සුනෙත් පරණගම

වේගයෙන් නවීකරනය වන සංකීර්ණ සමාජයක අපි ජීවත්වෙමු. මෙම සංකීර්ණත්වය අපගේ මානව හර පද්ධතිය බිඳ දමමින් විවිධ සමාජ ගැටලූ නිර්මාණය කර ඇත. එමගින් ඇතිවූ කම්පනය,අද මව්පිය දූ දරු ගුරු සිසු, සමාවි සේවක සැමටම එක ලෙස බලපා ඇත. එම ගැටලූව හා වැදුණු සමාජ සංස්කෘතික කරුණු පිළිබඳව සත්‍ය සමාජ සිදුවිම් කීපයක් ආශ‍්‍රයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකරයන් සමග කළ සාකච්ඡdවකි, මේ.

සමාජ විද්‍යාව, මානව විද්‍යාව හා අපරාධ විද්‍යාව පිළිබඳ ප‍්‍රාමාණික විද්වතෙකු වන මහාචාර්ය දයා අමරසේකර සමාජ විද්‍යාත්මක දැනුම පොදු ජන සමාජයට රැගෙන යාමේදි පුරෝගාමි ප‍්‍රකට ගත් කතුවරයෙකි.

අද ලෝකය තාක්ෂණික සංනිවේදනාත්මකව සෞඛ්‍ය විද්‍යාත්මකව, අධ්‍යාපනික කුසලතා ආදි හැම අංශයකින්ම දියුණු වෙලා. දියුණුව යයි කියන වෙනස්වීම් අපේ සමාජයටත් ප‍්‍රබල විපර්යකාරකයක් වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් මැද ඇත්තටම අද අපේ සමාජය ගැන හිතන්න හොඳ ප‍්‍රවේශයක් හැටියට අපි කොහොමද මේ සමාජයේ සැබෑ හැඩ රුව මූලිකව තේරුම් ගන්නේ.

ඔව් ඇත්තටම අද මුලූ ලෝකයම තාක්ෂණික විප්ලවයකට අහුවෙලා තමයි. අපි ඒක දකින්නේ ‘‘දියුණුවක්’’ හැටියටයි. ඒත් මා එය ඊට වඩා පැත්තකින් තේරුම් කර දෙන්න කැමතියි. මා හිතන්නේ ඇත්තටම මේ දියුණුව ඇතුලෙ තියෙනවා එක්තරා අනාරක්ෂිත බවත්. අපි තාප්ප වලින් වටවුණ ගෙවල් හදාගත්තට, කැමරා හයි කරගෙන හිටියට බලන්න අපේ ජීවිත ඇත්තටම කොච්චර අවදානමකද තියෙන්නෙ කියන එක තේරුම් ගන්න හොඳම උදාහරණය තමයි චීනයේ කොරෝනා වසංගතය පැතිර යාම. මේක මා දකිනවා රෝගයක් පැතිර යාමකට වඩා අපිට අපි ගැන හිතන්න හොද සමාජීය පසුතලයක් නිර්මාණය කරපු අවස්ථාවක් කියලා. අපි දන්නවා චීනය කියන්නේ අද ලෝක ආර්ථිකයේ දැවැන්තයෙක්. හැම දෙයකින්ම සල්ලි උපයන්න ඉතාම සියුම් ක‍්‍රම විධි ඒ රටේ ඒ සමාජය තුළ බිහිවෙලා තියෙනවා. ඒ විදියෙ එකක් තමා ලේ විකිණීම. ඕනෑම කෙනෙකුට පුලූවන් තමන්ගේ ලේ දීලා සල්ලි ගන්න. ඒ ගන්න ලේ පෞද්ගලික රෝහල් වලට අලෙවි කරන්නේ වැඩි මුදලකට. එතකොට ඒ අය ලේ ගන්න පාවිච්චි කරන කටු එන්නත් ආදිය නිසි ලෙස පිරි පහදුවට ලක්වන්නේ නැහැ. ලේ දෙන – ලේ විකුණන මිනිස්සු හිතුවෙ සල්ලි ගැන විතරයි. තමාගේ ආරක්ෂාව ගැන හිතුවෙ නෑ. මේක මාෆියාවක් වෙලා 90,2000 දශක වල ඉඳලා පැතිර ආව දෙයක්. 2001 දි චීනයේ තිබුණා සාර්ස් කියලා තවත් වෛරසයක්. මේ ලේ වෙළදාම තුළින් සිදුවුණ ප‍්‍රධානතම සමාජ උවදුර තමයි, ක‍්‍රමානුකූලව මුලූ සමාජයම මුදල් පසු පස දුවන තත්ත්වයට පත්වීම. එතකොට නිසි ලෙස පිරිපහදුවට ලක් නොවනු සෞඛ්‍ය පිළිවෙත් නිසා බිහිසුණු විදියට මේ වසංගතය පැතිරුනා වගේම මුදලට ලේ විකුණල සල්ලි හම්බ කර ගැනීම තුළින් ජීවිතයයි කියන්නේ සල්ලියි කියන වැරදි පණිවුඩයක් සමාජගත වුණා. මේකට විරුද්ධව ජනමතයක් ගොඩ නගන්න කැප වී කටයුතු කළ වෛද්‍යවරියක් අබිරහස් ලෙස මරා දැමුවා විතරක් නෙමෙයි. ඊට අදාළ සමාජ ව්‍යාපාරයනුත් දරුණු ලෙස යටපත් කර ගෙනයි මේක පැතිරුනේ.

එතකොට මේ සියුම් උදාහරණය තුළින් මම මතු කරන අදහස මේකයි. කොරෝනා වෛරසය ඇති වන්න අද පෙන්වන විවිධ හේතු පිටිපුස තියෙන සැබෑ තත්ත්වය තමයි මුදල් මුල් කරගත්ත සමාජය. සල්ලි හම්බ කරන්න ඕනම දෙයක් කරන්න සුදානම් වන තත්ත්වයට සමාජය පත්වීම. බලන්න චීනය උදම් ඇනුවට ලෝකයේ දෙවන විශාල බලවතා කියලා. 2040 වන විට ලෝකයේ ප‍්‍රබල ආර්ථික බලය චීනයට හිමිවන බව. නමුත් බලවතා දරුණු වෛරසයක් ඇවිල්ල සියල්ල විසිරි ගියා නේද ? මිනිස්සු ඉතාම දරුණු විදියට කොටු කරල දැම්ම නේද ? මේ කොටු කිරීම චීනයට විතරක් නෙමේ, මුලූ ලෝකයේම ගැටලූවක් වෙලා අද වෙන කොට ඉතාලියේ පොදු ස්ථාන මිනිස්සුන්ට තහනම්. හැම ගුවන් තොටුපළක්ම භීතියෙන් තැති අරගෙන. මිනිහෙක් තව මිනිහෙක් දිහා බලන්නේ කොරෝනා රෝගියෙක්ද කියන සැකයෙන්. මෙයින් පැහැදිලි වන සරල සත්‍ය මේකයි. මුදල හඹා ගෙන යාමම නෙමෙයි ජීවත් වනවා කියන්නේ. මේක කොරෝනා වෛරසය අපිට සජීවීව පෙන්නලා දුන්න සත්‍යයක් හැටියටයි මම දකින්නෙ.

මේ විදියට මුදල් පසු පස ලූහුබඳින සමාජයක පවුල තියන ආයතනයේ පැවැත්ම කොහොමද ඔබ සමාජ විද්‍යාත්මකව දකින්නේ.

ඇත්තටම අද පවුලේ සංස්කෘතික ක‍්‍රියාදාමය වෙනස් වෙලා දරුවන් හා දෙමාපියන් අතර විශාල සංස්කෘතික පරතරයක් නිර්මාණය වෙලා නැද්ද ?. අද දරුවන්ට දෙමාපියන් එක්තරා චරිත දෙකක් විතරයි. අම්මා, තාත්තා කියන නම් දෙකින් ඒ චරිත හඳුන්වනවා. දරුවන් මේ නවීකරණය වන සමාජයේ තරුණ වියට එලඹෙන කොට ඔවුන්ට වැදගත් වන දේවල් අතරින් මේ චරිත වලට ලැබෙන්නේ නොවැදගත් තැනක්. අම්මා තාත්තා තමන්ගේ ජීවිත උසස් තැනකට පත් කරන්න කරපු කැප කිරීම් වගේම, තමාගේ ජීවිතය කඩා ගෙන වැටෙන්න ආපු තැන්වලදි අත දීලා උඩට ගත්ත හැටි ආදිය පිළිබඳ ‘‘මතකය’’ ඔවුන් තුළ නෑ. ඒ මතකය හා බැඳුණු සදානුස්මරණීය අතීතය ඔවුන්ට වැදගත් නෑ. මේ නිසා අද පවුලේ දූ දරු මව්පිය සබඳතාව විපරීත වෙලා. මේක තවත් පැත්තකින් පෙන්නන්න පුළුවන්. අද මුදලට මුල් තැන දෙන සමාජය ඇත්තටම ‘‘දුවන’’ සමාජයක්. කොහාටද මේ දුවන්නෙ, ඉහළ උසස් තැනකට යන්න. ඒක වරදක් නෙමේ. ඒත් ඒ ගමන යන්නේ තමා පමණක් කේන්ද්‍ර කරගත්ත බලාපොරොත්තු ගොඩක් එක්ක. අද අධ්‍යාපනයත් මේකට ගැලපෙන විදියටයි තියෙන්නේ. එතනදී තියෙන ඉලක්කය විභාගය. දැනුම එක වෙන්නෙ ඒ තියුණු තරගය ජය ගන්නයි. ඉතින් ඒ දැනුම හොයන්න අද විශාල තරගයක්. ඒ තරගයේ අර කිව්ව මව් පියනුත් ඉන්නවා. දැනුම දැනුම කියල මේ තරගයේ දුවන අය උඩට ඇවිල්ල. ඒ ගොල්ලො හිතන්නේ ඉන් පස්සේ ඒ අය ගැන විතරයි. ඒකට හේතුව මේ ගමනේදි ඔවුන් තුළ ආකල්ප වර්ධනය නොවීම. අන්තිමට රටම අතහැරලා වෙන රටක පදිංචි වෙනවා. නැත්නම් විවාහයක් කරගෙන වෙනම කුටුම්භයක් හදාගෙන ආයෙත් මේ වගේම තරගයක කොටස්කරුවන් වෙනවා. මේක අද පවුල මුහුණ දෙන ඛේදයක්. වැඩිහිටි නිවාස වල විශ‍්‍රාමික නිවාස වල ඉන්න වැඩිහිටි මව්වරු පියවරු කියන කතාවක් තමයි අපි කරපු මෝඩකම දරුවන්ට උගන්නපු එකයි කියලා.

දරුවනුත් දෙමාපියනුත් අතර මේ වගේ දැවැන්ත පරතරයක් ඇතිවෙන්න වර්තමාන අධ්‍යාපනයත් යම් ආකාරයකට බලපානවා නේද ?

ඔව්. කලින් කිව්ව වගේ අද තියෙන්නේ දැනුම විභාගකරණය වෙච්ච අධ්‍යාපනයක්. දැනුම දැනුම කියල ඔක්කොම දුවන්නේ එකම තැනකට. වෙළඳපල විසින් පාලනය කරන සමාජයක තියෙන තරගය ලාභය පදනම් කරගත් ආත්මාර්ථය අද අධ්‍යාපනයටත් ඇතුලූ වෙලා. පාසැලෙන් සිදුවන සමාජානුයෝජනය හරිහැටි සිදු කරන්න මේ සමාජය ඉඩ දෙන්නේ නෑ. මේකට දෙමාපියනුත් වග කියන්න ඕන. මීට දශක දෙක තුනකට පෙර අපේ මව් පියන් පාසැල්වලින් බලාපොරොත්තු වූ දේ අද දෙමාපියන් ඒ විදියටම බලාපොරොත්තු වෙන්නේ නෑ. තමන්ගේ දරුවා ඉගෙනුම වගේම බාහිර ක‍්‍රියාකාරකම් වලිනුත් පිරිපුන් දරුවෙක් කරන්න අද දෙමව්පියන් හිතනවා අඩුයි. දරුවන්ට වඩා දෙමාපියන් අධ්‍යාපන තරගයේ කොටස් කරුවන් වෙලා. දැන් බලන්න අද, දරුවන් ඉගෙන ගන්න හුගක් දේවල් මව්පියෝ දන්නෙ නෑ. අන්තර්ජාලය වැනි මාධ්‍ය ගැන දන්නෙ නැ. ඒ අය හිතන්නේ දරුවා තමන්ට වඩා ලෝකය ගැන දන්න කෙනෙක් විදියට. මෙහෙම හිතන මව්පියන් දරුවන්ගේ ජීවිත වලට එබී බලන්න බයයි. ඒ බය නිසාම දරුවන් ගැන තියෙන බැඳීමත් ක‍්‍රමානුකූගව සිදි යන්නක්. අද හු`ගක් වෘත්තිකයෝ දරුවන්ගෙන් වියෝවෙලා ගෙවල්වල තනි වෙලා. දරුවො රට අතහැරලා ගිහින්. මේ රටේ ඉන්නෙ නැතුව දරුවො පිට රටක ඉන්න එක හොඳයි කියනවා. ඒත් ඉන්නෙ හදවතින් මැරි මැරි. මේ විපරීත ස්වරූපය අද අපේ ‘‘පවුල‘‘ කියන ආයතනය තුළ පැහැදිලිව පෙනෙන තවක් ඛේදයක්. ඇයි දරුවෝ හදල ලොකු මහත් කරල අන්තිම කාලේ ‘‘හිත හදාගෙන’’ මැරි මැරි ජීවත් වන්නේ. අද සල්ලි පස්සේ දුවන සමාජය විසින් නිර්මාණය කරපු පරිභෝජනවාදි වෙළඳ සංස්කෘතියේ අනිවාර්ය අංගයක් මේක.

අපේ රටේ තරුණයන්ගේ පැත්තෙන් බලතොත් මේ ගැටලූවට ඒ අය සම්බන්ධ වීමට සමාජ මාධ්‍යයනුත් වග කියන්න ඕන නේද ?

මෙතනදි මා දකින පැති දෙකක් තියෙනවා. එකක් තමා අද අපේ රටේ තරුණයන් ඇතුලූ විශාල පිරිසක් හුදකලා මානසිකත්වයකින් යුක්ත වීම. විශාල පිරිසක් මැද මේ අය මානසිකව තනි වෙලයි ඉන්නේ. අනික අපි කලින් කිව්ව විදියට පවුල කියන ආයතනය විවිධ විපරීතකම්වලට ගොදුරු වෙලා කිසිම කෙනෙකුට ඒකෙ බලපෑමෙන් මිදෙන්න බෑ, පවුල කඩා වැටෙන කොට ඒක ඇතුලෙ ඉන්න අයට ඕන වෙනවා සතුට සන්තෘෂ්ටිය හොයාගෙන වෙනත් ලෝකවලට යන්න. බලන්න අද සමාජයේ මානව සම්බන්ධතා රටාවේ ස්වරූපය කොච්චර කෘත‍්‍රීමද කියලා. අද සමාජය මිනිස්සුන්ට වඩා මුල් තැන දෙන්නේ යන්ත‍්‍ර වලට. හැම දෙයකටම අද යන්ත‍්‍ර නිපදවල තියෙනවා. මිනිස්සු සබඳතා පවත්වන්නේ තම අවශ්‍යතා ඉටුකරගන්නේ පණ නැති යන්ත‍්‍ර හරහා. මේවා බඩු භාණ්ඩ හැටියට අයිති කරගන්න විශාල තර`ගයක් තියෙනවා. මේ වතාවරණය තුළ විශාල පිරිසක් පැත්තට තල්ලූ වෙලා මානසිකව විඩාවට පත්වීම ස්වාභාවිකයි. මේ අය වෙනස් වෙනස් සමාජ ලෝකවලට ඇදී යනවා. ෆේස්බුක් කියන්නේ එහෙම එක් ලෝකයක්. ඒවායින් හමුවන අය තමන්ගේ ජීවිතයට ළං කරගන්න දෙවතාවක් හිතන්නේ නෑ.

අද තියෙන මේ පරිභෝජනවාදි සමාජය තුළ ’’ආගම’’ කියන ආයතනය ක‍්‍රියාත්මක වීම ඔබ සමාජ විද්‍යාත්මකව දකින්නේ කොහොමද?

ඕනෑම සමාජයකට මග පෙන්වන මතවාදයක් ඒ ඒ කාලවල ගොඩ නැගෙනවා. ඒක සමාජයක් ක‍්‍රියාත්මක වීමේදි සිදුවන්නක්. උදාහරණ වශයෙන් ගතහොත් අනුරාධපුර පොළොන්නරු යුගවල අපේ සමාජ සංවිධානයට දෘෂ්ටිමය නායකත්වය දුන් බෞද්ධ මතවාදයක් තිබුණා. අපිට වාරි සංස්කෘතියක් ගොඩන`ගා ගැනීමට හැකි වුණේ ඒ නිසයි. එයින් පසුව යටත් විජිත පාලනයත් ඉන් පසුවත් අපේ දෘෂ්ටිවාද වල යම් යම් වෙනස්වීම් ඇති වුණා. අපි ලිබරල්වාදය ගැන කථා කළා. ඒත් අපිට ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටවල තිබෙන ‘‘දියුණුව’’ ලබා ගන්න බැරි වුණා. සමාජවාදය ගැන වුනත් එහෙමයි. අපි අද සමාජිය වශයෙන් කිසිම පැහැදිලි මතවාදයක් නැති විසිරුණු තත්ත්වයකයි ඉන්නේ. මේ නිසා ඕනෑම කෙනෙකුට තමන් කැමති කැමති දේවල් එකතු කරල සමාජ මතවාදය හදන්න පුලූවන් වෙලා තියෙනවා. මේ තත්ත්වය ආගමට විශේෂයෙන් බලපාල තියෙනවා. මහින්දාගමනයෙන් සිට ක‍්‍රි.ව. පස්වන සියවස දක්වා වු වසර දහසකට ආසන්න කාලයක් මෙරටට නායකත්වය දුන් දෘෂ්ටිමය ආගමික මතවාදය වුයේ පිරිසිදු ථෙරවාදයයි. ඉන් පසුව බුද්ධඝෝෂ තෙරුන් විසින් පාලි අට්ඨකතා අනුසාරීව පෙන්වා දුන්නේ පුජාමය හා දේවවාදි ලක්ෂණ සහිත දෘෂ්ඨිමය මග පෙන්වීමක් ලැබුණා.

අද වෙනවිට අපිට දකින්නට ලැබෙන්නේ අප ඉහත සාකච්ඡා කළ පාරිභෝගික සමාජයේ ජීවත්වන විවිධ ආර්ථික සමාජ දේශපාලන අපේක්ෂා සහිත ගිහි පැවිදි පිරිස් විසින් හදාගත් විවිධ විචිත‍්‍ර වන්දනයන්ගෙන් යුතු ජනප‍්‍රිය බුදු දහමක් සමාජයට පැහැදිලි නිශ්චිත මතවාදයක් නොමැතිවු විට මෙලෙස බලලෝභී පුද්ගලයන්ට ව්‍යාජ මතවාද සමාජගත කිරීමට ඉඩ ලැබෙනවා. එබඳු දෑ ඉල්ලා සිටින සමාජයක් පැවතීම ඊට හේතුවක්. අද සමාජයේ අපට අලූත් ආගමික ඇදහිලි ජන කාන්ත පුජා කර්ම වන්දනයත් සමාජ මාධ්‍යවලින් ප‍්‍රමාණාත්මකව දැකිය හැකියි. ඒවා සත්‍ය වශයෙන්ම බුදු දහම ලෙසයි ඉදිරිපත් වන්නේ. එහෙත් සත්‍ය වශයෙන්ම මේ අප දකින්නේ ජනප‍්‍රිය බුද්ධාගමයි. ඒවා පිටුපස සිටන්නේ විවිධ මාධ්‍යන් ඔස්සේ ජනකාන්ත වූ චරිතයි. මෙබඳු වෙළඳ මුහුණුවරක් ගත් ජනකාන්ත ආගමකින් අද සමාජයේ ගැටලූවලට ස්ථිරසාර විසදුමක් ලැබේ යයි සිතිය නොහැකියි.

මේ සමාජ අර්බුදයෙන් මිදිමට ඔබ යෝජනා කරන විසදුම් කවරේද ?

මුලූ සමාජයම මේ ගැන අලූතින් හිතන්න ඕනෑ. ඇයි මේ සමාජය මේ තරම් ආත්මාර්ථකාමි වුනේ කියල. මට මේ වෙලාවෙ මතක් වෙනවා එක්තරා සත්‍ය සිදුවීමක්. කොළඹ උසස් පාසැලක දරුවෙක් ක‍්‍රිකට් ක‍්‍රීඩා පුහුණුව කරන කල් පියා පිටියේ බංකුවක වාඩිවී සිටිනවා. වතුර පිපාසය හැදි දුවගෙන ඇවිත් තාත්තාගෙන් වතුර බෝතලය ඉල්ලාගෙන බීලා ආයෙත් යනවා. ඊට පස්සෙ පුරුදු වෙමින් සිටි තවත් දරුවෙක් ඒක දැකල අර තාත්ත ලගට එනවා වතුර ටිකක් ඉල්ල ගන්න. ඒ වෙලාවෙ තාත්තට තරහා යනවා. තාත්තා අර දරුවට බැණ වදින්නේ මෙහෙමයි. ‘‘ උඹලට වතුර ඕනිනම් උඹලගෙ තාත්තලගෙන් ඉල්ල ගනින්. මගේ වතුර මම කාටවත් දෙන්නේ නෑ. එක එකා කටතියපු බෝතල් මට මගෙ දරුවාට දෙන්න බෑ’’

මේක තමයි අද සමාජය තේරුම් ගන්න තියෙන හොඳම ප‍්‍රකාශය. තමා සහ තමාගේ පවුල පමණක් මූලික කරගත් චින්තන රටාව. මෙහෙම හිතන තැනට අද සමාජය පත්වුණේ සල්ලි හා බැඳුණ ආත්මාර්ථය, ප‍්‍රධාන ජීවිත අපේක්ෂාව බවට පත්වීම නිසයි.

මේ ආත්මාර්ථකාමී චින්තනය කොරෝනා වෛරසයටත් වඩා භයානකයි. කොරෝනා වෛරසය අපිට පාලනය කරන්න හැකි වේවි. එත් මේ ආත්මාර්ථකාමි ‘‘වෛරසය’’ පහසුවෙන් නැති කරන්න බැහැ. ඒකය පවුල, පාසැල, ආගම යන තුන් කොටසම පුළුල් පරිවර්තනයකට ලක් වෙන්න ඕන.