ටිරන් කුමාර බංගගම ආරච්චි

මෙරට දෙවැනි කොරෝනා රැල්ල සීග්‍ර ලෙස රටපුරා ව්‍යාප්තව පවතී. මරණ සංඛ්‍යාවද ඉහළ යනුයේ බලා ඉද්දීය. එහෙත් ජනපති රට වසා සිටිය නොහැකි යැයි අභීතව පෙනී සිටිමින් බස්නාහිර විවෘත කළේය. රට ඇරීම යනු බස්නාහිර විවෘත කිරීම බව දැන් පැහැදිලිය. රට වසනුයේ ජනපති නොදැනුවත්ව හමුදාපති විය යුතුය. එසේ නොවන්න රට වහගෙන සිටිය නොහැකි යයි ජනපති ගෝඨා ප්‍රසිද්ධියේ බනිනුයේ කාටද ?ඔහුගේ හැසිරීමත් විටක සිරිසේන පන්නයේමය.


ජනපති කාර්යාලයට යනවිට එම මාර්ගයේ වෙනදා සිටි කඩල වෙළෙන්දා නොදැකීම, වඬේ වෙළෙන්දා නොදැකීම, චූන් පාන් හඬ නොඇසීම, තව කඩයක් දෙකක් වසා තිබීම ජනපතිට සතර පෙර නිමිති දැක්කා හා සමාන විය. ඔහු මාධ්‍යයට පැමිණ සතර අත නෙලුවේ රට වසා සිටිනුයේ ජනතාව යන තැන සිටය. ජනතාව ලෙස අපද මේ රට වසා සිටිමට ඍජුව වගකිය යුතු යැයි හැඟෙන තරමට කතාව ඇත්තය.


දැන් රට විවෘතය. කොරෝනා දසතම ව්‍යාප්තය. එයට ගොදුරු වනවාද නැද්ද යන්න ජනතාවගේ පරිස්සමට හෝ පෙර පිනට සිදුවන්නේ බව මෙතැන් සිට ඇදහිය යුතුය.


රට විවෘත කිරීම හරිද වැරදිද ? ගැටලුවක් අපට නැත. ගැටලුව නම් රට වසා දැමීමට හේතු වුයේ ජනතාව බව ජනපති හරි තදට කීමය. ජනතාවගේ නොසැළකිල්ල මෙයට හේතු වී ඇත. ආණ්ඩුව පළමු කොරෝනා රැල්ල ඉවර කොට රට සුරක්ෂිත කොට මුදාගෙන ජනතාවට ලබා දුන් පසු ජනතාව නැවත පිස්සු නටන්නට පටන් ගෙන ඇත. ජනතාව බ්‍රැන්ඩික්ස් හිමිකරුගේ මෝස්තර වලට හසුවී ඔහුගේ ඉන්දියානු ෆැක්ටරියේ රෙදි පිළි සහ සේවකයෝ මෙරටට ගෙන්වා ගෙන ඇත. ගෙන්වීම අවුලක් නැතත් ජනතා පරමාධිපත්‍ය උපරිම ගෙන ජනපති බිය ගන්වා හමුදාපති අහකට කොට නිරෝධායන නීති සතේකට මායිම් නොකර ඒ පිරිසට රට පුරා යෑමට ඉඩ කඩ විවර කර ඇත. ලෝකයේ කිසිදු ජනතාවක් නොකරන එවැනි තක්කඩි වැඩ කරන ජනතාවක් මේ තරමට හෝ ආරක්ෂා වි සිටිනුයේ ජාතියේ පිනට පහළ වු ගෝඨා නිසාය. එසේ නොවුණිනම් අද අප කොරෝනා රෝගීන්ය.


විශිෂ්ට නායකයකුට වුවත් ජනතාවගේ අවහිරතා හැමදා ඉවසා සිටිය නොහැකිය. කොවිඞ් දෙවැනි රැල්ල බ්‍රැන්ඩික්ස් එක හරහා රටපුරා යවන්නට ජනතාවට ඉඩ දුන්නද ඉන්පසු ගම්පහ පුරා ව්‍යාප්ත වෙද්දීත් ගම්පහ නොවැසු ගෝඨා තමාගේ එකම ඉලක්කය විස්ස ජය ගැනීමට හැකි උපරිමය කරන මොහොතක එය ඉටු වූ පසු හුස්මක් කටක් ගන්නට නොදී ජනතාව රට වැසීම අසික්කිතය. ඒ මොහොතේ එය කෙසේ හෝ කරබාගෙන සිටියද දින හත අටක් යන විට තම කඩල, වඬේ, චූන් පාන් අය නොමැති වීමෙන් නොදැක සිටීමෙන් සාංකාව වැළදුනු ජනපති ඒ විකාරයෙන් වුව නැවත රට නොහරින්න, මෙරට ජනතාව ගෝඨාව දරමිටි බඳින නයකු බවට පත් කරනවා නියතය. බැරිම තැන ඔහු පෙනේ පෙන්නා ජාමේ බේරාගත්තේ බස්නාහිර අරිමින්ය. එහෙත් ගම්පහ අරින්නට ජනතාව දෙන්නේ නැත. ජනතාව තම ජනතා පරමාධිපත්‍ය මෙවැනි ශ්‍රේෂ්ඨ නායකයකු ඉදිරියේ කේවල් කිරීම නතර කළ යුතුය. ඔහුගේත් ඉවසීමට සීමාවක් ඇති බව වටහා ගත යුතුය.


කැබිනට් වෙනස


රට විවෘත නොකර ගෝඨාට සිය බලය භුක්ති විඳිය නොහැකිය. මේ රට ආපස්සට ගියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසාය. ඒ බාධාව ඉවත් කර රට ඉදිරියට යන විස්ස ගෙනාවේය. එසේ නම් දැන් ගෝඨා විස්සේ විසේකාර කම පෙන්විය යුතුය.


ද්විත්ව පුරවැසිභාවය ඕනෑ වුණේ බැසිල් පාර්ලිමේන්තුවට ගෙනෙන්නටය. එයට දැන් උපරිම හයිය ලැබී ඇත. ඉදිරියේදි බැසිල් නැවත වතාවක් ලැයිස්තුවේ පිහිටෙන් පාර්ලිමේන්තුවට එනු ඇත. ඔහු සමඟ ඇමතිකම්වල වෙනසක් වනු ඇත. බැසිල් එනුයේ ලොකු වැඩකට බව පැහැදිලිය. මහින්දට එදා බලයේ ඉද්දි මංගල, ශ්‍රීපති බාල්දි දැම්මේය. ඒවා මුනින් අතට නැමුවේ බැසිල්ය. දැන් පාර්ලිමේන්තුව තුළ විමල් ගම්මන්පිල, වාසු දඟලති. ඒ අයත් අතපය බැඳ අහකට කරනුයේ බැසිල්ය.


ගෝඨාගේ හෙට දවසේ විශ්වාසවන්තයා සමීපතමයා වනු ඇත්තේ බැසිල්ය. මහින්ද අගමැති වුවද මින් ඉදිරියට සියල්ල වනුයේ බැසිල්ට වුවමනා විදිහටය. බැසිල් තාලයටය. මංගල, ශ්‍රීපති එළවා දැමු බැසිල්ට, විමල්, ගම්මන්පිලලා කුක්කෝය. ඒ අය විස්ස ඉදිරියේ වැනි වැනි සිටියදී බැසිල් කළේ යන්න සිටිනා ගණනට සරිලන ගාණක් එළියෙන් නිර්මාණය කර ගැනීමය. එයට මුස්ලිම් පිරිස ලාභයටම අල්ලා ගත හැකි විය. බෞද්ධ ඡන්දයෙන් ආවා යැයි උඩ පැන උදම් ඇණු ජනපති ගෝඨා විස්ස දිනුයේ මුස්ලිම් අයගේ පිහිටෙන් යැයි නොකියන්නේ ඇයි ? එක් වරක් හැකි උපරිම බෞද්ධ ඡන්දයෙන් ඉදිරියට ආවද එය එතරම් ශක්තිමත් පදනමක් නොවන බව බැසිල් හොඳටම දනී. විමල්, ගම්මන්පිල, රාජපක්ෂලාගේ ඇගේ එල්ලී ගොඩ එන අය මිස බලයක් ඇති අය නොවන බව හොදාකාරවම දන්නේ බැසිල්ය. ඒ නිසා ඔහු විමල්, ගම්මන්පිල වැනි ගොබෙල්ස්ලාට වඩා මුස්ලිම් පිරිසගේ මන්ත්‍රීකම් වටිනා බව දනියි. මෙයින් නොනැවතී දෙමළ පිරිසක්ද බැසිල් ඉදිරි කාලයේදි දඩමීමා කරගනු නියතය. මුඛරි විමල් සහ ගම්මන්පිලට බැසිල්ගේ ගැට ලිහනවා තබා හිතා ගැනීමටවත් බැරිය.


එවන් පසුබිමක හදිසියේ රට හරිනුයේ විස්සේ බලය රිසි සේ විඳින්න බව වටහා ගත යුතුය. ගෝඨා ආ විගස හදිස්සියේ ගෙනා විස්ස හදිස්සියේම විඳ ගන්නට නොහැකි වුවහොත් කරුමයකි. අද දෙවැනි කොවිඞ් රැල්ලට ජනතාව වගකිව යුතු යැයි ඔහු ප්‍රසිද්ධියේම කියනුයේ මේ විස්සේ බලයෙනි.


අද මහින්ද හොයා ගැනීමටවත් නැත. හැමතැනම ඇත්තේ බැසිල්, ගෝඨා ය. දැන් එළඹ ඇත්තේ ඒ දෙදෙනාගේ යුගයය. මහින්දව උපරිම ශක්තිමත් කළේ බැසිල්ය. දැන් එම හයිය ඔහු එන්නත් කරන්නට යනුයේ ගෝඨාටය. ගෝඨා වුව මේ මොහොතේ තදින් විශ්වාස කරනුයේ බැසිල්වය. බැසිල් කතාකාරයෙක් නොව වැඩකාරයෙක් බව ඔහු හොඳාකාරවම දනී. එමෙන්ම රාජපක්ෂ දේශපාලනයේ රහස බැසිල් බවද ඔහු හොඳාකාරවම දනී. එමෙන්ම බැසිල්ද තමා නැතිව සෙසු අයට බැරි බව හොඳාකාරවම දනී. ඒ නිසා ඔහු බලනුයේ මෙතැන් සිට බොහෝ දුර විය යුතුය.


විමල්, ගම්මන්පිල පමණක් නොව වාසු පවා මේ විස්සට විරුද්ධ වුණේ සැබෑවටම නොව බැසිල්ට විරුද්ධ වීමක් ලෙසය. ඒ මහින්ද ළඟ වන හුරතල් බැසිල් ළඟ බැරි බැවිනි.මෙන්ම බැසිල් පවා බලය ලැබුණු පසු සියල්ලෙහි හිමිකරුවා වන බැවිනි. රාජපක්ෂලා සමඟ බොහෝ අය ඉන්නේම මේ යටහත් පහත්කමට ආශාවෙනි. ඒ ආශාව පූර්ණ කිරීමද රාජපක්ෂලා අපූරුවට කරති.


රටේ මිනිස්සු තම දරුවාට වඩා නාමල් බේබිට ආදරේය. චිචීගේ කුකූට ආදරේය. තමන් නොකා නොබි හෝ රාජපක්ෂලා යෙහෙන්නම් ඔවුන්ට එපමණය. එහෙම හිතන හැට නම ලක්ෂයක් පමණ ජනයා මේ රටේ සිටිති. එවැනි පිරිසටද කොළේ වසා අනෙක් අය රට වැසීම සාධාරණද ? බැසිල් එන මග වළක්වන්නට රට වසා සිටීම යහපත්ද? ගෝඨා දිනු පසු මහින්ද අගමැති නම්, නාමල් ඇමති නම්, චමල් ඇමති නම්, බැසිල් පමණක් කුස්සියට දමනුයේ කෙසේද ? බැසිල් නොඉන්න පොහොට්ටුවත් නැත. තුනෙන් දෙකක් ගන්නේ නැත. විස්ස සම්මත වන්නේ නැත. මේ හැම වැඩකම හැංගී සිටින චරිතයත් බැසිල්ය. අප පුදුමවිය යුත්තේ බැසිල් තවමත් ඇමති නොවුයේ මන්ද යන්න ගැනය. මෙතරම් බරක් අඳින මිනිසා ඇමති කෙනෙකු නොවුයේ මන්ද යන්නය. ඒ අනුව ලොකු තනතුරු වෙනසක් කඩිමුඩියේ සිදුවනවා ඇත. ඒ පාර්ලිමේන්තුවේ අගමැති හාල් කෑල්ලක් වී බැසිල් උඩට එනවා ඇත. කඩල වඬේ වගේ නොව බැසිල් නැති පාළුව ගෝඨා පෙලන බව සිහිතබා ගත යුතුය.


ඔහුට වුවමනා බැසිල් සමඟ එක්ව විස්සේ ගිනි කෙළි පත්තු කිරීමය. විමල්, ගම්මන්පිල, ගෝඨාට වඩා බය බැසිල්ටය. බැසිල් ළඟ මේ අය පූස් පැටව්ය.


කොරෝනා තිබුණත් නැතත් මේ ආණ්ඩුවට දැන් වැඩක් නැත. මිනිස්සු මැරුණද නැද්ද? ගාණක් නැත. වුවමනා ධනපතියන්ය. බ්‍රැන්ඩික්ස් රැක්කේ ඒ නිසාය. බ්‍රැන්ඩික්ස් ගෙනා කොවිඞ් මගින් වඬේඑක, කඩල ගොට්ටට වදින විට ගෝඨාගේ හිත උණුවීම මුලාවකි. මේ අය කරනුයේ සුපිරි දේශපාලනයකි. එයට අවශ්‍ය කඩල, වඬේ, චූන්පාන් වැනි සිල්ලර චින්තනයකි. ගෝඨා කිඹුල් කඳුළු හෙළනුයේ එබැවිනි. හෙට දවසේ වඬේ, කඩල, චූන් පාන් නැති වුවහොත්, ඒ අය කොවිඞ් 19ට ගොදුරු වී ඇතැයි සැල වුවහොත් ජනපති කියනුයේ කුමක්ද ? රට ඇරලා දීලත් මේ අයට ලෙඬේ හදාගන්නේ නැතිව ඉන්න බැරි වුණානේ පන්නයේ කතාවකි.


ජනතා ඡන්දයෙන් පැමිණ ජනතාවට බැනීම අලුත්ම මෝස්තරය වී ඇත. සැබැවින්ම මේ සැම දේටම වගකිව යුත්තේ ජනතාවමය. ජනතාව කාලෙන් කාලයට කරන පිස්සු වැඩ නිසා රට අගාධයට වැටෙයි. සැබැවින්ම මේ පිස්සු ජනතාව නොවන්න රට අද සැබැවින්ම දියුණුය. ඉදිරියේවත් සිහිතබා ගත යුත්තේ මෙරටට දේශපාලකයින් ආඩුවක් නැති බවත් අවශ්‍ය ජනතාවක් බවත්ය. ජනපති ගෝඨා වුව බැණ අවදි කරන්නට උත්සහා කරනුයේ ඒ ජනතාවය. රාජපක්ෂලා හැමදාම දුක්වුයේ කඩල, වඬේ, චූන්පාන් ගැන යැයි කියන්නටය. එහෙත් ඒ අය දන්නා මේ සිල්ලර චින්තනය තවමත් විපක්ෂය හරිහැටි අඳුනාගෙන නොමත. සජිත් හිතනුයේ එයම කිරීම විකල්පය බවය. සජිත් පෙරළාගෙන බැසිල් ගොස් ඇති දුර බොහෝය. ඉදිරියේදී කියවිය යුතු දේශපාලන වෙළෙන්දා බැසිල්ය. මෙතෙක් ඔහු කළේ සේල්ස් රෙෆ්ලා දමා බඩු විකිණිමය. අනාගතයේ ඔහු මුදලාලි ලෙසම මතුවිය හැකිය. එවිට එය රාජපක්ෂ දේශපාලනයක් ලෙස නොපෙනෙන්නටද ඉඩ ඇත.


කොරෝනා පළමු රැල්ල හරියට මහින්ද යුගය වැනිය. දෙවැනි රැල්ල වත්මන් ගෝඨා යුගයය. ඉදිරිය …….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here