නිමල් අබේසිංහ


ශ්‍රී ලංකාවේ විකිරණ ප්‍රභවයන්හි ආරක්ෂාව ගැන නැවත ලියන්නට සිදුව ඇත. එයට පෙර විශේෂ සඳහනක් කළ යුතුය. ඒ එවකට පරමාණු බලශක්ති අධිකාරිය විසින් හා පසුව පරමාණු බලශක්ති නියාමන සභාව විසින් ඇමරිකාවේ බලශක්ති දෙපාර්තමේන්තුව සමඟ ඇති කරගත් ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාවේ විකිරණ මධ්‍යස්ථානයක් වන ගැමා මධ්‍යස්ථානයට භෞතික ආරක්ෂණ පද්ධතියක් ( Physical Protection System) සවි කිරීම (මෙය පරිත්‍යාගයක් ලෙස ලැබුණකි) සම්බන්ධව විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් සිදු කරනු බවය. ඇත්තෙන්ම මෙය සිදුවන්නේ රාවය පුවත් පතේ පළවු ලිපි හේතුවෙන් නම් නොවේ. එය සිදුවන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආයතන හා විදේශීය රටවල් අතර ඇතිකරගත් ගිවිසුම් සම්බන්ධ සොයා බැලීමට ගන්නා ලද තීන්දුව හේතුවෙනි.
කුමන තත්ත්වයක් යටතේ වුවත් මෙය සිදුවීම අගේ කළ යුත්තේ ශ්‍රී ලංකාවේ විකිරණ ආරක්ෂාව සම්බන්ධයන් තවමත් වගකිවයුත්තන් නිසි අවධානයක් යොමු කර නැති වාතාවරණයක් තුළය.


රාවය පුවත්පත දිගින් දිගටම හෙළිකළ පරිදි ශ්‍රී ලංකාවේ විකිරණ ප්‍රභවයන් තවමත් පවතින්නේ හරිහැටි භෞතික ආරක්ෂාව සහිතව නොවේ. මේ ගැන රාවය පුවත්පතේ ප්‍රධාන ශිර්ෂය යටතේ තොරතුරු හෙළි කළේ 2019 ජුනි 02 ඉරිදිය. එකී ප්‍රවෘත්තිය පළවීමත් සමගම ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ටී. එම්. ආර්. තෙන්නකෝන් මණ්ඩලයේ සභාපති දීපාල් සුමන්ත්‍රී ගුණරත්න අමතා යවන ලද ලිපියේ සඳහන් තොරතුරු අතිශය වැදගත්ය. එම ලිපියට අනුව බියගම ගැමා මධ්‍යස්ථානයේ විකිරණ ප්‍රභවයන් ගැන සදහන මෙලෙසය.


“6 IAEA (ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සියේ) වර්ගීකරණයට අනුව මෙහි විකිරණ ප්‍රභවය අංක 1 (category) යටතේ වර්ගීකරණය කොට ඇත. ත්‍රස්ත කණ්ඩායමක් මඟින් එම ප්‍රභව කොටස් අත්පත් කරගෙන මහජනතාව වෙත විකිරණශීලී ද්‍රව්‍ය මුසු ප්‍රහාරයක් දියත් කිරීමේ හැකියාව සම්බන්ධ අවදානමක් පවතින අතර එසේ වුවහොත් එහි හානිය ඉතා ප්‍රබල වනු ඇත”.


විකිරණ ප්‍රභවයන් පිළිබඳ මැනවින් දන්නා අයෙකුට මේ ප්‍රකාශයම සලිත වීමට හේතුවක් වනු නොඅනුමානය. එය ඒ සා විසල් බරපතළ ව්‍යසනයක් විය හැකි බැවිනි.


මෙම ගැමා මධ්‍යස්ථානයේ භෞතික ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීමේදී ප්‍රධාන ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම ලෙස ක්‍රියාකරනුයේ BOI ආරක්ෂණ සේවාව, BOI ගිනි නිවන සේවාව, බියගම පොලිසිය සහ ගෝනහේන විශේෂ කාර්ය බලකා මූලස්ථානය බවද එකී ලිපියේ සඳහන්ය. එනමුත් ඇමරිකාව සමග සම්බන්ධ වු ගිවිසුම් ප්‍රකාරව මේ සඳහා තෝරාගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය වේ. එයට අනුව එහි නිලධාරින්ට පුහුණුව ලබාදී තිබේ. මෙහි පිහිටුවා ඇති හදිසි අනතුරු සංඥා උපකරණය සම්බන්ධ කර ඇත්තේ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට බව සඳහන් වුවත් එය සවිකළ දා සිටම එසේ සම්බන්ධ කර නොතිබු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ සඳහන්ය.
මේ වනවිට මෙම හදිසි අනතුරු සංඥා පද්ධතිය කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු කඳවුරට සම්බන්ධ කර තිබෙන බවට දැන් තොරතුරු තිබේ. මෙකී සංඥාව දැනුන වහා එම කඳවුර ප්‍රතිචාර දක්වන විට පෙරහැර ගොස් හමාර වනු ඇති බව ඕනෑම අයකුට වැටහෙනු ඇත. විශේෂයෙන්ම යුද්ධය මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ගැන මැනවින් දන්නා ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට වැටහෙනු ඇත.


මෙම ගැමා මධ්‍යස්ථානයේ භෞතික ආනාරක්ෂිතතාවය බැහැර කිරීම සඳහා ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් කණ්ඩායමක් පැය 24 පුරාම ගැමා මධ්‍යස්ථානයේ රැඳවීමට ආරක්ෂක ලේකම්වරයා වෙතින් ඉල්ලීමක් කර ඇති බවද එකී ලිපියේ සඳහන්ය. එකී ඉල්ලීම කර ඇත්තේ 2019 ජුනි මාසයේදී වුවත් මේ වන තුරු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ආරක්ෂාවක් තබා අවම වශයෙන් ආයුධ සන්නද්ධ ආරක්ෂක නිලධාරින්ගේ ආරක්ෂාවක්වත් ගැමා මධ්‍යස්ථානයට නැත. පරමාණු බලශක්ති මණ්ඩලයේ විකිරණ ප්‍රභව ගබඩාවටද නැත. ඒ වත්මනෙහි පවතින තත්ත්වයය.


තිබෙන කරුණු අනුව ඇමරිකානු ගිවිසුම අනුව භෞතික ආරක්ෂණ පද්ධති සැපයිය යුතු ස්ථාන ගැමා මධ්‍යස්ථානයද ඇතුලුව දහතුනකි. ගැමා මධ්‍යස්ථානයේ තත්ත්වය මෙබඳු නම් අනෙක් ඒවා ගැන කවර කතාද ? කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසිය යුතු ආයතනය පරමාණුක බලශක්ති මණ්ඩලය නොවේ. ගිවිසුම ප්‍රකාරව මෙම කාර්යයට සම්බන්ධ වී ඇත්තේ පරමාණුක බලශක්ති නියාමන සභාවය. එම ආයතනය මෙම කාර්යයේදී බැහැර කරලිය නොහැකිය. පරිත්‍යාග වශයෙන් ලැබුණේ මොනවාද ? වාහන කොපමණ ද ? ඒවා ඉන්වෙන්ටි්‍රගත කර තිබේද ? පරිත්‍යාගයන් අනුව ලැබුණු උපකරණ මොනවාද ? ඒවා පිටස්තර ආයතනවලට ලබා දී තිබේද ? එසේනම් ඒවා යොදාගන්නේ කුමන අවස්ථාවන්හි දී ද යනාදී අටෝරාශියක් ප්‍රශ්න පරමාණුක බලශක්ති නියාමන සභාවෙන් විමසා දැන ගත යුතුය.


ලියුම්කරු අදහස් කරන පරිද්දෙන් නම් මෙය විගණන විමර්ශනයකින් ඔබ්බට ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා සිදු කළ යුතු විමර්ශනයකි. එයට ප්‍රධාන හේතුව මෙම ප්‍රබල විකිරණ ප්‍රභවයන් වෙතින් කළහැකි බිහිසුණු විනාශයය. එකී ව්‍යසනයන් ක්ෂණික කෙටිකාලීන හා දිගුකාලීන ඒවා වීම එයට හේතුවය.


මේ හා සම්බන්ධයෙන් අවශ්‍යනම් පිටු ගණනාවක් වුවත් ලිවිය හැකිය. එහෙත් එය අනවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ විකිරණ ප්‍රභවයන්හි භෞතික ආරක්ෂණ ක්‍රියාවලිය තුළ තවමත් පවතින අනාරක්ෂිතභාවය වටහා ගැනීම සහ ඒ ගැන නොසැලකිල්ලෙක් දක්වන්නවුන්ට අවශ්‍ය නීතිමය පියවර ගනිමින් අවශ්‍ය ආරක්ෂාව සලසා ලීමේ වැදගත්කම වටහා ගැන්ම බැවිනි.