නිමල් අබේසිංහ


නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති පොලිසිය සුපුරුදු ලෙසින්ම එයට පිටුපා ජාවාරම්කරුවකු ආරක්ෂා කරමින් මාධ්‍යවේදියකුත් වැලි ජාවාරමට එරෙහිවූ පිරිසකුත් අලුත් අවුරුද්දේ පළමුවෙනිදාම පොලිසියට කැඳවා තර්ජනයකුත් කර නිකම්ම ආපසු යවා තිබේ.


පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්ප පොලිසිය එසේ සිදු කර ඇත්තේ මාදම්ප පොතුවිල සිදුකරනු ලබන නීතිවිරෝධි වැලිජාවාරමකට එරෙහිව විරෝධයක් දියත් කළ පොතුවිල ගමේ පිරිසකට හා මෙම සිද්ධිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියාටය.


මාදම්ප පොලීසිය කටයුතු කර ඇත්තේ ඉකුත් ජනවාරි පළමුවෙනිදා මාධ්‍යවේදියාව කැඳවා කිසිදු ප්‍රකාශයක් නොගෙන ආපසු හරවා යැවීමෙන් ඔහුව අපහසුතාවයට පත්කිරීම මෙන්ම මාධ්‍යකරුවන් හා ජනමාධ්‍යද උපහාසයට ලක් කිරීමයි. මෙකී සිද්ධියට බඳුන් වනුයේ හලාවත මාධ්‍යවේදී ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්නය. පොලිසිය පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පෙ පොලිසියය.


ජවාරමේ සුලමුල


මෙම සිද්ධියට මුල්වෙන වැලි ජාවාරම පිළිබඳ තොරතුරු මුලින් හෙළිකිරීම සිද්ධියේ බරපතල භාවය සහ අසාධාරණත්වය කෙබඳුදැයි යන්න අනාවරණය කරගැනීම පහසුවේ.


හලාවත මාදම්ප ප්‍රදේශය සිලිකා නමින් හඳුන්වන ඛනිජ වැලි නිධි විශාල වශයෙන් පවතින ප්‍රදේශයකි. සරුසාර පොල්වගාවන් පවතින මෙකී ප්‍රදේශයේ මෙම සිලිකා වැලි කණිනුයේ එකී පොල්වතු ආශ්‍රිතවමය. මාදම්පේ පොතුවිල ද එවැනි සිලිකා වැලි කැනිම් සිදුවේ. මෙකී සිද්ධියද ඇරඹෙනුයේ මාදම්ප ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අංක 534/් පොතුවිල ග්‍රාමනිලධාරි කොට්ඨාසයේ පොතුවිල ගමෙන්ය.


එගම්වැසි කේ.කේ.ඩී.පී. කුමාරසිංහ පවසනුයේ පොතුවිල අක්කර 18 කොටස 1978 වසරේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් භූමිය ප්‍රදේශයේ ඉඩම් අහිමි පවුල් 18 කට අක්කරය බැගින් බෙදාදුන් බවය. ඒ සඳහා මැදිහත්ව ඇත්තේ එවකට හලාවත හිටපු මන්ත්‍රීවරයකු වන හරීන්ද්‍ර කොරයා මහතාය.


මෙම ඉඩම් ලාභින්ගෙන් දැනට පවුල් 3 ක් පසුකලෙක එම ඉඩම් විකුණා ඇති අතර ඒ ඉඩම් මිලදී ගන්නවුන් විසින් මෙකී වැලි ජාවාරම සිදුකරමින් සිටී.


පරිසර ඇමති නියෝග කැලේට


මාදම්ප පොතුවිල සිලිකා වැලි කණින ප්‍රදේශයේ අප කළ සංචාරයේදී දකින්නට තිබූ දසුන් එකිනෙක සඳහන් කරන විට එය කොතරම් සුක්ෂමව හා දරුණු ආකාරයෙන් සිදුකරන්නේද යන්න වඩාත් අවබෝධ කර ගත හැකි වනු ඇත. උක්ත භූමියේ තිබෙන පොල්ගස් කපාදමා මුඩුබිමක් බවට පත්කර තිබුණද ඒ ගැන සොයා බලන්නෙකු නොවීම කණගාටුදායකය. අප යන මග දිගට ගස්වල හා විදුලි කණුවල අලවා තිබූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නමින් අලවා තිබූ පොස්ටරය ගැන අපට ඇතිවුයේ සිනහවකි. එම පෝස්ටරයේ සඳහන්ව තිබුණේ වයඹ පළාතේ පොල්ගස් කැපීම තහනම් කර ඇති බවය. එකී පෝස්ටරයේ සඳහන් තහනම් නියෝගය සිලිකා වැලිජාවාරම්කරුවන් තුට්ටුවකටත් මායිම් නොකළ බව පොල්ගස් කපා දමා තිබූ අයුරින්ම පැහැදිලි වේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම ඉඩමට විදුලිය සපයා තිබූ අතර එකී අධිසැර විදුලි රැහැන් ඇතැම් තැන්වලදී බිම දිගේ රැගෙන ගොස් තිබූ අතර විදුලිකණු ද නොතිබු අතර පොල්ගස්වල රැහැන් රඳවා තිබූ ආකාරයද දර්ශනය විය. සාමාන්‍යයෙන් තාවකාලික විදුලි සැපයුමකදී වුව මෙවැනි ආකාරයෙන් විදුලිබල මණ්ඩලය කටයුතු නොකරන මුත් මෙම විදුලි සැපයුම කුමන තත්ත්වයක් යටතේ බිම දිගෙත් පොල්ගස්වලත් රඳවමින් සැපයුවේ කෙසේද යන්න ගැටළුවකි.


උක්ත ඉඩමේ බැකෝ යන්ත්‍රයක්ද තිබු අතර සිලිකා වැලි විශාල ප්‍රමාණයක් කපා ගොඩගසා තිබුණේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවෙන් ප්‍රදානය කළ මෙම ඉඩම් නිවෙස් හැදිම හැර වැලි පස් හෝ සිලිකා වැලි කැණිමේ ඉඩක් අදාළ ප්‍රදාන පත්‍රයෙන් අවසර දී නැතත් මෙම වැලි කැණීමේදී එම නීති කිසිසේත් අදාළ වී නැති බව පෙනේ.
ඒ අනුව එම ඔප්පුවල “එකී ඉඩම් කැබැල්ලට යාම හා ඒම සඳහා වූ මාර්ගවල අයිතියත් යන දේපළ පැවරුම්ලාභියාගේ වාසය පිණිස නිවසක් ඉදිකරගැනීම සඳහා යොදාගනු වස්” යනුවෙන් සඳහන්ය. එලෙසම එම ඔප්පු මෙලෙසද සඳහනක් ඇත. “ඉහති කී කොන්දේසි නම්, එකී දේපළ එකි ගැණුම්කරු/කාරිය විසින් ඉහතකී ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 24(2) වගන්තියට යටත්ව එනම් ඔප්පුවේ සඳහන් කාර්යයට හැර වෙනත් කාර්යයන් සඳහා පාවිච්චි කරන අවස්ථාවකදී මෙම ඔප්පුව අවලංගු කිරීමේ බලය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට ඇති බවත් එසේ අවලංගු කිරීමේදී මෙම පවරාදීම අවසන් වන අතර, මෙම ඉඩම නැවත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව සතුවෙන බවත් මෙම දේපළෙහි ඇති ඛනිජ වස්තුවල අයිතිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු බවත්ය.


මෙම කොන්දේසි ප්‍රකාරව ඉඩම් ලාභි කිසිවෙකුට හෝ වගාවන් නිවාස ඉදිකිරීම් හැර අන් කිසිදු සංවර්ධන කටයුත්තක් මෙකී ඉඩම්වල සිදුකළ නොහැකි බව පෙනේ.


තත්ත්වය කෙසේ වුවත් මෙම ඉඩමේ සිලිකා වැලි කැණීම සඳහා ජලසම්පත් මණ්ඩලය භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, බලපත්‍ර ලබාදී තිබේ. ඒ සඳහා ග්‍රාම නිලධාරිද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද අදාළ නිර්දේශයන් ලබාදී ඇතිවාට සැක නැත. එසේ නොවේනම් මෙම බලපත්‍ර ලබාදීමේ ඉඩක් ඇති නොවේ.
ඒ අනුව ජලසම්පත් මණ්ඩලයේ භූජල විiාඥ එච්. ඒ. ඩී. යූ. හෙට්ටිආරච්චි විසින් 2020.06.25 දාතමින් යුතුවද භූවිiා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාලගේ අත්සනින් යුතුව 2020.11.09 දාතමින් යුතුවද, මධ්‍යම පරිසර අධිකාරියේ පුත්තලම් දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩී. එම්. කේ. දිසානායකගේ අත්සනින් යුතුව 2020.07.02 දාතමින් යුතුව අදළා බලපත්‍ර නිකුත් කර තිබේ. අදාළ බලපත්‍රලාභියා නාත්තන්ඩිය, කච්චිරාව 290/ඊ හි පදිංචි ඒ. එම්. ආර්. ප්‍රනාන්දුය.


බලපත්‍ර කොන්දේසි කැඩීමට එරෙහිව ගම්මුන්ගේ විරෝධය


මෙකී බලපත්‍ර සහිතව ඉහත බලපත්‍රකරු සිලිකා වැලි කැණිම් සිදුකළද ඒ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් බවට ගම්මුන්ගෙන් චෝදනා එල්ලවන්නේ මේ අතරය. මේ පිළිබඳව පොතුවිල ග්‍රාමසංවර්ධන සමිතියේ ලේකම් ඩඞ්ලිව්. ඒ. ජානක සම්පත්ගේ අත්සනින් සහ ගම්වාසි පවුල් 288 ක ගේ අත්සනින් යුතුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අමතා සිය විරෝධය දක්වා ලිපියක් යවා තිබේ. ඒ 2020.11.30 දාතමින් යුතුවය. එම ලිපියේ පිටපත් මාදම්ප ප්‍රාදේශිය ලේකම්, භූ විiා හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් මාදම්ප පොලිස් ස්ථානාධිපති, පුත්තලම දිස්ත්‍රික් ලේකම්, හලාවත ප්‍රාදේශිය සභාවේ සභාපති, පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ, පරිසර අමාත්‍යවරයාගේ ලේකම්, සෞඛ්‍ය වෛi නිලධාරි මාදම්ප යන අයටද යවා ඇත.


මෙම ලිපියට අනුව මින්පෙර මෙම ප්‍රදේශයේ සිදුකර ඇති අයථා වැලි කැණීම් පිළිබඳව තොරතුරු ඇතුළත් කර ඇති අතර ප්‍රනාන්දු නමැත්තා විසින් පොල්ගස් කැපීම සිදුකර ඇති බවට කල්වෙලා ඇතිවම දැනුම් දී තිබේ.


මේ සම්බන්ධයෙන් දැනුම්දුන් කිසිදු නිලධාරියකු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන තිබූ පසුබිමෙක ප්‍රනාන්දු නමැත්තා සිලිකා වැලි කැණීම සිදුකර තිබේ. ඒ අනුව 2020.12.12 දින මාදම්ප පොලිස් ස්ථානයේ ගම්මුන් කිහිපදෙනෙකු විසින් බලපත්‍ර උල්ලංඝණය කරමින් සිලිකා වැලි කැණීමට එරෙහිව පැමිණිලි කර තිබේ. ඉන් අනතුරුව 2020.12.14 දින මාදම්ප ප්‍රාදේශය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධවක් දක්වා තිබේ. මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙනවා සේම වැලි ව්‍යාපාරකයාද සිය කටයුතු නිදැල්ලේ කරගෙන ගොස් ඇත. ඒ මඟින් ප්‍රදේශයේ ජනතාව තව තවත් අසීරුවට පත්වෙමින් සිටියහ. අවසන් සිද්ධිය ඇතිවන්නේ 2020 දෙසැම්බර්, 30 වන දාය. එදින ද ව්‍යාපාරිකයා සුදානම් වනුයේ සිලිකා වැලි කැපීමය.


මෙම ස්ථානයට ඒ වනවිට පොලිසියද ග්‍රාමනිලධාරිණියද එම ස්ථානයට පැමිණසිටි අතර ගම්මුද එම ස්ථානයට පැමිණියහ. මේ සිද්ධිය ආවරණය කිරීමට විiුත් මාධ්‍යවේදී ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්නද පැමිණේ. ඔහු සියළුම සිද්ධීන් රූපගත කරන අතර කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතිත්වයක් නොදක්වා සිය මාධ්‍ය කටයුතු සිදුකරයි. ඔහු රූපගත කර ඇති රූපරාමු දෙස බලද්දී එය ඕනෑම අයෙකුට මැනවින් පැහැදිළි වනු ඇත.


අයුතු ඇතුළුවීම කොහිද ?


මෙකී සිද්ධීන් වන විට වැලි ව්‍යාපාරිකයාද එම ස්ථානයේ සිටිමුත් ප්‍රසාද්ව හෝ ගම්මුන් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස කිසිදු විටෙක හෝ පොලිසියට හෝ ග්‍රාමනිලධාරිණියට දැනුම් දීමක් කර නැත. එසේ වුයේ නම් එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරින් පෙරළා පොලිස් ස්ථානයට පැමිණිවිට පොලිස් පොත්වල සටහන් තැබිය යුතුමය. එයට අමතරව සිය සාක්කු සටහන් පොත්වල සටහන් තැබිය යුතුය. ග්‍රාමනිලධාරිවරියද සිය රාජකාරි සටහන්වල ඒ ගැන සටහන් තැබිය යුතුය. එවැනි කිසිදු නිල රාජකාරි සටහන් නොතබන වාතාවරණයක් තුළ හදිසියේ එදිනම වැලි ව්‍යාපාරිකයා අයුතු ඇතුලුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණමාල් හා ගම්මුන් කීපදෙනෙකුට එරෙහිව අයුතු ඇතුලුවීම යටතේ චෝදනා නගමින් මාදම්පෙ පොලිසියේ පැමිණිල්ලක් කරන්නේය. මේ පැමිණිල්ලට පොලිසිය තකහනියේ ක්‍රියාත්මක වනවා පමණක් නොව 2021 වසර ඇරඹෙන ජනවාරි පළවෙනිදාම මේ පිරිසට පොලිසියට එන ලෙස දැනුම් දී ද තිබේ. ජනවාරි 01 දා ප්‍රසාද් ඇතුළු පිරිස පොලිසිය ට ගියද ඒ එක් අයෙකුගෙන් හෝ පොලිසිය එදින ප්‍රකාශ ලබාගෙන නැත. අවුරුද්දේ පළමු දිනයේ කවුරුත් පාහේ සිදුකරන සංස්කෘතිකමය සම්ප්‍රදායික ක්‍රියාකාරකම් පසෙකලා නීතියට ගරු කරමින් පොලිසියට ගිය මේ පිරිසට අත්විඳින්නට සිදුවුයේ අමිහිරි අත්දැකීමකි. එදින මාදම්පෙ පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය නින්දනීයය. නිකන්ම අතවනා පොලිසියට පැමිණි මේ පිරිස පිළිගන්නට පොලිසිය පොලුද රැගෙන සූදානම් වූ එදින සිදුවීම් කැමරා රූපගතකිරීම් ඔස්සේ බලාගත හැකිය. ඉන් සමහරක් මුහුණු පොත ඔස්සේ සහ සමාජ මාධ්‍ය ඔස්සේද ජන මාධ්‍ය ඔස්සේද ප්‍රසිද්ධ වී තිබේ. අවශ්‍ය අයෙකුට ඒවා නැරඹීමෙන් මාදම්පෙ පොලිසියේ කෙරුවාව බලාගන්නට හැකිය.


මාදම්පෙ සුදුවැල්ලේ ශ්‍රී සමයවර්ධනාරාමාධිපති මැදවච්චියේ සුමේධ හිමියන් ගැමියන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් දිගින් දිගටම පෙනීසිටි හිමිනමකි. ඒ හිමියන් පවසන්නේ මේ ප්‍රදේශයේ ජනතාව දිගින් දිගටම පීඩාවට පත්කරමින් වැලි ජාවාරම්කරුවන් කටයුතු කරන බවය. ජනතාවගේ පාර්ශවයෙන් බලන ඒ ගැන හිතන නිලධාරින් නැති බවය. මේ කැණීම් සඳහා බලපත්‍ර ලබාගත්තද ඒවායේ කොන්දේසි ආරක්ෂා කිරීමක් කිසිදා සිදු නොවන බවය.


පොලිසිය හොරු සමඟ හෙළුවෙන්


මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අබේනායකගෙන් මෙම ගැටළුව ගැන විමසූවිට පැවසුවේ ප්‍රදේශයේ ජනතාව දෙසැම්බර් 12 දින සිදුකරන ලද පැමිණිල්ලට අදාළව අධිකරණයේ නඩුවක් පවරා ඇති බවත් එහෙත් අධිකරණයේදී සිලිකා වැලි කැණීමේ කටයුතු නවතන ලෙස නියෝගයක් ලබාදී නැති බවය. මාධ්‍යවේදී ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න ඇතුළු ගම්මුන් අයුතු ඇතුළුවීමක් සිදුකළ බවට එම ස්ථානයට ගිය මාදම්පෙ පොලිස් නිලධාරින් හෝ ග්‍රාමනිලධාරිණිය විසින් ලිඛිත දැනුම් දීමක් කර ඇතිදැයි ඔහුගෙන් විමසූවිට ඔහු දුරකථනය විසන්ධි කළේය.
කෙසේ වුවත් අධිකරණය වැලි කැණීම තහනම් කරනුයේ පොලිසිය විසින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු මත බව නොවේද යන්නත්, මෙම ගැටුම දුරදිග යාහැකි බැවින් වැලිකැණීම තාවකාලිකව තහනම් කළයුතු බවට අධිකරණයට කරුණු ඉදිරිපත් නොකළේ ඇයිද යන්න ගැන ඔහුගෙන් විමසීමට අපේක්ෂා කළද එය ව්‍යවර්ථ විනි. කෙසේ වුවත් 2020.12.14 දින මාදම්ප ප්‍රාදේශීය ලේකම්වරයා මෙම කැණීම් තාවකාලිකව නැවැත්වීම ගැන පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව නම් පැහැදිලිය.


මාදම්ප ප්‍රාදේශිය ලේකම් ශානක ප්‍රේමසිරිගෙන් මේ ගැන විමසූවිට පැවසූවේ තමන් මෙම වැලි බලපත්‍රය ලබාදීම සඳහා කිසිදු නිර්දේශයක් ලබාදී නැති බවය. එහෙත් 2020.12.14 දින හිමිනමක හා එක්ව ගම්මුන් විසින් සිදුකළ විරෝධතාව නිසා එදිනම බලපත්‍ර නිකුත් කළ ආයතනවලට දන්වා යැව්වේ මෙම බලපත්‍ර තාවකාලිකව නවත්වා වහා ස්ථානීය පරික්ෂණයක් සිදුකළ යුතු බවටය. ප්‍රාදේශීය ලේකම්වරයා දෙසැම්බර් 14 වැනි දින යැවූ ලිපිවලට මාදම්පෙන් බැහැර රජයේ කාර්යාල කෙසේ වුවත් අවම වශයෙන් අතේ දුරින් පිහිටි මාදම්පෙ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාවත් කටයුතු කර නැති බව පෙනෙයි. ඉන් හැඟෙනුයේ වැලි ජාවාරම්කරුවන්ට කොතරම් හයියක් තිබේද යන්නය. අනෙක් අතින් අහිංසකයින් ඉදිරියේදි පුම්බන ගොරවන පොලිසිය බලවතුන් ඉදිරියේ දඟර වැටෙන අයුරුද මින් පෙනේ.


මෙම ඉඩම්වල සිලිකාවැලි කැපීම සඳහා අවසර ලබාදී තිබේදැයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් විමසනු ලදුව එහි නිලධාරියකු කියා සිටියේ අදාළ විස්තර ලබාගැනීමට නම් තොරතුරු පනත යටතේ ඉල්ලා සිටින ලෙසටය. මෙයින්ම හැඟී යන්නේ මේ යට බලගතු රහසක් තිබෙන බව නොවේද ? ඔව් හෝ නැත යනුවෙන් ඉතා සරල පිළිතුරක් ලබාදිය හැකිව තිබියදී එසේ නොකර වට පාරෙන් එන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිලධාරින්ගේ මේ සුදානම අපව නොමග යැවීමය. මෙයින් ඇඟවෙන සැබෑ කාරණාව කුමක්ද යන්න ජනතාවට රහසක් නොවන බව කිවයුතුම කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here