හිරුණි කුරුප්පුආරච්චි

සමාජය සහ සමාජීය සත්වයාගෙන් විනිර්මුක්ත සාහිත්‍යයක් නැත. එය අත්‍යන්තයෙන් ම අප ජීවත් වන යුගයේ සමාජ දේශපාලන සහ ආර්ථික සංසිද්ධීන් සමඟ අත්වැල් බැඳ ගනියි. ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ විවිධ තීරණාත්මක සිදුවීම් මානව ඉතිහාසය පුරා සුලබය. ඒවා නව සමාජ ක්‍රමයක්, නව ආකල්ප පද්ධතියක්, නව මිනිසෙක් නිර්මාණය කළා සේම ඒ ඒ යුගයන්හි සාහිත්‍ය කලාවන් ද නවමු වෙනස්කම්වලට ලක් කළේ අදාළ යුගය සාහිත්‍යය කලාවන් ඔස්සේ ප්‍රක්ෂේපණය කරමිනි. කොරෝනාවලින් පසු යුගය ගෝලීය ජීවන පැවැත්ම එවැනි වෙනසකට ලක් කරනු ඇති බවත් එළැඹීමට නියමිත එම යුගය සාහිත්‍ය තුළ තවත් කඩ ඉමක් සලකුණු කරනු ඇති බවත් විද්වත්හු විශ්වාස කරති.


යටත්විජිතකරණය, නිර්යටත්විජිතකරණය සහ පශ්චාත් යටත්විජිතකරණය මෙන්ම පළවන සහ දෙවන ලෝක යුද අවධීන්ට පසු සමය, පශ්චාත් නූතන යුගය සහ මෑත ඉතිහාසය තුළ ලෝක ක්‍රමය ප්‍රබල වෙනසකට ලක් කළ සැප්තැම්බර් නමය ප්‍රහාරය ආදී වූ ඉතිහාස පෙරළි සියල්ල අප ජීවිතවල පසුබිම් කතාව සැකසුවා සේම ගත්කරුවන්, කවීන්, නාට්‍යවේදින් ඇතුළු නන්විධ කලාකරුවන්ට තම නිර්මාණ සඳහා වස්තු බීජ සැපයුවේය. පශ්චාත් ලෝක යුද සාහිත්‍ය නව්‍යවාදය සහ පශ්චාත් නව්‍යවාදය කරළියට ගෙන ආවා පමණක් නොව එමගින් හුදු ආර්ථික සහ දේශපාලන ප්‍රවණතාවන් සහ නම්නතාවන් නිර්මාණයට නැගීමෙන් එහා ගොස් වඩාත් විචාරශීලිව සහ විශ්ලේෂණාත්මකව නව සමාජ ක්‍රමය සහ එහි විවිධතා රසිකයා ඉදිරියෙහි ප්‍රතිනිර්මාණය කළේය. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල වූ සැප්තැම්බර් 9 ප්‍රහාරය ත්‍රස්තවාදය හා සබැඳි යුද්ධයක් ලෝකය තුළ නිර්මාණය කළා සේම එය ලෝක ගෝලයෙහි කේන්ද්‍රස්ථානය ඇමරිකාවට හිමි කර දෙමින් සෙසු ලෝකය තම අත්ල මත නැටවීමට සමත් සුපිරි බලවතා ලෙස ඇමරිකාව බෞතිස්ම කළේය. මෙම ගෝලීය හැරවුම් ලක්ෂය ඇමරිකාව මතු නොව එයින් පිටත ද සාහිත්‍යධරයන්ගේ නිර්මාණයන්ට ග්‍රහණය විය. ඇතැම් ඇමරිකානු ලේඛකයන් තම ජනතාව ආරක්ෂා කර ගනු පිණිස ඇමරිකාව විසින් සතුරු රටවල් මත වපුරන ප්‍රචණ්ඩත්වය සාධාරණිකරණය කළ අතර ඇමරිකාවෙන් පිටත ලේඛකයන් ඇමරිකාව විසින් තම ප්‍රතිවාදී රටවල ජනතාවගේ අනන්‍යතාව අහිමි කරමින් ඔවුන් පිළිබඳ තම මිත්‍ර රටවල් හමුවේ ගොඩනගන අසත්‍ය ප්‍රතිරූපය පිළිබඳ විවේචනශීලී විය.


මෙවර ලොව මුහුණ දුන් කලබගෑනිය සමාජ දේශපාලන සංසිද්ධියක් පමණක් නොව ජීවවිද්‍යාත්මක බලපෑමක් සහිත නව ආරයක පෙරළියකි. මෙයට සමස්ත ලෝකයම ගොදුරු වී ඇති අතර එයින් වූ හානිය පමණක් නොව එයින් ගැළවීමේ කාර්යය ද සැවොම අතර බෙදී ගොස් ඇත. ඉදින් දෙස් විදෙස් සාහිත්‍යකරුවන් නිසැකවම මෙම නව අභියෝගය සහ එයින් මතු ගොඩ නැගෙන නව ලෝකය තම තම නැණ පමණින් නිර්මාණයට නගනු ඇත.


ලොක්ඩවුන් කෝවිඞ් වෛරසය විසින් ප්‍රදානය කළ නව ලෝක උරුමය හකුළුවා දක්වන වදනයි. එය අපව භෞතික ශරීරවලින් වෙන් කර අභෞතික ශරීර බවට පත් කර ඇත. භෞතික ශරීරය ඇසුරින් අප ගොඩනැගූ සියලු මානව සබඳතා පරිගණක තිරය මත දිස්වන අප අභෞතික ශරීර ඇසුරෙන් පවත්වා ගෙන යෑමට දැන් අප පෙළඹී සිටියි. මතුවට අප හැසිරෙන ලෝකය තාත්වික සබඳතා පසෙක තබා අතාත්වික සබඳතාවලට අපව දිරිමත් කරන එකක් වනු ඇති බවට විද්වතුන් මත පළ කරමින් සිටිති. එකිනෙකා දැක බලා ගනිමින්, සිප වැළඳ ගනිමින් ආදරය සෙනෙහස බෙදා හදා ගත් පූර්ව කොරෝනා සමයෙහි වුව යටිතලය ව්‍යාජයක් වූ මිනිස් සබඳතා මේ කිසිවකට දිරි නොදෙන පසුබිමක් තුළ කොයිබට විතැන් වේද? කොරෝනා මාරුතයට පෙර සාහිත්‍ය යුගය යුද්ධ, සංක්‍රමණ සහ බොඳ වෙමින් යන සාම්ප්‍රදායික සීමාවන් පිළිබඳව වෙන් වූවා නම් මෙයින් පසු යුගය අතත්‍ය මිනිසෙකු සහ ඔහු විසින් වඩාත් ආරක්ෂාකාරීව, එහෙත් සමාජ දේශපාලන සහ නීතිමය දේශ සීමාවන්ගෙන් තොර වඩාත් නිදහස් අවකාශයක ගත කරන සයිබර් ජීවිතයක් පිළිබඳ විය හැකිය.


ගෝලීයකරණය 21 වෙනි සියවසෙහි දෛවය තීරණය කළ තීරණාත්මක සාධකය විය. අඩු පිරිවැයකින් වැඩි නිෂ්පාදන ධාරිතාවයක් අත් කර ගනිමින් ලොව වටා ඉල්ලුම් සැපයුම් දාමයක් තැනීම ගෝලීයකරණයෙහි එක් අරමුණකි. මෙය කාර්යක්ෂම, ඵලදායී අර්ථ ක්‍රමයක් ලෙස මෙතෙක් ආර්ථික පඬුවන් පවා හඳුනා ගත් නමුත් උද්ගත වූ අනපේක්ෂිත තත්වය හමුවේ සියල්ලන් නිරුත්තර කරමින් ගෝලීයකරණය සහ ගෝලීය ආර්ථිකය පිළිබඳ සැක මතු වී ඇත. ජාතික රාජ්‍යය සංකල්පය දේශපාලන පොතපතට සහ නීති පොත්වලට පමණක් සීමා වූ අතර ප්‍රායෝගිකව එහි භාවිතය අවම වී පැවති යුගයක, නැවත ජාතික රාජ්‍ය සංකල්පය පිළිබඳ වඩාත් බලාපොරොත්තු දල්වා ගැනීමට සුදුසු යුගයක් අපි දැන් ගෙවා දමමින් සිටිමු. විද්වත් කතිකාවන්ට අනුව එළඹෙන යුගය දේශපාලන වශයෙන් ගෝලීයකරණය පිළිගන්නා, ආර්ථික වශයෙන් ගෝලීයකරණය සීමා කරනා යුගයක් වීම යහපත්ය. එය ආර්ථිකමය වශයෙන් ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයකට දිරි දෙන නවමු ක්‍රමයක් නම් මෙම දෙමුහුන් ලෝක ක්‍රමය මත ගොඩනැගෙන මිනිස් ජීවිත කෙබඳු වනු ඇත් ද? එසේම ලොව ප්‍රබල ආර්ථිකයන් තම ආයෝජනයන් සෙසු ලෝකයෙන් හුදකලා කිරීමත් සමඟ ඔවුන්ගේ ආයෝජනයන් මත යැපුණු දියුණු වෙමින් පවතින ආර්ථිකයන් සහිත රාජ්‍යයන් තව තවත් අසරණ වනු ඇති අතර එම ව්‍යසනය තුන්වන ලෝකයේ රටවල ජනතාව මත ඇති කරන බලපෑම කෙබඳු වේද? මෙම විපර්යාසයන් නව සාහිත්‍ය අනුභූතීන් සපයනු ඇත.


බොහෝ සුළු ව්‍යාපාර සහ මධ්‍ය පරිමාන ව්‍යාපාර මේ වන විට අඩපණ වී ඇති අතර ඇතැම් ව්‍යාපාර නැවත නගා සිටු විය නොහැකි ලෙස බිඳ වැටි ඇත. ලංකාව ද ඇතුළු ලොව පුරා ශ්‍රම බලකායේ බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා අහිමි වී ඇත්තේ ඔවුන්ගෙන් යැපෙන්නන් ද අනතුරට හෙළමිනි. බැංකු ණය මත ව්‍යාපාර පවත්වා ගෙන ගිය ව්‍යවසායකයින් ණය අර්බුදය ඉහළ යත්ම පත්වන තත්වය තීරණය වන්නේ මෙම ගැටලුවලට පිළියම් සෙවීමට බැඳී සිටින පාලක පන්තිය මතය. ඔවුන් මේ සඳහා ගනු ලබන විසඳුම් ජනතාවගේ අනාගතය තීරණය කරනු ඇත.


ඇමරිකාව සහ චීනය අතර කලක පටන් පැවති වෙළඳ යුද්ධය උද්ගත වූ තත්වය හමුවේ චීනයට වාසිදායක අන්දමින් හැඩ ගැසෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයින්ගේ මතයයි. එසේ නම් පශ්චාත් කොරෝනා යුගය චීනය කේන්ද්‍ර කර ගත් ආර්ථික එළඹුමක් වනු ඇත. චීනය විසින් ගොඩනගන වෙළඳ ලෝකය කුමන වෙස් ගනියි ද? ඔවුන් විසින් නිර්මාණය කරන නව පාරිභෝගික සමාජය කෙබඳු වෙයි ද? ඒ සමාජය අදහන ආර්ථික සමාජ දර්ශනය කුමන සංකීර්ණතා ප්‍රකට කරයි ද? යන තත්වයන් අනාගත නිර්මාණකරුවන්ගේ චින්තන ශක්තිය ඇසුරෙන් වඩාත් පිරිපහදු ලෙස සාහිත්‍ය රසිකයාට නිරාවරණය කරනු ඇත.


ලොව ආර්ථික බලවතා ලෙස මෙතෙක් විරුදාවලිය ලද ඇමරිකාව තම ආර්ථික පසමිතුරු චීනයට ප්‍රථමයා වීමට ඉඩ දී නිහඬව සිටිනු ඇතැයි විශ්වාස කිරීම ද අපහසුය. එක්සත් ජනපදය තවදුරටත් තම ස්ථානය වෙනුවෙන් තරඟ කිරීමට බැරි නැත. නොඑසේ නම් ඇමරිකානු ජනතාවගේ සුබසෙත පතා චීනය සමඟ එක්ව සාමකාමී පිළිවෙතක් අනුගමනය කිරීමට ද යොමු වෙනු ඇතැයි අනුමාන කළ හැකිය. තතු කුමක් වේවා මෙම දේශපාලන අධිකාරීන් විසින් පශ්චාත් කොරෝනා යුගය නිර්මාණය කරන දෙස සාවධාන ලේඛකයින් නෙත් සිත් යොමා සිටීම වැදගත් ය.


කොරෝනා ව්‍යසනයත් සමඟ ලොව ආර්ථිකයන් පමණක් නොව භූදේශපාලනය ද වෙනස් මඟක් ගනිමින් සිටියි. බටහිර රාජ්‍යයන් මෙයින් දැඩි බලපෑමකට ලක් වීමත්, ඔවුන් තම රාජ්‍යයන්හි අභ්‍යන්තර තත්වයන් සමනය කර ගැනීමේ දී පෙන්වූ අසාර්ථකතත්වයන් හේතුවෙන් පෙර පටන් අනාවැකි පළ කළ පරිදි 2020ට පසු යුගය ආසියාව තම නැගී සිටීම වාර්තා කරන යුගය වනු ඇතැයි දේශපාලන විද්වත්හු තවමත් මත පළ කරමින් සිටිති. බටහිර රටවලට සාපේක්ෂව චීනය ඇතුළු තවත් ආසියානු රටවල් කිහිපයක් මෙම උවදුරට සාර්ථකව මුහුණ දීමත් සමඟ ආසියාව පිළිබඳ පෙර පටන් පැවති මෙම විශ්වාසය තවදුරටත් තහවුරු වී ඇති සේය. දියුණු වෙමින් පවතින ආර්ථිකයන් සහිත ආසියානු රටවල් බොහොමයක් නව අර්බුදකාරී තත්වය හමුවේ මෙකී සංවර්ධනයේ සීමාවන්ට ළඟා වෙත් දැයි විවාදාත්මක වුව ද බටහිර රටවල් හා තුලනාත්මකව විමසා බැලීමේ දී ආසියාව එළඹෙන යුගය භූ දේශපාලන වශයෙන් ශක්තිමත් වනු ඇතැයි විශ්වාස කෙරේ.


යුරෝපා සංගමය තුළ කලක පටන් පැවති වියවුල් බි්‍රතාන්‍ය එයින් ඉවත් වීමත් සමඟ තවදුරටත් වැඩි වර්ධනය වූ අතර කොරෝනා අර්බුදය සමඟ එහි සාමාජික රටවල සහයෝගිතාවය පිළිබඳව අභ්‍යන්තර අර්බුද නිර්මාණය වී ඇති නිසා එහි ඉදිරි පැවැත්ම ද තීරණාත්මක වෙනසකට ලක් වනවා සේම යුරෝපානු රටවල් චීනය සහ රුසියාවෙහි මිත්‍රත්වය වෙත දෑත් දිගු කරනු ඇති බවටත් ඉඟි පළ කෙරේ. මෙය ලෝක භූදේශපාලනයේ තවත් පෙරලියක් වන අතර පෙර සඳහන් සියලු සංසිද්ධීන් සේම මෙම තත්වය ද අනාගත මනුෂ්‍ය ජිවිතයට සාධනීය නිශේධනීය බලපෑම් එල්ල කරනු ඇත.


අන්තර්ජාතික සංවිධාන ලෝක දේශපාලනය හැඩ ගැස්විමෙහි ලා තීරණාත්මක සාධකයක් විය.එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජී7, ජී20 බලවතුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කිසිඳු ජාත්‍යන්තර සංවිධානයකට මෙම කෝවිඞ් ගෝලීය අර්බුදය සඳහා ගෝලීය විසඳුමක් ඉදිරිපත් කිරීමේ දී සාර්ථක වීමට නොහැකි වූ අතර මෙම සංවිධාන අභ්‍යන්තරයෙහි පවතින සුපුරුදු දේශපාලන ගැටුම් හේතුවෙන් එවැනි විසඳුම් සෙවීම ද දුෂ්කර වී ඇත. මෙම සංවිධාන ප්‍රතිසංවිධානය වීම සඳහා ගෝලීය සහයෝගිතාවය ලැබෙනු ඇති ද නැති ද යන කාරණය ද අනාගත ලෝකයට සැලකිය යුතු බලපෑමක් කරනු ඇත. මේ සියල්ල ලෝක සාහිත්‍යයෙහි තවත් පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇත.