නිමල් අබේසිංහ

කොරෝනා අස්සේ වැදගත් නඩු තීන්දු තුනක් ගැන දැනගන්නට ලැබුණද එය මහජන අවධානයෙන් වියැකී ගිය බවක් දකින්නට ඇත. මෙම නඩු තීන්දු තුනෙන් දෙකක් ශ‍්‍රී ලංකාවේ සිදුවූ ඒවා වන අතර, එකක් බි‍්‍රතාන්‍යයේදී සිදුවූවකි. කුමන අතින් බැලූව ද මේවා ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවට අතිශය වැදගත් වන ඒවා නමුදු මහජන අවධානයෙන් ගිලිහී වැඩි සම්ප‍්‍රදානයක් නැතිව වියැකී යෑම නම් අතිශය කනගාටුදායකය.

ශ‍්‍රී ලාංකේය නඩු තීන්දු දෙකම මූලික අයිතිවාසිකම් ක්ෂේත‍්‍රයට අදාළ ඒවා වන අතර, අතිශය වැදගත් වන්නේ භාෂණයේ නිදහස සම්බන්ධයෙන් වන ඒවා බැවිනි. ඉන් පළමුවැන්න ශක්තික සත්කුමාර නමැති ලේඛකයා සිය මුහුණු පොතෙහි පළ කළ කෙටි කතාවක් හේතු කොටගෙන පොල්ගහවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අයිසීසීපීආර් පනත යටතේ පැවරූ නඩුවය. ශක්තික සත්කුමාර ලේඛකයා පළ කළ කෙටිකතාව ඔස්සේ බෞද්ධාගමට අනර්ථයක් සිදුවී යැයි ද එමගින් බුද්ධාගමට අපහාසයක් සිදුව ඇතැයි ද යන චෝදනාව ලේඛකයාට එල්ල කරනු ලැබීය. මෙකී නඩුව හේතුවෙන් ලේඛකයාට මාස හතරක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නට සිදුවූවා සේ ම මාස 10ක පමණ කාලයක් රැකියාව අහිමිව කල්ගෙවන්නටද සිදුවිය. මේ අතුරු ආන්තරාවලට මුහුණදෙමින් සිටි ඔහු සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

අනෙක් නඩු කටයුත්තද භාෂණයේ නිදහස සම්බන්ධ වූවකි. නඩුවේ පෙත්සම්කරුවන් වන්නේ මාධ්‍යවේදීන් දෙදෙනකු වන උවිඳු කුරුකුලසූරිය හා ජේ.කේ.ඩබ්ලිව්. ජයසේකරය. මෙම නඩු තීන්දුව ද පෙර කී නඩුව තරමටම වැදගත් නඩු තීන්දුවකි. මේ පන්නයේ නඩු තීන්දුවක් මෙයට පෙර ද සිදුව තිබේ. ඒ ගුවන්විදුලි සංස්ථාවේ සිදුවූ විකාශයක් අතරමග නතර කිරීමට එරෙහිව ගුරු සංගම් නායකයකු වන විමල් ප‍්‍රනාන්දු විසින් පරවන ලද මූලික අයිතිවාසිකම් නඩුවය. කෙසේ වුවත් උවිඳු කුරුකුලසූරියගේ නඩුවද ඒ හා සමාන වූවකි. වර්ෂ 2008දී ඔහු සහභාගි වූ ජාතික රූපවාහිනියේ වැඩසටහනක් අතරමග නවතා දැමීම සම්බන්ධයෙන් මෙම මූලික අයිිතිවාසිකම් නඩුව පවරා තිබුණේය. මෙම නඩුව සම්බන්ධයෙන් වැදගත් කරුණු කීපයක් ඉස්මතු වේ. මෙහි වගඋත්තරකාර පාර්ශ්වය වන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු ද වන එවකට ජාතික රූපවාහිනියේ සභාපතිවරයා වූ ආරියරත්න ඇතුගලය. ඔහු ජනසන්නිවේදනය විෂය උගන්වන්නෙක්ද වන හෙයින්, නඩු තීන්දුවේ වැදගත්කම තවත් ප‍්‍රබල වේ. හේතුව නම් ජනසන්නිවේදනය විෂයය භාෂණයේ අයිතිය හා සහ සම්බන්ධ වන හෙයිනි. දෛවයේ සරදමට මෙන් ඔහුට සිය විෂය ඉගැන්වීමේදී මෙම නඩු තීන්දුව ගැන සිය ශිෂ්‍ය ප‍්‍රජාවට ඉගැන්වීම මගහැරිය නොහැකිවීමය. ඔහු මගහැරියද කිසියම් සිසුවෙකු ශිෂ්‍යාවක ප‍්‍රශ්න කළහොත් පිළිතුරු නොදී මගහැර යා නොහැකිවීමය.

අනෙක් කාරණාව වන්නේ දේශපාලන පත්වීම් ලැබ එයින් ම හිස උදුම්මවා ගෙන හිතුවක්කාරී ලෙස කටයුතු කරමින් මූලික අයිතිවාසිකම් කඩ කරමින් කටයුතු කරන දේශපාලන පත්වීම්ධාරීන්ට මෙයින් කියවා දෙන පාඩමය. රටේ ප‍්‍රජාවගේ අයිතීන්ට පයින් ගසමින් කිසිවෙකුට හිතුවක්කාරී අන්දමින් ක‍්‍රියා කළ නොහැකිය යන්න කොයි කවුරුත් සිහියට ගත යුතු කාරණාවක්ද මින් ගම්‍ය වේ.

මේ නඩුව අරභයා තවත් කතා කළ යුතු වැදගත් කරුණක් වේ. නඩුව පැවරීමෙන් අනතුරුව තීන්දුව දීමට වසර එකොළහක් පමණ කාලයක් ගතවීමය. එය සතුටට කාරණාවක් නොවේ. විශේෂයෙන්ම මූලික අයිතිවාසිකම් ක්ෂේත‍්‍රයේදී නඩුවක තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීමට මෙතරම් කලක් ගතවීම හොඳ තත්ත්වයක් නොවේ. මේ හේතුව නිසා එවැනි පන්නයේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම් දිගින් දිගටම සිදුවීමට ඉඩ විවර වීම එක් කාරණාවකි. තිබෙන තොරතුරු අනුවත් දැනටමත් මූලික අයිතිවාසිකම් නඩු පන්දහසක් පමණ තවමත් පසිඳලීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩ ගැසී තිබේ. එයද සතුටට හේතුවක් නොවන්නේය. අනෙක් නඩු තීන්දුව ශ‍්‍රී ලංකාවේ නොවුණද එය අපටද අතිශය වැදගත් වන්නකි. සිද්ධිය එංගලන්තයේය. උබර් සමාගමක රියදුරන් දෙදෙනකු විසින් සිය සමාගමට එරෙහිව පවරන ලද නඩුවකි. මෙම සමාගම සිය සේවකයන්ට සලකා ඇත්තේ ස්වයං රැුකියාවල යෙදෙන අය ලෙසිනි. 2016දී රියදුරන් දෙදෙනකු තමන් ස්වයං රැුකියාවල යෙදෙන්නන් නොව නිත්‍ය සේවකයන් බවත්, එනිසා නිත්‍ය සේවකයන්ට හිමි අයිිතිවාසිකම් තමන්ට අයත් බව ලන්ඩනයේ කම්කරු උසාවියේ නඩු පවරා තිබී ඇත. මෙහිදී ලන්ඩනයේ කම්කරු උසාවිය මේ රියදුරන්ට ස්ථිර සේවකයන්ට හිමි අයිතිවාසිකම් ලබාදිය යුතු බවට අදාළ සමාගමට නියෝග කරනු ලදුව එකී සමාගම විසින් එම තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ පවරන නඩුවේදී මෙම තීන්දුව දී තිබේ.

අප රටේ ද කම්කරු අයිතිවාසිකම් අහිමිව සේවය කරන පිරිස් සිටිති. මෑන් පවර් නමින් අටවාගෙන ඇති විවිධ සමාගම් රට පුරා රාජ්‍ය ආයතන ඇතුළුව තවත් වැඩබිම්වලට කම්කරුවන් හා වෙනත් සේවා සපයන්නන් සපයමින් සිටී. දෛනික වැටුප් මත සේවයේ යෙදෙන මේ පිරිස්වලට කිසිදු කම්කරු අයිතිවාසිකමක් හිමිවන්නේ නැත. මේ ක‍්‍රමය මත වසර ගණන් සේවයේ යෙදෙන පිරිස් ද සිටිති. මේ අයගේ අයිතිවාසිකම් ගැන සොයා බලන්නට හෝ වගකියන්නටද කෙනෙක් නැතිවීම කනගාටුදායකය.