සංවාදය – රසික ගුණවර්ධන

තෙසාර ජයවර්ධන ලංකාවම හඳුනා ගන්නේ රංගන ශිල්පිනියක් ලෙසින්. අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ “නැගෙනහිර වෙරළෙන් ඇසෙන” ටෙලි නාට්‍ය ඇගේ රංගන හැකියාව මතුකර පෙන්වූ ප්‍රේක්ෂකයාට ඇගේ නම මතකයේ රැන්දූ නිර්මාණයක්. ඇය රංගන ශිල්පිනියකට අමතරව ආචාර්ය උපාධිධාරිනියක් Phd, ශාස්ත්‍රපති උපාධිධාරිනියක් MA (Kelaniya), ඉංජිනේරු විද්‍යාවේදී උපාධිධාරිනියක් Bsc(Eng.) NZ, එල්.එල්.බී. ගෞරව (ලන්ඩන්) උපාධිධාරිනියක් LLB(Hons) (London), ශාස්ත්‍රවේදී උපාධිධාරිනියක් MPhil, වරලත් ගණකාධීකරණ ආයතනයේ සාමාජිකාවක් MCIM (UK), ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සාමාජිකාවක් MSLIM (SL), අලෙවිකරණය පිළිබඳව ඩිප්ලෝමා උපාධිධාරිනියක් Dip.M (UK), වරලත් අලෙවිකරණය Chartered Marketer (UK) නීතීඥවරියක් Attorney-at-law(SL) ප්‍රසිද්ධ නොතාරිස්වරියක් Notary Public (SL), දිවුරුම් කොමසාරිස්වරියක් Commissioner for Oaths (SL) සමාගම් ලේකම්වරියක් Company Secretary (SL) . මෙවැනි දීර්ඝ චාරිකාවක නිරත ඇය සමග ඇදී යන මේ සංවාදය ඇගේ ජීවිතය පිළිබඳව හැරී බැලීමක්.


ඔබ අධ්‍යාපනය ලබන්නෙ විශාකා විද්‍යාලයෙන් පාසල් කාලයත් එක්ක ජීවිතය ගෙවුණෙ කොහොමද?


ඒක බොහොම සාමාන්‍ය අවධියක් වගේ දැනෙන්නෙ. එල්.ටී.ටී.ඊ. කලබල සහ ජේවීපී කලබලත් එක්ක පොඩි බයකින් ජීවත් වුණත් ඒවයෙ පිටිපස්සෙ තිබුණ දරුණුකම මට දැනුණෙ නෑ කියලයි මම හිතන්නෙ.


මොකද ඒ කාලෙ විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. කලබල ඉතාම ඉක්මනින් ඉවරවෙයි කියලයි මගෙ විශ්වාසය තිබ්බෙ. තාත්ත කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ බාහිර කඨිකාචාර්යවරයෙක් විදිහට සේවය කළා. දැන් ඒක කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. ඒ කාලෙ තාත්ත ඒ විස්තරත් ගෙදර ඇවිත් අපිත් එක්ක කියනව. ඒකත් එක්ක හමුදාව ගැන තවමත් ගෞරවයක් තියනව. මට මතකයි මට පොඩි කාලෙ උවමනාව තිබ්බෙ හමුදාවට යන්න.


මගේ ඒ බලාපොරොත්තුව ලොකු හේතුවක් වෙන්න ඇති අපි ලංකාවෙන් යන්න. නැත්නම් එහෙම විශේෂ හේතුවක් තිබ්බෙ නෑ අපට ලංකාවෙන් යන්න. අම්මත් මොරටුව විශ්වවිද්‍යාලයේ කැණීම් ඉංජිනේරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා විදිහට වැඩ කළා.


මගේ සාමාන්‍ය පෙළ අවසන් වෙනවත් එක්ක අපි නවසීලන්තයට සංක්‍රමණය උනත් මාව ඒකට කැමති කරගත්තෙ හරිම අමාරුවෙන්. මොකද මගේ ඔළුවෙ තිබ්බෙ මැරෙනකම්ම ලංකාවෙ ඉන්නෙ. ඒකත් එක්ක මම ගොඩක් හීන හදාගෙන ජීවත් උනෙ. මම නාට්‍ය කළා, නැටුම් කළා, තූර්්‍ය වාදක කණ්ඩායමේ හිටිය, ඒ එක්කම අඩුම තරමෙ පාසලේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙන්න වගේ බලාපොරොත්තු තිබ්බ. මම ඒවත් එක්ක කොච්චර බැඳිල හිටියද කියනව නම් මට සමස්ත ලංකා තරගවල හොඳම නිළියගෙ සම්මානයත් හම්බවෙලා තියෙනවා. නවය වසරෙදි ලීව නාට්‍යයකට හොඳම නාට්‍ය පිටපත සම්මානය ලැබුණා.


ඒ කියන්නෙ ඔබේ ගෙදර කලාවට අවශ්‍ය කරන වටපිටාවක් තිබුණා?


ඔව්, අම්මටයි තාත්තටයි කලාව පිළිබඳව විශේෂ හැකියාවක් නොතිබ්බට අපේ ඥාතීන් කිහිප දෙනෙකුට ඒ හැකියාව තිබුණ. අපේ ගෙවල්වල සතිපතා නාට්‍ය කරනව. තාත්තත් ඒවට සිංදු කියල එහෙම සම්බන්ධ වෙනව. තාත්ත ඉංජිනේරු විද්‍යාව සම්බන්ධව කටයුතු කළාට එයාට පේරාදෙණියෙ නාට්‍ය කරපු යාලුවො ගොඩක් දෙනෙක් හිටිය. ඒක හින්ද පොඩි කාලෙ නාට්‍ය කියන දේ අපේ ඇඟේ තිබුණ. නාට්‍ය රඟපානව. ඒ කාලෙ ජනප්‍රිය ඕනෙම නාට්‍ය ගීතයක් කීවහම කියන්න පුළුවන්. නාට්‍යයක් තියනව කීවොත් අපි මඟහරින්නෙම නෑ.


ඔබ නවසීලන්තයට සංක්‍රමණය උණාට පස්සෙ ජීවිතේ කොහොමද?


එහෙ ගියාට පස්සෙ අවුරුදු දෙකක් විතර යනකම් ජීවිතය අමාරු උණා. මොකද සාමාන්‍යයෙන් මෙහෙ සාමාන්‍ය පෙළ කරල යන ළමයෙක් එහෙ පස්වෙනි ශ්‍රේණියට දාන්නෙ. හැබැයි අපේ අම්ම මාව හත්වෙනි ශ්‍රේණියට දැම්මා. ඒ උසස් පෙළ අවසාන අවුරුද්ද. එතකොට මට අවුරුදු දාහතයි. ඒ වයසත් එක්ක ඒක මට සෑහෙන බරක් උණා. විෂයන් පහයි කරන්න ඕනෙ, ඒ අස්සෙ අපේ අම්ම ඒ ගණිත විෂයයන් පහට අමතරව ජීව විද්‍යාවත් දැම්මා. මම පළවෙනි මාස තුනම කළේ කට දිහා බලාන ඉන්න එක.


අධ්‍යාපන බරයි, භාෂාවෙ ප්‍රශ්නයි, මෙහෙ යාලුවො දාල ගිය දුක, එහෙ අලුත් යාලුවො නැති එක. මේ හැම එකක්ම එක්ක මගේ ජීවිතේ අමාරුම අවුරුද්ද ඒක.


මට නිදහස් වෙලාවක් තිබ්බෙ ඉන්ටවල් එක විතරයි. ඒ වෙලාවෙ මම ශේක්ශ්පියර් ක්ලබ් එකට ගියා, එතන හිටපු හැමෝම බලනව මේ මොකද කළු එක්කෙනෙක් ශේක්ශ්පියර් ක්ලබ් එකට ඇවිල්ල කියලා. කොහොමහරි ඔතන ඔඩිෂන් තිබ්බා. මම රෝමියෝ ජුලියට් නාට්‍යයට ඔඩිෂන් ගියා. මට එතන ලේඩි කැපියුලට් (ජුලියට්ගේ මව) ගෙ චරිතය හම්බ උණා.


එහෙ විවිධ සංස්කෘතික උත්සව තිබුණා. මම ලංකාවෙන් යන්න කලින් වජිරා චිත්‍රසේන ළඟ අවුරුදු හතේ ඉඳන් නැටුම් හැදෑරුවා. ඒ තිබ්බ හැකියාව මත මම ඒ සංස්කෘතිය උත්සවවල නැටුවා. ඒකත් එක්ක මට නවසීලන්තෙ නැටුම් උගන්වන්න අවස්ථාව ලැබුණා. මට ළමයි සල්ලි දුන්නා. ඒත් එක්කම කැම්පස් යන්න අවස්ථාවක් ලැබෙනවා, “ඒ ශ්‍රේණියේ ශිෂ්‍යත්වයක්” සමග, ඒක නිසා මට රජයෙනුත් සල්ලි හම්බවෙනවා. දැන් මට පොකට් මනිත් තියනවා. ඉගෙන ගන්න සල්ලිත් තියනවා.


ඉංජිනේරු පාසලේ (විශ්වවිද්‍යාලය) නවසීලන්ත ජාතිකයෙකු නොවන (Non kiwi) සහ කාන්තා පළවෙනි බැජ් රෙෆ් මම. මම ඡන්දෙ ඉල්ලුවෙ කොල්ලො දොළහක් එක්ක. මම ඡන්ද පොරොන්දුත් දුන්නා. කැන්ටිමේ කෑම සවුත්තුයි, හොඳ කෑම දානව කීවා. නරේශ් සිංගාල් කියල ඉංග්‍රීසි හරි නැති මහාචාර්ය කෙනෙක් හිටිය, එයාව එළියට දානව කීවා. කොහොමහරි මම දිනුවා, නරේශ් සිංගාල් අයින් කළා. ඒකෙන් එයාට හතරවෙනි වසරෙ ළමයිට උගන්නන්න අවස්ථාව ලැබුණා. කොහොම උනත් ඒකට නම් ගෙදරින් බැනුම් අහන්නත් උණා.


සංස්කෘතික වෙනස කොහොමද දැනුණෙ.


මගෙ හැම දෙයක්ම තිබ්බෙ තාත්තගෙ කාලසටහන ඇතුළෙ. උදේට බස්සනව, හවසට ගන්න එනවා. හතරෙන් පස්සෙ දේශන තිබ්බට එයාට ගාණක් නෑ. කවුරුහරි හතරෙන් පස්සෙ දේශන තියනව නම් ඒක ඒ මිනිහගෙ වැරැද්ද.


කැම්පස් එකේ බාල් නැටුමක් (බෝල් රූම් ඩාන්ස්) එකක් තිබ්බා. බැජ් රෙෆ් නොයන බෝල් රූම් ඩාන්ස් තියනවයැ. එතකොට මල්ලි ඉස්කෝලෙ යනවා. මට මේකට යන්න ඕනෙ නිසා ගෙදරට කීව රිසර්ච් එකක් කියලා. මල්ලිත් එක්ක මඟට ගිහිල්ල යාලුවො එතනට ඇවිල්ල ඇඳුම් මාරු කරගෙන හොරෙන් තමයි ඒ වගේ එකකට උනත් යන්න උනේ. අපිව ලංකාවෙන් ගෙනිච්චට කකුල් දෙක ලංකාවෙ තියාගෙන හිටියෙ අපිට එතනට හැඩ ගැහෙන්න දුන්නෙ නෑ.
හැබැයි මල්ලිට එහෙම නෑ. එයාට අවුරුදු දාසයෙන් කාර් එකක් අරගෙන දුන්නා. මට වෙනම නීති, මල්ලිට වෙනම නීති.


ඔය කාලය අතරතුර ඔබ රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදන කටයුතුවලට එකතු උනා නේද?


ඔව්, ජන්ම භූමි කියල ගුවන් විදුලි නාට්‍යයක නිවේදන කටයුතු කළා. මියුසික් ඇන්ඞ් මෙලඩි කියල ඉන්දියන් ටීවී වැඩසටහනක් නිවේදන කළා, ඒ අතර සප්ත මුද්‍රා කියල මගෙ නැටුම් ප්‍රසංගයක් කළා.


ආගන්තුක රටක ජීවත් වෙන අතර පියාගේ සීමා කිරීම් සමග මේ කටයුතුවලට ඔබ යොමු වෙන්නෙ කොහොමද?


මම නැටුම් කරපු නිසා මාව හොයාගෙන මට සම්මුඛ පරීක්ෂණයකට එන්න කීවා. ඒකෙදි උපාලි ජයවික්‍රම කියල අන්කල් කෙනෙක් මට කීව ඔයා ලබන සතියෙ ඉඳල නිවේදන කටයුතුවලට එන්න කියලා. ඒ අතරෙ කීර්ති පැස්කුවල් ලංකාවෙ ඉඳන් ආවා. ඔහුගේ ගුවන් විදුලි සාකච්ඡාවක් සූදානම් කරල තිබුණ, ඒකෙදි ඔහුත් සමග සම්මුඛ සාකච්ඡාවට මට අවස්ථාව ලැබුණා. කීර්ති පැස්කුවල්ගේ ජනප්‍රියකමත් එක්ක ඔහුත් සමග සාකච්ඡා කරපු මටත් සංක්‍රමණික ලාංකිකයක් ඇතුළෙ ජනප්‍රියකමක් ලැබුණා. අවසානයේ පැස්කුවල් මහත්තයෙගෙ නින්නාද ප්‍රසංගයේ නෘත්‍ය රචනය මට ලැබුණා.


ඔබ ලංකාවට එන්නෙ කොයි කාලෙද?


2004 දි වගේ මම ලංකාවට එනවා. ඒ එන්නෙත් මාසයක වගේ නිවාඩුවකට. ඒකට උනත් අම්මලාගෙ වැඩි කැමැත්තක් තිබුණෙ නෑ. මෙහෙට ආවට පස්සෙ ව්‍යාපාරික පුවත් කියන්න ඔඩිෂන් එකක් තිබ්බා. මම ඒකෙන් තේරිල ලංකාවෙ ව්‍යාපාරික පුවත් කියන්න පටන් ගත්තා.


මේ අතර ශ්‍රියානි අමරසේන මහත්මියගෙ රංගන විජිතය ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට අවස්ථාව ලැබෙනවා. ඊට පස්සෙ එතුමියත් සමග අපිම නිෂ්පාදනය කරපු ටෙලි නාට්‍යයක් කළා සඳලි සහරාදිකා කියලා. මේ දෙකෙන් පස්සෙ තමයි මට රංගනය සඳහා ආරාධනා එන්නෙ.


ඔබේ රංගන ජීවිතයේ එක් සංධිස්ථානයක් විදිහට අශෝක හඳගමගේ “නැගෙනහිර වෙරළෙන් ඇසෙන” ටෙලි නාට්‍ය හඳුන්වන්න පුළුවන්, ඒ ගැන කතා කළොත්….


ඇත්තටම මම ඒකට ඔඩිෂන් ගියාට මට චරිතය හම්බුණෙ නෑ. ඒ උණාට රූපගත කිරීම්වලට පිටත් වෙන්න කලින් දවසෙ මට කතා කරල කීව ඔයාව තෝර ගත්ත එන්න කියලා.


මේ නිර්මාණයේ මගේ චරිතය මුස්ලිම් ජාතික තරුණියක් උනාට මට දෙමළ භාෂාව ඉතාම හොඳට පුළුවන් උනේ නෑ. පොඞ්ඩක් ලියන්න කියන්න පුළුවන්කමක් තිබ්බා. කොහොමහරි රූගත කිරීම් පටන් ගත්තට පස්සෙ එතන අය කීවා “මෙයාගෙ තියෙන්නෙ වැල්ලවත්තෙ ටැමිල් ඇක්සන්ට් එකක්, මේකෙ තියෙන්නෙ ඕනෙ නැගෙනහිර ඇක්සන්ට් එකක්” කියල. මම ඔය දෙකේ වෙනසක් දන්නෙ නෑ, පස්සෙ රූපගත කිරීම් නවත්තල කීව අපි වෙන ඒව ගන්නව, ගිහිල්ල දෙමළ ඉගෙන ගෙන එනව කියල.


මම එවලෙ කොහෙන් දෙමළ ඉගෙන ගන්නද, මට කරගන්න දෙයක් නෑ ඇඬෙන්න එනව.


ඒ නාට්‍යයේ මගේ තාත්තට ඉන්නෙ රාජා ගනේෂන්, මම ඔහුට කීව “අනේ රාජ අංකල් මට මේක කොහොමහරි හදල දෙන්න” කියල. ඊට පස්සෙ ඔහුයි ඒ නාට්‍යයේ මගේ අම්මට රඟපාපු මුස්ලිම් ජාතික නිළියයි දෙන්න එකතු වෙලා මට බැණ බැණ කොහොම හරි ඉගැන්නුවා.


මගේ ජීවිතයේ මගේ අපූර්වම නිර්මාණ විදිහට මම හඳුන්වන්නෙ මේ ටෙලි නාට්‍ය සහ පුදියවන් ආරාසයියා කියන දෙමළ අධ්‍යක්ෂවරයා කරපු “මන්” චිත්‍රපටය.


හඳගමත් එක්ක වැඩ කිරීමේ අත්දැකීම කොහොමද?


හඳගමගෙ මේ නිර්මාණයට කලින් “හෙට එච්චර කළුවර නෑ” කියල නිර්මාණයකත් මම රඟපෑවා. ඒකෙ එක දවසින් එක කතාංගයක් රූපගත කරනවා. එයා පිටපත දීල බලාපොරොත්තු වෙනව නළුව ඒක හොඳටම ඉගෙන ගෙන ඒක අධ්‍යයනය කරල ඇවිල්ල තමන්ගේ චරිතය ඉතාම හොඳට කරනව කියන එක. එහෙම නොවුන අවස්ථාවල පතුරු යන්න බැනුම් අහපු ප්‍රවීණ නළු නිළියන් පවා හිටිය.


හඳගමට නිකන් මිඩංගු කරන්න කාලයක් නෑ. ඔහු වැඩ කරන්නෙ ඉතාම හොඳින් සැලසුම් කරපු ක්‍රියාවලික් ඇතුළෙ. ඒක නිසාම ඔහුගේ නිර්මාණවලට ඔහු තෝරා ගන්නේ ඉතාම දක්ෂයන්. කැමරාවට චන්න දේශප්‍රිය, මේකප්වලට බානු, මේ නිසා කාගෙවත් අතින් අඩුපාඩුවක් වෙන්න තියන ඉඩ ඉතාම අඩුයි. ඒව බලාන ඉන්න අපි උනත් නිරායාසයෙන්ම ඉතාම හොඳින් වැඩ කරන්න ගන්නවා. ඒක නිසාම මම හිතනව අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔහු දන්නව ඉතාම හොඳින් නළු නිළියන් තුළ තියන උපරිමය තමන්ගෙ නිර්මාණවලට ලබා ගන්නා ආකාරය.


“නැගෙනහිර වෙරළෙන් ඇසෙන” ටෙලි නාට්‍යයට සන්දර්භය වෙච්ච ජාතිවාදී-ජාතිකවාදී චින්තන සහ වර්තමාන සමාජය දිහා ඔබ දැන් නැවත හැරිල බැලුවොත් මොනවගේ හැඟීමක්ද ඔබට දැනෙන්නෙ?


ඒ කාලෙ මෙහෙම අය ඉන්නව ඇති. අපි දැකල නෑනෙ කියල හිතපු ඇතැම් පුද්ගල ප්‍රතිරූප, විශේෂයෙන් සිංහල අය. ඒ අය අපිම වෙලාද කියල හිතෙනව. අවුරුදු පහළොවකට පස්සෙ ඒ නිර්මාණය දිහා බලද්දි ඒ මම කියල හිතෙනව. මොකද එදා ඒ චරිත, ඒ සන්දර්භය ගැන තිබ්බ කියවා ගැනීමට වැඩිය බරපතළ කියවා ගැනීමක් දැන් තියනව කියල මම හිතනවා. එක පැත්තකින් එවැනි ජාතිවාදීන්, අන්තවාදීන් ඒ කාලෙ හිටියෙ එක්කෙනයි දෙන්නයි, දැන් ඒ පිරිස් කල්ලි පිටින් ඉන්නවා.

අවුරුදු පහළොවකට කලින් උණත් හඳගම සිංහල, දෙමළ, මුස්ලිම් අන්තවාදීන් දැක්ක විදිහ පුදුමසහගතයි.


මේ අතරතුර ඔබ රූපවාහිනියත් සමගත් වැඩ කළා නේද?


ඔව් මම මැක්ස් ටීවී ඒකේ නිවේදිකාවක් සහ නිෂ්පාදකවරියක් විදිහට වැඩ කළා. ස්වර්ණවාහිනියෙ, අයි.ටී.එන්. එකේ එකම කාලෙ වැඩ කළා. ඒ අතර චිත්‍රපටවලත් රඟපාන්න අවස්ථාව ලැබුණා. මුලින්ම රඟපෑවෙ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයගෙ අම්මාවරුනේ චිත්‍රපටයෙ. චිත්‍රපටි, ටෙලි නාට්‍ය, නිවේදන කටයුතු අතරෙ මම කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව මාස්ටර්ස් (ශ්‍රාස්ත්‍රවේදී?) එකක් කළා. ඒ අතරෙ සී.අයි.එම් (CIM – Chartered Institute of Marketing) කරල ලෝක මට්ටමේ ජයග්‍රහණ (world prize) දෙකක් හම්බ උණා. ඒකත් එක්ක ශිෂ්‍යත්වයක් හම්බ උණා. ඊට පස්සෙ නැවත නවසීලන්තයේ ගිහිල්ල මාකටින් ජොබ් එකක් කරන්න පටන් ගත්තා. නවසීලන්තයේදිම චායි ටීවී කියල ඉන්දියන් වැඩසටහනක් කළා. ඒ අතරෙ ආයුබෝවන් ටෙලි ලංකා කියල රූපවාහිනී වැඩසටහනක් පටන් ගත්තා, ඒකෙත් නිවේදන කටයුතු කළා.


නීතිය හදාරන්න ඕනෙ කියල හිතිල ලංකාවට ආවා. ඊට පස්සෙ නීති පාසලට යන ගමන් මගෙ Phd එකත් කළා. ඒ අතරෙ මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, CASL (Institute of Chartered Accountants of Sri Lanka) එකේ බාහිර කථිකාචාර්යවරියක් විදිහට වැඩ කළා. ඒ අතරෙ මොරටු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් විදිහට බැඳුණා.


ඒ අතරම ඔබ ලේඛිකාවක්. කොහොමද මේ ලිවීමේ කටයුතු පටන් ගන්නෙ.


මම කැලණියෙ මාස්ටර්ස් එක කරමින් ඉන්න අතරතුර මම පොතක් ලීව සඳ නොදුටු තාරකා කියලා. ඒක පොතක් විදිහට මුද්‍රණය කරන්න අදහසකින් ලීව එකක් නෙවේ. ඔය අතරෙ අපේ අම්ම පොත් ලියනව, එයා ලියපු පොතකුත් අරගෙන සරසවියට යන්න වුණා. පියසේන වික්‍රමගේ මහත්තයත් එක්ක කතා කරමින් ඉන්න අතරතුර මගෙ බෑග් එක අදිද්දි එයා මගේ පොත දැකල ඔය මොකක්ද කියල ඇහුවා. ඊට පස්සෙ එයා කීව ඕක තියල යන්න කියලා. මම මුලින් එකට කැමති උණෙත් නෑ. අන්තිමේ ඒ පොත එයා කියවල කැමති වෙලා දයා දිසානායකට දීලා. ඒ දෙන්නම කියවල සරසවියෙ චන්දු හපුතන්ත්‍රි මට කෝල් කරල කීව වහාම එන්න ඔයාගෙ පොත ගහන්න අපි කැමතියි කියලා. එතකොට බුක් ෆෙයා එක යන අතරමග. දැන් අම්මගෙ පොත් පැත්තක.


ඊට පස්සෙ කොහොමහරි මම ඉක්මනට පොත දොරට වැඩීමේ උත්සවයකුත් සංවිධානය කර ගත්තා. ඒකෙ කතා යන අතරතුර තමයි පොත් ටිකේ මුද්‍රණය ආවෙත්.


ඒ පොත හොඳට විකුණුනු නිසා මම තවත් පොතක් ලීවා හිරු නොදුටු දේදුනු කියලා. ඊට පස්සෙ සරසවියෙන් මට දුන්නා හන්ගර් ගේම්ස් පොත් තුන පරිවර්තනය කරන්න. ඊට පස්සෙ කළු සමනල්ලු, කේ බුක්ස් එකේ කාංචනාගෙ යෝජනාවකට මෙහෙරු නිසා පරිවර්තනය කරන්න දුන්නා.


ඔබේ චාරිකාව ඇතුළෙ ඔබ වඩාත් ප්‍රියකරන පෙනී සිටීම මොකක්ද?


මම කැමති උගන්වන එකට. මම හිතන්නෙ ඒක මගෙ ඇඟේ තියන එකක්. අපේ සීයල ආච්චිල, අම්මල තාත්තලාගෙ ඉඳල වෘත්තිය උනේ ඉගැන්වීම. ඒ නිසා මම ඉගැනීමට ආසයි කියල හිතෙනව.


ඔබේ ජීවිතයේ ඔබ ආසම කරන කාලය මොකක්ද?


මගේ දැන් ගෙවන ජීවිතයට ආසයි. පොඩි කාලෙ නවතින්න විදිහක් තිබ්බෙ නෑ. එකකින් තවත් එකකට, එතනින් තවත් තැනකට. අනිත් එක දැන් තියන ජීවිත අත්දැකීම් ඒ කාලෙ තිබුණෙ නෑ. ඒ කාලෙ මම මිනිසුන්ගෙ බොරු වලට අහු උනහම කඩා වැටෙනවා. හැබැයි දැන් දන්නව ඒ මිනිස්සුන්ගෙ හැටි කියලා. අනිත් එක මගේ ළමයි දෙන්න නිසා මගේ ජීවිතයේ මම අලුත් පරිචයක් ආරම්භ කළා. වයසත් එක්ක පරිණාමය වෙන එකට මම ආසයි. ■