සුමිත් චාමින්ද

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය “ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ” යෝජනාව සම්මත කළාය. රාජපක්ෂ පාලනාධිකාරය පැවසුවේ එය දේශපාලනික වුවමනාකම් විසින් මෙහෙයවන ලද යෝජනාවක් බවයි. සම්මේලනය ඇමතූ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වූද,
“කොළපාට සමාජයේ” කතෘ වූද සී.ඒ චන්ද්‍රප්‍රේම පැවසුවේ මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට කෙරෙන මැදිහත්වීමක් බවය; එය ශ්‍රී ලංකා සමාජයේ අභ්‍යන්තර බෙදීම් තීව්‍ර වීමට හේතු විය හැකි බවය; එසේම මෙය ගෝලීය දකුණේ රටවල අභ්‍යන්තර කාරණාවලට මැදිහත්වීම සම්බන්ධයෙන් නරක පූර්වාදර්ශයක් විය
හැකි බවද ඔහු පැවසීය. යෝජනාවට විපක්ෂව ජන්දය දුන් චීනය, වෙනිසුවෙලාව, රුසියාව, පාකිස්තානය, බොලීවියාව, පිලිපීනය යන රටවල නියෝජිතයින්ද අඩු වැඩි වශයෙන් මීට සමාන්තර අදහස් ප්‍රකාශ කළහ.

මානව අයිතීන් එරෙහිව ස්වාධිපත්‍ය

චීන මහජන සමූහාන්ඩුවේ නියෝජිතයා මෙම යෝජනාව හඳුනාගත්තේ මානව අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර යාන්ත්‍රණය දේශපාලනීකරණය කිරීමක් ලෙසය; ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට සහ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන ආකාරයෙන් මෙරට අභ්‍යන්තර කාරණාවලට මැදිහත් වීමක් ලෙසය. එය දෙබිඩි සහ පක්ෂග්‍රාහී ප්‍රවේශයක් බවද ඔහු ප්‍රකාශ කළේය. මානව අයිතීන් දේශපාලන උපකරණයක් ලෙස භාවිත නොකළ යුතුය යන්න බොලීවියාවේ නියෝජිතයාගේද ප්‍රධාන අවධාරණයක් විය. පිලිපීනයේ නියෝජිතයා පැවසුවේද අදාළ යෝජනාව සමතුලිත නොවන මෙන්ම දේශපාලනිකව පක්ෂග්‍රාහීත්වයක් සහිත වූවක් බවය. ශ්‍රී ලංකාවේ මානව අයිතීන් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ වඩා නිර්මාණාත්මක සංවාදශීලී ප්‍රවේශයක් බව පැවසූ රුසියානු සහ පාකිස්තාන නියෝජිතයින් යුද්ධය නිමා වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ මානව අයිතීන් සුරැකීම සඳහා ගෙන තිබෙන අභ්‍යන්තරික ක්‍රියාමාර්ග ප්‍රශංසාවට ලක් කළහ. මේ අනුව, විශ්වීය මානව අයිතීන් පිළිබඳ පිළිගැනීම්වලට වඩා ගෝලීය දකුණේ රටවල ස්වාධිපත්‍ය ප්‍රමුඛ කොට සැලකිය යුතුය යන්න යෝජනාවට විපාක්ෂික පිරිසගේ (සී.ඒ. චන්ද්‍රප්‍රේමගේ පටන් චීන විදේශ අමාත්‍යවරයා දක්වා) අදහස විය.

මීට පරස්පරව, යෝජනාවට පක්ෂව අදහස් ඉදිරිපත් කළ එක්සත් රාජධානියේ සහ ඔස්ට්‍රියාවේ (යුරෝපා සංගමය) නියෝජිතයින්ගේ නිරීක්ෂණය වූයේ ශ්‍රී ලංකාවේ මානව අයිතීන් පිළිබඳ තත්ත්වය පිරිහීමට ලක් වෙමින් පවතින බවය. ස්වාධීන ආයතන දුර්වල වෙමින් පවතින අතර මානව අයිතීන් ඉල්ලා සිටින සුළුතර ජනවාර්ගික කොටස් සහ සිවිල් ක්‍රියාකාරීන් දඬුවමට ලක් කෙරෙමින් ඇති බවද ඔවුන් පැවසූහ. ඒ අතරම මානව අයිතීන් උල්ලංඝණය කිරීමේ චෝදනාවලට ලක්ව සිටින ඇතැම් පුද්ගලයින් අධිකරණයෙන් නිදහස් කොට ඔවුනට උසස් තානාන්තර පවා ලබා දී ඇති බව ඔවුන් ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකාව සම්බන්ධ මෙවර යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ සභාපති මිෂෙල් බැෂලේ විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම් වූ සමතුලිත යෝජනාවක් බව ඔවුනගේ අදහස විය.

චන්ද්‍රප්‍රේම ප්‍රවාදය සහ වාසුදේව සූත්‍රය

සී. ඒ. චන්ද්‍රප්‍රේම ප්‍රයත්න දරා ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර “පසමිතුරුතාවට” අනුව අර්ථකථනය කිරීමටය. ඔහු වත්මන් චීන පාලනය ගෝලීය දකුණ නියෝජනය කරන්නේ යැයි කල්පනා කරන බව පෙනේ. ඔහුට අනුව, 1997 සිට 2014 දක්වා G8 කණ්ඩායම නියෝජනය කළ රුසියාවද දැන් ගෝලීය දකුණට එක්ව සිටිනවා විය යුතුය!  ජිනීවා යෝජනාව සම්මත වීමෙන් පසුව මාධ්‍ය ඇමතූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද චන්ද්‍රප්‍රේම ප්‍රවාදය පුනරුච්ජාරණය කරමින් පැවසුවේ එය “ගෝලීය දකුණ යටපත් කිරීමට වුවමනාවක් තිබෙන බටහිර බලවේගවල සහයෝගය ලබන්නා වූ රටවල් විසින් සම්මත කළ යෝජනාවක්”
බවය.

මෙම ප්‍රවාදය වත්මන් ගෝඨාභය පාලනාධිකාරයේ කොටස්කරුවෙකු වන වාසුදේව නානායක්කාරගේ සුප්‍රකට සූත්‍රයක් සිහියට නංවන්නේය. ඔහුගේ සූත්‍රය මෙසේය: අද දිනයේ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී බලවේග ප්‍රගතිශීලී චීන මහජන සමූහාන්ඩුව වැටලීමේ භූ-දේශපාලනික මෙහෙයුමක නිරත වී සිටී. එබැවින්, දැන් මෙරට අධිරාජ්‍ය විරෝධී වාමාංශික බලවේග විසින් කළ යුතුව ඇත්තේ රට තුළ චීන හිතවාදී නායකත්වයකට සහාය දැක්වීමයි! ගෝලීය දේශපාලනය පිළිබඳ වියුක්ත විග්‍රහයක් පදනම් කොටගෙන පවත්නා සංයුක්ත තත්ත්වයන් තේරුම් ගන්නා අයෙකුට වාසුදේවගේ හේතු දැක්වීම සාධාරණ යැයි සිතෙන්නට ඉඩ තිබේ.

නමුත්, එම තේරුම් ගැනීම තුළ නොමැති දෙය වන්නේ ගෝලීය බලවේග සහ ප්‍රවණතා දේශීය යථාර්ථයන් සමග සංකීර්ණව අන්තර්-ක්‍රියා කරන්නේ කෙසේද යන්නයි. මෙරට තුළ අධිකාරීවාදී වූද  ජනවාර්ගික බහුතරවාදී වූද දක්ෂිණාංශික බලවේග ස්වකීය ආධිපත්‍ය තහවුරු කර ගැනීම සඳහා බටහිර අධිරාජ්‍ය විරෝධය නමැති දෘෂ්ටිවාදය භාවිත කරමින් සිටීය යන කාරණය වාසුදේවට අදාළ වන්නේ නැත. රට තුළ තමන්ට යුක්තිය ඉටු නොවේ යැයි කල්පනා කරන සුළුතර ජනවාර්ගික ප්‍රජාවන් සහ විපාක්ෂික සිවිල් සමාජ කණ්ඩායම් මානව අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර යාන්ත්‍රණයන් ගැන අපේක්ෂා සහගත වන්නේය යන කාරණයද ඔහුට අදාළ වන්නේ නැත.
මන්ද යත්, වඩා වැදගත් වන්නේ ගෝලීය භූ-දේශපාලනික පෙළ ගැසීම්ය. ඒ අනුව, ආක්‍රමණික බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව ගෝලීය දකුණේ රටවල් චීනය සමග සිටගත යුතුය. එබැවින්, වමේ බලවේග වත්මන් පොහොට්ටු පාලනයට සහාය දිය යුතුය. ඒ, මේ දූපත තුළ චීනය සමග තිරසරව සිට ගත හැකි ප්‍රබලම නායකත්වය (ඔහුට අනුව) එය බැවිනි. වාසුදේව සූත්‍රය එයාකාරය.

ජිනීවා ජවනිකාව

කෙසේ වුවත්, ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර සංකල්පීය බෙදීම මගින් රාමුගත කිරීමේ චන්ද්‍රප්‍රේම ප්‍රයත්නය සාර්ථක වූයේ නැත. මන්ද යත්, එකී යෝජනාවට අදාළ ජන්ද විමසීමේදී ගෝලීය දකුණේ රටවල නියෝජිතයින්ගෙන් සැලකිය යුතු පිරිසක් එක්කෝ යෝජනාවට පක්ෂව ජන්දය දීම හෝ
නැතහොත් ජන්දය දීමෙන් වැළකී සිටීම නිරීක්ෂණය කළ හැකි විය. අනෙක් අතින්, මෙවර ජිනීවා සමුළුවේදී අති විශාල බහුතර ජන්දයකින් සම්මත වූ ඊශ්‍රායලය පිළිබඳ යෝජනාවට පක්ෂව ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඉතාලිය, ඩෙන්මාර්කය, ජපානය යන රටවල්ද ජන්දය දුන්හ.

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේදී ජන්දය නොදුන් පිරිස ලංකාණ්ඩුවට පක්ෂපාතී වේය යන මුග්ධ තර්කය පසෙකින් තැබුවහොත්, මෙයින් වැදගත් කාරණයක් ගම්‍ය වේ. එනම්, යෝජනාවට අදාළව එක් එක් රටවල ස්ථාවරය හැඩ ගැසීමේදී ගෝලීය උතුර සහ දකුණ යන “පසමිතුරුතාවට” වඩා වෙනත් සාධක වඩා බලපෑම් සහගත වී ඇති බවය. කවර රටක නියෝජිතයෙකු වුවත් මෙවන් අවස්ථාවලදී තම ජන්දය පිළිබඳ තීරණ ගැනීමේදී ස්වකීය භූ-දේශපාලනික වුවමනාකම් සහ අරමුණු අනුව කරන්නා වූ ගණන් බැලීම් සැලකිල්ලට ගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත්, ඒ අතරම යම් යම් රටවල මානව අයිතීන් උල්ලංඝණය කිරීම් පිළිබඳව ජන්දය දෙන රටවල පාලන තන්ත්‍රවලට තිබෙන දෘෂ්ටිවාදීමය ඒත්තු ගැනීම්ද ඔවුනගේ ජන්දය කෙරෙහි කිසියම් තරමකට
බලපාන බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. මානව අයිතීන් කවුන්සිලය ඉදිරියේ තම අදහස් ඉදිරිපත් කිරීමට විවිධ සිවිල් සමාජ නියෝජිතයින් උනන්දු වන්නේ එබැවිනි.

භූ-දේශපාලනික ගැටුම

මානව අයිතීන් දේශපාලනීකරණය වීම පිළිබඳ තර්කය සම්බන්ධයෙන් කිව යුත්තේ සැබවින්ම එය කිසිසේත්ම අළුත් දෙයක් නොවන බවයි. ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂා කිරීමේ නාමයෙන් සෙසු රටවල් ආක්‍රමණය කිරීමේ එක්සත් ජනපද පාලකයින්ගේ ඓතිහාසික වාර්තාව ගැන නොදන්නෝ කවරහුද? මැද පෙරදිග ලෝකයේ
වඩාත්ම නිර්-ප්‍රජාතන්ත්‍රික පාලන තන්ත්‍රයක් සවුදි අරාබියේ පැවතිය හැකි වූයේ එක්සත් ජනපද සහයෝගය කරණ කොට ගෙනය. බෘනායීහි සුල්තාන් පාලනයේ ස්ථාවරත්වයේ රහස ඇත්තේ 1920 දශකයේදී එරට ඛණිජ තෙල් නිෂ්පාදනය ආරම්භ වීමෙන් පසුව එක්සත් රාජධානිය අනුගමනය කළ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තීන් තුළය.

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවද කිසිසේත්ම දේශපාලනයෙන් වියුක්ත කොට වටහාගත නොහැකිය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව චීනයේ භූ-දේශපාලනික ආධිපත්‍යයේ බලපෑමට නතු වෙමින් තිබීම යන කාරණය ඉන්දියාවේත්, එක්සත් ජනපදයේත්, එක්සත් රාජධානියේත්, යුරෝපා සංගමයේත් පාලන තන්ත්‍රවල සැලකිල්ලට ලක් වෙමින් තිබෙන බව තවදුරටත් රහසක් නොවේ. (ඉහත රටවල් සහ බල-හවුල් අතර පවත්නා වෙනස් අභිලාෂයන් අප මෙහිදී අමතක නොකළ යුතු අතරම). මානව හිමිකම් කවුන්සිලයේ ඉන්දීය නියෝජිතයා ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ගැන තමන් දක්වන උනන්දුව ගැන විශේෂයෙන් සඳහන් කිරීම මේ සඳහා කදිම නිදසුනකි.

අනෙක් අතින්, යෝජනාවට විරුද්ධව ජන්දය දුන් රටවල පාලන තන්ත්‍ර බොහොමයක් චීනය සමග සමීප සබඳතා පවත්වන අයවළුන් බවද රහසක් නොවේ. වත්මන් චීන පාලනය මානව අයිතීන් දේශපාලනික උපකරණයක් ලෙස භාවිත කිරීම විවේචනය කරන අතර ඒ වෙනුවට ජාතික ස්වාධිපත්‍ය යන දෘෂ්ටිවාදය දේශපාලනික උපකරණයක් ලෙස භාවිත කිරීමට මැලි නොවෙයි. චීන පාලනාධිකාරය ශ්‍රී ලංකාණ්ඩුව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ එය මියන්මාරයේ මිලිටරි පාලනය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රවේශයමය. එනම්, එරට ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් එල්ල වන ජාත්‍යන්තර විරෝධයේදී මිලිටරි පාලනයේ ආරක්ෂක පළිහ බවට තමාව පරිවර්තනය කර ගැනීමයි. (එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ආරක්ෂක පළිහ වන්නාක් සේමය.) එවිට එරට චීනය මත ආර්ථිකව පරායත්ත වීමට අමතරව (ජාත්‍යන්තර තලයේදී) දේශපාලනිකවද පරායත්ත වීමේ තත්ත්වයක් නිර්මාණය වේ. මියන්මාරයේ ප්‍රජා පීඩක මිලිටරි පාලනයට එරෙහිව වීදී බැස සිටින ජනතාව චීනයට අයත් සමාගම්වලට පහර දෙමින් සිටින්නේ මේ පසුබිම තුළය.

රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රවේශය

මේ අනුව, මානව අයිතීන් පිළිබඳ අපගේ අපේක්ෂාවන් එක් හෝ තවත් ගෝලීය බලවතෙකු මත රැඳවිය නොහැකි බව පැහැදිලිය. අර්නෙස්ටෝ ලැක්ලාවූ සහ ශන්තාල් මූෆ් පෙන්වා දී ඇති පරිදි මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය යනු අතීතයේ සිදු කරන ලද විවිධ සමාජ විමුක්ති අරගලයන්හි ප්‍රතිපල වන්නේය. ඒවා මානව විමුක්ති කතිකාවන්ය.  නමුත්, ඒවායෙහි විමුක්ති ශක්‍යතා හීන වී යන ආකාරයෙන් සමාජයේ පීඩක බලවේග ඒවා ධනවාදය සමගත් අධිරාජ්‍යවාදය සමගත් සුසම්බන්ධ කොට ඇත. එබැවින්, වාමාංශිකයින් කළ යුතුව ඇත්තේ මානව අයිතීන්ගේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පවත්නා සීමිත අර්ථ විසංයෝජනය කරමින් ඒවායෙහි විමුක්ති ශක්‍යතා වර්ධනය කිරීමය; නොඑසේනම් මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්කරණය කිරීමය.

මෙම රැඩිකල්කරණයේ ඒජන්තවරුන් වනු ඇත්තේ එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ හෝ චීනයේ පාලක බල හවුල් නොවේ. ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් වෙනුවෙන් සටන් වැදී සිටින ජනතා ව්‍යාපාරය. ආසියාතික ලෝකයේ මේ දිනවල එවන් ජනතා ව්‍යාපාරවල නැගීමක් පවතින බව මියන්මාරයේ, තායිලන්තයේ,
චීනයේ හොං කොං ප්‍රදේශයේ, ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද අපට නිරීක්ෂණය කළ හැකිය. තවද, චීනයේ ෂින්ජියෑන් පෙදෙසේ උයිගර් ප්‍රජාවට එරෙහිව ක්‍රියාත්මක වන බරපතළ මානව අයිතීන් උල්ලංඝණය කිරීම්වලට විරෝධය දක්වමින් පසුගියදා තුර්කියේ උද්ඝෝෂණ පැවැත්විණ. ඒ චීන විදේශ අමාත්‍යවරයායේ තුර්කි
සංචාරය පසුබිම් කොටගෙනය. අද අවශ්‍යව ඇත්තේ මෙවන් ගෝලීය ප්‍රජාතාන්ත්‍රික විමුක්ති ව්‍යාපාර අතර ගොඩ නැගෙන නව-ජාත්‍යන්තරවාදයකි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here