නිමල් අබේසිංහ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසි වාරයේදී එළැඹෙන මාර්තු 22 දා ශ‍්‍රී ලංකාවට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලින් ශ‍්‍රී ලංකාව නිදහස් වුවද එම චෝදනා ඉදිරිපත් කරන රටවලට අමතරව තවත් යුරෝපා රටවලින් සම්බාධක පැනවීමේ අනතුරෙන් ගැලවෙනු නොහැකි වනු ඇතැයි තතු දත් අය කියති.

මෙය ලියන මාර්තු 04 වැනිදා වනතුරුත් ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල වී නැතිමුත් කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මාලාවිය, මොන්ටිනීග්‍රෝව සහ මහා බි‍්‍රතාන්‍ය කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් නගා සිටුවීම සම්බන්ධයෙන් යෝජනා කෙටුම්පතක් සැකසීම මේ සතියේදී ආරම්භ වී තිබේ. ශූන්‍ය කෙටුම්පත(Sero draft) යනුවෙන් හැඳින්වෙන ඊට මේ වනතුරුත් කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැතද මාර්තු 11 දක්වා එයට සංශෝධනයන් ඉදිරිපත් කිරීමට ඉඩ තිබේ.

ඉහත රටවල් හය විසින් පෙබරවාරි 19 දින භාරදෙන ලද කෙටුම්පතෙහි ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ දීර්ඝ කාලීනව පවත්වාගෙන එන සංකේතාත්මක නඩු, මානව හිමිකම් කඩකිරීම් ජාත්‍යන්තර මානව හිමිකම් නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අංගසම්පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන බවටත් නඩු පවරන බවටත් සහතික වන ලෙස ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.

මෙයට අමතරව මානව හිමිකම් කොමිසම අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සහ හානි පූර්ණ කාර්යාලය යන ආයතනවල ඵලදායී සහ ස්වාධීන ක‍්‍රියාකාරීත්වය සහතික කරන ලෙස ඉල්ලා තිබේ. සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් ආරක්ෂා කිරීම ඔවුන්ට එල්ල වන කවර හෝ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම බාධාරහිතව ඔවුන්ගේ කාර්යයන් කරගත හැකි පරිසරයක් සැකසීම වැනි තවත් යෝජනා කීපයක්ද මෙහි අන්තර්ගතය.

කෙසේ වුවද මෙම සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කිරීමේ ඉඩ ලැබෙනුයේ මාර්තු 22 දින වේ.

මේ සම්බන්ධයෙන් නීිතිඥ එස්.ජී. පුංචි හේවාගෙන් විමසූ විට පැවසුවේ තවමත් ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනා ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත් වී නැති බවය. එහෙත් කිසියම් අයුරකින් මාර්තු 22 ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල වුවහොත් එය ජයග‍්‍රහණය හෝ පරාජය වුවත් ශ‍්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ ඉඩ තිබෙන බවය. එසේම ගියවර ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව හෝ පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ නොකළත් මෙවර ඉන්දියාවේ හැසිරීම කෙබඳු විය හැකිදැයි තීරණය කළ නොහැකි බවත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට තුළ ක‍්‍රියාත්මක නොවීම පිළිබඳ ඉන්දියාවේ ආකල්පය ද මෙයට බලපෑ හැකි බවය.

අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය නිහාල් ජයවික‍්‍රමගෙන් මේ ගැන විමසූ විට මෙසේ පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගතයුතු ක‍්‍රියාමාර්ග ගැන ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ඉල්ලීම් අතර චෝදනා පදනම් කරගෙන මෙරට පුද්ගලයන්ට ඒ රටවලට යාමට වීසා නොදීම වැනි දේවල් ඒ රටවල් කරාවි. එවිට ඉබේම සම්බාධක පැනවීම් සිදුවේවි යනුවෙනි.