නාලක ගුණවර්ධන

ජනමාධ්‍ය නියාමනය (mass media regulation) ගැන මීට පෙර (2021 මාර්තු 5 සහ මාර්තු 19 දිනවල පළ වූ) ලිපිවලින් අප උත්සාහ කළේ ඒ පිළිබඳව සංකල්පීයව නිරවුල් බවක් ලබා ගන්නයි.

1973 පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට සහ එය ආවරණය කරන මාධ්‍ය පරාසය පුළුල් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රවේශ වී සිටීම නිසා මෙම සාකච්ඡාව බෙහෙවින්ම කාලීන එකක්.

ජනමාධ්‍ය නියාමනය හරිහැටි ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් රැසක අත්දැකීම වන්නේ නිසි නියාමනය විසින් ජනමාධ්‍යයේ සමාජ වගකීම් සහතික කරන අතර මාධ්‍ය වෘත්තිකයන්ගේ අයිතීන් ද තහවුරු කරන බවයි. නිසි නියාමනය යනු ජනමාධ්‍ය වාරණය නොවෙයි.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ වෙනත් ජනසන්නිවේදන ක්‍රියාදාමයන් යම් නියාමනයකට නතු වීම අත්‍යවශ්‍යයි. නියාමනයක් නැති තැන ජනමාධ්‍ය සහ සෙසු සන්නිවේදන සේවාවන් විවිධාකාරයෙන් අවභාවිත වන නිසා.

මුද්‍රිත ජනමාධ්‍ය නියාමනය සඳහා ආයතනික ප්‍රවේශයන් දෙකක් මෙරට පවතින බව අප සඳහන් කළා.

නීතිමය/රාජ්‍ය නියාමනය (statutory/state regulation) සිදු වන්නේ 1973 පිහිට වූ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය (Sri Lanka Press Council, https://slpc.lk) හරහායි. ස්වයං නියාමනය (self-regulation) නියෝජනය කරන්නේ ජනමාධ්‍ය කර්මාන්තයේ සමාගම් සහ වෘත්තිකයන් විසින් පොදු එකඟත්වය 2003 පිහිටුවා ගත් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමයි (Press Complaints Commission, www.pccsl.lk).

මේ යාන්ත්‍රණ දෙකම දිගු කලක් තිස්සේ ක්‍රියාත්මක වී ඇතත් ඒවායේ බලපෑම සීමිතයි. මෙරට සමහර පුවත්පත් එළිපිටම ජනමාධ්‍ය ආචාරධර්ම කෙලෙසන සැටි නිතරම දැකිය හැකියි. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නියාමනය සඳහා 21 වන සියවසට ගැලපෙන නීතිමය රාමුවක් සහ ආයතනික ව්‍යුහයක් අවශ්‍යයි.

මේ අතර රේඩියෝ සහ ටෙලිවිෂන් නියාමනය සඳහා නාමිකව හෝ නියාමන ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ නොමැති වීම නිසා විද්‍යුත් ජනමාධ්‍යවල වගවීම පිළිබඳ දැවැන්ත හිඩැසක් පවතිනවා. 

ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු දැනගැනීම සඳහා පුවත්පත්වලට වඩා බෙහෙවින් ලක් ජනයා පරිශීලනය කරන්නේ ටෙලිවිෂන් සහ රේඩියෝ නිසා ඒවායේ නිසි නියාමනය ඉතා වැදගත්.

විද්‍යුත් මාධ්‍යයේ සෑම ක්ෂේත්‍රයක ම ආවේණික වූ තාක්ෂණික සහ නීතිමය සාධක නිසා දැනට පවතින පුවත්පත් මණ්ඩලයේ ආවරණ පරාසය පුළුල් කිරීමෙන් මේ සංකීර්ණතාවලට නිසි ප්‍රතිචාර දැක්විය නොහැකියි. බොහෝ රටවල රේඩියෝ සහ ටෙලිවිෂන් සඳහා වෙනම නියාමන ආයතනයක් හමු වෙනවා.

මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය අතර ප්‍රධාන වෙනසක් තිබෙනවා. ප්‍රාග්ධනය තිබෙන හෝ ආයෝජකයන් සොයා ගත හැකි ඕනෑම අයකුට කාර්ය මණ්ඩලය, කඩදාසි සහ මුද්‍රණ යන්ත්‍ර පෙළ ගස්වා ගෙන පුවත්පතක් ඇරැඹිය හැකියි. ලිහිල් මට්ටමේ ලියාපදිංචි කිරීමක් හැරෙන්නට එයට රාජ්‍ය අවසරයක් හෝ බලපත්‍රයක් අවශ්‍ය නැහැ.  

එහෙත් කිසිවකුට හිතුමතයට රේඩියෝ හෝ ටෙලිවිෂන් සේවාවක් පටන් ගත නොහැකියි. ඒ සඳහා රජයෙන් විකාශ බලපත්‍රයක් (broadcast license) ලබා ගෙන ඉන් පසු තාක්ෂණික මට්ටමෙන් සම්ප්‍රේෂණ සිදු කිරීම සඳහා සංඛ්‍යාත පරාසයක් භාවිතයට ද අනුමැතිය ලද යුතුයි (frequency allocation). එසේ නොමැතිව රේඩියෝ හෝ ටෙලිවිෂන් විකාශයන් කිරීම නීති විරෝධීයි.

විද්‍යුත් සංඛ්‍යාත යනු ස්වාභාවික සම්පතක්. එය රටේ මහජනයාට අයත්, නිශ්චිත සීමාවන් ඇති පොදු දේපළක්.

විද්‍යුත් සංඛ්‍යාත හමු වන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය (Electro-magnetic Spectrum) නමැති භෞතික විද්‍යා ප්‍රපංචයයේ. වර්ණාවලියේ එක් එක් තැන්වල විවිධාකාර තරංග හමු වනවා. සංඛ්‍යාතය අඩු රේඩියෝ තරංගවල සිට සංඛ්‍යාතය වැඩි ගැමා කිරණ දක්වා වර්ණාවලිය විහිදෙනවා. මේ අතර මයික්‍රෝ තරංග, අධෝරක්ත ආලෝකය, පරාජම්බුල ආලෝකය, X-කිරණ ආදිය ද වනවා.

මේ සියල්ල අවකාශය හරහා ගමන් කිරීමට සමත්. අපට ප‍්‍රකෘති ඇසට පෙනෙන්නේ වර්ණාවලියෙන් සාපේක්ෂව කුඩා කොටසක් වන සූර්යාලෝකය පමණයි. (එහිද වර්ණ හතක් එකට මිශ‍්‍රව තිබෙනවා. දේදුන්නක් බිහි වන විට තාවකාලිකව වෙන් වී පෙනෙන්නේ මේ වර්ණ හතයි.)

විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඇතැම් තරංග යොදා ගනිමින් සංඥා යැවීම හරහා දුරස්ත සන්නිවේදනය කළ හැකි බව 19 වන සියවසේදී භෞතික විද්‍යා පර්යේෂණවලින් සොයා ගනු ලැබුවා. ඒ මත පදනම් වී 20 වන සියවසේ මුලදී රේඩියෝ විකාශයන් ඇරඹුණා.

ඊට ටික කලකට පසු යම් තරංග හරහා ශබ්දය හා රූප දෙකම යැවීමේ ටෙලිවිෂන් තාක්ෂණය භාවිතයට ආවා. රැහැන් රහිතව දුරකතන සංඥා යැවීමට වර්ණාවලියේ තරංග යොදා ගැනීම ගැන 1950 ගණන්වල සිට කළ අත්හදා බැලීම් නිසා 1980 දශකය වන විට ජංගම දුරකතන සේවාද බිහි වුණා.

ජංගම දුරකතන (කථාබහ හා දත්ත) සන්නිවේදනය, විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනය, ආපදා සන්නිවේදනය, ගුවන්යානා සහ නැව් සමග සන්නිවේදනය මෙන්ම හමුදාමය සන්නිවේදන සඳහාත් වර්ණාවලියේ විවිධ තරංග කොටස් බෙදා වෙන් කොට තිබෙනවා.

මේ සඳහා ලොව සියලු රටවල් එක්ව ජාත්‍යන්තර සම්මුති පිහිටුවා ගෙන තිබෙනවා. රටවල් ඇතුලත සහ ජාත්‍යන්තර මට්ටමින් එකම තාක්ෂණික ප්‍රමිතීන් යොදා ගනිමින් වර්ණාවලිය භාවිත නොකළොත් එය කාටවත් වැඩක් ගත නොහැකි පරිදි ව්‍යාකූල වූ ගාලගෝට්ටියක් වනවා.

වර්ණාවලිය මනා ලෙස කළමනාකරණය කිරීම පිළිබඳව ලෝක විදුලි සංදේශ සංගමය (ITU) නමැති අන්තර්-රාජ්‍ය සංවිධානය මුල් වී ජාත්‍යන්තර සම්මුතීන්වලට එකඟ වී තිබෙනවා.

දිගු කලෙක (1897) පටන් ITU සංවිධානයේ සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා රාජ්‍යය, වර්ණාවලිය සම්බන්ධ ලෝක සම්මුතීන් දේශීය මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමේ හා නිසි ලෙස නියාමනය කිරීමේ වර්තමාන වගකීම නීතියෙන් පවරා තිබෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමටයි (TRCSL). 

මෙරට රේඩියෝ විකාශ (Radio Ceylon) ආරම්භ කළේ බ්‍රිතාන්‍ය පරිපාලකයන් විසින් 1925 වසරේදී. 1925 සිට 1992 දක්වා විද්‍යුත් මාධ්‍ය පැවතියේ මුළුමනින්ම රාජ්‍ය ඒකාධිකාරයක් ලෙසයි.

එම වකවානුවේ දේශීය විද්‍යුත් මාධ්‍ය ලෙස ක්‍රියාත්මක වුණේ ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, සහ ITN ශ්‍රී ලංකා සමාගම පමණයි. (ITN සමාගම 1979දී ඇරඹුණේ පෞද්ගලික හිමිකාරීත්වයෙන් වුවද, සති කිහිපයක් තුළ එය රජයට පවරා ගෙන අද දක්වාත් මුළුමනින් රජයට අයත් සමාගමක් ලෙස පවත්වා ගෙන යනවා).

පෞද්ගලික අංශයේ තෝරා ගත් සමාගම්වලට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට 1992 පටන් සීමිත ඉඩක් ලැබුණා. මුලින් පෞද්ගලික රේඩියෝ නාලිකා ඇරැඹීමටත්, පසුව පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා පවත්වා ගෙන යාමටත් විකාශ බලපත්‍ර (broadcast licenses) කිහිපයක් නිකුත් කරනු ලැබුවා.

ඇත්තටම සිදු වුණේ දකුණේ 1987-89 සන්නද්ධ අරගලය මැඩ පැවැත්වීමෙන් පසු ප්‍රතිසංස්කරණ ගණනාවකට ප්‍රවේශ වූ ආර්. ප්‍රේමදාස රජය, නිසි මාධ්‍ය ප්‍රතිපත්තියකින් තොරව කඩිමුඩියේ තෝරා ගත් පෞද්ගලික සමාගම් කීපයකට විද්‍යුත් මාධ්‍ය සේවා ඇරඹීමට අවසර දීමයි.

මෙයට පසුබිම් වූ සාධක 1990 දශකයේ මෙරට විද්‍යුත් මාධ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනය කළ කොළඹ සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, වසර 2000දී ඔහු නිම කළ ශාස්ත‍්‍රපති උපාධි නිබන්ධයේ ලේඛනගත කොට තිබෙනවා.

මෙම අවසර දීම ක්‍රියාත්මක කෙරුණේ ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශය හරහායි. එහෙත් එය විධිමත්ව කිරීමට කිසිදු නව නීතියක් සම්මත කෙරුණේ නැහැ. ඒ වෙනුවට රාජ්‍ය මාධ්‍ය සඳහා එතෙක් පැවැති නීති පනත්වල යම් වගන්ති යොදා ගැනුණා.

1966 අංක 38 දරණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනත පනතේ 44 වගන්තිය යටතේ පෞද්ගලික රේඩියෝ සඳහාත්, 1982 අංක 6 දරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ 17, 28 සහ 30 වගන්ති යටතේ පෞද්ගලික ටෙලිවිෂන් සඳහාත් ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශය විසින් විකාශ බලපත්‍ර නිකුත් කිරීම සිදු වුණා.

මේ බලපත‍්‍ර දීමට කිසිදු ආකාරයක ප්‍රසිද්ධ හෝ විවෘත ඉල්ලුම්පත් කැඳවීමක් සිදු වූයේ නැහැ. කිසිදු මුදලක් රජය විසින් අය කෙරුණේද නැහැ. සමහර බලපත්‍රවල වලංගු කාල සීමාවක් ද සඳහන් නැහැ.

ආරම්භක බලපත‍්‍රලාභීන්ට එතරම් කොන්දේසි නොතිබුන අතර, එක් පොදු සහ ප්‍රධාන කොන්දේසියක් වූයේ ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය නොකිරීමයි. (1994 අගෝස්තුවේ බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය එම සීමාව ද ඉවත් කළා.)

පවතින නීති යටතේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඇරඹුණේ තාවකාලික ක්‍රමවේදයක් ලෙස වුවද, දශක තුනකට ආසන්න කාලයක් රජයන් කිහිපයක් යටතේ එය දිගටම පවත්වා ගොස් තිබෙනවා.

1992 මේ වන තුරු සිදු වී ඇත්තේ ඇත්තේ බලයේ සිටින දේශපාලන පක්ෂවලට හිතවත් ව්‍යාපාරිකයන්ට විද්‍යුත් මාධ්‍ය බලපත් ලබා දී, ඒ සඳහා සංඛ්‍යාත අනුයුක්ත කිරීමයි. එහි තේරුම නම් මහජන දේපලක් වන විද්‍යුත් සංඛ්‍යාත පරාසය කිසිසේත් පාරදෘශ්‍ය නොවන අන්දමට ව්‍යාපාරික ගජමිතුරන් අතර බෙදා දී ඇති බවයි.

මේ වන විට වර්ණාවලියේ විද්‍යුත් මාධ්‍ය විකාශය කිරීම සඳහා යොදා ගත හැකි සංඛ්‍යාත ප්‍රමාණය බොහෝ දුරට බලපත්‍රලාභීන්ට අනුයුක්ත කොට අවසන්. උදාහරණයකට FM පරාසය තුළ තව දුරටත් දීමට සංඛ්‍යාත ඉතිරිව නෑ.

ප්‍රබල දේශපාලන සබඳතාවයකින් පමණක් ලබා ගත හැකි විකාශ බලපත්‍ර සඳහා නිල නොවන කළු කඩයක් (black market) බිහි වී තිබෙනවා. දැනටමත් නිකුත් කොට තිබෙන විකාශ බලපත්‍ර සමහරක් අතිවිශාල මිලකට අතින් අත මාරුවී ගිය අවස්ථා කිහිපයක්ම වාර්තාගතයි.

හැන්ද අතේ තිබෙන විට තම හිතමිතුරන්ට වර්ණාවලියේ කොටස් බෙදා දීම සිදුකර ඇත්තේ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ පමණක් නොවෙයි. ආණ්ඩුව භාරයේ පවතින මහජන සම්පත් ව්‍යාපාරික කටයුතු සඳහා බෙදා දීමේදී සැම විටම නිසි ක්‍රමවේදයක් සහ පාරදෘශ්‍ය භාවයක් පවත්වා ගත යුතුය යන ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ පවා පස්සා දොරින් රේඩියෝ විකාශ බලපත්‍රයක් සහ සංඛ්‍යාත තමන් රිසි පාර්ශවයකට ලබා ගෙන තිබෙනවා!

“රටක සංඛ්‍යාත පරාසය සීමිතයි. එය පොදු දේපළක්. සංඛ්‍යාත පුද්ගලයන්ට හෝ සමාගම්වලට අයිති නැහැ. මේ පොදු දේපළෙහි භාරකරුවා ලෙස රජය කළ යුත්තේ සංඛ්‍යාතයන් කුලියට හෝ බද්දට දීම මිස කිසිවකුට ඒවා සින්නක්කරයට දීම නොවෙයි. අපේ සංඛ්‍යාත බෙදා දීම කිසිදු පිළිවෙළකට සිදු වී නැහැ. මෙය විධිමත් කිරීමට නව පනතක් අප කෙටුම්පත් කළත් එය සම්මත කර ගන්නට හැකි වූයේ නැහැ” යයි 2012-14 කාලයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස ක්‍රියා කළ, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මීට වසර කිහිපයකට පෙර ප්‍රකාශ කළා.

1992-2020 වකවානුවේ නිකුත් කරන ලද සමස්ත විද්‍යුත් මාධ්‍ය විකාශ බලපත්‍ර සංඛ්‍යාව පිළිබඳව සම්පූර්ණ තොරතුරු එක් තැනකින් ලබා ගැනීම පවා දුෂ්කරයි. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබා ගත් නිල තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් නීතිඥ ජගත් ලියනආරච්චි මෑතදී සොයා ගත් පරිදි, 2019 අවසන් වන විට පෞද්ගලික රේඩියෝ විකාශ බලපත්‍ර 26 සහ පෞද්ගලික ටෙලිවිෂන් විකාශ බලපත්‍ර 54 නිකුත් කර තිබුණා. 

එහෙත් විවිධ බලපත්‍රලාභීන්ට නිකුත් කොට ඇත්තේ එකිනෙකට වෙනස් කොන්දේසි සමුදායක් බවද, බහුතරයක් බලපත්‍ර ‘තාවකාලික’ ලෙස සැලකෙන බවද එම විශ්ලේෂණයෙන් හෙළි වුණා.

පෞද්ගලික සමාගම්වල ටෙලිවිෂන් සහ රේඩියෝ විකාශයන් අදාල බලපත්‍ර කොන්දේසි පිළිපදින්නේ ද යන්න නිතිපතා විමර්ශනය කිරීමට අවශ්‍ය ධාරිතාව සහ පෙළගැස්ම ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළ නොමැති බවද පෙනෙනවා.

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට පෞද්ගලික අංශයට පිවිසීමට ඉඩ දීමේ වරදක් නැහැ. ඒකාකාරී සහ අධිකාරිවාදී වූ රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය පමණක් තිබූ 1992ට පෙර යුගය ඇතැම් දෙනා රොමැන්තික් ලෙස ආවර්ජනා කරන තරම් අසිරිමත් අතීතයක් නොවෙයි.

වසර 67 පැවති රාජ්‍ය ඒකාධිකාරය නිමා කරමින් පෞද්ගලික සමාගම්වලටද ටෙලිවිෂන් හා රේඩියෝ විකාශ පවත්වා ගෙන යාමට ඉඩ දීම හරහා මාධ්‍ය ග්‍රාහකයන්ට තිබෙන දේශීය නාලිකා කිහිප ගුණයකින් වැඩි වුණා. එසේම විද්‍යුත් මාධ්‍ය කර්මාන්තයේ අලුත් රැකියා අවස්ථා රැසක් ද බිහි වුණා. මේවා අගය කළ යුතු යහපත් ප්‍රවනතායි.

එහෙත් තවම විකාශ බලපත්‍ර නිකුත් කිරීම විධිමත් කිරීමට හෝ අන්තර්ගතය විමර්ශනයට කිසිදු නියාමන ක්‍රමවේදයක් ඇති නොවීම බරපතළ අඩුපාඩුවක්.

එසේම කිසිදු හේතුවක් නොදක්වා විකාශ බලපත් ඕනෑම විටෙක අවලංගු කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයට හැකි බව එක් පොදු කොන්දේසියක්. බලපත්‍ර නිකුත් කිරීමට මෙන්ම අවලංගු කිරීමට ද නිසි ක්‍රමවේදයක් නොමැති වීම නිසා බලපත්‍රධාරී විද්‍යුත් මාධ්‍ය ආයතන බලයේ සිටින රජය සහේතුකව හෝ විවේචනය කරන්නේ ඉතා ප්‍රවේසමෙන්. එසේම මෙම අවිනිශ්චිතතාව හරහා පෞද්ගලික විද්‍යුත් මාධ්‍යවලට අනිසි බලපෑම් කිරීමට දේශපාලකයන්ට හා නිලධාරීන්ට අවකාශ තිබෙනවා.

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නිසි නියාමනයක් අවශ්‍ය වන්නේ දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන තිබෙන මෙම අවිධිමත් බලපත් ලබා දීම පමා වී හෝ නිසි ක්‍රමවේදයක් යටතට ගැනීමටයි. මෙය ව්‍යුහමය ප්‍රතිසංස්කරණයක්.

ක්ෂේත්‍රයේ විධිමත් බවක් ඇති කිරීම පිණිස රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම විද්‍යුත් මාධ්‍ය ආවරණය කැරෙන නව නීතියක් හඳුන්වා දිය යුතුයි. මේ දක්වා ගත් උත්සාහයන් සාර්ථක වී නැහැ.

ශ්‍රී ලංකා විද්‍යුත් මාධ්‍ය අධිකාරියක් පිහිටුවීමට 1997 මාර්තුවේ එවකට රජය පනත් කෙටුම්පතක් ගැසට් කළ විට, පුරවැසියන් කිහිප දෙනෙක්, පුරවැසි සංවිධාන කිහිපයක් සහ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය සමාගම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ එය අභියෝගයට ලක් කළා. 

රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය එක් අන්දමකටත්, පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය තවත් අන්දමකටත් නියාමනය කිරීමට යෝජිතව තිබීම වෙනස්කමක් හා අසාධාරණයක් ඔවුන් කළ තර්කය ඇතුලු තවත් සාධක සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, එම කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බව තීරණය කළා.

එම නඩු තීන්දුවේ මෙසේ ද සඳහන් වුණා (පරිවර්තනය මගෙන්): “විද්‍යුත් මාධ්‍ය බලපත්‍ර ලබා දෙන ආයතනය රජයෙන් ස්වාධීන විය යුතුයි. රාජ්‍ය හා පෞද්ගලික හිමිකාරිත්වය යටතේ ඇති සියලුම විද්‍යුත් මාධ්‍ය එක් නියාමන අධිකාරියක් යටතේ තිබීම වඩාත් යෝග්‍යයි. (එවිට) එම ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති නිසි ලෙස සාදා ක්‍රියාත්මක කළ හැකි වනු ඇති. මේ ස්වාධීන නියාමන අධිකාරිය, විද්‍යුත් සංඛ්‍යාත බෙදා දීම ඇතුළු සියලු තාක්ෂණික සාධක ගැන වගකිව යුතුයි.”

ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව දිගටම පවතින බැවින් ඒ ගැන විමසා නිර්දේශ කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය 2017-18 වකවානුවේ විද්වත් කමිටුවක් පත් කළා. මහාචාර්ය රොහාන් සමරජීව සභාපති ලෙස ක්‍රියා කළ මෙම කමිටුවේ ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, යුනෙස්කෝවේ හිටපු මාධ්‍ය අංශ අධිපති විජයානන්ද ජයවීර සහ ජනමාධ්‍ය පර්යේෂක එම් ජේ ආර් ඩේවිඩ් යන විද්වතුන් ද සිටියා.

සන්නිවේදන තාක්ෂණයේ නූතන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් ද, ජාත්‍යන්තරව විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා පිළිගැනෙන ප්‍රශස්ත ක්‍රමවේදයන්හි (international best practices) ආභාසය ලබමින් ද තාක්ෂණික වාර්තාවක් සහ ස්වාධීන විද්‍යුත් මාධ්‍ය අධිකාරියක් සඳහා නීති කෙටුම්පතක් එම කමිටුව 2019 මැද වන විට සම්පාදනය කළා. එසේ වුවද එම කෙටුම්පත ගැසට් කිරීම පසුගිය රජයේ ධුර කාලය තුළ සිදු වුණේ නැහැ.

2019 නොවැම්බරයේ වත්මන් ජනාධිපතිවරයා පත් වීමෙන් පසු ජනමාධ්‍ය අමාත්‍යවරුන් වෙනස් වූ අතර, සමරජීව කමිටුවේ කෙටුම්පත නැවත වරක් තවත් කමිටුවක් හරහා සමාලෝචනයකට යොමු කරනු ලැබුවා. 2021 මාර්තු අග වන තුරු සමරජීව කමිටුවේ කෙටුම්පත හෝ එහි සංශෝධිත කෙටුම්පතක් පාර්ලිමේන්තුව ඉදිරිපත් වී නැහැ.