විපුල අබේසිංහ

ලංකාවේ ඇති බරපතළම ගැටලුව වන්නේ, ලංකාවේ මිනිසුන් විශාල ලෙස වංචාවට හා දූෂණයට යොමු වී තිබීමයි. ඔවුන් කිසිවිටෙකත් තමන් විසින් කරනු ලබන කාර්යයට අවංක වන්නේ නැත. ජනාධිපතිගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වාද, ඉහළම රාජ්‍ය නිලධරයාගේ සිට කාර්යාල කාර්ය සහයක දක්වාද, පුරවැසියන්ගෙන් ගණන් ගත නොහැකි සුළු පිරිසක් හැරුණු කොට අනෙකුත් සියල්ලන්මද හුරු වී ඇත්තේ අයථා ලෙස ධනය ඉපයීමටයි. නමුත් ඉඳහිට හෝ ඇහෙන්නේ ජනතා නියෝජිතයින්ගේ වංචා සහගත ක්‍රියා ගැන පමණි. සාමාන්‍ය පුරවැසියන් විසින් සිදු කරනු ලබන වංචා සහගත ක්‍රියා ගැන සාකච්ඡාවක් ඇති නොවන තරම්ය. අයථා ලෙස ධනය උපයන ජනතා නියෝජිතයින්ට චෝදනා එල්ල කරනු ලබන්නේද උදේ සිට රෑවෙනතුරු තුන්සිය හැටපස් දවසේම හොරකමෙන්ම ජීවත්වෙන සාමාන්‍ය පුරවැසියන්ය. මෙය සිරුර පුරා පැතිර ගිය කුෂ්ඨ රෝගයක් වැනිය. එය ශ්‍රී ලංකා මාතාව අවලස්සන කරනවාට අමතරව එහි වසන සියල්ලන්වම දැඩි පීඩාවට පත්කරනු ලබයි.


ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන්නෙකු හා කොළඹ මීගමුව ධාවනය වන බස් රථයක් ඇතුළු වාහන අටක හිමිකරුවෙක් වූ මාගේ මිතුරෙකු සියලු වාහන විකුණා දමා එක් වාහනයක් පමණක් තබාගෙන ව්‍යාපාර කටයුතු කරන්නේ සේවකයන්ගේ වංචාසහගත ක්‍රියා දරා ගැනීමට නොහැකි තැනයි. දිනපතා පොදු ප්‍රවාහන සේවය තුළ සිටින කොන්දොස්තරවරුන් විසින් කරනු ලබන හොරකම් නිසා බස් රථ හිමියන්ට දිනක දී අහිමි වන මුදල රුපියල් කෝටි ගණනක් විය හැකිය. ඔබ හොඳ වානේ පිහියක් සාදා ගැනීමට වානේ කැබැල්ලක් කම්මලට දුනහොත් පෙරළා ඔබට ලැබෙන්නේ යකඩ පිහියක් මිස වානේ පිහියක් නොවේ. පොල් අපගේ ප්‍රධාන වැවිලි බෝගයක් වුවද, පිරිසිදු පොල්තෙල් හෝ හොඳ තත්ත්වයේ පොල් පැණි හොයා ගැනීමට ඇත්තේ නැත. කිතුල් පැණි හා කිතුල් හකුරු ගැනද කීමට ඇත්තේ ද එම කතාවමය. හොඳ එළකිරි ටිකක්, මුදවපු මී කිරි ටිකක් විශ්වාසයට සොයා ගැනීමට ඇත්තේ නැත. මේ සාමාන්‍ය මිනිසුන්ගේ කතාවයි.

අවාසනාවකට අපගේ වෘත්තිකයන්ගේ තත්ත්වයද මීට දෙවෙනි නොවේ. ආදායම් බදු නිලධාරියාගේ වගකීම වන්නේ රජයට ආදායම් බදු එකතු කරදීම වුව ද ඔහු කරන්නේ ආදායම් බදු සිදුරෙන් රිංගා යන්නේ කෙසේදැයි මිනිසුන්ට කියා දී ඒ වෙනුවෙන් මිනිසුන්ගෙන් මුදල් ලබා ගැනීමයි. රේගුවේ එක් වගකීමක් වන්නේ තීරු බදු එක් රැස් කරමින් රජයට ආදායම් ලබාදීම වුවද, රේගු බදු නිලධාරියා කරන්නේ ද එම නීතිවලින් රිංගා යාමට සලස්වා ඒ වෙනුවෙන් ඔහු මුදල් ලබා ගැනීමයි. රෝග නිශ්චය කිරීම සඳහා ලබා ගන්නා රසායනාගාර දත්ත වාර්තාවේ නිවැරදිභාවය අදාළ වෛද්‍යවරයා විසින් සහතික කළ යුතුය. එහෙත් වෛද්‍යවරයා කරනු ලබන්නේ රසායනාගාරයට තම නිල මුද්‍රාව ලබා දී මසකට මුදලක් ලබා ගැනීමයි. ලංකාවේ තාර දමා සකසා ඇති කිසිම මාර්ගයක් නියම ප්‍රමිතියට නිමා කොට නොමැති බව පසුගිය කාලයේ පුවත් වාර්තාවන්හි පෙන්වා දී තිබුණි. මාර්ගය සාදා නිමවීමෙන් පසු රජය එය භාර ගන්නේ, අදාළ ඉංජිනේරුවා විසින් ප්‍රමිතිය පිළිබඳ දෙන සහතිකය මතයි. එවැනි තත්ත්වයක් මත මෙවැනි දෙයක් වන්නේ කෙසේ ද? ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ප්‍රමිතියෙන් තොරව සකසා ඇති මාර්ගය නියමාකාරයෙන් නිමවා ඇති මාර්ගයක් ලෙස සහතික කොට ඉංජිනේරුවරයා විසින් කොන්ත්‍රාත්කරුගෙන් මුදල් ලබා ගැනීමයි. මෙම ලැයිස්තුව තව ඕනෑ තරම් දිගට ලිවිය හැකිය. මෙයින් පෙනෙන්නේ, ලංකාවේ මිනිසුන් උගත් නූගත් බේදයකින් තොරව අයථා මුදල් උපයන අකාරයයි.
පසුගිය දිනෙක කොටුව දුම්රියපළේ මා රැඳී සිටියේ නිවස කරා පැමිණීමටයි. එම වේලාවට නියමිතව තිබුණේ හැටන් දුම්රිය වුවද වේලාව ළංවන විට නිවේදනය කර සිටියේ දුම්රිය තරමක් ප්‍රමාද වන බවයි. ඊට පසු තිබූ පොල්ගහවෙල මන්දගාමී දුම්රියෙන් වේයන්ගොඩින් බසින තුරුත් හැටන් ශීඝ්‍රගාමී දුම්රිය අප පසුකර ගියේ නැත. වේයන්ගොඩ දුම්රියපළේ සටහන් කර තිබුණේ දුම්රිය පැයක් ප්‍රමාද වන බවයි. පැයක් යනු විශාල කාලයකි. අද පවතින කාර්ය බහුලත්වය විසින් කාලයේ වටිනාකමේ අගය ඉහළ දමා ඇත. මේ නිසා මගීන් කෙතරම් අපහසුතාවන්ට මුහුණ දෙන්නට ඇත්ද? මගීන් මෙම සේවාව ලබා ගන්නේ මුදල් ගෙවීමෙන් අනතුරුවයි. දුම්රිය දෙපාර්තමේන්තුව සිය සේවාව ලබාදීම වෙනුවෙන් මුදල් අය කරයි. එසේ වීත් සිය සේවාදායකයා අපහසුතාවට පත්වීම පිළිබඳව බලධාරීන්ට තදබල ලැජ්ජාවක් ඇති විය යුතුය. නැවත වරක් එම වරද සිදු නොවෙන්නේ අදාළ බලධාරීන්ට එවැනි ලැජ්ජාවක් ඇති වුවහොත් පමණි. නැවත නැවතත් එම වරද දිගින් දිගටම සිදුවීමෙන් පෙනී යන්නේ අදාළ බලධාරීන්ට තම වගකීම හරියාකාරව ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව කිසිම ලැජ්ජාවක් ඇති වී නැති බවයි. මෙම ලිපියේ මුලින් සඳහන් කළ කම්මල්කරුවාද මෙම දුම්රිය බලධාරීන් ද තම වෘත්තීය වගකීම කෙළෙසීම අතින් සිටින්නේ එකම තැනයි. ඔවුන් දෙදෙනා අතර කිසි වෙනසක් ඇත්තේ නැත. ඔවුන් දෙදෙනාම සිය ආයතන අවමානයට ලක්කරයි. සිය ආයතනයේ ගෞරවය කෙළෙසා දමයි. මෙසේ වන්නේ තම ජීවිත තුළ ලැජ්ජාව නමැති ගුණාංගය අවශ්‍ය පමණට වර්ධනය වී නොමැති විට බව මාගේ හැඟීමයි.


ජනතා නියෝජිතයින්ට දූෂණ චෝදනා එල්ල වූ සැණින් සිය පදවියෙන් ඉල්ලා අස්වීමේ සම්ප්‍රදාය ලොව බොහෝ රටවල පිළිපදින සම්ප්‍රදායයි. පරීක්ෂණවලට පෙරම චූදිතයා සිය දිවි නසා ගැනීමේ හෝ උත්සාහ කළ අවස්ථා ද අප අසා ඇත. අපේ රටේ මෙවන් තත්ත්වයන් දක්නට නොලැබෙන්නේ ඇයි? ලොව බොහෝ ශිෂ්ටාචාරයන් තුළ, විශේෂයෙන්ම බටහිර රටවල් තුළ හොරකම සැලකෙන්නේ ඉතා නින්දාසහගත පහත් ක්‍රියාවක් ලෙසයි. මෙය ඔවුන් විසින් අවුරුදු දහස් ගණනක සිට වර්ධනය කර ගත් යහපත් ශිෂ්ටාචාරමය ගතිලක්ෂණ වල ප්‍රතිඵලයන්ය. එවැනි සමාජයක වංචනික පුද්ගලයෙකුට පැවැත්මක් ඇත්තේ නැත. ඔහුට හෝ ඇයට සිදුවන්නේ සමාජයෙන් එල්ල වන දැඩි පිළිකුලට භාජනය වීමටයි. එම පුද්ගලයා ජනතා නියෝජිතයෙකු නම් ඔහුගේ දේශපාලන දිවිය එතැනින්ම නිමවනු ඇත. සමාජයේ පිළිකුලට භාජනය වී ජීවත් වනවාට වඩා සිය දිවි නසා ගැනීම යහපත් යැයි සිතෙන්නේ එම ප්‍රතිචාර එතරම්ම දැඩිවීම හේතුවෙනි. ලංකාවේදී නම් සිදුවන්නේ මෙහි අනෙක් පැත්තයි. එනම් චූදිතයා ඉතා ප්‍රීතියෙන් සිය මාංචු මහජනයා වෙත ප්‍රදර්ශනය කර සිටීමයි. නීතිය කෙසේ වෙතත් ඊළඟ මැතිවරණයෙන් හෝ මොහු ප්‍රතික්ෂේප වන්නේ නැත. මෙය අපගේ ශිෂ්ටාචාරය විසින් අප වෙත ගොඩ නගා ඇති ලැජ්ජාවේ පරිමාව පෙන්වන හොඳම කැඩපතයි.