නිමල් අබේසිංහ

ඔබ කියවන්නෙක්ද?


ඔව්. පුළුවන් හැම වෙලාවකම වෙලාව හදාගෙන මම කියවීමට නැඹුරු වෙනවා.


කියවන පොත් පිළිබඳව විශේෂත්වයක් නැතිනම් තෝරා ගැනීමක් තිබෙනවද?


සාමාන්‍යයෙන් අතට අහුවෙච්ච ඕනේ එකක් කියවල බලනවා. හැබැයි කියවපු පොත් අතරින් මතක හිටින පොත් ප්‍රමාණය දිහා බලපුවම ඉතිහාස කතා, ප්‍රබන්ධ කෘති කියවීම කෙරෙහි මගේ පෙළඹවීම වැඩියි කියල හිතෙනවා.

ඔබ මෑතකදී කියවූ නවතම කෘති මොනවාද?


ගාර්ෂියා මාකේස්ගෙ ඉන් එවිල් අවර් කෘතියේ පරිවර්තනය විකල් හෝරාව. පරිවර්තකයා නිලූක කදුරුගමුව. මේක මම කියවන්නේ සුප්‍රසිද්ධ හඬපට සංසිද්ධියට කලින්. කතාවෙන් කියවෙන්නේ ලතින් ඇමරිකාවේ කුඩා නගරයක ඇතිවුණු සිද්ධියක් ගැනයි. එහි මාසයක් වගේ කාලයක් ඇතුළත ඇතිවූ සිදුවීම් දාමයක් පිළිබඳව කිසිවෙකුත් නොදන්නා කෙනෙක් නගරය පුරා කැලෑ පත්තර අලවනවා. ඒ නිසා නගරයේ ජන ජීවිතය මුළුමනින්ම අවුල් වෙනවා. ප්‍රභූ පවුල්වල සිට සියලුම පාර්ශ්වයන් මේකට අයත් වෙනවා. සියල්ල එක රෑකින් එළියට එනවා. එහි ප්‍රභූ සමාජයේ සිදුවූ කැළැඹීමත් හරියටම හඬ පට එළියට ඇවිත් සිදුවූ කැළැඹීම වගේමයි. ඊට කලින් කීර්ති වැලිසරගේ ගරුඬ මුහුර්තය, විමල් හපුගොඩගේ යකඩ සිල්පර, දර්ශන ශම්මි විජේතිලකගේ ‘අසනග වැහි’ කියෙව්වා. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘සෙංකොට්ටං’, සේපාලි මායාදුන්නගේ මහා සාමි, පද්මිණි සෙනෙවිරත්නගේ නගච්ඡති. මේක ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො ගැන වෙනම ඇසකින් බලා ලියූ කෘතියක්. මම මේ කෘතිය ගැන තවදුරටත් ගවේෂණය කරන කොට මට හම්බ වෙනවා ගණනාථ ඔබේසේකරගේ ‘ඩූම් කිං’ (නෙරපූ රජ) කියන කෘතියත් මේ ප්‍රබන්ධය ලිවීමේදී ඇසුරු කර තිබෙන බව. ඉතින් මම ඒ කෘතියක් කියෙව්වා. ඒ වගේම අන්තිම කෝරාල කෘතිය ඒකත් ඉතිහාසය හා බැඳුණු කෘතියක්. මේවා කියවද්දි අපට වැටහෙන්නේ අපි මෙතෙක් නොඇසූ කතා පුවත් මේවා ඔස්සේ අපට දැනගත හැකි බවයි.


ඔබ මේ පොත් සොයා ගත්තේ කොහෙන්ද?


බොහෝ විට පාර්ලිමේන්තු පුස්තකාලයෙන් තමයි. පරිවර්තන සාහිත්‍ය කෘති අතරින් මෑතකදී කියෙව්වෙ ඉසබෙල් අයියන්දේගේ මුහුද යට දිවයින කෘතිය. එහි පරිවර්තකයා නිලූක කදුරුගමුව. වැඩිම වාර ගණනක් කියවපු පරිවර්තන කෘතිය ‘මායා වාස.’


වැඩිම වාර ගණනක් කියවන්න හේතුව?


ඒ පොත තුන් වතාවක් කියෙව්වේ. ඒකෙ අයියන්දේගේ භාෂාව කතාව ගොඩ නගන ආකාරය විශිෂ්ටයි. ඒ වාගේම ලොකු ඉතිහාසයක් අපිට කියා දෙනවා. ආඥාදායක පාලනයක් මතුවුණහම ඒ අයගේ ඛේදවාචකය එය ගොඩ නගපු අය විතරක් නෙවෙයි ඒ අයගේ පරම්පරාවෙ අයටත් මුහුණ දෙන්න සිදුවෙනවා. මේ නිර්මාණයේ එන එස්තවාන් ටෲ වෙබා. ඔහු ප්‍රභූවරයෙක්. ඔහු ගොඩ නගන ආඥාදායකත්වය තුළ ඔහුගේ මිනිපිරිය පවා ගොදුරක් වෙනවා.


ප්‍රබන්ධ කෘතිවලට ඔබ ඇල්මක් දක්වන්නේ ඇයි?


ප්‍රබන්ධයක් යනු හුදු මනඃකල්පිතයක්ම නොවෙයි. නිර්මාපකයා අත්දුටු සිදුවීම් පදනම් කරගෙන කරන නිර්මාණයක්. කතුවරයාගේ පරිකල්පනයක්. සත්‍ය යථාර්ථවාදී සිදුවීම් එතුළත් තිබෙනවා. එය ඔහුට සිතෙන ආකාරය ප්‍රතිනිර්මාණය කරනවා. එනිසා ප්‍රබන්ධ මනෝරාජික සිතිවිලිය කියා බැහැර කරන්න බැහැ.


නාට්‍ය සහ චිත්‍රපට සම්බන්ධයෙන් ඔබේ උනන්දුවක් තිබෙනවද?


පොත් තරමට ඒවා පස්සේ එලවන්නේ නෑ. ඒත් අහුවුණොත් අතාරින්නෙත් නෑ. චාමික හත්ලාහ වත්තගේ ‘රජා මං වහලා’ නාට්‍ය ළඟදි බැලුවෙ. ගිය සතියෙ දාඩිය සිත්තම කෙටි නාට්‍ය උළෙලේ නාට්‍ය කීපයක් බලන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපට ගත්තොත් ‘අවර් බ්‍රැන්ඞ් ඉස් ක්‍රයිසිස්ට්’ කියන චිත්‍රපටිය බැලුවා. මේක බැලුවෙ ජනාධිපතිවරණයට පස්සේ. මෙය සමාජ මාධ්‍ය ජාලාව තුළ දැඩි විදියට කතාබහට ලක් වූවක්.


රටක ජනාධිපතිවරණයක ප්‍රතිඵල තීන්දු කරන්නෙ ඒ රටේ ජනතාව පමණක්ම නොවෙයි. ජනතාව ඡන්දය පාවිච්චි කළාට ඒ සඳහා වන ජනමතය සකස් කිරීමේදී කොතරම් උපක්‍රම පාවිච්චි කරනවද කියන එකයි මෙහි කතාන්දරය. බොලීවියාවෙ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය වෙනස් කිරීම සඳහා ජේන් බෝඞ්න් කියන දේශපාලන උපක්‍රම විශේෂඥවරියගේ මැදිහත්වීම ගැන තමයි මෙයින් කියවෙන්නෙ. ඒ රටේ ජනතාව හිතන මතන විදිය අනුව තමන්ට ලබාදෙන ජයග්‍රහණය ලබාගැනීමෙන් පසුවත් කොතරම් කූට උපක්‍රම පාවිච්චි කරනවාද යන්න මෙහි විවරණය වෙනවා. මෙහි ජයග්‍රාහකයා දිනුම ලබාගන්න අයි.එම්.එෆ්. එකට විරුද්ධව ප්‍රචාරය ගෙන ගියත් ජයග්‍රහණයෙන් පසුව අයි.එම්.එෆ්. එකත් එක්ක ගිවිසුමකට යනවා. විෂම භාග තමයි ළඟදි බැලුව සිංහල චිත්‍රපටය.


ඔබගේ කියවීම්වලින් ලබාගන්නා දැනුම ප්‍රායෝගික ජීවිතයට ඈඳා ගන්න අවස්ථා තිබෙනවාද?


අනිවාර්යයෙන්ම. ඒක අහවල් වෙලාවේ යැයි ඇඟිල්ල දික් කරල පෙන්නන්න බැහැ. කියවීම් නැරඹීම් සියල්ල ජීවිතයේ කොටසක් බවට පත්වෙනවා. ඒක හරියට රුධිරයට එකතු වෙනව වගේ. කියවීම සහ හැදෑරීම ජීවිතයෙන් වෙන් කරන්න බෑ. දේශපාලන ජීවිතයේදී මේක ප්‍රයෝජනයට ගන්නවා. විශ්වවිද්‍යාල ජීවිතයේ ඉඳලම කියවන නරඹන දෑ සාරාංශ ගත කරල ලියාගන්න සිරිතක් මට තිබෙනවා. ඒක මම ඉගෙන ගත්තෙ මාක්ස්ගෙ චරිතයෙන්.


ප්‍රබන්ධවලින් බැහැරව ශාස්ත්‍රීය කෘති කෙරෙහි ඔබේ නැඹුරුව මොනවගේද?


ආර්ථික විද්‍යාව, ජාත්‍යන්තර දේශපාලනය වගේ කාරණා දැනගැනීම සඳහා අන්තර්ජාලය භාවිත කරනවා. සමාජ විද්‍යාව වගේ පොත් පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ගන්නවා. කොහොමත් මම පාර්ලිමේන්තු පුස්තකාලයේ සැරිසරන්නෙක්.