය ලබාගෙන මේ මාර්ග පහසුකම් එම ජනතාවට ලබාදෙන්න. සිංහරාජය සංරක්ෂණය, එම වනජීවීන්ගේ රැකවරණය වගේම යම් ප්‍රදේශයක ජනතාවට ජීවත්වීමට ඇති අයිතිය අපි පිළිගන්නවා. ඒ අයට සංවර්ධනය වීමට තිබෙන අයිතියට බාධා කරන්න බැහැ. අපි කියන්නේ මේ කියූ දේවල් නොකර පාරක් කැපුවහොත් ඇතිවිය හැකි තත්ත්වය ගැනයි. හේතුව මේ පාර කපන්නේ මේ මිනිස්සුන්ට පාර ලබා දීමේ අරමුණෙන් නෙමෙයි, මේකේ යටි අරමුණ සිංහරාජයට දැනට පැවරීමට තිබෙන ඉඩම් ටික මහා පරිමාණයෙන්ම කොල්ලකෑමේ යාන්ත්‍රණය පණගැන්වීමයි. ■