නිමල් අබේසිංහ

”පුනර්ජනනීය ඉලක්ක සහ විදුලි මාෆියාව” නම් හිසින් යුතු ලිපියක් ඉකුත් අගෝස්තු 15 ඉරිදා ලංකාදීප පුවත්පතේ පිටුවක් පුරා පළවී තිබුණි. විදුලිබල ඉංජිනේරු සංගමය විසින් පළකර තිබූ එම ලිපිය හොඳින් පිරික්සද්දී පැහැදිලි වූයේ එය වෙළෙඳ දැන්වීමක් බවය.

මෙහිදී ඉතාම වැදගත් වන්නේ එතරම් රටට වැදගත් ලිපියක් නම් එය මුදල් ගෙවා පළ කළේ ඇයිද යන්නය. ඒ මන්දයත් එසේ හෙළි කළ යුතු මෙයටත් වඩා විදුලි මාෆියා තිබෙන බැවිනි. හොඳම නිදසුන සීමාසහිත ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් සමාගමය. (LTL) මේ සමාගමේ 63%ක් වූ අයිතිය ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයටය. ඉතින් එල්ටීඑල් සමාගම සහ එහි අනුබද්ධ සමාගම්වලින් ලංකා විදුලිබල මණ්ඩලයට ලැබිය යුතු ලාභය නිසි ලෙස ලැබෙනවාද? එහි සිදුවෙන වංචා දූෂණ ගැන ලංකා විදුලි ඉංජිනේරු සංගමය දන්නවාද? 63%ක් ලංකා විදුලිබල මණ්ඩලයට අයිතිය තිබෙන මේ සමාගම් රජයේ විගණනයනට බඳුන් කිරීමට ඉඩ නොදෙන්නේ ඇයි? ආදී වශයෙන් වන ප‍්‍රශ්න රාශියක් ගැන මේ වනතුරුත් ලංකා විදුලි ඉංජිනේරු සංගමය කෙළ බිඳක් සොලවා නැත. ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඉදිරිපත් කළ සියඹලාපිටිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල වැඩි කළ යුතුය යන්නය. එය පැවසීමට ආචාර්යවරයකු ඇවැසි නැත. එය වෙනම කාරණාවකි. ප‍්‍රශ්නය නම් මේ පාඩු වළක්වා ගන්නට විදුලි ඉංජිනේරු සංගමය කරන යෝජනා මොනවාද යන්නය.

දැන් එය පසෙක තබා ප‍්‍රස්තුත කාරණාවට එළඹෙමු. උක්ත වෙළෙඳ දැන්වීම මගින් ලංකා විදුලි ඉංජිනේරු සංගමය කරන යෝජනා මොනවාද යන්නය.

දැන් එය පසෙක තබා ප‍්‍රස්තුත කාරණාවට එළඹෙමු. උක්ත වෙළෙඳ දැන්වීම මගින් ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසන්නට උත්සාහ කරනුයේ ශ‍්‍රී ලංකාවේ සුළං සහ සූර්ය බල විදුලි ජනනය කිරීම මහා පරිමාණයෙන් සිදු කිරීමට කාලය නොවන බවය. ලංකා විදුලිබල මණ්ඩලය සතුව 2016 දී සකසන ලද විදුලි ජනන සැලැස්මක් තිබේ. එය 2016-2030 විදුලි ජනන සැලැස්ම නම් වේ. එම සැලැස්මට අනුව 2019 වසර වන විට මෙගාවොට් 200ක විදුලි බලාගාරයක් ඉදිකර විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතව තිබිණ. 2020 වසර වන විට තවත් මෙගාවොට් 600ක විදුලිය ප‍්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වී තිබිය යුතුය. මෙයින් ගැටලූවක් ආවේ නම් ඒ කෙරවළපිටිය ඉදිකිරීමට නියමිතව තිබූ මෙගාවොට් 300ක විදුලි බලාගාරය සම්බන්ධයෙනි. එයද වෙනමම කතා කළ යුතු ප‍්‍රශ්නයක් වේ.

එබැවින් කෙරවළපිටිය විදුලි බලාගාරයෙන් නිපදවීමට නියමිතව තිබූ මෙගාවොට් 300ක විදුලිය ඉවත් කළහොත් විදුලිබල මණ්ඩලයේ ජනන සැලැස්ම අනුව අවම වශයෙන් මෙගාවොට් 500ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වී තිබීම අනිවාර්යය. මේ ගැන විදුලි ඉංජිනේරු සංගමය තවමත් කෙළ බිඳක් හලා නැත්තේය. එය මගහැර තිබීමම ගැටලූවක් නොවේද? විදුලි ජනන සැලැස්ම ක‍්‍රියාත්මක නොවීම නිසා විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීමට සිදුවීම නොවැළැක්විය හැක්කකි. පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම නිසා මේ වන විට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 300කටත් වැඩි ප‍්‍රමාණයක් ණය වී තිබේ. ඒ විදුලිය මිලදී ගන්නා ආයතන, ඛනිජ තෙල් නිතිගත සංස්ථාව හා බැංකු යනාදියටය. මෙහිදී අමතක නොකළ යුතු කාරණාවක් වන්නේ විදුලිබල මණ්ඩලය පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නා විට ගෙවනුයේ ඩොලර්වලින් බවය. රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යන විට විදුලිබල මණ්ඩලයෙන් වැයවෙන රුපියල් ප‍්‍රමාණය මේ නිසා ඉහළ යෑම වළක්වා ගත නොහැක.

මේ වන විට පෞද්ගලික අංශයෙන් මිලදී ගත හැකි මෙගාවොට් ප‍්‍රමාණය 170කි. 2009 වසරේදී පමණක් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම නිසා විදුලියබල මණ්ඩලයට ලැබුණ පාඩුව රුපියල් බිලියන 100 ඉක්මවා ගොස් තිබේ. අපට පෙනෙන්නේ 2016-2030 විදුලි ජනන සැලැස්ම ක‍්‍රියාත්මක නොවීම නිසා දිගින් දිගටම පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවන බවය.

අනෙක් කාරණාව වන්නේ අපට මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති බලාගාර ඉදිකිරීමට ශක්තියක් නැති බවය. එනිසා දේශීය ආයෝජකයන්ට එම අවස්ථාව අහිමි වී එයද විදේශිකයන්ට අයත් වීම නිසා රටට බරපතළ හානියක් සිදුවිය හැකි බවද විදුලිබල ඉංජිනේරු සංගමය කියයි. ඔවුන්ගෙන් අසන්නට හොඳ ප‍්‍රශ්නයක් තිබේ. දැනට කෙරවළපිටියේ ක‍්‍රියාත්මක වන මෙගවොට් 300ක ලක්දනව් විදුලි බලාගාරයේ ආණ්ඩුවට අයත් 40%ක කොටසක් ඇමරිකන් සමාගමකට විකුණන්නට ඇති සූදානම අමතක කර තිබීමය. එසේ වුවහොත් ඒ අයිතිය යන්නේ විදේශයනට නොවේද? එය අමතක කළේ ඇයි?

ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසන ආකාරයට සියඹලාණ්ඩුව ඉදිකිරීමට යෝජිත වූ සූර්යබල විදුලි බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය ඉඩම නිදහස් කරගැනීමට නොහැකි වූ නිසාය.

”දැන් මේ අධිකාරියෙන් අවුරුදු ගණනාවක සිට මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා අක්කර 500ක ඉඩමක් ලබා ගන්න හේන් ගොවියන් සමග ඔට්ටුවෙමින් ඉන්නවා. ලංවිම බලාගාරයට ටෙන්ඩර් කැඳවන්නේ මේ ඉඩම හරියට පවරා ගත්තට පස්සේ.”

විදුලි ඉංජිනේරු සංගමය බොහොම බරපතළ ප‍්‍රශ්නයක් උලූප්පා දැක්වුවද එයට පිළිතුරක් ඔවුන්ගේම වෙළෙඳ දැන්වීමේ තිබේ.

”මහජන විරෝධ නොමැති ජලාශ කීපයක සූර්ය බලාගාර ඉදිකරන්න පුළුවන් නමුත් වියදම 30%කින් වැඩියි.”
ඔවුන් පවසන විදියට සියඹලාණ්ඩුවේ සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීම වසර ගණනාවක් (අපි වසර 5ක් ලෙස උපකල්පනය කරමු) ගතවී තිබේ. තවමත් එය විසඳීද නැත. ඒ කාලයේ වටිනාකම ගණනය කළහොත් සූර්යබල විදුලි බලාගාරයක් (ජලාශවල) ඉදිකිරීමට යන සාමාන්‍ය වියදමට වඩා 30%ක් වැඩිවීම ගැටලූවක් වන්නේ නැත. අනෙක මේ කාලය තුළ පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට වූ වියදම කොපමණ විය හැකිද? එය වියදමක් විනා ආයෝජනයක් නොවේ. ඒ අනුව බැලූවත් ජලාශයක් මත සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමේදී 30%ක වැඩි මුදලක් වැය වීම ප‍්‍රශ්නයක් නොවන්නේ එයින් විදුලිබල මණ්ඩලයට ආදායමක් එන බැවිනි.

මෙහිදී තවත් මතු කළ හැකි ප‍්‍රශ්නයකි. එනම් පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේදී එම බලාගාරයට වැයවූ ආයෝජන වියදමද ගෙවීමය. මේ සඳහා වන හොඳම උදාහරණය ඇඹිලිපිටිය ඒස් ෆවර් ඞීසල් විදුලි බලාගාරයය. එයින් විදුලිය මිලදී ගත් අවසන් කාලයේදී (අන්තිම ගිවිසුම අනුව) විදුලිබල මණ්ඩලය විදුලි බලාගාරයේ වටිනාකමට වඩා වැඩි මුදලක් එයින් විදුලිය මිලදී ගැනීමට වියදම් කර තිබේ.

විදුලි ඉංජිනේරු සංගමයට මෙය අමතක වූවාද? නැතහොත් හිතාමතාම විදුලි ඉංජිනේරු සංගමය කොහොමටත් වඩාත් ඇල්මක් දක්වන්නේ ගල්අඟුරු බලාගාරවලටය. දැනට තිබෙන වඩාත් වියදම් අඩු විදුලි ජනන ප‍්‍රභවය ගල්අඟුරු බව ඔවුන්ගේ මතය වේ. එහෙත් තවමත් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය නිතර නිතර අක‍්‍රිය වේ. බොහෝ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා තවමත් කැඳවන්නේ චීන ඉංජිනේරුවන් සහ කාර්මිකයන්ය. නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ඉදිකර වසර 10ක් පමණ ඉක්මවූවත් විදුලිබල ඉංජිනේරුවන්ට එහි ප‍්‍රතිසංස්කරණ කළ නොහැකි බව එයින් පෙනේ.

ලංකා විදුලිබල ඉංජිනේරුවන් කුමක් කීවද මේ වනවිටත් පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් මෙරට සූර්යබල විදුලිය නිපදවීම ආරම්භ කර තිබේ. වයඹ පළාතේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ගණනාවකම මේවා හොඳින් ක‍්‍රියාත්මක වෙන බව ද පෙනේ.

ඒවායින් කීපයක් මෙලෙස දැක්විය හැකිය. රාජ්‍ය අංශය වයඹ පළාත් සභා සංචාරක වෘත්තීය මධ්‍යස්ථානය කි.වො. 45, යක්විල වෘත්තීය පුහුණු පාසල කි.වො. 40, වයඹ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කි.වො. 45, කොබෙයිගනේ රෝහල කි.වො. 42ක් වශයෙනි.

පෞද්ගලික අංශය, බර්නාඞ් සත්ව ආහාර උඩුබද්දාව කි.වො. 320, සිරිමල් උත්සව ශාලාව කුලියාපිටිය, ලංකා පිරවුම්පොළ මාරාවිල කි.වො. 16ක් වශයෙනි.

සන්ලීෆ් (SUN LEAF SOLAR SOLUTIONS) නම් මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ තවත් විවිධ ප‍්‍රදේශවල රාජ්‍ය හා පුද්ගලික අංශයේ අයට ද සූර්යබල විදුලි ජනන පද්ධති සවිකර තිබේ. ඔවුන්ගේ සේවාව ලබා ගත් සුවිශේෂී පුද්ගලයන් අතර කුමාර ධර්මසේන වැනි ක‍්‍රීඩකයෝ ද සිටිති.