ආරියවංශ අබේසේකර

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පාලන බලය අත්පත් කරගැනීම සහ සාර්ථක පාලකයෙකු වශයෙන් ස්ථාවර වීම අතිශය අසීරු කාර්යයකි. ඒ සඳහා පාලන බලය පතන තැනැත්තා වෙත සුදුසුකම් රාශියක් පැවතිය යුතු අතර ඒ අතරින් වැදගත්ම ගුණාංගය විය යුත්තේ සමානාත්මතාවයි. එනම් තමන් හමුවේ වන සියල්ලන් හා තමන් එකම මසින් ලෙයින් තැනුණු තැනැත්තන්ය යන්න පිළිගැනීමයි. එමෙන්ම අන්‍යයන් තමන් හා සමානයින් වන අතර, ඒ සියල්ලන්ට තම තමන්ගේම වූ හැකියාවන්, මතවාදයන් සහ අපේක්ෂාවන් ඇති බව අවබෝධ කොට පිළිගැනීමයි. මෙසේ විවිධත්වයේ අපේක්ෂාවන් සහ අයිතීන් පිළිගන්නා අතරේ ඒ අපේක්ෂාවන්හි රළුපරළු තැන් මටසිළුටු කොට අනෙකාට විනාශකාරී නොවන පොදු අපේක්ෂාවන් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාවද ඔහු සතු විය යුතුය. පාලන බලය අත්පත් කර ගත් තැනැත්තාට සිය බලය ස්ථාවරත්වයට පත් කර ගැනීමට අවස්ථාවන් සැලසෙන්නේ ඒ මගිනි. එසේ නොවන කල පාලකයා රටේ පොදු සමාජයේ ඇසෙහි වැටුණු සුඹුලක් පමණි.


නිදහසින් පසු ලංකාවේ බලයට පත් සෑම තරාතිරමකම පාලකයින් ඉතා ඉක්මනින් ජනප්‍රසාදයෙන් ගිලිහෙන්නටත් ඊට ප්‍රතිපක්ෂව බලහත්කාරී අන්දමින් ඔවුන් බලයෙහි එල්ලී සිටීමට ප්‍රයත්න දැරීමත් අපට අමුතු අරුම දෙයක් නොවේ. බලහත්කාරය තරම් නීච කටයුත්තක් මිහි මත තවත් නැති අතර, බලහත්කාරී තැනැත්තා තරම් නීචයෙකුද මිහිමත තවත් සිටිය නොහැකිය. ලාංකීය රාජ්‍ය පාලන ඉතිහාසය තුළ නැවත නැවත සිදුවන මානව විරෝධී කටයුතු වලට ප්‍රධාන හේතුව එය වන අතර, එය ලාංකීය දේශපාලනය තුළ කෙතරම් පැතිර ඇතිද යත්, ලාංකියයන්ට අද එය සාමාන්‍ය දෙයක්ව තිබේ. අනීතික පැහැර ගැනීම්, මූලය සොයාගත නොහැකි මනුෂ්‍ය ඝාතන, නිරන්තරව කෙරෙන ව්‍යවස්ථා උල්ලංඝනයන් ආදිය ඉතා ඉක්මනින් ලාංකිකයාට අමතකව යන්නේ ඒ නිසාය. මේ තත්ත්වය කෙතරම් බිහිසුණු ද යත් අද වන විට රටේ පොදු ජනයා ශල්‍යාගාරයක නිර්වින්දනයට ලක් කරන ලද්දන් සමූහයක් පමණි. කැමති කෙනෙකුට ඔවුන්ගේ ශාරීරික අවයව ගලවා ඉවත් කර ගත හැකිය. ලංකාවේ විපක්ෂ සතුව ද ජනතාව මේ නිර්වින්දනයෙන් අවදි කරන එන්නතක් නැත. ඔවුන් වෙත ඇත්තේ ද නිර්වින්දිතයන්ගෙන් තම තමන්ට ඇවැසි ඉන්ද්‍රියයන් ගලවා ගැනීම සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ පමණය. ඒවාද ජීවානුහරණය කොට නැත.


නිදහසින් පසු ලංකාවේ පාලනය අවුල් ජාලාවක් බවට පත්ව අද දක්වා ක්‍රමයෙන් පිරිහෙමින් පැමිණ අද මෙතැනින් එහාට අඟලකුදු යාගත නොහැකිව එකතැන පල්වෙමින් පවතින්නේ උක්ත වැදගත්ම ගුණාංගය හෝ ඊට අනුශංගික අනෙක් කිසිදු ගුණාංගයන් කිසිවක් එතෙක් මෙතෙක් ලංකාවේ පාලන බලය පතන සහ ලත් කිසිදු තැනැත්තෙකු වෙත නොපිහිටි නිසාය. බයිබලයේ එන එfඩ්රා සහ බැටළු රැළ පිළිබඳ ප්‍රකට උපමාවට අනුව ගතහොත් ලංකාවේ රටවැසියන් නමැති බැටළු රංචුවේ නියමුවා එfඩ්රා නොව, එf`ඩ්රාගේ සුනඛයාය. සුනඛයාට බැටළු රැළ දක්කාගෙන යාමට සහ කොටු කර තබා ගැනීමට මිස බැටළුවන් සුදුසු ගෝචර බිමක් කරා මෙහෙයවීමට තරම් තන්වැසි නුවණක් නැත.


ආරම්භයේ පටන් අද දක්වාම ලංකාවේ පාලන බලය අත්පත් කරගැනීමෙහි ලා සාර්ථක වූයේ වැඩි උගත්කමක් නැති, සීමිත හැකියාවන්ගෙන් සහ දැනුමෙන් යුත් වැඩවසම් චින්තනයෙන් දූෂිත මනස් ඇති ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අන්ධ බධිර මිනිසුන්ය යන්න රහසක් නොවේ. මහජන ඡන්දයෙන් බලයට පත්වූ වහා ඔවුන්ට දැනෙන්නේ තමන්ට ඡන්දය දුන් මිනිසුන් සියල්ල එසේ කළේ තමන්ගේ පෞද්ගලිකත්වය කෙරේ ඇති භය සහ පක්ෂපාතිත්වය නිසාය යන්නය. එහෙයින් තමන් කරන කියන සියල්ලට ඔවුන්ගේ අනුමැතිය හිමි වෙතැයිද තමන් කෙරේ වන අසීමිත ගෞරවය නිසා ඔවුන් තමන්ට වන දුක් කරදර සියල්ල ඉවසා සිටිනු ඇතැයිද ඔවුහු තවදුරටත් විශ්වාස කරති. එසේම ඔවුහු ඊට අනුශංඝිකව තමන්ට ඡන්දය නොදුන් ජනතාව සලකනුයේ සිය පෞද්ගලික වෛරක්කාරයින් සහ සිය ගමන් මඟ හරස් කරන බාධාවන් ලෙසය. එහෙයින් තමන් වෙත ලැබී ඇති බලය ඒ බාධාවන් ඉවත් කිරීම සඳහා වූවක්ය යන්න ඔවුහු තරයේ අදහති. ඔවුන් නීති අණපනත් සම්මත කර ගන්නේත්, සංවර්ධනාදී කටයුත්තෙහි යෙදෙන්නේත්, රාජ්‍යාරක්ෂක හමුදාවන් මෙහෙවන්නේත් එකී ඇදහිල්ලේ පිහිටමිනි. රට තුළ පවත්නා සෙසු ඇදහිලි සේ ම මෙය ද ධර්මයට පටහැනිව ගොඩ නැඟුණු මෝඩ හිතුවක්කාරකමක් පමණය.


ලාංකීය ඡන්දදායකයින් ද අපූර්ව ජන කොට්ඨාසයකි. ඔවුන් සිය පාලකයන් තෝරන්නේ තම පෞද්ගලික රුචි අරුචිකම් පෙරදැරි කරගෙන මිස, පොදුජන ආකල්පයක් පෙරදැරි කර ගෙන නොවේ. මුළු මහත් ලෝකයම හිට්ලර් යන නාමයට කෙළ ගසද්දී ලංකාවේ බෞද්ධ භික්ෂූන් පවා තමන් විසින් තෝරා පත් කරගත් පාලකයා හිට්ලර් කෙනෙකු විය යුතුයැයි කීවේ එහෙයිනි. ලාංකිකයා හැම විටම විරුද්ධ මත නොඉවසයි. ඔවුනට ඇවැසි සිය පෞද්ගලික මතයට විරුද්ධ වන්නන් මිහි මතින් අතුගා හරින පාලකයින්ය. කිසියම් දිනෙක ඔවුන් අතින් තමන් ද මිහි මතින් අතුගා දැමෙන බව ඔවුහු නොදනිති. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here