සුනේත්‍රා රාජකරුණානායක

ෂාලට් හිල් ඕ – නීල් ! ඇය ටැන්සානියාවේ. අපි හමුවුණේ ෂැංහයි නගරයෙදි. කරක් ගැහුවෙ ෂැංහයි හා නැන්ජින් නගරයෙයි. ඇය උස මහතයි. සම්ප්‍රදායික අප්‍රිකානු වළලු මහතට හැඩට ඇගේ මැණික් කටුවෙ සිට ඉහළට පිරී තිබුණා. තද වර්ණවල දිග අප්‍රිකානු ගවුම, ඉරි හා වෙනත් කලු පච්ච අත්, පා හා මුහුණෙ කැපී පෙනුණා. අපි දෙන්නා පාරෙ යනකොට චීන ජාතිකයො හැරී බැලුවා. සමහරු නැවතිලා බලන් හිටියා. සෙල්ෆියො දුවලා ඇවිත් පින්තූර ගත්තා. මේ වළලුකාරි ගලිවරියක් නං මං ලිලිපුට්ටියෙක් වගේ පෙනෙන්නැති.


ෂැංහයි නගරයෙ ජොංශාන් උමං මෙට්‍රෝ මාර්ගලයට පිවිසෙන තැන උiානයේ ඉඳගෙන ඇය කෝරා තත් භාණ්ඩය වාදනය කළා. එය පෙර ස්ත්‍රීන්ට තහනම්. තහංචිය බිඳින්න මුලින්ම ආවෙ ජපන් තරුණියක්. තහංචිය බිඳ දැමු පළමුවන අප්‍රිකානු ස්ත්‍රිය තමා බව ඇය කියුවා. ඇගේ සංගීතය හා ගායනය මිහිරියි.


ඇය මාවත් ඇඳගෙන පච්ච කොටන තැනකට ගිහින් ගණන් විමසුවා.
“ඔයාට ඔය තියෙන පච්ච මදිවාටද ?”
“මගේ මූණෙ, නළලෙ, අත්වල තියෙන්නෙ සුද්දො වගේ ආසාවට කොටන පච්ච නෙවෙයි. බලෙන් පැහැරගෙන ඇමරිකාවෙ වහල්කමට යොදවන්න කලින් අපේ පච්චවලින් නම, ගම, අධ්‍යාත්මික ප්‍රගතිය, වයස, විවාහක බව වගේ නෙයෙක් දේවල් කියවන්න පුළුවන් වුණා. අපි පිට ගමකට ගියොත් පච්ච අනුවයි අපේ තරම මැන ගන්නෙ”
“ඒ සංකේත තමයි එහෙනං ලිඛිත භාෂාව”
“අන්න හරි. සිස්ටර් සූ ට තේරෙනවා”
ඇය මට හිතවත් කමටයි සිස්ටර් කියන්නෙ. වාමාංශික දේශපාලනයෙන් සහෝදරයෝ, සහෝදරියො හැදෙන්න අවුරුදු දහස් ගණනකට පෙර සිට අප්‍රිකානුවන් එහෙම කතා කළ බව කියමින් ඇය හඬ නගා සිනාසෙනවා.


“ඕගොල්ලො ඇමරිකාවෙන් ටැන්සානියාවට ආවේ ඇයි ?”
“කළු මිනිස්සුන්ට තිබුණු දරුණු පීඩනය හින්දා අපි මව් රටට ආවා. එතකොට අපි සුවාගිලි කතා කරන්න දන්නෙ නෑ. අපේ මුල් පදිංචිය කොහෙද කියලා දැනගෙන හිටියෙත් නෑ. දම්වැල් දාලා බැඳලා මහ සාගරේ නැවක පහළම තට්ටුවෙ අන්ධකාරේ වෙන රටකට ගෙනිච්චම කාටද නම, ගම, ලිපිනය මතක තියෙන්නෙ ?”
“තමන්ගෙ අප්‍රිකානු නම මතක තිබිච්ච අය ෂොසුවලා, මේරිලා, ජෝන්ලා වෙන්න බෑ කියලා මුරණ්ඩු ආඩම්බරය රැකගන්නැතිනෙ”
“සිහි නැතිවෙනකල් කස පහර දුන්නම වහල් හිමිකාරයාගෙ ලකුණ හංවඩු ගැහුවාම, පඩියක්, නිවාඩුවක්, පෞද්ගලිකත්වයක් නැතුව නුපුරුදු පරිසරයක ඉන්නකොට නොමැරී ඉඳීමට විතරයිනෙ උත්සහ ගන්නෙ”
ෂාලට් මොනවා කිව්වාත් මට හිතුණෙ ඇමරිකාවෙ හිටියානං එයා ප්‍රකට සංගීතවේදිනියක්, ගායිකාවක්, කිවිඳියක් වෙන්න තිබුණා කියලයි. සමහර විට ඇය ටැන්සානියාවේ ප්‍රසිද්ධ චරිතයක් වෙන්නත් ඇති.
ෂාලට් හිටිය සභා කීපයක මං කියපු කවියක් ඇගේ අවධානයට යොමු වුණා. ඒකේ සිංහල අර්ථය කෙටියෙන් මෙහෙමයි.


ක්ලු ක්ලුක්ස් කල්ලිය
මියැදී බෝ කල්ය
සිතා සිටියෙමි මා,
ඇමරිකාවට පා තබන විට.
දෙවන දින උදයේ
සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර
චීන ටවුමට කන්ද නගින්නට
හැරෙනා විට,
දාර සුද්දෙක් ගෙරෙව්වා
බලාගෙන හිටපියව්
කල්ලියෝ !
සිනා කතාවෙන් ඇවිදිමින්
සිටි පිලිපීන දුඹුරු ලීනා
කහ රෝස ඉන්දුනීසියානු ශ්‍රී
රෝසම රෝස චීන කෙල්ලද
ගල් වී නැවතුණා
මගේ අත තදින් අල්ලගෙන
අප කවුදැයි කොහෙන් ආවාදැයි
නොදත් හැඩිදැඩියාට
ඒ තරම් කෝපයක් කොහෙන්දැයි
මා දන්නෙ නෑ අදත්
දෙවන වරටත් එවැනි අරියාදුවක්
වූ දිනයෙ තනිව සිටි මා
බැන වැදුණේ නාඳුනන
හිස්පැනික් මිනිහෙකුට
තොපේ බඩවියත
පැහැර ගන්නට නොපැමිණි
බව ද කියාපාමින් !

ඒක තව දිගට තියෙනවා. අවසාන වෙන්නෙ මගේ රටේදි දෙමළකු, රොඩියකු ලෙස කිසිවකුට ගරහන්නට බැරි පාඩම තදින් කාවැද්දු ඒ නපුරු සුද්දාට ස්තුති කරමින්.


“ඔයාට අනූ ගණන්වලත් එහෙම වුණා නං හැට ගණන්වල අපට කොහොම වෙන්නැතිද කියලා තේරුම් ගන්න” ෂාලට් මට එහෙම කියුවා. ඇය හමුවෙන්න පෙරත් වරින්වර ඇමරිකානු කලු ජාතික ඉතිහාසය කියවා තිබුණා. නමුත් ඇගේ වදන මගේ විවේකි විනෝදය බර වේදනාත්මක හැදෑරීමකට යොමු කළා. අවුරුදු දාහක් දෙදාහක් වයස චීන දාර්ශනිකයෙක් පපුව මත රඳවාගෙන කාව්‍යමය මිහිරකින් නැහැවුණ දිග දවස් කලු ඇමරිකානු ඉතිහාසය විසින් පැහැර ගත්තා.


1619 ඕලන්ද නැවකින් අප්‍රිකානුවන් විසි දෙනකු නව බි්‍රතාන්‍ය කොළනියෙ වර්ජිනියා ප්‍රාන්තයේ ජේම්ස්ටවුන් වෙත ගෙනාවා. එතැන් සිට මිලියන් හයක් හතක් අතර පිරිසක් 18 වන ශත වර්ෂය තුළ පමණක් ඇමරිකාවට ගෙනත් තියෙනවා. පෘතුගීසින් හා ලන්දේසින් සිලෝන් දූපතටත් අප්‍රිකානුවන් ගෙනාවෙ වහල් සේවයටයි. ඊට අමතරව දකුණු ඉන්දියාවෙන් වහල් සේවයට ගෙනා මිනිසුන්ට හංවඩුවකුත් ගසා කුඹුරු අස්වැද්දීමට යොදා ගෙන තියෙනවා. ධනවත් සිංහලයොත් ඕලන්ද ජීවන රටාව අනුකරණය කළ නිසා වහලුන් තියාගත් බව පැරණි ලේඛනවලින් පෙනෙනවා. ගාල්ලෙ මහමුදලි අබේසිංහගේ අන්තිම කැමති පත්‍රයෙ වහලුන් විසි එක් දෙනකු ගැන සඳහන් වෙනවා. පසුව ඕලන්දයො සියලු වහලුන්ට නිදහස දුන්නා. ඇමරිකාවෙ වහල් සේවය ගැන කියන අතර පාර මාරු කළේ අපිටත් එහෙම ඉතිහාසයක් තියෙනවා කියන්න විතරයි.


1791 දී හයිටියට ගෙන ගිය අප්‍රිකානුවන් කැරළි ගැහුවා. මේ නිසා 1793 දී එවැනි ප්‍රශ්න ඇති නොවීමට ඇමරිකානු කොංග්‍රසය දැඩි පියවර ගත්තා. පළා යන වහලකුට උපකාර කිරීමත් අපරාධයක් බවට පනතක් සම්මත කර ගත්තා.


1831 නැම් ටර්නර් කුඩා කන්ඩායමක් එක්ක තමන්ගෙ සුදු හාම්පුතා ටේ‍රවිස්ගෙ පවුලම මරා දැමුවා. වර්ජිනියා ප්‍රාන්තයෙම පිහිටි ජෙරුසලම් නමැති නගරයට යන විට ටර්නට් 75 ක පිරිසක් එකතු වී සිටියා. ආයුධ ගබඩාවක් අල්ලා ගැනීමට බලාපොරොත්තු වූ ටර්නර්ගෙ පිරිස සුදු ජාතිකයන් 60 පමණ මරා දමා දැමුවා. මේ අරගලයෙදි මීට කිසිම සම්බන්ධයක් නැති කලු ජාතිකයන් පවා මරා දැමුණා. නිල වාර්තා අනුව කලු මරණ සියයක් පමණ බව සඳහන් වෙනවා. මෙයින් පසු ප්‍රාන්ත ගණනාවකම කලු මිනිසුන්ට අධ්‍යාපන හිමිකම් පවා අහිමි කරන දැඩි නීති පැනවුණා.


ක්වේකර් ආගමික ව්‍යාපාරය වහල් සේවයට විරුද්ධව නැගී හිටියා. 1831 දී විලියම් ලොයිඞ් ගැරිසන් “ද ලිබරේටර්” නම් පුවත්පතක් ඇරඹුවෙ අමානුෂික වහල් ව්‍යාපාරයට එරෙහිවයි. දකුණෙ වතුකාරයන්ගෙ ප්‍රචණ්ඩ හැසිරීම් අනුමත නොකළ උතුරේ ඇමරිකානුවන් තම වහලුන්ට නිදහස දුන්නා. දකුණෙන් පළා එන වහල් සේවකයන්ට රැකවරණ සැලසුවා.
තමාගේ වහල්භාවයට එරෙහිව නඩුවක් පැවරූ මිසූරියේ ඩේ‍රඞ් ස්කොට්ගෙ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගියා. ඔහුට ලැබුණ තීන්දුවේ සඳහන් වුණේ ඔහු වහලකු විනා පුරවැසියකු නොවන බවයි ! මෙවැනි කතා රාශියක් කියවා ඇතත් ඒවාට ඉඩ නැහැනෙ.


එබ්‍රහම් ලින්කන් 1863 ජනවාරි 1 වන දින වහල් සේවයට ගෙනා මිනිසුන් සඳහටම නිදහස් බව නිවේදනය කළා. ඒ වනවිට කලු ජාතික ජනගහනය මිලියන තුන ඉක්මවා තිබුණා. නමුත් ඒ ඒ ප්‍රාන්තවල බලය අතට ගත් සුදු මිනිසුන් එම නිදහස අනර්ථවත් වන ආකාරයේ නීති සම්මත කළා.


මා දැනට දස වසරකට පමණ පෙර රෝසා පාර්ක්ගේ පාර හා ඔබාමාගේ හන්දිය ලෙස ශීර්ෂ පාඨිත ලිපියක් රාවයට ලියුවා. එහි සඳහන් වුණේ බැරක් ඔබාමා ජනාධිපති වූ විට රාවය කර්තෘ වික්ටර් අයිවන් මහත් ආනන්දයට පත් වූවත් කලු ජාතීන්ගෙ ප්‍රශ්න අවසන් වී නැති බවයි (අසිරිමත් කියවීම – රාවය ප්‍රකාශන). 1913 රෝසා පාර්ක්ස් උපදිනකොටත් ඇය විවාහ වන විටත් කලු මිනිසකුට සුදු ජාතිකයකුට අතට අත දීම පවා තහනම්. රතු ඉන්දියානු මිශ්‍රණයක් තිබූ නිසා රෝසාගේ මවගේ පියා බැලූ බැල්මට සුදු ජාතිකයකු මෙන් පෙනුණා.


1916 වන විට “අප්‍රිකානුවන්, සේවකයන්, බල්ලන් හා වහලුන් නොවී ආපසු අප්‍රිකාවට යා යුතුය” යන සටන් පාඨය ගෙනාවේ ජැමෙයිකාවේ උපත ලද මාර්ක්ස් ගාවි නැමැත්තායි. 1923 දී ගාර්වි රෝසලා හිටිය ඇලබාමා ප්‍රාන්තයට ආවා. සුද්දකු වගේ පෙනුණු නිසා රෝසාගෙ සීයාට ඒ රැස්වීමට යන්න ඉඩ ලැබුණෙ නැහැ.


මේ නරක කාලයේදී සුදු මිනිසුන් 16 දෙනකු සියලු කල්ලන් විනාශ කිරීමට ප්‍රතිඥා දෙමින් ක්ලු ක්ලුක්ස් කල්ලිය පටන් ගත්තා. 1920-21 වන විට මේ කල්ලියට 85,000 ක් එක් වී තිබුණා. ඔවුන් කලු මිනිසුන්ගේ නිවාස හා දේවස්ථාන ගිනි තබමින් කසපහර දෙමින්, මිනී මරමින් හැසිරුණු ආකාරය කියවනකොට 83 කලු ජූලිය මතක් වෙනවා.


1927 වෙනකොට ඇලබාමා හී සිටි බලගතුම දේශපාලඥයා වු සෙනට් සභික හියුගෝ බ්ලැක්, ආණ්ඩුකාරයා ඬේව්ඞ් බිබ්ස් ග්‍රේව්ස් හා නීතිපති චාල්ස් මැක්කෝල් යන ත්‍රිත්වයම ක්ලූ ක්ලුක්ස් කල්ලියේ සාඩම්බර සාමාජිකයො වුණා.
ඇලබාමාවේ කලු මිනිසුන් බස් රථ ඇතුළට ගත්තෙ නැහැ. ඔවුන් ගමන් කළ යුතු වුණේ වහළය මතයි. ශ්‍රී ලංකාවේ අපි ඒ කාලයේ ඇමරිකාවෙ හිටියානම් අපටත් ඒ ආනිශංසයමයි.


1940 වෙනකොටත් උසස් පාඨශාලා ඩිප්ලෝමා සහතිකය ගත හැකි වූ 1% ක කලු ජාතිකයන් අතරට රෝසා පාර්ක්ස්ටත් ඇතුළු වෙන්න ලැබුණා. කරණවෑමියකු වූ ඇගේ සැමියා ඊට පූර්ණ අනුග්‍රහය දුන්නා. නමුත් ඇයට ලබා ගත හැකි වුණේ රෝහලක සුළු සේවිකා තනතුරක් පමණයි.


බස් ගමන් පිළිබඳ හා ඡන්දය දැමීමේ සම අයිතිය ගැන හැදැරීමේදී කැපී පෙනෙන චරිතය වෙන්නෙ රෝසා පාර්ක්ස් තමයි. කලු මිනිසුන්ගේ හිමිකම් වෙනුවෙන් නිර්භයව පෙනී සිටි එලියනෝර් රූස්වෙල්ට් ආර්යාව “මයි ඬේ” නමින් තීරු ලිපියක් ලියුවා. ඇය රෝසා පාර්ක්ස් මුණ ගැසීම ගැනත් “මයි ඬේ” තීරුවක සඳහන් කළා.


1936 නොවැම්බර් 13 දින ඇලබාමාවේ වර්ණ භේදය ඇමරිකානු ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලැබුණා. මාටින් ලූතර් කිං වීරයෙක් ලෙස ඉස්මතු වුණත් ඒ ජයග්‍රහණයේ නියම වීරවරිය රෝසා පාර්ක්ස් බව ඉතිහාසය ප්‍රශ්න කරගෙන යනකොට පැහැදිලිවම පෙනෙනවා. අරගලය සාමුහික වූවත් ජයග්‍රහණ සාමුහික වෙන්නෙ නැහැනෙ.


1968 මාර්ටින් ලූතර් ඝාතනයේ සිට මේ දක්වා තලු ජාතිකයන්ට සිදු වූ අසාධාරණකම් ගැන බලනකොට ෂාලට් ඇමරිකානු පුරවැසිකම අතහැර ටැන්සානියාවට පැමිණීම හරිය කියා හිතෙනවා. නමුත් කලු ජාතිකයන්ටත්, ඇමරිකාවේ හා කැනඩාවේ වගේම වෙනත් රටවල මුල් පදිංචිකරුවන්ටත් සිදු වූ අසාධාරණයට ඒ ඒ රටවල සාධාරණයක් ඉටු කළ යුතුයි. ඇමරිකාව, එංගලන්තය හා යුරෝපීය රටවල් අනිත් රටවලට ආර්ථික සම්බාධක පනවන්නේ මෙයාකාර මානව හිමිකම් කඩ වූ අවස්ථාවලනෙ. ඇතැම්විට ඒ කාරණා හරිහැටි විභාග නොකරත් සම්බාධක පනවනවා. මෙවැන්නක් අපේ රටේ වුණා නං කොහොමද ? හැබැයි එහෙනං වරද කළ නිලධාරියාට උසස්වීමක් ලැබෙන්නත් බැරි නෑ. මළ මිනිසාගෙ සාක්කුවට කුඩු පැකට් රිංගන්නත් ඉඩ තියෙනවා. අපේ පොලීසිය නං දැන් හොඳටම හොඳයි කියලා ෂාලට්ට ලියා යවන්න ආසයි. නමුත් ඒකට තව කල් තියෙනවා.