නාලක ගුණවර්ධන

[email protected]

තොරතුරු සමාජය (information society) යනු රටක ජනයා නිතිපතා තොරතුරු සොයා ගැනීම සහ භාවිත කිරීම පිළිබඳ ප්‍රවණතා විශ්ලේෂණය කිරීමක්. තොරතුරු සමාජයේ ප්‍රචලිත වීම වඩාත් සම්බන්ධ වන්නේ ඩිජිටල් තාක්ෂණය සහ වෙබ්ගත සේවා සමඟ වුවත් ඇත්තටම හි ආරම්භය ඇත්තේ ජනමාධ්‍යවලයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු සමාජයේ පැතිරීම සහ පරිණාමය ගැන දශක තුනක් තිස්සේම සමීපව නිරීක්ෂණය කරනවා. ප්‍රවණතා අධ්‍යයනය කරනවා. චන්ද්‍රිකා ටෙලිවිෂන් තාක්ෂණය ආසියාවට විවර වූ 1991 වසරේ ඇරඹුණු කුතුහලය ඔස්සේ පටන්ගත් මගේ කුතුහලය තවමත් සංසිඳී නැහැ.

21 වන සියවසේ තුන්වන දශකය ආරම්භයේ සිටින ලක් සමාජය, තොරතුරු සොයාගන්නේ සහ බෙදා හදා ගන්නේ කෙලෙසද?

මිලියන විසි දෙකකට ආසන්න ශ්‍රී ලංකාවේ පුරවැසියන් අතරින් බහුතරයක් දෙනා ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු ගැන ලොකු උනන්දුවක් දක්වනවා. එදිනෙදා ජීවිතවලට සෘජුවම සහ ඉක්මනින් බලපාන බොහෝ දේ පිළිබඳ අප දැන ගන්නේ ඒ හරහා.

ප්‍රවෘත්ති හා කාලීන තොරතුරු ලබා ගන්නට ලක් ජනයා බහුවිධ මූලාශ්‍ර සහ ක්‍රමවේදයන් භාවිත කරනවා. පසුගිය දශක තුන තුළ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා විහිදී පැතිර යාමත්, ඉන්ටර්නෙට් මෙරටට හඳුන්වා දී එහි භාවිතය කෙමින් ව්‍යාප්ත වීමත් නිසා කාලීන තොරතුරු මූලාශ්‍ර සංඛ්‍යාව පෙර කවදාටත් වඩා පුළුල් වී තිබෙනවා.

එහෙත් මේ ගැන විස්තරාත්මක අවබෝධයක් අපට තිබේද? අප පුවත් සොයා යන සැටි හා ලැබෙන තොරතුරු ග්‍රහණය කරන විධි ගැන දන්නේ මොනවාද?

උදාහරණයක් ලෙස මේ ප්‍රශ්න කිහිපය සලකා බලන්න.

  • වත්මන් ලක් සමාජය ප්‍රවෘත්ති හා කාලීන තොරතුරු සඳහා වැඩිපුර යොමු වන්නේ කුමන මුලාශ්‍රවලටද?
  • ඒ අතරින් ම ඔවුන් වැඩිපුර විශ්වාස කරන මූලාශ්‍ර මොනවාද? එයට හේතු මොනවාද?
  • ජනමාධ්‍ය සහ වෙබ්ගත මාධ්‍ය හැරෙන්නට කාලීන තොරතුරු වෙනත් කුමන ක්‍රමවලින් අප සමාජයේ තවමත් පැතිර යාද?
  • පුවත් සොයා යාම සහ ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය (gender) කිසියම් වෙනසක් ඇති කරයි ද?
  • නාගරික සහ ග්‍රාමීය ජනයා අතර පුවත් පරිශීලන චර්යා සමාන හෝ වෙනස් වේද?

ඉහළ සංස්කෘතික විවිධත්වයක් තිබෙන ලක් සමාජයේ පුවත් සහ කාලීන තොරතුරු පරිභෝජනය සම්බන්ධයෙන් ද යම් විවිධත්වයක් තිබේ යයි අපට අනුමාන කළ හැකි වුවද, එහි ගති සොබා ගැන සැබැවින්ම අප දන්නේ මොනවාද?

මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සපයන මාධ්‍ය සමීක්ෂණ (media surveys) වෙළෙඳ දැන්වීම් හා අලෙවිකරණ සමාගම්වල අවශ්‍යතාවය මත විටින් විට සිදු කැරෙනවා. ඒ සඳහා අවශ්‍ය ශික්ෂණය සහ හැකියාව තිබෙන ජනමත සමීක්ෂණ සමාගම් ගණනාවක් මෙරට තිබෙනවා.

එහෙත් එම සමීක්ෂණවල විස්තරාත්මක සොයා ගැනීම්, ඒ සඳහා බරපැන දැරූ සමාගම්වලට ඉදිරිපත් කරනු මිස පොදු අවකාශයට (public domain) මුදා හැරෙන්නේ නැහැ.

සමහර සරසවි සිසුන් හෝ සරසවි ඇදුරන් විසින්ද මාධ්‍ය පරිශීලනය, තොරතුරු ගලනය වැනි සාධක සම්බන්ධයෙන් යම් සමීක්ෂණ සිදු කරනවා. එහෙත් ඔවුන් එයට පාදක කර ගන්නා නියැදි කුඩා වීම නිසා හෝ තෝරා ගත් ප්‍රදේශ කීපයක ජන පිරිසක නියැදියක් තිබීම නිසා හෝ ඒවායේ සොයා ගැනීම් රටටම අදාල කළ නොහැකියි. (ලක් සමාජය පිළිබඳ දළ වශයෙන් හෝ අවබෝධයක් ගන්නට නම් 2000කවත් දීප ව්‍යාප්ත නියැදියක් හෙවත් සාම්පලයක් අවශ්‍ය වනවා.)

එසේ නොමැතිව, සාපේක්ෂව විශාල දීප ව්‍යාප්ත නියදියක් යොදා ගනිමින් සහ මෙරට බහුවිධ සමාජ ආර්ථික පසුබිම්වලට අයත් ජනයා නියැදියක් ලෙස තෝරාගෙන විමසනු ලැබූ අධ්‍යයනයක් මෑතකදී සිදු කෙරුණා. ලක් ජනයා ප්‍රවෘත්ති හා කාලීන තොරතුරු ග්‍රහණය කරන්නේ කෙසේදැයි සොයා බැලූ එම අධ්‍යයනයේ බුද්ධිමය නායකත්වය දීමට 2019-2020 වකවානුවේ මට අවස්ථාව ලැබුණා.

2019-20 ශ්‍රී ලංකා මාධ්‍ය ග්‍රහක අධ්‍යයනය (Sri Lanka Media Audience Study 2019-20) නමින් හැඳින්වෙන මෙම අධ්‍යයනයේ විස්තරාත්මක වාර්තාව 2021 පෙබරවාරියේ වෙබ් අවකාශයට මුදා හරිනු ලැබුවා. https://www.mediasupport.org/publication/consuming-news-in-turbulent-times/

එම වාර්තාව ඇත්තේ ඉංග්‍රීසි බසින් නිසා එහි වඩාත් වැදගත් සොයා ගැනීම් සිංහලෙන් ද බෙදා ගැනීම මේ ලිපියේ අරමුණයි.

මේ අධ්‍යයනයට අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම සහ ක්ෂේත්‍ර වියදම් සඳහා මූල්‍ය සම්පත් ලබා දුන්නේ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගිතාව (IMS) නමැති ආයතනයයි. ක්ෂේත්‍ර දත්ත එකතු කිරීම් සහ මූලික විශ්ලේෂණය සිදු කළේ මෙරට මුල් පෙළේ සමීක්ෂණ සමාගමක්.

අධ්‍යයනය ක්‍රමවේද දෙකකින් සිදු කරනු ලැබුවා.

  • කුඩා කණ්ඩායම් සාකච්ඡා (focus group discussions):  කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල කුඩා කණ්ඩායම් සැසිවාර 28 හරහා විවිධ වයස් කාණ්ඩ සහ පසුබිම්වලට අයත් 222 දෙනකුගේ අදහස් උදහස් හසු කර ගෙන විශ්ලේෂණයට ලක් කෙරුණා.
  • ප්රශ්ණාවලියක් පදනම් කර ගත් සමීක්ෂණය (questionnaire survey): දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 2,014 නියැදියක් මෙයට සහභාගී කර ගනු ලැබුවා. මෙම නියැදිය තුළ වයස 15 සිට 65 දක්වා පරාසයේ කාන්තාවන් සහ පිරිමින් සම සංඛ්‍යාවක් සිටි අතර, රටේ සමාජ ආර්ථික සහ වාර්ගික විවිධත්වය නියෝජනය වීමට ද වගබලා ගැනුණා. ඔවුන්ගේ ප්‍රතිචාර සමීක්ෂකයන් විසින් හසු කර ගනු ලැබුවා. නියැදිය හැකි තාක් ලක් සමාජය පිළිබිඹු කරන එකක්.

ඇත්තටම සමීක්ෂණ ප්‍රශ්ණාවලිය සකස් කෙරුනේ කුඩා කණ්ඩායම් සාකච්ඡා සියල්ල අවසන් වූ පසු ඒවාට ස්වෙච්ඡාවෙන් සහභාගි වූ ජනයා තමන් පුවත් සහ කාලීන තොරතුරු සොයා යන ආකාරයන් පිළිබඳව පළ කළ අදහස් ද සැලකිල්ලට ගනිමින්.

විවෘත මනසකින් යුක්තව සිදු කළ මේ අධ්‍යයනය අවසානයේ මතු වූ වඩා වැදගත් සොයා ගැනීම් මෙසේ සම්පිණ්ඩනය කළ හැකියි.

  • ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු සඳහා ලක් සමාජයේ ඉහළ ඉල්ලුමක් තිබෙනවා. තම ජීවිතයට ප්‍රවෘත්ති ‘ඉතා වැදගත්’ බව නියැදියෙන් 78% දෙනකු පිළිගත් අතර, තවත් 18% කීවේ එය තමන්ට ‘යම් තරමකට වැදගත්’ බවයි.
  • රටේ සිදුවීම් පිළිබඳව ජාතික මට්ටමේ ප්‍රවෘත්තිවලට වැඩිම උනන්දුවක් තිබෙන බව හෙළි වුණා (76%). ඉන්පසු අවරෝහණ පිළිවෙලට ජාතික මට්ටමේ දේශපාලන පුවත්, ප්‍රාදේශීය මට්ටමේ කාලීන පුවත් සහ ජාතික මට්ටමේ ක්‍රීඩා පුවත්වලට උනන්දුවක් පවතිනවා.
  • ආර්ථික සහ ව්‍යාපාරික කටයුතු පිළිබඳ පුවත්වලට පවතින්නේ සාපේක්ෂව අඩු උනන්දුවක්. විදෙස් පුවත්වලට ඇති උනන්දුව ඊටත් අඩුයි.
  • බොහෝ දෙනා පුවත් සඳහා තනි මූලාශ්‍රයකට සීමා නොවී, එකිනෙකට වෙනස් මූලාශ්‍ර දෙකක්, තුනක් හෝ වැඩි ගණනක් පරිශීලනය කරනවා.
  • සමස්ත රටේම ජනයා සැලකිල්ලට ගත් විට ලාංකිකයන් වැඩිම දෙනකු ප්‍රවෘත්ති ලබා ගන්නේ ටෙලිවිෂන් සහ රේඩියෝ යන විද්‍යුත් මාධ්‍ය දෙකෙන්. මෑත වසරවල වෙබ්ගත ඩිජිටල් මුලාශ්‍රයන් මතු වී සහ ප්‍රචලිත වී ඇතත්, දත්ත විශ්ලේෂණය කළ විට ටෙලිවිෂන් සහ රේඩියෝ මාධ්‍යවල ආධිපත්‍යය ඉතා පැහැදිලියි.
  • නාගරික හා ග්‍රාමීය භේදයකින් තොරව ලාංකිකයෝ අති බහුතරයක් (96%) දේශීය ටෙලිවිෂන් නාලිකාවලින් පුවත් හා කාලීන තොරතුරු ලබා ගන්නවා. මෙහිදී ගැහැණු පිරිමි වෙනසක් හෝ සමාජ ආර්ථික මට්ටම්වල වෙනසක් දකින්නට නැහැ.
  • වැඩිම පිරිසක් පුවත් ලබා ගන්නා දේශීය ටෙලිවිෂන් නාලිකා, මෙරට මාධ්‍ය ග්‍රහකයන් වැඩියෙන්ම විශ්වාස කරන පුවත් මූලාශ්‍රය ද වන බව සමීක්ෂණ දත්ත විශ්ලේෂණයෙන් හෙළි වනවා. නියැදියෙන් 84% දෙනා ටෙලිවිෂන් පුවත් ගැන වැඩි විශ්වාසයක් තබනවා.
  • ඊළගට වැඩිපුරම භාවිත කරන පුවත් මූලාශ්‍රය ලෙස මතු වන්නේ රේඩියෝ මාධ්‍යයයි (55%). එහිදී නම් ග්‍රාමීය ප්‍රදේශවල ජනයා මෙන්ම මැදිවියේ සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ද අන් අයට වඩා වැඩියෙන් රේඩියෝ මාධ්‍යයෙන් පුවත් ලබා ගන්නා බව කියනවා.
  • රේඩියෝ සහ ටෙලිවිෂන් මාධ්‍ය දෙකේම පෞද්ගලික නාලිකාවලින් එදිනෙදා පුවත් ලබා ගන්නා මාධ්‍ය ග්‍රාහකයන්ගේ ප්‍රතිශතය, රාජ්‍ය නාලිකා වෙතින් පුවත් ලබා ගන්නා අයට වඩා බෙහෙවින් වැඩියි. (විශ්වසනීයත්වය පිළිබඳ සොයාගැනීම් ද බලන්න.)
  • දේශීය විද්‍යුත් මාධ්‍ය නාලිකාවලට පසු වැඩිපුරම පුවත් මූලාශ්‍ර ලෙස නියැදියේ ජනයා පැවසුවේ තමන් දන්නා හඳුනන පුද්ගලයන් වෙතින් කාලීන පුවත් ලබා ගැනීම හෝ ඒවා තහවුරු කර ගැනීමයි. මෙය පුළුල්ව සිදු වන බවත් (නියැදියෙන් 54%), ඒ සඳහා මුහුණට මුහුණ ලා කරන කතාබහ මෙන්ම දුරකථන සංවාද යොදා ගන්නා බවත් හෙළි වනවා. ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රචලිත වී තිබෙන අද කාලයේ, අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූ අන්තර්පුද්ගල සන්නිවේදන තවමත් වැදගත් මෙහෙවරක් ඉටු කරන බව මෙයින් පෙනෙනවා.
  • ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු සඳහා පුවත්පත් තව දුරටත් මුල් පෙළේ මූලාශ්‍රයක් නොවන බවද මෙම අධ්‍යයනයේ සොයා ගැනීමක්. දිනපතා හෝ සතිපතා පුවත්පත් හරහා ප්‍රවෘත්ති ලබා ගන්නේ සමස්ත නියැදියෙන් 39% පමණයි. (විශේෂාංග සහ සංවාද සඳහා පුවත්පත් තවමත් වැදගත් භූමිකාවක් ඉටු කරන බව සැබෑ නමුත්, පුවත් ආවරණයට සහ විශ්ලේෂණයට මුද්‍රිත මාධ්‍යය වෙත පිවිසෙන ජන ප්‍රතිශතය මෙරට මෙන්ම වෙනත් රටවලත් කලෙක සිට අඩු වෙමින් තිබෙනවා.)
  • මෙරට වාණිජ මට්ටමේ ඉන්ටනෙට් සේවා හඳුන්වා දී වසර 25ක් ගත වී ඇතත්, පුවත් සහ කාලීන තොරතුරු දැනගැනීම පිණිස ඉන්ටනෙට් භාවිත කරන බව කීවේ නියැදියෙන් 40% පමණයි. එයින් අති බහුතරයක් (93%) දෙනා ඉන්ටනෙට් පිවිසීමට භාවිත කරන්නේ සුහුරු ජංගම දුරකථන හෙවත් ස්මාට්ෆෝන්. (විනෝදාස්වාදය නැතහොත් අධ්‍යාපනික අන්තර්ගතය සඳහා වෙබ් ගතවන පිරිසක් ද සිටිය හැකියි.)
  • පුවත් සඳහා වෙබ්ගත මූලාශ්‍ර පරිශීලනය කරන අයගෙන් වැඩි දෙනෙක් යොමු වුනේ සමාජ මාධ්‍ය වේදිකාවලටයි. එම සංඛ්‍යාව සමස්ත නියැදියෙන් 31%ක්. ගෝලීය සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රකාශයට පත් කැරෙන ලාංකික පුවත් සහ තොරතුරු මෙන්ම තම සහෘදයන් බෙදා ගෙන තිබෙන කාලීන තොරතුරු අන්තර්ගතය ද ඔවුන්ගේ පරිශීලනයට ලක්වනවා.
  • සමාජ මාධ්‍ය වේදිකාවලට සාපේක්ෂව සෙසු වෙබ් අවකාශයන් වෙත යොමු වන පිරිස ඉතා අඩුයි. ගොසිප් වෙබ් අඩවි පුවත් මූලාශ්‍රයක් ලෙස සලකන 8% මෙන්ම පුවත් වෙබ් අඩවිවලින් කාලීන තොරතුරු ලබා ගන්නා 3%ක් ද නියැදියේ සිටියා.
  • පුවත් වෙබ් අඩවිවලට වඩා සැලකිය යුතු ජන උනන්දුවක් ගොසිප් වෙබ් අඩවිවලට තිබීම මාධ්‍ය පර්යේෂකයන්ගේ අවධානයට ලක්විය යුත්තක්. අතිශයෝක්තීන් සහ ආවේගශීලී රූප යොදා ගනිමින්, භාවප්‍රකෝපකාරී ලෙසින් තොරතුරු වාර්තා කරන ගොසිප් වෙබ් අඩවි ගැන විධිමත් අධ්‍යයනයක් මෙරට සිදු වී නැති තරම්. (තමන් ගොසිප් වෙබ් අඩවි පරිශීලනය කරනවා යයි කීමට පවා ඇතැම් දෙනා මැලි විය හැකි නිසා මේ ගැන අධ්‍යයනය කිරීම ලේසි නෑ.)
  • කාලීන තොරතුරු සඳහා ඉන්ටනෙට් පිවිසෙන අයගෙන් 80% දෙනා යොමු වන ෆේස්බුක්, මෙරට වඩාත්ම ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවයි. ඉන්පසු පරිශීලකයන් සඳහන් කළ පරිදි YouTube, IMO, WhatsApp, Viber, Instagram, Twitter සහ TikTok සේවාවන් අවරෝහණ පිළිවෙලින් ලයිස්තු ගත කළ හැකියි.
  • රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික ජනමාධ්‍ය අතර පුවත් ආවරණයේදී පැහැදිලි වෙනසක් දැකිය හැකි බව පුවත් පරිශීලකයන් බහුතරයක් තේරුම් ගෙන සිටිනවා. රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය ද තම දේශපාලනමය සහ වාණිජමය පක්ෂපාතිත්වයන් (biases) මත පුවත් විග්‍රහ කරන බවත් ඇතැම් පුවත් උලුප්පා දක්වන අතර තවත් පුවත් නොතකා හරින බවත් පරිශීලකයන් යම් තරමකට අවබෝධ කර ගෙන.
  • කුමන හිමිකාරිත්වය සහිත ජනමාධ්‍ය වඩා අපක්ෂපාතීව පුවත් වාර්තා කරයිද යන්න විමසූ ප්‍රශ්නයකට ලැබුණ පිළිතුර: පුද්ගලික මාධ්‍ය අපක්ෂපාත බව (unbiased) සමස්ත නියැදියෙන් 25% විශ්වාස කළ අතර, රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාත යයි විශ්වාස කළේ නියැදියෙන් 9% පමණයි.

ඉහත සොයාගැනීම්වලින් පෙනී යන්නේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, වෙබ්ගත වෙනත් මූලාශ්‍රයන් මෙන්ම අන්තර් පුද්ගල තොරතුරු හුවමාරුව යන බහුවිධ මුලාශ්‍ර හා ක්‍රමවේදයන් හරහා අපේ සමාජයේ පුවත් සහ කාලීන තොරතුරු ගලා යන බවයි. 

තවත් සමීක්ෂණ සොයා ගැනීම් මීළඟ ලිපියෙන්. සම්පූර්ණ වාර්තාව මෙතනින්:

https://www.mediasupport.org/publication/consuming-news-in-turbulent-times/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here