සුමිත් චාමින්ද


පසුගිය සතියේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලාංකීය ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය හමුවේ ඇති සමකාලීන අභියෝග ගැන ඉතාම වැදගත් නිරීක්ෂණ කිහිපයක් සිදු කොට තිබිණ. විසිවෙනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් නොසඟවා හෙළි කරන අධිකාරීවාදයේ අනතුර එයට උචිත බරපතළකමකින් යුතුව භාර ගෙන සිටින මෙරට ජ්‍යෙෂ්ඨතම දේශපාලන විද්‍යාඥයා, අප රටේ අනාගත දේශපාලන හැඩගැස්ම ගැන ද පෙර දැක්මක් සපයයි. පවත්නා තත්ත්වය වටහා ගැනීමේදී අප බැලිය යුත්තේ දේවල්වල පවත්නා පිළිවෙළ දෙස පමණක් නොවේ; දේවල් චලනය වෙමින් තිබෙන්නේ කවර දිශානතියක් වෙතද යන ප්‍රශ්නයද එතරම්ම වැදගත්ය. සමකාලීන දේශපාලන චලනයන් තියුණු විශ්ලේෂණාත්මක ඇසකින් විමසා බලන මහාචාර්ය උයන්ගොඩ නිවැරදිව හඳුනා ගන්නා පරිදි ඉදිරි අනාගතයේ මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ මූලික බෙදීම වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය අතර බෙදීමයි. ඇඳෙමින් තිබෙන නව පසමිතුරුතා රේඛාව එයයි.


විසිවන සංශෝධනයේ දේශපාලන ආර්ථිකය


කෙසේ වුවත්, ඔහු ඒකාධිපතිවාදය යනුවෙන් හඳුනා ගන්නා ව්‍යාපෘතිය සක්‍රීය බහුතර ජනතා කැමැත්ත මත පදනම් වූවක් බව ද, නිශ්චිත දේශපාලන-ආර්ථික වැඩපිළිවෙළක් යෝජනා කරන්නක් බව ද අප මෙහිදී අමතක නොකළ යුතුය. මෑත දිනෙක පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වත්මන් පාලනාධිකාරයේ ප්‍රමුඛ පෙළේ ඓන්ද්‍රීය බුද්ධිමතෙකු ලෙස සැලකිය හැකි මහාචාර්ය රංජිත් බණ්ඩාර එම දේශපාලන-ආර්ථික දැක්ම කදිමට පැහැදිලි කොට තිබිණ. ලී කුවාන් යූ නිදහස් සිංගප්පූරුවේ ආර්ථිකය ගොඩ නැගූ ආකාරය තමන් ආදර්ශයට ගන්නා බව ඔහු පවසා තිබිණ. මෙය සැබවින්ම පසුගිය කාලපරිච්ජේදය තුළ වියත් මග ඇතුළු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වටා සංවිධානය වී සිටින බුද්ධිමය ශ්‍රේණිය විසින් නැවත නැවතත් පවසන්නට යෙදුණු කාරණයකි. ආර්ථික විද්‍යාඥයෙකු වන රංජිත් බණ්ඩාර ලී කුවාන් යූ ආදර්ශය යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි කාටත් වඩා හොඳින් පැහැදිලි කොට තිබිණ. ඇතැම් වාම-ලිබරල් බුද්ධිමතුන් නිතරම පාහේ පටලවා ගන්නා මේ කාරණය නිරවුල් කරගැනීම ප්‍රයෝජනවත්ය.


1960 දශකයේ මැදභාගයේ පටන් සිංගප්පූරුව ඇතුළු නැගෙනහිර ආසියාතික “කොටි ආර්ථිකයන්” තුළ ක්‍රියාත්මක වූ ආර්ථික සංවර්ධන මොඩලය නව-ලිබරල්වාදයෙන් වෙනස් ය. එම මොඩලය තුළ රාජ්‍යය ආර්ථික සංවර්ධනයේ ප්‍රමුඛ භූමිකාවක් භාර ගනී. රාජ්‍යය “සංවර්ධනාත්මක රාජ්‍යයක්” (developmental state) බවට පත්වේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය තුළ සිදුවූවාක් සේ රාජ්‍යයට සම්බන්ධ තාක්ෂණ-කළමනාකරණ නිලධාරී තන්ත්‍රයක් විසින් ආර්ථික ක්‍රියාවලිය හසුරුවනු ලබයි. එය “සැලසුම්ගත ධනවාදයක්” ලෙස ඇතැම්විට හඳුන්වනු ලබන්නේ එනිසාය. මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය ඇතුළු “පුංචි කොටින්” අනුගමනය කළ මාර්ගය ද අඩු වැඩි වශයෙන් මහා කොටින් ගත් මගට සමානය. ඒ සියලුදෙනාට පසුව ආසියාවේ මකරා, චීනය, අවදි වූයේද සාමාන්‍යයෙන් අධිකාරීමය ධනවාදය වශයෙන් හඳුන්වනු ලබන නැගෙනහිර ආසියාතික ධනවාදයේ මග අනුව යමිනි. වත්මන් යුගයේ නව-ලිබරල්වාදයේ අර්බුදයත් කොරෝනා වයිරස් වසංගතයත් පසුබිම් කොට ගෙන අධිකාරීමය ධනවාදය දෙසට හැරීමේ ප්‍රවණතාවක් දැන් ලෝකය පුරාම නිර්මාණය වී තිබේ.


මේ අනුව, වත්මන් ගෝඨාභය රාජපක්ෂ පාලනාධිකාරය සිංගප්පූරු මොඩලයක් ගැන කතා කිරීම සමකාලීන ගෝලීය දේශපාලන ආර්ථික යථාර්ථය තුළ අභව්‍ය කාරණයක් නොවේ. එය සැබැවින්ම අපේක්ෂා කළ යුතු තත්ත්වයකි. එසේම එය හුදෙක් දේශපාලන වාගාලාපයක් ද නොවේ. නිදසුනක් ලෙස, උපාධිධාරීන් හැට දහසකට එකවිටම රාජ්‍ය අංශයේ රැකියා ලබාදීම වැන්නක් 2015 “ජනවාරි විප්ලවයෙන්” බලයට පත්වූ නව-ලිබරල් යහපාලනවාදී ආණ්ඩුවෙන් කෙසේවත් අපේක්ෂා කළ හැක්කක් නොවීය. නමුත්, ලාංකීය අධිකාරීමය ධනවාදය තුළ ප්‍රයත්න දැරෙන්නේ උපාධිධාරී ශ්‍රම බලකාය සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශ වර්ධනය කිරීමේ සහ නියාමනය කිරීමේ පුහුණු බලකායක් බවට පරිවර්තනය කිරීමට ය. අලුත බඳවාගනු ලැබූ උපාධිධාරීන් හට පැවරෙන ප්‍රථම කාර්යයක් වන්නේ තම ප්‍රදේශවල එවන් ව්‍යවසායක අංශ හඳුනාගෙන ඒවා ගැන පර්යේෂණ නිබන්ධන සැපයීම ය. යම් යම් තෝරා ගත් අපනයන භාණ්ඩ සඳහා රාජ්‍ය දිරිගැන්වීම් කිරීම මෙන්ම ඇතැම්විට ආනයන සීමා කිරීම ද මේ නව ප්‍රතිපත්ති රාමුවේ අංග ය. නමුත්, මෙය කිසිසේත්ම 1960 දශකයේ ආනයන-ආදේශන උපාය මාර්ගය සමග අතිසරල ලෙස සමාන නොකළ යුතුය. එදා මෙවන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූයේ කේන්සියානු රාජ්‍ය සුභසාධනවාදී රාමුවක් තුළ නම්, අද ඒවා ක්‍රියාත්මක වන්නේ අධිකාරීමය ධනවාදී රාමුවක් තුළ ය.

හොඳයි. මේ සියල්ල විසිවන සංශෝධනය සමග සම්බන්ධ වන්නේ කෙසේද? මගේ උපන්‍යාසය මෙයයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් වූයේ ජේ.ආර්. ජයවර්ධනගේ ආර්ථික විවෘතකරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන රාමුව සැකසීම සඳහා වූයේ යම් සේද, එපරිදිම විසිවන සංශෝධනය ඉදිරිපත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලනාධිකාරය විසින් පෙරට ගෙන එනු ලබන ලාංකීය ස්වරූපයේ අධිකාරීමය ධනවාදය සඳහා අවශ්‍ය දේශපාලන රාමුව සැකසීම පිණිස ය. මහාචාර්ය රංජිත් බණ්ඩාර අපට නොපවසන දේ වන්නේ සිංගප්පූරු මොඩලය ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන සහ සමාජ නිදහස බරපතළ ලෙස සීමා කරන්නට සිදු වන බවයි. ආර්ථික සංවර්ධනය සඳහා දේශපාලන නිදහස කැප කළ යුතුය යන්න ලී කුවාන් යූගේ සහ මහතීර් මොහමඞ්ගේ “ආසියාතික වටිනාකම් සහිත ධනවාදයේ” ප්‍රධාන ඉගැන්වීමකි. (වයෝවෘද්ධ මහතීර් මොහමඞ් සරදම්ජනක ලෙස මැලේසියාවේ ප්‍රජාතාන්ත්‍රික අරගලයේ සංකේතාත්මක නායකයා බවට පත්වීම වෙනම කාරණයකි). විසිවන සංශෝධන යෝජනාවේ දේශපාලන ආර්ථිකය මෙයයි.


දේශපාලන අභියෝගය


ඉහත විශ්ලේෂණය ඇසුරින් මහාචාර්ය උයන්ගොඩ මතු කරන තවත් වැදගත් ගැටලුවක් වෙත අපට පිවිසිය හැකිය. එනම්, ඉදිරියේදී එන ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපාරයක් 2015 ජනවාරි පරිවර්තනය හසුවූ ආකාරයේ අවාසනාවන්ත ඉරණමකට හසු නොවන ලෙසකට ගොඩ නගන්නේ කෙසේද යන්නයි. මෙය ඉතාම තීරණාත්මක සහ කාලීන ගැටලුවකි. එසේම ඔහු මතු කරන ගැටලුව ප්‍රායෝගික තලයේදී විසඳීම අතිශය අසීරු කාර්යයක් ද වනු ඇතිය යන්න මගේ හැඟීමයි. ඒ මන්ද? වත්මන් පාලනාධිකාරයේ දේශපාලන-ආර්ථික වැඩපිළිවෙළට (1977 ජේ.ආර්. ජයවර්ධනගේ ආර්ථික විවෘතකරණ වැඩපිළිවෙළට වෙනස්ව) සක්‍රීය මහජන කැමැත්තක් ගොඩ නැගී තිබීම නිසාය; එම මහජන කැමැත්ත සංවිධානය කිරීම සඳහා සක්‍රීයව මැදිහත් වන ඓන්ද්‍රීය බුද්ධිමතුන් කණ්ඩායමක් ද එය සතුය. මෙහිදී මා යළිත් අවධාරණය කිරීමට කැමති කාරණයක් නම් රාජපක්ෂ ව්‍යාපෘතියේ පළමු අදියර සහ දෙවන අදියර අතර යම් යම් සමානකම් මෙන්ම කැපී පෙනෙන වෙනස්කම් ද පවතින බවය. මේ දෙකම හුදෙක් සිංහල බෞද්ධ ජාතිකවාදයේ නැගීමේ ප්‍රතිඵල ලෙස හැඳින්වීමට යාම අතිසරල ප්‍රවේශයක් බව මගේ අදහසයි. ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතියේ ජයග්‍රහණය සඳහා බලපෑ දේශපාලන-ආර්ථික සාධක පහසුවෙන් නොතකා හැරීමට පෙළඹීම ඉහත ප්‍රවේශයේ ප්‍රධාන අවාසියකි.


කෙසේ වුවත්, දැන් පවතින ගැටලුව වන්නේ සක්‍රීය මහජන කැමැත්ත මත පදනම් වූ අධිකාරීවාදයක් දේශපාලනිකව අභිමුඛ වන්නේ කෙසේද යන්නයි. විසිවන සංශෝධනයට අදාළ සංයුක්ත ගැටලුව වන්නේද එයයි. එයට පක්ෂ වන ජනයාගෙන් බහුතරයක් එසේ කරන්නේ ඔවුන් ඒකාධිපතිවාදය ප්‍රිය කරන නිසා යැයි කිව හැකිද? ඒ වෙනුවට, විසිවන සංශෝධනය යනු තම ආර්ථිකමය, සමාජමය අභිලාෂ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සහ නොවැළැක්විය හැකි නපුරක් යැයි කල්පනා කරන සැලකිය යුතු තරමේ පිරිසක් සිටිනවා විය නොහැකිද? අඩු තරමින් ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉතිහාසයක් සහිත ජන සමාජයක් තුළ එය අපේක්ෂා කළ යුතු තත්ත්වයක් බැව් මගේ හැඟීමයි.


ඒ අනුව, දැන් මෙරට වාම ජනතාවාදයක් ගැන උනන්දු වන කණ්ඩායම් හමුවේ ඇති අභියෝගය වන්නේ වත්මන් පාලනාධිකාරයේ අධිකාරීමය ධනවාදී ව්‍යාපෘතියට සක්‍රීයව හෝ අක්‍රීයව කැමැත්ත දුන් ජනයාගෙන් සැලකිය යුතු කොටසක් ද ඇතුළුව බහුතර ජනයා සාර්ථකව ආමන්ත්‍රණය කිරීමේ මගක් සොයා ගන්නේ කෙසේද යන්නයි. මා නොයෙක් වර පෙන්වා දී ඇති පරිදි පවත්නා පාලනාධිකාරයට වඩා ජාතිකවාදී වීම නොහොත් තරගකාරී ජාතිකවාදය එවන් මගක් විවර කර දෙන්නේ නැත. වත්මනෙහි ලොව පුරා රජ කරන අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදය කිසිදු තරගකාරී ජාතිකවාදයකට ඉඩක් ඉතිරි කරන්නේ නැත. ඉදින්, පළාත් සභා අහෝසි කරන්නට යෝජනා කිරීමෙන් හෝ වත්මන් ආණ්ඩුව ව්‍යාජ දේශප්‍රේමීන් යැයි චෝදනා කිරීමෙන් හෝ මේ ගැටලුව විසඳා ගැනීමට එතරම් පිළිසරණක් නොලැබෙනු ඇත. ඒ වෙනුවට, වාම ජනතාවාදයක සාර්ථකත්වයේ මාර්ගය වැටී ඇත්තේ පුද්ගල සහ සමාජ නිදහසත් ප්‍රජාතාන්ත්‍රික අයිතීනුත් වෙනුවෙන් සමාජමය තලයක කරන අරගලයක් තුළිනි.


ලාංකීය ලිබරල්වාදී කතිකාවේ ගැටලුව


එවන් අරගලයක් මගින් විසඳීමට ඇත්තේ ආසන්න දේශපාලන ගැටලුවක් පමණක් නොවේ. මෙරට පශ්චාත් යටත්-විජිත දේශපාලනයට අදාළ උභතෝකෝටිකයක් ද එමගින් විසඳිය යුතුව තිබේ. එනම්, බි්‍රතාන්‍ය යටත්විජිත පාලනය විසින් මෙරටට ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයත් ලිබරල් ආයතනත් හඳුන්වා දෙනු ලැබ තිබුණද, ස්වදේශික ජන සමාජයන් ප්‍රජාතාන්ත්‍රිකකරණයට සහ නිදහස්කරණයට ලක් කිරීම ආශ්‍රිතව නොවිසඳුණු ගැටලු ගණනාවක් තවමත් ඉතිරිව තිබීම යි. මෙම ගැටලුවට අදාළ ඓතිහාසික පසුබිමක් තිබේ.

කෙටියෙන් කිවහොත්, බි්‍රතාන්‍ය පාලනය මෙරටට හඳුන්වා දුන් ව්‍යවස්ථාමය සහ ආයතනික රාමුවෙන් පිළිබිඹු වූයේ එකල බි්‍රතාන්‍ය තුළත් යුරෝපය තුළත් සිදුවෙමින් පැවති ගැඹුරු සමාජමය සහ දේශපාලනික පරිවර්තනයකි. නිදසුනක් ලෙස, එක්සත් රාජධානියේ 1918 දී ජනතා නියෝජනය පිළිබඳ පනත සම්මත කොට කම්කරු ජනයාට ජන්ද බලය ලබා දෙන්නේත් 1928 දී එය සංශෝධනය කොට ස්ත්‍රීන්ට ජන්ද බලය ලබා දෙන්නේත් 19 වන සියවසේ අගභාගයේ පටන් එරට ක්‍රියාත්මක වූ බහුජන ව්‍යාපාරවල ප්‍රතිඵල ලෙසිනි. එරට සර්වජන ඡන්ද බලය තහවුරු වී යම්තම් වසර තුනක් ගතවූ තැන ඩොනමෝර් කොමිසම විසින් එය අපට ද ලබා දෙන ලදි. නමුත්, එසේ සිදුවූයේ සර්ව ජන ඡන්ද බලය දිනා ගැනීමේ පුළුල් බහුජන ව්‍යාපාරයක් ස්වදේශිකව ගොඩ නැංවී නොතිබුණු සංදර්භයක් තුළය.


ඉහත නිදසුනෙන් පැහැදිලි කෙරෙන පරිදි මෙරට පශ්චාත් යටත්විජිත රාජ්‍යය නූතන ප්‍රජාතාන්ත්‍රික ආකෘතියක් ගන්නේ ස්වදේශික සමාජය තුළම ඇති වූ පරිවර්තනයක ප්‍රතිඵලයක් ලෙසින් වනවාට වඩා යටත් විජිත කේන්ද්‍රය (එනම් එක්සත් රාජධානිය) තුළ ඇති වූ පරිවර්තනයක ප්‍රතිඵලයක් ලෙසිනි. දකුණු ආසියාවේ බිහිවූ විශිෂ්ටතම මාක්ස්වාදී න්‍යායවේදියෙකු වූ හම්සා අලවි පෙන්වා දෙන පරිදි මෙහිදී සිදුව ඇත්තේ “සිවිල් සමාජයට වඩා රාජ්‍යය අධි-සංවර්ධනයට ලක්වීමකි” (over-development of state than civil society). සරලව, නූතන ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ක්‍රමවේදවල අරමුණ මහජන ස්වාධිපත්‍ය ක්‍රියාවේ යෙදවීමය; ලිබරල් ආයතනවල අරමුණ පුද්ගල සහ සමාජ නිදහස තහවුරු කිරීමය. යුරෝපයේ ඒවා නිර්මාණය කරනු ලැබුවේ මහජන ස්වාධිපත්‍ය ගැනත් නිදහස ගැනත් උනන්දු වූ ජන සමාජයන් විසිනි. එවිට රාජ්‍යයට පෙර (හෝ ඒ සමගම) සමාජය ද ප්‍රජාතන්ත්‍රීයකරණය කරන්නට හැකිවිය. ප්‍රජාතන්ත්‍රීයකරණය පහළ සිට ඉහළට ගමන් කරන්නක් විය. නමුත්, අප රටේ ලිබරල්-ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය-ව්‍යුහයක් ඉහළින් හඳුන්වා දෙනු ලැබ තිබේ.

ප්‍රජාතන්ත්‍රීයකරණය ඉහළ සිට පහළට ගමන් කරන්නක් වී තිබේ. එබැවින්, ප්‍රජාතන්ත්‍රීය ව්‍යවස්ථාව සහ ලිබරල් ආයතන සක්‍රීයව දරා ගන්නා මහජන බලයක් ගොඩ නැගීමේ ඓතිහාසික අභියෝගයක් මෙරට නිදහස අගයන දේශපාලන කණ්ඩායම් හමුවේ පැන නගී.
මෙම අභියෝගය භාර ගැනීමට 1980 දශකයෙන් පසුව ගොඩ නැගුණු “NGO සිවිල් සමාජ” බුද්ධිමය ශ්‍රේණිය අසමත් වී ඇති බැව් දැන් ඉතාම පැහැදිලි ය. ඔවුන් මේ තාක් කල් දායකත්වය දක්වා තිබෙන්නේ හම්සා අලවි පෙන්වා දුන් අධි-සංවර්ධිත රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම වෙතය. ප්‍රජාතාන්ත්‍රික ව්‍යවස්ථාව සහ ලිබරල් ආයතන රැක ගැනීම වෙතය. නොඑසේව, එම ව්‍යවස්ථාව සහ ආයතන දරා ගන්නා සක්‍රීය ප්‍රජාවක් ගොඩ නැගීම සඳහා නොවේ. එබැවින්, එය සමාජය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමෙන් තොරව දේශපාලනය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමට දරන ලද අසාර්ථක වෑයමක් ලෙස හැඳින්විය හැකිය.


සරලව, 2015 ජනවාරියේදී මෙන් විහිළුවක් බවට පත් නොවන ප්‍රජාතාන්ත්‍රික වෙනසක් සඳහා අප ප්‍රථමයෙන් කළ යුතුව ඇත්තේ නිදහස අගයන ප්‍රජාවක් නිර්මාණය කිරීමේ ඓතිහාසික කාර්ය භාරය භාර ගන්නා වාම ජනතාවාදී ව්‍යාපාරයක් ගොඩ නැංවීමයි. එවන් නිදහස අගයන ප්‍රජාවක් නිදහස් ආයතන බිඳ දැමීමට කිසිවෙකුටත් ඉඩ නොදෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here