මහින්ද හත්තක


මැතිවරණ සමයේ ජනමාධ්‍ය හැසිරීම පිළිබඳව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකින් පසුව අදහස් දැක් වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයේ පක්ෂග්‍රාහී බවක් පිළිබඳව කිසිම පැමිණිල්ලක් ලැබී නැති බව ප්‍රකාශ කළේය. ජාතික රූපවාහිනියට ලබා දුන් චරිත සහතිකයක් වැනි මෙම ප්‍රකාශයට එදින ප්‍රවෘත්ති ප්‍රකාශයේ විශේෂ තැනක් ලබා දී තිබිණ. ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති සෑම මැතිවරණයදීම බලයේ සිටින දේශපාලන පක්ෂයේ හොරණෑවක් වන තත්ත්වයක් යටතේ එම ආයතනයට මෙවැනි සහතිකයක් හිමිවීම සැබැවින්ම අගය කළ යුතුය.


එහෙත් දිනපතාම පාහේ බැලීමට වෙනත් දෙයක් නැති නිසා රාත්‍රී අටේ ප්‍රවෘත්ති බලන මට මැතිවරණ කොමිසමේ සභාපතිගේ මෙම ප්‍රකාශය මහත් පුදුමයක් විය. පුවත්පත් කලාවේ අවම මූලධර්ම හෝ නොසලකා බලයේ සිටින කුමන හෝ දේශපාලන පක්ෂයකට අමු අමුවේම කඬේ යන මෙම ආයතනය ගැන කිසිදු පැමිණිල්ලක් නැතැයි පැවසීම මහත්ම පුදුමයකි. එහෙත් ඒ ගැන ගැඹුරට සිතා බැලීමේ දී ඒ ගැන පුදුමයක් විය යුතු නොවන බවද පෙනේ. ඇත්තෙන්ම මැතිවරණ කොමිසමේ සභාපති පැවසුවේ ඔහුට පැමිණිලි කිසිවක් ලැබී නැති බවය. එහි සත්‍යතාව ගැන කිසිදු සැකයක් තිබිය නොහැකිය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි ලැබී තිබුණේ නම් ඔහු ඒ බව සැඟවීමට කටයුතු කරන්නේයැයි අනුමාන කළ නොහැකිය. බොහෝ තැන්වල රාජකාරි මට්ටමෙන් ඔබ්බට ගොස් සිය අදහස කිසිදු පැකිළීමක් නැතිව පවසන ඔහු රූපවාහිනිය ආරක්ෂා කිරීමට සාවද්‍ය ප්‍රකාශයක් කරන්නේයැයි කෙසේවත් සිතිය නොහැකිය.


එවිට ගැටලුව වන්නේ පැහැදිලිවම පොහොට්ටුව වෙනුවෙන් පෙනී සිටින රූපවාහිනිය ගැන කිසිවෙකු පැමිණිලි කර නැත්තේ ඇයි ද යන්නයි. ඊට පිළිතුරු දෙකක් අනුමාන කළ හැකිය. එකක් වන්නේ ප්‍රේක්ෂක රුචිකත්වය අනුව කරන ශ්‍රේණි ගත කිරීම්වල පහත්ම තැනක සිටින රූපවාහිනිය දැන් නරඹන්නේ පොහොට්ටු දේශපාලනය අනුමත කරන අය පමණය යන්නයි. ඔවුන්ට රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයේ දී පොහොට්ටුවේ දේශපාලන අවශ්‍යතාවට අනුව කටයුතු කිරීම ආශ්වාදයකි. අගය කළ යුතු දෙයකි. එවැනි දෙයක් ගැන ඔවුන්ට පැමිණිලි කිරීමේ අවශ්‍යතාවක් නැත.


දෙවැනිව රූපවාහිනි ප්‍රවෘත්ති පොහොට්ටු දේශපාලනය අනුමත නොකරන අය බැලුව ද එම ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී දක්වන පක්ෂග්‍රාහීභාවය ගැන පැමිණිලි කිරීම නිෂ්ඵල දෙයක්යැයි සිතනවා ඇත. නොයෙකුත් ආකාරයෙන් මැතිවරණ නීති කඩ කිරීම සැලකිල්ලට ගත් විට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ගැන පැමිණිලි කිරීමෙන් ඒවා නිවැරදි කිරීමේ අවස්ථාවක් පවතින්නේයැයි ඔවුන් තුළ විශ්වාසයක් නැත. එය මෙවර පමණක් නොව සෑම මැතිවරණයකදීම අත්දැක ඇති දෙයකි. බලයේ සිටින පක්ෂයේ රුචි අරුචිකම් අනුව ප්‍රවෘත්ති විකාශයේ දි විපක්ෂයට ලබාදෙන තැන වෙනස් වේ. එය ප්‍රතිපත්තියක් අනුව සිදුවන දෙයක් නොව පුද්ගල ස්වභාවය අනුව තීරණය වන්නකි.


මෙය ප්‍රවෘත්ති විකාශයට පමණක් සීමා වූවක් නොවේ. මහපාරේ යන විට මුදල් පසුම්බිය සොරකම් කිරීම හෙවත් ගැට කැපීමක් හෝ නැතිනම් සුළු රිය අනතුරකදී අප ඒ ගැන පැමිණිල්ලක් කිරීමට ඉදිරිපත් නොවන්නේ ඒ වෙනුවෙන් ගතවන කාලය ඵලදායී නොවන නිසාය. පොලීසියට පැමිණිල්ලක් කිරීමට ගිය විට කොපමණ කාලයක් ගතවේදැයි අපට නිශ්චිතව කිව නොහැකිය. පැමිණිල්ලක් කළත් ගැට කපන්නෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවන්නේ කලාතුරකිනි. ගැට කපන්නා හෝ රිය අනතුරක් සිදු කළ පුද්ගලයාට එරෙහිව නඩු පැවරුවහොත් ගතවන කාලය සහ මුදල සමහරවිට අවුරුදු ගණන් ගොස් ඉටුවන ‘යුක්තිය’ට කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැත එම නිසා බුද්ධිමත් සහ වඩාත් ඵලදායි කාර්ය වන්නේ සිදුවූ පාඩුව විඳ දරා අඩුම ගණනේ පොලීසි සහ උසාවි ගානේ රස්තියාදු නොවී කාලය සහ මුදල ඉතිරි කර ගැනීමයි.


මැතිවරණ කොමිසමේ සභාපතිගේ තර්කය අනුව පොලිසියටත් ගැට කැපීම් හෝ සුළු රිය අනතුරු කිසිත් වාර්තා වී නැතැයි කිව හැකිය. එහෙත් ඉන් එවැනි දේ සිදුවන්නේ නැතැයි අනුමාන කිරීම වැරදි නිගමනවලට බැසීමට හේතුවිය හැකිය. වඩාත් සරලව මැතිවරණ කොමිසමේ සභාපතිට පැමිණිලි ලැබී නැති නිසාම රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශය අපක්ෂපාතී සාධාරණයැයි නිගමනය කිරීම යුක්තිසහගත නොවේ.


රාජ්‍ය මාධ්‍ය පමණක් නොව සියලු ජනතාවට වෙනස් කිරීමකින් තොරව කටයුතු කිරීමට බැඳී ඇති සමස්ත රාජ්‍ය සේවයම පාලකයන්ගේ දේශපාලන වුවමනාවන්ට නතු කරගෙන සිටීම නිසා ජනතාව ඒ දෙස බලා සිටින්නේ උදාසීනව ය. වැරදි ගැන පැමිණිලි කිරීම නිසා තව තවත් වැරදිවලට මුහුණදීමට සිදුවන තත්ත්වයක් යටතේ කළ හැකි එකම දේ ඇස් කන් නැතිවා සේ සිටීමය. ‘කිඹුලා කනවාට වඩා අමාරු කොහිල කටු ඇනෙන එකයි’ වහරක් පවතින අපේ රටේ ජනතාවට ද, අඩුම ගණනේ ඉන් සැලකිය යුතු කොටසකට, දරාගත නොහැකි වන්නේ වැරැද්දක් කිරීම නොව එය නිවැරැද්දක් සේ දැක්වීමයි. අයුක්තිය යුක්තිය සේ පෙන්වීමේ ප්‍රයත්නයයි. ස්වතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදය සේ පෙන්නුම් කිරීමය.


අඩුපාඩු සහිතව හෝ ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වූ පනහේ සහ හැටේ දශකවල අඩුපාඩු වැරදි පෙන්වාදීමෙන් කිසියම් ආකාරයක සහනයක් ලබාගත හැකිවිය. පනස් හයේ පෙරළියත් සමග බලයට පත් රජයේ මැති ඇමතිවරුන්ගේ දූෂණ සහ අක්‍රමිකතා ගැන නැගුන චෝදනා නිසා එවකට පැවති රජයට ඒ ගැන විමර්ශනය කිරීමට කොමිසමක් පත් කිරීමට සිදුවිය. එම කොමිසමේ නිර්දේශ අනුව සමහර ඇමතිවරුන්ගේ ප්‍රජා අයිතිය නැති විය. එතැන් සිට මේ වන තෙක් එකම මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකූ පගා ගැනීම හෝ දූෂණ කටයුත්තක් නිසා කිසිම දඬුවමක් විඳ නැත. ඉන් අදහස් වන්නේ හැත්තෑවේ දශකයේ සිට මැති ඇමතීන් පගා ගැනීම හෝ දූෂණ කටයුතුවල යෙදී නැති බව ද?


රාජ්‍ය පාලනයේ දී ජනතාව උදාසීන ප්‍රේක්ෂකයන් බවට පත්වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවායේ ආගමනයත් සමගය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ආර්ථිකය ලිබරල් නැතිනම් ලිහිල් කිරීමට අමතරව පාලකයන් තෝරා පත්කර ගැනීම ද වඩාත් ලිහිල් කර ඇත. නව ලිබරල් ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීම සිදු වුවද ඒවා සැබැවින්ම මහජන මතයක් ප්‍රකාශ කිරීමේ අවස්ථා නොවන බවට පත් කිරීමට ආර්ථික ක්‍රමයෙන්ම ක්‍රම සහ විධි සකස් කර ඇත. පාලකයන් වෙනස් කිරීමෙන් පාලනය වෙනස් නොවන බව සහතික කිරීමට සියල්ල සැකසී ඇත.


ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන විග්‍රහයක් කරන මැක්පර්සන් නම් දේශපාලන විශ්ලේෂකයා පවසන ආකාරයට මෙම සමාජය තුළ ප්‍රධාන කොටස් දෙකක් පවතී. ඒ ව්‍යවසායකයන් සහ පාරිභෝගිකයන් ය. ව්‍යවසායකයන් වන්නේ දේශපාලකයන්ය. පාරිභෝගිකයන් වන්නේ ඡන්දදායකයන්ය. දේශපාලකයන් තම ව්‍යවසාය පවත්වා ගැනීම සඳහා වෙනත් ව්‍යවසායකයන් සමාගම් පිහිටුවා ගන්නා ආකාරයට දේශපාලන පක්ෂ පිහිටුවා ගනිති. වෙනත් ව්‍යවසායකයන් තම සමාගම් සමාගම් රෙජිස්ටාර් වෙත ලියාපදිංචි කරන අතර දේශපාලන ව්‍යවසායකයන් තම දේශපාලන ව්‍යාපාරය ලියාපදිංචි කරන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ හෝ කොමිසමේය. එම ලියාපදිංචි කිරීම සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා පහසුය. ඉදිරිපත් කරන වාර්තා හෝ ලාභ-අලාභ ගිණුම් කොටස්කරුවන්ගේ සුපරික්ෂාවට ලක්වන්නේ නැත. ඒ දේශපාලන ව්‍යාපාරිකයන්ගේ සමාගම්වල කොටස් නිකුතුවක් නොවන නිසාය. දේශපාලන ව්‍යාපාරයේ යෙදී සිටින සමාගම්වල ලාභ පාඩු ගැන කතා වන්නේ ද නැත.
අනිත් අතට සාමාන්‍ය පාරිභෝගිකයන්ට මෙන් නොව දේශපාලනයේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවට පාරිභෝගික කොමිසම් ඇත්තේ නැත. ඔවුන්ට ඇත්තේ ඡන්ද පොරොන්දු නමින් ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවා ලබාගන්නේ ද නැත්ද යන්න මැතිවරණ කොමිසම මගින් නිකුත් කරන පත්‍රිකාවක කතිරයක් ගසා, මෙවර නම් විෂබීජහරණය කළ පෙට්ටියකට දැමීම පමණි. වෙනත් පාරිභෝගික භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමේ දී හෝ පරිහරණය කිරීමේ දී කිසියම් මිලක් ගෙවීමට සිදු වුවද මෙම ගනුදෙනුවේ දී ඒ ආකාරයට මිලක් නියම වන්නේ නැත. එම නිසා පාරිභෝගික කැමැත්ත ලබා ගැනීමට ඉදිරිපත්ව සිටින ඕනෑම දේශපාලන සමාගමකට සිය ඡන්දය හෙවත් කතිරය මිලක් නොගෙවා ලබා දිය හැකිය. මෙම දේශපාලන ව්‍යවසායකයන් තම භාණ්ඩ නැතිනම් පොරොන්දු ලබා දෙන්නේ නොමිලයේ ය. ඡන්දදායකයාට මිලක් ගෙවීමට සිදුවන්නේ එම දේශපාලන ව්‍යවසායකයන් ආණ්ඩු බලය අත්පත් කරගෙන විවිධ බදු ගෙවීමට නියම කිරීමේදීය. ඒවා ගෙවීම පැහැර හැරිය හොත් හිරේ විලංගුවේ වැටීමට ද සිදු වේ.


ඇත්තෙන්ම මෙම ව්‍යවසායක-පාරිභෝගික සම්බන්ධතාව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අපූරු නිර්මාණයකි. මෙම තත්ත්වය යටතේ පාරිභෝගික ජනතාවට උදාසීනව බලා සිටීමට හැර කිරීමට වෙනත් දෙයක් නැත. පැමිණිලි කිරීම කාලයත් ශ්‍රමයත් නාස්ති කිරීමක් පමණි. කිසියම් දේශපාලන ව්‍යවසායකයෙක් බලය අත්පත් කර ගත් පසු ඔහුට දිගටම වුවත් පාලන බලයේ රැඳී සිටිය හැකිය. නිදහසින් පසු හැත්තෑවේ දශකය දක්වාම ආණ්ඩු වසර පහෙන් පහට මාරු වුවද දැන් ආණ්ඩු මාරුවක් සිදුවන්නේ කලාතුරකිනි. දශක ගණනාවකට පසුය. බොහෝවිට ව්‍යවසායකයන් මාරු වුවත් ප්‍රතිපත්ති නමින් හැඳින්වෙන නීතිරීති වෙනස්වන්නේ නැත. වෙනස්වන්නේ මුහුණවර පමණි. ඊට මානුෂික මුහුණුවරක් දීමට ගත් උත්සාහයන් කනගාටුදායක ලෙස අවසන් විය.


දෙවරක් කල් දැමීමෙන් පසුව අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණය මෙම ව්‍යවසායක-පාරිභෝගික සම්බන්ධතාවයේ අලුත්ම පිටුවකි. ඒ මෙම ගනුදෙනුව පැවැත්විය යුතුයැයි දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් ලියවිල්ලේ සඳහන් ප්‍රතිපාදන නොසලකා කරන කටයුත්තක් වීම නිසාය. පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඇතුළත මහා මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව කැඳවිය යුතුයැයි එම ලියවිල්ලේ සඳහන් වුවද එය සැලකිය යුතු නොවේ. අඩුම ගණනේ පාර්ලිමේන්තුව කැඳවන දිනයක් හෝ නැතිව පවත්වන මෙම ඡන්ද විමසීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වෙළෙඳපොළේ අලුත්ම ගනුදෙනුවකි.


ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වෙළෙඳපොළේ පාරිභෝගිකයන් වන ඡන්දදායකයන්ට ඇත්තේ කතිරයක් ගසා පොරොන්දු වූ භාණ්ඩ සහ සේවා ලැබේදැයි බලාපොරොත්තුවෙන් සිටීම පමණි. සාමාන්‍ය වෙළෙඳපොළේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් ගෙවීමක් කළ විට එය නොලැබෙන්නේ නම් ගෙවූ මුදල් ආපසු ලබා ගැනීමට කිසියම් නීති ප්‍රතිපාදන තිබුණ ද ඡන්ද ගනුදෙනුවේ දී එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඔවුන්ට ඇත්තේ භාණ්ඩ හා සේවා නොලැබුණේ නම් ඊළඟ වාරයේ දී කතිරය ගැසීමෙන් වැළකී සිටීම පමණි. කතිරය ලැබුණත් නැතත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැත. අලුත් ව්‍යවසායකයන් පැමිණ පැරණි භාණ්ඩම නව ඇසුරුමකින් ඉදිරිපත් කරනු ඇත.


පාර්ලිමේන්තුව කැඳවීමේ දිනයක් හෝ නොමැතිව අගෝස්තු පස්වැනි දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වෙළෙඳපොළේ නව අදියරක් විය හැකිය. කොරෝනා වසංගතය එම අදියරේ ආගමනය කඩිනම් කළත් එම ගමන් මග කලක සිටම වර්ධනයවෙමින් පැවති තත්ත්වයකි. මැතිවරණ ප්‍රකාශන සහ පොරොන්දු වෙළෙඳ දැන්වීම් පමණි. වෙළෙඳ දැන්වීමේ ඇති වචන එම භාණ්ඩයේ අන්තර්ගතයට කිසිසේත් නොගැළපෙනා සේ දේශපාලන ව්‍යවසායකයන් දෙන පොරොන්දු වචනවලට එහා යන්නේ නැත. පොරොන්දු වූ දෙය ලබාදීම පිළිබඳව කිසිම වගකීමක් හෝ ඔවුන්ට නැත.


ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට පැවැත්වෙන ඡන්ද විමසීම් අද පත්ව ඇත්තේ ජනතාව මුලා කිරීමේ තවත් අවස්ථාවක් උදාකර ගැනීමට ය. වැදගත්ම ප්‍රශ්නය වන්නේ ජනතාවට මෙම උරචක්‍රමාලයෙන් ගැලවීමට මගක් නැත්ද යන්නයි. පොරොන්දු ලබා දී ඒවා පා දූවිල්ලක් පමණට හෝ නොසලකන දේශපාලන ව්‍යවසායකයන් හැර දේශපාලනය ජනතාවගේ උරුමයක් බවට පත් කරන ක්‍රමයක් අපට සොයා ගත නොහැකි ද?


ජනතාවට වගකියන පොදු වුවමනාව වෙනුවෙන් කැප වූ පාලන ක්‍රමයක් පිළිබඳ නිදසුන් මානව ඉතිහාසයෙන් අපට තවම සොයා ගැනීමට නොහැකිය. ඉතිහාස ගමන් මගේ විවිධ අවස්ථාවල එවැනි සාර්ථක උත්සාහයන් පිළිබඳ නිදසුන් තිබුණු නමුත් ඒවා කෙටි කලකට පමණක් සීමා විය. නව විසඳුම් ඉක්මනින්ම පැරණි මර්දනකාරී යන්ත්‍රය දෙසටම යොමු විය.


මානව සමාජය විද්‍යාත්මක දැනුමෙන් සහ තාක්ෂණ හැකියාවෙන් පෙර කිසි දා නොවූ තරම් ඉදිරියට ගොස් ඇති නමුත් සාධාරණ, යුක්තිසහගත සහ අනෙකාට සමානව සලකන සමාජයක් බිහි කිරීමට අපොහොසත්ව සිටී. සුදු පොලිස් නිලධරයෙකු තම දණ හිසෙන් කළු මිනිසෙකුගේ ගෙල සිරකර මැරීමට එරෙහිව ඇමරිකාවේ හටගත් විරෝධය ඉතිහාසය ප්‍රතික්ෂේප කරන තැන දක්වා වර්ධනය වී ඇත. ඓතිහාසික නායකයන්ගේ පිළිරූ බිම දමා දියේ ගිල්වීමෙන් අදහස් වන්නේ එයයි. ඒ ආකාරයෙන්ම අගෝස්තු පස්වැනිදා කතිරය ගසන විට සිහිපත් කළ යුතුවන්නේ ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට කතිරය ගැසීම ප්‍රමාණවත් නොවන බවය. ජනතාව හුදු පාරිභෝගිකයන් පමණක් නොව ව්‍යවසායකයන් ද වන සමාජයක් බිහි කිරීම එකම වගකීමයි. ■