ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


මෙරට වැලි, පස්, බොරළු කර්මාන්තයට හෝ වෙනත් පාරිසරික පද්ධතියකට අදාල බලපත්‍ර ආදිය පිළිබද කථිකාවක දී නිතැතින්ම අවධානය යොමු වන්නේ ඒ හා බැදුණු දේශපාලන බලය මෙන්ම එම කර්මාන්ත හා බැදුණු මාෆියාවන් වෙත ය. බලය සමග මේ බලපත්‍ර හිමිකම් ද මාරුවෙන් මාරුවට විවිධ පාර්ශ්වයන් අතට පත්වන නමුත් මේවා දැන් ඉතා සාමාන්‍ය දේ බවට පත්ව තිබෙන්නේ ය. පරිසර පද්ධති රැක ගැනීමේ අරමුණ වෙනුවෙන් පිහිටුවා ඇති අමාත්‍යාංශ, ආයතනවල ද ඒ වෙනුවෙන් යැයි පත්කරන අමාත්‍යවරු ඇතුලු අනෙකුත් බොහෝ නිලබලධාරීන්ගේ ද සැබෑ අරමුණ කුමක් ද යන්න සම්පූර්ණයෙන්ම එළිපිටම අමතක කර හෝ නොතකා හැර ඇති බව ද රහසක් නොවන්නේ ය. ඔවුන් සැබෑ ලෙසම එම තනතුරුවල සිට කරන්නේ එම සම්පත ආරක්ෂා කිරීම නොව ඒවා මහා ඉල්ලම් ලෙස හිතුමතේ තම හිතවතුන්ට හෝ තමන්ට භුක්තිවිදීම වෙනුවෙන් විනාශයට පත් කිරීම බව පැහැදිලිය. පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් තිබෙන ආයතනවල සිටින බොහෝ නිලධාරීන් ද අති විශාල වැටුප් ලබමින් ඒවායේ කරමින් සිටින්නේ කුමක් ද යන්න පිළිබදව ද මහජනයාට ඇත්තේ විශාල ගැටලුවකි. ඔවුන්ගේ දැනුම කාලය හා ශ්‍රමය කැප කරන්නේ කුමක් සදහා ද යන්නත් ඔවුන් මෙම විනාශයන් හා ගැටලු වෙනුවෙන් පෙනී සිටින්නේ හෝ මැදිහත් වන්නේ නැති වීම ද ගැටලුවකි. එම ආයතන සම්බන්ධයෙන් මහජනයා තුළ තිබෙන පොදු ආකල්පය වන්නේ ද ඒවා පරිසරය ආරක්ෂා කිරීමට තිබෙන ආයතන නොව, අල්ලස් දූෂණ පිරුණු හා දේශපාලනඥයන්ගේ අල්ලේ නැටවෙන ආයතන ලෙස ය. පසුගිය වසර අවසානයේ නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වීමෙන් වූ බල මාරුව සමග ද මේ තත්ත්වය පැහැදිලිව දක්නට ලැබෙන්නේ ය.


මෙරට වැලි පරිභෝජනය


නිවාස සහ අනෙකුත් ඉදිකිරීම් සදහා අත්‍යාවශ්‍ය සාධකයක් වන වැලි පරිභෝජනය මෙරට තුළ පැහැදිලි ලෙස ඉහළ යන්නේ සුනාමි ව්‍යසනයෙන් පසු හා යුද සමය අවසන්වූ පසු ඉදිකිරීම්වල ඉහළ යෑම සමග ය. ඊට අවශ්‍ය වැලි නීත්‍යානුකූල හෝ එසේ නොවන ලෙස සැපයීම් ද ඒ හා සමගාමීව ඉහළ ගොස් තිබූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ දත්ත පෙන්වා දෙන්නේ ය. මෙම අවශ්‍යතා සැපිරීම සදහා ප්‍රධානතම වැලි ප්‍රභවය වූයේ ගංගා වැලි නිධි හෝ ගංගා අවසාධිත වැලි වුවත් එසේ ලබා ගත හැකි ප්‍රමාණය ද උපරිම මට්ටමකට යෑම නිසා ගොඩ ඉඩම් වලින් ලබා ගන්නා වැලි (Land based sand), පස් සෝදා සකස් කරගන්නා වැලි(Processed sand) මුහුදු වැලි(Sea sand) ද මේ වන විට කැණීම සිදුවන්නේ ය. ගොඩවැලි කැණීම නිසා ගංගා ආශ්‍රිතව සිදුවන වැලි කැණීම් වලට වඩා වැඩි පරිසර හානියක් සිදුවන්නේ ඉන් භූගත ජල නිධි වලට හා භූගත ජල වහනයට ද බාධා ඇතිවන බැවිනි.

නීති තිබිය දී ද නීති නොතැකීම


බලපත්‍ර සහිතව කණින වැලි වලින් රජයට රාජ්‍ය භාගය ලෙස ලැබෙන්නේ 4% කි. 2013 වසරට පෙර රාජ්‍ය භාගය වූයේ 2%ක් පමණි. ඒ අනුව 2013 වර්ෂයට පෙර වැලි කියුබ් එකකට රු.80ක් වූ රාජ්‍ය භාගයේ වටිනාකම දැන් රු.160කි. වැලි කියුබ් එකක වෙළද වටිනාකම වන්නේ රු. 4000 කි. මේ රාජ්‍ය භාගය ලබා ගැනීමේ ප්‍රායෝගික ක්‍රියාවලිය බැදී තිබුණේ ප්‍රවාහන බලපත්‍රය සමග ය. එවන් පසුබිමක් තුළ වුව ද වැලි ඇතුලු ඉදිකිරීම් සදහා යොදා ගැනෙන ඛනිජ වර්ග නීත්‍යානුකූල නොවන ආකාරයට ද විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය වූ බව නොරහසකි. ඉන් රජයට වාර්ෂිකව හිමිවිය යුතු රාජ්‍ය භාගයේ නිවැරදි වටිනාකම ද කිසි කලක හිමිව තිබුණේ නැත. භූ විද්‍යා විෂයට සම්බන්ධ නිලධාරීන්ගේ ගණනය කිරීම් වලට අනුව මෙරට වැලි පරිභෝජනයෙන් 50%ක පමණ දළ අගයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සිදුවන වැලි ය. මෙරට වාර්ෂිකව නිෂ්පාදනය කරන හා මෙරටට වාර්ෂිකව ආනයනය කරන සිමෙන්ති ප්‍රමාණයට සාපේක්ෂව අවශ්‍ය වන වැලි ප්‍රමාණය දළ වශයෙන් ගණනය කළ විට ලැබෙන අගය නීත්‍යානුකූල වැලි පරිමාවට වඩා ඉතා විශාල ය. ඒ අනුව නීත්‍යානුකූල නොවන වැලි පරිභෝජනයේ ප්‍රමාණය පිළිබද දළ අගයක් ලබාගත හැකි අතර එය මුළු වැලි පරිභෝජනයෙන් 50%ක් පමණ අගයක් වන්නේ ය. මේ සියලු කරුණු අපට පෙන්වා දෙන්නේ මෙම ස්වාභාවික සම්පත් හා පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් යැයි නිර්මාණය වී තිබෙන ක්‍රමවේද හා නීතිරීති කොතරම් රැවටිලි සහගත ද යන්න ය. කෙසේ වෙතත් මේවා සිදුවන්නේ එම කර්මාන්ත කරන පුද්ගලයන් පමණක් නොව එම නීතිරීති ආරක්ෂා කිරීමට බැඳී සිටින හා ඒවා වෙනුවෙන් පෙනී සිටිය යුතු බලධරයන් ද දැනුවත්ව ය.


නව ආණ්ඩුව නීති ලිහිල් කිරීම


එවන් තත්ත්වයක් තුළ වුව ද යම් ප්‍රමාණයකින් හෝ මේවා නියාමනයට ද, රාජ්‍ය භාගය ලබා ගැනීම වෙනුවෙන් ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය භාවිතා කළ ක්‍රමවේදය වූයේ ප්‍රවාහන බලපත්‍ර ය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආගමනය සමග වැලි, පස්, බොරළු ප්‍රවාහනයට එතෙක් අවශ්‍යව තිබූ ප්‍රවාහන බලපත්‍ර ද අහෝසි වූ අතර කැණීම් බලපත් ලබා ගැනීම සදහා එතෙක් තිබූ පරිසර නිර්දේශය ද අනවශ්‍ය බව තීරණය වූයේ ය. “අදින් පස්සේ වැලි ප්‍රවාහනය කරන්න අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලපත්‍ර අවශ්‍ය නැහැයි කියලා තීන්දු කළා. ඒ අනුව පස්, වැලි, ගල්වල මිල මීට පස්සේ අඩු වෙනවා. මීට පස්සේ ප්‍රවාහනය කරන්න බලපත්‍ර අවශ්‍ය වෙන්නේ නැහැ.” පරිසර, වනජීවී සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන 2019 දෙසැම්බර් 5 වන දින කැබිනට් රැස්වීමක පවසා තිබුණේ එලෙස ය.
වැලි පස් මිල පහළ බැසීම හෝ වැලි ජාවාරම් පහළ බැසීම වෙනුවෙන් ගත් තීරණයක් ලෙස හුවා දැක්වුවත් ඉන් සිදුවූයේ එවැන්නක් නොවන බව දැන් පැහැදිලි ය. ප්‍රවාහන බලපත්‍ර විකිණීම යනු මෙරට සිදුවන දැවැන්ත මාෆියාවක් වුවත් ඊට ද විසඳුම මෙය නොවන්නේ මින් සිදුවෙමින් තිබෙන පාරිසරික හානිය හා අනෙකුත් හානි ද අති විශාල බැවිනි. ප්‍රවාහන බලපත්‍ර මාෆියාවට විසදුම් සෙවිය යුතු වන්නේ මේවා නියාමනයට තිබෙන බලපත්‍ර අහෝසි කර දැමීමෙන් නොවන්නේ ය. මෙම තීරණ ගෙන තිබෙන්නේ ඊට විසදුම් සෙවීමට ද නොවන බව ද පැහැදිලි ය. 2009 අංක 66 දරණ පනතින් සංශෝධිත 1993 අංක 33 දරණ පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 28 වගන්තිය යටතේ ඛනිජ සදහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සිදුවිය යුතු වුවත් මෙලෙස ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම සිදුකරන්නේ පනතට ද පටහැනිව ය. කෙසේ වෙතත් 2020 මැයි 11 සිට ක්‍රියාත්මක වන පරිදි සරළ කරන ලද නව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරන බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල විසින් 2020.05.05 දිනැති නිවේදනයක් නිකුත් කර තිබුණි. ඊට අනුව කාර්යාංශය විසින් නව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරන අවස්ථාවේ දී එම ප්‍රවාහනයට යොදාගන්නා වාහනයේ අංකය බලපත්‍රයට ඇතුළත් නොකිරීම, ප්‍රවාහනය ආරම්භ කරන අවස්ථාවේ දී කැණීම් බලපත්‍රලාභියා හෝ අනුනියෝජිතයා විසින් එම අංක හා රියදුරාගේ නම හැදුනුම්පත් අංකය බලපත්‍රයේ සදහන් කිරීම, ප්‍රවාහන බලපත්‍රයේ පොලිස් බලප්‍රදේශ ගමනාන්ත ලෙස ඇතුලත් නොකර කැණීම් ස්ථානය පමණක් සදහන් කිරීම, එම බලපත්‍රනේ දවසේ ඕනෑම වෙලාවක ඛනිජ ප්‍රවාහනය කළ හැකි වීම ආදී සරළ කිරීම් ද සිදුකර ඇති බව එහි සදහන් කර තිබුණි. කෙසේ වෙතත් අවසානයේ ප්‍රවාහන බලපත් නිකුත් කිරීම වෙනුවට සිදුවූයේ එය තවදුරටත් කල් යෑම පමණි.


නීති නවන ඇමතිගේ වාචික නියෝග


නැවතත් 2020.06.08 දිනැති ලිපියක් මගින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල විසින් පොලිස්පතිවරයාට දන්වා තිබුණේ 2020.06.01 දින සිට ඉදිරියට තවදුරටත් නැවත දැනුම්දෙන තුරු ඛනිජ ප්‍රවාහනය සදහා අවශ්‍ය වන ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය තාවකාලිකව ඉවත් කර ඇති බව පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත වාචිකව දැනුම් දී ඇති බවත් එය ලිඛිතව තහවුරු කරන ලෙස පොලිස්පතිවරයා විසින් තමන්ට දැනුම් දුන් බැවින් ඒ හා බැඳෙන බව ය. ඒ අනුව ඔහු එම ලිපියේ සදහන් කරන්නේ 2020.06.01 දින සිට බලපැවැත්වෙන පරිදි ඉදිරියට නැවත දැනුම් දෙන තුරු ඛනිජ ප්‍රවාහනය සදහා අවශ්‍ය වන ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය තාවකාලිකව ඉවත් කිරීමට ක්‍රියා කරන ලෙස ගරු පරිසර සහ වනජීවී අමාත්‍යතුමා විසින් 2020.06.05 දින මා වෙත ද දුරකථන ඇමතුමක් මගින් උපදෙස් ලබා දී නියෝග කර ඇති බව මෙයින් කාරුණිකව දන්වා සිටිමි.’ යනුවෙනි. අමාත්‍යවරයාගේ එම නියෝගයට අනුව නැවත දැනුම්දෙන තුරු ඛනිජ ප්‍රවාහනය සදහා අවශ්‍ය වන ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර ඇති බැවින් ඊට අනුකූලව කටයුතු කරන ලෙස දන්වා සිටින බව ද එම ලිපියේ සදහන් ය.


මෙම තත්ත්වය සම්බන්ධයෙන් හා එයින් මේ වන විට ඇති වී තිබෙන ප්‍රතිඵල සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නම් සදහන් කිරීමට අකමැති වූ ඉහළ නිලධාරියෙකු රාවයට පැවසුවේ මෙවැන්න කි. “පනතට අනුව ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරන්න බැහැ. ඒ වගේම පස්, වැලි, බොරළු සදහා රාජ්‍ය භාගය අය කරන්නේ ප්‍රවාහන බලපත්‍ර වලින්. දැන් ප්‍රවාහන බලපත්‍ර ගන්න එන්නේ නැති ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ රජයට ලැබිය යුතු රුපියල් මිලියන 1000කට වඩා විශාල මුදලක් මේ වන විට අහිමි වී තිබෙනවා. ඊට අමතරව දැන් පස්, වැලි, බොරළු වලට කැණීම් බලපත්‍ර ගන්න එන්නෙත් නැහැ. මොකද දැන් බලපත්‍ර නැතිව ප්‍රවාහනය කරන්න පුළුවන්. මීට කලියෙන් ප්‍රවාහන බලපත්‍රයක් ගන්න නම් කැණීම් බලපත්‍රයක් තිබිය යුතු වුනා. ඒ නිසා පරණ කැණීම් බලපත්‍රත් අලුත් කිරීම් වුණා. දැන් ඒවා වෙන්නෙත් නැති වෙනවා. හිතුන හිතුන තැන්වල කපලා වැලි ගන්නවා. වලංගු කැණීම් බලපත්‍ර සංඛ්‍යාව ද 4000ක් පමණ වේ. මහවැලි ගගේ පහළ කි.මී 26 තුළ දැනට බලාත්මක වැලි බලපත්‍ර 1000ක් පමණ තියනවා. ඊට අමතරව තවත් 4500ක් පමණ බලපත්‍ර බලාපොරොතුවෙන් ඉන්නවා. මේ තත්ත්වය එක්ක තිබෙන බලපත්‍ර අලුත් කරන්නත් එන්නේ නැහැ. රජයට ලැබිය යුතු විශාල මුදලකුත් අහිමි වෙලා තියනවා. වෙනදා ලැබුණු රාජ්‍ය භාගය ප්‍රමාණයෙන් 10%ක් තරම්වත් දැන් රජයට ලැබෙන්නේ නැහැ.”
මේවායින් පෙනී යන්නේ ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය නතර කළ පසු ප්‍රවාහන බලපත්‍ර විකිණීම ආදී මාෆියා නතර වී වැලි අසීමිත ලෙස කැණීම ද නතර වනු ඇතැයි ඇතැම් අය බලාපොරොත්තු වුව ද එය එසේ සිදු වී නැති බව ය. මහවැලි ගඟේ අතු ශාකා වලින් පෝෂණය වූ වගා භූමි වෙත ජලය ගලා යෑම අඩුවීම නිසා එය යථා තත්ත්වයට පත් කිරීමට යැයි කියමින් දැන් මහවැලි ගඟේ ම වැලි හාරාගෙන ඒවායින් වැලි කොට්ට ගසා අමුණු සැකසීමේ ක්‍රියාවලියක් ද මේ වන විට සිදුවන්නේ ය. එහෙත් ප්‍රදේශවාසීන් පවසන්නේ ද එම කටයුත්තට මුවා වී සැබවින් ම සිදුවන්නේ මහා පරිමාණ වැලි කැණීම් ජාවාරමක් බවත් ඉන් සිදුවන පරිසර විනාශය ගැනත් ය. කෙසේ වෙතත් වගා ප්‍රදේශ වලට මහවැලි ගඟේ සිට අතු ශාකා හරහා ජලය ගලා නොයන්නේ ද මහවැලි ගඟේ පතුල වැලි කැණීම හේතුවෙන් ම විශාල ප්‍රමාණයක් හෑරී තිබී දැයි දන්නේ කවුරුන් ද. කළු ගං පතුල මුහුදු මට්ටමට වඩා පහළට හෑරීම නිසා එම ප්‍රදේශයේ ජනතාවට එහි ජල පරිභෝජනයට ද නොහැකි තත්ත්වයක් උද්ගත වූයේ ලුණු මිශ්‍ර මුහුදු ජලය කළු ගඟේ ජලයට මිශ්‍ර වූ නිසා ය. ඉවක් බවක් නැති වැලි කැණීමෙන් එවන් තත්ත්වයක් මහවැලි ගඟට ද උරුම වුවහොත් ඉන් රටට සිදුවන බලපෑම අති දැවැන්ත ය. මේවා සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන, එම විශයයන් සම්බන්ධ ප්‍රවීණයන් හා බලධරයන් නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉතා ඛේදජනක තත්ත්වය කි.


භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොලගේ පිළිතුරු


“රාජ්‍ය භාගය විතරක් නෙමෙයි දැන් ලයිසන් ගන්නේ නැති නිසා ලයිසන් ගාස්තු, කැණීම් ගාස්තු නැති වෙනවා. ඒ නිසා පාඩු සිදුවී තිබෙනවා. ප්‍රවාහන බලපත්‍රය අහිමි කිරීම තුළ රජයට 2020 මැයි මාසයේ අවසානය දක්වා කාලය තුළ රුපියල් මිලියන 1200ක පමණ අහිමිවෙලා තියනවා. මේ පිළිබඳ විධිමත් වැඩපිලිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසා අලුත් ක්‍රමවේදයක් හදුන්වා දෙන්න කියන දේ තමයි ජනාධිපතිතුමාගේ ඉල්ලීම වුණේ. මොකද බලපත්‍ර හොරට වුනත් මුද්‍රණය කිරීමේ හැකියාව තියනවා. ඒ නිසා මේවා විධිමත් ක්‍රමවේදයක් හදුන්වාදීමේ කටයුතු වෙනවා. ඒ පිළිබද අධ්‍යයනය කර හරි ක්‍රමවේදයක් සැප්තැම්බර් මාසයේ දී හදුන්වා දීම සිදුවේවි. ඒ වන තුරු මේ විදියට ක්‍රියාකාරකම් සිදුවෙනවා. එහි අවාසිය තියෙන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රවාහන බලපත්‍ර නැති නිසා අනවසර කැණීම් මහා පරිමාණයෙන් සිද්ධ වෙනවා.”


පරිසර, වනජීවී සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ පිළිතුරු


“තිබුණු බලපත්‍රය අංග සම්පූර්ණ නෑ. ඒ නිසා ඒ බලපත්‍රය ආපහු අපි හදනවා. හදලා ඉදිරිපත් කරනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මේ බලපත්‍රය ලබා දුන්නාම වෙන වෙන ගැටලු ඇති වෙන නිසා තමයි ඒක සකස් කරගන්න තුරු මේ විදියටම යන්න හැරියේ. මේ සතිය ඇතුළත ඒක හදලා ඉවර කරනවා. පැවති ක්‍රමයට නෙමෙයි ඊට වඩා පහසු විදියට මුදල් ගෙවන අයටයි ඔක්කෝටම පහසු විදියට තමයි හදන්නේ. ඔව්, දැන් රජයට පාඩුයි. ඒත් පාරිභෝගිකයාට වාසියක් තියනවා. වැලිවල මේ කාලය තුළ මිල අඩු වෙලා තියනවා. පරිසර හානියක් වෙනවා නම් වෙන්නේ කැණීම් බලපත්‍රයෙන්. කැණීම් බලපත්‍රය අනිවාර්යෙන්ම තියෙන්න ඕනෑ. නැත්නම් අල්ලනවා. ප්‍රවාහනය කරද්දී එහෙම සැකයක් තියනවා නම් අල්ලන්න පුළුවන්. ඒකට අවස්ථාව දීලා තියනවා.”


මේ වන විට ප්‍රවාහන බලපත්‍රය අවශ්‍ය නොවන බැවින් ඒවා සම්බන්ධයෙන් නියාමනයට ක්‍රමවේදයක් නොමැති වීම පිළිබද අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ සැකයක් තිබේ නම් පොලීසියට ඒවා ඇල්ලිය හැකි බව ය. ඒ සැකය මනින්නේ කුමන ක්‍රමවේදයට දැයි අපි නොදන්නෙමු.


ප්‍රවාහන බලපත්‍ර තිබූ විට ද විශාල ප්‍රමාණයකින් අනවසර වැලි කැණීම් හා ප්‍රවාහනය සිදුවූයේ ය. දැන් සිදුකර තිබෙන්නේ ඒ වූ වරද නීත්‍යානුකූල කිරීමක් වැන්නකි. සැබෑ ලෙස සිදුව තිබෙන්නේ අනවසර ප්‍රවාහනය ද නොඅල්ලන ලෙස පොලීසියට දැනුම් දී තිබීමය, කැණීම් සදහා ඉල්ලුම් කිරීමේ දී අවශ්‍යව තිබූ පරිසර නිර්දේශ ද අවශ්‍ය නොවන්නක් බවට පත් කිරීම ය. ඒ අනුව මීට පෙර ද සිදුවූ විනාශය දැන් එළිපිටම කිරීමට පාලකයන් විසින් අවසර දී තිබෙන්නේ ය.